JDS Sinhala

කඳුරට කාහලය: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති - I


නවාරි මාසයේ 28 වැනිදා වතු පාලකයන් සමග අත්සන් කරන ලැබූ නින්දිත ගිවිසුම මගින් රුපියල් දහසක දෛනික වැටුප් ඉල්ලීම මුල්කොටගත් වතු කම්කරු සටන එක් පෙරමුණකදී බැලූ බැල්මට පාවා දී තිබේ. නමුත් තවත් පෙරමුණක කම්කරු විරෝධය තව දුරටත්  බුර බුරා ඇවිළ යයි. වැටුප් අරගලයට සහාය දක්වන පිරිස් විසින් අප්‍රේල් 03 වැනිදා යළිත් කොළඹට කැඳවන ලද සහයෝගිතා උද්ඝෝෂණය විසින් පෙන්නුම් කරන ලද්දේ නිම නොවූ සටනක කතාන්දරයයි.

යටත් විජිත ලංකාවේ දැවැන්ත සුබ සාධන රාජ්‍යය නඩත්තු කරනු පිණිස අවශ්‍ය අතිමහත් අතිරික්තය උපයන ලද ප්‍රධාන බලවේගය වූයේ පුරවැසි අයිතිය පවා නොතිබූ වතු කම්කරුවන් විසිනි.  වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දාහක් කොට වතු බංකලොත් කරමුදැයි අසන ෆේස්බුක් අර්ථ ශාස්ත්‍රඥයෝ නොතකන ඒ වහල් පීඩනයේ ඉතිහාස  කතාව පටන් ගන්නේ විසිවන සියවසේ උදාවටත් කලිනි. නමුත් තම සාමූහික අයිතීන් පිළිබඳ සවිඥාණික කම්කරුවන්ගේ සංවිධානාත්මක සටන් පැන නගින්නේ විසිවන සියවසේ මුල් භාගයේදී ය. ඒ කතාව සැකෙවින් හා පිළිවෙලකට ලියා තැබීම වැදගත්වන්නේ දැන් පැන නගින සටන්වල යුක්ති යුක්තභාවය සනාථ කරන වැදගත් සාක්ෂි සමුදායක් එමගින් අනාවරණය කරන නිසා ය.

ශ්‍රමයට සරිලන වැටුපක් ඉල්ලා සිය අර්ධ වහල් ජීවන කොන්දේසිවලට එරෙහිව වතු කම්කරුවන් සිදුකළ සටන් පැන නැගුණේ අද ඊයක නොවේ. සියවසකට නොඅඩු කාලයක් ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත්ව සිටින අතරේම, පංති හා වාර්ගික විෂමතා හේතුවෙන් දෙවැදෑරුම් පීඩනයකට පාත්‍ර කොට පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් නොසළකන ලද පීඩිතයන් සමූහයකගේ එකී සටන් මාලාවන්ගේ ඉතිහාසය වනාහී පාසැල් පෙළපොත්වලට ඇතුල් නොවන වැදගත් ඉතිහාස පරිච්ඡේදයකි. අතළොස්සක් විකල්ප බුද්ධිමතුන් හා වාම ක්‍රියාකාරිකයන් විසින් අසීරුතා මධ්‍යයේ සිදුකළ ඒ ඉතිහාසය ලේඛනගත කර තැබීමේ සම්ප්‍රදායය හැකි පමණින් ඉදිරියට ගෙන යාම කෙසේ හෝ කළ යුතුව ඇත්තේ එබැවිනි.

