JDS Sinhala

වතු කම්කරු අරගලයට පණදෙන මුල්ඔය වත්තේ දිදුලන සටන් උරුමය

තු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන මෙන් ඉල්ලා 2016 වසරේ සිට කම්කරුවන් ගෙන යමින් තිබෙන සටනේ වැදගත් පියවරක් ජනවාරි 23 වැනිදා විසින් සළකුණු කෙරිණ. අගනුවර සහ මධ්‍යම කඳුකරයේ නගර ගණනාවක දියත් කෙරුණු සහයෝගිතා ව්‍යාපාරයට වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් විසින් සහාය පළ කළ අතර ඒකාබද්ධව සංවිධානය කෙරුණු පෙළපාලි සහ උද්ඝෝෂණ සඳහා වතු කම්කරුවෝ ද විශාල වශයෙන් සහභාගී වූහ. 

තුන් වසරකට ආසන්න කාලයක් තිස්සේ පිකටින් උද්ඝෝෂණ, සංකේත වැඩ වර්ජන, විරෝධතා පෙළපාළි, පා ගමන්, සත්‍යග්‍රහ හා දින නමයක වැඩ වර්ජනයක් හරහා වතු සමාගම්වලටත්, ආණ්ඩුවටත් එල්ල කළ අඛණ්ඩ බලපෑම් තිබියදීත් මේ දක්වා කම්කරු වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට වගකිව යුතු පිරිස් පියවර ගෙන නොමැත. ඒ වෙනුවට, තමන්ට දැරීමට සිදුවන අධික නිෂ්පාදන පිරිවැය නිසා රුපියල් දහස් දක්වා වැටුප් වැඩි කළ නොහැකියැයි  වැවිලිකරුවෝ මැසිවිලි නගති. ඔවුන් යෝජනා කරන්නේ පැමිණීමේ හා දිරි දීමනා ඇතුළු අතිරේක දීමනා කීපයක් මගින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 940ක් පමණ උපයා ගැනීමට හැකි බව ය.

වතු කම්කරුවන්ගේ සෘජු නියෝජනය වෘත්තීය සමිති වලට පවරා වැවිලි හාම්පුතුන්ගේ සමාගම් සමග සාමූහික ගිවිසුමක් හඳුන්වා දුන් 1992 වසරේ පටන් කම්කරුවන්ගේ වැටුප් , සේවා ක‍ොනේදේසි සහ අනෙකුත් සුභ සාධනය තීරණය වන්නේ එකී සාමුහික ගිවිසුම ඔස්සේ ය. සෑම වසර දෙකකටම වරක් මෙම ගිවිසුම අලුත් කෙරෙන අතර පැවති දෙවාර්ෂික සාමුහික ගිවිසුම අවසන් වූයේ ඉකුත් ඔක්තොම්බරයේදී ය. මෙම ගිවිසුමට එළඹීම සඳහා වතු කම්කරුවන් නියෝජනය කරන්නට වරම් ඇත්තේ ලංකා ජාතික වතු කම්කරු සමිතිය, ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා ලංකා කම්කරු කොන්ග්‍රසය පමණි. මෙයින් ද බලපෑම් කිරීමේ වැඩි හැකියාවක් ඇත්තේ ලංකා කම්කරු කොන්ග්‍රසය සතුව ය. වැටුප් හා නව සේවා කොන්දේසි පිළිබඳව වතු සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රධාන කරුණු තුනක් සළකා බැලීමට මෙකී වෘත්තීය සමිති සිය කැමැත්ත පළ කොට තිබේ. 2016 වසරේ ද වතු කම්කරුවෝ සිය දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස උද්ඝෝෂණය කරද්දී, රුපියල් 50 ක වැටුප් වැඩිවීමක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වෘත්තීය සමිති එකඟ වුහ. ජාතික කම්කරු සමිතිය, කඳුරට ජනතා පෙරමුණ  හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ වැනි ලංකා කම්කරු කොන්ග්‍රසයට එරෙහි වෘත්තීය සමිති අවසානයේ කිසිදු විරෝධතාවයකින් තොරව මෙම සාමුහික ගිවිසුම පිළිගනු ලැබීය. මෙවර ද දැනට කරුණු සිදුවෙමින් ඇත්තේ ඒ පැරණි විදියටම ය.

