JDS Sinhala

1971 අප්‍රේල්: බ්‍රිතාන්‍ය, චීන, ඇමරිකානු හා සෝවියට් අවි තොග ලංකාවට ගොඩබායි - III


පළමු කොටස: 'ලංකාවේ බහුජන මුහුණුවර ප්‍රමෝදයේ සිට වියවුල දක්වා'
දෙවැනි කොටස: කැළණි ගංගාවේ පාවූ තරුණ මළසිරුරු සෙබළුන් විසින් පුළුස්සා දැමූහ

ඉන්දු උපමහාද්වීපික කලාපය සසළවා ලූ සමාජ පිපිරීමක් සේ සැළකුණු 1971 අප්‍රේල් කැරැල්ලෙන් පස් මාසයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ වාමාංශික ශාස්ත්‍රඥයකු වූ ෆ්‍රෙඩ් හැලිඩේ විසින් ලියන ලද The Ceylonese Insurrection නැමති මුල් ලිපිය පළමුවෙන් පලවූයේ New Left Review සඟරාවේ 1971 සැප්තැම්බර්/ඔක්තෝබර් කලාපයේ ය. රොබින් බ්ලැක්බර්න්ගේ සංස්කරණයෙන් 1975 දී පලකළ Explosion in a Sub Continent නම් කෘතියෙහි යළිත් සකස් කොට පලකරන ලද එම දීර්ඝ ලිපියෙහි සිංහලට නගන ලද සංක්‍ෂිප්ත පරිවර්තනයක්, 1971 අප්‍රේල් නැගිටීමට 25 වසරක් පිරීම සමරනු වස් ‘හිරු’ සඟරාවේ 1996 අප්‍රේල් මස කලාපයේ පළමුවරට පළ වූ අතර අප්‍රේල් නැගිටීමෙන් 50 සම්පූර්ණ වීම නිමිත්තෙන් යළි පළකරන ලද එම ලිපියෙහි අවසාන කොටස මෙහි පළ වේ.


නැගිටීම සිදු වූ දිනවල ලංකාවේ සිටි රෙනේ දුමෝ (René Dumont) ට අනුව 8000ක් පමණ මරා දමා තිබිණ. ".....කිසිවක් කර කියාගත නොහැකි වූ සිය ගණනක් වූ ජනයා බලාසිටියදී අප්‍රේල් 13 වැනිදා අගනුවර උතුරු ප්‍රදේශය හරහා පහළට පාවී යන මළ සිරුරු වික්ටෝරියා පාලම මත සිට මම දුටිමි. ඔවුන් මරා දැමූ පොලිස් හමුදාවන් ඔවුන් ගඟේ පහළට පාවී යන සේ හෙළා තිබුණේ ජනයා භීතියට පත්කිරීම පිණිස" යැයි දුමෝ ලීවේය (Le Nouvel Observateur - 1971 අප්‍රේල් 23). 

1972 බන්ධනාගාරයේ සිට ප්‍රකාශයක් කළ විජේවීර, විප්ලවවාදින් 15,000 කුත් ඒ මෙන් දෙගුණයක් අහිංසක ජනතාවත් මරා දමා තිබෙන බව කියා සිටියේය. වෙනත් ඇස්තමේන්තු අනුව මියගිය ප්‍රමාණය නිල සංඛ්‍යාව වූ 12,000 සිට 50,000 තරම් ඉහළ සංඛ්‍යාවක් දක්වා විහිදෙයි. 

