JDS Sinhala

කෝනේස්වරීලා

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප්' පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන්ට එරෙහිව 1997 මාර්තු මාසයේදී, කල්මුණේ පෙරියනිලාවනි හි 11 වැනි කොළණියේ ජීවත් වූ 35 හැවිරිදි සිවු දරු මවක් වන මුරුගේසුපිල්ලෛ කොනේස්වරී ස්ථාන භාර නිලධාරියාට පැමිණිල්ලක් කළාය. ඒ, සිය නිවස ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළ පසුකොට යන එන වාරයක් පාසා තමන් හිරිහැරයට පාත්‍ර කරන පොලිස් භටයන් සිය ගෙවත්තේ වූ කොහොඹ ගසක් බලයෙන් කපාගත් බව ය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දුවක් ඇයට ලැබුණි.

දෙමසක් ඇවෑමෙන්, 1997 මැයි 17 වැනිදා රාත්‍රී 11ට පමණ ඇයගේ නිවසට කඩා වැදුණු අවිගත් පොලිස් සෙබළුන් දස දෙනෙක් ඇයගේ දෙහැවිරිදි බාල දියණිය ඉදිරිපිටම ඈ සමූහ අතවරයට ලක් කළහ. අනතුරුව ඇයගේ යෝනි මාර්ගය තුළට අත් බෝම්බයක් දමා පුපුරවා ඇය මරා දැමූහ. කල්මුණේ රෝහලට රැගෙන ගිය මෘත දේහය සම්බන්ධයෙන් කිසිදු මරණ පරීක්ෂණයක් නොපැවැත්වුණු අතර එය මිහිදන් කිරීමට ඇයගේ ඥාතීන්ට අණ කෙරුණි. ඇය පොලිසිය සහ දෙමළ සටන්කරුවන් අතර වෙඩි හුවමාරුවකට මැදිව මිය ගිය බව කී පොලිසිය දෙවනුව ෂෙල් ප්‍රහාරයකින් ඇය මියගිය බව කීහ.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නියමයෙන් ආරම්භ කළ විර්ශනයට අනුව පළමු මහේස්ත්‍රාත් පරීක්ෂණය 1997 ජූනි මාසයේ පැවැත්විණ. 'ඇයගේ මරණයට හේතුව, අත් බෝම්බයක් පිපිරීමෙන් පසු සිදු වූ අධික ලේ වහනය" යැයි මහේස්ත්‍රාත් නියමයෙන් යළිත්  ගොඩගත් මළ සිරුර පිළිබඳව මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්‍ය කුමුදුනී තුරෛරත්නම් කියා සිටියාය. තර්ජන හේතුවෙන් අඩුම වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි දීමෙන් වැළකී සිටියහ.

ඇයගේ මරණයෙන් සිව් වසරකට පසු, 2001 ජූනි මාසය වන විටත්, සාක්ෂිකරුවන් නොමැතිකමින් අධිකරණ විභාගය අඩාල වී තිබුණි.

එයින් දෙමසක් ඇවෑමෙන්, 2001 අගෝස්තු 20 වැනිදා මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට මොහොතකට පෙර, සෙන්ට්‍රල් කෑම්ප් පොලිස් ස්ථානයට කඩා වැදුණු දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ නැගෙනහිර කාන්තා බලකායන්ට අනුයුක්ත ගරිල්ලා සෙබළියන් විසින්, අවම වශයෙන් පොලිස් භටයන් 16 දෙනකු ඝාතනය කර කඳවුර සහමුලින්ම විනාශ කරන ලදී.

"කෝනේස්වරීගේ ඝාතනයට පලිගැනීමට අපට අවශ්‍ය විය. ඇය අතවරයට පත්කොට සාහසික ලෙස මරා දැමූ පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විනාශ කරන්නට ලැබීම අපට ආඩම්බරය"ක් යැයි නැගෙනහිර එල්ටීටීඊ කාන්තා අංශයේ දේශපාලන නායිකා භානුකා පසුව කියා සිටියාය.

කෝනේස්වරීගේ මරණයෙන් දිනකට පසු, 1997 මැයි 18 වැනිදා, බී. සිවකුමාර්ගේ සංස්කරණයෙන් කොළඹ දී ප්‍රකාශනයට පත්කෙරුණු 'සරිනිහර්' පත්‍රයේ 'කලා' නමින් මුල්වරට පළ වූ මෙම කවියේ සිංහල ඡායානුවාදය, පළමුවරට පළ වූයේ එම වසරේම ඔක්තෝබර් මාසයේ 'හිරු' සඟරාවේ ය.



යේ
ඈ මරා දැමූ පුවත
මා වේදනාවෙන් නොපෙළීය …
හැඟුම් ගල් වී මිදුණු විට
වේදනාවන් දැනෙන්නෙ කෙලෙසද?

ආදරණීය දෙමළ කතුනි,
මේ දිවයිනේ සාමය පිණිස
ඔබ කර ඇත්තේ කුමක්ද?
ඉදින් පෙරට එන්න …
උනා දා ඔබේ ඇඳිවත්
නිරුවත්ව හිඳ ගන්න…,
ඔව්, ඔබත් මගේ අම්මේ…..

සාමය සඳහා යුද වදින්නන්ට
ඔබේ යෝනි මාර්ග
විවෘත කරන්න….
බුදුන්ගේ සඵලත්වය පිණිස
ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ඨීන්
වෙන කොහේ නම් වගුරුවන්නද?

රණකාමියනි, එන්න,
ඔබේ කාමුක ආශාවන්
සතපවා ගන්න ….
මගේ පසුපසින් මේ
පාසැල් යන මගේ නැගණියයි…
සියල්ල නවතාලුයේද?
එපා නවතන්න!

එසේ වුවහොත්
අපව දුෂණයෙන්
දළුලා පැන නැගෙන්නේ
හෙට පරම්පරාවන් ය …

එබැවින්,
ඔවුන්ගේ යෝනි මාර්ගයන්
අත් බෝම්බ ලා
පුපුරවා හරින්න ….
සෑම කැබලිත්තක්ම ගෙන
හැකිතාක් ගැඹුරේම වළලන්න…
යළිත් නොනැඟිටිනු පිණිස
අපේ ජාතිය ….

සිංහල සහෝදරියනි….
ඔබේ යෝනි මාර්ගයන්ගේ සේවය
අවශ්‍ය නොවේ
දැනට…!

 

කලා


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.