JDS Sinhala

‘ප්‍රොජෙක්ට් බීකන්’: සත් වසරකට පසු නැවත කියවා බැලීමක්

ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට හය වසරක් පිරීමේ සංවත්සරය, මහින්ද රාජපක්‍ෂ පෙරටු කොටගත් 'අවතැන් ජාතිමාමක සේනාවෝ' සඳුදා (18) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සැමරූහ.

2005දී තමන් රට භාරගන්නා විට විදේශ සහාය නොමැතිව කිසිදු යුද ජයක් අත්කරගත නොහැකි  බව සමස්ත ලෝකයම තමන්ට කීවේ යැයි ප්‍රකාශ කළ හිටපු ජනාධිපති රාජපක්‍ෂ මෙසේ ද කීවේය:

"මේ රටේ ජනතාව ගැන, ඔවුන්ගේ වීර දූ පුතුන් ගැන විදේශවලට වඩා මට විශ්වාසයක් තිබුණා. අපි මේ රටේ බිම් අඟලක්, ස්වාධීනත්වයේ බිංදුවක්, කිසිම විදේශ හෝ වෙනත් ගිවිසුමකින් පාවා නොදී මේ විජයග‍්‍රහණය ලබා ගත්තා. ලෝක ආහාර අර්බුදය ආවා, තෙල් අර්බුදය ආවා, මූල්‍ය අර්බුදය ආවා. මේ හැම අර්බුදයකටම මුහුණ දෙමින් තමයි අපි යුද්ධය කළේ.....ලෝක බලපෑම්, ජාත්‍යන්තර බලපෑම් අපමණ ආවා. නමුත් මේ එකක් එක්කවත් ගිවිසුම් නොගහ යට නොවී තමයි අපි මේ විජයග‍්‍රහණය ලබා ගත්තේ."

නමුත් හතරවැනි ඊළම් යුද්ධය පිළිබඳ 'වික්‍රමාන්විත පසු කතා' යට වෙනත් වැදගත් කතා ද තිබේ. ඒ කතා ගැන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පසුගිය හය අවුරුද්ද මුළුල්ලේම කිසිත් නොලීවෝය. ඒ, එක්කෝ නොදන්නා නිසා ය. නැතහොත් නොකැමති නිසා ය. ජනමාධ්‍ය විසින් මහජන සිතීම් වඩ වඩාත් පාලනය කරන අවදියක මහජනයා දන්නා දෙයෙහි සිතිජය තීරණය කරන්නේ ජනමාධ්‍ය පෙන්නා දෙන දෙයිනි. නොදන්නාකම දේශප්‍රේමී සුරතාන්තයක් බවට පෙරළා ගත හැක්කේ ඒ අනුව ය. මාවිල් ආරු වතුරෙන් යුද්ධය පටන්ගෙන නන්දිකඩල් වතුරෙන් යුද්ධය අවසන් වී යැයි කියන්නන් නොකියන වැදගත් කතාවක් ඒ අවුරුදු තුනට පසුපසින් තිබේ. සත් වසක් පැරණි මෙම ලිපිය නැවත පළ කරන්නට JDS කල්පනා කළේ, එසේ කතා නොකොට මඟහරින කතා ගැන විධිමත්ව කතා කිරීමට ආරම්භයක් වශයෙනි.

