JDS Sinhala

මරණය සැරිසැරූ 'යුද මුක්ත කලාපයක' සත්‍යමූර්ති ද මිය ගියේය

බ්‍රිතාන්‍යයෙන් ලැබුණා යැයි කියන නිදහස හැට එක් වැනි වතාවටත් 2009 වසරේ දී සමරන ලද්දේ දෙමළ ජනයා ඔවුන් ජීවත් වූ ගම්බිම්වලින් මුදා ගැනීමේ 'මානුෂික මෙහෙයුම්' යටතේ වන්නියට ගොඩබිමෙන් හා ගුවනින් වෙඩි සැර වස්සවමිනි. සකල ලෝක බලවතුන්ගේ ආශීර්වාදයෙන් වන්නි සීමාවේ සෑම බිම් අඟලක්ම මෝටාර්, ෂෙල් හා පොකුරු බෝම්බවලින් විසුණු කොට දැමුණේ ඒ 'සද් අභිලාෂය‘ මුදුන්පත් කරගනු පිණිස ය.

රජයේ හමුදා විසින්ම  ‘යුධ මුක්ත කලාපයක්‘ ලෙස නම් කෙරුණු මුලතිව් හි තෙවිපුරම් ගම්මානයට දස දහස් සංඛ්‍යාත අවතැන් ජනයා එක්  රැස් වෙමින් සිටියේ නොකඩවා ඇද වැටෙන මේ  ෂෙල්, මෝටාර් බෝම්බ වරුසාවෙන් ගැළ වී සිටින්නට පිළිසරණක් පතා ය. එහෙත් යුධ මුක්ත කලාපයක් ලෙසින් නම් කළ ද ෂෙල්  හා ගුවන් ප්‍රහාරයන්ගෙන් තෙවිපුරම්වලට අඩුවක් නොවිණි.  2009 පෙබරවරී 11 වැනිදා  පස්වරු දෙකට පමණ ප්‍රදේශයට එල්ල කෙරුණු ෂෙල් ප්‍රහාරයකින් බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි විය. පුනියමුර්ති  සත්‍යමුර්ති තුවාල ලද්දේ  ඒ ප්‍ර‍හාරයෙනි. වන්නියට පනවා තිබු ඖෂධ සම්බාධක හේතුවෙන් තැනින් තැනට මාරුවෙමින් පවත්වාගෙන යනු ලැබූ තාවකාලික රෝහල්  උග්‍ර ඖෂධ හිඟයෙන් පෙලුණි. ෂෙල් ප්‍රහාරයෙන් ලද තුවාලවලට නිසි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා අධික ලෙස සිදු වූ රුධිරය වහනය නවතාලීමට මඟක් නොමැති වීමෙන්, විසි හතර පැයක් දුක් විඳි තිස්හත් හැවිරිදි සත්‍යමුර්ති පෙබරවාරි 12 වැනිදා  සදහටම  දෑස් පියා ගත්තේය.

වන්නියේ ජනයා අතර ගෞරවාදරයට පාත්‍ර‍ව සිටි මාධ්‍යකරුවෙකු හා දේශපාලන විශ්ලේෂකයෙකු , නිරන්තර මරණය සැරිසැරූ ‘යුද මුක්ත කලාපයක‘ එළිමහනේ තැබූ අබලන් සයනයක උඩුකුරුව සතපවා තිබුණි. දේහයේ හිස අද්දරින් හයක් හතරක් නොදත් සත්‍යමූර්තිගේ තුන් හැවිරිදි දියණිය වාඩි වී සිටියාය. ඔහුගේ ඝාතනය යුද අපරාධයකැයි ‘දේශසීමා රහිත වාර්තාකරුවෝ‘ සංවිධානය නිවේදනයක් මගින් හෙළා දැක්කේය.

ඒ හරියටම අදින් සත් වසරකට පෙරාතුව ය.

