රිචඩ් ද සොයිසා: යුක්තියෙන් තොර පන් තිස් වසක මතකය
- Post 20 February 2025
රිචඩ් ද සොයිසා ඝාතනයට තිස්පස් වසක් පිරුණේ මේ වසරේ පෙබරවාරි 18 වැනිදාට ය.
මිය යන විට රිචඩ්, තෙවන ලොව ප්‍රමුඛ කොටගත් ප්‍රවෘත්ති සේවා ජාලයක් වූ ඉන්ටර් ප්‍රෙස් සර්විස් ආයතනයේ ආසියා කලාපය භාර නියෝජ්‍ය කර්තෘවරයා ලෙස වාර්තාකරණයේ යෙදී සිටියේය. ඔහු පැහැරගන්නා ලද්දේ පෘතුගාලයේ IPS බියුරෝවේ යුරෝපා ඉංග්‍රීසි සංස්කාරකවරයා ලෙස කටයුතු කිරීමට ලැබුණු නව පත්වීම භාරගෙන රටින් පිටව යාමට සතියකට පෙර ය.
“රිචඩ් ද සොයිසා මරුමුවට පත්වන්නට අවශ්‍ය පුද්ගලයකු නොවේ. ඔහු ඉන්ටර් ප්‍රෙස් ඒජන්සියේ යුරෝපීය සේවාවේ සංස්කාරක ධූරයේ වැඩ ඇරඹීමට ලිස්බන් නුවරට යන ගමනේදී මේ වනවිට රෝමයට සේන්දු වී සිටිය යුතු විය. ඔහුගේ ගමන ප්‍රමාද වූයේ විශ්ව විද්‍යාල විභාගයක් හේතුකොටගෙන ය. ඔහුගේ කාර්ය මණ්ඩලය ඔහුගේ වියෝව ගැන දැනගත්හ. ඔවුන් කළ ඉල්ලීම පිළිගනු ලැබූ අතර ඒ අනුව පෘතුගාලයේ පිහිටුවා ඇති අලුත් යුරෝපා මධ්‍යස්ථානයට ඔහුගේ නම තැබීමට තීරණය වී ඇත. එය ප්‍රවෘත්තියක් නොව, හුදෙක් හිතවත්කමේ සංකේතයකැ“යි ඉන්ටර් ප්‍රේස් සේවාවේ සමාරම්භකයකු හා ඒ වනවිට එහි අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ රොබෙර්තෝ සාවියෝ, රිචඩ්ගේ මරණයෙන් කම්පිතව ලියා තිබිණ.
සිය මව වූ වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු සමග රාජගිරියේ වැලිකඩවත්තේ වාසය කළ නිවසින් පෙබරවාරි 18 වැනිදා අළුයම 3.30ට පමණ, අවිගත් රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනකු විසින් පැහැරගනු ලැබූ රිචඩ්ගේ හිසට සහ ගෙළට එල්ල කළ වෙඩි පහරවල් සහිත ප්‍රාණය නිරුද්ධ සිරුර මොරටුව කොරළවැල්ලේ වෙරළ තීරයට ගොඩ ගසා තිබී 19 වැනිදා මධ්‍යහ්නයේදී ධීවරයන් දෙදෙනෙකු විසින් සොයාගන්නා ලදී. ඒ, එවකට නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළ සිනමා නළු ගාමිණී ෆොන්සේකා විසින් ‘රිචඩ් නිරුපද්‍රිතව ආරක්ෂක අංශ අත් අඩංගුවේ පසුවන බවට‘ වෛද්‍ය සරවනමුත්තු මහත්මියට සහතික කර පැය විසි හතරක් ඇවෑමෙනි. මරණයට පෙර පමුණුවන ලද වධහිංසා හේතුවෙන් රිචඩ්ගේ හකු ඇටය පුපුරා ඇති අතර කෙණ්ඩා සහ ශරීරයේ ස්ථාන ගණනාවක කැළැල්, තුවාල සහ ඉදිමුම් දක්නට ඇතැයි මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්විණ.
