JDS Sinhala

අර්ධද්වීපයේ සාගිනි සංග්‍රාමය: රාසයියා පාර්තීපන් ගැන චරිතාපදාන සටහනක්

අත්‍යවශ්‍ය පූර්විකාවක්: තිලීපන් ගැන සිංහල ප්‍රබන්ධ


තවත් සැප්තැම්බර් මාසයක් ගෙවී ගියේය.තිස් දෑ අවුරුද්දකට කලින් යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල ප්‍රත්‍යන්තයේ පීඨිකාවක් මත දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයාගේ දෑස් අභියස දී දෙමළ ජන නිදහස පිණිස ඇවිළෙමින් තිබූ ගිනි සිළක් නිවී ගියේ ඒ වැනි සැප්තැම්බරයකදී ය.

අර්ධ ද්වීපයේ කැකෑරෙන විරෝධයේ චණ්ඩ මාරුතයට හසුව දොළොස් දිනක් තිස්සේ සැලෙමින් නොනිවී තිබූ ඒ ගිනි සිළුව රාසයියා පාර්තීපන් හෙවත් ලුතිනන් කර්නල් තිලීපන් ය.

1987 සැප්තැම්බර් 15 වැනිදා අරඹන ලද තිලීපන්ගේ මාරාන්තික උපවාසය අවසන් වූයේ සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ඔහුගේ මරණයෙනි. එතැන් සිට සෑම සෑප්තැම්බරයකදීම තිලීපන් පිළිබඳ මතකය රහසේ හෝ පහන් දල්වා සැමරීම දෙමළ ජනයා බහුල ප්‍රදේශවල නිත්‍ය වතාවතක්ව තිබේ.

ඔහු පිළිබඳ මතකය වෙනුවෙන් 1988දී නල්ලූර් කෝවිල් පරිශ්‍රයට යාබදව ඉදි කරන ලද ස්මාරකය, 'රිවිරැස' මෙහෙයුම මගින් යාපනය අල්ලාගත් ශ්‍රී ලංකා යුද හමුදාවෝ 1996දී විසුණු කර දැමූහ. 2002 පෙබරවාරියේදී අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුමෙන් පසුව මහජන ආධාරයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද තිලීපන් ස්මාරකයට 2006 ඔක්තෝබර් මාසයේ දී යළිත් අලාභ සිදුකළ රජයේ හමුදාවන් විසින් 2007 නොවැම්බර් මාසයේදී ඊට තවදුරටත් හානි කරන ලදී. සමරු කුළුණෙහි ඉතිරිව තිබූ ශේෂයන් 2010 මාර්තු මාසයේදී විනාශ කළ හමුදා ආධාර ලද මැර පිරිස් එහි සුන්බුන් නල්ලූර්හි කසළ ගොඩක ලෑ අතර ස්මරකයේ නටබුන් සේදූ රෙදි වේලාගැනීමට යොදාගත්හ. එහි පාදම ද විනාශ කර ඇති බව දෙමළ මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ 2012 දෙසැම්බරයේදී ය.

තිලීපන් පිළිබඳ පොදුජන මතකයට කැප වූ භෞතික සිහිවටන මුලිනුපුටා දැමීමට සමාන්තරව තවත් ක්‍රියාවලියක් යුද්ධයේ නිල නිමාවෙන් පසුව දැන් දියත්ව තිබේ. ඒ වනාහී තිලීපන් පිළිබඳ ඉතිහාසය වශයෙන් සිංහල ප්‍රබන්ධ කතා ගෙතීමේ සමාජ මාධ්‍ය මෙහෙයුමයි. ඒ ප්‍රබන්ධයන්ගේ කේන්ද්‍රීය අභිලාෂයව ඇත්තේ, තිලීපන් ඔහුට අයත් ඓතිහාසික දේශපාලන සන්දර්භයෙන් උදුරා, නිර්දේශපාලනික සිංහල ළැදි ගාන්ධිවාදී සාන්තුවරයකු ලෙස පුනඃස්ථාපනය කිරීමයි. මාධ්‍යවේදියකු වන ශාලික විමලසේන විසින් ඉකුත් සැප්තැම්බර් 15වැනිදා සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද ප්‍රබන්ධ සටහන මීට නිදසුනකි. ඔහු මෙසේ ලියයි:

"ජනතාවනි, පාලකයන්ගේ අවියට බිය නොවන්න. අයිතිය වෙනුවෙන් පෙරට එන්න." - 1963 නොවැම්බර් 29 වැනිදා යාපනය, වඩුක්කොඩෙයිහි ගොවි පවුලක එකම පුත්‍රයා ලෙස උපන් ඔහු, අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එරෙහිව, යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ වූ බැරලයක් මතට නැග එසේ අවධාරණය කළේය....‘දකුණත්, උතුරත් ගිනිගන්නා විට අප ඒ අතර සිර වූ මිනිසුන් ය. ඒ ගිනි තියන්නේ කවුදැයි අප තේරුම් ගත යුතු ය.‘ ඔහු එසේ ලියා යැව්වේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට ය. එල්ටීටීඊ නායකයාට ය."

මේ ප්‍රබන්ධ කතාවලට අනුව, උපවාස කොට මියගිය තිලීපන් වනාහී එල්ටීටීඊ සංවිධානයේ ලුතිනන් කර්නල් ධූරයක් දැරූ, යාපනයේ දේශපාලන නායකයා නොවේ. මේ තිලීපන් වූ කලී 1963 ඉපිද, 1971 ගෙනඑන ලද අධ්‍යාපන ප්‍රමිතිකරණ පිළිවෙතට එරෙහිව යාපනයේ සරසවිය ඉදිරිපිට "අට හැවිරිදි වියේදී" කතාවක් පැවැත් වූ බැව් කියන, එල්ටීටීඊ නායකයාට ලියුම් ලියූ 'ස්වාධීන දෙමළ" ගැටවරයෙකි.

