JDS Sinhala

විජය කුමාරණතුංග: 'සිහින ලොව කුමරා'ගේ හිසට වෙඩි තැබීම


විජය කුමාරණතුංග 1988 පෙබරවාරියේදී ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණට ය. විජය ඉන්දීය ආක්‍රමණයට පක්‍ෂ වූ අයෙක් බවටත්, ඒ නිසාම රට බෙදන පළාත් සභා ක්‍රමය යුක්ති සහගත කළ බවටත්, 1986දී උතුරට ගොස් ත්‍රස්තවාදීන් හමු වී හමුදා නිලධාරීන්ගේ ඉලක්කවලට පුරුදුවන්නට වෙඩි තැබූ බවටත් ජනතා විමුක්ති පෙරමුණ ඒ වකවානුවේදී විවිධ මාධ්‍යයන් ඔස්සේ කරුණු දක්වා තිබිණ. එහෙයින් විජය ඝාතනය යුක්ති යුක්ත බැව් එමගින් හඟවනු ලැබිණ.

විජය නැති ලංකාව දැන් වෙනත් ග්‍රහ ලෝකයකි. ඒ ලෝකයේ පළාත් සභා තව දුරටත් යථාර්ථයකි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තරුණ දේශපාලකයෝ එ් පළාත් සභාවන් සඳහා මහජන ඡන්දයෙන් පත් වූ උද්‍යෝගීමත් ජනතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල් වගුර කළඹා විජයගේ නායකත්වයෙන් නැගී ආ ශ්‍රී ලංකා මහජන පක්ෂය දශකයක් ඇතුළත ඒ වගුරේම ගිළී ගියේය. විජයගේ දේශපාලන උරුමය පෙරට ගෙනයන්නට විජයගේ දේහය ඉදිරිපිට ශපථ කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළමුව සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායක ධූරයටත්, දෙවනුව ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා කාර්යාංශයේ ප්‍රධානී ධුරයටත් පත් කෙරුණි. විජයගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී සන්ධානය ගොඩනංවන්නට සැළසුම් කළ ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මුල්ලිවයික්කාල්හි දී කූටප්‍රාප්තියට පත් දෙමළ විරෝධී සමූල සංහාරක යුද්ධයේ ලේ වැකි පරිච්ඡේදයන් ලියනු වස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමග හරි හරියට දායක වූහ. විජය වෙනුවෙන් රැඩිකල් ගී  පබැඳූ මහාචාර්ය සුනිල් ආරියරත්න 'පත්තිනි' දෙවියන් සිනමාවට ගෙන ආ අතර,  විජය රජැයූ සිංහල සිනමාව දැන් අවතාරයක් බවට පෙරළී මහාවංශ පිටු අතර වල්මත්ව සැරි සරයි.

විජය පිළිබඳ මතකය ලිත් වතාවතක් සේ වසරක් පාසා මතු වී යළි මැකී යයි. දශක දෙක හමාරකට පසු විජය කුමාරණතුංග තවදුරටත් දුරවබෝධී සංස්කෘතික - දේශපාලන ප්‍රපංචයක් ලෙසම පවතී. 1988 ජූනි මාසයේ දී පුරෝගාමී සිනමා විචාරක සිරිල් බී. පෙරේරා විසින් 'විචිත්‍ර රේඛා' සඟරාවට 'විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?' මැයෙන් ලියන ලද සන්ධිස්ථානීය ලිපිය හැරුණු විට, ඔහු සම්බන්ධයෙන් තත්කාලීනව ලියැවුණු වැදගත්ම ලියැවිල්ල සම්පාදනය කරන ලද්දේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි. විජයගේ මරණය පසුබිම්කොට ලියන ලදුව මුලින් 'මාවත' සඟරාවේ පළ වූ මෙම ලිපිය, පසුව ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාව සඳහා වූ ව්‍යාපාරය (MIRJE) විසින් කුඩා පුස්තිකාවක් සේ මුද්‍රණයෙන් පළ කරන ලදී. විජය නියෝජනය කළා වූ බැලූ බැල්මට පරස්පර වූ සංකීර්ණතා ගහණ සංස්කෘතික සහ දේශපාලන ධාරාවන් පිළිබඳ ගැඹුරින් විමසා බලන්නට පොළඹවන සුළු මෙම ලිපිය '80 දශකය උරුම කළ දේශපාලන පරාජයන් සහ ශක්‍යතා වටහා ගන්නට වැදගත් කවුළුවක් විවර කරයි. විසි නව වසරකට පසු එය යළිත් මෙසේ උපුටා පළ කරන්නේ එහෙයිනි. (මෙම ලිපියට යොදා ඇති මැය මුල් ලියැවිල්ලේ මාතෘකාව නොවන බැව් සළකන්න.)

සුරැකිව තබාගත් මේ දුලබ ලියැවිල්ල යළි පළකරනු වස් අප වෙත ලබාදුන් දර්ශන කාහිංගල සහෝදරයාට ස්තූතියි.

