වසන්තයේ පළමු මල
- Post 23 January 2015
සිසිරයේ දවසක
කලාතුරකින් කෙනෙකු යන එන
කැලෑබද මංකඩක
පනු කපුටු ගිජු ඇසට වැසෙමින්
දිමි කුහුඹු තියුණු තුඩු ඇනෙමින්
ගිලාන ව
මලානික පැහැයෙන්
වසන්තයෙ පළමු මල
දිගු සිසිර නින්දෙන් ඇහැරෙයි.
කුඩා හිරු පොද පවා
මිදී ගුලි ගැහෙන තද සීතලේ
වකුටු වී නිදන නෑසියන් දැක
උන් ව ඇහැරවනු වස්
දුබල කෙඳිරිලි හඬින් අමතයි.
මලින්
මල
ඇහැරී
හෙට උදා යාමයට
නුවර උයන ම සුපුෂ්පිත වන කල,
උයන්පල්ලන් අතින් පොහොර ලැබ
තුනු ලියන් මුදු ඇඟිලි පහස විඳ
තරඟයට නැගෙනා තුරුණු සොබමන් මල්
නරඹනා මෙ'නුවර කිසිවෙක්
වසන්තයෙ පළමු මල නො දකියි.
වසන්තය නිමා වන්නට පෙර
එක්තරා සවසක
උයන් බිම දෙස හැරී
කුළුණු මඳ සිනාවක් පළ කොට
වසන්තයෙ පළමු මල
පර වෙයි.අනුරාධ මහසිංහ
© JDS