දිවා උණුහුමට යටව
- Last Updated on 12 February 2015

නගරයේ කුලී කාමරයක
දිවා උණුහුමට යටව
ඔබ හුදකලාව හිඳින කලට
ගිනි උඳුනක් මෙන් දැවෙමින්
වරුසාව අපේක්ෂාවෙන් කවුළුව අසළ
කරාමයෙන් ජල බිංදු ගැලවී වැටෙයි
රත් ව ගිය අලුමීනියම් බේසමට
කුණුවෙන ඇම්බුම් ගෙඩිය
කෑම මේසය මත මැස්සෙක්
ශීතකරණයේ තව කිරි පැණි ඉතිරි ද?
පයෝධර තරමට විසාල තැඹිලි
තැඹිලි තරමට විසාල පයෝධර
තැඹිලි වතුර බේරෙයි
තැඹිලි කපන ගැහැණිය දිගේ
රෙදි වැලේ යට ඇඳුම් දැන් වේලිලා ඇති ද?
ගලවා දැමිය යුතු ය මේ නයිටිය
දහදියෙන් තෙත් ව ගිය
තව රින්සො පැකැට්ටුවක් ගෙන ආ යුතු ය
තව පාරක් නා ගත යුතු ය
උහුලන්නට බැහැ මේ ඌෂ්ණය
හර්ෂ අරවින්ද සිල්වා
© JDS