මුල්ඔය සටන

කෙසේවුවද, දැන් පැතිරී යන වතු කම්කරු සටන් රැල්ලට පිටුබල දෙන සටන්කාමීත්වයේ වැදගත් ඉතිහාස කතාවක හැත්තෑ නමවැනි ස්මරණය යෙදෙන්නේ ද මේ ජනවාරියේදී ය. අරගලයේ යුක්ති යුක්තභාවයත්, වතු කම්කරුවන් පෙළන දිගුකාලීන පීඩනයත් වටහා ගන්නට ඒ ඉතිහාසයෙන් අල්ප මාත්‍රයක් ආවර්ජනය කිරීමේ වැදගත් කමක් තිබේ.

වචනයේ පරිසමාප්ත අරුතින්ම, මෙරට පළමු  නිර්ධන පාන්තික බලවේගය ලෙස හැඳින්විය හැකි වතු කම්කරුවෝ, බ්‍රිතානීන් විසින් ගෙන එන ලද යුගයේ සිට නොසලකා හැරීමටත්, යටත් භාවයටත් පාත්‍ර කරමින්ද, පුරවැසි පනත්, හදිසි නීති රෙගුලාසි, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ආදී අණපනත් ඔස්සේ මර්දනය කරමින් ද, ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය ත්‍රස්තවාදය, ජනපදකරණය, ආදී පිළිවෙත් මගින් වෙනස් ලෙස සැළකීමට භාජනය කරමින් ද දීර්ඝ කාලීන පීඩනයකට පාත්‍ර වූහ. ආර්ථික සූරාකෑමේත්, ජාතික පීඩනයේත් ගොදුරක් බවට පත්කොටගත් ඔවුහු, වසර 150 කටත් වැඩි කාලයක සිට ශ්‍රී ලංකා ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබාදී අවම ජීවත තත්ත්වයන් යටතේ දැනටත් දිවි ගෙවති. දැන් ඇවිළ යන වතු සටන් රැල්ලට පිටුබල දෙන සටන්කාමීත්වය ඔවුන් උගත්තේ ද ඒ දිගු පීඩනයේ ඉතිහාසයෙනි.

වතු කම්කරු සටන් ඇවිලී යන මේ ජනවාරියේ දී මෙරට වතු කම්කරු  ඉතිහාසයේ පළමු වරට  අරගලයක දී  පොලිසිය වෙඩි තබා  වතු  කම්කරුවකු  මරා  දමනු ලැබීමේ සිදුවීමට වසර 79ක් සම්පූර්ණ වේ. ඒ, 1940  ජනවාරි 10 වැනිදා හේවාහැට ආසනයේ මුල්ඔය වත්තෙන් පැන නැඟුණු කම්කරු සටනේදී ය. 1939 අවසාන භාගය වන විට මුල්ඔය වත්තේ කම්කරුවන් 1,250 දෙනකුගෙන් 800 දෙනෙක්ම ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධිත  සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලියාපදිංචි  සාමාජිකත්වය ලබා සිටියහ. ලසසපයට අමතරව, වතු කම්කරු  ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිති පුරෝගාමියා වූයේ එස්. කේ. නටේස අයියර්ගේ නායකත්වයෙන් පිහිටුවා තිබූ සමස්ත ලංකා ඉන්දීය කම්කරු සම්මේලනය වේ.

මුල්ඔය  වත්තේ සටන ඇවිළ යන්නට පසුබිම් කතාවක් තිබේ. ඒ ජෙගනාදන්ගේ කතාව ය. මුල්ඔය වත්තේ වතු කම්කරුවකු සේවය කළ ජෙගනාදන් සිය විවේකී කාලය තුළ  වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය  ඉහල නැංවීම වෙනුවෙන්  වැය  කළ  අතර  ඔහුගේ  දැනුවත්  කිරීම මත  කම්කරුවෝ සමස්ත ලංකා වතු කම්කරු සංගමය වෙත බැඳෙන්නට වූහ.  වතු අධිකාරි  ඩබ්ලිව්.ඊ. ස්පාලින් ජෙගනාදන්ගේ මෙම වැඩ පිළිවෙල  නොරිස්සු  අතර  1939 දෙසැම්බරය නිමාවට ආසන්නයේ දිනෙක ඔහුගේ බිරිඳත් සමගින් වැඩ කරමින් සිටි  වත්තේ  මැදි කොටසින්  පහළ කොටසකට  මාරු  කෙරුණි. තම අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගී එන කම්කරු විරෝධය කෙරෙහි තැකීමක් නොකළ  වතු  අධිකාරිවරයා  සිය ස්ථාවරය  වෙනස් කරන්නට සුදානම් නොවුණි.

