JDS Sinhala

මං තනන්නා

 

 

මේ මග කොයිබටද
කිසිදිනක නොමදැන
මං තනන්නා නුඹය.
රථ රෝදයට යටව
වැළි කැටය නඟන හඬ
අසා සිටින්නා නුඹය.
කළු තාර වත්කෙරෙන
ගල් රෝලයේ බර හිස දරන
උණුවෙන සිතැත්තා නුඹය.

අනුන්ගේ මග ලකුණු
පරිදි මහ මං තනන
අණ ලැබෙනතුරු හිඳින
අතුරු පටු මග දිගේ
මද දුරක් ඇවිද යන
බීඩියක දැල්වෙනා
රතු දැල්ල දෙස බලන

බොරළු ගල්කැට අතර
මිණි කැට හිරුට දිලෙන
කණින මහපොළොව යට
ප්ලාස්ටික් දිවිගෙවන
මේ මග තැනූ පසුව
ගමනාන්තය නොදැන
කවුරු හෝ මග කියාවිය සිතන

කියග මං තනන නුඹ
මෙතෙක් දුර ආ මග ගැන
මග වැරදි ගිය තැන
හරිමග කියූවෙද දන
දන නොදත් මං තනන
අතරමං වූ රටෙක
මෙතෙක් මග කියූ වුන්
අනුන්ගේ මගසරන

වල ගොඩැලි නැති බිමෙක
රථ රෝදයට පවා
මුදුව දැනෙනා විලස
මං තනන්නා නුඹය
තමන් යන මග නොදැන
මගවරද්දන අයට
හැමදාම මග සදන


කපිල එම්. ගමගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.