ණය වී ඉපිද ණය වී මියයාම

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ විසින් සිය වැවිලි කර්මාන්තය වෙනුවෙන් කම්කරුවන් මෙරටට  ගෙන්වා වසර 100ක් ගතවන තෙක්ම  ඔවුන්ට  නිශ්චිත වැටුපක් ලබා නොදුන්හ. එහෙත් අර්ධ වහල් සේවය උදෙසා ඉන්දියාවෙන් කම්කරුවන් ලංකාවට සහ මලයාසියාවට රැගෙන යාමට එරෙහිව  උත්සන්න වෙමින් තිබු සටන් හේතුවෙන් ඒ ගැන අවධානයක් යොමු කරන්නට වැවිලි හාම්පුතුන්ට හා යටත් විජිත පාලකයන්ට බළ කෙරිණ. 1921 ජනවාරි 20 වැනිදා ඉන්දීය ආණ්ඩුව, ශ්‍රමිකයන් ලංකාවට ගෙන යෑම තහනම් කරන බවට ප්‍රකාශ කළේ එම විරෝධයන්ගේ බලපෑම් නිසා ය.  ඊට වසර කිහිපයකට පසු පළමු වරට 1925 දී වතු කම්කරුවන්ගේ වැටුප් පිලිබඳ සොයා බැලීමට මණ්ඩලයක් පත් කිරීමට එම ඉන්දියානු බලපෑම හේතුවිය. එවකට ජන හා  සංඛ්‍යා ලේඛන අධ්‍යක්‍ෂක ඇල්.ජේ.බී.ටර්නර් ද ඇතුළත් මෙම කමිටුව, ඉන්දියානු ආණ්ඩුවේ මෙරට නියෝජිතයා වූ ඇස්. රෙන්ගනාදන්ගේ උපදෙස් මත  වතු කම්කරුවන් කළාප තුනකට -  එනම්, උඩරට , මැද රට හා පහත රට වශයෙන් - බෙදා ඔවුන්ගේ දෛනික වියහියදම් ගැන වාර්තාවක් සකස් කරනු ලැබුණි. එය පදනම් කරගෙන 1927 දී අවම වැටුප් පිළිබඳ ආඥා පනත ගෙන එනු ලැබුවේ වතු හිමියන්ගේ විරෝධය මැද ය. අදාළ පනත ක්‍රියාත්මක වීමට තවත් වසර දෙකක් ගත විය. 1929 ජනවාරි පළමු වෙනිදා සිට එය බලාත්මක කෙරිණි.


එවක වතු පුරා ක්‍රියාත්මක වුයේ කන්කානි ක්‍රමයකි. මේ යටතේ නුගත් වතු කම්කරුවන් කන්කානිවරුන් විසින් සුරා කන ලද්දේ ඔවුන් සදාකාලික ණය කරුවන් කරමිනි. කම්කරුවන්ගේ වැටුප් ලබා දුන්නේ ඔවුන් වතු රැකියාව සඳහා රැගෙන ආ කන්කානිලා අතට ය. කම්කරුවන් වෙනුවෙන් කන්කානිවරුන් වියදම් කරනු ලැබූ මුදල් පියවාගෙන කම්කරුවන් වෙත අවසානයේ හැමවිටම ලබා දෙන ලද්දේ සොච්චමකි. ණය මුදල් පියවීමෙන් පසු කම්කරුවන්හට කිසිදු මුදලක් ඉතිරි නොවීම බොහෝවිට පැවැති යථාර්ථය විය. ඉක්බිති, නැවත වැටුප් ලැබෙන තෙක් ඔවුහු කන්කානිලාගෙන් මුදල් ණයට ලබා ගනිති. යම් කම්කරු පවුලක ස්වාමියා මිය ගියහොත් බිරිඳ විසින් එම ණය පියවිය යුතු අතර ඒ දෙදෙනාම මියගියහොත් එම පවුලේ දරුවන් විසින් එම ණය පියවීම අනිවාර්යව තිබිණ. පවුලේ කිසිවෙකුත් නැත්නම් ණය මුදල් පියවීමේ වගකීම් පැවරෙන්නේ ඔවුන් සමග ලංකාවට පැමිණි කණ්ඩායමේ අවශේෂ පුද්ගලයන්ට ය. මුල් කාලීන වතු කම්කරුවෝ ණයෙන්ම ඉපදී , ණයෙන්ම දිවි ගෙවා, ණයෙන්ම මියැදෙන ජනතාවක් බවට පත්ව සිටියේ මේ යථාර්ථය හේතුවෙනි.

