JDS Sinhala

කෙටිකතාව: අවසන් සිරකරුවා


වසානයේදී එහි ඉතුරු වූයේ ඔහු පමණ ය.

අක්කර පහක පමණ බිම් කඩක පැතිර තිබූ එම එළිමහන් දේශපාලන සිර කඳවුරේ විශාල වාට්ටු දොළහම දැන් මුළුමණින්ම වෙන්ව ඇත්තේ ඔහු වෙනුවෙනි.

"දැන් ඉතින් තමුසෙට මුළු කඳවුර පුරාම අත පය දිගෑරලා නිදාගන්න පුළුවන්" - අභ්‍යන්තර කම්බි වැට අසළ සිට තම අවසාන සගයන් කිහිප දෙනා ද හමුදා ට්‍රක් රියකට නඟින අයුරු බලා සිටි ඔහුට මුර අටල්ලේ සිටි සොල්දාදුවා සරදම් කළේය. එයට ප්‍රතිචාර දක්වමින් ඒ අසළ බිම සිටි තවත් සොල්දාදුවන් කිහිප දෙනෙක් සිනාසෙන අයුරු ඔහුට ඇසිණ.

තම සගයන් රැගත් හමුදා ට්‍රක් රථය කඳවුරේ බාහිර ගේට්ටුවෙන් නික්ම යන තෙක් බලා සිටි ඔහු ආපසු හැරී, තමාට වසර තුනක් නිවහන වූ නවයේ වාට්ටුව කරා ‍හෙමින් ඇදුණේය.

හදිසි නීතිය ඉවත්ව යාමත් සමගම බොහෝ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට සිදු වූ අතර, ඒ වෙනුවට නඩු පවරනු ලැබ සිටි සිරකරුවන් රක්‍ෂිත බන්ධනාගාරයට භාර දෙන ලෙස කඳවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියාට නියෝග ලැබී තිබිණ. මීට මොහොතකට පෙර කඳවුරෙන් පිටත් වූයේ බන්ධනාගාර වෙත රැගෙන යාමට නියමිත ලැයිස්තුවේ අවසන් සිරකරුවන් කණ්ඩායමයි.

නමුත් ඔහුගේ ඉරණම වෙනස් එකක් විය.

ඔහු මෙම කඳවුරේ රඳවා තබනු ලැබුව ද, රැඳවුම් ලැයිස්තුවල ඔහුගේ නම ඇතුළත් නොවීය. හදිසියේ වසා දැමීමට සිදු වූ වෙනත් රැඳවුම් කඳවුරක සිට මෙහි ගෙන ආ සිරකරුවන් අතර ඔහු ද විය. අතපසුවීමක් හේතුවෙන් ඔහු කඳවුරේ ලේඛනවලට ඇතුළත් නොවූයෙන් ඔහුට රැඳවුම් අංකයක් හෝ ලිපි ගොණුවක් නොවීය. දිනපතා සිරකරුවන් විශාල වශයෙන් ගෙන ඒමත්, නිදහස්ව යාමත් නිරතුරුව සිදු වූ හෙයින් රාත්‍රී පෙරෙට්ටුවට වෙරිමතින් පැමිණෙන නිලධාරීන්හට මෙම වරද හසුවීමට ඉඩක් නොතිබිණ.

පුරා වසර තුනක් තිස්සේ ඔහු රඳවා සිටිය ද නිදහස් කර යැවීමට හෝ පුනරුත්ථාපන කඳවුරකට යැවීමට හෝ බන්ධනාගාර වෙත යැවීමට පැමිණි කිසිදු ලැයිස්තුවක ඔහුගේ නම නොවීය. ඔහුගේ ඥාතීන් සහ හිතවතුන් ඔහු මළවුන්ගේ ගොන්නට ඇතුළත් කර සිටි අතර ඔහු අත් අඩංගුවට ගත්තවුන්හට ඔහු ජීවත් වන්නෙකු ලෙස සටහන් කර ගැනීමට අමතක වී තිබිණ.

කෙසේ වුවද, කඳවුර වසා දැමීමට නියමිතව තිබූ හෙයින් ඉතිරි වූ සිරකරුවා එහි බලධාරීන්ට ගැටළුවක් විය. කඳවුර වසා දැමීම නිරීක්‍ෂණයට රතු කුරුස නිලධාරීන් ද පැමිණ සිටි හෙයින් මීට පෙර භාවිතා කළ සරළ හා බිහිසුණු උපක්‍රම මේ ඉතුරු වූ එකම සිරකරුවා වෙනුවෙන් යොදන්නට හැකියාවක් නොවීය. ප්‍රශ්නයට ඉහළින් විසඳුමක් ලැබෙන තුරු රැඳවුම් කඳවුර තවත් දිනක් පවත්වා ගන්නට එහි අණදෙන නිලධාරියා තීරණය කළේය.

