JDS Sinhala

‘ධර්මරත්නම් සිවරාම් ඝාතනයෙන් අපේ බුද්ධිමය ලෝකය දුබල විණ’

දෙදහස් පහ වසරේ අප්‍රේල් මාසයේදී ධර්මරත්නම් සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ සතියේදීම ‘වීරකේසරී ’ පත්‍රයේ පළ වූ මෙම ලිපිය පළමුව සිංහලට නඟා පළ වූයේ 2005 මැයි 08 වැනිදා පළ වූ ‘හිරු’ පත්‍රයේ සිවරාම් අනුස්මරණ විශේෂ කලාපයේ ය. සිවරාම්ගේ මරණයෙන් එකළොස් වසරක් සපිරෙන මේ අප්‍රේල් මාසයේදී එම ලිපිය නැවත පළ කිරීමට අප කල්පනා කළේ විචිත්‍ර‍ වූ පන් සාළිස් වසක කෙටි ආයු කාලයක් විඳ වෙන්ව ගිය සටන්කාමී බුද්ධිජීවියෙකු ගැන දකුණේ පසුකාලීන පරම්පරාවන් අතර අප්‍ර‍කට ඉතිහාස තොරතුරු මාත්‍ර‍යක් ද එමගින් අනාවරණය කරන බැවිනි.

සිවරාම්ගේ දේශපාලන මිතුරෙකු මෙන්ම, වතු කම්කරුවන් අතර මූලික වශයෙන් පදනම්ව හිඳ වාම ක්‍රියාකාරිකයෙකු වශයෙනුත්, ලේඛකයෙකු හා පුවත්ත්පත් කලාවේදියෙක් වශයෙනුත් කටයුතු කර ඇති පී මුතුලිංගම්, වර්තමානයේ දී මහනුවර සමාජ සංවර්ධනය සඳහා වූ ආයතනයේ  විධායක අධ්‍යක්‍ෂවරයා ලෙස ක්‍රියා කරයි.

පරිවර්තනය: ප්‍රියදර්ශිනී රත්නසාමි


ගේ මිතුරු සිවරාම්ගේ මොළය දැන් අක‍්‍රීය කර හමාර ය. ඉතිහාසය පුරාම චින්තකයන් විනාශ කර දැමීම, ෆැසිස්ට්වාදීන් විසින් නියමයක් බවට පත් කර තිබේ. මෙය සිවරාම් හොඳින් දැන සිටි දෙයකි. ඔහුගේ ලිපි තුළින්ද මෙය බොහෝ අවස්ථාවලදී ඔහු පෙන්වා දී ඇත. තමන් එවැනි අවස්ථාවකට මුහුණ දුන්නත් ඒ ගැන කණගාටු නොවන බව ද, ඔහු ප‍්‍රකාශ කර තිබේ.

මීට තුන් මසකට පෙර සිවරාම් මා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ මොහොතේදී ‘උඹේ ආරක්‍ෂාව ගැන ටිකක් සැළකිලිමත් වෙන්නැ’යි මම කීවෙමි.

‘‘හරි මචං, හිතුනොත් වෙඩි තියයි, වෙන මොනවාද කරන්නද? ඒවට බයවෙලා මට ඇත්ත වසන් කරන්න පුළුවන්ද? වෙන දෙයක් වුණාවේ’’යි සිවරාම් කීවේය. ඒ ඔහුගේ හැටි ය.

උතුරු නැගෙනහිර පළාතෙන් අලූත් පරම්පරාව තුළ ඉතා ඉක්මනින් වර්ධනය වුණු චින්තකයා ලෙස සිවරාම් හැඳින්විය හැක. 1982 දී සිවරාම් පේරාදෙණිය සරසවියේ අධ්‍යාපන හදාරන අවධියේදී ඔහු මා හමුවිය. එම අවධිය වනවිට මම උතුරු නැගෙනහිර ජනයාගේ ස්වයං - තීරණ අයිතිය පිළිගන්නා සිංහල ව්‍යාපාර සමග එක්ව වැඩ කරමින් සිටියෙමි. ඒ වන විට පේරාදෙණිය සරසවිය තුළත්  ERRLF සංවිධානයට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම් ක‍්‍රියාකාරී විය. ස්වයං තීරණය අයිතිය සඳහා වන අරගල ගැනත්, මාක්ස්වාදයේ වැදගත් කම ගැනත් එම ශිෂ්‍ය කණ්ඩායම් අතර, නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්විණ. එවැනි එක් අවස්ථාවකදී සිවරාම්ට මා සමග කතා කිරීමේ අවස්ථාව ලැබිණ. ඒ වන විට සිවරාම් කිසිම සංවිධානයක සාමාජිකයෙක්ව නොසිටියේය. සිවරාම් මා සමග බොහෝ දුරට සාකච්ඡා කළේ මාක්ස්වාදය, ලංකාවේ දකුණේ දේශපාලන ව්‍යාපාර, සහ උතුරු දකුණු එකතුවක් ගැනය.