සංස්කාරක කමිටුව


පෙබරවාරි 16 දා විජය කුමාරණතුංග මරා දමනු ලැබුවේ ඉතා  ඛේදජනක සහ අනපේක්ෂිත ආකාරයකිනි. ඔහුගේ ක්‍ෂණික සහ  සිත් කම්පා කළ  ජීවිතාවසානය, වසර දහයක් පමණ දිග ඔහුගේ දේශපාලන ජීවිතයත්, ඊටත් වඩා ඈතට පැතිරුණු  ඔහුගේ කලා ජීවිතයත් තරම්ම වර්තමාන ලාංකීය   සමාජයේ දේශපාලන මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන් සහ ප්‍රතිවිරෝධතාවයන් සංකේතවත් කරයි. මිය යන විට විජය කුමාරණතුංග ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා මෙන්ම  ජනප්‍රියම වාමාංශික, නැතහොත්  වාමාංශික නැඹුරුවක්  ඇති, දේශපාලන නායකයා ද වුයේය. ලංකාවේ පොදු ජන සහ දේශපාලන සංස්කෘතීන්ගේ පවතින සුවිශේෂත්වයන් කෙබඳු ද යත්, එකම පුද්ගලයෙකු වඩාත්ම ජනප්‍රිය නළුවා වීමත්, ඒ සමගම ජනප්‍රියම  වාමාංශික නායකයෙකු වීමත්  එකිනෙකට පරස්පර විරෝධී ජයග්‍රහණයන් දෙකකි. මන්දයත්, එම ජයග්‍රහණයන් දෙකම සාමාන්‍යයෙන් පදනම් වන්නේ එකිනෙක සමග සංවාදයක් නොපවත්වන එකිනෙකින් යම් තරමකට ඈත් වූ සමාජ කොටස් දෙකක්  වීමයි.

විජය කුමාරණතුංග රඟ පෑ බොහෝ චිත්‍රපට කිසි කලාත්මක ගුණයක් නැති ඒවා වූ අතර, ඒවා මගින් ඔහුට ඇති වුණු මහත් ජනප්‍රියභාවය සමාජමය වශයෙන් පැමිණියේ නාගරික, අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේ ද ජනප්‍රිය  සංස්කෘතියට හිමිකම් කියන පහල මධ්‍යම පාන්තික සහ කම්කරු පාන්තික  ස්ථරයන් වෙතිනි. මේ අතර දේශපාලන වශයෙන් ඔහු වඩාත් කිට්ටු වෙමින් සිටියේ සංස්කෘතික සහ බුද්ධිමය වශයෙන් පෙර කී සමාජ ස්ථරවල සන්නිවේදනයන් සහ රසාඥාතාවයන් පැහැදිලිවම බැහැර කළා වුත් විදග්ධ සංස්කෘතික භාවිතයන්ට හා මිනුම් දඬුවලට දැඩි  රුචියක් දැක්වුවා වුත් සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය වෙතට ය. මෙම ප්‍රතිවිරෝධතාවයම තවත් අකාරයකින් ප්‍රකාශ කළහොත් විජය කුමාරණතුංග සංස්කෘතික වීරයෙකු ලෙස අභිනන්දනයට පත් වුයේ ඔහුට මාස කිහිපයකට පෙර මිය ගිය ගායක එච්. ආර්. ජෝතිපාල සංස්කෘතික වීරයෙකු ලෙස සැළකූ සමාජ කොටස් අතර ය. එහෙත් ඔහු දේශපාලන වශයෙන් ළං වුයේ බීතෝවාන්, චයිකොව්ස්කි, අමරදේව සහ නන්දා මාලනී අගය කරන බුද්ධිමය සංස්කෘතියක් හුවා දක්වන නායකත්වයක් වෙත ය. මේ අතර විජය කුමාරණතුංග සංකේතවත් කළ ජයග්‍රහණය නම් එම සමාජමය සහ සංස්කෘතික ප්‍රතිවිරෝධතාවය අභිබවා යා යුතු සහ යා හැකි බවත්, එසේ කළ හැක්කේ ඒ සියල්ලන් ම එක්ව සහභාගී විය හැකි දේශපාලන දර්ශන පථයක් තුළ බවත් ය. ලාංකික සමාජයේ ඓතිහාසික අර්බුදය විසින් ඉදිරිපත් කරන ලද සහ විජය කුමාරණතුංග විසින් මැනවින් ග්‍රහණය කරගන්නා ලද එම දේශපාලන දර්ශන පථය වූ කලී ජාතික සමගිය පිළිබඳ බලාපොරොත්තුවයි. නළුවකු වශයෙන් ජනාදරයට පත් වී දේශපාලනඥයෙකු නිසා ශෝකජනක ලෙස මරා දමනු ලැබූ විජය කුමාර‍ණතුංගගේ ජීවිතයේ එක් අර්ථයක් වුයේ එයයි. මේ නිසාම, මෙරට පොදුජන සංස්කෘතියත්, දේශපාලනයත් පිළිබඳව බැරෑරුම් ලෙස සිතන්නවුන්ට, විජය කුමාරණතුංග සුවිශේෂ සමාජ ප්‍රපංචයක් මිස ඊට අඩුවෙන් සලකන්නට නොහැකි ය.