මැයි මාසයේ මුල් භාගයේදී 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත වාර්තා කර සිටියේ, "තමන් කැරැල්ල සාදරයෙන් පිළිගන්නා බව" හමුදාවේ මේජර්වරයෙකු කියා තිබූ බව ය. "අපට සැබෑ යුද්ධයක් කිරීමේ අවස්ථාවක් මේ රටේදී මෙතෙක් නොලැබිණැ"යි ඔහු කියා තිබිණ. "....පසුගිය වසර ගණනාව තුළ අපි පඹයන්ට වෙඩි තබමින් සිටියෙමු. නමුත් දැන් අපි සැබෑ භාවිතාව සඳහා යොදවා තිබේ,"යැයි ඔහු කීබව වාර්තා විය. ඇත්ත වශයෙන්ම කිවහොත් හමුදාව කුලප්පු වී තිබුණි. "ප්‍රමාණයෙන් අධික වූ හා සූදානමකින් තොරව සිටි ලංකාවේ පොලීසිය හා හමුදාවන්, හොඳින් සංවිධානය වූ තරුණ කැරළිකරුවන් මර්දනය කිරීමේ උවමනාවෙන් මහජනයා අත් අඩංගුවට ගැනීම්, වධබන්ධනයට ලක්කිරීම්, ඝාතනයන් හා වෙනත් භීෂණකාරී උපක්‍රමවල පිහිට සොයන්නට වී තිබේ," යැයි 1971 අප්‍රේල් 25 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පත වාර්තා කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය: ඇත්ත සහ බොරුව

අප්‍රේල් සහ මැයි මාසවලදී පවත්වාගෙන ගිය මෙම රාජ්‍ය මර්දනයට, පෙර නොවූ විරූ ආකාරයේ අන්තර්ජාතික මිත්‍ර කණ්ඩායම්වල ප්‍රබල සහයෝගයක් ලැබිණ. සිය දේශීය 'සමාජවාදය' වනාහී දුර්වල ප්‍රයෝගයක් බව සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙන්නුම් කර තිබිණ. එහි විදේශ ප්‍රතිපත්තිය ද ඒ හා සමානවම රැවටිලි සහගත එකක් බව අප්‍රේල් නැගිටීම කෙරෙහි දැක්වූ එහි ප්‍රතික්‍රියාවන් මගින් අනාවරණය විය.

ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවේදී, දකුණු අප්‍රිකාවට ආයුධ විකිණීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රතිපත්තියට සිරිමාවෝ බණ්ඩාරනායක විරෝධය පළකර සිටි නමුත් දකුණු අප්‍රිකාව සහ ලංකාව අතර වූ වෙළඳ ගණුදෙනු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබූ අතර, අප්‍රේල් මාසයේදී ඇය ලද පළමු විදේශ අවි ආයුධ තොගය ලංකා ගුවන් සේවයට අයත් ට්‍රයිඩන්ට් යානයකින් ගෙන එන ලද්දේ සිංගප්පූරුවේ පිහිටුවා තිබූ බ්‍රිතාන්‍යයට අයත් හමුදා කඳවුරෙනි. මෙම මුල්ම සැපයුම් අතරට සිංගප්පූරුවේ ගබඩා කර තිබූ කුඩා අවි අඩංගු වූ අතර, පළමු තොගය දිවයිනට ළඟා වූයේ නැගිටීම ඇරඹී දින හතරකින් පසු අප්‍රේල් 10 වැනිදා ය. හෙලිකොප්ටර් යානා සඳහා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අප්‍රේල් 11 වැනිදා බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කර සිටි අතර, බෙල් ජෙට් රේන්ජර් යානා හයක් ලංකාවට සැපයීමට ඔවුහු එකඟවී තිබුණාහ. බ්‍රිතාන්‍ය සතුව මෙම යානා නොවූ හෙයින්, ඩොලර් 100,000 බැගින් වූ මිලකට එක්සත් ජනපදයෙන් මෙම යානා ලංකාවට මිලදී ගෙනදුන් බව අප්‍රේල් 22 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ නිල ප්‍රකාශයකින් හෙළිවිණ. එක්සත් ජනපදයද හෙලිකොප්ටර් යානා සඳහා වන අමතර කොටස් එවීය. 