මේ අතරතුර 1982 පේරාදෙණිය සරසවියේ ඇති වූ සිංහල - දෙමළ සිසු ගැටුමෙන් පසුව නිවෙසට ගොස් නැවතත් සරසවියට පැමිණි සිවරාම් මට හමුවූයේ මහනුවර නගර මධ්‍යයේදී ය. එය ද අහම්බයකිනි. එම අවස්ථාවේදී ඔහු ප‍්‍රකාශ කළේ තමන් ප්ලොට් සංවිධානය හා සම්බන්ධ වන්නට තීරණය කළ බව ය. අධ්‍යාපනය අත් හැර දමා පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසෙන්නට අදහස් කරන බවද ඔහු පැවසීය. ‘‘ඇයි ERRLF සංවිධානයට එකතු නොවන්නේ?’’යි මම ඇසීමි. ඊට පිළිතුරු වශයෙන් සිවරාම් කීවේ ERRLF සංවිධානය මාක්ස්වාදය පිළිබඳව කතා කළද එය ශිෂ්‍ය සංවිධානයක් වශයෙන්ම පවතින බව ය.

ඒ සමග ලංකාවේ දකුණේ සිටින මාක්ස්වාදී බුද්ධිමතුන් සමග සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් සිවරාම් මගෙන් ඉල්ලීමක් කළේය. විශේෂයෙන්ම අභාවප‍්‍රාප්ත ආචාර්ය නිව්ටන් ගුණසිංහ, දයාන් ජයතිලක, ලක්සිරි ප‍්‍රනාන්දු ඇතුළු ස්වයං තීරණ අයිතිය පිළිගන්නා, ඊට සහාය දක්වන බුද්ධිමතුන් සමග සබඳතා ගොඩනගා ගැනීමට තමන් කැමති බවද සිවරාම් පැවසීය. ඒ අනුව මම ඔහුට කොළඹ පැමිණෙන ලෙස ඇරයුම් කළෙමි. කොළඹ පැමිණි සිවරාම්ව ආචාර්ය නිව්ටන් ගුණසිංහ වෙත කැඳවාගෙන යන විට කොළඹදී සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමක් නිසා දෙමළ තරුණයන්ට ගමන් බිමන් යාම ගැටළුවක්ව පැවතිණ. ඒ වන විට සිවරාම්ට කොළඹ නවාතැනක් නොතිබිණි. මම වහාම සිවරාම්ගේ තත්ත්වය පැහැදිලි කර ඔහුට නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස දයාන් ජයතිලකගෙන් ඉල්ලීමි. ප්‍ර‍ිචාර ලෙස ඔහු නම් කිහිපයක් සඳහන් කළේය. මම සුනිලා අබේසේකරට කතා කොට සිවරාම්ව ඇගේ නිවසේ නතර කළෙමි.

ඉන් පසු සිවරාම් නැවතත් මට හමුවුණේ 1983 මෙළ විරෝධී ජාතිවාදී කෝලාහලයෙන් පසුවය. ඒ වන විට ඔහු ප්ලොට් සංවිධානයේ ප‍්‍රමුඛයෙක්ව සිටියේය. මේ හමුවීමට පසුව සිවරාම්ට කීර්තිමත් ඉංග‍්‍රීසි ලේඛක මර්වින් ද සිල්වා ද හඳුන්වා දීමට මම පියවර ගත්තෙමි. ඔහු මා හා ප‍්‍රකාශ කළේ තම සංවිධානය දකුණේ ප‍්‍රගතිශීලී බලවේග සමග එක්ව පූර්ණ විමුක්ති අරගලයක් ඉදිරියට ගෙනයාමට කල්පනා කරන බව ඔහු මා හා කීවේ හමුවේදී ය. නමුත් ඉක්බිති විවිධ හේතු නිසා අප අතර නිරන්තර හමුවීම් එතරම් සිදු නොවිණ.