යට කී වැටුප් සභාවේ සංයුතිය  වතු හිමියන් නියෝජනය කරමින් සාමාජිකයන් දෙදෙනෙක් ද, කම්කරුවන් හා රජය නියෝජනය කරමින් සාමාජිකයන් එක් අයෙක් බැගින් ද  සමන්විත විය. කම්කරුවන් නියෝජනය කරමින් සහභාගීවුයේ කන්කානිලා ය. මෙම වැටුප් සභාවෙන් පසු පළමු වතාවට සෘජුවම වතු කම්කරුවෝ වෙත සිය වැටුප ලැබුණ ද, නැවතත් ඔවුන්ට කන්කානිවරුන් වෙතම යන්නට සිදුවූයේ ඒ නිසා ය. 1920 හා 21 වන විට වතු කාර්ය මණ්ඩල සේවකයෝ හා කන්කානිවරුන් සංවිධානය වී සිටිය ද එම අවස්ථාව කම්කරුවන්ට අහිමි කර තිබුනේ තවදුරටත් ඔහුන් වහල් සේවයට සීමා කරමින්ය. එවකට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රමුඛයා වූ ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ හෙවත් ඒ.ඊ. ගුණසිංහගේ බලපෑම නාගරික කම්කරු පංතියට සීමා වී තිබුණු අතර  වතු කම්කරුවන් සංවිධානය කිරීම ඔහු විසින් අත්හැර දමා තිබිණි.

තමිල්නාඩුවේ තන්ජෝරයේ සිට පැමිණි මාධ්‍යවේදියෙක්  මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වූ  නටේස අයියර් කෙටි කලක් ගුණසිංහ සමග සමීපව කටයුතු කළේය. ගුණසිංහගේ  කම්කරු සමිතියේ උප සභාපති වරයා වූ නටේස අයියර් ඉන් ඉවත්වන්නේ ගුණසිංහ විසින් සංක්‍රමණික මලයාලි කම්කරුවන්ට එරෙහිව ගෙන ගිය විසකුරු වර්ගවාදී පිළිවෙතට විරෝධය පාමිනි.

නටේස අයියර්

1925 ඉන්දියානු ජනයාගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත්වූ එස්.කේ. නටේස අයියර්, වතු කම්කරුවෝ සංවිධානය කිරීම වෙනුවෙන් සමස්ත ලංකා වතු කම්කරු සම්මේලනය (ACFW) 1931 දී ආරම්භ කරමින් එවකට වතු පාලකයන් විසින් ගෙන යමින් තිබු වහල් ක්‍රමයට එරෙහිව වතු කම්කරුවෝ සංවිධානය කරන්නට මූලිකත්වය ගත්තේය. වතු කම්කරුවන් සඳහා නිශ්චිත වැටුපක් වෙනුවෙන් ද, ඔවුන්ට එරෙහිව කෙරෙන නොසළකා හැරීම් හා වෙනස් ලෙස සැළකීම්වලට ද  එරෙහිව ව්‍යවස්ථාදායක සභාව තුළ හඬ නගන්නට ද ඔහු අමතක නොකළේය. වතු පාලකයෝ කෙතරම් දරුණු ලෙස කටයුතු කෙළේද කිවහොත් කම්කරුවෙකුට වත්තකින් වත්තකට ඇතුල්වීම ද තහනම් කර තිබිණි. 'වතු වලට ඇතුල්වන ඕනෑම පිටස්තරයෙකු ඩමොක්ලිස් ගේ අසිපත මෙන් එල්ලා තබන බවට" වතු හිමියෝ නීති පැනවුහ.  ඇතැම් තැන්හි  "වතු වල සැරිසරණ හෝ සැඟව සිටින ඕනෑම අයෙකුට සති හයක සිර දඬුවමකට හා රුපියල් 25 ක දඩයකට යටත් කරන බවට" අනතුරු අඟවා තිබිණි. මෙවැනි තත්වයක් හමුවේ නටේස අයියර් වත්තට ඇතුල්වුයේ වෙළෙන්දෙකු මෙන් වෙස්වළා ගෙන ය. වතු ආසන්නයේ සිට කම්කරුවන්ට ඇසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දේශනා පැවැත්වීමට ද හේ ක්‍රියා කළේය. කම්කරුවන් වෙනුවෙන් “දේශ භක්තන්” නමින් පුවත් පතක් ආරම්භ කළ ඔහු, ඒ ඔස්සේ වතු කම්කරුවෝ දැනුවත් කිරීමේ ප්‍රයත්නයන් උත්සන්න කළේය.  “ ඉන්දියානු කම්කරුවනි! නැගී සිටිව්!! , අද ඔබට නොහැකි නම් කිසි දිනෙක හැකි නොවනු ඇත! දෙවි කෙනෙක් සිටී නම් ඔහු දුගීන් සමඟ සිටීවි! රැස් වෙව් ! - තීරණ ගනිව් ! …..” යනාදී සටන් පාඨ රැගත් 'දේශභක්තන්' පුවත්පත හොර රහසේ කම්කරුවන් අතට පත් කෙරිණි.

