JDS Sinhala

ගර්භාෂයක පාළුව

 

හීනිම හුළඟකට වුව
අවදිවෙන නාටු මල් ගස
කවුළුවට සන්කොට
බිඳී කළු සුදු සිහින ලොව.

ලේ සිඳුණු සඳ පළුවක්
තාරුකා දෙක තුනක් හතරක්
වලාකුළකින් කොටසක්
පෙනේ කවුළුවක හැඩයට.

කලබලයෙන් එවන ලද
චෝදනා පතක් බඳු
විද්‍යුත් ලිපියකට
සිතින් බඳිනෙමි උත්තර.

"අන්තිම පින්තූරෙ
ඔයා ඩිංගක් මහතයි.
පුතා දැන් උස ගිහිං.
දූ නම් ඔයාමයි.

එයාගෙ එකකුත් එවන්න
දුක හිතෙන් නෑ දැන් මට
පපුව හිරවෙන එක
දැන් අඩුයි, මට  පුරුදුයි.

මං නැවතිලා හිටියට
ඔයා ගිය එක තමයි හොඳ
මට විඳ ගන්න පුළුවන්
ගර්භාෂයක බොල් හඬ.

මගෙ ළඟ තියේ තාමත්
ඔයා මට එව් කවියක්
තැපෑලෙදි පොඩි වුනත්
කුරුමිණි අකුරු රසවත්.

තවදුරටත් පලක් නැති වුව
කසාද සහතිකේ පිටපත්
දික්කසාද සහතිකේ එක්ක  
එකම කවරයක තවමත්. "

උසම කන්දක මුදුනකට වුව
ඔබ වෙසෙන දෙස නොපෙනෙයි
මහාද්වීපෙක වෙසෙන ඔබහට
දුපතක දුක නොදැනෙයි.

 

රසිකා ගුණවර්දන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.