යාපනයෙන් වන්නියට

‘70 දශකයේ මුල් අවධියේ දී සත්‍යමුර්තිගේ  දෙමාපියන් යාපනයේ සිට පොළොන්නරුවේ මනම්පිටියට සංක්‍රමණය වන්නේ රාජකාරි කටයුතු වෙනුවෙනි. ග්‍රාම සේවා නිලධාරිවරයෙකු වූ සත්‍යමුර්තිගේ පියා කෙටි කලකින් මනම්පිටිය සිය වාසභූමිය බවට පෙරළා ගත්තේය. 1972  දී උපන් පුනියමූර්ති සත්‍යමූර්ති මනම්පිටිය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබ පහ වසර ශිෂත්වය සමත්ව යාපන හින්දු විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලැබීය. අනතුරුව සරසවි අධ්‍යාපනයට සුදුසුකම් සපුරාගත් ඔහු යාපන සරසවියේ  කළමනාකරණ උපාධිය සමත් වූයේ අනූවේ මැද භාගයේදී ය. නමුත් ඒ වන විට යාපන අර්ධද්වීපයේ වාඩිලා ගැනීමේ අරමුණින්  රජයේ හමුදා දියත් කළ දැවැන්ත යුද මෙහෙයුම් හේතුවෙන් උන්හිටි තැන් අහිමිව යුද අනාථයන් ලෙස වන්නියට පලා යන  දස දහස් ගණන් ජනයා අතරට සත්‍යමුර්ති පවුලේ ඈයෝද එක් වුහ.

වන්නියේදී සත්‍යමුර්ති සමඟ මාධ්‍ය හා සාහිත්‍ය වැඩ කටයුතුවලදී සමීපව කටයුතු කළ දෙමළ කවියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වන මුල්ලෛ කමාල් හත් වසරකට පසු සත්‍යමුර්ති ගැන වියැකී නොගිය මතකය ආවර්ජනය කරන්නේ සොවිනි.

“සත්‍යමුර්ති ලේඛයෙක් වගේම දක්ෂ දේශපාලන විශ්ලේෂකයෙක්. සිවරාම් වගේ දේශපාලනය,  ඉතිහාසය වගේම ජාත්‍යන්තර බල රටා ගැන හසළ දැනුමක් එයාට තිබුණා. ඒ විතරක් නෙවෙයි, කවියෙක් විදිහටත්, කෙටි කථා කරුවෙක් විදිහටත් පෙන්වපු දක්‍ෂතාවලට අමතරව, ඔහු සතුව තිබුණු ඉංග්‍රීසි දැනුම යොදාගෙන පරිවර්තන කටයුතුවලදීත් සත්‍යමුර්ති තමන්ගේ නිර්මාණ හැකියාවන් පෙන්නුම් කළා.”  

යුද අනාථයෙක්ව වන්නියට පැමිණි සත්‍යමුර්තිට මාධ්‍ය හා සාහිත්‍ය කටයුතුවල නිරතවීමට අවශ්‍ය පසුබිම  මුලින්ම සකසා දෙනු ලැබුණේ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ සංස්කෘතික අංශයේ ප්‍රධානි මෙන්ම ප්‍රකට දෙමළ කවියෙකු වූ  පුදුවෛ රත්තිනදුරෛ විසිනි. පුදුවෛගේ මග පෙන්වීම අනුව මුලින්ම ‘ආධාරම්‘ නමින් පළ වූ කුඩා සඟරාවට කවි හා කෙටි කථා නිර්මාණය කරන්නට සත්‍යමුර්ති පෙළඹිණ. මුලතිව්  අධ්‍යාපන කාර්යාලයෙන් පවත්වන ලැබූ ජනමාධ්‍ය පාඨමාලාවට ඔහු එක් වූයේ ඉන් පසුව ය.

“මේ ජනමාධ්‍ය පාඨමාලාවේදී තමයි මට මුලින්ම සත්‍යමුර්ති හඳුනාගන්න ලැබුනේ. සසීදරන්, සෙල්වරාසා, නන්දිනී, සෙව්වල් වගේ ඊලනාදම් හා ඊළනාඩු පත්තරවල වැඩ කරපු බොහෝ දෙනෙක් මේ පාඨමාලාවට සහභාගී වුණා. පාඨමාලාව අවසානයේදී සත්‍යමුර්ති මට කිව්වා ඊළනාඩු පත්තරේ වැඩ කරන්න එයා කැමතියි කියල. මම ඒ වෙනකොට අපේ කර්තෘ වශයෙන්  කටයුතු කළ සෙන්දිල්නාදන්ට ඔහු ගැන කීවා. එත් ඒ වෙලාවේ සත්‍යමුර්තිව බඳවා ගත්තේ ‘එකවුන්ට් බ්‍රාන්ච්‘ එකට. ඒකේ වැඩ කරන ගමන් එයා පත්තරේට ලිපි ලිව්වා. අන්තිමේදී ‘98 අවුරුද්දේ සත්‍යමුර්තිව උප කර්තෘ කෙනෙක් හැටියට ‘එඩිටෝරියල්‘ එකට ගත්තේ ඔහුගේ මාධ්‍යවේදී කුසලතා හඳුනාගැනීමේ ප්‍ර‍තිඵලයක් විදියටයි. සත්‍යමුර්තිට පුළුවන් ආකර්ශනීය ‘හෙඩ්ම්‘ දාන්න. හැමෝම බැලුවේ එයාට කියල තමන්ගේ ලිපිවලට වගේම ප්‍රවෘත්තිවලටත් “හෙඩිමක්” දාගන්නයි. එතකොට එයා නතරවෙලා හිටියේ මගෙත් එක්ක පුදුකුඩිඉරිප්පුවල.”

