JDS Sinhala

ඩී එෆ් කාරියකරවන: සදොස් බස් නිදොස් කළ සුබස් රණකාමියා

ශ්‍රීලාංකේය ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ, වෙසෙසි ව සාම්ප්‍රදායික සිංහල පුවත්පත් කලාවේ, එක් යුගයක අවසානය නිසැකව ම සටහන් වී තිබේ.

සැබෑවට ම නම් මේ යුගය නිහඬ අවසානයක් සනිටුහන් කළේ මෙයින් දශකයකට එකහමාරකටත් එපිටහකදී ය. විසි එක්වැනි සියවස ඇරැඹෙන ආසන්නයේදී ම වාගේ ය. එහෙත් ඒ යුගය අවරට ගියායින් පසුවත් අතු ඉති හැකි පමණින් වනා සිය ඔදතෙද පෑ, ඒ ඓතිහාසික යුගයෙන් පැවත ආ සංකේතමය මහ වෘක්ෂයක් බඳු එකලා මිනිසා ඇදවැටුණේ අදින් වසරකට ඉහතිනි.

ඒ තමන් නියෝජනය කළ පුවත්පත් කලා යුගයේ කල් ඉකුත් වූ මරණය ද නිල වශයෙන් ප්‍රකාශයට පත්කර, එමතුයෙහි අවසන් මුද්‍රාව ද හොවමිනි.

ඒ ඇදවැටුණු මහ රුක අනෙකකු නොව, මෙයින් වසරකට පෙර, එනම් 2015 අප්‍රේල් 21 වැනිදා මෙලොවින් සමුගත් පත්‍රකලාවේදී යුග පුරුෂයකු වූ, ඩී එෆ් කාරියකරවන ය.

ඔහු ගේ මරණය විසින් නිල වශයෙන් අවසානය නිවේදනය කරන්නට යෙදුණු ඒ සාම්ප්‍රදායික සිංහල පත්තර යුගයේ, නැතිනම් ඊනියා 'ජාතික පුවත්පත්' මුල්කොටගත් පත්‍රකලා යුගයේ විශේෂතා කවරේද?

මගේ පරම්පරාවේ බහුතරයක් ජනමාධ්‍ය වෘත්තියට හෙවත් පත්තර රස්සාවට පැමිණි ‘90 දශකය මුල් භාගය මෙකියන ඓතිහාසික යුගය මන්දගාමී අවසානයක් එනතුරු මරණ මංචකයේ වැදහොත් සමය යයි මම සිතමි. එනයින් අප ද ඒ යුගයේ සර්ව සම්පූර්ණ කොටස්කාරයන් නො වන්නාහු මුත්, එහි රුවගුණ යම් තරමකට හෝ විඳගත් අවසාන පරපුර අපය'යි කීමට මම කැමැති වෙමි.

එය දේශපාලනිකව පරිණත, ප්‍රගතිශීලී දෘෂ්ටිවාදයක් හෝ එවැන්නකින් පණපෙවුණු තියුණු ජනමාධ්‍ය පන්නරයක් සහිත යුගයක් නොවී ය. ඒ වෙනුවට එය හැකි හැම විට ම පවත්නා බලාධිකාරයන්ට එරෙහිව නො යමින්, ඊට අනුකූල, හීලෑ ප්‍රතිපදාවක් දක්වන්නට වෑයම් කළ සම්මුතිවාදී යුගයකි. ඒ යුගයේ අතිප්‍රධාන ලක්ෂණයක් නම් භාෂාමය නිවැරැදිභාවය කෙරේ වූ කැපවීම යි. එහෙත් හුදු බස්වඩුවන් වනවා වෙනුවට බස යනු විකාසනයක් සහිත නිර්මාණශීලී උපකරණයකැ'යි එහි ප්‍රමුඛ නියමුවන් අතලොස්සවත් ඇදහූ බවට ලිඛිත සාක්ෂ්‍ය තිබේ.

