JDS Sinhala

ධර්මරත්නම් සිවරාම්: ඒකීය රාජ්‍යය කාගේ උරුමයක්ද?

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයෙහි හා දෙමළ ජාතික අරගලයෙහි වැදගත් මානයන් ග්‍රහණය කරගැනීමට නම් ඒ ගැන උනන්දුවන්නන් හැදෑරිය යුතුයැයි මේ දවස්වල දකුණේදී  නිර්දේශ කෙරෙන 'කියැවීම් ලැයිස්තුවල' ධර්මරත්නම් සිවරාම් ගැන අහම්බෙන් හෝ සඳහන් නොවේ. ඊට හේතුව එක්කෝ දෙමළ ජන සමාජය තුළින් ද මතු වූ  චින්තකයන් හෝ විශ්ලේෂකයන් ඇතැයි පිළිගැනීමට මැලිවීම ය. නැතහොත් දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන වුව ද දෙමළුන්ගෙන් උගෙනීම මදිකමකැයි රහසේ ඇදහීම ය. නමුත් ඉකුත් තිස් අවුරුද්දකට ආසන්න කාලය තුළ දෙමළ ජාතික අරගලය හා සිංහල දේශපාලනය ඊට අදාළ පුළුල් භූ දේශපාලනික හා උපායමාර්ගික සන්දර්භය තුළ තබා සිදුකළ තියුණුතම විශ්ලේෂණයන් සම්පාදනය කරන ලද අල්පයක් වෙත්නම්, සිවරාම් ඒ අල්පයෙහි පුරෝගාමී ප්‍රමුඛයෙකි. ස්වකීය ව්‍යවහාරික පන්නරය හා න්‍යායික පරිචය මත පදනම්ව තත්කාලීන සමාජ-දේශපාලන යථාර්ථයන්  සරළ හා සුගම ලෙස ඉංග්‍රීසි හා දෙමළ බසින් විමසුමට පාත්‍රකිරීමෙහි ලා සිවරාම් පෑ සමත්කම දීප්තිමත් එකකි. ඔහු විසින් ලියූ දෑ නැවතත් කියවා බැලීම වැදගත්වන්නේ ඒ නිසා ය.

මෙයින් පහළොස් වසරකට පෙර ධර්මරත්නම් සිවරාම් හා ජෙයප්‍රකාශ් තිස්සනායගම්ගේ මූලිකත්වයෙන් පළ කෙරුණු Northeastern Herald පුවත්පතෙහි 2003 ජූනි මස කලාපයක මුලින් පළ වූ මෙම ලිපිය, සංක්‍ෂිප්තව පරිවර්තනය කොට මුල්වරට සිංහල බසින් පළ වූයේ ඒ වනවිට ද්වී-මාසිකව පළ කෙරෙමින් තිබූ 'හිරු' පත්‍රයෙහි ජූලි-අගෝස්තු කලාපයේ ය. ශ්‍රී ලංකා රාජ්‍යයේ වර්ග කේන්ද්‍රීය ව්‍යුහාත්මක සැකැස්මත්, එහි අභ්‍යන්තර විජිතවාදී පිළිවෙතත් චිරස්ථායී කොට පවත්වා ගැනීම අරමුණු කොටගත් ජාත්‍යන්තර බල සන්ධානයක් ගොඩනැංවීම සඳහා වික්‍රමසිංහ ආණ්ඩුව විසින් දක්වන නැඹුරුවෙහි ප්‍රතිවිපාක සිවරාම්ගේ මරණයෙන් 13 වසරකට පසු නැවත කියවා බැලීම වැදගත් වනු ඇත.

සංස්කාරක කමිටුව | සේයාරුව : ශෙහාන් ගුණසේකර


‍ටෝකියෝ ආධාර සමුළුවට සහභාගී නොවීම මගින් ශ්‍රී ලංකාවේ විශේෂිත ප්‍රශ්නයේ ස්වභාවය කෙරෙහි අවධානය දිනගැනීමට කොටි සංවිධානය සමත් වී තිබේ. යම් විදියකින් ඔවුන් ඊට සහභාගී වී නම් සිංහල රාජ්‍යයේ ව්‍යවස්ථාමය දරදඬුභාවය පිළිබඳ නග්න සත්‍යය තවදුරටත් සඟවාගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යයට හැකිවනු ඇත. නමුත් විමුක්ති කොටින් සමුළුව වර්ජනය කිරීම හේතුවෙන් මේ තාක් අභියෝගයකින් තොරව රටේ ධනය මත පැවති සිය පාලනයත්, විධායක, නීතිමය හා තීරණ ගැනීමේ බලය පිළිබඳ ඒකාධිකාරයත් බෙදාහදා ගැනීමට සිංහල රාජ්‍යය දක්වන මූලික නොකැමැත්ත තියුණු ලෙස මතු වී පෙනෙන්නට පටන්ගෙන තිබේ.