1936 දී හැටන් ආසනය නියෝජනය කළ අයියර් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූයේ වතු කම්කරුවන්ගේ වැඩි බහුතරකගේ කැමැත්ත ලබා ගනිමින් ය. ලෝක වෙළඳ පොළේ තේ මිල පහත වැටී ඇති බව පවසමින් වතු හිමියෝ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවට සැරසුණු සෑම මොහොතකම, නටේස අයියර් එය පරාජය කිරීමට පෙරමුණ ගත්තේය. වතුවල නිතර ඇතිවන වැඩ වැරීම් ගැන කැමැත්තක් නොදැක්වූ හාම්පුතුන් 1933 දී යෝජනා කර සිටියේ කම්කරු සමිති රජයේ ලියාපදිංචි කළ යුතු බව ය. එසේ නොමැතිව වැඩ වර්ජනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සළකනනැයි  වැවිලිකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. 1935 දී මේ ඉල්ලීමට අනුමැතිය ලැබුණි. වතු කම්කරුවෝ නියෝජනය කළ පළමු වෘත්තීය සමිතිය වූ නටේස අයියර්ගේ  ලංකා ඉන්දියා කම්කරු සම්මේලනය (FCIW) ලෙස 1937 ජනවාරි 19 වැනිදා ලියාපදිංචි කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

කම්කරු සටන් රැල්ලක්

ලංකා සමසමාජ පක්ෂය ද වතු කම්කරුවන් අතර සිය දේශපාලන කටයුතු  ලංකා වතු කම්කරු සංගමය (CEWU) ඔස්සේ දියත් කෙරිණි. සමසමාජ පක්ෂයට හිතවත් සහකාර වතු පාලකයෙකු වූ මාර්ක් බ්‍රෙස්ග්රේඩල්ගේ මැදිහත් වීම  වතු කම්කරුවන් අතර උද්‍යෝගයක් ඇති කරන්නට සමත් විය. ඊට අමතරව ජවහල් ලාල් නේරු ගේ මැදිහත්වීමෙන් ගොඩනැගුනු ලංකා ඉන්දීය කොංග්‍රසයේ කම්කරු සංගමය ද අංකුර සංවිධානයක් ලෙස වතු කම්කරුවන් අතර වැඩෙමින් තිබිණි. සෑම වත්තකම පාහේ  නටේස අයියර්ගේ කම්කරු සමිති ශාඛාවක් පිහිටුවා තිබු අතර හැටන්, නුවරඑළිය හා බදුල්ලේ ප්‍රධාන කාර්යාල ක්‍රියාත්මක විය. ලංකා සමසමාජ පක්ෂයේ කම්කරු සමිති ක්‍රියාත්මක වුයේ මහනුවර මුලික කරගනිමිනි.