ඔහුගේ මරණයෙන් පහළොස් වසරකට පසු එලෙසින්ම කොළඹදී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ දෙමළ ජාතික මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ සහභාගීත්වයෙන් රිචඩ්ගේ මළ සිරුර මූලික හඳුනාගැනීමකට පාත්‍ර කිරීමෙන් පසු, කළුබෝවිල මෘත ශරීරාගාරයේදී ඔහුගේ මව හා සොයුරා විසින් තහවුරු කරන ලදී.
“ඉදිරි මාස කීපය තුළ, නැතිනම් සමහර විට වසර කීපය තුළ ඔබේ කොපමණ නම් ඡායා මා මනසේ හොල්මන් කරාවිදැ?“යි සටහන් කරමින් රිචඩ් රඟ පෑ ‘යුගාන්තය‘ චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්වකීය කම්පාව පළ කළ අතර, “කලාකරුවකු වශයෙන්ද, මිනිසකු වශයෙන්ද ඔහුගේ පරපුරේ දීප්තිමත්ම තරුව“ රිචඩ් වී යැයි සිනමාවේදී තිස්ස අබේසේකර ලීවේය.
නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ජීනීවා නුවර රැස්ව සිටියදී රිචඩ් ඝාතනය කිරීම ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්කිරීමට සිදුකළ කුමන්ත්‍රණයකැයි විදේශ අමාත්‍ය රන්ජන් විජේරත්න කියා සිටියේය.
දිවයින පුරා අතුරුදහන්වූවන්ගේ මව්පියන් ඒකරාශි කරගනිමින් 1990 ජූලි 15 වැනිදා මාතරදී පිහිටුවාගත් ‘මව් පෙරමුණ‘, රිචඩ්ගේ මරණයෙන් ඇවිළුණු අනන්ත චිත්තවේගී කම්පාවන් දරාගත් ඔහුගේ මවගේ මූලිකත්වයෙන් යුක්තිය පතා සටන් කිරීම ආරම්භ කරන ලද්දේ, අධිකරණ ක්‍රියාමාර්ගවලින් ඉවත් නොවන්නේ නම් මරා දමන බවට වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුට මැයි මාසයේදී මරණ තර්ජන එල්ල කර තිබියදී ය. වෛද්‍ය සරවනමුත්තුගේ නීතීඥ වශයෙන් ක්‍රියාකළ බැටී වීරකෝන්ට ද ජූනි 1 වැනිදා අධිකරණ පරීක්ෂණයට සහභාගී නොවන ලෙස මැයි මස අවසානයේ එල්ල කර තිබූ තර්ජනවලින් පසු හෙතෙම පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි අතර, ඒ අනුව ආරක්ෂාවට යෙදවුණු පොලිස් භටයන් දෙදෙනා අදාළ රාජකාරියෙන් ඉවත් නොවුණහොත් ඔවුන්ද මරා දමන බවට, 1990 ජූනි 22 වැනිදා නිර්නාමික තර්ජන එවා තිබුණි.
නමුත් රිචඩ් ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අත්හිටුවීමට 1990 අගෝස්තු 30 වැනිදා තීරණය කෙරුණි. ‘ප්‍රමාණවත් සාක්ෂි නැතිකම නිසා‘ වෛද්‍ය සරවනමුත්තු විසින් රිචඩ් පැහැරගැනීමට සම්බන්ධ බවට හඳුනාගෙන නම් කරන ලද පොලිස් නිලධාරියාට එරෙහිව කටයුතු කිරීම අත්හැරීමට තමන් තීරණය කර ඇති බව නීතිපති සුනිල් චන්ද්‍ර ද සිල්වා අධිකරණයට දන්වා සිටියේය.
රිචඩ් ඝාතනය පිළිබඳ විමර්ශනයට කොමිෂන් සභාවක් පත්කරන මෙන් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 1991 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාව ඡන්ද 120:71ක් වශයෙන් පරාජය කෙරුණි.