විජය කුමාරණතුංගගේ ජීවිතයේ එක් අසාමාන්‍ය ලක්ෂණයක් වුයේ සමාජ දායක ස්ථරයන් කිහිපයක්ම වෙත තම ආකර්ශනය පවත්වාගෙන යාමට සමත්වීම ය. ඔහුගේ වඩාත් පළල්  සමාජ දායක ස්ථරය වුයේ හුදෙක් චිත්‍රපට නළුවෙකු ලෙසම ඔහු වීරත්වයෙන් සැළකු සහ සුලභ සිංහල චිත්‍රපටවලටත්, සිංහල සිනමා  පත්තරවලටත් වෙළඳ පොළ සපයන සාමාන්‍ය ජනතාවයි. විජයගේ අවමඟුලට සහභාගී වූ සහ ඔහුගේ දේහය නැරඹීමට දිවා රාත්‍රී පෝළිම් සැදී සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් අති බහුතරය සමන්විත වුයේ ඔවුන්ගෙනි. චිත්‍රපට මාධ්‍ය තුළින්ම විජය කුමාරණතුංග ගොඩනගා ගෙන සිටි තවත් සමාජ දායක ස්ථරයන් නම් කලාත්මක දේශීය චිත්‍රපටවලට උනන්දුව දක්වන, සප්‍රතිපන්න කලා විඥාණයක අවශ්‍යතාවය අවධාරණය කරන කලාකරුවන්, කලා රසිකයන් සහ උගතුන් ය. අති විශේෂ රංගන කුසලතාවයක් ඔහු  තුළ නොතිබුණත්, ප්‍රධාන වශයෙන්ම ධර්මසේන පතිරාජගේ චිත්‍රපටවල රඟපෑම තුළින් මෙම දායක කණ්ඩායම ගොඩනගා ගැනීමටත්, පවත්වා ගැනීමටත් විජයට හැකි විය. තෙවැනි සමාජ දායක ස්ථරය සංකලනයෙන්ම දේශපාලනමය එකකි. එහි ද මට්ටම්  දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න ඔහුගේ ආකර්ශනශීලි පෞරුෂයත් පොදු ජනයා අතර ඉතාම ජනප්‍රිය චිත්‍රපට නළුවා වීමත් නිසා නිරායාසයෙන්ම ඇතිවුණු  මහජන කැමැත්තයි. දෙවැනි, එහෙත් වඩා වැදගත් මට්ටම නම් අත්‍යන්තයෙන්ම විනාශකාරී ජනවාර්ගික යුද්ධයට එරෙහිව ජනවාර්ගික සාමයත්, රටේ  පවතින දේශපාලන හා සමාජ අර්බුදයට යම් කිසි ආකාරයක සමාජවාදී වැඩ පිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු කියූ සහ කළ දේ ට හිතවත් බවකුත් සහයෝගයකුත් දැක්වූ සාමයට ලැදි, සමාජ සාධාරණත්වය අගයන සියලු ජනවාර්ගික හා ආගමික කොටස්වලට අයත්  ප්‍රබුද්ධ ජන කොටස් ය.    විජයගේ අනපේක්ෂිත සහ ප්‍රචණ්ඩ ජීවිතාවසානය නිසා  ඉහත කී  සෑම සමාජ  දායක කොටසක් විසින්ම ඔහු පිළිබඳව ගොඩනගනු  ලැබ තිබුණු ප්‍රතිරූපය තියුණු සහ උත්සන්න භාවයකට පත් වූ බව පෙනේ.

සමාජ ප්‍රතිරූපය

සමාජ දායක ස්ථරයන් ගණනාවක්ම මත තම වෘත්තීය සහ දේශපාලන ආකර්ෂණය පවත්වා ගෙන ගිය නිසාම විජය කුමාරණතුංග පිළිබඳව ගොඩ නැගී තිබුණු මුහුණුවර කිහිපයකින් සැදුනක් විය. විජයගේ අවමඟුල පිළිබඳව සමහර ජනයාත්, ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල  පුවත්පත්වල කතුවැකි ලියන්නනුත්, වාර්තාකරුවනුත් ඉදිරිපත් කළ විවිධ අදහස්වලින් පුද්ගල ප්‍රතිරූපයක සමාජමය පසුබිම්වල නැතහොත් පදනම්වල ඇති නිසර්ග සිද්ධි ප්‍රතිවිරෝධතාවයන් ඉතා තියුණු ලෙස  ප්‍රකාශයට පත්  විය. එය එසේ වුයේ  විජය කුමාරණතුංග කලාකරුවෙකු ද යන ප්‍රශ්නය ඔහුගේ අවමගුලේදී ම ගාමිණි ෆොන්සේකා විසිනුත්, ඊට පසුව ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි  පුවත්පත් ලේඛකයන් විසිනුත් මතු කිරීම මගිනි. ඇත්ත කාරණය නම්, විජය කුමාරණතුංග එකවරම කලාකරුවෙකුත්, දේශපාලන නායකයකුත් වීමයි. එමෙන්ම, ඔහුගේ මරණය සිදුවුයේ ඔහු හුදෙක් කලාකාරයෙකු  වූ  නිසා නොව, මුලික වශයෙන්ම ඔහු දේශපාලන නායකයෙකු වූ නිසා ය. ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී වෙන්වී මීට අවුරුදු  හතරකට පෙර පිහිටුවන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා  සහ ප්‍රධාන ප්‍රකාශකයා වුවා පමණක් නොව, ඔහුගේ අවමගුල් දිනය වූ පෙබරවාරි 21 දා නිල වශයෙන් පිහිටුවීමට නියමිතව තිබු එක්සත් සමාජවාදී සන්ධානයේ නායකයා වීමට ද නියමිතව තිබිණි. ඒ අතර ඔහු පෙබරවාරි 16  දා ඝාතනය කරන ලද්දේ, ඔහුගේම ඝාතකයන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබ ඇතැයි වාර්තා වී ඇති පරිදි ඔහුගේ යම් යම් දේශපාලන ක්‍රියාවන්ට "දඬුවම්"  පැමිණ වීමක්  වශයෙනි. ඒ  අනුව, දේශපාලන මරණයකට ගොදුරු වූවෙකුට දේශපාලන අවමඟුලක් ලබා දීමේ ඇත්තේ පහසුවෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයකි. එතෙකුදු වුවත් එම අවමඟුලේ දේශපාලන ස්වරුපය සහ දේශපාලන අර්ථය ගර්හාවෙන් බැහැර කිරීමට ඇතැම් දෙනා පෙළඹීමේ ඇති අර්ථය ද පහසුවෙන් ඉවත දැමිය හැක්කක් නොවේ. සංකේතාත්මකව බලන විට, මෙම අවමඟුල ජන යාග කර්මයක් (public ritual) විය. එහිදී සිදුවූ  එක් වැදගත් දෙයක් නම් විජය කුමාරණතුංග පිළිබඳව ගොඩනගා ඇති සමාජමය ප්‍රතිරූප මාලාවක්ම එකිනෙක සමග ගැටෙමින් ප්‍රදර්ශනය වීමයි. මෙහි දී ප්‍රධානම ගැටුම ඇති වුයේ කලාකරුවාය යන ප්‍රතිමුර්තියත්, දේශපාලනඥයා යන ප්‍රතිමුර්තියත් අතර ය. එම ගැටුමේ හරය නම් කවරක්  විසින් කවරක් අභිබවනය කළ  යුතු ද යන්නයි.

