ටූනා මල
- Post 30 August 2018
පාසි බැඳි පඩි පෙළෙහි
සීරුවෙන් පා තබන
මුව පොව්වා
බලා විමසිලි නෙතින් වටපිට
හෙළා ඉක්මන් සුසුම් අඳුරට
එබෙයි ගෙතුළට
බිඳුණු උළුවස්සෙන්
හදවතේ පිබිදුනු
තාරකාවන් එකින් එක ගෙන
තබයි ඔබ
බාල ලීයෙන් හැදු
මගේ මේසය මත
ටූනා මල් බඳුන අද්දර
අනවසරයෙන් එබෙන
හඳ එළිය මැද
දකිමි මම
ඔබේ නිල් දෙනෙත මත
අඬන්නට ළං වූ මගේ හිත
කියන්නට බැරි තරම් අසරණ
තවම නොපහන් ඒ රාත්‍රිය
රැගෙන යාවිද කිසි දිනක
ඔබ
මගෙන් ඉවතට
මහා කඳු වළල්ලක
ඔබ අතරමං වීද
ගොදුරු සොයනා දෙනෙත්
ඔබට මඟ පෙන්වීද
සැලෙන දෑතින්
වසමි කවුළුව
අකල් හි ආ සුළඟ
වියරුව
ටූනා මලක්
දමා ගොස් ඇත බිම
(මේ කව පළමුවරට පළවූයේ 1992 පෙබරවාරි 23 වැනිදා 'ලක්දිව' පුවත්පතෙහි 'නිම්තෙර' පිටුවෙහි ය.)
නිල්මිණී සිරිවර්ධන
© JDS