JDS Sinhala

පව්කාරයන්ගේ මිටියාවත


යිබරය තුළ රමණය
සැබෑව තුළ මරණය
දින සතක් පුරාවට
නගරය යට කරගෙන
ගැලුවා රතු රුධිරය

අපි පව්කාරයෝ වෙමු
වෙනකෙකුගේ ලොවක් තුළ ඉපදුන
වෙනකෙකුගේ අණකට කීකරු වී සිටින

කුටුම්බය සුරකින ස්ත්‍රිය
දැන් සූදානම් වන්න
තහනම් ගෙඩි කෑවා නම්
කාපුවා දිරවන්න

මම නෙවෙයි ස්වාමීනි
......ඔහුයි මට ආශා ඇති කළේ
ආශාවේ අඳුරු ගුදය පල්ලට
......මාව පෙරලුවේ

අහෝ විශාඛා,
භෞතිකය තුළ ඔබ ලැබූ සන්තුෂ්ඨියක් නොමැත
........මධුවිතක ගිලී මියෙන
........කුහුඹුවෙකි මම

හිම මත හෙමිහිට
සැහැල්ලු අඩි තිය තිය
ගලා එයි අන්ධකාරය
පව්කාරයන්ගේ මිටියාවත මධ්‍යයට

වාත-මේඝ-හෙණ-හඬ-පතුරවමින

සීත සුළං ඇඟ හිරිවට්ටන
විස්කි වීදුරු දිලිහෙන

ඔහු රාජ කුමාරයෙක් නොවෙයි
.........ඔහු පිස්සු හුත්තෙක්
පස්ගොඩක උපන්
.........වීර පුත්‍රයෙක්

දිනක් ඔහු
.........උදෑසනින් අවදිව
...............විශ්වීය චාරිකාවක
දේදුන්නේ මුල සොයාගෙන

......මහ සෙනඟක් මැද
......මා දුටුවා ඔබව
..............විශ්වයේ ව්‍යාකූලත්වය

හනික එන්න
........ශිව!
........මේ යන්ත්‍රය සුණු විසුණු කරන්න
ඔබ නටන්න
...........ගාඩි කෙල්ල
...........අත් ඔසවාගෙන නටන්න
මුරුගසන් වරුසාව
කාලයේ අවසානය
අවසාන කාලය

නව ලෝකයකට
නව හිමිදිරියකට
..............අලුත උපන් දරුවෙකු ලෙසට
..............මාව පුබුදුවන්න

පිනි තැවරුණු දරුවා
තෘණ බිස්සේ පෙරළෙයි
තෘණ පෙත්තෙක් වාගෙයි

තිරයක් දිහා බලාගෙන
.............ගෙවන මේ ජීවිතය
එන්න එන්නම
.............අස්වාභාවිකයි
පෙර කවරදාකටත් වඩා
අද මට ඔබව අවශ්‍යයි

නොමඟ ගිය පෘථිවිය
............පවුරින් වට කොට
............බැඳලා තැබිය හැකිද
............සිතුවිලි

දාර දිගේ පහළට බේරෙන
...........රෝස පෙති අතර
...........කැකෑරෙන මරණය

දෙමව්පියනි!
නුඹලාගේ දුවා දරුවන්
යකඩ කුටීර තුළ සිරකොට
තරයේ අඟුළු ලා
සුරැකිව තබාගන්න

සුළි කුණාටුවක් අත ළඟ
නව යොවුන් ළමුන්
ඔසවාගෙන යන

පෙර නොවූ විරූ සංගීතයක්
හිස්ගෙඩි සුන්නත් කරන

සියලු අපල දුරු වෙන්න
තවත් බෝධි පූජාවක් තියන්න

මම නැවතත් පවසමි
..........භෞතිකය තුළ ඔබට අත් වූ
..........සන්තුෂ්ඨියක් නොමැත

උමතු පුන්සඳ
ලිහන්න ඔබේ වලා සළුව
සම්‍යයක් සේ මට ඔබව
පසක් වෙන්න

උමතු පුන්සඳ
.......ඔබට අවශ්‍යය
...............සාමයවත් කාමයවත් නොව
...............හර්ෂයවත් ප්‍රහර්ෂයවත් නොව
.............ඔබට අවශ්‍යය
...............සැබෑ ලෙසම අවශ්‍යය
...............අප්‍රතිහත ධෛර්යය

මේ මොහොතයි අපට,
...............සොරි වෙන්න
...............වෙරි වෙන්න

මෙන්න
...............ලස්සන ගැහැණිය
මෙන්න
...............අනවරත අරගලය
මෙන්න
...............රාත්‍රියේ හෘදය
මෙන්න
...............දහවලේ බ්‍රෙසියරය
මෙන්න
...............ජාතිය
මෙන්න
.................ආගම

ඒත් එක්කම මෙන්න
.................ගෝලීය ධනවාදය

පිළිගන්නෙමි ප්‍රිය මිතුරාණෙනි
.....................නුඹව සාදරයෙන්
.....................පව්කාරයන්ගේ මිටියාවතට

අපි කෙසේ හෝ
......................වැළලිය යුතුයි
.......................මේ සුනඛ හිස

 

හර්ෂ අරවින්ද


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.