ඔහුත් මාත් අතර සබඳතාව යළි ඇති වන්නේ බොහෝ කලකට පසුව ඔහු ‘තරාකී’ නමින් ලිවීමට ආරම්භ කළ පසුව ය. ඒ වන විට මම ‘තිනකරන්’ පුවත්පතට ලිපි ලියමින් සිටියෙමි. තරාකි නමින් ‘ද අයිලන්ඩ් පුවත්පතට සිවරාම් ලිවීමට පටන් ගත් විට ඔහුගේ දේශපාලන චින්තනයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කළේය. ඔහු සිය ලිපි මගින් දකුණේ දේශපාලඥයන්ගේ මනෝභාවයන් ගැනද ලීවේය. ඒ මගින් ඉතිහාසය පුරා, මහාවංශ කාලයේ සිටම, පැවත එන අනියත භ්‍රාන්තියේ ස්වභාවය ගැන ඔහු මනා ලෙස විශ්ලේෂණය කළේය. උතුරු නැගෙනහිර දෙමළ බස කතාකරන ජනතාව හමුවේ වෙන්වීම හැර වෙනත් ක‍්‍රියාමාර්ගයක් නැත යන අදහස ඉදිරියට ගැනීමට ඔහුගේ විශ්ලේෂණ ඉවහල් විය. දෙමළ ජනයාගේ අරගලය තුළ සිටින විමුක්ති කොටි සංවිධානය දුර්වල කරන කුමන බලවේගයක් හෝ වේවා එය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සාමූහික ජාතික අභිලාෂයන් නොතකන පිළිමල් බලවේගයක්ය යන නිගමනයට ඔහු අවතීර්ණ වූයේ මේ විශ්ලේෂනාත්මක සිතීම ඔස්සේ ය. එමෙන්ම සිවරාම් දකුණේ වාමාංශික බුද්ධිමතුන්ගේ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව දෝලනය වන ස්ථාවරයන් ගැනද කදිමට විශ්ලේෂණය කළේය. නව වාමාංශිකයන් සේ හඳුන්වා ගත් ජවිපෙ ස්ථාවරය පිළිබඳවද ඔහු මැනවින් අධ්‍යයනය කළේය. විශ්ලේෂණය කළේය.

දකුණේ වාමාංශිකයන්ගේ ව්‍යාපෘතිවල පැවති බෙලහීනතාවය, බලය බෙදා හැරීමට එරෙහිව ජවිපෙ විරෝධය මෙන්ම ප‍්‍රධාන ධනේශ්වර පක්‍ෂ දෙකේ අවස්ථාවාදී ස්වභාවයන් සිවරාම්ව දෙමළ විමුක්ති කොටීන්ගේ ස්ථාවරය වෙත වඩ වඩාත් සමීප කිරීමට හේතු විය. උතුරු නැගෙනහිර හා දකුණේ දේශපාලනය පමණක් නොව, ජාත්‍යන්තර විමුක්ති අරගලයන්ගේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කළ සිවරාම් ඒවා ලංකාවේ අරගලය සමග සංසන්දනය කිරීමට උනන්දුවක් දැක්විය. මෙම හැදෑරීම් ඔහුගේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරන්නට විය. එහෙයින් සිවරාම් මරණයට පත් වන තෙක් දැරූ ස්ථාවරය හුදු දෙමළ ජාතික හැඟීම් මත ඇතිවූවක් සේ සැළකීම සපුරාම වරදකි. ඇත්ත වශයෙන්ම ඔහු මෙම ස්ථාවරය දැරීමට පාදක වූයේ දකුණේ දේශපාලනය ගැන ඔහුගේ විශ්ලේෂණයෙ සහ උතුරු නැගෙනහිර නොවෙනස් යථාර්ථය ආදී හේතූන් ය.

ඔහුගේ ස්ථාවරය ඇතැම් අයට අනුව වැරදි විය හැකිය. නමුත් අවශ්‍ය වී නම් එයට මතවාදී ලෙස එරෙහිවන්නට පැහැදිලිවම අවස්ථාව තිබිණ.

