JDS Sinhala

ගාමිණී නවරත්න: 'යාපනයේ සහස්පත්'


1986 ජූනි මාසයේ 10 වැනි අඟහරුවාදා ගුරුනගර් ධීවර ගම්මානයේ සිමියොන් මරියදාස් ඇතුළු මාදැල් ධීවර කාර්මිකයෝ 31 දෙනෙකු පාන්දර 5ට පමණ 'තූය ඔලි' (ශුද්ධාලෝකය) යාත්‍රාවෙන් දියඹට ගියහ. ඒ මණ්ඩතිවු හා අල්ලෛපිඩ්ඩි අතර වෙරළාශ්‍රිත මසුන් අල්ලනු පිණිස ය.දැල් එලීම පටන් ගන්නා විට උදෑසන අට හමාර පසු වී තිබුණි. අවිගත් නාවුක සෙබළුන් රැගත් බෝට්ටුවක් තමන් දෙසට එනු මරියදාස් ඇතුළු ධීවරයන් දුටුවේ ඒ අතරවාරයේ ය. දණ දක්වා මුහුදට බැස හුන් සියල්ලන්ට ගොඩට එන්නැයි අණ ලැබිණ. දැල් අතැ'ර දෑත් ඔසවා ගත් සියල්ලෝ වැල්ලට දෙසට ආහ.

"අපි ආපහු එනවාත් එක්කම අපිව කඩුවලින්, පොරෝවලින් කැපුවා. සමහරුන්ට වෙඩි තිබ්බා" සිදුවීම ගැන කියන්නට දිවි ගළවාගත් එකම ඇසින් දුටු සාක්කිකරුවා වූ සිමියොන් මරියදාස් (41), යාපනයේ දිස්ත්‍රික් විනිසුරු ජෙගසෝදිගේ සහභාගීත්වයෙන් යාපන මහේස්ත්‍රාත් කේ පී එස් වර්ධරාජා විසින් මෙහෙයවන ලද මරණ පරීක්‍ෂණයේ දී සාක්‍ෂි දෙමින් කීවේය.

මණ්ඩතිවු සමූහ ඝාතනයට ගොදුරු වූ  වයස අවුරුදු 13 සිට 62 දක්වා වූ 30 දෙනෙකුගේ මළ සිරුරු ගුරු නගර් ප්‍රජා ශාලාවේ ගොඩගසා තිබිණ.ඉන් හය දෙනකු එක් පවුලක සාමාජිකයන් වූ අතර, තවත් සිව් දෙනකු වෙනත් පවුලක සාමාජිකයෝ වූහ.

යාපනයේ රදගුරු දියෝගුපිල්ලෛගේ සහභාගීත්වයෙන් ගුරුනගර් ශාන්ත ජේම්ස් දේවස්ථානයේදී පැවැති සමූහ අවමංගල්‍ය පූජාව අවසානයේ, පස්වරු 1.00ට යාපනයේ ශාන්ත මේරි සුසාන භූමියේ දී මළවුන් මිහිදන් කෙරුණි.

ජූනි 11 වැනිදා යාපනය හර්තාල් විරෝධයකින් අකර්මණ්‍ය විණ.

ඒ සැහැසි දසුන් දකින්නට ගුරුනගර් ප්‍රජා ශාලාවට ගිය එකම සිංහලයා වූ 'සැටර්ඩේ රිවීව්' කර්තෘ ගාමිණී නවරත්න (1932 - 1998), පෙරළා පැමිණ 'Lotuses in Jaffna' මැයෙන් වූ පහත සටහන ජූනි 21 වැනිදා පත්‍රයට ලීවේය.

කෘරත්වය සහ අධිපතිවාදය පිළිබඳවත්, මරණය සහ මිනිස් සත්තාව පිළිබඳවත් හුදකලා මිනිසෙකු තුළ කැකෑරුණු නොතිත් කම්පාව ගාමිණීගේ වදන් විසින් පිළිබිඹු කරයි.