භාෂා ඥාණය

භාෂා නිරවද්‍යතාව හා අත්වැල් බැඳගත් කරුණුමය නිවැරැදි භාවය පැතීම, දැඩි විවාදාපන්න කාරණා වරින් වර පැනනැගුණු විකල්ප පුවත්පත් දහරාවට පවරා ඇස කණ පියාගෙන සිටීම, සරල සුගම සන්නිවේදන විලාසයට නතුවීම, සාම්ප්‍රදායික ආචාරධර්මයන් කෙරේ බය පක්ෂපාතීත්වය, ගතානුගතික පුවත්පත් සාරධර්ම කෙරේ පූර්ණානුකූලත්වය හා සාම්ප්‍රදායික පුවත්පත් කලාවේ මහේශාඛ්‍ය බව කෙරේ වූ අත්‍යන්ත අනුරාගය ආදිය එහි අනෙකුත් ප්‍රධාන අංග ලක්ෂණයෝ වූහ'යි සිතමි. රැඩිකල් කැරලිගැසීම් වෙනුවට කතුවැකිය අතින් ලියා අච්චු ගැස්සවීම වැනි සාම්ප්‍රදායික රාමුව තුළ දියත් වූ 'පෙරළිකාරකම්' ගැන ඒ යුගය හා අනුරාගයෙන් බැඳුණෝ අදටත් උදම් අනනු ඉඳහිට ඇසේ. එබඳු පෙරළිකාරකම්වල මුලට ම ඈඳුණු නමකි, 'කාරියකරවන.'

කර්මාන්තයක් වශයෙන් ජනමාධ්‍යයේ සාතිශය පුළුල්වීම, වේගයෙන් නැඟ ආ විද්‍යුත් මාධ්‍යවල ආධිපත්‍යය සේම පරිගණක තාක්ෂණයේ ආක්‍රමණය, අන්තර්ජාල සන්නිවේදනයේ නැඟීම ආදී සැඩපහරවල් එකිනෙක කඩාවදිද්දී මේ සාම්ප්‍රදායික පත්තර යුගයේ මළගම ක්‍රමිකව සටහන් වීම අනිවාර්යයක් වූ සේ ය. එවැනි යුගයක් අපේ මතක නිම්වළල්ලට මෙපිටහින් ම පැවැති බව අපට නිරන්තර මෙනෙහි කරදුන් මහ බලකණුවක් බඳු මිනිසා ඇදවැටීමෙන් පසු, ඒ යුගය මිහිදන් වී අවසන් බව සැකහැර අපට කියන්නට පිළිවන.

ඒ ඓතිහාසික යුගයේ අවරගිරෙන් අනතුරුව බිහිවූ අලුත් යුගයේ, පුවත්පත් කලාවෙන් හැලීයන පුරුෂාර්ථ සුන්බුන්වලින් යමක් යළි පමණකට හෝ ස්ථාපිත කරවීමට වැරවැඩූ ප්‍රමුඛතමයා ද කාරියකරවනයෝ ම වූහ. ඒ කාරියට ඔහු අතගැසූයේ අර යුගය මැරී හමාර බව ඔහු ම පිරිසිඳ දැනගත්තාට පසුව වන්නට බොහෝකොට ඉඩ ඇත.

නිසැකව ම මියගොස් හමාර අතීත යුගයකින් තමන් කරා එන නශ්ඨාවශේෂ පුරුෂාර්ථයන්ට සොල්මන් අවතාරවලට තරමට ම බිය වූයේ ද අපට වඩා ඈතක සිට ඒ අතීත යුගය පියමැන ආ, ඒ යුගයේ වෙසෙද්දී ඒ සාරාර්ථ හිස්මුදුන්හි වඩම්මාගෙන ගියවුන් වීම දෛවෝපගත ය.

වසර ගණනාවක් තිස්සේ ඔහු ලියමින් ආ ලිපි පෙළක් වූයේ පුවත්පත්වල එදිනෙදා සිදුවන භාෂා වැරැදි පෙන්වා ඒවායේ නිවැරැදි භාෂා රීතීන් සරල සුගම අයුරකින් දක්වන තීරුවකි. මුලින් ඔහු මෙම තීරුව ලීවේ 'අසවල් දින අසවල් පුවත්පතේ අසවල් පිටුවේ අසවල් පුවතේ/ලිපියේ වූ අසවල් දොස' ආදී වශයෙන් නිශ්චිත වගවාසගම් සමඟිනි. එහෙත් විශේෂයෙන් පුවත්පත්වල සහාය සංස්කාරක මණ්ඩලවල සිටියෝ - ඇතැම් විට අර යුගය පියමැන ආ ඔහුගේ ම ගෝලයන් වූ පිරිස් - මෙම තීරුවට බෙහෙවින් බියවූහ. ඔවුන් කළේ කාරියකරවනයන්ගෙන් යළිත් වතාවක් උගෙන වරද නිවරද කරගැනීම නොව වැරැදි දැක්වීම එසේ නිශ්චිත පුවත් හුවාදක්වමින් කරන්නට ඉඩනොදෙන්නැ'යි එම තීරුලිපි පලවන පුවත්පත්වල කතුවරුන්ට කනිපින්දම් ගෑම ය.