වන්නි ලේඛක එකතුව

දැන් පිටුවහලේ ජීවත්වන මුල්ලෛ කමාල් ට අනුව සත්‍යමුර්තිගේ මාධ්‍ය හා සාහිත්‍ය කටයුතු වල ප්‍රගමනයක් පෙන්නුම් කරනු ලැබුවේ පුදුකුඩුඉරිප්පු ගතකල කාලය තුළ ය. දේශපාලනය මෙන්ම නිර්මාණාත්මක සාහිත්‍ය ගැන ඔවුහු එක්ව බොහෝ දේ කතිකා කළහ. වන්නියේ ලේඛකයන්ගේ එකතුවක් ගොඩනැගුණේ ඒ අවිධිමත් කතාබහවල ප්‍ර‍තිඵලයක් වශයෙනි. එම එකතුව ගැන කමල් තුළ තවමත් ඇති මතකය සජීවි එකකි.

“එලූකලෙයි ඉලක්කිය ‍පෙරවෛ” නමින් වන්නියේ ලේඛකයන්ගේ එකතුවක් බිහිකරන්න අපිට පුළුවන් වුණා. ආරම්භයේදීම ලේඛකයෝ, කවියෝ හා මාධ්‍යවේදියෝ විස්සකට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වුණා. මේ එකතුවෙන් මුලින්ම මගේ කවි පොතක් පළ කළා. ඊට පස්සේ  නිර්මාණකරුවන් හත් දෙනෙකුගේ කෙටිකථා එකතුවක් කළා. මේ පොතට  ‘සින්ධුජන්‘ කියලා සත්‍යමුර්තිගේ කෙටිකථා නිර්මාණයකුත් ඇතුළත් වුණා. අප්‍රිකානු කවීන්ගේ නිර්මාණ අඩංගු කවි පොතක් “කුළල්” නමින් අපි පල කළේ එයින් පසුවයි. ඒ කවි ඔක්කොම ඉංග්‍රීසියෙන් දෙමළට පරිවර්තනය කළේ සත්‍යමූර්ති විසිනුයි” කමාල් කියයි.

1999 වසර වන විට රජයේ ආරක්ෂක හමුදා මෙහෙයුම් තීව්‍ර කෙරුණු අතර ආහාර හා බෙහෙත් ඇතුළු බොහෝ දේ වන්නියට එක්කෝ බරපතල ලෙස සීමා කෙරුණි. නැතහොත් සපුරා තහනම් කරනු ලැබිණ. මේ නිසාම පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා තීන්ත හිඟයක් ද වන්නිය පුරා පැතිරිණ. මෙතෙක් කල් වන්නියේ මාන්කුලම් සිට ප්‍රකාශයට පත් කෙරුණු ඊළනාඩු  පුවත්පත වසා දැමීමේ අතිශය දුෂ්කර තීරණයට එළඹීමට ඔවුන්ට සිදුවූයේ එහි ප්‍ර‍තිඵලයක් වශයෙනි. පුවත්පතේ සේවය කළ කිහිප දෙනෙක්ම වෙනත් රැකියාවන් ලැබී මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත්වූහ. වැඩි පිරිසක් වන්නියේ සිට ප්‍ර‍කාශයට පත් වූ අනෙක් ප්‍ර‍ධාන ප්‍ර‍කාශනය වූ ‘ඊළනාදම්‘ පුවත්පතට සම්බන්ධ වීමට කටයුතු කළහ. සත්‍යමුර්ති ද රජයේ ලිපිකරු විභාගය සමත්වීමෙන් මඩකළපුව කල්කුඩා අධ්‍යාපන කාර්යාලයේ රැකියාවක් ලබා ගත්තේය. නමුත් හෙතෙම වසර දෙකක කාලයක ඇවෑමෙන් කිළිනොච්චිය සෞඛ්‍ය කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා ගත්තේ සිය මාධ්‍ය කටයුතුවලට වඩාත් පහසු වනු පිණිස ය. ‘ඊළනාඩු‘ පුවත්පත වසා දැමීමෙන් පසුව වුව මාධ්‍ය හා නිර්මාණ සාහිත්‍ය අත් නොහළ සත්‍යමුර්ති නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ‘ඊළනාදම්‘ පුවත්පතට එක්ව සිය ලේඛන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළේය. වන්නියේ පළ වූ  වෙලිච්චම්, වෙල්ලිනාදම් වැනි පුවත්පත් හා සඟරා සඳහා සිය නිර්මාණාත්මක දායකත්වය ලබාදීමට ඔහු විසින් කටයුතු කරන ලද්දේ ඊට අමතර වශයෙනි.