ප්‍රතිමුර්ති අතර ගැටුමක්

මෙම ප්‍රතිමුර්තීන් අතර ගැටුමේ එක් විශේෂ දේශපාලනයක් තිබිණ. එනම්, විජය කුමාරණතුංගගේ ජීවිතයත්, මරණයත්, නිර්-දේශපාලනය කිරීමේ දේශපාලනයයි. එම  නිර්-දේශපාලනීකරණය සඳහා වූ ප්‍රයත්නය ගනු ලැබුවන්ගේ ප්‍රධාන කාර්යය වුයේ කලාකරුවෙකුගේ අවමඟුල දේශපාලන රඟ මඩලක්  කර ගැනීමෙන් මිය ගිය කලාකරුවාට විශේෂයෙනුත්, කලාවට පොදුවේත් අවමානයක් හා මදිකමක්  සිදු වුණිය යන්නයි. විජය හුදෙක් කලාකරුවෙකු සහ සිනමාවේ ආකර්ශනීය වීරයෙකු ලෙස පමණක් සැළකු අති  විශාල ජනකායක් ඔහුගේ අවමගුලට පැමිණි බව ඇත්ත ය. ඒ සමගම ඒ සියලු දෙනාම පාහේ දැන සිටි කරුණක් ද වන්නේ, තම සිහින ලොව වීරයාගේ  සුන්දර මුහුණ ද  කුඩු පට්ටම් වන සේ  වෙඩි තබා ඔහු මරනු ලැබුවේ සිනමා තිරයේ අනන්ත වාරයක් දිග හැරී ඇති පරිදි ඔහු රූමත් තරුණ ස්ත්‍රීන්ගේ  මුහුණ සිප  ගැනීමේ "වරදට" නම් නොවන බව ය. එම "වරද" තිබුණේ වෙනත් තලයක ය. එනම්, ලංකාවේ ජන වාර්ගික මිත්‍රත්වයේත්, සුහදතාවයේත් දේශපාලන පණිවුඩය එම මුහුණෙන් ඉතා දැඩි ලෙස සංකේතවත් වී  තිබුණේය යන කරුණ  තුළ ය. වර්ගවාදයෙන් හා ගතානුගතික සහ ප්‍රතිගාමී  ජාත්‍යෝන්මාදයෙන් නිදහස් වූ දේශපාලන සංවාදයක්, ප්‍රචණ්ඩත්වයෙන්  කැළඹී ගිය මෙරට දේශපාලන ජීවිතයට යළි හඳුන්වා දීමේ පණිවිඩය ඔහුගේ මුවින් පැතිරීමය යන කරුණ තුළ ය. තමන් නායකත්වය දුන් දේශපාලන පක්ෂයේ ධජයෙන් වැසුණු මෘත ක්ලේබරයේ බහා තිබුණු ඔහුගේ අප්‍රාණික සිරුරම ඔහු නියෝජනය කළ දේශපාලනයේත්, ඔහුට එදිරි වූ දේශපාලනයේත් තිබුණු සමනය කළ නොහෙන ප්‍රතිවිරෝධතාවයේ මහා සංකේතය විය. එහෙත් ඔහුගේ  කලාත්මක ප්‍රතිරූපය හුවා දැක්වීමට ඉදිරිපත් වුණු සෑම තර්කයකම ඇත්තේ මෙම දේශපාලන අර්ථය ප්‍රතික්ෂේප කිරීමේ උත්සහායකි.