මේ අතරතුර ඉන්දියාව හා පාකිස්ථානය ද ආයුධ මෙන්ම කැරළි මර්දන විශේෂඥයන් ද ලංකාවට එවීමට කටයුතු කර තිබිණ. බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය අනුව යමින් තමන්ද ලංකාවට ආයුධ එවීමට කටයුතු කරන බව අප්‍රේල් 21 වැනිදා ඕස්ට්‍රේලියාව නිවේදනය කර සිටියාය. සෝවියට් ප්‍රතිචාරයද ඒ හා  සමානවම ඉක්මන් හා උද්යෝගීමත් එකක් විය. අප්‍රේල් 17 වැනිදා ලංකා ගුවන් සේවයට අයත් ට්‍රයිඩන්ට් යානයක් ඊජිප්තුවේ පිහිටුවා තිබූ සෝවියට් අවි ගබඩාවලින් ටොන් නමයක අවි තොගයක් ගෙන ඒමට කරච්චි සහ බහරේන් හරහා කයිරෝ නුවර වෙත පිටත්ව ගිය බව 1971 අප්‍රේල් 18 වැනිදා 'ඩේලි ටෙලිග්‍රාෆ්' සහ 'හින්දු' පුවත්පත් වාර්තා කළ අතර අප්‍රේල් 20 වැනිදා ටෂ්කන්ට් සිට සෝවියට් කාර්මික ශිල්පීන් 63 දෙනකු හා දැවමුවා පෙට්ටි තුළ අසුරනු ලැබූ හෙලිකොප්ටර් යානා රැගත් ඇන්ටනොව් ප්‍රවාහන යානා 4ක් ලංකාවට ළඟා වූ බව අප්‍රේල් 21 වැනිදා 'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පත වාර්තා කළේය. අප්‍රේල් 21 වැනිදා මිග් 17 වර්ගයේ යානා 6ක් ඇන්ටනෝව් යානා මගින් ගෙනඑනු ලැබූ බව අප්‍රේල් 22 වැනිදා, 'හින්දු' පුවත්පතෙහි වාර්තාවකින් හෙළිවිය. ජවිපෙට එරෙහිව ප්‍රහාරක මෙහෙයුම්වල නිරතවීමෙන් සෝවියට් ගුවන් නියමුවන් වැළකී සිටි අතර ඉදිරියේ හටගත හැකි නැගිටීම් හමුවේදී අවශ්‍ය ලාංකීය ගුවන් නියමුවන් පුහුණු කිරීමට පමණක් ඔවුහු එකඟවූහ. තමන් යුද ටැංකි 20ක් එවීමටද කටයුතු කරන්නේ යැයි මැයි 6 දා සෝවියට් සංගමය නිවේදනය කර සිටි බව එදිනම පළ වූ 'ෆයිනැන්ෂියල් ටයිම්ස්' පත්‍රය වාර්තා කළේය. විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශයේදී ලුතිනන් කර්නල් රණතුංගට ප්‍රයෝජනවත් වූ කඳුකර සටන් සඳහා යොදාගන්නා කාලතුවක්කු 'නොබැඳි ජාතීන්ට' අයත් සිය විශ්වසනීය රටට සැපයීමට යුගොස්ලාවියාව ද කටයුතු කළ බව අප්‍රේල් 22 දා 'ද ටයිම්ස්' පත්‍රයේ වාර්තාවක පළවිය.

මෙම සැපයුම් යම් හෙයකින් ප්‍රමාණවත් නොවුණි නම් අවශ්‍ය වන පොලී රහිත රුපියල් මිලියන 150ක ණයක් හදිසි ආර්ථික ආධාර වශයෙන් චීනය විසින් ලංකාවට ලබාදුන් වග අප්‍රේල් 26 වැනිදා නිවේදනය කරනු ලැබුණි.  මෙම ණය මුදල් මගින් ලංකාවේ ප්‍රතිවිප්ලවය සඳහා වූ සෘජු සහ ඉක්මන් සහයෝගය ප්‍රකට විය. මේ සමග සිරිමාවෝ බණ්ඩාරනායක වෙත එවන ලද චෞ එන් ලායිගේ පෞද්ගලික පණිවුඩයක් ද වූ අතර එමගින් ජවිපෙ නායකත්වයෙන් යුතු මහජන කැරැල්ල මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ ධනපති ආණ්ඩුවට දිරිගන්වන සුළු ආශිර්වාදය පළ කරනු ලැබුණි. එහෙත් ජනතාව නැගී සිටිය විට, ඔවුන්ගේ ක්‍රියාවන් වැරදී යා හැකි අනතුරු සහිත වුවද, මාක්ස් පැරිස් කොමියුනය සම්බන්ධයෙනුත්, ලෙනින් සුප්‍රකට ජූලි දිනවලදිත් ක්‍රියාකළ ආකාරයට විප්ලවවාදීන් ඊට සහාය පළ කිරීම අවශ්‍යම විය. 