අනම්‍ය ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යය විශාල ලෙස ආවරණය ඛල එහි ලිබරල් ප්‍රජාතාන්ත්‍රිකභාවයේ සලුපිළි හැර දමා අද තම යථා ස්වභාවයෙන් පෙනී සිටී. මේ තාක් ව්‍යවස්ථාමය වශයෙන් එහි පැවති දරදඬුභාවයේ විස දළ දැන් හොඳින් පෙනෙන්නට ඇත. මෙම ප්‍රශ්නය පැන නඟින්නේ රනිල් හෝ චන්ද්‍රිකා වශයෙන් වන තනි සිංහල දේශපාලන නායකයෙකුගේ අභිමතය පරිදි නොවේ. එය පැන නඟින්නේ රාජ්‍ය බලයේ සියලු පදනම් ඒකාධිකාරීව අත්පත් කරගැනීම සඳහා සිංහල - බෞද්ධ ප්‍රභූ තන්ත්‍රය සතු අභිලාෂයේ ප්‍රකාශනයක් වන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළිනි. මෙහිදී නූතන ජාතික රාජ්‍යයේ සැබෑ ස්වභාවය කෙටියෙන් සළකා බැලිය යුතු ය.

ඉංග්‍රීසි ඒකීය රාජ්‍යය

රාජ්‍යය වනාහී මිනිස් ඉතිහාසයේ වඩාත්ම චිරස්ථායී වූ සමාජ සංවිධානයකි. පූර්ව නූතන අවදියේ රාජ්‍ය මාදිලි බොහෝමයක් ආරම්භ වූයේ යටත් කරගනු ලැබූවන් මත කිසියම් කණ්ඩායමක් පවත්වාගෙන ගිය ආර්ථික හා යුදමය ආධිපත්‍යය මත ය. නැතිනම් දේශපාලන හෝ බලහත්කාරී බලයට අනුබද්ධ කේනද්‍රයන් මත පවත්වාගෙන ගිය ආධිපත්‍යය මත ය. නමුත් 16 වැනි සහ 18 වැනි සියවස්වලදී බටහිර යුරෝපයෙන් පැන නැඟුණු නූතන ජාතික රාජ්‍යය ප්‍රකාශයට පත් වූයේ නිශ්චිත භූමි භාගයක් තුළ බදු වශයෙන් (පැහැර)ගැනීමටත්, සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය යෙදවීමටත්, විනිශ්චයන්ටත් ආධිපත්‍යධාරී කණ්ඩායම සතු වූ හැකියාව මත ය.

ස්වදේශික හා සාම්ප්‍රදායික වූ දේශපාලන, ආර්ථික, යුදමය හා නීතිමය මධ්‍යස්ථානයන් විසින් හැඩගස්වන ලද තමන්ගේම වූ ඓතිහාසික ආවේණික ලක්ෂණ ප්‍රකට කළ ජනතාවන් මත ඉහතින් කී ඒකාධිකාරී බලය ව්‍යාප්තකිරීමට උත්සාහ කළ එංගලන්තය වැනි ජාතික රාජ්‍යයන් පසුව ඒකීය රාජ්‍යයන් බවට පත්විය. මේ නිසා, බ්‍රිතාන්‍ය මාදිලියේ ඒකීය රාජ්‍යය හැඩගස්වන ලද්දේ පීඩාකාරී අභ්‍යන්තර යටත්විජිතවාදයක අනිවාර්ය කොන්දේසි මගිනි. බ්‍රිතාන්‍ය ඒකීය රාජ්‍යය ඉස්මතු වූයේ ස්කොට්වරුන්, වෙල්ෂ් හා අයිරිෂ්වරුන් යුද බලයෙන් යටපත් කිරීම මත ය.

කෙසේ වුවද, බ්‍රිතානීන් විසින් ඔසවා තබන ලද හා පතුරුවා හරින ලද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදය හේතුවෙන් එවැනි ඒකීය රාජ්‍යයක පවතින පීඩක ස්වභාවයත්, බලහත්කාරී ලෙස ස්වීකරණය කරගැනීමේ ස්වභාවයත් නිවැරදිව විනිවිද දැක හඳුනාගැනීමට සමත් වූයේ ඉතා සුළු පිරිසකි. 1948දී බ්‍රිතානීන්ගෙන් උරුම කරගත් ඉංග්‍රීසි ඒකීය රාජ්‍ය ක්‍රමය තව දුරටත් පිරිපහදු කොට හොඳින් සකසා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අද්වීතීය නිදසුනකි.

