JDS Sinhala

හැමෝටම තමන්ගෙම පෙම් කතාවක් තියෙනවා

 

කැබ් එකටත් කැස්ස
සීතලෙන් සීරුණා ඒ රිදී පැහැ උදෑසන
උණ ගැනුණු තිත්ත ජීවිතේ
එක තප්පරේකින් වෙනස් වුණ
මගේ ඉරණම් කතාවේ ඇරඹුම එතැන

ඈත හෙලේ ළා ඉර පැකිළෙන විට
දියතලාවේ දුහුල් මීදුම් මැදින්
මතුවුණේ ඇගේ මූණ
ඒ ඇසිල්ලෙන් එක රූප මාත්‍රෙන්
ආසක්ත වුණා හිත
පුදුමයි. ඔව්. එහෙම වෙන්න පුළුවනි
කොහොමත් පුදුමයක් තමයි ප්‍රේමය

හිත ගැස්සුණ පාරට
නැවිකට් කොටෙත් ගිළිහී වැටී
මොහොතකට මැකී මතකය
රංජි මල්ලි - සල්ලි මිටි - බිල් පොත්-
තේ කුඩු ලෝඩ්ඩෙක-
පණ ගසා හරි බරි ගැහුණු හදවත

සොයන විට
වීදුරුව පිස දමා - ඇස් පිස දමා
පහන් දැල්ලක් නිවී ගිය සේ
මීදුමේ යට ගිලී ගොසින් ඒ රුව

එතැන් පටන් දැනුණේ නෑ - ගෙවුණ දින සති
අසතුටින් එහෙත් දහිරියෙන්
කැබ් එකත් - මාත් - රංජි මල්ලිත්
ප්‍රොජෙක්ට් එකේ සර්ගේ බලු බැනුම් අසමින්
දියතලාවෙන් දිවෙන හැම පාරකම
කැරකෙව්වා රෝද - සෙව්වා සෙව්වා ඇය

ඇති තරම් වැරදුණ හැඩ ලකුණූ ඉඟි දිගේ
ඇල්ලෙනුත් එහා නුහුරු වංගු පාලුවේ
උඩ පහළ යන අතර අන්තිමේ
හරිට ලියැවී තිබුණු දෙයක් මෙන්
කොහොමද මන්දා එය සිදුවුණේ
හැල්මේ යද්දි දෙමෝදරින් ස්ප්‍රිංවැලි පාරේ
දුටුවා අහම්බෙන් - ඔව් - ඇත්තටම හමුවුණා
ඇය සිටින පොඩි නිවස-තේ කඩේ

ඉන් පසුත් හැමදාම
කතා කරන්න බැරි තරම්
හිත ඇකිළුණා - වචන පිට වචන පැටළුණා
සීතලට නොවෙයි ඇගෙ හැඩ රුවේ දිලිසුමට - කටහඬේ ලතාවට
හිත හිර වුණා - ආදරෙන් තෙරපුණා

පෙර භවෙන් ගෙනත් දුන් ළෙන්ගතුව
අරන් සතු කරගන්න නොහැකිව
දෑවුරුද්දක් විතර අනේ මං පැකිළුනා - ආදරෙන් මිරිකුණා

කියන්නම් හොඳම තැන ඉරණම් කතාවේ
කාටවත්ම අමුත්තක් නැතුව ඇති
ඒත් මෙය කිව යුතුයි කාට හරි

හැමෝටම තමන්ගෙම පෙම් කතාවක් තියෙනවා
ඉතින් මේ තේ කුඩු අදින ඩ්‍රයිවර්ට
පවා එය ලැබෙනවා
මෙච්චරම කියව කියවා ඉන්න - ඒ තරම් සතුටක්ද නැද්ද එය
වරදක්ද කියන එක

හදිසියෙම ඊයෙ ඇය
කැෂියර තට්ටුවෙන් මෑත් වී ආවා
පොල් කොට අසුනක මා ළඟ ඉඳගෙන.....
හිත සොළවපු පාරට
උණු තේ එකත් ඉහිරුණා
මං බැලුවේ නෑ - මගේ ඇස්වලම පැටලෙන්න හදන ඇස් දිහා

තව දෙයක්! රහසක්නෙ මගෙ ඇල්ම
මට හිතුනේ - හොරෙන් පැන ගිහින්වද ඒ රහස
දියතලා මීදුමේ අතීතය - පෙම් රිදිලි
රහස්මය-අඟවලාවත් නොමැති - ගොළු බිහිරි

මුකුළු කිකිණි හුරු සරදම්ද හංගා
හරිම ඕන කමකින් හිමින්
ඇය මෙහෙම කිව්වා
"මිල් අයියේ මාව එක්ක යන්න කොළඹ
ආදරෙන් ඉම්මු අපි - ළමයි ගොඩකුත් හදමු"

ඒ තමයි ඉරණම් කතාවේ මන්ත්‍ර පද
ස්ප්‍රින් එකකින් මෙන් ස්ප්‍රින් වැලි පාරට
මා වීසි කරන යළි ළඟටම ඇද ගත් වචන ටික
හැමදාම මතක් වන - හෙළි කරන
යළි යළිත් අලුත් වන ඇගේ හිත

විනාඩි කීයද ගත වුණේ
කොච්චර ඉක්මන්ද තීරණ ආදරේ
ඉතින් අපි අනිද්දා
කෝච්චියේ කොළඹ එන්නයි ඉන්නෙ
හැමිල්ටන් ඇළ ගාව බෝට්ටු මං අඳුරන්නේ
කවුද මේ මිල්ටන්ට 'ආ මචං' නොකියන්නේ

ඇළ වතුර මා දකියි සෙනෙහසින් රැළි සලයි
පාලමේ යකඩ පටි දිලිහෙමින් හිනාවෙයි
මිල්ටන්ගේ මනාලිය සෙනෙහසින් පිළිගනියි
මව්පියන් හැර දමා එන ඇයව රැක ගනියි

 

ලක්ශාන්ත අතුකෝරල


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.