“තමුන්නාන්සේලා පැහැරගැනීමක් සහ ඝාතනයක් ගැන දිගින් දිගටම සඳහන් කරනවා. ඒක ඝාතනයක් නොවී, සිය දිවි නසාගැනීමක් හෝ වෙන මොනයම් හෝ දෙයක් නම් මොකද කරන්නේ“යි ප්‍රේමදාස රජයේ කැබිනට් අමාත්‍යවරයකු වූ රනිල් වික්‍රමසිංහ අසා සිටි බව 1991 මාර්තු 03 වැනිදා ‘වොෂින්ටන් පෝස්ට්‘ පත්‍රය වාර්තා කළේය.
රිචඩ් ද සොයිසාගේ මරණයට යුක්තිය ඉටු නොවී ගත වූ දශකයකින් පසු, 2001 පෙබරවාරි 14 වැනිදා, වියපත් වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු රෝගීව හුදකලාවේ මිය ගියාය. ඇගේ මරණයෙන් සිව් වසක් ඇවෑමෙන් 2005 නොවැම්බර් 09 වැනිදා, රිචඩ් ඝාතනය සම්බන්ධයෙන් ඉතිරිව සිටි චූදිතයන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුණි.
තිස් පස් වසරකින් පසු රිචඩ්ගේ මරණය පිළිබඳ යළිත් කතාබහක් මතුව ඇති මොහොතක ඔහු විසින් ඉන්ටර් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයට කොළඹ සිට ලියා යවන ලද අවසන් වාර්තාව සිංහලට පෙරළා අපි මෙසේ පළ කරමු. දකුණේ සන්නද්ධ නැගිටීම තලා දැමීමෙන් ලද නව ජවයෙන් ප්‍රජාතන්ත්‍රික අයිතීන් මැඩලීමට රණසිංහ ප්‍රේමදාස රජය විසින් පෙරට ගනු ලැබ ඇති මර්දනකාරී නීති රෙගුලාසි පිළිබඳ සම්පිණ්ඩනයක් ඔහු විසින් එකී වාර්තාව මගින් සම්පාදනය කර තිබුණි.
රිචඩ් ද සොයිසාගේ අවසන් ලිපිය සේ සැළකෙන මෙහි සිංහල පරිවර්තනයක් පළමුවරට පළකෙරුණේ 1994 පෙබරවාරි 19 වැනිදා ‘හිරු‘ පුවත්පතෙහි ය.
පරිවර්තනය: සංජුලා ඕෂිණී පීටර්ස් | මුල් සේයාරුව: ශ්‍රියන්ත වල්පොළ
ශ්‍රී ලංකාව: තවදුරටත් මළ සිරුරු බැහැර කිරීම් නවතී
රිචඩ් ද සොයිසා විසිනි | කොළඹ, පෙබරවාරි 15 (1990)
පසුගිය ජූනි මස සිට බලාත්මකව පැවති දැඩි හදිසි රෙගුලාසි සමහරක් ඉවත් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
නෛතික පරීක්ෂාවක් සිදු කිරීමෙන් තොරව මළ සිරුරු බැහැර කිරීමට ආරක්ෂක අංශවලට බලය ලබා දෙන නීති, ප්‍රකාශන තහනම් කරන නීති, සහ දේශපාලන පක්ෂ තහනම් කිරීමට රජයට ඇති අයිතිය පිළිබඳ නීති ආදිය ඒ අතර වේ.
මළ සිරුරු බැහැර කිරීම සම්බන්ධ රෙගුලාසි - වර්තමාන හදිසි නීතියේ 55 (FF) - ආණ්ඩු-විරෝධී ක්‍රියාධරයන්ට එරෙහිව සිදු කළ බවට චෝදනා ලබන මිලිටරි දුරාචාර හේතුවෙන් මෙරට සහ පිටරට මානව හිමිකම් කණ්ඩායම්වල දෝෂදර්ශනයට ලක්ව ඇත.