බැලූ බැල්මට තිලීපන් පිළිබඳ වීරාභිවාදනයන් සේ වෙස් මාරුකරගත් මේ බොහෝ සටහන්, ඇත්ත වශයෙන්ම නම් දෙමළ ජන විමුක්තිය පිළිබඳ තිලීපන්ගේ භාවිතාව හා ඔහු විසින් දරන ලද සංගත දේශපාලන අදහස දැනුවත්ව හෝ නොදැනුවත්ව වසන් කොට යටපත් කිරීමේ අරමුණින් ලියැවුණු ඒවා ය. චරිත් ජනප්‍රිය යොහාන් නම් ලේඛකයකු විසින් ලියන ලදුව 'විකල්ප' වෙබ් අඩවියේ 2016 ජූනි මාසයේ පළකරන ලද ලිපියකින් උපුටාගත් යට දැක්වෙන සටහන ඊට නිදසුනකි:

"පසු කලෙක රජය මගින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල්වැසි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සදහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒ වන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය."

තිලීපන් කී බවට ඉකුත් දෙතුන් වසර තුළ ප්‍රබන්ධ කොට පට්ට ගැසූ "අපට සිංහල මිනිහා එක්ක ගැටළුවක් නෑ. හමුදාව එක්ක ගැටළුවකුත් නෑ" යැයි කියන ඉහත ප්‍රකාශයේ ඇත්ත අරමුණ, දෙමළ ජනයාගේ ජාතික ස්වයං නීර්ණය පිළිබඳ දේශපාලන ඉල්ලීම සම්මුති රහිතව ආරක්ෂා කළ තිලීපන් සිංහලයාට දිරවාගත හැකි වීරයකු වශයෙන් අංගරාග සැත්කමකට භාජනය කර 'පුනරුත්ථාපනය කිරීමයි.' තිලීපන් පිළිබඳ මේ දක්වා ලියැවී ඇති කිසිදු දෙමළ මූලාශ්‍රයක නොදැක්වෙන, සිංහල ෆේස්බුක් ලියන්නන් විසින්ම සොයාගන්නා ලද මෙකී ප්‍රකාශයේ නිශ්චිත මූලාශ්‍රය කුමක්දැයි කිසිවකු නොඅසන්නේ ඒ නිසා ය.

මේ ප්‍රබන්ධකරණයේ කූඨ ප්‍රාප්තිය, ඉකුත් ජූනි මාසයේ දෙවැනිදා, සමීර සාලින්ද පෙරේරා නමින් තබන ලද ෆේස්බුක් සටහනකින් සළකුණු කර තිබේ. එහි මෙසේ දැක් වේ:

"ඔහුගේ අවසන් දවසේ යොහාන් අර්ජුන ගැයු සිංහල ගීතයක් වන "නොසලන්න කඳුලක් දෑසින්" ගීතය මිමිණු අයුරු එදා අසළ සිටි අය පවසන්නේ බොහොම සංවේදීව. ඇතැම් විට අවසන් මොහොතේදී ඔහුට ඔහුගේ පෙම්වතිය සිහි වෙන්නට ඇති.

"නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
විඳවන්න හැමදා හඬනා අද මේ වගේ..."

මේ ප්‍රබන්ධය අනුව 1987 සැප්තැම්බරයේදී මියගිය තිලීපන්, ඔහුගේ මරණයෙන් හත් අට වසරකට පසු හේමසිරි හල්පිට විසින් ලියා, ගායන ශිල්පී යොහාන් අර්ජුන විසින් ගායනා කිරීමට නියමිතව තිබු සිංහල ගීතයක් සිය මරණ මංචකයේදී කල් තියා මුමුණා තිබේ!

ෆේස්බුක් සටහන් ඉතිහාස මූලාශ්‍ර වශයෙන් සළකන්නට හුරු වූ යුගයක, ඉතිහාසය නිරාකූල කොට ලියා තැබිය යුත්තේ මේ මෘදු වර්ගවාදයේ සටකපට ප්‍රබන්ධ, ඉතිහාසය බවට පත්වනු වළක්වනු පිණිස ය. තිලීපන් වැන්නන්ගේ සටන්කාමී ජීවන චරිතාපදාන ඔවුන්ට අයත් ඓතිහාසික දේශපාලන සන්දර්භය තුළ පිහිටුවන්නට මූලාශ්‍ර කොටගත යුත්තේ ඔහුගේ සමකාලීනයන්ගේ මතකය ද, ඔහුගේ අරගලකාරී ජීවිතය පිළිබඳ ලියැවුණු වාර්තාවන් ද, එකී ඓතිහාසික යුගයේ දේශපාලන සංසිද්ධීන් ද මිස 'දෙමළ ජනයා පිළිබඳ සිංහලයන්ගේ ප්‍රාර්ථනාවන්ගෙන්' නොවේ.

උතුරේ පමණක් නොව, දකුණේ පවා කැරළිකාරී පරම්පරාවන්ගේ අරගලකාරී දිවි පවත්, ෆේස්බුක් ප්‍රබන්ධ කතාකරුවන්ගේ හා සති අන්ත පුවත්පත්වල මාලා කතාකරුවන්ගේ පරිකල්පිත නර්මාලාපවලින් මුදවා බැරෑරුම් දේශපාලන ඉතිහාසයක් බවට පෙරළිය හැක්කේ ඒ මගින් පමණි. 



