JDS Sinhala

ලැයිමේ තියා ආ කඳුළ

 

ධර්මසිරි රාජපක්ෂ (1949 - 2016)


හැත්තෑවේ සහ අසූවේ දශක දෙක තුළ සිංහල කවියේ ගමන්පථය තීරණය කිරීමෙහිලා කළ මෙහෙය හා සසඳා බැලූ විට, අඩුවෙන්ම ඇගයුම් ලැබූ බලවත්ම කවියා ධර්මසිරි රාජපක්ෂ විය යුතු ය. දුෂ්කර දිවි සටනින් ද, මානසික අසමතුලිතතාවෙන් ද, කායික ඔත්පලභාවයෙන් ද, අකාරුණික නොතකා හැරීමෙන් ද පිරිපීඩිත ධර්මසිරි, පළමු කාව්‍ය සංග්‍රහ දෙක අතර දස වසක් ද, තුන්වැන්න සඳහා විසි පස් වසක් ද කල් ගත්තේය. ප්‍රශස්ති ප්‍රබන්ධයට හෝ රණවිරු වන්දනාවට පිරිහෙලීමෙන් වැළකී සිය කවිකමෙහි නිර්ව්‍යාජ පිළිවෙත්ගරුක ශක්තිය දිවි මෙන් සුරැකි හේ, 2016 නොවැම්බර් මාසයේ කුරුවිට, කඳන්ගොඩදී සිය විඩාපත් දිවිමගින් සමුගත්තේය. 1985දී පළ වූ ඔහුගේ දෙවැනි කවි සරණිය - 'ශක්තියේ පුෂ්පය' - හි පළ වූ මේ කව, 1983 ලේ වැකි කළු ජූලියේ නොමිනිස් අඳුර මැද ලියැවුණකි. (සිතුවම: ඔස්වල්දෝ ගුවායාසමීන්)



ලැයිමක් ළඟින් මා හවසක යන                කලට
හැඬුමක් ඇසුණි පොඩි එකෙකුගේ කිරි    කටක
රිදුමක් උණු වුණා, නෑ කමට වැට          දැක
කඳුළක් තියා ආවෙමි රහසෙම                            දුකට

*        *        *

ඇසල පුර           සඳ
සස ලේ බිය        වැද

කඩු මුගුරු ගිනි    ගෙන
ජඩ බිලි හටන     දකිමින

දමිළ මව්වරු සිය  පණ
වැනි දරු ළය       තුරුලින

නර රකුසන් හඹා  එන
ගැලවීමට           දුවන

*        *        *

ගිනි තිව් ලැයිම ළඟ මා තනි වී              හවස
ගිනි නැති හෙටක් ගැන සිහි කෙරුවෙමි    හවස
කිරි කට එදා හැඬු, මා යන විට              හවස
නෑඬුව නමුදු මම හැඬුවෙමි ඒ                හවස


ධර්මසිරි රාජපක්ෂ (1985)


© ශක්තියේ පුෂ්පය


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.