එහෙත්, ප්‍රචණ්ඩත්වයෙන් ඇලලී ගිය දිවයින තුළ සාමාන්‍ය තත්වය ස්ථාපිත කරන බවට වන සිය පොරොන්දුවට ආණ්ඩුව අවංක නොවන බවට චෝදනා සනාථ කරමින්, ජනවාරි 10 හඳුන්වා දුන් අනෙකුත් රෙගුලාසි තවමත් බලාත්මකව පවතී.
1990 අංක 1 දරණ හදිසි නීති (කඩාකප්පල්කාරී දේශපාලන ක්‍රියාකාරකම් වැළැක්වීමේ) රෙගුලාසි, සේවා ස්ථාන හෝ අධ්‍යාපන ආයතනවල නියමිත ක්‍රියාකාරීත්වය කෙරෙහි 'අහිතකර ලෙස බලපෑ හැකි' සියලුම 'දේශපාලන හෝ අනෙකුත්' ක්‍රියාකාරකම් තහනම් කරයි.
එසේම එමගින් ඕනෑම රැස්වීමක්, රැළියක්, පෙළපාලියක්, පා ගමනක් හෝ එම ස්ථානවල පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් කරයි.
මෙහි වෘත්තීය සමිති ක්‍රියාධරයන් චෝදනා කරන්නේ 'දේශපාලන හෝ වෙනත් ඕනෑම ආකාරයක ක්‍රියාකාරකමක්' යන වාක්‍ය ඛණ්ඩයේ සන්දර්භය තුළ 'වෙනත්' යන වචනය විසින් සාමාන්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරම්ද ආවරණය කරන බවයි.
ආණ්ඩුවට සහය දක්වන කිහිපයක් හැරුණු කොට, සියලුම වෘත්තීය සමිති පාහේ නීතිය සම්මත වූ විට උද්ඝෝෂණ කළහ.
ශ්‍රී ලංකාවේ පළමු පෙළේ අපරාධ පිළිබඳ නීතිඥයෙක් සහ දේශපාලන පක්ෂයක් විසින් මෙහෙයවනු නොලබන ලංකාවේ එකම ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ලේකම් වන බාලා තම්පෝ මෙය විස්තර කරන්නේ 'හදිසි නීති බලතල වංචනික ලෙස අවභාවිතා කිරීමක්' ලෙසයි.
'ප්‍රචණ්ඩකාරී ක්‍රියා යනු අනීතික නීති විරෝධී ක්‍රියා වන නිසා, රෙගුලාසිය නම් කර ඇති ප්‍රචණ්ඩකාරී යන යෙදුම හරහා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නීති විරෝධී ක්‍රියාකාරමකම් වන බවට ඇඟවුමක් ලබා දෙතැ‘යි ඔහු තර්ක කරයි.
'මෙය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර එය ජාතික සහ අන්තර්ජාතික වශයෙන්ද එලෙසම හෙළා දැකිය යුතුයි' ඔහු IPS වෙත පැවසීය.
'ඔවුහු (ආණ්ඩුව) ජවිපෙ සහමුලින්ම විනාශ කළ බවත් දැන් කොටි සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවටත් පවසති. එහෙම නම් රෙගුලාසි කුමකටදැ?'යි ඔහු විමසයි.
1983 සිට දිවයිනේ සුළුතර දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා වූ ඔවුන්ගේ ප්‍රයත්නයේදී දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය (LTTE) පළමුව ශ්‍රී ලංකා සහ ඉන් පසුව ඉන්දීය භට සේනාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර දී සටන් කළේය.
ගරිල්ලන් දැන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර, මාර්තු 31 ඉන්දීය භට කණ්ඩායමක ඉවත් කර ගැනීම අවසන් වූ පසු දෙමළ බහුතරයක් වෙසෙන උතුරුනැගෙනහිර පළාත තුළ මැතිවරණයට තරඟ කරන බව ඔවුන් පවසා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ, ඉන්දීය භට පිරිස් රැඳී සිටීමට සහ බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 1987 සිට 1989 දක්වා ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක් මෙහෙයවීය.