උතුරු නැගෙනහිර පිළිබඳ චින්තකයින් බොහෝ දෙනෙකු ඝාතනය කළේ සතුරන් විසින් නොවේ. උතුරු නැගෙනහිරට අයත් වූවන් විසින්ම ඔවුන්ව ඝාතනය කරන ලදී. සිවරාම් මරා දමා ඇත්තේ කවුරු වුවද මරා දමා ඇත්තේ බුද්ධිමතෙකි. මගේ දැනුමට අනුව නැගෙනහිර පලාතෙන් බිහිවූ විශිෂ්ඨතම මාක්ස්වාදී මාධ්‍යවේදියා, විශ්ලේෂකයා සහ සමස්ත දෙමළ සමාජයේ සිටි එකම යුද විශ්ලේෂකයාත් සිවරාම් යැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. ඔහු විසින් මෑතකදී ‘වීරකේසරී’ පුවත්පතට ලියන ලද ලිපියක දී මගේ නමද සඳහන් කර දකුණේ විප්ලවවාදී ව්‍යාපාර පිළිබඳවත්, ජාතික ප‍්‍රශ්නය ගැන ඔවුන්ගේ වෙනස් වන ස්ථාවරයන් ගැනත් අදහස් දක්වා තිබිණ. එම ලිපිය මගින් ඔහු අවධාරණය කර තිබුණේ දකුණ සමග බලය බෙදා ගෙන ජීවත්වීමේ අවස්ථාව හෝ යථාර්ථවාදී හැකියාවක් දෙමළ ජනතාවට මේ වන විට නොමැති බව ය. ඔහු එම ලිපිය ලියන අවස්ථාවේදී මා සමග කතා කොට සැක සහිත ඇතැම් තැන් පිළිබඳව පැහැදිලි කර ගත් අතරම, ඔහු කියා සිටියේ යම් කාලයක් ගත වෙන තෙක් ඒකාබද්ධව බලය බෙදා හැරීම ගැන සිතීමට පවා නොහැකි බව ය. සිවරාම් ඝාතනයට ලක් කරන තෙක්ම තම විශ්ලේෂනයන්ට අනුව ගත් තීරණය ජනතාවට අවධාරණය කිරිමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළේය.

මේ නිසා ඔහු කිසිසේත් අවස්ථාවාදී මාධ්‍යවේදියෙකු වූවේ නැත. ඔහුට අවශ්‍ය වූයේ නම් එසේ අවස්ථාවාදී වෙමින් මරණය කැඳවූ මේ ස්ථාවරය වෙනස් කරන්නට හැකියාවක් ඔහුට ඕනෑ තරම් තිබිණ. සිවරාම්ව අහිමිවීම දෙමළ ජනයාට පමණක් නොව දකුණේ ජනතාවටද විශාල පාඩුවක් වන්නේ ඒ නිසා ය. ඔහු දකුණේ ජනතාවටත්, දේශපාලකයන්ටත් සිතා බැලීමට බලකරන බොහෝ විවාදාත්මක මත ප‍්‍රකාශ කරමින්, කරුණු දක්වමින් ලිපි ලීවේය. එම නිසා ඔහුගේ මරණය දෙමළ කතා කරන ජනතාවට පමණක් නොව, සිංහල, මුස්ලිම් ජනතාවටත්, බුද්ධිමය ලෝකයටත් සිදුවූ විශාල පාඩුවකි. ආයුධ දරා සිටින්නන් විසින් බුද්ධිමතුන් ඝාතනය කිරීම මින් මතුවට නතර කළ යුත්තේ ඒ නිසා ය. යමෙක් උපදින විටම බුද්ධිමතෙක් ලෙස උපදින්නේ නැත. අයෙක් බුද්ධිමතෙක් ලෙසින් පරිණාමය වන්නේ  දශක ගණනාවක අතිමහත් ශ්‍ර‍මයක ප්‍ර‍තිඵලයක් වශයෙනි.  සිවරාම්ද බුද්ධිමතෙකු ලෙස පරිණාමය වන්නට අඩුම වශයෙන් දශක දෙකක් ගත විණ.

සිවරාම්ගේ පුවත්පත් ලිපි හැදෑරූ විදේශිකයෙක් ඒ මත පදනම්ව ස්වකීය අචාර්ය උපාධිය ලැබීය. දෙමළ මාධ්‍යවේදියෙකුගේ ලිපි ආචාර්ය උපාධි අධ්‍යයනයකට යොදා ගත්තේ නම් ඒ සිවරාම්ගේ ලිපි පමණි.

එම නිසා මේ හොඳටම ඇති! බුද්ධිමය සම්පත් විනාශය තවත් නොකරන්න - අදහස් සමග ගැටෙන්න!! අදහස් දරන්නා විනාශ කර නොදමන්න!!!☐

පී මුතුලිංගම්


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.