මේ නිසා දිවයිනේ ධනයෙන් හා සම්පත්වලින් සාධාරණ කොටසක් සඳහා වන සිංහල නොවන ජනයාගේ ඉල්ලීම් මර්දනය කිරීමට සමත් ශක්තිමත් ව්‍යුහාත්මක බලයක් 1978 ව්‍යවස්ථාවෙන් නිර්ණය කරන ද පරිදි ලාංකීය රාජ්‍යය සතු ය. මෙබඳු පීඩක ඒකීය රාජ්‍යයක් තුළ හිඳීමට හැක්කේ ජාතික ධනයෙන් හෝ භූමියෙන් හෝ දේශපාලන බලයෙන් තම සමාජ බලයට සමානුපාතික කොටසක් ඉල්ලා නොසිටින අසිංහල පිරිස්වලට පමණි. කඳුරට දෙමළ ජනයාගේ දුක්ඛිත තත්ත්වය හා මුස්ලිම් දේශපාලන නායකත්වයේ තත්ත්වය මේ සඳහා මනා නිදසුන් වේ.

එහෙයින් ඒකීයභාවයේ සියළු ලක්ෂණවලින් විමුක්ත කොට ශ්‍රී ලංකා රාජ්‍යය රැඩිකල් ප්‍රතිව්‍යුහකරණයකට ලක් නොකළහොත් අසිංහල ජනයා අතර එයට ක්‍රියාකළ හැක්කේ මර්දනකාරී අභ්‍යන්තර යටත්විජිතවාදයක උපකරණයක් වශයෙන් පමණි.

මහාචාර්ය විල්සන්

සම්මුතිකාමී දෙමළ නායකයන් සාකච්ඡා සහ සහන සැලසීම් තුළ සීමාකොට තබාගැනීමට හැකි වූ තාක් කල් ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල බෞද්ධයන්ගේ පමණක් ජන්ම උරුමයක් සේ සැලකීමේ සංකල්පයට දේශපාලනිකව පැවතිය හැකි විය. නමුත් ශ්‍රී ලංකා රාජ්‍යයට යුදමය හා යුදමය නොවන මාර්ගයන්ගෙන් අභ්‍යන්තර යටත්විජිතවාදයක් පවත්වාගෙන යාමට ඇති හැකියාව විමුක්ති කොටි සංවිධානය විසින් බිඳ දමා ඇති තත්ත්වයක් තුළ මෙම සංකල්පයට තවදුරටත් භෞතිකව පැවැත්මක් නැත.

1988දී මහාචාර්ය ජෙයරත්නම් විල්සන් මෙසේ ලීවේය: "1948දී බ්‍රිතානීන්ගෙන් ස්වාධීනත්වය ලැබීමෙන් හතළිස් වසකට අඩු කාලයක් ඇතුළත දී ලංකාව සිංහල බෞද්ධයන්ගේ පමණක් ජන්ම උරුමයක් සේ සැලකීමේ සංකල්පයේ පැවැත්ම අවාසන විය. වර්තමානයේ දෙමළ ජනයා මර්දනය කිරීමට සැබෑ හේතුව සියවස් ගණනාවක් තිස්සේ සිංහල බෞද්ධයන් විශේෂ පීඩනයට ලක්වීම පිළිබඳව හා දෙමළ ජනයා බ්‍රිතාන්‍ය පාලන සමයේ අනුග්‍රහශීලී සැලකුම් ලැබීම පිළිබඳව වන තර්කයන් පමණක්ම විය නොහැක. එහෙයින් සැබෑ හේතුව ඇත්තේ වෙනයම් තැනක ය. ස්වාධීන බලයක් අභ්‍යාස කිරීමෙහි හුරුවක් නොතිබූ ජනතාවක්, ප්‍රභූ තන්ත්‍රයක් සහ නායකත්වයක් විසින් කල්පනා කරන ලද්දේ සිය කාර්යය ඉටු කරගැනීමට හා රාජ්‍ය බලය පාවිච්චි කිරීම මගින් රාජ්‍යය මත ඒකාධිකාරය තහවුරු කොට එය "සිංහලීකරණය" කිරීමටත් ය. විශ්වාසවන්ත දෙමළ ප්‍රභූ නායකත්වයන් මුලාකොට රැවටීම මගින් ඔවුහු එක්තරා ප්‍රමාණයකට මෙහිදී සාර්ථක වූහ. දෙමළ සමාජයෙන් එන රැඩිකල් තරුණ කොටස් සමග දේශපාලන බලය බෙදාහදා ගැනීමට එම දෙමළ නායකත්වයකට දැන් බලකෙරී තිබේ. දෙමළ දේශපාලන හා සාමාජීය ව්‍යුහයන් නොනැවතී දුබල කිරීම සඳහා සිංහල නායකත්වයට දිරි ලැබෙන්නේ ව්‍යවස්ථානුකූල උද්ඝෝෂණ හා සාමකාමී සාකච්ඡා මාර්ගයන් විසින් බව මෙම තරුණ පිරිස් පසක් කරගත්හ." (The Break-up of Sri Lanka: The Sinhalese-Tamil Conflict  / 223-224 පිටු)