සාමුහික ශාන්ති කර්මයක් 

කලාව පිළිබඳව ආචීර්ණ කල්පිත දෘෂ්ඨිවාදයේ දක්ෂිණාංශික ස්ථාවරය වෙතින් මෙම නිර්-දේශපාලනය සඳහා වූ තර්කය ඉදිරිපත් වී ඇති සැටි ද මෙහි  දී  කෙනෙකුට පෙනේ. කලාව දේශපාලනයෙන් ද, දේශපාලනය කලාවෙන් ද වෙන් කළ යුතුය යන්න සුපුරුදු ගතානුගතික තර්කයකි. එම තර්කයේ එක් පැත්තක් නම්, කලාව යනු අතිශය සුන්දර සහ පාරිශුද්ධ විෂය වස්තුවක් බවත්, බලලෝභය මුල්කරගත් දුෂිත දේශපාලනය ගාවා ගැනීමෙන් එය කිළිටි නොකළ යුතුය  යන්නත් ය.  මෙම තර්කය වූ කලී බැලු බැල්මටම ඇත්ත ලෙස පෙනෙන දෙයක් මත ගොඩනැගුනු මිථ්‍යාවකි. දේශපාලනය නිසර්ගයෙන්ම  දුෂිත එකකැයි   කියා   සිටීමත්, දුෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමත් එකක් නොව දෙකකි.  වරද ඇත්තේ  "දේශපාලනයේ" නොව, ජනයා  පීඩාවට, මර්ධනයට සහ සුරා කෑමට ගොදුරු කරන සහ අහිංසක ජනයා බිය ගන්වන දේශපාලනය තුළ ය. ජනයා මත හිංසාකාරි ආධිපත්‍යයක්  ලබා ගැනීමට තැත් දරන දේශපාලනය තුළ ය.  මෙතැන්හි දී කෙනෙකුට පෙනෙන දෙයක් නම්, කලාකරුවෙකු වශයෙනුත්,  දේශපාලනඥයෙකු වශයෙනුත් විජය කුමාරණතුංග වෙත ගොඩනැගී  තිබු  ප්‍රතිවිරෝධී  ප්‍රතිරූපයන් දෙක අතර සිදු වූ සම්මතයයි. සිංහල සිනමාවේ පවතින අවවර්ධනීය  තත්ත්වය තුළ  විජය කුමාරණතුංග පිළිබඳව  සමාජයේ  බහුතරය පිළිගෙන ඇති  ප්‍රතිරූපය නම්,  සමහර පෞද්ගලික බස් රථවල අලවා තිබුණු වර්ණ පෝස්ටරයකින් කදිමට  කියැවුණු  පරිදි  "සිහින ලොවේ කුමරා"  යන්නයි.  

