JDS Sinhala

‍කෙටිකතාව: අන්න ඒ දෑස් මන්දාරම


ය, උපැස් සඟළේ කළු රාමු අතරේ දෑස් සඟවාලන්නට යත්න දරන විට ඒ බැල්ම බලන්නට ම බැරි තරම් ලස්සන ය. සඟවා ලූ දෑසින් යළි හොරෙන් බලන විට ඒ කැල්ම උහුලන්නට ම බැරි තරම් අවංක ය. ක්ෂුද්‍ර කාය සම්පත්තියකින් යුත් නමුත් සමස්තයක්ව ගත් කල ඇය දැවැන්ත වෘත්තීයමය පෙනුමකින් ආඪ්‍ය ය. ඇගේ මන්දස්මිතය පවා කිසියම් නාඳුනන විනයකට අනුකූල ය. කළු කලිසමත්, සුද දිදුළන කමිසයත්, ඊට උඩින් දැමූ කළු කෙටි කෝට් බෑයත්,  කළු හයි හීල්ස් සඟලත් ඇගේ නො නිල නිල ඇඳුම බඳු ය. මගේ රස්තියාදුකාර සෙයියාව ඇයට අබිමුඛ වූ විට ඇගේ පෙනුම හා මගේ පෙනුම මුළුමනින් ම විසංසන්දනීය වේ.

මගේ කළු-අළු-නිල් චෙක් කමිසයේ අසමමිතික කොටු වම් අතේ මැඳැඟිල්ලෙන් රවුම් කරමින් සිටින ඈ දැහැමින් සෙමින් බොත්තම් කාසි හොයා හොයා බොත්තම් පටලවයි.

ඇගේ ජංගම කුකුළු පැටවා හඬලන්න ගන්නේ එවිට ය.

‘අන්න ඒ දෑස් මන්දාරම. මන්දාරමට අවනත මුහුණ’. මගේ කිලිටි සිතිවිලි නම් එහෙම ය. නො කිලිටි දෑසක් කිලිටි කරමින් එහි හැඟීම් අහුලන් කන මගේ කැත සතුට, මගේ ම සිතිවිලි හොටගින් මගේම හෘද සන්තානයට කොටමින්, අකීකරු නියගින් එය පහුරු ගාමින් සිටී. මම දුම්වැටියකට පන පොවමි.

සහතිකවම ඒ ඇමතුම සහතික සහකරුගෙනි. ජංගම කකුළු පැටවාගේ ගෙල, අතැඟිලි අතර හිර කරගන්නා ඇය, මා මුවගින් නික්මෙන දුම් වළල්ලක් බඳුව කැරකෙමින් ජනෙල් කවුළුව වෙත පාවෙයි. ඉකිබිති, මවාගත් සල්ලාප සැහැල්ලුවේ මා දෙස බලයි.

එවිට මම ඇය අකමැතිම දේ සිදු කරමි. ඉඟි මරමි.  ඇහැට රොඩ්ඩක් ගිය බව රොඩ්ඩකින් ඉඟි කරමි.

කේන්තිය උද්පාද කරගනුව ඇය මන්දස්මිතය අඩස්සිගත කරන්නට වෙර දරන්නී ය. කැස්ස මතුවන්නේ එවිට ය.

පැටි කුකුළු පැටවා සාක්කුව පතුළත සඟවන ඈ ‘උගුර හොඳටම වන වෙලා’ යැයි කියමින්, ඒ දිගු තියුණු ඇඟිලි තුඩග්ගිසි මා ගලවලුව මත තබා අකුරු ගලපයි. ‘කැක්-කැක්-කැක්-කැක්-ස- කැ-ස්-ස’

‘කැස්ස මතුවෙන්නෙ උගුරෙන් නෙමෙයි’

‘මොකක්?’ සුදු සිලිටි ලේන්සුව සොයන්නී, ඈ, කලිසම් සාක්කුව පතුළේ අත රස්තියාදු ගස්සමිනි. ඒ නිහඬ ළැමද කැස්සේ ගැහෙයි.

‘ඔය කැස්ස හංගන්න බෑ’

ඇය කෝපයෙහි වෙලෙමින් දෙතොල පොපියා පොපියා මා දෑස දෙස බලන්නේ වුව, ඒ දත්මිටි කැවිල්ලෙහි ආදරය දිදුළයි. ඒ ඩිම්පලීය දෙකොපුල සංතාපයත්, සංත්‍රාසයත් අතර එකෙල මෙකෙල වෙමිනි.

ඇයට ඕනෑ හිනාවෙන්නට බව මම දනිමි. කෝපී මුහුණ එබැවිනි. දැන් ඉතින් ඇය හිනා ගැස්සිය යුතු ය. හිනා උස්මුරුත්තා වන තුරු විකාර කිව්ව යුතු ය.

‘මට නං යකෙක් කන්න මහන්සියි’ මම ඒ නන්නාඳුනන ඇඳට පැන මුනින් අත වැතිරී, මාවුලාවන් ඇද, හිස සඟවා ගනිමි.

‘මොකක්?’ ඈ හිනා ත්වරණය ඇරඹී ඇත. කැස්ස උගුරේ පැටලේ.

‘ලැජ්ජ නැතිකම හරියට ගහෙන් වැටුණු කුරුමිට්ටො හත්දෙනාගෙ කැඳ හැලිය උඩට දේවාලෙ කඩන් වැටුණ වගේ’
හිනාව ය; කැස්ස ය.

‘ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කටුස්සගෙ කරේ, කරවිල වැල ගියා වගේ’

කැස්ස ය; හිනාව ය.

‘සරම හත්ගව්වක් තියෙද්දි අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ’

හිනාව ය; කැස්ස ය.

ඇය ඇඳ මත වන මා වෙතට පාවී එන්නීය.

‘හපොයි. ඇටි කෙහෙල් කාපු උණහපුළුවට අග්ගලාවත් කජ්ජක්ද?

‘අනේ ඔය ඇති’. ඇය විසින් මා උරහිස හැපෙයි; පිට පහුරු ගැන්වෙයි.

මම ඇය පෙරළාගෙන උඩුබැල්ලෙහි වැතිරෙමි.

ඈ මුහුණ මා ළය මතය. ඒ උපැස් විනිවිදිමින් ඇස් දිදුළයි. ඇස් තෙත පත්වෙමින් ඇත. ඒ කැස්ස නැවත නැවතත් ය. නැවත නැවතත් ඒ කැස්ස ය.

‘ඒකනෙ කිව්වෙ?’ ‘මා’ ‘හැඟුම්’ ‘බර’ වෙමින් සිටිනවා විය හැකි ය.

‘හරි පිළිගන්නම්. කැස්ස කියන්නෙ උගුරෙන් මතුවෙන දෙයක් නෙවෙයි’ ඇය කැහැ කැහැම කනට කොඳුරයි.

‘මං කිව්වෙ ඒක නෙමෙයි’

ඇය දකුණු උපැස ඇතුළතින් මැදැඟිල්ල විහිදා ඇස් කෙවෙණි අග්ගිස්ස පාදයි. ‘එහෙනම්?

‘මං කිව්වෙ මේකයි. වැස්ස මතුවෙන්නෙ අහසෙන් නෙමෙයි’☐

මංජුල වෙඩිවර්ධන


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.