ඊළනාදම්  භූමිකාව

“ජය සිකුරු‘ හමුදා මෙහෙයුම පැවති කාලයේ වන්නියේ ජීවිතය අන්තිම දුෂ්කරයි,“ ඊළනාදම් පුවත්පත විසි පස් වසක් මෙහෙය වූ පුරෝගාමියා වන පොන්නයියා ජෙයරාජ් කියයි.

“අපේ සහෝදර පුවත් පතක් වුණු ඊළනාඩු වසා දමන්න පසුබිම නිර්මාණය වුණේ ඒ අනුවයි. ඒත් අපි දැඩිව හිටියා මොන දුෂ්කර තත්ත්වයන් යටතේ හරි අපිට පැවරිලා තිබුණු සමාජ වගකීම ඉෂ්ඨ කරන්න. “ප්‍රින්ටින් කඩදාසි” හිඟය නිසා අපි  සී. ආර්. පොත්වලින් කොළ අරන් ‘ඊළනාදම්‘ පත්තරය මුද්‍රණය කළා. ඒ දවස්වල දේශපාලන කොලම් රචකයෙක් විදිහට අපිට සම්බන්ධ වුණු සත්‍යමුර්ති ඇතුළු ඊළනාඩුවලින් මාධ්‍යයට සම්බන්ධව වුණු පිරිසත් අපිට විශාල ශක්තියක් වුණා. ඇත්තටම සත්‍යමුර්ති අපි ජීවත්වන කලාපය ගැන හොඳ භූ දේශපාලන දැනුමක්  වගේම ඉතිහාසය  ගැනත් හොඳ අවබෝධයක් තිබුණු අයෙක්. විචක්‍ෂණ ලේඛකයෙක්. ඒ වගේම හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඔහුගේ දේශපාලන විශ්ලේෂණ දෙමළ මාධ්‍ය අතර ඉක්මණින්ම ජනප්‍රිය වුණා” ජෙයරාජ් JDS සමඟ යළිත් අතීතය සිහිපත් කරන්නේ කණගාටුවෙනි.

ඊළනාදම් දේශපාලන කොළම පුනියමුර්ති සත්‍යමුර්ති ගේ මාධ්‍ය දිවියේ හැරවුම් ලක්‍ෂයක් බඳු විය. එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් වන්නියේ මෙන්ම අනෙකුත් දෙස් විදෙස් මාධ්‍යන්ගෙන් ද ඔහුගේ දේශපාලන විශ්ලේෂණයන් වෙනුවෙන් ඉඩකඩ විවර කෙරිණ. වන්නියේ නිදර්ශනම් රුපවාහිනිය, TTN රුපවාහිනී සේවාව, කොටි හඬ ගුවන් විදුලිය (VOT), සන්කදී, පුදිනම්, පදිවු යනාදී වෙබ් අඩවි මෙන්ම ප්‍රංශයේ සහ කැනඩාවේ ප්‍රකාශිත ඊළමුරසු පුවත්පතත්, කැනඩාවේ දෙමළ ගුවන් විදුලි සේවාව (CTR) හා එංගලන්තයේ IBC ගුවන් විදුලියත්, කැනඩාවේ තමිල් විෂන්  රුපවාහිනිය ආදියත් සත්‍යමුර්ති ගේ දේශපාලන විශ්ලේෂණ සඳහා අවකාශ සපයා දෙන ලද්දේ මේ වකවානුවේදී ය.  විශේෂයෙන් කැනඩාවේ වෙසෙන දෙමළ ජනයා තුළ  සත්‍යමුර්ති ඉතාමත් ජනප්‍රිය මාධ්‍යවේදියෙක් වශයෙන් අවධානය දිනාගැනීමට පසුබිම නිර්මාණය කරන ලද්දේ ඔහු විසින් කරන ලද විශ්ලේෂණාත්මක දායකත්වයයි.