පතිරාජගේ "අහස්  ගව්ව" නැතහොත් "පාර දිගේ"  වැනි කලාත්මක චිත්‍රපටයක විජය නිරුපනය කළ චරිත ආශ්‍රිත ප්‍රතිමුර්තියක් ඔහු පිළිබඳව ගොඩ නැගී  තිබුණු අතර, ඔහුගේ සිරුර පොල්හේන්ගොඩ සිට නිදහස් චතුරශ්‍රයට ගෙන ඒම අතර වූ දවස් හයක කාලය තුළ ඒ ගැන  පුවත්පත්වලින් කතා බහ කෙරු‍ණේ ද නැති තරම් ය.  මෙය ලාංකික සිනමාවේත්, මෙරට  බුද්ධිමය සංස්කෘතියේත්, කලාකරුවෙකු වශයෙන් විජය කුමාරණතුංගගේ තිබුණු දැඩි සීමාවන්  අනාවරණය කරන්නකි.  කෙසේ  වෙතත් කලාකරුවෙකු වශයෙන් පමණක් සඳහා විජයගේ අවමඟුල සිදු කරනු ලැබුයේ නම් එය ඔහුගේ අකල් මරණයෙන් හෘද කම්පාවට පත් දහස් ගණනක් ජනයා හඬවන භාවාතිශයෙන් ඉහවහා ගිය සාමුහික ශාන්ති කර්මයක තත්වයකට පත් වන්නට ඉඩ තිබිණි.  රමණි  බර්තලමියුස් සහ එච්. ආර් ජෝතිපාල යන කලාකරුවන් දෙදෙනාට පසුගිය අවුරුද්දේ (1987) ලබා දුන් අවමඟුල්වලින් එය වෙනස් විය නොහැකිව තිබිණි. ඇත්තටම  දේශපාලනයෙන් ඉවත් කරනු ලැබුවහොත් විජය කුමාරණතුංග සහ එච්.ආර්. ජෝතිපාල අතර කලාකාරයන් හැටියට දැඩි වෙනසක් නොපැවතීම, තරමක් අකාරුණික ලෙස පෙනුනද අප පිළිගත යුතු කරුණකි. අප ජීවත්වන සමාජයේම නිර්මාණයන් වන විජය කුමාරතුණංග නම් වූ  පුද්ගලයාත්, ඔහු  පිළිබඳව විවිධ ප්‍රතිරුපයන්වලින් නියෝජනය වුණු ප්‍රතිවිරෝධීතාව නිෂේධාත්මකව  බැහැර කළ යුතු යැයි ඉහත තර්කයෙන් මම අදහස් නොකරමි. මෙම ප්‍රතිවිරෝධයේ නිසර්ග  "සිද්ධි" ද්විඝට්ටනය  කෙබඳු ද යත් දේශපාලන අර්ථයකින්  බලන විට කදිම ජනනාත්මක විභවයක් එහි තිබුණු බව පෙනේ.   නොයෙකුත්  ආකාරවලින් දැකිය හැකි එය ඉදිරිපත් කළ හැකි එක් ආකාරයක්  මෙසේ ය:  විජය කුමාරණතුංගගේ  අතිශය ජනප්‍රියභාවයට හේතු වුණු චිත්‍රපට   සියල්ලම පාහේ කලාත්මක  ගුණයෙන් හීන, ප්‍රේක්ෂකයා මනරම් සිහින ලෝකයකට ගෙන යන ක්‍ෂණික‍ විනෝදාස්වාදය පමණක් සපයන "වට්ටෝරු" යන   විශේෂණයට සාකල්‍යයෙන්ම  ගැලපෙන ඒවා විය.  ඒ අතර ඔහු පෙනී සිටි දේශපාලන ස්ථාවරයන් වූ කලී සෑම සන්ධිස්ථානයකදීම වාමාංශයටත්, වාමාංශික දේශපාලනයෙන් හැඩ ගැසුණු බුද්ධිමය සංස්කෘතියටත් ලැජ්ජාවකින් තොරව  ළං  විය හැක්කේ විජය රඟපෑ  "ඔබටයි  ප්‍රියේ  ආදරේ" චිත්‍රපටවලට නොව බඹරු  ඇවිත්, අහස ගව්ව හා පාරදිගේ වැනි චිත්‍රපටවලට ය. එහෙත් ලාංකික ජන සංස්කෘතියේ තවමත් පවත්නා ස්වභාවය කෙබඳුද යත් දෙවනුව කී   චිත්‍රපටවලින් මෙරට ජන සමාජයේ බහුතරයක ආකර්ෂණය තමන් වෙත ලබාගැනීමට එම  චිත්‍රපට විජය කුමාරණතුංගට කිසිසේත්  උදව්වන්නේ නැත. මේ  අතර සර්ව ජන ජන්දය මත පවත්වන මැතිවරණ ක්‍රමයක් තුළ ඡන්ද දායකයන්ගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන කවර දේශපාලනඥයෙකුට හෝ   මෙරට සමාජයේ අති බහුතරය නියෝජනය කරන ග්‍රාමීය මෙන්ම නාගරික අතර මැද සහ කම්කරු  පාන්තික ජනයාගේ සහයෝගය අත්‍යාවශ්‍ය වෙයි. ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනඥයන් මෙම  ගැටළුවට මුහුණ  දුන්නේත්, මුහුණ දෙන්නේත් එක්කෝ ජනයාට බොරු පොරොන්දු දීමෙනි. නැතහොත් ජන සමාජයේ පවත්නා වාර්ගික, ආගමික හෝ ප්‍රාදේශික අගතීන්ට ඉතා අවස්ථාවාදීවත්, සමාජයේ ප්‍රගතියට හානිදායක ලෙසත් කළ ආයාචනයක් මගිනි. ජාතිප්‍රේමය හා ආගම්වාදය  සිංහල, දෙමල සහ මුස්ලිම් දේශපාලනඥයන් විසින් ජන සහයෝගය ලබාගනු වස්  යොදාගනු ලබන උපකරණයන් ය. තම දේශපාලනයේදී එවැනි ප්‍රතිගාමී උපක්‍රමයන් මගින් බහුජන සහයෝගය ලබාගැනීමට අවශ්‍යතාවයන් විජය කුමාරණතුංගට නොතිබීම, කලාකරුවෙකු  වශයෙන් ඔහු සතු වූ ඉතාම ප්‍රතිජනනාත්මක සමාජමය ශක්තිය වූ අතර, එම ශක්තියේ පදනම ද ඔහු දේශපාලනයට පිවිසීමටත් පෙර  ඔහු වෙත තිබුණා වූ චිත්‍රපටවලින් බිහිකරන ලද ජනප්‍රියභාවයයි.

ලංකාවේ ජනවාර්ගික සාමය හා සමගිය පිළිබඳව විජය ඔහුගේ  ජිවිතයේ අවසාන අවුරුදු  දෙක - තුන තුළ දී ඉදිරිපත් කළ ස්ථාවරයන් දෙස බලන විට පෙනෙන්නේ මෙරට සෑම ජන කොටසකටම අයත් පොදුජනයාට මහත් ආකර්ශනාත්මක ශක්තියක් ඇති එකම ප්‍රබුද්ධ දේශපාලනඥයා ඔහු වූ බව ය. මෙරට පොදු ජනයාත් ජාත්‍යෝන්මාදයෙන් සහ රණවාදයෙන් තොර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන ඉදිරි දර්ශනයකුත් අතර සජීවී පුරුක වන්නට අවශ්‍ය සමාජමය පදනම විජය කුමාරණතුංගට සපයන ලද්දේ  ඔහු රඟ පෑ  පොදු ජනයා අතර සිත් ගත් බාල සහ කලා හීන චිත්‍රපටවලින් වීම මෙරට  සංස්කෘතික  හා සමාජ විචාරකයන්ගේ අවධානය යොමු  විය යුතු ද්වෛධය (paradox) කි. 'ගැටලුවකි'.