මහාචාර්ය විල්සන්ගේ වචන දිවැසි වාක්‍යයක් විය. මෙම ව්‍යවස්ථානුකූල විරෝධය හා සාමකාමී සාකච්ඡා ක්‍රියාමාර්ගයන් අද පවා දිරි දෙන්නේ දෙමළ ජනයාගේ දේශපාලන හා සාමාජීය ව්‍යුහයන් දුර්වල කිරීම සඳහා සිංහල නායකත්වයේ සැලසුම් නොනැවතී ගෙනයාමට ය.

ශ්‍රී ලංකාව සිංහල ආධිපත්‍යය සහිත අනම්‍ය ඒකීය රාජ්‍යයක් වශයෙන් පවතින තාක් කල් එය දෙමළ ජනතාවගේ සාධාරණ අයිතීන් දිනාගැනීමට ඇති සියළු මාධ්‍යයන් අනුකම්පා විරහිත ලෙස ප්‍රතික්‍ෂේප කිරීමට ක්‍රියාකරනු ඇත. යුදමය පරාජයක් විසින් එය වෙනස් නොවනු ඇත. බලහත්කාරී අභ්‍යන්තර යටත්විජිතවාදයක් මගින් සාර්ථකත්වය අත්කරගැනීමට ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය අසමත් වීම හමුවේ ඊට බල කෙරෙනු ඇත්තේ එම ඒකීය රාජ්‍යය ස්ථාවර කරගැනීමේ අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා "අන් කවර හෝ මාර්ගයන්" සෙවීම ය.

අභ්‍යන්තර විජිතවාදය

බොහෝවුන්ට මගහැරෙන කාරණය වී ඇත්තේ රාජ්‍ය බලය පිළිබඳ සිංහල බෞද්ධ ඒකාධිකාරය හා රටේ ධනයට එල්ල කෙරෙන කිසිදු යුක්ති සහගත අභියෝගයක් සමග වෙන කිසිදු ආකාරයකින් ගණුදෙනු කිරීමට ව්‍යුහාත්මකවම ශ්‍රී ලංකා රාජ්‍යයට ඇති නොහැකියාවයි. එය වනාහී සිංහල දේශපාලන නායකයකු හෝ නායිකාවකගේ පෞරුෂය හෝ ඔහුට / ඇයට කටයුතු කිරීමට සිදුව ඇති දේශපාලන ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ක්‍රමයේම ගැටළුවකි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ "ජාත්‍යන්තර ආරක්ෂක දැල" වනාහී ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යයේ අභ්‍යන්තර යටත් විජිතවාදය චිරස්ථායී කිරීම සඳහා ඉහතින් කී පරිදි "අන් කවර හෝ මාර්ගයන්"ගේ පිහිට පැතීම පිළිබඳ කදිම නිදසුනකි. මෙම අභ්‍යන්තර යටත්විජිතවාදය චිරස්ථායී කිරීම සඳහා සිංහල නායකත්වය විසින් යුදමය නොවන මාර්ගයන්ගෙන් දරණ ඕනෑම උත්සාහයක් විසින් පෙරළා "දෙමළ දේශපාලන සහ සාමාජීය ව්‍යුහයන් අඩපණ කිරීමේ නව සැලසුම්" නිශ්ප්‍රභා කිරීම සඳහා ස්ථාවර හා ප්‍රබල බාධකයන් ගොඩනැංවීමේ දෙමළ ජනයාගේ උත්සාහයට උත්තේජනය සපයනු ඇත.

සිංහල රාජ්‍යය විසින් කණගාටුදායක ලෙස පසක් කරගැනීමට අසමත්ව ඇත්තේ යටත් විජිතවාදයක වෙනුවෙන්ම යටත් විජිතවාදය (colonialism for colonialism's sake) පවත්වාගෙන යාම සඳහා විශාල මිලක් ගෙවන්නට සිදුවනු ඇති බව ය. එය කෙතරම් අධික මිලක් විය හැකිදැයි කිවහොත් රාජ්‍යය මත සිංහල බෞද්ධ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ උත්සාහය ඇතැම් විට ඒ මිල තරම් නොවටිනා එකක් ලෙස අවසානයේ බොහෝවුන්ට සිතෙන්නට වුව ද ඉඩ තිබේ.

ධර්මරත්නම් සිවරාම්


©  JDS

 

වෙනත් ලිපි: ධර්මරත්නම් සිවරාම් (1949 - 2005)



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.