පීකිං හිතවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී), චීනයේ ක්‍රියාමාර්ග ප්‍රශංසාවට ලක්කළේය. 'ආණ්ඩුව මුළුමණින්ම අධිරාජ්‍යවාදී කඳවුරට ලිස්සා යාම වළක්වනු ලැබුවේ චීනයේ නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම සහ ඔවුන්ගේ ත්‍යාගශීලී ආධාරය විසිනැ'යි පක්ෂයේ ලේකම් ෂන්මුගදාසන් සිදුවීම්වලින් පසුව ලීවේය.

නොනවතින ආර්ථික අර්බුදය

සිරකරුවන් රඳවාගෙන තබාගනිමින්, දේශපාලන ක්‍රියාකාරීත්වය යටපත් කරන අතරතුර අප්‍රේල් අර්බුදයට පිටුබල දුන් නොනවතින ආර්ථික අර්බුදයට ද මුහුණ දීමට ආණ්ඩුවට සිදුවිය. 1971 නොවැම්බරයේදී ඉදිරිපත් කළ පෙරේරාගේ අයවැය දිග්ගැසුණු විලාපයක් විය. කැරැල්ල විසින් සිදුකළ සම්පූර්ණ අලාභය රුපියල් මිලියන 100ක් බව සිරිමාවෝ බණ්ඩාරනායක විසින්ම දක්වා තිබුණි. එය පෙරේරා විසින් රුපියල් මිලියන 400 දක්වා ඉහළ දමනු ලැබූ අතර, ආර්ථික තත්ත්වය පිළිබඳව දෝෂාරෝපණය ජවිපෙට එල්ල කෙරුණි. 1971 ශ්‍රී ලංකාවේ තත්ත්වය නව ආර්ථික ප්‍රතිපත්ති (New Economic Policy - NEP) ක්‍රියාත්මක කළ රුසියාව සමග සංසන්දනය කිරීම සඳහා අයිසැක් ඩොයිෂර් විසින් ලියන ලද 'ස්ටාලින්' කෘතියෙන් උපුටා දැක්වීම කළ හෙතෙම, 'සමාජවාදය පිහිටුවීම සඳහා කල් ඉල්ලා කන්නලව් කළේය.


1972 - 73 වනවිට හමුදාව සඳහා කෙරෙන වියදම් රුපියල් මිලියන 81 සිට රුපියල් මිලියන 152 දක්වා ඉහළ නැඟුණු අතර, නාවික හමුදාව සඳහා කෙරෙන වියදම් මිලියන 24 සිට මිලියන 37 දක්වා ඉහළ නැංගේය. අවි ආයුධ සහ පතරොම් මිල දී ගැනීම සඳහා වූ වැය රුපියල් මිලියන 1.5 සිට 4.8 දක්වා වැඩිවිය. හමුදාව සහ පොලිසිය 25%කින් පුළුල් කෙරුණි.

විදේශ පිළිවෙතේදි ආණ්ඩුව විසින් එක්සත් ජනපදය හා චීනය යන දෙරට සමග ඇති සිය සම්බන්ධතා ශක්තිමත් කරනු ලැබීය. 1972 මුල් භාගයේදී එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන සේනාංකයේ නෞකා කොළඹ කරා ගමන්වාර කිහිපයක්ම සිදුකළහ. පළමුව ළඟා වූ ටොන් 18,000ක් බරැති USS Mobile සැපයුම් නෞකාව, ඩොලර් මිලියන තුනක් වටිනා යුදමය ආධාර රැගෙන ආ අතර යුද ටැංකි, හෙලිකොප්ටර් යානා සහ ප්‍රවාහන ගුවන් යානා පසුව ගෙනඑන ලදී. මාර්තුවේදී එක්සත් ජනපදයට අයත් පැසිෆික් නාවුක සේනාංකයේ අද්මිරාල් ජෝන් මැකේන් ලංකාවේ දින හතරක චාරිකාවක යෙදුණේය. වියට්නාම් ජනතාවට එරෙහි මිනීමරු නාවුක යුද ප්‍රහාරයන්ගේ අණදෙන නිලධාරියාව සිටි හෙතෙම, සිරිමාවෝ බණ්ඩාරනායක විසින් සාදරයෙන් පිළිගන්නා ලදී. 