වේලුසාමි දඟගෙට

1940 ජනවාරිය උදා වන්නේ  මුල්ඔය කම්කරුවන්ගේ  ඉල්ලීම්  කිහිපයක් වතු පාලක වෙත ඉදිරිපත් කරමිනි. ජෙගනාදන්ගේ හා ඔහුගේ බිරිඳගේ ස්ථාන මාරුව  අවලංගු  කිරීමටත්, දෛනික  වැටුප ශත 16 කින්  වැඩි කිරීමටත් ඒ ඉල්ලීම් මගින් බලකර තිබිණ. ඒ වනවිට දෛනික වතු කම්කරු වැටුප  ශත  40ක්ව තිබිණ.  එහෙත් එකී ඉල්ලීම්  සම්බන්ධයෙන් කම්කරුවන් සමග  සාකච්ජා කිරීමට පවා  මනාප නොවූ   වතු අධිකාරි  ස්පාලින් පොලීසිය මැදිහත්  කරමින් වර්ජනය මැඩ පැවැත්වීමට උත්සාහ දැරීය.

එහි  ප්‍රතිඵලයක් ලෙසින් සමස්ත ලංකා වතු  කම්කරු  සංගමයේ මහනුවර දිසා ලේකම් පී. එම්. වේලුසාමි මුල්ඔය  වතු කම්කරුවන්ගේ සහායට  පැමිණියේය.  ජනවාරි  2 වැනිදා  මුල්ඔය ට පැමිණි වේලුසාමි කම්කරුවන් සමග සාකච්ජා කරමින් සිටියදී  ගලහ  පොලිසියෙන් පැමිණි පොලිස්  බල ඇණි අක්කර 1,413 කින් යුත්   මුල්ඔය වත්තේ කඳවුරු බැඳ, වේලූසාමි අත් අඩංගුවට ගත්හ.

පොලිස්   බලපෑම   නොකඩවා  එල්ල වුවද  වතු  කම්කරුවන් වර්ජනය  අත් හරින්නට සුදානම් නොවුණු අතර  ඕනෑම  තත්ත්වයකට  මුහුණ  දීමට ඔවුහු  සුදානම් වුහ.  වර්ජනය අඛණ්ඩව ඉදිරියට ඇදුනු  අතර  දින  පහක්  ගෙවීගිය තැන වර්ජකයන්ට සහල් බෙදා  දීමට  මුල්ඔය  වත්ත අවට ගම්වාසී සමසමාජ  පාක්ෂිකයෝ මැදිහත් වූහ. මින්  කෝපයට පත්  වතු අධිකාරිවරයා   සිය අන්තේවාසික සේවකයන් ලවා කම්කරුවන් බිය වැද්දීමට කටයුතු කරන ලද්දේ එවැනි සන්ධානයක අනතුර වටහා ගත් හෙයිනි. 

ඊට   පසු දින ජනවාරි වැනිදා  වතු අධිකාරි ස්පාලින් මහනුවර බලා  පිටත්වුයේ  වේලුසාමිට එරෙහිව සාක්ෂි ලබා දීමේ අරමුණෙනි.  සාක්ෂ විමසා  බැලු මහනුවර දිසා  අධිකරණය කම්කරුවන් වර්ජනයට පෙළඹවීම  වෙනුවෙන්  වේලුසාමිට බරපතල  වැඩ සහිත තුන් මාසයක සිර දඬුවමක් නියම කරනු ලැබුණි. එහෙත් එකී තීන්දුව වතු කම්කරුවන්ගේ වර්ජනය උත්සන්න කිරීමට තව දුරටත් ඉවහල් වූයේය. වර්ජනය අනෙකුත් වතු කරා ද පැතිර යාමට ඇති අවදානම ගැන බිය වූ අනෙකුත් වතු  හිමියන්  හා යටත්විජිත පාලකයන් කම්කරු වර්ජනය කෙසේ හෝ මුල්ඔයෙන්  නිමා කිරීම සඳහා පොලිසියට අතිරේක බලතල  පැවරීමට කටයුතු කළහ.