රාසයියා පාර්තීපන් යාපනයේ උරුම්පිරායිහි, ඌරළු ගම්මානයේ උපන්නේ 1964දී ය. ඒ, උරුම්පිරායි දෙමළ මහා විදුහලේ ගුරුවරයෙකු වූ රාසයියාගේ සිව්වැනි දරුවා ලෙසිනි. ළදරු වියේදීම සිදු වූ මවගේ වියෝගය ගැන මතකයක් නැති පාර්තීපන් සිය පුංචි අම්මා වූ රාසලක්‍ෂ්මීගේ සෙනෙහස විඳිමින් හැදී වැඩුණේ ය.

දෙමළ ජනයාගේ පීඩිතභාවය ගැන උතුරු අර්ධද්වීපයේ දෛනික ජීවිතයේ ජීවමාන සාක්‍ෂිවලින් උගත් පාර්තීපන්ගේ සමාජ - දේශපාලන අවබෝධය, 1974 යාපනයේ මුළුදුන් දෙමළ පර්යේෂණ සමුළුවට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරයෙනුත්, 1977 දකුණේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා විසිනුත් තියුණු කළාට සැක නැත. නමුත් 1983 කළු ජූලියේ ම්ලේච්ඡත්වය විසින් ඔහු තීරණාත්මක ලෙස සසළ කරන ලදී.

දශකයෙන් දශකය දිගුගැසෙන දෙමළ ජන මර්දනයෙන් හටගත් කෝපයෙන් හා සිත් තැවුලින් ඇවිළුණු රාසයියා පාර්තීපන් දෙමළ ජනයාගේ විමුක්ති අරගලයට එක්වන්නට තීරණය කරන ලද්දේ 1983දී ය. උරුම්පිරායි දෙමළ මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, යාපනය හින්දු විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු වූ පාර්තීපන්, උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් දෙවන වර විභාගයට මුහුණ දී වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ නමුත්, එය පසෙක ලා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ (Students Organisation of Liberation Tigers - SOLT) ක්‍රියාකාරිකයෙකු වන්නට තීරණය කරන ලද්දේ මේ ඇසූ දුටු රුදුරු යථාර්ථයන් හේතුවෙනි.

ත්‍යාගී තිලීපන් නමින් දෙමළ ජනයා අතර ගෞරවාදරයට පත් සටන්කරුවෙකුගේ ආරම්භය සළකුණු වූයේ එසේ ය.

විමුක්ති කොටි සංවිධානයේ මුල්කාලීන නායකයෙකුව ක්‍රියාකරමින් සිටියදී මරණයට පත් වූ රවීන්ද්‍රන් හෙවත් කපිතාන් පණ්ඩිතාර්ගේ සහායකයෙකු වශයෙන් ප්‍රචාරක කටයුතු පිළිබඳ පුහුණුව ලැබූ තිලීපන්ට, වඩ්ඩුක්කෝඩෛ ප්‍රදේශයේ දේශපාලන ප්‍රචාරක වගකීම් පවරනු ලැබුණේ ඔහු සතු කැපවීමත්, සංවිධායක කුශලතාත්, විශිෂ්ඨ කථිකත්වයත් හේතුවෙනි.

එවකට දෙමළ විමුක්ති කොටි සංවිධානයේ යාපනය අර්ධද්වීපය භාර ප්‍රධානියා වශයෙන් ක්‍රියා කළ සතාසිවම් ක්‍රිෂ්ණ කුමාර් හෙවත් කර්නල් කිට්ටු හා සමීපව ක්‍රියා කළ තිලීපන් යාපනයේ දේශපාලන ප්‍රමුඛයන් වූ බාලසුබ්‍රමනියම් කණගරත්නම් හෙවත් කපිතාන් රහීම්, තිල්ලෛයම්පලම් සිවනේසන් හෙවත් සුසෙයි හා සුප්පයියා පරමු තමිල් චෙල්වන් හෙවත් දිනේෂ් හා සමාන වගකීම් දරමින් වේගයෙන් නායකත්ව ශ්‍රේණීන් තුළ පෙරට ආවේය.

වඩ්ඩුක්කෝඩ්ඩෛ ප්‍රදේශය තුළ සංවිධානයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ වගකීම් භාරගනිමින් ව්‍යාපාරයේ නිර්මාණාත්මක සංවර්ධනය තියුණු ලෙස මතු කිරීමට දායක වූ තිලීපන්, 'කලත්තිල්' සඟරාව ආරම්භ කිරීමටත්, දේශපාලන කටයුතු මහජනයා අතර පුළුල් ලෙස ප්‍රචාරය කිරීමටත් වෙසෙස් මැදිහත්වීමක් සිදුකළේය. ග්‍රාමීය ප්‍රදේශ තුළ සුළු මතභේද නිරාකරණය කරනු වස් මහජන උසාවි සංවිධානය කිරීම මැනවින් සැළසුම් වූයේද තිලීපන්ගේ දායකත්වයෙනි.

දෙමළ ජනයාගේ විමුක්ති අරගලයේ අත්හැර දැමිය නොහැකි මතකයන් අතර තිලීපන්ගේ මාරාන්තික උපවාසය විශේෂත්වයක් ගන්නා බව ජ්‍යෙෂ්ඨ දෙමළ මාධ්‍යවේදියකු වන 'ඊළනාදම්' පුවත් පතේ ප්‍රධාන සංස්කාරක පොන්නයියා ජෙයරාජ් පවසයි:

"තිලීපන් මෙඩිකල් කොලේජ් යන්න පාස් වුණාට එයා ඒවා ඔක්කොම අත් හැරලා තමයි ව්‍යාපාරයට බැඳිලා තිබුනේ. විමුක්ති කොටි සංවිධානයේ කාන්තා දේශපාලන අංශය තිලීපන්ගේ අදහසක් අනුව පටන් ගත්තු දෙයක්. ජැෆ්නා කැම්පස් එකේ උපාධිධාරිනියක් වුණු ගයාත්‍රි යාපනේ කාන්තා දේශපාලන කටයුතු භාරව හිටියේ තිලීපන් මුලිකත්වයෙන් කාන්තා දේශපාලන අංශයකට මුලපිරුවාට පස්සෙයි. මාධ්‍ය එක්ක බොහෝ දුරට කතා කළේ තිලීපන් තමයි. ජැෆ්නා කැම්පස් එක කිට්ටුවම තිබුණු ඔහුගේ කාර්යාලයට අපි නිතරම යනවා - එනවා. එතකොට මම වැඩ කලේ 'ඊළමුරසු' පත්තරේ."