සත්‍යමුර්ති ඝාතනයට ලක්වන තෙක්ම ඔහු සමඟින් සමීපව කටයුතු කළ කැනඩා දෙමළ ගුවන් විදුලියේ (CTR) වැඩසටහන් සම්පාදකවරිය වශයෙන් සේවය කරන ශක්ති පරමලිංගම්ට අනුව ඔහු හැමවිටම පිළිගත් ආචාර ධාර්මික රාමුවක් තුළ සිට අදහස්  පළකළ අයෙකි.

“විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේදී එයා විෂයබද්ධව, විධිමත්ව අදහස් පළ කළා වගේම නිශ්චිත ආචාර ධාර්මික ප්‍ර‍මිතියට යටත්ව කටයුතු කළ කෙනෙක්. සරළ උදාහරණයකින් කිව්වොත්, මහින්ද රාජපක්ෂට වුණත් එයා කිව්වේ “ජනාධිපතිතුමා” නැත්නම් “රාජපක්‍ෂ මහත්මයා” කියලා. එයාගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දේශපාලනය, ඉතිහාසය මෙන්ම මාධ්‍ය යනාදී හැම ක්‍ෂේත්‍රයක් ගැනම ප්‍රමාණික අවබෝධයක් ඔහුට තිබුණා. අපි හැම සිකුරාදා රැයකම සත්‍යමුර්ති සමඟ “අරිසියල් කලෛ” කියල දේශපාලන විශ්ලේෂණාත්මක වැඩසටහනක් කළා. ඒ වගේම හැමදාම උදේ “වනක්කම් කැනඩා” වැඩසටහනටත් නොවරදවාම සත්‍යමුර්ති එක් වෙනවා. වන්නියේ මොන දුෂ්කර තත්ත්වයට මුහුණ දීලා හිටියත් නියමිත වෙලාවට දුර කතනයෙන් සම්බන්ධ වෙන්න අවසානය වෙනකම්ම ඔහු අතපසු කළේ නැහැ. 2009 පෙබරවාරියේදී ඔහු අන්තිමට අපිට සම්බන්ධ වුණු දවස්වල කිව්වේ ඉතාමත්ම සැළසුම් සහගතව විශාල ජන සංහාරක සැළැස්මක අවසාන අදියර ක්‍රියාවට නංවන්න ආණ්ඩුව දැන් සුදානම් වෙනවා කියලායි. ඒකට ජාත්‍යන්තර සහයෝගයත් ආණ්ඩුවට ලැබෙන හින්ද විදේශවල සිටින දෙමළ ජනයාගෙන් ඔහු ඉල්ලා සිටියේ හැකි තරම් ඒ ඒ රටවල ආණ්ඩු, මානව හිමිකම් සංවිධාන, සිවිල් ක්‍රියාධරයන් දැනුවත් කරන ලෙසයි. වන්නියේ දිනපතා සිදුවෙන ගුවන් ප්‍රහාර, ෂෙල් ප්‍රහාර, මල්ටි බැරල්  රොකට්, පොකුරු බෝම්බ ප්‍රහාර වලින් ගැහැණු - මිනිස්සු - ළමයි මැරෙන හැටි, ආහාර, බෙහෙත් හිඟය වගේම බොහෝ දුක් පීඩාවන් ගැන සත්‍යමුර්ති හැමදාම අපිට වන්නියේ ඉඳන් තොරතුරු ගෙනාවා. ඔහුගේ මියයන මොහොත වෙනකම්ම ඒ වගකීම මොන දුෂ්කරතාවක් නිසාවත් අත්හැරියේ නැහැ,” ඇය කියයි.

මාධ්‍යවේදිනී පරමලිංගම්ට අනුව කැනඩාවේ පමණක් නොව, ඕස්ට්‍රේලියාවේත්, යුරෝපයේ මෙන්ම ඉන්දියාවේත් සත්‍යමුර්තිගේ දේශපාලන වැඩසටහන් ජනප්‍රිය වූයේ සංගතව හා නිරාකූල ලෙස අදහස් පළ කරන්නට ඔහුට තිබුණු හැකියාව හේතුවෙනි.