පුවත්පත් කතුවරුන් කළේ සිය පුවත්පත් නිදොස් බසට හැරවීමේ අමාරු කාර්යයට වඩා සංස්කාරක ඉල්ලීම් අනුයමින්, භාෂාමය වැරැදි සිදුවූ තැනක් පිළිබඳ වගවාසගම් නො සපයා තීරුව ලියන්නැ'යි කාරියකරවනයන්ගෙන් ඉල්ලා සිටීම ය. මේ කතුවරුන් වැඩිදෙනෙක් කලෙක ඔහුගේ ම ගෝලයන් වීම උත්ප්‍රාසාත්මක ය. ඒ අනුව කාරියකරවනයන් ගේ 'බස් නිදොස්' තීරුව ජනමාධ්‍යකරණයේ නියැලි කිසිවකුත් සදොස් බස් නිදොස් කරගන්නා පාඩමක් කරගත්තේ නැත. ඒ වෙනුවට එය හුදෙක් පත්තරවල විවිධාංගීකරණයට යොදන කටගැස්මක, කලඑළියට එල්ලන ආභරණයක තැනට පත්වී තිබිණැ'යි සංවේගයෙන් වුව කියන්නට සිදුවේ. තමන් විසින් ම පලකරන දෙයෙහි සාරය තමන් තුළ ම අස්තංගත කරගැනීමේ විරුද්ධාභාසය තමන් ගේ අජානේය ලක්ෂණයක් බව මිහිදන් යුගයේ පත්‍රකලා දෑවැන්තයකු වූ කාරියකරවනයන් ම සාක්කියට තබාගෙන කියාපාන්නට තරම් මේ නව ජනමාධ්‍ය යුගය සූක්ෂම වීම සිත් වසඟකරවන සුළු රූපකයකි.

මාධ්‍ය වෘත්තීය සටන්කරුවා

වැඩිකල් නොයා ම කාරියකරවනයන්ට සිදුවූයේ තමන් දක්නා වැරැදි කොහේ කොතැන කවදා දුටුවාදැ'යි සඳහනක් හෝ නැතිව සිය බස් නිදොස් කටයුත්ත කරගෙන යන්නට ය. එමඟින් තමන් එය ඇරැඹූ සංකල්පීය අරමුණ එලෙසින් ම ඉටු නොවන බවත්, සිය ව්‍යායාමයේ ප්‍රායෝගික බලපෑම අඩු බවත් ඔහු නො දැන සිටින්නට හේතුවක් නැත. එහෙත් මරණයට පත් යුගයක සාරාර්ථ ඒ යුගය මරා අලුත උපන් යුගයක පැලකරන්නට වැරවෑයම් කරන්නකුට මුහුණපාන්නට සිදුවන ඉරණම බොහෝ ඇසූ පිරූ තැන් ඇති කාරියකරවනයන් දැන සිටියා වන්නටත් පිළිවන.

අපි කාරියකරවනයන් ගේ ගෝලයෝ නොවෙමු. අපේ පරපුරේ අපත් සමඟ උරෙ'නුර ගැටී සිටි කිසිවකුත් අඩු ම තරමේ කාරියකරවනයන් පත්තරකාරයකු ලෙස කාරිය කරවන සමයේ ඒ පත්තර කන්තෝරුවකවත් සිට නැති තරම් ය.

කාරියකරවනයන් හා අපට තිබුණේ වෙනත් විදියක බැඳියාවකි.

2005 වසරේ දී අප පිරිසක ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ සුක්කානම, එය එතෙක් බදා අල්ලාගෙන වැජඹුණු පැරැණි පරම්පරාවේ පොල්ම:කාරයන්ගෙන් ගලවාගෙන අති බහුතර සාමාජික කැමැත්ත මත අපේ පරම්පරාවට ලබාගැනීමේ තීරණාත්මක අවස්ථාවෙන් ඇරැඹුනකි ඒ සබැඳියාව.