මෙම ලිපිය 'ප්‍රොජෙක්ට් බීකන්’: රහසක්ද? බොරුවක්ද?' මැයෙන් මුල්වරට 'රාවය' පුවත්පතෙහි පළ වූයේ 2008 අගෝස්තු 31 වැනිදා ය. ඒ, ෆේබියස් යන අනවර්ථ නාමයකිනි. ඒ වනවිට සිව්වැනි ඊළම් යුද්ධය කෙබඳු අඩියක පැවතියේදැයි කාලානුක්‍රමිකව ආවර්ජනය කිරීම මෙහිදී වැදගත් ය. 2008 අ‍ගෝස්තු 02 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් වෙල්ලාන්කුලම් අල්ලාගැනීමත් සමග අට මාසයක් දිග්ගැසුණු මන්නාරම් දිස්ත්‍රික්කය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් නිමා විය. අගෝස්තු  මැද වනවිට පළමුවැනි කාර්ය සාධක බලකාය සිටියේ මන්නාරම් - පුනරීන් මාර්ගයේ නාච්චිකුඩා බාහිර ආරක්‍ෂක පරිමිතය විනිවිදින්නට ප්‍රයත්න දරමිනි. අගොස්තු අවසාන සතිය එළඹෙන විට, 57 වැනි සේනාංකය මල්ලාවියට කිලෝමීටර් පහක්ද, මාන්කුලම් මංසන්ධියට කිලෝමීටර් 20ක්ද දුරින් පිහිටි තුනුක්කායි හි ස්ථානගතව සිටියේය. එල්ටීටීඊ සංවිධානයේ පරිපාලන කේන්‍ද්‍රය සේ සැළකුණු කිලිනොච්චිය වැටෙන්නට තවත් හාර මාසයක් ඉතිරිව තිබුණි. නොවැම්බරය මැද වනතෙක් මාන්කුලම් හා පුනරීන් හමුදා පාලනය යටතට නොවැටිණ. ඒ අනුව බලතොත්, 2009 මැයි මාසයේ යුද්ධය නිමාවට පත් කිරීමට ඇති ඉඩකඩ ගැන මෙම ලිපිය මගින් අනුමානයන් පළ කරන ලද්දේ නව මාසයක් කල් තබා ය. අනෙක් අතින්, ලිපියට පාදක කොටගත් මූලාශ්‍ර විසින් එළඹෙන දෙවසර තුළ යුද්ධයේ දිශානතිය ගැන පුරෝකථනය කරන ලද්දේ වන්නි යුද මෙහෙයුමේ සැළසුම් නිල වශයෙන් අනාවරණය කරන්නට දෙවසරකට කලිනි.

ඉතිහාසය තේරුම් ගැනීමට වෙනත් පර්යාවලෝකයන්ද තිබේ. එවැනි පර්යාවලෝකයක් සඳහා සටන් කිරීමට මේ ලිපිය නිමිත්තක් සපයයි. ජනමාධ්‍ය විසින් තීරණය කරන මහජන අවබෝධයේ සිතිජයට ඔබ්බෙහි ඇති යථාර්ථයන් හෙළිදරව් කිරීමේ විධිමත් ප්‍රයත්නයක් නැති තැනක එය කොහෙන් හෝ පටන් ගත යුතු ය. යුද්ධයේ සන්දර්භය ලංකාව යැයි කල්පනා කරන්නවුන්ට එසේ සිතීමට නිදහස තිබේ.

නමුත් දූපත් බන්ධනාගාරයකට කවුළුවක් සවි කිරීමත් වැදගත් වැඩකි.

සංස්කාරක කමිටුව


දෙදහස් හතේ අවුරුද්දේ මැද භාගයේදී ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය හා ජාත්‍යන්තර බලවේගයන්ගේ භූමිකාවට අදාළ එක්තරා පුවතක් අන්තර් ජාලයේ පළවුණි. සංක්‍ෂිප්තව ලියන ලද අදාළ ප‍්‍රවෘත්තිය පළ වී තිබුණේ කිසිවෙකුගේ අවධානයකට එතරම් පාත‍්‍ර නොවුණු tamileditors.com නමැති වෙබ් අඩවියක ය. ප‍්‍රවෘත්තිය පළ වී මාස කිහිපයක් ඇතුළත දී tamilcanadian වෙබ් අඩවියට වෛද්‍ය සී.පී.ත්‍යාගරාජා නමැති ලේඛකයෙකු විසින් ලියන ලද දීර්ඝ ලිපියක් සඳහාද අදාළ ප‍්‍රවෘත්තිය පාදක කොටගෙන තිබිණ. නමුත් ඉන් එහා ගිය අවධානයක් එම පුවතට හිමි වූ බවක් පෙනෙන්නට නොවූයේ ඇතැම් විට මුල් පුවත සනාථ කරන ප‍්‍රමාණවත් මූලාශ‍්‍ර සඳහන් කිරීමට කවර හෝ හේතුවක් නිසා හෝ tamileditors.com වෙබ් අඩවිය අපොහොසත් වීම විය හැකිය. එහෙත් මුල් ප‍්‍රවෘත්තිය පළ වී වසර එක හමාරක් ඉක්ම යන විට ප‍්‍රවෘත්තියෙහි සඳහන් කරුණු සනාථ කෙරෙන බවට සැක සිතෙන සාක්‍ෂි මතු වෙමින් තිබේ. ඒ, යථාර්ථය තුළිනි.