තෙවිපුරම් අවසානය දක්වා

යාපනයේ සිට යුද අනාථයෙකු ලෙස වන්නියට පලා එන සත්‍යමුර්තිට සිය ජීවන සහකාරිය හමුවූයේ වන්නියේදී ය. එවකට ඊළනාඩු හා ඊළනාදම් පුවත්පත්වලට සම්බන්ධව කටයුතු කළ නන්දිනී සත්‍යමූර්ති දැන් සිය දියණිය සමඟ පිටුවහලේ ජීවත්වන මාධ්‍යවේදිනියකි.

“සත්‍යමුර්ති මට පළමුවරට මුණගැහෙන්නේ මුලතිවු අධ්‍යාපන කාර්යාලයේ තිබුණු ජනමාධ්‍ය පුහුණු පාඨමාලාවේදීයි. එතකොට මම ඊළනාඩු පත්තරේ වැඩ කරනවා. පුහුණුවෙන් පස්සේ සත්‍යමුර්ති ඊළනාඩු  එකට සම්බන්ධ වුණා. ඒ වගේම වන්නියේ දී අපි එකතුවෙලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ එකතුවක් ඇති කළා. මම ඊළනාදම්  පත්තරේට සම්බන්ධ වුණේ ඊට පස්සෙයි. සත්‍යමුර්තිඑ ඒකේ දේශපාලන ලිපිය ලිව්වා. 2005 අවුරුද්දේ සටන් විරාම ගිවිසුම තිබුණු කාලේ තමයි අපි විවාහ වුණේ.”

විවාහයෙන් පසු කිලිනොච්චියේ පදිංචිව සිටි ඔවුන්ට පළමු වරට අවතැන් වන්නට සිදුවූයේ 2008 සැප්තැම්බරයේදී ය. ඒ සිය දෙහැවිරිදි කුඩා දියණිය ද සමගිනි.  ශ්‍රී ලංකා රජය කිලිනොච්ච්චිය අල්ලා ගැනීම සඳහා වූ යුද මෙහෙයුම් තීව්‍ර‍කරන ලද්දේ මේ වකවානුවේදී ය. ඉන් දිවි ගලවා ගනු පිණිස ඔවුහු මුන්ගිල් ආරු වෙත පලා ආවෝය. එහෙත් එහි වෙසෙන්නට හැකි වුයේ 2009 ජනවාරිය තෙක් පමණි.

අපි හිටපු ප්‍රදේශයට දරුණු විදියට හමුදා ප්‍රහාර එල්ල වෙන්න පටන්ගත්තාම ෂෙල් ප්‍ර‍හාර මැද්දෙන් අපි ජනවාරියේ අන්තිම දවස්වල සුදන්දිරපුරම්වලට ආවා. ආණ්ඩුව ඒ වෙනකොට සුදන්දිරපුරම්වල ‘නෝ ෆයර් සෝන්‘ එකක් නම් කරලා තිබුණේ. වචනයෙන් කියන්න බැරි තරම් හරිම දුෂ්කර ජීවිතයක් අපි හැමෝම ඒ කාලයේ ගත ක‍ළේ. එහෙම ඉන්නකොට 2009 පෙබරවාරි 09 වැනිදා අපේ කුඩාරමටත් ෂෙල් ප්‍රහාරයක් එල්ල වුණා. අපි තුන් දෙනාගේ ජීවිත බේරුණේ අනික් හැම පවුලක් වගේම අපිත් ආසන්නයෙන් හදාගෙන තිබුණු බංකරය හින්දායි.”

සුදන්දිරපුරම් වෙත රජයේ හමුදා එල්ල කරන ෂෙල් ප්‍රහාර උත්සන්න වෙත්ම සත්‍යමුර්තිලා ඇතුළු බොහෝ දෙනා තෙවිපුරම් වෙත පලා ගියේ රජය මගින් ඊළඟ යුද මුක්ත කළාපය ලෙස තෙවිපුරම් නම්කර තිබූ හෙයිනි.