ඔහුගේ මරණයෙන් විසි වසරක් පිරෙන මේ මාර්තුවේ දී ඔහු විසින් සිදුකළ දුලබ වෘත්තීය කැපවීම පිළිබඳ සදානුස්මරණීය මතකය වෙනුවෙන් මේ ලිපිය පළ කෙරේ.

පරිවර්තනය: භාෂණ අබේවර්ධන  | සේයා රූ ස්තූතිය: රුද්‍රමූර්ති චේරන් සහෝදරයාට


යාපනයේ මගේ පා පැදි චාරිකා ඇතැම්විට මා අපූර්ව ස්ථාන කරා කැටුව යන අතර අසාමාන්‍ය සිදුවීම් හා ආතුලිත කරවයි.

හරියටම, ජූනි 10 වැනිදා සන්ධ්‍යාවේ ගුරුනගර් ප්‍රජා මධ්‍යස්ථානයෙන් නිමා වූ ගමන මෙනි.

මුළු ප්‍රදේශයම කැළඹුණු මිනිස් සාගරයක් හා පා පැදි ය.

ඝෝර ප්‍රදර්ශනයක් ඇරඹී තිබිණ: මසුන් අල්ලනු පිණිස පාන්දර නික්ම ගිය මිනිසුන් 30 දෙනෙක් මළ මසුන් මෙන් ප්‍රජා මධ්‍යස්ථාන ශාලාවේ නිසලව වැතිර සිටියහ.

මම අචලව සිටියෙමි. මීට පෙර ද, වඩා සැහැසි 'ප්‍රදර්ශන'වලට, විශේෂයෙන්ම වැල්වෙට්ටිතුරෛදීත්, කුරිකඩ්ඩුවාන් හා යාපනයේ රෝහල් මෘත ශරීරාගාරයේදීත් මම සහභාගී වී ඇත්තෙමි. ඉන් ඇතැම් ප්‍රදර්ශනවල තිබුණේ අස්ථි සහ මාංශ සුන් බුන් පමණි.

මිනිසා කෙරෙහි මිනිසාගේ අමානුෂිකත්වය ගැන නොව, ශ්‍රී ලංකාවේ ජනගහණ පිපිරීමක් වළකනු පිණිස ඇතැමුන් දක්වන ශ්‍රේෂ්ඨ දායකත්වය ගැන කල්පනා කරමින් මම ගුරුනගර් සිට පෙරළා පා පැදිය පැද්දෙමි. ජනගහණය කෙසේ හෝ අවම ව තබා ගත යුතු ය.

හොඳම විධිය අත් පොරෝ සහ මූනිස්සම් ය. එමගින් පවුල් සැළසුම් සංගමයේ කර්තව්‍යය අල්පමාත්‍ර කරගත හැකි ය.

ජීවිතය යනු කුමක්ද? මරණය යනු කුමක්ද? මම ඒ පැනය සාන්තුවරයන්ට හා මුනිවරයන්ට ඉතිරි කොට තබමි. අප වැනි පුහුදුන් මිනිසුන් එවන් අපරිමේය කරුණු සම්බන්ධයෙන්  වද නොවිය යුතු ය.

යාපනයේ මගේ තාවකාලික තිප්පොළක් කරා මම පා පැදිය පැද ගියෙමි. 'රෑ කෑමට මොනවාද?' මම ඇසීමි. ගුරුනගර්හි මෘත ක්ලේබර ඒ වනවිටත් මට අමතකව ගොස් ය.

පිළිතුර, 'පිට්ටු සහ දැල්ලෝ' ය. මම බඩජහරියකු මෙන් බුදිමි. අප බොහෝ දෙනෙකු ජීවත්වන්නේ බුදීමට ය. අප බුදින්නේ සාන්තුවරයන් හා මුනිවරුන් මෙන් ජීවත්වීමට නොවේ.