අසූව දශකයේ දෙවන භාගයේ දී, යාපන අර්ධදීපය තුළ අන්තර් සංවිධාන ගැටුම් ගහණ සමයකින් පසු, අනෙකුත් දෙමල සන්නද්ධ කණ්ඩායම් පරයා සිය බලය තහවුරු කරගත් විමුක්ති කොටි සංවිධානය ඉලක්ක කරගත් රජයේ හමුදා මෙහෙයුම් 1987 උදා වන විට තීව්‍ර කෙරුණි. 1987 මාර්තු මාසයේ දිනෙක තෙල්ලිප්පිලෛ හිදී හමුදා ප්‍රහාරයකට ගොදුරු වු කිට්ටු, එයින් දිවි ගලවා ගැනීමට සමත් වුවද, බරපතල ලෙස තුවාල ලැබිය.

එවකට ජාතික ආරක්ෂක ඇමතිවරයා වූ ලලිත් ඇතුළත්මුදලි, යාපනයේ හමුදා ආඥාපති වූ මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න යනාදී ආරක්ෂක ප්‍රධානීන්ගේ දායකත්වයෙන් මහා හමුදා මෙහෙයුමක් දියත් කරන්නට සැලසුම් සකස් කරන ලද්දේ 1987 පළමු කාර්තුවේදී ය. 'විමුක්ති මෙහෙයුම' නමින් නම් කෙරුණු මෙම හමුදා මෙහෙයුම ප්‍රකට වුයේ 'වඩමරාච්චි මෙහෙයුම' නමින් ය. 1987 වෙසක් මහේ 26 වැනිදා ඇරඹි වඩමරාච්චි මෙහෙයුම ඉක්මණින් අත්හැර දමා, ගැමුණු හා ගජබා රෙජිමේන්තු සෙබළුන් 8000 ක් දෙනා යළි හමුදා බැරැක්ක වෙත කැඳවීමට ජයවර්ධන ආණ්ඩුවට සිදු වුයේ හමුදා මෙහෙයුම හරහා දෙමළ ජනතාව වෙත එල්ල වූ නිර්දය පීඩාවට එරෙහිව නැගුනු ජාත්‍යන්තර විරෝධය පසුබිමෙහි ඉන්දීය රජය විසින් කරන ලද සෘජු මැදිහත්වීම නිසා ය.

රජයේ හමුදාවන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව දෙමළ විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් සෙස්සන් හා උරෙනුර ගැටෙමින් සටන් කළ තිලීපන්, වඩමරාච්චි හමුදා මෙහෙයුම නැවත කැඳවන්නට දින කිහිපයකට කලින් වැල්වැටිතුරෛහිදී හමුදා ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබීය. ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලද්දේ එයින් කෙටි කලක් ඇතුළතදී ය. එහි ප්‍රතිඵලයක් ලෙසින් මේජර් ජනරාල් හර්කිරාට් සිං ගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය සාම සාධක හමුදාවෝ (IPKF) මෙරටට ගොඩබැස්සාහ. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ගේ නිරන්තර පීඩනයට ලක්ව සිටි දෙමළ ජනයාට කෙටිකාලීන අස්වැසිල්ලක් ලෙස දැනුණ ද, ඉන්දීය හමුදාවන් ද පියවරෙන් පියවර යාපන අර්ධද්වීපයේ බලය තහවුරු කරගනු වස් දෙමළ ජනයා මත අතිමහත් පීඩනයක් මුදාහළහ. ගිවිසුම මගින් මෙල්ල කරනු ලැබූ ඇතැම් දෙමළ සන්නද්ධ කණ්ඩායම් ඉන්දීය හමුදාවන්ගේ අතවැසි අතුරු බලඇණි වශයෙන් යොදාගැණුනි.


දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ යාපනය දේශපාලන ප්‍රධානියා වූ තිලීපන් විසින් ඉන්දීය මහා කොමසාරිස් ජ්‍යොතීන්ද්‍ර නාත් ඩික්සිට් වෙත විවෘත සන්දේශයක් යොමු කරනු ලැබුවේ මේ අතරේදී ය. ඊට මූලික ඉල්ලීම් හයක් ඇතුළත්ව තිබුණි.

1. සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.
2. දෙමළ ජනයා වෙසෙන පළාත්වල දෙමල ජනයාගේ අතුරු ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපනය මුවාවෙන් සිදුකෙරෙන සිංහල ජනපදකරණය නවතාලිය යුතු ය.
3. දෙමල ජනයා වෙසෙන උතුරු-නැගෙනහිර සිංහල පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්විය යුතු ය.
4. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.
5. දෙමළ ප්‍රදේශවල පාසැල් තුළ වාඩිලා සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බල ඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබාගත යුතු ය.

තිලීපන් මාරාන්තික උපවාසයක් සඳහා පොළඹවන ලද්දේ මෙම ඉල්ලීම් කෙරෙහි ඉන්දීය ආණ්ඩුව විසින් දක්වන ලද උදාසීන පිළිවෙත විසිනි. 1987 සැප්තැම්බර් 15 පෙරවරු 9.30ට නල්ලුර් කන්දසාමි කෝවිල අසළ ඉදිකෙරුණු අට්ටාලයක දී තිලීපන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඒ වන විටත් රැස්ව සිටි දහස් ගණනක් ජනයා ඇමතීමෙන් අනතුරුව ය. දෙමළ ජන සමාජය වේදනාවෙන් හා උද්වේගයෙන් ඇවිළ වූ අහිංසාවාදී දොළොස් දිනක සටන ඇරඹුණේ ඒ පරිද්දෙනි.