ඒ අතරතුරදීම මහජන චීනය සමග වන සබඳතා ශක්තිමත් කිරීම වර්ධනය වූ අතර, එය ඊට පෙරාතුව තහවුරුව තිබූ  චීන - ශ්‍රී ලංකා සම්බන්ධතාවන්ගේ සීමාව ඉක්මවා ගිය ආකාරයේ එකක් විය. අප්‍රේල් මාසයේදී සපයන ලද ආර්ථික ආධාරවලින් පසුව මිලිටරි ආධාර සැපයීම දක්වා ද, චීනය පෙරට ගියාය. දෙසැම්බරයේදී චීනය විසින් රොකට් අවි සවිකරන ලද අධිවේගී බෝට්ටු යාත්‍රා පහක් ලංකාවට ලබාදෙන ලද  අතර සිරිමාවෝ බණ්ඩාරනායකට අනුව නම් ලංකාවේ 'අභ්‍යන්තර ආරක්ෂාවට' සහාය වීම සඳහා අවශ්‍ය තුවක්කු සහ පතරොම් ද 1972 මැයි මාසයේදී එවන ලදී.

වරද කොතැනද?

ලාංකීය නැගිටීම පිළිබඳව වන කවර හෝ පරිපූර්ණ තක්සේරුවක් සඳහා ලාංකීය දේශපාලනයේ දිගුකාලීන වර්ධනයන් දෙස බලා සිටිය යුතු ය. නමුත් ඇතැම් ප්‍රතිඵල දැනටමත් පැහැදිලි ය. අප්‍රේල් නැගිටීම වූ කලී රාජ්‍ය බලය අත්පත් කරගැනීම සඳහා වූ උන්නතිකාමී සහ උසස් ලෙස සංවිධානය වූ ප්‍රයත්නයක් විය. නමුත් එය එම ඉලක්කය සාධනය කරගැනීමට අපොහොසත් විණ. සති තුනක් පුරා පැතිරුණු යුධමය ක්‍රියාමාර්ගවලින් අනතුරුව ධෛර්යසම්පන්න ලාංකීය විප්ලවවාදීන් ආරක්ෂාකාරීත්වය දක්වා තල්ලු කෙරුණේය. දහස් ගණනක් වූ සටන්කාමීන් එක්කෝ ඝාතනය කෙරිණ; නැතිනම් තුවාල ලැබීමට හෝ අත් අඩංගුවට ගැනීමට පාත්‍ර විය. ජවිපෙ සෘජු කොටස්කරුවන් නොවූ ලාංකීය තරුණයන් නොදන්නා තරම් සංඛ්‍යාවක් ද මරාදැමුණි. ජවිපෙ බරපතල ප්‍රහාරයකට ලක්වී තිබිණ. එවැනි ප්‍රහාරයක් විසින් ලාංකීය විප්ලවවාදී ව්‍යාපාරය වසර ගණනාවකින් පසුපසට ඇද දැමීමක්, හෝ ජවිපෙට සහය දක්වනු සඳහා උද්යෝගිමත්ව නැගී සිටි ජනතාවන් ත්‍රස්තයට හෝ අධෛර්යයට පත්කිරීමටද ඉඩකඩ තිබේ. නැගිටීම විසින් ලාංකීය රජය සහ එහි ජාත්‍යන්තර සගයන් සුපරීක්ෂාකාරීත්වයට ගෙන ආ අතරම ඔවුන් දරදඬු කිරීමට ද හේතු විය. (රෙජිස්) දෙබ්‍රේගේ වචනයෙන් කියන්නේ නම් එය විසින් "ප්‍රති-විප්ලවය විප්ලවීයකරණය" (revolutionised the counter-revolution) කළේය.