මා ඉහත දැක්වූ කරුණ මෙරට වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් ද අදාළ වන්නකි. පාර්ලිමේන්තු දේශපාලනය සිය භාවිත උපක්‍රමය ලෙස පිළිගන්නා වුද, එය  ප්‍රතික්ෂේප කරන්නා වූ ද සෑම වාමාංශික දේශපාලන පක්ෂයක්ම මුහුණ දෙන තියුණු අභියෝගයක් වන්නේ, මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් සමන්විත වන "පොදු ජනතාව" යන පදයෙන් සාමන්‍යයෙන් හඳුන්වනු ලබන අතර මැද සමාජ පන්තිවල ජනයාට  සිය දේශපාලන පණිවිඩය සාර්ථක ලෙස ගෙනයාම පිළිබඳ  ප්‍රශ්නයයි. මෙරට වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයෙන් මේ පිළිබඳ තෙවැදෑරුම් අත් දැකීමක් අපට පෙනෙන්නට තිබේ. ඉන් එකක් නම්  නාගරික කම්කරු පන්තිය කේන්ද්‍ර කොටගත් දේශපාලන වැඩ පිළිවෙත් එම පන්තියෙන් පිටස්තර, එහෙත් මෙරට සමාජවාදී ව්‍යාපාරයට අත්‍යාවශයෙන් දායක විය යුතු, විශේෂයෙන්ම අර්ධ නාගරික සහ ග්‍රාමීය  ජනයා අතරට විනිවිද යෑමට අපොහොසත් වීමයි.

දෙවැන්න, එසේ විනිවිද යෑමේ උපක්‍රමයක් හැටියට මෙරට ගැමි ජනයා අතර නියත ආකර්ෂණයක් ඇති සිංහල - බෞද්ධ දේශපාලන හරයකින් යුත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාහනය කරගැනීමේ නිෂේධාත්මක අත්දැකීමයි.   

තෙවැන්න ජාත්‍යෝන්මාදය සහ පටු දේශප්‍රේමය මත සකස් වුණු සටන්කාමී ජාතිකවාදයට සපුරා අනුගත වීමයි. මේවාට පිටස්තර ක්‍රියාමාර්ගයක් හා භාවිතයක් තු‍‍‍‍‍‍‍‍‍ළ වාමාංශික දේශපාලනයක පණිවිඩය පොදු ජනයා අතරට ගෙන යාමේ අන් ආකාරයක් ගැබ්ව තිබුණේ විජය කුමාරණතුංගගේ පෞරුෂය තුළ වීම දේශපාලන හා සමාජ ප්‍රපංචයක් වශයෙන් ඔහු තුළ තිබුණු සුවිශේෂත්වය පෙන්නුම්  කරයි.

න්‍යායවාදියෙකු නොවීම

මෙම සුවිශේෂත්වයේ අනෙකුත් අගය නම් ඔහු එම පණිවිඩය ජනයා අතරට ගෙන ගිය ආකාරයයි. විජය කුමාරණතුංග කිසිසේත්ම වාමාංශික න්‍යායවාදියෙකු  නොවීය. වාමාංශික එක්සත් පෙරමුණේ නායකත්වය තුළ දේශපාලනය පිළිබඳ න්‍යායික දැනුමෙන් ඉතාම අඩු පුද්ගලයා ඔහු වී නම් එය අසත්‍යයක් නොවේ.  මේ අනුව නව වාමාංශික පක්ෂවලටත් එල්ල වන පොතේ ගුරුවාදය පිළිබඳ  විවේචනය  විජය  කුමාරණතුංගට නම් කිසිසේත් එල්ල කළ  නොහැකි විය. මේ අතර ලංකාවේ දේශපාලනය තුළ පැහැදිලිව දක්නට ලැබෙන දෙයක් නම් දැඩි මාක්ස්වාදී පුහුණුවකින් සහ න්‍යායික ශික්ෂණයකින් තොර සමාජවාදීන්, ජනතාවට වැටහෙන භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීම නම් වූ බොරු වලෙහි වැටීමෙන් වර්ගවාදය කරා පිරිහීමේ අනතුරයි. එසේ න්‍යායික පුහුණුවක් ලැබූ ලංකාවේ සම්භාව්‍ය වාමාංශික නායකත්වය පවා සිංහල ජාතිකවාදයට අනුගතවීමේ අනතුරට කලකට ඉහතදී හසුවීම, ලංකාවේ දේශපාලනයේ  ඇති එක් අනිවාර්ය ගැටළුවක තීව්‍රතාවය කියා පාන්නකි. ඇත්තටම ලාංකික සමාජය තුළ "ජනතාවගේ දේශපාලනය" කිරීමත් "ජනතාවට තේරෙන භාෂාවෙන්" සමාජවාදයේ පණිවිඩය දීමත් යන සුත්‍රයන් වූ කලී අතිශයෙන්ම ගැටළු සහගත ඒවා ය.