වැඩ වර්ජනය අඩපණ කිරීමට දේශපාලන මැදිහත්වීම්  සිද්ධ වූයේ මේ අතරවාරයේ ය. ඒ අනුව, රාජ්‍ය  මන්ත්‍රණ සභාව  නියෝජනය කළ නුවරඑලිය මන්ත්‍රී ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර  තම  ආධාරකරුවන් තාවකාලික කම්කරුවන් ලෙසින් මුල්ඔය වත්තට එවනු ලැබූ අතර පොලිස් ආරක්ෂාව යටතේ අබේගුණසේකරගේ කම්කරුවන්  මුල්ඔය තේ කර්මාන්ත ශාලාව වෙත ලොරි මගින් ප්‍රවාහනය කෙරුණි.

ගෝවින්දන්ට වෙඩි පහරක්

මුල්ඔය වැඩ වර්ජිත කම්කරුවන් හා  අබේගුණසේකරගේ  'කම්කරුවන්' අතර  ගැටුම්කාරීත්වයක්  නිර්මාණය වූයේ යට කී පසුබිම තුළ ය. පිටතින් කම්කරුවන් රැගෙන විත් වර්ජනය කඩාකප්පල් කිරීමට පොලිසිය ගන්නා ක්‍රියා මාර්ගයට එරෙහිවූ  මුල්ඔය කම්කරුවන් අත තිබු පොලු, මුගුරු ආදිය සිය බාරයට ගත් පොලිසිය  කම්කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය. නමුත් යළි සංවිධානය වූ  කම්කරු තරුණ පිරිස්  පොලිසිය පැහැරගත්  පොලු, මුගුරු ආදිය නැවතත් ඔවුන් වෙත ලබා ගැනීමට සමත් වූ අතර කුපිත වූ පොලිස් කණ්ඩායම් අමතර පොලිස් බලඇණි ද යොදා ගනිමින් මුල්ඔය වත්ත පීරා කම්කරුවන් දඩයම් කිරීමට පටන්ගත්තේය. අධික වේගයෙන්  ධාවනය වූ පොලිස්  ජීප් රථයකට  අටේ ලයින් කාමරය අසලදී  පෙරියසාමි නම් කම්කරුවා යට වී අනතුරට පත් වීමත් සමගින් කම්කරුවන්ගේ කෝපය උත්සන්න විය.  ගල් පෙරලා  දමා මාර්ග අවහිර කරමින් පොලිසිය වෙත සිය විරෝධය දක්වන්නට වූ කම්කරුවෝ කර්මාන්ත ශාලාව අසළට රැස් වී සටන් පාඨ කියමින් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළෝය. කම්කරුවන් වෙත පොලිස් වෙඩි ප්‍රහාර එල්ලවන්නේ මේ අවස්ථාවේදී ය.

කර්මාන්ත ශාලාවට ඉදිරියෙන්  අඩි 20 ක පමණ දුරක සිට එල්ල කළ පොලිස්  සැරයන් සුරවීරගේ  රයිෆල්  උණ්ඩය,  කර්මාන්ත ශාලාව දෙසින් වූ බෑවුමේ පහලට බසිමින් සිටි පිරිස අතර වූ  ගෝවින්දන්ගේ  හිස  පසාරු කොට ඉගිළ ගියේය. ගෝවින්දන් ඇද වැටිණ. කම්කරුවෝ  හිස් ලු ලු අත දුවන්නට වූහ. සැරයන් සුරවීර  ඒ සැණින්ම පොලිස් ජීප් රථයක නැගී  මුල්ඔය වත්තෙන් පලා ගියේය. 

ගෝවින්දන්ගේ දොළොස් හැවිරිදි  සොහොයුරු රාමයියා, ගෝවින්දන්ගේ  බිරිඳට  සහ මව ලෙච්චිමීට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ආරංචිය දන්වන විටත් ගෝවින්දන් මිය ගොස් සිටියේය. ගෝවින්දන්ගේ මරණය විසින් තත්ත්වය තවදුරටත් බැරෑරුම් කළේය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ  ස්වදේශ කටයුතු භාර  ඇමතිවරයා වු  සර්  ඩී.බී ජයතිලක  සිය අමාත්‍යංශ කමිටුව හරහා මුල්ඔය වෙඩි තැබීම ගැන විභාගයක් පවත්වන්නට තීරණය කළේ ඒ නිසා ය. එහිදී පොලිසිය කරුණු දක්වමින්  කියා සිටියේ ගෝවින්දන් විසින් කම්කරුවන් සිරකොට තබා ගෙන ගැටුම් ඇති කිරීමට  කටයුතු කළ බව ය. ඔහු  ආයුධ රැගත් කම්කරු කණ්ඩායමේ නායකයෙක් බව කියන්නට ද පොලිසිය අමතක නොකළේය.