'30 දශකය අග භාගයේදී වතු කම්කරුවන් ඔවුන්ට එතෙක්  එල්ල වූ පීඩනයට එරෙහිව නැගී සිටින්නට වූ අතර ඊට එරෙහිව වතු හිමියන් පොලිසිය කැඳවීමෙන් වතු කම්කරුවන් හා පොලීසිය අතර ගැටුම් තත්ත්වයන් නිරන්තරයෙන් වර්ධනය විය. බොගවන්තලාව, කොටියාගල වත්තේ වතු අධිකාරිට එරෙහිව වතු කම්කරුවෝ දහසකගේ වර්ජනයෙන් ඇරඹි උද්ඝෝෂණ රැල්ල අනෙකුත් වතු කරාද  පැතිරිණි. මුල්ඔය වත්තේ සටනින් එක් කම්කරුවෙක් පොලිසිය වෙඩි තබා මරා දැමුණු, අතර රම්බොඩ වත්තේ වතු අධිකාරිවරයා තුවාල ලැබුවේ කම්කරුවෙක් එල්ල කළ  ගල් පහරකිනි. කම්කරුවෝ හත් සියයක් දෙනා රම්බොඩ වත්තේ වර්ජනයට එක්ව සිටියහ. වතු කම්කරුවන්ගේ කැරලි හේතුවෙන් වෙල්ලායි ඔය වතු සමාගමේ කොන්දොස්තරවරයෙක් තුවාල ලැබීය. නසේලි වත්තේ වැඩවර්ජිත වතු කම්කරුවන්ට පොලිසිය වෙඩි තැබීමෙන් කම්කරුවෝ දෙනෙක් මරා දැමුණු අතර තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි. පොලිසිය විසින් වතුකම්කරුවන්ට ප්‍රහාර  එල්ල කිරීම  නිසා නෝවුඩ් වත්තේ එක් කම්කරුවෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර වේවැල්හේන වත්තේ  තුවාල ලැබූ කම්කරුවෝ 40 ක් රෝහල වෙත ගෙනයනු ලැබිණි. උඩ රදැල්ල වත්තේ තුවාල ලැබූ  කන්කානි කෙනෙකු ද රෝහලේ ප්‍රතිකාර ලැබුවන් අතර විය. කම්කරුවන් පහර දීම හේතුවෙන් ශාන්ත ඇන්ඩෘ වත්තේ කොන්දොස්තර වරයෙක් ද තුවාල ලබා තිබිණි.

බදුල්ල වේවැස්ස වත්තේ බලය අල්ලා ගැනීමට වතු කම්කරුවන් සමත්වීමත් සමග, පරිපාලනය විසින් පොලිසිය කැඳවුව ද පොලිස් බල ඇණි සතුව තිබු ගිණි අවි තමන් සන්තක කර ගැනීමට කම්කරුවෝ සමත් වුහ. එහෙත් එම වත්තේ කම්කරු සමිතිය මෙහෙය වූ ලංකා සමසමාජ පක්ෂ නායකයෝ මෙම ක්‍රියාව අනුමත නොකළහ. ඒ අනුව ලබා ගත් ගිණි අවි යළි පොලිසියට ලබා දීමට කම්කරුවන්ට සිදු විය. කෙසේ වුවද පැතිරෙන සටන්කාමී තත්ත්වයෙන් සසල වූ වතු හිමියෝ, ඊට විසඳුමක් ලෙස වතු වෘත්තීය සමිති සමග සාකච්ජා කරන්නට තීරණය කළහ. කෙසේ හෝ වතු ක්ෂේත්‍රයේ සාමකාමී වටපිටාවක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ අතර එවකට ප්‍රබලම වෘත්තීය සමිතිය ලෙස සැළකුණු නටේස අයියර්ගේ කම්කරු සමිතිය හා ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ කම්කරු සමිතිය සමග සාකච්ඡා ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අනතුරුව ලංකා ඉන්දීය කොන්ග්‍රසයේ වෘත්තීය සමිතිය සමගද සාකච්ජා කරමින් වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර සාමුහික ගිවිසුමක් අත්සන් කිරීමට එකඟතත්වයකට පැමිණියහ.