වසර එක හමාරකට කලින් ඉහත වෙබ් අඩවියෙහි පළ වූ ප‍්‍රවෘත්තියෙහි හරය මෙබඳුය:

‘2005 වසරේ දෙසැම්බර් මාසයේදී හෝ ඒ ආසන්න වකවානුවකදී ශී‍්‍ර ලංකා රජයේ නියෝජිත පිරිසක් හා ආධාර දෙන කණ්ඩායමේ සම සභාපතිත්වය දරණ රටවල (නෝර්වේ, එක්සත් ජනපදය, ජපානය සහ යුරෝපා සංගමය) නියෝජිත පිරිසක් ඔස්ලෝ නගරයේදී හමුවූහ. එහිදී ලංකා රජයේ නියෝජිතයන් විසින් විශේෂ ව්‍යාපෘති සැළැස්මක් සම සභාපතිවරුන්ට ඉදිරිපත් කරන ලදී. විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් විනාශ කිරීමේ තුන් අවුරුදු සැළැස්මක් එමගින් ඉදිරිපත් කරන ලද අතර ව්‍යාපෘතිය සඳහා ‘ප්‍රොජෙක්ට් බීකන්’ (Project Beacon) යන සංඥා නාමය යොදා තිබිණ. අදාළ සැළැස්ම 2006 මැයි මාසයේ පළමුවෙනිදායින් පටන්ගෙන 2009 මැයි 01 වෙනිදායින් අවසන් කිරීමට නියමිතය. යුදමය කි‍්‍රයාමාර්ග දියත් කෙරෙන පළමු තුන් වසරෙන් පසු, 2011 දක්වා වන තවත් දෙවසරක කාලයක් ‘පවිත‍්‍ර කිරීමේ මෙහෙයුම්’ (mopping-up operations) සඳහා වැය කෙරෙනු ඇත.

‘මෙහෙයුම් දියත් කළ යුතුව ඇති කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශයන් ඉහත සැළැස්ම මගින් මූලික වෙරළබඩ ප‍්‍රදේශ තුනක් වශයෙන් බෙදා දක්වයි. ඒ වනාහී 2005 දෙසැම්බරය වන විට පැවැති යුද හා භූගෝලීය යථාර්ථයන්ට අනුකූලව ය. ආරම්භක අධියරේදී ගුවන් බලය සහ බර අවි යොදාගෙන ‘බලය අඩු කිරීමේ මූලික ප‍්‍රහාර’ (softning-up attacks) දියත් කෙරෙනු ඇත. සතුරු අවධානය වෙනත් අතකට හැරවීම අරමුණු කොටගත් කුඩා පරිමාණයේ මෙහෙයුම්ද (diversionary mini offensives) , අවශ්‍ය වෙතොත් වසරක කාලයක් දක්වා දිග්ගැස්සීමට ඉඩ ඇති වටලෑම්ද මූලික සැළැස්මට අඩංගු වේ.

‘අදාළ මෙහෙයුම් මගින් සැළකිය යුතු සිවිල් ජනගහණයකට අනතුරු ඇතිවීම හා මානුෂික අර්බුදයන් පැන නැගීමට ඉඩ ඇති අතර ඒ හේතු කොටගෙන විදේශගත දෙමළ ප‍්‍රජාව අතර ප‍්‍රබල විරෝධයන් මතුවීමට ඉඩ තිබේ. එවැනි විරෝධතා පැන නැගීමට ඉඩ තිබෙන රටවල 12ක නම්ද, අදාළ රටවල එවැනි විරෝධතා සඳහා මූලිකත්වය ගනු ඇති දෙමළ කි‍්‍රයාකාරිකයින්ගේ නම් ද සම සභාපතිවරුන් වෙත සම්පාදනය කෙරුණු අතර එවැනි ජාත්‍යන්තර විරෝධතා මැඩලීමට සහාය ප්‍රොජෙක්ට් බීකන් සැළැසුම්කරුවන් විසින් ඉල්ලා සිටින ලදී. එමෙන්ම එවැනි යුදමය සැළැස්මක් විසින් ආර්ථිකය මත ඇති කරන පීඩනය අවම කිරීම සඳහා දකුණු ලංකාවේ සංවර්ධන කි‍්‍රයාමාර්ග සඳහා ආධාර දෙන රටවල සහාය සැළැස්ම මගින් ඉල්ලා තිබිණ.