තිලීපන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග එක් වීමට මෙන්ම මාරාන්තික උපවාසයක් ඇරඹීමටත් බොහෝ දේශපාලනික හේතු පැවති බව ජෙයරාජ් ගේ මතය යි:

1981න් පස්සේ යාපනයට ආණ්ඩුවේ මර්දනය වැඩි වැඩියෙන් එල්ලවෙන්න පටන් ගත්තා. සංවර්ධන සභා ජන්ද කොල්ලය විතරක් නෙමෙයි, යාපන පුස්තකාලයට ගිනි තැබීම වගේම 'ඊළනාඩු' පත්තර කාර්යාලයට ගිනි තිබ්බේත් ආණ්ඩුවේ හමුදාව සහ පොලිසිය දැනුවත්වයි. මුලින් තාවකාලිකව තිබුණු හමුදා අනුඛණ්ඩ බොහොමයක් 1983 න් පස්සේ ස්ථාවර කඳවුරු බවට පත් වුණා. අලිමංකඩ නාවට්කුලි හමුදා අනුඛණ්ඩය මේකට උදාහරණයක්. 1985දී කුමුදුනී බෝට්ටුවට එල්ල වූ නාවික හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් සංහාරය කිරීමත් යාපනයේ මිනිස්සු කම්පාවට පත් කළ දෙයක්. 1987 ඔපරේෂන් ලිබරේෂන් සහ ඔපරේෂන් පුමාලෙයි වැනි හමුදා ක්‍රියාන්විතයන් විසින් මිනිස්සු තවත් අසරණ කළා. ඉන්දියාවට ඇත්තටම ඕනෑ වෙලා තිබුණේ දෙමළ අරගලය යොදාගෙන ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට ඕනේ විදිහට හසුරුවා ගන්නයි. කොටි සංවිධානය ක්‍රියාකළේ මේ ගැන අවබෝධයක් ඇතුවයි. ”


උපවාසය ආරම්භයේදීම දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාධරයකු වන ප්‍රසාද් විසින් තිලීපන්ගේ ඉල්ලීම් රැස් කෑ ජනයාට ඇසෙන සේ හඬ නගා කියැවීය. සිය ඉල්ලීම් ලැබෙන තුරු උපවාසය අත් නොහරින බවට තිලීපන් ශපථ කර සිටියේ ඉන් අනතුරුව ය. කෙමෙන් දුර්වල වෙමින් සිටි හෙතෙම, සැප්තැම්බර් 17 වැනි දා තමන්ට මහජනයා අමතන්නට අවශ්‍ය බව දන්වා සිටියේය.

"නැඟිට කතා කරන්නට දුෂ්කර වුවත් මට ඔබ අමතා කතා කරන්නට උවමනා ය. හෙට දිනය වනවිට මට සිහි තිබේදැයි මම නොදනිමි. මේ මොහොත වනතුරු අපගේ විමුක්ති අරගලය වෙනුවෙන් 650 දෙනකු ජීවිත පරිත්‍යාග කොට තිබේ. නෙල්ලිඅඩියේදී දිවිදුන් මිලර් සහෝදරයා ඔහුගේ අවසාන මෙහෙයුමට පිටව යන්නට කලින් මා සමග කී දෙයක් මගේ මතකයේ රැඳී තිබේ: 'මම මගේ මව්බිම වෙනුවෙන් දිවිදෙමි. එය මට සතුටකි. මා කණගාටුවන්නේ අපේ ජනයා නිදහස දිනනු දකින්නට මට ඉඩක් නොලැබීම ගැන පමණි.' මිලර්ගේ ඒ වදන් මේ මොහොතේ මම ද ප්‍රතිරාවය කරමි. මේ දක්වා දිවිදුන් 650 දෙනාම මා හොඳින් දන්නා මගේ මිතුරන් ය. අපේ ජනයා කෙදිනක හෝ සිය නිදහස දිනාගනු ඇත. මා මගේ වගකීම ඉටුකරන්නේ පූර්ණ සන්තුෂ්ඨියෙනි."

ඥාණසුන්දරම් කුගනාදන් යාපනේ තවත් ප්‍රවීන මාධ්‍යවේදියෙකි. 'උදයන්' පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස කටයුතු කළ කුගනාදන්, තිලීපන් ගේ උපවාසය පැවති සමයේ 'ඊළමුරසු' පුවත්පතේ මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළේය. තිලීපන් පිළිබඳව ඔහුගේ මතකය ගැන ඔහු ජේඩීඑස් හා කතා කළේය.

"මට අද වගේ මතකයි සැප්තැම්බර් 16 වැනිදා, තිලීපන් උපවාසේ පටන් අරන් දෙවැනි දවස. එදා තමයි ප්‍රභාකරන් තිලීපන් උපවාස කරන තැනට ආවේ. ඒ එක්ක මහත්තයා හෙවත් ගෝපාලසාමි මහේන්ද්‍රරාජා , දිලිප් යෝගී, රහීම් සහ දිනේෂ් (තමිල් චෙල්වන්) එහෙමත් හිටියා. දවසින් දවස මිනිස්සු නල්ලුර් කෝවිල් භූමියට ඇදෙන්න ගත්තා. බොහෝ දෙනෙක් කල්පනා කළේ ඉන්දියාව මැදිහත්වෙලා ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කරයි කියලා.’’