කරුණු වශයෙන් ගත්කල කාරියකරවනයන් ගේ ඓන්ද්‍රීය බැඳීම තිබුණේ අප සමඟ නොව අප අතින් පැරද පලාගිය පැරැණ්නන් වෙතට ය. ඔවුන්ගෙන් අති බහුතරය කාරියකරවනලාගේ ගෝල පරම්පරාවට අයත් වූහ. (ඔවුහු කාරියකරවනලාගෙන් මොනවා ඉගෙනගත්තාහුදැ'යි මට නිශ්චිත නැත.) එහෙත් සංගමයේ අපේ ක්‍රියාකලාපය මඳ කලක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කාරියකරවනයන් හැරුණේ අපේ පැත්තට ය. අලුතින් පත්වූ නිලධාරී මණ්ඩලය දැන හඳුනාගැනීමට හා ඔවුන් සමඟ කටයුතු කිරීමටත්, සිය ශක්ති පමණින් සංගමයේ කටයුතුවලට දායකවීමටත් ඇති සිය කැමැත්ත ඔහු පලකර සිටියේ ය.

"අපි මැදිහත්වෙලා ආරම්භ කරපු මේ සංගමය පහුගිය කාලෙ තිබුණෙ මැරෙන්න පණ අදින ලෙඩෙක් ගාණට. ඔය ළමයි මේක අතට ගත්තට පස්සෙ තමයි සංගමයක් තියෙනව කියල ආයෙ හැමෝටම පෙනෙන්න ගත්තේ." ඔහු විසින් ම සංවිධානය කරන ලද අපේ පළමු හමුවේ දී කාරියකරවනයෝ කීහ.

2005 දී සුක්කානම අප අත පත් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමය බිහිකිරීමෙහි ලා එයින් වසර විසි හතකට පෙර, එනම් 1978 දී පමණ පුරෝගාමී වූයේත්, සංගමයේ ආරම්භක සභාපතිවරයා වූයේත් කාරියකරවනයන් ය.

අප අත පත් සංගමය, එතෙක් ඊට හිමි ව තිබූ සාම්ප්‍රදායික සුබසාධනවාදී, සම්මුතිවාදී ඔතෑනි මුහුණුවරින් ගැලවී වඩා සටන්කාමී රැඩිකල් ස්වරූපයකට මාරුවන විට අප වෙතින් පැරද පලාගිය පෙර පරම්පරාවේ ඇතැම් පිරිස් අපට එරෙහි ව ගෙනහැර පෑවේ ද ඒ හැලී වැටුණු බයාදු මුහුණුවර යි: සංගමය සතුව තිබූ සම්මුතිවාදී හා සුබසාධනවාදී ආකෘතිය අප විසින් කාබාසිනියා කරනුලැබ ඇතැයි ඔවුහු ආඩපාලි කීහ.

එහෙත් කාරියකරවනයන් ගේ අදහස ඊට ප්‍රතිවිරුද්ධ විය.

"පටන්ගත්ත කාලෙත් එක්ක බලනකොට අද තත්ත්වෙ වෙනස්. එදා සුබසාධක කාරණා තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ඒත් මේ සිද්දවෙන දේවල් එක්ක අද ඒ පිළිවෙතේ ම ඉන්න පුළුවන් තත්ත්වයක නෑ. ඔය ළමයි යන මාර්ගය හරි. මං ඒ වෙනුවෙන් පෙනීහිටිනවා. සමහර විට ඉතිහාසෙත් යම් යම් වකවානුවල සංගමේට ගන්න තිබිච්ච මාර්ගය මේ වගේ එකක් කියලයි දැන් මට හිතෙන්නෙ."

2007 වසරේ පැවැති නිලවරණයේ දී අපේ නියාමක කණ්ඩායමට කාරියකරවනයන් ගේ ජ්‍යේෂ්ඨ මුණුපුරු කුරුළු කාරියකරවන සොයුරා ද බහුතර සාමාජික ඡන්දයෙන් එකතු විය.

ජනමාධ්‍ය මර්දනයට එරෙහිව අප විසින් අනෙකුත් ජනමාධ්‍ය සංවිධාන සමඟ එක්සත් ව නිරන්තරයෙන් සංවිධානය කරනු ලබමින් සිටි විරෝධතාවන්ට ද අපේ පැරැණි පරම්පරාවේ පැරද පලාගිය ඇතැමුන්ගෙන් එල්ලවූයේ අහුමුලු ගානේ දක්වන විරෝධයකි. වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ කාර්යභාරය පවත්නා බලාධිකාරීන් හා ගැටුමට යාම නොව ඒවා හා සම්මුතිවාදී වෙමින් ජනමාධ්‍යෙව්දීන් උදෙසා සුබසාධනමය වරප්‍රසාද හැකිපමණ දිනාගැනීම බව ඔවුහු මුලු මුලු ගානේ කනුකුනු ගෑහ.

