JDS Sinhala

දේශපාලනයක් නොතිබිනි

 

වෙරළ උද්‍යානය
ගොම්මනෙන් වැසී යන විට
ආයාසයෙන් ඇවිද ආවෙමි
රත්මලානේ නවාතැන වෙත

ක්ෂිතිජයේ විදුලි නැංවූ
නොපැහැදිලි මන්දාරමේ
එක් සුළං රැල්ලක් හෝ
වෙරළතට ඇදී ආවේ නැත

නමුත් ඒ ලිහිණියෝ
ආනන්දයෙන් ඉගිලුනෝ
මොහොතකට අමතක වූ ලෙසින්
උදම් වී ඉහළ නැගි දාහය
දැවී ගිය වැලි පොළොවේ

ආකාසයෙන් බිම වට
නටබුන් සරුංගලයක්
කටු කම්බියක පැටළී
ගැලවී යළි පාව යනු නොහී
සුළඟේ සෙලවෙමින් තිබිනි

ඈත දිය කඩනයේ
විසල් ගල් කුට්ටි මත
හැපි හැපී විසිරී ගිය
එකඳු රැල්ලක විලාපය
කෙඳිරිල්ලක් ලෙසින්වත්
දෙසවනට නෑසුනේ මන්ද

ඒ මුහුදු රැළි පවා
දේශපාලනයට නතු බව
ඔබ කියා දුන්නා මතකද
දිනෙක මෙහි මෙතැන හමුවී
නික්ම යන්නට පොරොතුව

බොහෝ දේ තුළ වූ සත්‍යය
නිවැරදිව නොදුටු
පීඩිත ගැහැණියක් වූ මා
බැරි බරින් ඉසිලූ
තාවකාලික ප්‍රේමය ද
දේශපාලනික වූ බව
නිවැරදිව පසක් වන විට
බොහෝ කල් ගතවී තිබිණි

ඔබ සිතා සිටි අයුරින්ම
ධනවාදයෙන් බැට කන
සේවිකාවන් හතරක් නිදන
මේ කුඩා නවාතැන් කුටියේ
හඬා වැළපෙන්නට තරම් ඉඩක්
එදා වත්, අද වත් නොවී

එනමුත් දිනෙක
වායු සමනය නොකරන ලද
ලාබ කාමරයක් තුළ
නුඹේ සියොළඟින්
දහඩිය ගැලූ මොහොතේ
දේශපාලනයක් නොතිබූ බව
අදටත් මා මතකයේ ඇත

 

භාතිෂ අකලංක සිල්වා


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.