ශිෂ්‍යයන් විසින් මෙහෙයවන පෙළපාලි සහ ජවිපෙ විසින් සංවිධානය කළ වැඩ වර්ජන, දේශපාලන සංස්ථාපිතය දෙදරවමින් පසුගිය වසරේ කිහිප වරක්ම දකුණු ශ්‍රී ලංකාවේ සිංහල ජන බහුතරයක දෛනික ජීවිත ඇනහිටවනු ලැබුණි.
පසුගිය වසරේ ආණ්ඩුව වාමාංශික කැරලිකරුවන් මර්දනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ඉහළ පෙළේ නායකයන් මරණයට පත් වී ප්‍රචණ්ඩත්වය තාවකාලිකව සමනය වුවද සාමාන්‍ය තත්වය ස්ථාපිත කිරීමට හදිසි නීති අවශ්‍ය බවට ප්‍රකාශ කෙරුණි.
“මේ ආකාරයේ සාධාරණීකරණයන්ට මුවා වී ආණ්ඩුව උත්සාහ කරන්නේ කම්කරුවන් හෝ ශිෂ්‍යයන් ඔවුන්ගේ සංවිධාන හරහා ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වැළැක්වීමටයි. එය, ජාතිකව සහ ජාත්‍යන්තරව හෙළා දැකිය යුතු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කඩ කිරීමක්," තම්පෝ පවසයි.
පසුගිය දශක දෙක තුළ වැඩි කාලයක් ශ්‍රී ලංකාව පාලනය වී ඇත්තේ හදිසි නීතිය යටතේ ය. මහජන ආරක්ෂක පනත ජනාධිපතිට නව රෙගුලාසි ඇතුළත් කිරීමට ඉඩ සළසන අතර, පාර්ලිමේන්තුව සෑම මසකම හදිසි නීතිය දීර්ඝ කිරීම අනුමත කළ යුතු ය.
වර්තමානයේ මෙන්, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරයක් එකම පක්ෂයක් නියෝජනය කරන විට මෙය චාරිත්‍ර විධියක් බවට පත් වේ.
කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම්වලට අදාළ රෙගුලාසි සම්මත වීමට පෙර, අත්‍යවශ්‍ය සේවා පාලනය කරන හදිසි නීතිය ඉවත් කරන ලෙසට සීඑම්යූ ව ජනාධිපතිවරයාට ලිවීය.
මෙම රෙගුලාසිය යටතේ, වරාය, බැංකු සහ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කළ තවමත් බොහොමයක් ආයතන ‘ජාතික ආරක්ෂාව හෝ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම යටතේ ඕනෑම කාර්යක් කරන ලෙස ඕනෑම කෙනෙකුට නියම කිරීමේ' බලය ඇති හමුදා නිලධාරියකු යටතට පත් කළ හැක.
"අගෝස්තු අවසානය වන විට ජවිපෙ විසින් මෙහෙයවූ ප්‍රචණ්ඩ ක්‍රියා නතර වී තිබූ නමුත් සැප්තැම්බර් 5 වැනිදා මෙම නීති බලාත්මක වී යැයි" තම්පෝ පෙන්වා දුන්නේය. ජවිපෙ විසින් මෙහෙයවන ලද අවසන් මහා වැඩ වර්ජනය හෙවත් 'හර්තාලය' 1989 අගෝස්තු 20 වන දින පැවැත්විණ.
ට්‍රොට්ස්කිවාදි නව සම සමාජ පක්ෂයේ (NSSP) වෘත්තීය සමිති අංශයේ නායක ලීනස් ජයතිලක, නව රෙගුලාසි 'අති දරුණු' ඒවා බව පැහැදිලි කරයි.