“මාවයි දුවවයි තෙවිපුරම් කිට්ටුව වලෛඥර්මඩම්වල නවත්වලා සත්‍යමුර්ති ගියා තෙවිපුරම්වල අපිට ප්‍ර‍මාණවත් ආරක්‍ෂාවක් තියෙනවාද කියලා තොරතුරු දැනගන්න. ඒකට හේතුව ඒ වෙනකොටත් එයා මාධ්‍යකරුවෙක් විදියට පිටරට මාධ්‍යවලටත් තොරතුරු සපයමින් හිටි නිසායි. නමුත් 2009 පෙබරවාරි 11 වැනිදා හවස 2ට විතර හමුදාව ගහපු ෂෙල් ප්‍රහාරයකින් තුවාල වුණු සත්‍යමුර්ති තෙවිපුරම් රෝහලට ඇතුළත් කරලා තිබුණා. එක තාවකාලික එකක්. තෙවිපුරම් ඉස්කෝලේ පිහිටුවාගෙන තිබුණු ඒ රෝහලේ දොස්තරලා හිටියත් රෝගීන්ට දෙන්න බෙහෙත් තිබුණේ නැහැ.”

2009 පෙබරවාරි 12 වැනිදා සත්‍යමුර්ති මිය යන්නේ ෂෙල් ප්‍රහාරයෙන් සිදු වූ බරපතල තුවාලවලට විධිමත් ප්‍රතිකාර නැති කමිනි. ඒ වනවිට වන්නියට මාරාන්තික ලෙස බලපාමින් තිබූ රජයේ ඖෂධ සම්බාධක විසින් සත්‍යමූර්තිගේ දිවිමග කෙටි කිරීමේ තීරණාත්මක වැඩ කොටස ඉටු කරනු ලැබුණි.

පෙබරවාරි 13 වැනිදා මාත්තලන් දේවස්ථාන භුමියේ සත්‍යමුර්තිගේ අවසන් කටයුතු සිදුකළ නන්දිනී සිය කුඩා දියණිය ද සමගින් වලෛඥර්මඩම් සිට  මුල්ලිවයික්කාල් දක්වා පසුබසින ලක්ෂ සංඛ්‍යාත ජනයා අතරට එක්වූවාය. පසුව මුල්ලිවයික්කාල්‍හිදී රජයේ හමුදා මගින් අත් අඩංගුවට ගනු ලැබූ ඇය හා ඇගේ කුඩා දියණිය වවුනියාව රාමනාදන් කඳවුරේ ගත කළ කාලය අවසානයේ කෙසේ හෝ ජීවිත ආරක්‍ෂාව පතා රටින් පලා යාමට සමත් වූහ.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ යුද මුක්ත කලාපයකදී ෂෙල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ නොමැතිකමින් මිය ගිය එකම දෙමළ ජනමාධ්‍යවේදියා සත්‍යමුර්ති නොවීමට ඉඩ තිබේ. නමුත් රටින් බැහැර දෙමළ ජනයා අතර නොමඳව ප්‍ර‍චලිතව සිටිය දී එවන් ඉරණමකට ගොදුරු වූ පළමු මාධ්‍යවේදියා ඔහු බවට සැක නැත.  ඔහුගේ මරණය යුද අපරාධයක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් විසින් හැඳින්වීමට ඇතැම් විට හේතු කාරණා වන්නට ඇත්තේද මාධ්‍යකරුවෙකු වශයෙන් ඔහුගේ ලියූ - කියූ දෑ රටින් බැහැරට ද බලපාන්නට තරම් බලවත් වූ නිසා විය හැක.

‘එකදු සිවිල් වැසියෙක් හෝ ඝාතනය නොවන‘ ලෙස රාජ්‍ය ආරක්‍ෂක හමුදා විසින් දියත් කළ අවසන් මෙහෙයුම් විසින් පස් මාසයක් තිස්සේ කණින ලද වන්නියේ සමූහ මිනී වළෙහි වැළැළුණු දස දහස් සංඛ්‍යාත ජනයා අතර පුනියමූර්ති සත්‍යමූර්ති තවත් එක් අයකු පමණක් බව ඇත්තකි. නමුත් ඒ මිනිස් සංහාරය පිළිබඳ ඉතිහාස කතාව දැනගනු රිසි අතළොස්සක් හෝ සිංහලයන් විසින් නිසැකයෙන්ම දත යුතු අපමණ ජීවනාදර්ශයන් අතරට සත්‍යමූර්තිගේ ජීවිතය ද නිසැකවම ඇතුළත් වේ.☐

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.