ඊට කාරියකරවනයන් පිළිතුරු දුන්නේ කටින් නොව ක්‍රියාවෙනි.

සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට ගිනිතැබීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් 2007 නොවැම්බර් 23 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවට ඔහු රෝදපුටුවෙන් පැමිණ සහභාගී විය. එය ඒ අතිශය මර්දනකාරී අවස්ථාවේ අපට සැපයුණු අතිරික්ත දිරියක් විය.

විරෝධතාව අවසන අපේ සහෝදර කැල හා අදහස් හුවමාරුවක යෙදුණු කාරියකරවනයන් කියාසිටියේ මෙවැන්නකි. "ඇත්තටම මට සතුටුයි මං ආරම්භ කරපු සංගමේ ඇවිත් තියෙන දුර දැක්කාම. ඔයාලට හොඳ පිරිසක් ඉන්නවා. හැමෝගෙන් ම හොඳ සහයෝගයක් ලැබෙන බව පෙනෙනවා. සංගමය දැන් හරි පාරට ඇවිත් තියෙනවා. මේ රෝද පුටුවෙ නැගිලා මට හැම වැඩකටම එන්න බැරිවෙයි. මාව අරගෙන එන එක අනිත් අයටත් වදයක්. ඒත් ඕනැම ප්‍රශ්නයකදී මං ඉන්න බව මතක තියාගන්න."

අනතුරුව ඔහු මාත්, තවත් සගයෙක් දෙදෙනකුත් අමතා වඩා පහත් හඬින් තවත් යමක් කීවේ ය. "ඔයාලා බොහොම සාර්ථකයි. ඒ වගේ ම ඒ සාර්ථකත්වය පස්සෙන් අනතුරත් එන බව මතක තියාගන්න. වටිනාකමින් ඉහළ ම ප්‍රවෘත්තියටත් වඩා ජීවිතේ වටිනවා කියන එක අමතක කරන්න එපා."

පත්‍ර‍ කලාවේ යුගාන්තයක්

ලාංකේය පත්තර කලාවේ එක් යුගයක නියමුවෙක් ඒ යුගය නිමාවූ පසුවත්, ඒ බව දැන දැනත් උදාව තිබූ යුගය හා ගැටගැසුණේ එලෙසිනි. හේතුව ඔහු වයසට යාම නිසා ලොක්කෙක් නොවී දැනුමෙන්, වැඩකිරීමෙන් හා ලෝකය දැකීමෙන් ජ්‍යේෂ්ඨයෙක් වීම ය.

අද වැඩි ම වුණොත් දුබල බස් වඩුවන්ගෙන් ඉහළට යන්නට බැරිවී, පත්තර කන්තෝරුවල එල්ලී සිටින කාරියකරවනගේ ම ගෝලබාලයන් ඔහු ගේ බොහෝ පාඩම් අමතක කරදමා සිටියත්, ඔහුගෙන් ඉගෙනගත හැකි දෙයක්වත් ඉගෙනගන්නට නො වෙහෙසුනත්, අපේ පරම්පරාවේ අතලොස්සක් හෝ ඔහුගෙන් බොහෝ දේ උගත් බව මම දනිමි. ඔහු මරුමුව ඇදවැටෙනතුරු ම අඛන්ඩව ලියමින් සිටි බස් නිදොස් කොලම්වල බොහෝ කොටස් අදටත් අප අත සුරැකී ඇත්තේ එබැවිනි.

එහෙත් මෙයින් වසරකට පෙර ඒ මහා පාඩම් පොත වැසීගියේ ය.

ඔහු සදහට ම නික්ම ගියේ හරි ඇගයීමකට ලක් නොවූ හිඩැසක් ඉතිරි කරමිනි.

හිඩැස මොකක්දැ'යි යන්න තබා හිඩැස හිඩැසකැ'යි යන්න පවා දන්නේ නැති සමාජයක මෙයාකර ව අත්හැර දැමුණු හිඩැස් පුරවන්නට කවුරුනම් සමත් වෙත්ද?

එහෙත් වැඩි හරියක් රික්තමය හිඩැස්වලින් සැදි අවකාශයක් වන ලංකාව, හිඩැස් හිඩැස් ලෙස ම තබාගෙන නිවිහැනහිල්ලේ තමන් ගේ ගමන යන්නට කැමැති දේශයක් බව, පසුගිය කාලය මුලුල්ලේ ම ප්‍රකට කරමින් සිටින සත්‍යය යි.☐

සනත් බාලසූරිය


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.