සිංහල ජාතිවාදයේ බලපෑමෙන් මිදී සමාජ සාධාරණත්වයේත්, සමාජවාදයේත් පණිවිඩය සෑම ජාතික කොටසකටම අයත් ජනයා අතරට ගෙන යා හැකි බව පෙන්වා දීම විජය කුමාරණතුංග තම ජීවිතයේ අවසාන කාලයේ ලබා ගත්  වැදගත්ම ජයග්‍රහණයයි. ලංකාවේ වමේ ව්‍යාපාරයට ඔහු එම ආදර්ශය දෙද්දී  මෙරට දේශපාලනය පත් වී තිබුණේ ඊට පෙර කිසිදාක නොතිබුණු තරමේ අර්බුදයක ය. 1983 වර්ෂයේදී උත්සන්න වුණු ජනවාර්ගික ප්‍රශ්නයේ පසුබිම තුළ සිංහල සහ ද්‍රවිඩ ජන කොටස් අතර වාර්ගික සහ දේශපාලන බෙදීම ඉතා තියුණු වී තිබුණු අතර, රණකාමී ජාතිකවාදය සමාජ හා දේශපාලන ජීවිතයේ බල සම්පන්නම බලවේගය බවට පත් වී තිබුණි. ප්‍රධාන ජාතීන් දෙක අතර පැතිරෙමින් තිබුණු අන්‍යෝන්‍ය අවිශ්වාසය, සමනය කළ නොහැකි දේශපාලන වෛරයක් බවට පත්කිරීමට කැසපට කවාගත් අන්ත ජාතිවාදී  බලවේගවල දෘෂ්ටිමය ආධිපත්‍යය පරාජය කිරීම හදිසි  කාර්යයක් වී තිබිණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය වූ දේශපාලන නිර්භීතභාවය සීමා වී තිබුණේ, වමේ ව්‍යාපාරයට කෙලින්ම සම්බන්ධ  නැති‍, එහෙත් වාමාංශික බුද්ධිමය සංස්කෘතියක්  තුළ ක්‍රියා කළ, සිංහල සහ ද්‍රවිඩ ජන කොටස්වලට අයත්, මානව හිතවාදී උගතුන් අතලොස්සටත්, සිංහල රැඩිකල් වාමාංශයේ කුඩා කණ්ඩායම්  කිහිපයකටත් පමණි. එසේ නමුත් අති බැරෑරුම් දේශපාලන අර්බුදයන් තුළ කළ යුතු වූ තීරණාත්මක මැදිහත් වීමක් සඳහා වූ ශක්තිය ඒ කිසිවෙකුටති තිබු‍ණේ නැත. එක් අතකින් රාජ්‍යයත්, පාලක පන්තියත් විසින් පෝෂණය කරනු ලැබූ සිංහල කේන්ද්‍රීය රණවාදයත්, ජාතිවාදී බුද්ධිමතුන් සහ ජනමාධ්‍ය කරුවන් විසින් පතුරුවනු ලැබූ ජාතික උමතුවත් හමුවේ වර්ගවාදයෙන් තොර දේශපාලන විසඳුමක් සඳහා වූ පණිවිඩය සිංහල මෙන්ම ද්‍රවිඩ ජනයා අතරටද ගෙනයාම අතිශයින්ම සංකීර්ණ වුත්, දේශපාලන වශයෙන් අනතුරුදායක වුත්, කාර්යයක් විය. සිංහල ජනයා ගේ ඡන්දය මත යැපෙන කිසිදු සිංහල දේශපාලන පක්ෂයකට සිතීමටවත් නොහැකි වූ එම "අති ධාවනකාරී" කාර්යයට අතගැසුවේ විජය කුමාරණතුංග ය.

සිංහල සමාජයෙන් එන දේශපාලන පණිවිඩවලට සැකයෙන් තොරව කන් දීමට ද්‍රවිඩ ජනයා එතරම් සුදානම් නොමැති මොහොතක ද්‍රවිඩ ජනයාගේත්, ද්‍රවිඩ සටන්කාමීන්ගේත්, විශ්වාසය දිනා ගැනීමට ඔහු කළ සමහර ක්‍රියා සිංහල දේශපාලනඥයන්ගේ අවමානයටත්,  ඊර්ෂ්‍යාවටත් ලක්  වුවද ඔහු තැබූ එම පියවරවල් සිංහල දේශපාලනඥයෙකු විසින් මෑත කාලයේදී ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් කරනු ලැබූ ඉතාම ඥානාන්විත මැදිහත් වීමක් බවට වර්ධනය විය, ඔහු එම පියවරවල්  ගත්තේ "සිංහල ජාතිය පාවා දීම" යන බැරෑරුම් චෝදනාවට ලක්වීමට දක්ෂිණාංශික මෙන්ම වාමාංශික සිංහල දේශපාලනඥයන් බිය පත්ව සිටියදී ය. ඔහුගේ ආදර්ශයේ අනෙක් වැදගත් පැත්ත නම්, ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්  අවශ්‍ය වේය යන පණිවිඩය සිංහල ජනතාවට තේරුම් කර දීම ය. සිංහල ජා‍ත්‍යෝන්මාදයේ  බොරු වළවල නොවැටී එම පණිවිඩය පතුරුවන්නට අවශ්‍ය දේශපාලන ප්‍රතිභා ශක්තිය විජය කුමාරණතුංගට තිබුණි. ඔහුගේ එම ආමන්ත්‍රණයට හසුවූයේ සිංහල සමාජයේ ප්‍රබුද්ධයන්ම නොවේ.  වාමාංශික උගතුන්ම නොවේ. බෞද්ධ මෙන්ම කතෝලික ආගමික පසුබිම්වලින් ආ පහළ මධ්‍යම පාන්තික සහ නාගරික කම්කරු පංති ජන කොටස් ය. මෙරට වාමාංශික දේශපාලනය තුළ සපුරාම ජනතාවාදී  සමාජ පදනමක සිය දේශපාලනය සකස් කරගත් දේශපාලනඥයෙකු වූ ඔහු සිංහල - බෞද්ධ ජාතිකවාදයේ සීමාවන් ඉක්මවා යාම සහ ජාතිකවාදයට අභියෝගයක් වීම, ලංකාවේ  දේශපාලන සංස්කෘතිය තුළ  ඔහු ලැබූ සුවිශේෂිත්වය ප්‍රකාශ කරන්නකි.☐

ජයදේව උයන්ගොඩ 


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.