JDS Sinhala

ඇය නොඑන බැවිනි......

සත් වසක සමරු සටහන: ජයසීලන් ඇන්තනී 1974 දෙසැම්බර් 25 වැනි දා යාපනයේ ඉපිද, 2009  පෙබරවාරි 14 වැනිදා ලේ වැකි දිනක වන්නියේදී දුක් විඳ මිය ගියේය. සිය ජනයා  නිදහස්ව දිවි ගෙවනු දැකීමේ මැඩලිය නොහෙන විජීගීෂාවෙන් මෙළවුණු යෞවන දිවියෙන් වැඩි කලක් මරණය නිරන්තර අභිමුඛ වූ ගොරතර සටන් බිම් වල ගෙවා දැමූ ඔහු, ඉසිඹුවක් ලද විටක කොහේ හෝ තැනක හිඳ හිස බිමට නමාගෙන ඇවිළුනු හදින් කව් - ගී පබැඳුවේය. ඒ.පී. ගුණා, උජිරවන්, තමිල්නිලා ආදී අනවර්ථ නාමයන්ගෙන් ඔහු ලියූ දෑ බොහෝමයක් දමිළ බසින් ප්‍රකාශයට පත් වූ පුවත්පත් - වාර සඟරාවල නිතර පළ විය. අද වැනිම වූ පෙම්වතුන්ගේ දිනයක ලේ බත් වන්නියේ ෂෙල් ප්‍රහාරයකින් තුවාලව, නිසි ප්‍රතිකාර නොමැතිකමින් රුධිර වහනය වී මිය ගිය තරුණයෙකුගේ අවසාන සිතිවිලි කෙබඳු වීදැයි අපි කිසි කලෙක නොදනිමු. නමුත් සිංහලයින්ට කොටියෙකු ද, දෙමළුන්ට කවියකු ද වූ යෞවන අනුරාගී හදවතක දිදුල නිදහස හා යුක්ති ධර්මය පිළිබඳ සිහින මේ කව් තුළින් විද්‍යාමාන නොවේ යැයි කාට නම් කිව හැකිද?


 

ක්තරා මිනිසෙකු ඇවිද යයි
හිස නවාගෙන
ධූලි විසිරුණ වළ ගොඩැලි පිරි
ගුරු පාර ඔස්සේ
හුරු පුරුදු පා සටහනක්
සොයමින.....

ඔහු නැවතී බලා හිඳියි
පාසැලේ දොරටුව අසළ
එක්වරම යමක් සිහිවූ කලෙක
මෙන්.....
සුදු ඇඳුම් ඇඳි යුවතියක්
පිටව යයි ඉන්
නොබලාම ඔහු දෙස...
අතීතයේ සිට පැමිණි
සිනහ හඬක්
ඔහු සවන් විනිවිදියි

හිරු ගිළී යද්දිත්
දහස් රළ නැග අවුත්
දෙපා දෝවද්දීත්
ඔහු බලා හිඳීයි වෙරළ සිට
ඈත සිතිජය දෙස...
මරණය හඹා ආ දිනවල
නොදන්නා ගොඩබිමකට
ඈ පලා ගියාදැයි සිතමින්.....

සාමය පැමිණ ඇතිමුත්
අතුරුදන් වූ බොහෝවුන් කැටුව
ඇය තාම පැමිණ නැත......

ඔහු නෙත් හෙළයි
ඉඳ හිට හිස් අහස වෙත
ඉදින් ඈ එහි වේද?
නැත - එයද විය නොහැක
යළිත් හිස බිමට බරවෙයි.....

ඔහු දකියි බියකරු සිහිනයක්
යක්ෂයන් වැටළු විටක දී
සිය දිවි නසා ගත්තීද ඈ
ගරුත්වය උදෙසා...
නැත එය නොවිය යුතුයි
යළිත් ඇවිදියි ඔහු.....

ඈත දුරු රටක සිට පැමිණ
යළිත් ඇවිදියි ඔහු
තමන් ඉපදුණ පොළොව මත...
හැර දමා යා නොහැකි වූ මතකයන්
මෙහි දමා ගිය බැවින

ඔහු නතර වෙයි
චෙම්මනී පොදු මිනීවළ අසළ...
මඳ පවන නිහඬ විය
රහස දැන සිටි මුත්

දරාගත නොහැක එය
මඳ පවනකට වුව බොහෝ කල්...
චෙම්මනී ලවණ පස යට
ඈ දිරා යන බව
කෙඳිරීය මඳනළ වළාකුළු වෙත...
කඳුළු වැගිරී වළාකුළු නිහඬවම

එක්තරා මිනිසෙකු
ඇවිද යයි තාමත්
ඔහු උපන් පොළොව මත
හුරු පුරුදු පා සටහනක් සොයමින.....

 

ජයසීලන් ඇන්තනී | 2003 මැයි


©  JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.