අඳුරගන්නම බැරි අඳුරක
- Last Updated on 25 April 2015

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.
ගන්න ඔය
කවි රොඩුබොඩු
අහකට
ඇහිපිලි නඟන මැසිවිලි
කරදරයි තනි ඇහැකට.
ඔබට ඕනෙම නම්
රිද්දන්න?
රිද්දන්න......
මොන තරම් නම් දත් ද
මද්දන්න.
අසික්කිත හුළඟෙහිම
වැදුණාම
අතීතෙට රිදුණාම
කඳුළු එන්නැති ඇහැට
මොන තරම් සනීපද
මඳහසක හිරගෙයින්
මිදුණාම.
කසි කබල් කවි මත
හිස රැඳෙව්වට
නින්ද යන්නැති එක
මගෙ වැරැද්දද?
මොකද මේ
කලබල?
ඉවසගන්නම බැරිද
තනිකම
ඇස් වහන්නට බැරිද
තනියම?
අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.
මංජුල වෙඩිවර්ධන
© JDS