මේ අනුව දහසකට වැඩි පිරිසක් රඳවා සිටි කඳවුර තුළ ඔහු හුදකලා සිරකරුවෙකු වූයේය. ගෙවී ගිය තෙවසර පිළිබඳව ස්මරණය කරමින් ඔහු වාට්ටු අතර වූ බිම් තීරුවල ඇවිද්දේය. කඳවුරෙන් පිටව ගියවුන්ගේ පා සටහන් මත ආපසු එන ඔහුගේ පා සටහන් රැඳිණ.

වෙලාව මධ්‍යහ්නයට ආසන්න ය. වැළි පොළොව ද, පරිසරය ද උණුසුම් වෙමින් පැවතිණ. ඔහු හිස ඔසවා ඈත වාට්ටු දෙස බැලීය. ඒවායේ පියසි වසාගත් වැල් දොඩම් ගාල අතරින් ටකරං තහඩු දිලිසෙමින් තිබිණ. ඊට එහායින් වූ මර අටළුවල සොල්දාදුවන් අලස ලෙස බලාගත් වන බලා උන්හ.

සිහින් දුම් රොටුවක් කඳවුරේ මුළුතැන්ගෙයි වහලයට ඉහළින් හෙමින් අහසට ඇදෙයි. අවසන් වරට එහි ලිප් දැල්වූයේ අද උදෑසන ය. ඒ නික්ම ගිය සිරකරුවන් වෙනුවෙනි. එහි ගිනි අඟුරු ඇතැම් විට හෙට වන තෙක් ද දැල් වී තිබෙනු ඇත.

ඔහු, කඳවුරේ ක්‍රීඩා පිටිය ලෙස සැළකුණු කුඩා එළිමහන් බිම්කඩ වෙත පැමිණ හැඟීම් විරහිතව බලා සිටියේය. දැඩි හිරු රැස් ඔහුගේ සිරුර මත වැටී උණ රෝගියෙක් තුළ ඇති වන්නාක් බඳු කිසියම් පීඩාකාරී ප්‍රබෝධයක් ඔහු තුළ ඇති කළේය. නමුත් ඒ මොහොතකට පමණි. යළිත් වරක පූර්ණ ශුන්‍යත්වය ඔහුගේ ආත්මය වෙළා ගත්තේය.

ඔහු පිටියේ කෙළවරක වූ ළිඳේ බැම්ම මත වාඩි වී ළිඳ තුළට එබී බැලීය. ළිඳ තුළ ජලය පිරී තිබුණි. සිරකරුවන් පිරීස සිටි දිනවල මේ ජල තලය බාල්දි තුන හතරකින් නිතරම කැළතුණි. එහෙත් දැන් එය නිසල ය. ඔහු කවාකාර විශාල කැඩපතක් බඳු ඒ ජල තලය දෙස බලා සිටියේය. ඔහුගේ අඳුරු ප්‍රතිබිම්බයට පිටුපසින් නිල්වන් අහස් තලය ද, සිහින් වළා රොදක් ද දිස් විය. ළිං කුහරය පොළොවේ අනෙක් පසින් වූ අහස කරා විහිද ඇතැයි ඔහුට සිතිණ. එසේ නම් මේ කඳවුරෙන් පලා යා හැකි එකම මඟ එය නොවන්නේදැයි ඔහු කල්පනා කළේය. ළිං කුහරයට පැන අනන්ත වූ කාලයක් තුළ අපරිමිත අවකාශයක් ඔස්සේ සුදු පැහැති වළාකුළු අතරින් ඇද වැටෙමින් සිටින්නට ඔහු තුළ ආශාවක් උපන්නේය.

ඔහු බොහෝ වේලාවක් ළිඳ තුළට එබීගෙන කල්පනා කළේය. හෙට දින තමන් නිදහස් කරනු ඇත්ද, නැහොත් වෙනත් බන්ධනාගාරයකට මාරු කරනු ඇත්ද යන්න ඔහුට ගැටළුවක් විය. එහෙත් මේ දෙකෙන් කුමක් සිදුවුව ද තම ජීවිතයේ එතරම් වෙනසක් සිදු නොවන බව ඔහු දැන සිටියේය. ඔහුගේ පුනරාගමනය දෑස් දල්වා අපේක්‍ෂා කරන කිසිවෙකු බාහිර ලෝකයේ නොවීය. අත් අඩංගුවට පත් වූ දින සිට ඔහුගේ ලෝකය වූයේ කටුකම්බිවලින් වට වූ මේ බිම්කඩයි. එය ඔහුගේ ජීවිතය ද විය. නමුත් එය හදිසියේම හිස් කර දමා තිබේ.