තිලීපන්ගේ උපවාසයට සහාය පළ කරමින් සියලුම පාසැල්, කඩ සාප්පු ස්වේච්ඡාවෙන්ම වසා දමන ලද අතර පාසල් සිසුන්ගෙන් නල්ලුර් මුරුගන් කෝවිල් භුමිය පිරෙන්නට විය. ගම් දනව්වලින් පැමිණි බොහෝ ජනයා උපවාස භුමියේ වාඩිලා සිටියහ.

ඊළමුරුසු, ඊළනාඩු, උදයන්, මුරසොලි සහ Saturday Review පුවත්පත් විසින් උපවාසය පිළිබඳව දෛනිකව වාර්තා කරන්නට වූ අතර විමුක්ති කොටි සංවිධානයේ නිදර්ශනම් රුපවාහිනිය මගින් ද එය සජීවීව විකාශනය කෙරිණ. දෙමළ ජනයා තුළ ඉන්දීය හමුදා කෙරෙහි කෝපයක් ඇති කරන්නට තිලීපන්ගේ මාරාන්තික උපවාසය හේතු විය.

17 වැනිදා රාත්‍රියේ තිලීපන්ට මුත්‍රා කිරීමේ දුෂ්කරතා පැන නැගුණි. වතුර ස්වල්පයක් පානය කරන මෙන් කරන ලද ඉල්ලීම්වලට තිලීපන් නෑසූ කන්ව සිටියේය.

"වතුර උගුරක් හෝ නොබොන බව මම මුලදීම කීවෙමි. එය වෙනස් කරන්නට මට නොහැකි"යැයි හේ තිරව කියා සිටියේය.

තිලීපන් කායිකව දුර්වලවීම දෙමළ ජනයා අතර කෝපාග්නිය දැල්වී. මේ කැකෑරෙන කෝපය ප්‍රදර්ශනය වීමේ එක් අවස්ථාවක් ලෙස ඒ සමයේදී යාපනය නීර්වේලි මංසන්ධියේ ඇති වූ උද්ඝෝෂණය දැක්විය හැක. ඉන්දියානු සාම සාධක භට පිරිසක් රැගත් ජීප් රථයක් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීම නිසා ජීප් රථය වට කරගත් ජනයා හමුදාවට එරෙහිව උද්ඝෝෂණය කරන්නට වූහ. තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිද්ධිය සමථයකට පත් කර ගැනීමට ඉන්දීය හමුදාවේ ඉහළ පෙලේ නිලධාරීන්ට මැදිහත් වන්නට සිදුවිය. ඒ හා සමානව මහජන ආවේගයන් පුපුරා ගිය අවස්ථාවක් මාධ්‍යවේදී ජෙයරාජ්ගේ මතකයෙහි තිබේ.


“යාපනේ පරණ ඕලන්ද කොටුවේන් එලියට ගෙනාපු පන්නායි පොලිස් ස්ථානය මිනිස්සුන්ගේ උද්ඝෝෂණ හින්දා අයෙත් කොටුව ඇතුළටම ගෙනියන්න වුණෙත් ඒ දවස්වලමයි’’ ඔහු කියයි.

17 වැනිදා සන්ධ්‍යාවේදී මිනිත්තුවක් හෝ දෙකක් කතාකරන්නට අවශ්‍ය බැව් තිලීපන් දැඩිව කියා සිටියේය. ඉක්බිති රැස්ව සිටියවුන් අමතා දුබලවෙමින් පැවති හඬින් කතා කළේය.

"නිවෙන්නට කලින් සාමාන්‍යයෙන් පහන් දැල්ලක දීප්තිය වැඩි වේ. දැන් මම ද ඒ පරිදි වෙමි. නමුත් මා ඉන්නේ සන්තෝෂයෙනි. මට තවමත් කතා කළ හැකි ය. මට පිටව යන්නට ඔබ සියල්ලන්ගේ ආශිර්වාදය ඕනෑ ය. මහා විරුවන්ව දිවි දුන් 650ක් වූ මගේ පූර්වගාමීන් අතරට 651 වැනියා වශයෙන් නික්ම යන්නට මම සූදානමින් සිටිමි. නමුත් ඔබ සටන අත් නොහළ යුතු ය."

දිනෙන් දින ඇදී යන උපවාසය ඉන්දීය බලධාරීන් තුළ බරපතල කැළඹීමක් ජනිත කර තිබුණි. අදාළ ඉල්ලීම් ඉටු කර දීමට උත්සුක නොවු ඔවුනට අවශ්‍ය වුයේ කෙසේ හෝ උපවාසය අවසන් කිරීමට ය. “ ප්‍රභාකරන් තියා, කවුරු කීවත් ඉල්ලීම් ලැබෙනකම් උපවාසය නතර කරන්න තිලීපන් කැමති වුණේම නැහැ”යි, කුගනාදන් පවසනුයේ තිලීපන් උපවාසය පිළිබඳ තවමත් සජීවී මතකය අවදි කරමිනි.

20 වැනිදා ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිට් යාපනයට පැමිණ ඇතැයි පැතිර ගිය ආරංචියෙන් නල්ලූර් කෝවිල් භූමිය නොසන්සුන් විය. සවස් කාලයේ දී නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර ඇතුළු කිහිප දෙනෙක් පැමිණ තිලීපන්ගේ උපවාසයට සහාය පළ කළහ. නමුත් ඉන්දීය පිළිවෙතෙහි කිසිදු වෙනසක් සිදුනොවුණි. ඉන්දීය සාම සාධක හමුදාවේ බ්‍රිගේඩියර් රාඝවන්, ගුවන් හමුදාවේ ජෙයකුමාර් හා නාවුක නිලධාරී අභය සුන්දර් යන නිලධාරීන් 21වැනිදා උපවාස භූමියට පැමිණ උපවාසය නතර කිරීමට ඇති හැකියාව පිළිබඳ කතා කළහ.

