‘උපුල්’…ඊළඟ නැවේ….(නො)යන්න…!
- Last Updated on 09 November 2016
වැදෙන තැනකට වැදෙන්නට නොතියා
වැටෙන තැන කලින් දැන
එල්ලය බලා හෙල්ලය හෙලීම,
අධි චෝදනා දහසක
බරපතළ වරදක් ය…!
‘ගඟෙන් වතුර බී මුහුදට ආවැඩුම’
ඔබ නොදන්නවාට
එය නොවෙයි වරද;
තිතක් වන් කොදෙව්වක
හිතක් ඇති උප කුලකයක් ගැන
මතක් කර ඇඟිල්ලෙන් ඇන ඇනම
පතක් මත සිංහලෙන් දෙමළ කවි ලියැවීම….
අන්න එතැනයි,
වැඩියෙන්ම වැරදුනේ කවියන්ට…
ආවරණ කලාපයකට වුව
අනාවරණය නොවන
හැඟීමක් අතරමැද
කවියක් වුනත් වාරණය කළ හැක;
විස්සෝපයෙන් නොබලන්න…!
හිත් කෝපයෙන් දිලෙන තැනෙක දී
ඉස්පාසුවක් නොලබාම
කවියක් වුනත් ආදාහනය කළ හැක…
කිසිත් නොවුනා සේ නිදිවදින
නිස්සද්ද පොළොවක් උඩින්
වැස්සක් වුනත් අස්සක් නෑර
ගිගුම් දී වැටෙන්නට කලියෙන්
දෙපාරක් සිතිය යුතු නොවේද…?
කොදෙව්වේ ඉහළ කෙලවරට
වසන්තය දරාගෙන
ගාල් වෙන්නට කලියෙන් ‘යාල් දේවිය’
බෝඩරේ පනින්නට පෙරම
ට්‍රැක් එකෙන් උස්සා පැක් කරපු
වාසගම් සහිත මල් බොහෝ ඇත;
එහෙත්,
උප්පැන්න සහතික නොලියන්න…
විසල් දෑසින් නොබලන්න;
බුසල් ගණනින් පව් කරන උන් මිසෙක
කුසල් සිත් අති එවුන්
මිතුරු වේශයෙන් හෝ
උතුරු කෙලවරේදී උපදින්නේම නැත…
සදොස් ලොවකට
නිදොස් කවියක් අතහරින්නට
ඔබ තවම සිතනවද…?
එසේනම්,
උගත් පාඩම් අතැර ගැඹුරු හුස්මක් අතරමැද
කේවට්ට මුවකින් වැයෙන
ප්‍රශස්ථියකින් අරඹන්න;
බෞතීස්මය කෙලවරේ දී
ඔබ,
පිටුවහල් නොවනු ඇත…!
විනෝදී පෙරේරා
© JDS