බ්‍රහස්පතින්දා ඇතැම් හදිසි නීති ඉවත් කරනු ලැබුවේ, මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) විසින් රාජ්‍යයේ ජවිපෙ-විරෝධී ව්‍යාපාරයේදී මිනිසුන් දහස් ගණනක් ඝාතනය කරන ලද බව දක්වමින් වාර්තාවක් නිකුත් කිරීමත් සමඟිනි
ඉකුත් මාසයේ විදේශ අමාත්‍ය රංජන් විජේරත්න ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය 'ත්‍රස්තවාදී සංවිධානයක්' බවට චෝදනා කිරීමත් සමඟ ලන්ඩන්හි පිහිටා ඇති මානව හිමිකම් සංවිධානය සහ කොළඹ ආණ්ඩුව අතර ගැටුමක් ඇති විය.
ක්ෂමා සංවිධානය විසින් දෙසැම්බරයේදී නිකුත් කළ වාර්තාවක්, ''මෙම රෙගුලාසිය ආරක්ෂක අංශවලට දණ්ඩ මුක්තිය සහිතව ඝාතනය කිරීම් සිදු කිරීමට අවසර ලබාදෙන හෙයින්, එය අධිකරණ ක්‍රියාවලියෙන් පරිබාහිර මරණ දඬුවම් සිදු කිරීමට වටපිටාවක් සළසතැ'' යි දක්වමින් 55 (FF) රෙගුලාසිය කෙරෙහි විශේෂ අවධානයක් දක්වයි.
"විශේෂයෙන්ම, රට පුරා මළ සිරුරු සිය ගණනක් සොයා ගැනීමේ කරුණ සැලකිල්ලට ගනිමින් 55(FF) හදිසි නීති රෙගුලාසිය ඉවත් කරන ලෙසට අපි ඔබෙන් ඉල්ලා සිටිමු"යි CMU විසින් ජනාධිපතිවරයාට ලියන ලද ජනවාරි 5 දිනැති ලිපියෙහි දැක්වේ.
"මෙම මළ සිරුරු බොහෝ දුරට පුළුස්සා හෝ ගංඟාවලට විසි කර ඇති අතර, ඒවා කළේ කෙසේද, කවුරු විසින්ද යන්න පිළිබඳව ඔබගෙන් හෝ ඔබගේ ආණ්ඩුවේ කිසිදු ප්‍රකාශකයෙකුගෙන් පැහැදිලි කිරීමක් නැතැ"යි එය වැඩිදුරටත් දක්වයි.
සංස්ථාපිතයට එරෙහි ජවිපෙ ප්‍රචණ්ඩ ප්‍රහාරවලට එරෙහිව කටයුතු කිරීම සඳහා ආරක්ෂක අංශවලට සම්පූර්ණ බලතල ලබා දිය යුතු බවට ආණ්ඩුව තර්ක කළේය.
ඇතැම් හදිසි නීති රෙගුලාසි ලිහිල් විය හැකි බවට ප්‍රථම ඉඟිය දක්වමින්, බදාදා පැවති දේශපාලන පක්ෂ සමුළුවකදී ප්‍රේමදාස පැවසුවේ 'ත්‍රස්තය අවසන් කිරීම සඳහා ඕනෑම මිලක් ගෙවිය යුතුව තිබූ' බවයි.
'තරුණ අසහනය'ට හේතු වූ කරුණු විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කරන කොමිෂන් සභාවක් හරහා හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවත්, ඒ කවදාදැයි ඔහු කියා සිටියේ නැත.
55(FF) රෙගුලාසිය ඉවත් කිරීමට අදාළව මෙහි එක් මානව හිමිකම් ක්‍රියාධරයෙක් බ්‍රහස්පතින්දා මෙසේ පැවසීය, "දැන් මළ සිරුරුවලට යුක්තිය ඉටු වී තිබේ. එළැඹ ඇත්තේ ජීවත්ව සිටිනවුන් ගැන සිතන්නට කාලයයි."
© JDS