ආණ්ඩුවේ අර්බුද

ආණ්ඩුකාර ඇන්ඩෘ  කැල්ඩිකොට්  ස්වදේශී කටයුතු ඇමතු  ජයතිලක වෙත චෝදනා කරමින්  පොලිසිය වෙත සහයෝගය දැක්වීමත් සමග  ආණ්ඩුකාරවරයාට එරෙහිව  විරෝධය එල්ල වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇමති මණ්ඩලය එක් වර ඉල්ලා අස් වූ අතර එය සමථයකට පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුකාර කැල්ඩිකොට් මහත් වෙහෙසක් ගත්තේය. ජී. ජී. පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට කරනු ලැබූ යෝජනාවකට අනුව මුල්ඔය පොලිස් වෙඩි තැබීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවසානයේ ආණ්ඩුකාරයා කටයුතු කරන ලද්දේ තත්ත්වය පාලනය කරගැනීම පිණිස ය.

මහනුවර අධිකරණයේදී  ගෝවින්දන්ගේ   මරණය පිළිබඳ  සාක්ෂි  විමසීම්   දිගු කාලයක් පුරා පැවතිණි. සමසමාජ පක්ෂයේ පුරෝගාමී නායකයෙකු වූ  ආචාර්ය කොල්වින් ආර්  ද  සිල්වා කම්කරුවන් වෙනුවෙන්  දින  27 ක් පුරා  තේරීම් කාරක සභාව වෙත කරුණු දැක්වීය.  ගෝවින්දන්  මරා දැමීම අයුක්ති සහගත බවට තීරණය කරන්නට ඒ කරුණු දැක්වීම බලපෑවේය. එහෙත්  පොලිස් වෙඩි තැබීම ක්‍ෂණිකව ගනු ලැබූ තීරණයක්  මත  සිදු වූ  වරදක් බවට නිගමනය කරනු ලැබුණි.

ගෝවින්දන්ගේ  මරණයත් සමගින්  මුල්ඔය සටන නිමාව දුටුවද  වර්ජන රැල්ල අනෙකුත් වතු කරා ද  ව්‍යාප්ත වන්නට විය.  ශත  40 ක් වූ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ශත 56 දක්වා ශත 16 කින් වැඩි වුයේ මුල්ඔය  සටනේ ප්‍රතිඵලයක් ලෙසිනි.  වතු වෘත්තීය සමිති කෙරෙහි ද ඉහල පිළිගැනීමක්  ගෙන ඒමට  මෙම  සටන මෙන්ම ගෝවින්දන්ගේ  මරණය ද හේතු වූ  බව නොරහසකි.

1940 වසරේ මුල්  භාගය  පුරාම මුල්ඔයෙන් ඇරඹි  වතු කම්කරු වර්ජන රැල්ල  මධ්‍යම  හා ඌව  පළාත්   වතු කරා ද පැතිර යන්නට වූයේය.  එස්. කේ. නටේස අයියර්ගේ  සමස්ත ලංකා ඉන්දීය කම්කරු  සම්මේලනයත්,  ලංකා සමසමාජ පක්ෂයේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයත් මේ වතු කම්කරු අරගලයන්ට නායකත්වය ලබා දුන්හ.  සමසමාජ  නායකයන්  වඩාත් සටන්කාමි  බවක්  පෙන්වමින්  කටයුතු කරන්නට විය.

වතු කම්කරුවන් ට  ප්‍රසිද්ධ රැස්වීම්  තහනම්  කරමින්  බදුල්ල මහේස්ත්‍රාත්වරයා  පොලිසියේ  ඉල්ලීම අනුව නියෝග නිකුත්  කළේය. එහෙත්  මැයි 12 වැනිදා බදුල්ල  නගරයට කම්කරුවන්   කැඳවූ සමසමාජය  තහනම්  නියෝග කඩ කරමින් ජන හමුවක් පැවැත් වූ අතර සමසමාජ පක්ෂ නායක එන්. එම්. පෙරේරා  විසින් අමතන ලද ජනහමුවට  එරෙහිව  කිසිදු  ක්‍රියාමාර්ගයක්  ගැනීමට නොහැකිව පොලිසිය අසරණ විය.