"අප විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 5 නිරවුල් හා පැහැදිලි ඒවා ය. ඕ ගැන විසඳුම් ලබාදීම ගැන ලිඛිත සහතිකයන් නොදෙන්නේ නම් මගේ සටන නොනවතියි" තිලීපන් දන්වා සිටියේය.

තිලීපන්ට සහයෝගය පල කරනු වස් තවත් බොහෝදෙනෙක් උපවාසයට එක්වූයේ මේ අතරවාරයේදී ය.

“යාපනේ ඉස්කෝල ගුරුවරියක් වුණු සුභාශාන්තිනී රාජසුන්දරම් උපවාසයට වාඩිවුණේ සැප්තැම්බර් 17 වැනිදායි. ඊට පස්සේ තවත් පස් දෙනෙක් වැල්වැටිතුරෛ හන්දියේ අට්ටාලයකට නැගලා උපවාසයකට වාඩි වුණා. මේ විදියට තිලීපන්ගේ උපවාසයට සහාය පළ කරමින් වවුනියාව, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය යනාදී නගරවලත් සමාන්තර උපවාස පැවැත්වුණා.”

මාධ්‍යවේදී ජෙයරාජ්ට අනුව ක්‍රම ක්‍රමයෙන් එය දෙමළ ජනයාගේ සමූහ උපවාසයක් බවට පත් වෙමින් තිබුණි. නන්දෙසින් පැමිණි පෙළපාලිවලින් නල්ලුර් කෝවිල් භුමිය අතුරු සිදුරු නොමැතිව පිරෙමින් තිබූ අතර දිනපතාම වචන කිහිපයකින් හෝ රැස්ව සිටි පිරිස් ඇමතීමට තිලීපන් අමතක නොකළේය.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිට් හා විමුක්ති කොටි නායක ප්‍රභාකරන් අතර හමුවක් පලාලි ගුවන් තොටුපළේදී පැවැත්වුණේ සැප්තැම්බර් 22 වැනිදා ය. තිලීපන්ගේ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා වුවද ඒවා ඉටු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ගේ මන්දෝත්සාහී පිළිවෙත වෙනස්වන බවක් පෙනෙන්නට නොතිබිණ.

නමුත් දිනෙන් දින තිලීපන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වලවන්නට විය. 22 වැනිදා වන විට ඔහුගේ රුධිර පීඩනය 90:50 දක්වා පහත වැටුණි. ඉන්දීය හමුදාවේ ලුතිනන් ජෙනරාල් ඩෙබින්දර් සිං යාපනය කොටුවේදී එල්ටීටීඊ නායකයා හමුවී පැයකට වැඩි කාලයක් සාකච්ඡා කළේය. එදිනම හවස මහ කොමසාරිස් ඩික්සිට් හා සාම සාධක හමුදා ආඥාපති හර්කිරාට් සිං ද සාකච්ඡාවන් සඳහා යාපනයට ආහ. පැය පහකට ආසන්න සාකච්ඡා ඉන්දීය පාර්ශ්වයේ දරදඬු ප්‍රතිචාරයන්ගෙන් අවසන් විය. නමුත් දෙමළ ජනයා අතර ඉන්දීය හමුදා හා දේශපාලන බලධාරීන් කෙරෙහි වූ විරෝධය වර්ධනය වනු හැම අතින්ම දක්නට ලැබුණි.

"උතුරු නැගෙනහිර සඳහා අන්තර් වාර පාලනයක් ලබා දෙන්න වගකිව යුත්තන් ගේ අවධානය යොමු කරන්න කියලා, පුරවැසි කමිටු, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, ආගමික නායකයන්, ආචාර්යවරුන්ගේ සංවිධාන යනාදී සියල්ලෝම ඉන්දීය හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා. නමුත් තිලීපන්ගේ මරණය දක්වාම ඒ කිසිවක් සිද්ධ වුනේ නැහැ” ජෙයරාජ් පවන්නේ හැඟුම්බරව ය.

24 වැනිදා තිලීපන්ගේ සිරුරේ චලනයන් නැවතුණි.

ඉන්දීය හමුදාවේ බ්‍රිගේඩියර් ෆර්නැන්ඩස් හා කොළඹ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානී කපිතාන් ගුප්තාගේ මූලිකත්වයෙන් තවත් සාකච්ඡාවක් ඇරඹුණි. එල්ටීටීඊ නායක ප්‍රභාකරන් හා ආචාර්ය ඇන්ටන් බාලසිංහම් (පසුව ඉන්දීය හමුදා විසින් වල්ලෛහිදී වෙඩිතබා ඝානය කළ) පුරවැසි කමිටුවේ සභාපති සිවානන්දසුන්දරම් ද සාකච්ඡාවන්ට එක් වී සිටියහ.

රාත්‍රී 7.30 වනවිට ඉන්දීය ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවට වූ ආරංචිය නල්ලූර් කෝවිල් භූමියට ළඟා විය. තිලීපන්ගේ විවර වූ දෑස් හිස් අවකාශය දෙසට එල්ල වී තිබිණ. කෝපය හා සංවේගය උපවාස භූමිය පුරා රැළි ගසා නැගෙන්නට විය.

25 වැනිදා තිලීපන්ගේ සිරුර සෙමින් වෙව්ලීම ඇරඹී තිබුණි. අර්ධ කෝමා තත්ත්වයකට ළඟා සිටි තිලීපන් සයනයේම මුත්‍රා පහ කළේය. ඇඳුම් මාරුකරන්නට විරෝධය පෑ ඔහු 'මම මිය යමි'යි තිර හඬින් කියා සිටියේය.

