දිවි මාලිමාවෙහි වත
- Last Updated on 19 April 2016

මගේ වම'තට ඉදිරියෙන්
තල් අරඹෙහි රුවා ඇත - උතුරු කොන
මගේ සුර'තට ඉදිරියෙන්
සිඳු වාටියෙන් මායිම්ව ඇත - දකුණු දිග
කොහේ කොතැනක කොහෙට හැරුණත්
හැමවිටම පෙර'ඹරට මුහුන දී උදාරම් ලෙස - මම
ලපටි කල මා විසූ කුඩා ලොව
මාලිමාවක් විය මටම අවනත
පැටි විය ගෙවී - දැලි රැවුල පැලවෙන කල
උගත්තෙමි මම බොහෝ විද්‍යා කලා ශිල්ප හා භූගෝලය
උගතෙකුට රිසි වන දැනුම රිසි ලෙස උරා ගත්තෙමි මම
බාල කල මා වැඩූ ළදරු මාලිමාව
සොපාහසින් වීසි කර
පැළඳ ගත්තා මහිස විදත් මාලිමාවක්
පොතේ හැටියට
දනිමි මම දැන්
උතුරු කොන දන්නා දුරක බොහෝ ඈතක බව
දකුණු කොන හිතූ තරමටම අතේ දුර නොවන බව
අපි හැරෙන පැත්තට අපිත් සමඟම කරකැවෙන
අපිට අවසඟ මානයක් නොවේ මේ දිශාවන් සැම
පැහැදිලිය නිවැරදිය දැන් මගේ මාලිමාවෙහි මානයන් සැම
බාල වියටත් වඩා කුඩා වී නොවෙද?
එහෙත් දැන් - මම
සුසන්ත මූණමල්පේ
© JDS