සටන් පැතිරේ

ඇතැම් වතුවල පොලිසිය සිය මර්දන කාරිත්වය  අඛණ්ඩව දියත් කළ ද නිරායුධ  වතු කම්කරුවන් විසින් ආයුධ සන්නද්ධ පොලිස් භටයන්ව  නිරායුධ  කිරීමට කටයුතු කරන ලදී. වේවැස්ස වතුයායේ  කම්කරුවන්  එක්ව  වතු කම්කරු  කවුන්සිලයක්   පිහිටුවා ගත අතර   ඒ සමග සාකච්ජා කර  තීරණවලට එළැඹීමට වේවැස්ස  වතු අධිකාරි එකඟතාව  පළ කිරීම  වතු කම්කරුවන්  ලැබූ  ජයග්‍රහණයක් සේ සැළකේ.

මෙකී වැදගත් වර්ධනයන්ට සමාන්තරව, මර්දනය වෙනත් අයුරකින් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ජුනි 18 වැනිදා  සමසමාජ නායකයන්  වූ  එන්.එම්. පෙරේරා, කොල්වින්  ආර්. ද  සිල්වා, සහ පිලිප් ගුණවර්ධන පොලිසිය මගින්  අත්  අඩංගුවට ගැනුණු  අතර ඊට පසු  දින එඩ්මන්ඩ්  සමරක්කොඩි අත් අඩංගුවට ගෙන  සමසමාජ  කාර්යාලයට ද  සීල් තැබීමට යටත් විජිත ආණ්ඩුව ක්‍රියා කළේය. නමුත් අත් අඩංගුවට  ගැනීමේ සැළසුම් පූර්වයෙන් දැන සූක්ෂ්ම ලෙස අත් අඩංගුව මඟහැරීමට ලෙස්ලි ගුණවර්ධන  සමත් විය.

1939 දෙසැම්බර් මස උදාවීමත් සමඟ ලංකා සමසමාජ පක්ෂය තුළ ට්‍රොට්ස්කිවාදය හා ස්ටාලින්වාදය පිළිබඳ මතභේදයන් මතුවුව ද, ඒවා තාවකාලිකව යටපත් වුයේ  මුල්ඔය  වතු කම්කරු  වර්ජනය  ඇරඹීමත්, ඒ වර්ජන රැල්ල  අනෙකුත් වතු කරා පැතිරයාමත් විසින් නිර්මාණය වූ සටන්කාමී අවකාශය නිසා ය.

ගෝවින්දන්ගේ මරණයෙන් 79 වසක් සම්පුර්ණ වනවිට මුල්ඔය වත්ත පුස්සැල්ලාව  වැවිලි  සමාගම  සතු ප්‍රධාන  පෙලේ  වතුයායක් සේ සැළකේ. ගෝවින්දන්ගේ මරණය  සිහි කිරීම වෙනුවෙන් ඉදිකළ  සැමරුම් කුළුන, නව සටන් පැන නැගී පැතිරෙන මේ ජනවාරියේදී ද සටන්කාමි  වතු කම්කරු ඉතිහාසයක  මතකය යළි යළිත් අවදි කරන  සංකේතයක් සේ මුල්ඔය වතුයායේ දැනටත් නැගී හිඳියි.

එළඹෙන සති හා මාස කිහිපය තුළ රුපියල් දහසේ දෛනික වැටුපක් සඳහා වන වතු කම්කරු සටන තීව්‍රවන ලකුණු දැනටමත් විද්‍යාමාන ය. දෛනික වැටුප ශත 56ක් කරගැනීම සඳහා දශක අටකට කලින් දිවි දී සටන් කළ ගෝවින්දන්ගේ මරණය හා  මුල්ඔය සටන්කාමී උරුමය, ඒ පැතිර යන කම්කරු අරගලකාරීත්වයට මූලාදර්ශ සපයනු නිරනුමාන ය.☐

අතුල විතානගේ


© JDS


 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.