එය එසේ වුවද, ලාංකීය නැගිටීම කවර අරුතකින් හෝ කුමන්ත්‍රණයක් නොවීය. නැගිටීමෙහි හදිසි ස්වරූපය විසින් මතුපිටින් පෙන්නුම් කෙරෙන   'බ්ලොන්කිවාදී' * ස්වභාවය තිබියදීත්, එය දිළිඳුභාවයේ ගිල්වූ ගම්බද ජනයා ධනපති රජයකට එරෙහිව පෙරමුණු සංවිධානයක් විසින් මෙහෙයවුණු මහජන නැගිටීමක් විය. එය අසාර්ථක වූයේ ඇයි? කිසිදු විප්ලවයක සාර්ථකත්වය පිළිබඳ සියයට සියයක විශ්වාසය තැබිය නොහැකි මෙන්ම එහි තාවකාලික පරාජය යනු කිසිදු විටෙක එවැනි උත්සාහයක් නොදැරිය යුතුව තිබුණේය යන්න සාධනය කරන්නක් ද නොවේ. නමුත් නැගිටීම දියත් කරනු ලැබූ තත්ත්වයන් හා එහි ආකාරය විසින්ම එහි සාර්ථකභාවය සඳහා වූ අවස්ථාවන් සීමා කළ අතර, සාර්ථක සමාජවාදී නැගිටීමක් සඳහා වන පූර්ව කොන්දේසීන් පිළිබඳ වන දැඩි ලෙනින්වාදී අවධාරණයන්ගේ වලංගුභාවය, නැගිටීම විසින් තහවුරු කරනු ලැබුණි. මුලින්ම, දේශපාලනිකව ගත්කළ ජවිපෙ අභ්‍යන්තර ව්‍යුහය ලිහිල් හා අක්‍රමවත් එකක් වූ බව පෙනෙන්නට තිබිණ. එය ලෙනින්වාදී පක්ෂයක් නොවීය. ලිහිල් ලෙස සංවිධානය වූ කණ්ඩායම් එහි නායකත්වය තුළම විය.

යුදමය මට්ටමේදී ජවිපෙ අවාසිදායක තත්ත්වයක සිටියේය. වර්ධනය වූ, ජාත්‍යන්තර අවි සැපයුම්කරුවන්ගේ සන්ධානයක උපත වැළැක්වීමට එයට පුළුවන්කමක් නොතිබිණ. නැගිටීම පිළිබඳ වූ අත්‍යවශ්‍ය ලෙනින්වාදී පූර්ව කොන්දේසි අනුව වූ හමුදාවන් අතර ඔවුන්ගේ වැඩ කිරීම, ආණ්ඩුව විසින් අගෝස්තුවේ සිටම ප්‍රවේශමින් කළ සෝදිසි නිරීක්ෂණයන් මගින් වළකනු ලැබ තිබුණේය. එනිසාම නැගිටීම අතරවාරයේදී පොලීසිය හෝ හමුදාවේ සැළකිය යුතු තරමේ දුර්වලවීමක් නොවීය. එමෙන්ම ආයුධ සපයා ගැනීම සම්බන්ධයෙන් වූ ජවිපෙ හැකියාව දුර්වල එකක් විය. සතුරාගෙන් ආයුධ ලබාගැනීම පිළිබඳ සාම්ප්‍රදායික විප්ලවීය භාවිතය දිග්ගැසුණු ගරිල්ලා යුද්ධයකදී නම් ප්‍රමාණවත් වන නමුත්, සන්නද්ධ නැගිටීමක් සම්බන්ධයෙන් වන ඉක්මන් පහරදීමකදී නවීන අවි ඉක්මනින් අත්පත් කරගැනීමට විශාල වටිනාකමක් හිමි වූ අතර ජවිපෙ ප්‍රහාරයේ මුල් දින කීපයේදීම මෙම තත්ත්වය අත්කරගෙන තිබුණු බවක් පෙනෙන්නට නොවීය.