වෘත්තීය සමිතියකට බැඳීම කම්කරු අයිතියක් ලෙස සලකමින් ඕනෑම ඉල්ලීමක් එහි නියෝජිතයෙක් සමග සාකච්ජා කිරීමට එකඟතාවයක් ඇතිකර ගනු ලැබු‍වේ ඒ අනුව ය. එසේ විසදුමක් ලබා ගත නොහැකි වු විට කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම, මැදිහත්කරුවෙකු මගින් සමතකරණයෙන් හා බේරුම්කරුවෙක් මගින් ආරවුල් විසඳා ගැනීම ඇතුළු මුලික කරුණු හතකින් සමන්විත සාමුහික ගිවිසුමට මේ අනුව එළඹුණි. ලංකා ඉන්දියා කම්කරු සම්මේලනය වෙනුවෙන් නටේස අයියර්, සමස්ත ලංකා වතු කම්කරු සංගමය වෙනුවෙන් වර්නන් ගුණසේකර, ලංකා-ඉන්දියා කොංග්‍රස් කම්කරු සංගමය (CIWC) වෙනුවෙන් ජී.ඇස්. මෝතා යන අය ගිවිසුමට අත්සන් තැබූහ.

සම සමාජ මර්දනය

නමුත් ඉතාම කෙටි කලක් තුළ දී වැටහී ගියේ 1940 වසරේදී එළඹී මේ කරුණු හතේ සාමුහික ගිවිසුම මගින් කම්කරු ව්‍යාපාරය දුර්මුඛ කරමින්, වැඩ වර්ජන වලින් රැකවරණය ලබා ගැනීමට වතු හාම්පුතුන්ට එමගින් වාසි සැළසුණු බව ය. ඊට අමතරව එතෙක් වතු හාම්පුතුන්ට හිසරදයක් ගෙන දුන් වතු කම්කරු නායක නටේස අයියර්, වතු ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට සුක්ෂම කුමන්ත්‍රණයක් ද මීට සමාන්තරව ක්‍රියාත්මක වෙමින් තිබිණි. වතු කම්කරුවන් ඔහු කෙරෙහි තිබු බැඳීම බිඳලීම සඳහා නාදන් නැමැත්තෙක් ලවා “ඌරියන්” නමින් පුවත්පතක් පලකරවා එය වතු කම්කරුවන් අතර බෙදා හැරීමට වතු පාලකයෝ කටයුතු කළහ. ඒ සදහා වන සියළුම වියදම් වතු පාලකයන්ගෙන් වූ අතර අයියර්ගේ “දේශ භක්තන්” පුවත් පතේ පළ කෙරෙන ලිපිවලට පිළිතුරු හා අවලාද ව්‍යාපාරයක්  “ඌරියන්” හරහා දියත් කෙරුණි. නටේස අයියර් හා වතු කම්කරුවන් අතර භේද ඇති කිරීමට ඔහුගේ බ්‍රාහ්මණ වංශික පසුබිම ද ඉතාමත් නින්දිත අයුරින් යොදා ගැනීමට වතු පාලකයෝ කටයුතු කළහ. ව්‍යවස්ථාදායක සභාවේ දී වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අයියර් නැගූ හඬට තිත තැබීමේ ප්‍රයන්තනය සාර්ථක වුයේ ඊ ළඟට පැවති මැතිවරණයෙන් ඔහු පරාජය වීමෙනි.

ලංකා සමසමාජ පක්ෂයට එරෙහිව වතු පාලකයෝ ක්‍රියාත්මක වූයේ ඊට වෙනස් ආකාරයකිනි. කරුණු හතේ සාමුහික ගිවිසුමෙන් වසර දෙකකට පසු ලංකා සම සමාජ පක්ෂයේ නායකයන් අත් අඩංගුවට ගෙන සිරගත කරමින් පක්‍ෂය හා ඊට අනුබද්ධ වෘත්තීය ද තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ඒ අනුව ය. වතු කම්කරුවෝ විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන්, පොලිස් අණ නොතකා බදුල්ල නගරයේ පැවැත්වූ සම සමාජ මැයි රැළිය වතු පාලකයෝ බියට පත් වූ ඊට ආසන්නතම හේතුව විය.