ගුරුනගර්හි මළ කඳන් සිහිනෙන් දකිමින් මම සුවසේ නිදමි. මුනිස්සම් සිදුරු ඇතුළු සියල්ල සහිත ඔවුන් මරණයේදී කොතරම් ප්‍රිය දසුනක් වීද?

පසු දා, මනාලියගේ නිවස කරා යන මනාලයකුගේ විවාහෝත්සවයක් මම දකිමි. කෙතරම් මනකල් දසුනක් ද! අහා! සාරි හා ඒවාට සැඟවගත් කුලස්ත්‍රීන් කෙතරම් මනහාර ද? මේ යුද සමයේ පවා, දරුවන් හැදීමේ කල්පනාවෙන් යාපනයේ ජනයා විවාහ වෙති.

පසුව මම අවමඟුල් පෙරහැරක් දකිමි. කවුරුන් හෝ විසින් තවත් කවුරුන් හෝ වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊට කම් නැත. යාපනයේ දී මිනිස් ජීවිත යනු අතිශය නොවටිනා දෙයකි.

කලින් සාරවත් මිරිස්, ළුෑණු හා දුම්කොළ අස්වනු දුන්, දැවී වියැලුණු, නොතකා හරින ලද වගාබිම් මට පෙනේ. ඇතැම් තැනෙක, ඒවායේ වගා කරනු පිණිස ජනයා නොමැත්තෝ ය. ඔවුන් එක්කෝ භූ ගත ය. නැතහොත් බූස්සේ ය. තවත් තැනෙක ජල පොම්ප ක්‍රියාකරවනු පිණිස ඇවැසි භූමිතෙල් හෝ ඩීසල් නොමැත.

නගර මධ්‍යයට ළඟාවන විට, පේදුරුතුඩුව පාරේ වම්පසට වන්නට වූ දිය පතහක පිපෙන රත් සහ සුදු පැහැ සියපත් මම දකිමි. මසිත සාංකාවෙන් පිරෙයි. යාපනයේ නෙලුම් මල්? මේවා යාපනයට හඳුන්වා දුන්නේ කවුද? දුටුගැමුණුගේ සෙනවියන් නම් වන්නට බැරි ය?

ඉක්බිති මම දකුණු පස බලමි. දැන් සුන් බුන් ගොඩක් බවට පත්ව ඇති නාග විහාරය මට පෙනේ. දුරාතීතයේ දී පොකුණ (වැව) සහ දාගැබ අතර නිසැක සම්බන්ධයක් තිබෙන්නට ඇත.

වගකීම් දැරිය හැකි සැබෑ බුද්ධ පුත්‍රයෙක් සොයා දෙන්නට මට හැකිනම් තම වියදමින් විහාරස්ථානය යළි ගොඩනඟන්නට රිසි බැව් සමහර දෙනා මට කීහ. ශ්‍රී ලංකාවේ විවිධ පැතිවලින් මම එවැන්නෙකු සෙව්වෙමි. නමුත් තවමත් එය සඵල වූයේ නැත.

දහස් සංඛ්‍යාත අවශේෂ යාපනයේ ජනයා මෙන් මම පා පැදිය පැද යමි. ලෝකයේ මේ කලාපයෙහි ලෙහෙසිම, ලාභදායක හා පහසුම ගමනාගමන විධිය මෙයයි. යුද හමුදාව ළං වුවහොත්, ඔවුනට පහසුවෙන් ඔබ හඹා එන්නට නොහැකි ය යන ඒකාන්ත අවබෝධයෙන් යුතුව පා පැදිය අත්හැර දමා යාපනය නගරයට ආවේණික හරස් මං ජාලය ඔස්සේ අතුරුහන් වන්නට ඔබට පුළුවන.

නමුත්, දුරක සිට එන වෙඩි උණ්ඩයක් ඔබේ පිට මැදට වදින්නට ඕනෑ තරම් ඉඩ තිබේ.☐

ගාමිණී නවරත්න


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.