අවසාන සහ වඩාත්ම මූලිකම බාධාව වූයේ, රටපුරා විහිදුණු නැගිටීමක් සඳහා අත්‍යාවශ්‍ය වූ සමාජ පදනම ජවිපෙ සතුව නොතිබීම ය. එය ස්ථිර ලෙසම පැළපදියම්ව තිබුණේ පහතරටත්, මධ්‍යම කඳුකරයේ සහ ගිණිකොන දිග ප්‍රදේශයේත් ජීවත් වූ සිංහල ගොවීන් අතර ය. ග්‍රාමීය දෙමළ නිර්ධනයන් හා නාගරික නිර්ධනීන් සමග සම්බන්ධතා වැඩිදියුණු කිරීම එය විසින් ආරම්භ කොට තිබුණා පමණි. එපමණක් නොව, කොළඹදී සැළකිය යුතු කැරළිකාරිත්වයක් නැතිවීම ගම්බද ප්‍රදේශවල නැගීසිටීමට තිබූ අවස්ථා සඳහා මරණීය හානියක් කරනු ලැබුවේ එය විසින් මුල් දින කිහිපයෙන් පසු ගම්බද ප්‍රදේශවල සිය යුධ යන්ත්‍රයන් මුළුමනින්ම සන්නද්ධ කොට විහිදුවාලීමට ආණ්ඩුවට ඉඩ ලබාදුන් හෙයිනි. වතු කම්කරුවන් හුදකලා කරනු ලැබීමේ තේරුම වූයේ දිවයිනේ ආර්ථිකය සතු මූලික නිෂ්පාදන අංගයන්ට නැගිටීම විසින් බලපෑමක් නොකළ බව ය. නාගරික කම්කරු පංතිය නැගිටීම කෙරෙහි දැක්වූ ආකල්පය පැහැදිලි නොවුණු එකක් විය; ඔවුන්ගෙන් ඇතැම් කොටස්, ප්‍රතිසංස්කරණවාදී වෘත්තීය සමිති නායකත්වයන් විසින් ව්‍යාකූල හා මුලාකරනු ලැබිණ. 

ව්‍යාපාරය පිටුපස වූ ශක්තිය ලැබුණේ සිංහල ගොවි ජනයා අතර වූ අපේක්ෂාභංගත්වය මගින් වූ අතර, ජවිපෙ විසින් ප්‍රකාශයට පත් කෙරුණේ එකී අපේක්ෂාභංගත්වයේ ප්‍රතිවිරෝධී දෘෂ්ටීන්ය. ඉන්දියානු ව්‍යාප්තවාදයට සහ විදේශීය ආධිපත්‍යයට ජවිපෙ එල්ල කළ ප්‍රහාරයන් විසින් අඩු දේශපාලනික අවබෝධයක් සහිත එහි අනුගාමිකයන් අතර දෙමළ විරෝධී හැඟීම් ඇවිස්සී ඒමට තිබූ අනතුර පිළිබඳ එහි නායකත්වය සැළකිලිමත් නොවූ බවට සැකයක් නැත.

යම් ලෙසකින් බලය අත්පත් කරගත්තේ නම් ඔවුන් කිරීමට අපේක්ෂා කළේ කුමක්ද යන ප්‍රශ්නය ද ජවිපෙ දුබලතා පිළිබඳ කරන විශ්ලේෂණයකදී ඒ තරමටම වැදගත් එකකි. 