ඔහුගේ අවසන් වචන ලෙස වාර්තා වී ඇත්තේ ඒ වදන් කිහිපයයි.


26 වැනිදා අළුයම් පාන්දර පහට, විදුලි බලය ඇණ හිටියේය. ක්‍රමයෙන් නිවී යන තිලීපන්ගේ හිස අද්දරින් පහනක් දල්වනු ලැබුණි.

උදෑසන 10.48ට තිලීපන් නික්ම ගියේය.

සැප්තැම්බර් 15 සිට 26 දක්වා පුරා පැය 265 ක් අඛණ්ඩ උපවාසයේ යෙදුනු තිලීපන් දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අවසානයේ සිය දිවි කැප කළේය. බ්‍රිතාන්‍ය විජිතවාදයේ වියගසට එරෙහිව අහිංසාවාදයේ අවියෙන් සටන් කළ ඉන්දියානුවන්ට උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් අකුරු කියැවූ දෙමළ තරුණයකු අලුත් පාඩමක් කියා දුන්නේය. තිලීපන්ගේ මරණයත් සමගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වේ යැයි ශ්‍රී ලංකා මෙන්ම ඉන්දීය බලධාරීන් ද අපේක්ෂා කළ අතර ඒ වෙනුවෙන් ඔවුන් සිය ආරක්ෂක බල ඇණි සීරුවෙන් තබා තිබුණි.

“නමුත් හැමෝම පුදුම කරමින් තිලීපන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඉතාමත් සාමකාමිවයි. විමුක්ති කොටි නායක ප්‍රභාකරන් පුවත්පත්වලින් හා නිදර්ශනම් රුපවාහිනිය හරහා කතා කරලා කිව්වේ තිලීපන්ට ගෞරවයක් වශයෙන් කිසිදු පොදු දේපළකට හානි නොකරන ලෙසයි.’’

ඒ පිළිබඳව ඊළමුරසු පුවත්පතට වාර්තා කළ ජෙයරාජ්ගේ මතකයට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවුණ ද ජනයා තුළ ප්‍රකාශ නොවුණු කෝපයක් කැකෑරෙමින් තිබුණි. යාපනයේ සියලු මංමාවත්වල, නිවෙස්වල රජයේ හා පුද්ගලික ගොඩනැගිලි ඇතුළු ආගමික හා පොදු ස්ථානවල ද කළු කොඩි ඔසවා තිබුණි. තිලීපන්ගේ රුව සැම තැනම දිස් විනි. සුදුමලෛ අම්මාන් කෝවිල් භූමියේදී තිලීපන්ට අවසන් ගෞරව දැක්වූ අතර තිලීපන්ගේ අවසන් ඉල්ලීමට අනුව යාපන සරසවියේ වෛද්‍ය පීඨය වෙත ඔහුගේ දේහය බාර කෙරිණි.

තිලීපන්ගේ මරණය විසින් ඉන්දියානු විරෝධය දෙමළ ජනයා අතර වේගයෙන් අවුළවනු ලැබුණි. දෙමළ මාධ්‍ය ඔස්සේ ඉන්දියානු හමුදාව හා ඉන්දීය බලධාරීන් දැඩි ලෙස විවේචනයට ලක් කෙරිණි. ප්‍රවීන මාධ්‍යවේදී කුගනාදන් පවසන පරිදි එම විවේචනයන්හි ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝම්බර් 10 වැනිදා අළුයම ඉන්දීය සාම සාධක භටයෝ ඊළමුරසු හා මුරසොලි පුවත්පත් කාර්යාල ගිනිබත් කළහ. ඇතැම් මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගැනිණි. නිදර්ශනම් රුපවාහිනි සේවාවට ප්‍රහාර එල්ල කරන්නට පෙර ඔවුහු එම ස්ථානයෙන් සිය විකාශන මෙවලම් ඉවත් කරගන්නට සමත් වූහ.


“ඉන්දියානු හමුදාවට තිලීපන්ගේ මාරාන්තික උපවාසය බරපතල පරාජයක් වගේම වෙනත් ගැටළු බොහොමයක පටන් ගැන්මක් වුණා. කොටි සංවිධානයට වගේම උතුරු - නැගෙනහිර සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහිව පිඩාකාරීව හැසිරුණු ඉන්දියානු හමුදාවට ඉන්දියානු ක්‍රමයෙන්ම, ඒ කියන්නේ ගාන්ධිගේ අහිංසාවාදී උපවාස සංකල්පයෙන්ම උත්තර දෙන්න තිලීපන් ක්‍රියා කිරීම ඉන්දියාවට බරපතල සදාචාරාත්මක පරාජයක් අත්කර දුන්නා. ඒ පසුපසින් ආවේ ඔවුන් අත්විඳි යුදමය පරාජය යි. තිලීපන්ගේ පරිත්‍යාගය ඒ වකවානුවේදි දෙමළ ජනයා තුළ නිදහස ගැන තිබුණු අධිෂ්ඨානය සෑහෙන බලවත් බලයක් බවට පත්කරන්නටත් හේතුවුණා.”

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය හමුදාවේ පරාජය පිළිබඳව පැහැදිලි කරමින් පොන්නයියා ජෙයරාජ් පැවසීය.

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ කිලිනොච්චි දේශපාලන මධ්‍යස්ථානය පසුකාලීනව නම් කරන ලද්දේ තිලීපන් නමිනි. එල්ටීටීඊ සංවිධානය විසින් දෙමළ ගම්බිම්වල ජංගම මහජන සෞඛ්‍ය සායන හා නේවාසික ප්‍රතිකාර කඳවුරු පැවැත්වීම සඳහා යොදවා තිබූ ජංගම වෛද්‍ය බලකාය ද තිලීපන්ට ගෞරව පිණිස ඔහු නමින් නම් කර තිබුණි.☐

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.