සමුගැනීමේ තිළිණය
- Last Updated on 20 February 2015

නත්තල් සමයෙහිදී ඔබ
තැබුවෙහිය මහදෙහි
දින පොතක්
එතුළ එය බිඳිණි
මිලියනයක් නිමේෂයකට
දැවෙන රුදු වේදනා
අපේක්‍ෂාවෙන් මඟ බලා සිටින
කුරිරුය ඒ තිළිණය
දැන් ඔබට
වියෝ වී සිටිය හැක
වසරක්ම
ඉනුත් පසු වුව
නොදනිති ද ඔබ එය
පිපිර ගිය දින පොතෙහි
කැබලි සුන් බුන්
ඉතිරි වේ වැළලී
ඇට මිදුළු තුළ
මුසුව අන් මතකයන් හා
නත්තල් සමයෙහිදී ඔබ
දුන්නෙහිය මට දින පොතක්
නව වසර මහළු වී යන්නටත් පෙර,
එද එහි,
සුදෝ සුදු පැහැති
හිස් පිටු විලස
මමද මළගිය අයෙක් විමි
රිචඩ් ද සොයිසා
අනුවාදය: දයාසේන ගුණසිංහ (1992)