එහෙත්, ඔවුන් පරාජය වුවද යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත රටවල් තුළ සන්නද්ධ නැගී සිටීම සැබෑ සහ වලංගු විප්ලවීය අරගල මාදිලියක් බව ජවිපෙ විසින් පෙන්නුම් කරන ලදි. ජවිපෙ විසින් මෙහෙයවනු ලැබූ නැගිටීම දේශපාලනික, යුදමය හා සාමාජීය සීමාකම්වලින් පෙලුණු අතර, එහෙයින්ම සුවිශාල ආත්ම පරිත්‍යාගයන්ගෙන් සහ වීරත්වයෙන් යුතු වූ මාසයකින් පසු එය පරාජයට පත් විය. ලාංකීය ධනපති ආණ්ඩුවේ හා ඒ සමග පෙළට සිටගත් ජාත්‍යන්තර සහචරයන්ගේ සුවිශාල සේනා බලයන්ට එරෙහිව ඉතාම ප්‍රාථමික අවි ආයුධ රැගෙන සටන් කළ ගම්බද දිළින්දන්ට හා ඔවුන්ගේ නියාමක සංවිධානය වෙත සහයෝගීතාව පළකිරීම අන් සෑම තැනකම සිටින්නාවූ විප්ලවවාදීන් සතු අනිවාර්ය වගකීමකි. නැගිටීම සම්බන්ධයෙන් වන විවේචනාත්මක මාක්ස්වාදී ශේෂ පත්‍රයක් විසින් එම සහයෝගීතාව ශක්තිමත් කරනු විනා ඒ සමග ප්‍රතිවිරෝධයක් ඇති නොකරයි. සූදානම්වීම සහ ශක්තිමත්වීම සඳහා වන දීර්ඝ හා දුෂ්කර ඉලක්කයකට ජවිපෙ සහ එහි මිතුරන් මුහුණදී සිටියි. නමුත් පනස් වසරක් තිස්සේ ලංකාවේ අරක්ගත් පාර්ලිමේන්තුවාදී රැවටිල්ල පොඩිපට්ටම් කරදමමින්, තමන්ට ජනතාවගේ අව්‍යාජ පෙරමුණු බලඇණියක් විය හැකිබව ඔවුන් ඔප්පු කොට තිබේ.

1968 මැයි මාසයේ ප්‍රංශයේ හටගත් කැරැල්ල මෙන්, 1971 අප්‍රේල් මස සිදුවූ ලාංකීය නැගිටීම ද,  විප්ලවවාදීන් සහ ප්‍රතිවිප්ලවවාදීන් අපේක්ෂා නොකළ එකකි. නමුත් 'අනපේක්ෂිත සිදුවීම්' පිළිබඳ සංකල්පය මාක්ස්වාදීන්ට පිළිගත හැක්කක් නොවේ. නිහඬ පීඩනයක් හා බැඳුණු දිගු අතීත ඉතිහාසයකින් තොරව මහජන පිපිරීම් සිදුවන්නේ නැත. ජවිපෙ ගැඹුරු ජනතා සහයක් දිනාගැනීමට සමත්වූයේ එය විසින් ලාංකීය සමාජය අභ්‍යන්තරයේ වූ අර්බුදය ප්‍රකාශයට පත්කළ හෙයිනි. නිදහසින් පසු ලාංකීය සමාජයේ වූ සැබෑ අර්බුදයට අව්‍යාජ හඬක් මුල්වරට ලබාදුන්නේ අප්‍රේල් නැගිටීම විසිනි.

තම සාම්ප්‍රදායික 'නායකයන්' වෙතින් අවමානයටත්, සූරාකෑමටත්, වංචාවටත් ගොදුරු වූ ලාංකීය ගම්බද දිළිඳු ජනතාව සිය කැරැල්ලේ දරුණුභාවය මගින් ලෝකයා මෙන්ම සිය දේශීය සතුරන් ද මවිතයට පත්කළහ. ආසියානු සහ ලෝක විප්ලවීය ඉතිහාසයේ තවත් එක් වික්‍රමාන්විත පරිච්ඡේදයක් ඔවුන් විසින් ලියා තිබේ. වර්තමාන නිද්‍රාව පසුපසින් වඩාත් විශාල සහ සාර්ථක කුණාටු හමා එනු ඇති බව ලොව පුරා විප්ලවවාදීන් අපේක්ෂා කළ යුතු ය.☐ 

*ලූයී ඔගියුස්ත් බ්ලොන්කි, හොඳින් සංවිධානය වූ කුඩා කණ්ඩායමකට සමාජවාදී ව්ප්ලවය කළ හැකියැයි විශ්වාස කළ ප්‍රංශ සමාජවාදියෙකි. 

ෆ්‍රෙඩ් හැලිඩේ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.