බ්‍රිතාන්‍ය විජිතවාදයෙන් නිල නිදහස ප්‍රදානය කිරීම හමුවේ පවා, වතු කම්කරු ජනයාගේ ජීවන තත්ත්වයන් නගාසිටුවීම කෙරෙහි අවධානය යොමු නොවූවා පමණක් නොව, ඔවුන්ගේ අතිමහත් සංඛ්‍යාවක පුරවැසිභාවය අහිමි කරමින් රටක් නැති පීඩිතයන්ගේ තත්ත්වයට පිරිහෙළා දැමීමට ඊනියා ජාතික නායකයෝ ක්‍රියාකළහ. 'නිදහසින්' පසු පවා, ස්වකීය වැටුප් හා ජීවන මට්ටම් ඉහළ දැමීමට බලකරමින් වතු කම්කරුවන්ගේ සටන් ක්‍රියාමාර්ග තීව්‍ර වීමට බලපෑවේ මෙකී මර්දනකාරී පිළිවෙත් විසින් ඇති කළ දුක්ඛිතභාවයයි.

සටන් අරගල හා පාවාදීම්

1952 දෙසැම්බරයේ දී  වතු කම්කරු මුලික වැටුප ශත 32 සිට රුපියල දක්වා වැඩි කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම හමුවේ වැටුප් සභාවේ ද නිර්දේශයන්ට අනුව කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වතු හිමියෝ එකඟ වුව ද, ඊට ඇමතිවරයාගේ අනුමැතිය නොලැබිණි.

ලෝක වෙළඳ පොලේ තේ මිල පහත වැටීම හා ආර්ථික අවපාතයන් හේතුවෙන් වතු කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමට පඩි පාලක සභාව සුදානම් වූයේ ද මේ වකවානුවේදී ය. ලංකා වෘත්තීය සමිති සම්මේලනය ඊට විරෝධය දැක්වූ අතර වසර තුනකට පෙර අභිනව නාමකරණයකට ලක් වූ ලංකා ඉන්දියා කම්කරු කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය නමින් ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ ලංකා කම්කරු සම්මේලනය හා එක්ව 1953 ජනවාරි 7 වැනිදා වැඩ වර්ජනයක් කැඳවනු ලැබීය.

වතු කම්කරුවෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා 1961 අගෝස්තු 17 වැනිදා  දී පළමු වරට සංකේත වැඩ වර්ජනයකට එක්වුහ. වර්ජනය කැඳවන ලද්දේ, සිදම්බරම් නඩේසන්ගේ නායකත්වයෙන් යුතු වතු කම්කරු සමිති 14 කින් සමන්විත ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (JCPTU) මගිනි. ලංකා කම්කරු කොංග්‍රසය හා එක්සත් ජාතික පක්ෂයේ සමිතිය වූ ලංකා ජාතික වතු කම්කරු සංගමය සටන අත්හැරීමට කම්කරුවන් පෙළඹවූ අතර ඔවුන් කියා සිටියේ මේ මොහොතේ මෙවැනි සටන් තුළින් සිංහල ජනයා ප්‍රකෝප වීමට ඉඩ ඇති බව ය. ඒ වන විට ෆෙඩරල් පක්ෂය විසින් උතුරු සහ නැගෙනහිර පළාත් පුරා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කර තිබීම නිසා වතු කම්කරුවන්ගේ තත්ත්වය ද අන්තරායකර විය හැකි බවට අනතුරු හඟවනු ලැබුණි. එහෙත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ හා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ  කිසිදු සහායක් නොමැතිව සංකේත වැඩ වර්ජනය සාර්ථක විය.