ධවල තප්ත මධ්‍යහ්න පරිසරය විසින් ඔහුගේ දෘෂ්‍යමානයේ වර්ණයන් වාෂ්ප  කර දැමිණ. අවට සුපුරුදු වස්තූන් ඔහුට තව දුරටත් පෙනුණේ දීප්තිමත් රේඛා, හැඩතල සහ අඳුරු සෙවණැලි ලෙසින් පමණි. බොහෝ වේලාවකට පසු ළිං බැම්ම මතින් නැඟිටි ඔහු දෙපා අද්දමින් ආපසු නවයේ වාට්ටුව කරා ඇදුණේය. දිය පවස දැනුනෙන් ඔහු තම ඇලුමිනියම් ජෝගුව ගෙන පයිප්පයෙන් දිය බීවේය. අනතුරුව වාට්ටුව පිටුපසට ගොස් එහි වූ සිල්පර කඳක් මත වාඩි විය. කල්පනාවේ නිමග්නව සිටි ඔහුට පාළු වාට්ටුව දෙසින් සුපුරුදු කටහඬවල් ඇසෙන්නාක් මෙන් විය. වෙහෙසක්ද, නිදිමතක් ද දැ‍නුනෙන් ඔහු සිල්පර කොටය මත දිගා වී දෑස් පියා ගත්තේය.

ඔහු අවදි වන විට සවස හතර ද පසු වී තිබුණි. තමා කිසියම් සිහිනයක් දකිමින් සිටි බව ඔහුට සිහි විය. නමුත් ඒ කුමක්දැයි මතක් කර ගැනීමට ඔහු අසමත් විය. මොහොතකට පසු ඔහු කොටය මත වාඩි වී බිත්තියට හේත්තු විය. ඔහුගේ බැල්ම නවයේ වාට්ටුවේ කටු කම්බි වැට අතරින් රිංගා ගොස් කඳවුරේ දකුණු මායිමේ කටු කම්බි වැටට ඔබ්බෙන් වූ සුදු පැහැති තාප්පය අසළ රැඳී තිබිණ. තාප්පයට එහායින් වූයේ ගම්මානයයි. එහි ආසන්නතම නිවසේ උළු වහල සුදු පැහැති මලින් පිරී ගත් අරලියා ගස් අතරින් දිස් විය.

එක්වරම තාප්පයට ඉහළින් එසැවුණු ලී කෙක්කක් ඒ මේ අත වැනී අනතුරුව මල් පොකුරක දැවටී එය බිම දැම්මේය. ඔහුට මෙය සුපුරුදු දසුනක් විය. හැමදාමත් සවස තේ‍ ජෝගුව ද ගෙන සිල්පර කොටය මත වාඩිවන ඔහුට ඉකුත් තෙවසර පුරා සතියකට කීප වරක් මේ සිදුවීම දක්නට ලැබිණ. නමුත් මෙය ඔහුගේ මතකයේ රැඳුණේ ඒ මොහොත තුළ පමණි. යළිත් අසීරුවෙන් ඉහළට එසවුණු කෙක්ක තාප්පයට ඉහළින් අවකාශයේ වැනෙන්නට විය. මල් පොකුරක් කැඩීමට ඊට බොහෝ වෙලාවක් ගත විය.‍ ඔහු එදෙස බලා සිටියේ මේ සිදුවීම පළමු වරට දකින්නාක් මෙනි. මේ මල් කඩන්නේ කවුරුන් විය හැකිදැයි ඔහුට කිසිදා සිතී නොතිබිණ. හදිසියේ හටගත් හැඟීමක් මත ඔහු නැඟී සිටියේය. කඳවුර හරහා ඔහු එදෙසට ඇදුණේ සිහිනයෙන් ඇවිදින්නෙකු මෙනි. ඔහුගේ දෙනෙක් අරලියා මල් වෙත යොමු වී තිබිණ. දැඩි හිරු රැස් ඒ මත වැටී දෑසට දරාගත නො‍හැකි ධවලමය ප්‍රභාවකින් ඒවා දිළිසුණි.

ඔහු තාප්පයට මෙහායින් වූ වැට අසළ මොහොතකට නතර විය. අනතුරුව වැටේ කොන්ක්‍රීට් කණුවක් අල්ලාගත් ඔහු කම්බිවලට පා තබමින් ඉහළට ඇදෙමින් තාප්පයෙන් එහා පැත්තට එබිකම් කරන්නට විය. අසළ මුර අටල්ලේ සොල්දාදුවා නොසරුප් වදනින් ඔහුට බැන වදින හඬ ද, රයිෆලයේ අගුල් මුදා හරින හඬ ද ඔහුට තව දුරටත් නෑසිණ.

එදින රාත්‍රියේ කඳවුර වසා දැමුණු බව ප්‍රධාන අණ දෙන නිලධාරියා මූලස්ථානයට වාර්තා කළේය.☐

අජිත් සී. හේරත්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.