වතු කම්කරු වැටුප් අරගල ඉතිහාසයේ කම්කරුවන්ගේ පුළුල් සහභාගිත්වයක් පෙන්නුම් කළ සටන වාර්තා වන්නේ 1966 ජුනි 13 වැනිදා ය. ඊට පසුබිම නිර්මාණය වූ ආකාරය වැදගත් කතාවකි.

1957 දී පැවති ආර්ථික තත්වය සළකා රජයේ සේවා වෘත්තීය සමිති ඉල්ලීමට අනුව රුපියල් 17.50 ක විශේෂ ජීවන වියදම් දීමනාවක් ලබා දීමට බණ්ඩාරනායක ආණ්ඩුව එකඟ විය. ඒ අනුව අදාළ දීමනාව 1959 මැයි මාසයේ දී හාම්පුතුන් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති අතර අත්සන් කළ ගිවිසුමක් මගින් ක්‍රියාත්මක කෙරිණ. 1965 දී බලයට පත් ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව හා ලංකා වතු කාර්ය මණ්ඩල සේවකයන්ගේ සංගමය (CESU) සමග එළඹී සාමුහික ගිවිසුමක් මගින් අදාළ විශේෂ ජීවන වියදම් දීමනාව වතු කාර්ය මණ්ඩල සේවකයන්ට ලබා දුන් මුත් වතු කම්කරුවන් ඊට ඇතුළත් කරගැනීම එමගින් ප්‍රතික්ෂේප කෙරුණි. රජයේ සේවකයන්ට ලබා දුන් රුපියල් 17.50 දීමනාව,  වතු කම්කරුවන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සටන් අරඹන ලද්දේ එයින් පසුව ය. 1956 දී මත ගැටුම් නිසා ලංකා කම්කරු කොංග්‍රසයෙන් බිඳී ගිය ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසයේ (DWC) නායක අබ්දුල් අසීස් ගේ නායකත්වයෙන් 1966 ජූලි මාසයේදී ඇරඹි මේ සටන කඩා කප්පල් කිරීමට හත් හවුල් ආණ්ඩුව මහත් වෙහෙසක් දැරීය. ඊට අනගි සහයක් ලබා දෙන්නට හත් හවුලේම කොටස් කාරයෙකු වූ  සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොන්ග්‍රසය නොපැකිළව කටයුතු කළේය. ආණ්ඩුව හදිසි නීතිය යොදවා වතු කම්කරු සටන අඩාල කරන්නට දැරූ ප්‍රයත්නය සාර්ථක නොවිණි.

ලංකා සම සමාජ පක්ෂයේ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මෙන්ම කොමියුනිස්ට් පක්ෂයට හිතවත් සිදම්බරම්  නඩේසන්ගේ එක්සත් වතු කම්කරු සංගමය (UPWU) වර්ජනයට නොමද සහායක්  ලබා දුන් අතර වතු කම්කරුවෝ  වසරකුත් මාස හයක්  පුරා සටනට සිය දායකත්වය සැපයුහ. අවසානයේ ඉතාමත් සුක්‍ෂම ලෙස සටනට සහයෝගය දෙන මුවාවෙන්  ලංකා කම්කරු කොංග්‍රසය, සේනානායක ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹිණි. වැඩ දවසකට ශත 10 ක් ගෙවීමට එකඟව ගිවිසුම් අත්සන් කිරීමෙන් තොණ්ඩමාන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් සටන පාවා දෙනු ලැබුණේ ඒ අනුව ය. ඊට අමතරව වෘත්තීය සමිති සාමාජික මුදල් වතු කම්කරුවන්ගේ වැටුපෙන් සමිතිය වෙත බැර කිරීමට ද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයට පැමිණ තිබිණි. ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් වී.කේ.වෙල්ලයාන්, වේළුපිල්ලේ සුබ්බයියා ඇතුළු කණ්ඩායමක් එයින් ඉවත්ව ජාතික කම්කරු සංගමය (NUW) පිහිටුවීමට මූලිකත්වය ගන්නා ලද්දේ ඊට විරෝධය පෑමක් වශයෙනි.☐

(මතු සම්බන්ධයි)

අතුල විතානගේ


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.