‘සැළැස්ම යථාර්ථවාදී එකක් වශයෙන් සම සභාපතිවරුන්ගේ කණ්ඩායම විසින් පිළිගනු ලැබු අතර අදාළ තුන් වසරක කාල සීමාව ඇතුළත සැළැස්මෙහි ප‍්‍රායෝගික සඵලතාව වාර්ෂිකව සමාලෝචනයකට පාත‍්‍ර කිරීමටද එකඟතාව පළ කෙරිණ.’

මුලදී ප‍්‍රබන්ධයක් සේ හැඟුණද, පළවී වසර එක හමාරකට ආසන්න කාලයක් ඇතුළත මෙම පුවත හා යථාර්ථය අද්භූත ආකාරයකින් සම්පාත වනු පෙනෙන්නට තිබේ. සංසන්දනාත්මකව විමසා බැලීම වැදගත් වන්නේ මෙම අහඹු සම්පාත වීමයි.

ප‍්‍රබන්ධයේ සිට යථාර්ථය කරා

tamileditors.com  වෙබ් අඩවියේ පළ වූ පුවත අනුව අදාළ සාකච්ඡාව සිදුව ඇත්තේ 2005 දෙසැම්බර් මාසයේ හෝ ඒ ආසන්න වකවානුවකදී ය. එතැන් සිට සිදුවීම් පෙළගැසුණු ආකාරය පුනරාවර්ජනය කොට බැලීම දේශපාලනික වැදගත්කමක් සහිත ය. එය ආරම්භ වන්නේ නව වසර උදාවීමත් සමගම ශී‍්‍ර ලංකාවේ අභිනව විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩොලීසා රයිස් හමු වීමෙනි. 2006 ජනවාරි 05 වෙනිදා සිදු වූ අදාළ හමුවේ ප‍්‍රතිඵල පිළිබඳව ජනවාරි 21 වෙනිදා ‘ලංකා ඇකඩමික්’ වෙබ් අඩවිය මෙසේ වාර්තා කොට තිබිණ: ‘‘කැරළි කණ්ඩායම රටෙහි උතුරු සහ නැගෙනහිර පළාත්වල සිය බෙදුම්වාදී යුද්ධය ආරම්භ කරන්නේ නම්, තම මිලිටරි සහයෝගිතා වැඩසටහන් සවිමත් කිරීමටත්, රජයේ හමුදා සඳහා ලබාදෙනු ලබන පුහුණුකිරීම් වැඩි කිරීමටත් එත්සත් ජනපදය සූදානම පළ කළේය.’’

2006 ජනවාරි 09 වෙනිදා ජනාධිපති රාජපක්‍ෂ ආධාර කණ්ඩායමේ සම සභාපතිත්වය දරණ රටවල තානාපතිවරුන් කොළඹදී හමු වූ අතර එදිනම ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සමුළුවකට ප‍්‍රධාන ආරාධිත දේශකයා වශයෙන් සහභාගී වූ ශී‍්‍ර ලංකාවේ එක්සත් ජනපද තානාපති ජෙෆ්රි ලූනස්ටඩ් ‘ත‍්‍රස්ත විරෝධී කටයුතු සඳහා මුලපිරීම්ද ඇතුළත් ඇමරිකානු මිලිටරි පුහුණු හා සහායක වැඩ සටහන් තුළින් ශී‍්‍ර ලංකා රජයට තමන් සහාය වන බව’ට සහතික කර සිටියේය. ‘‘සාමය අත්හැර දැමීමට කොටි සංවිධානයට අවශ්‍ය වන්නේ නම්, වඩාත් ශක්තිමත් හා ශක්‍යතා පූර්ණ, අධිෂ්ඨාන සහගත ශී‍්‍ර ලංකා හමුදාවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බව නිරවුල්ව කියා සිටීමට අපි කැමැත්තෙමු’’යි හේ ප‍්‍රකාශ කළේය. සාමාන්‍ය වශයෙන් සළකතොත්, රටෙහි සේනාධිනායකයා හෝ හමුදා ප‍්‍රධානියෙකු විසින් කළ යුතුව තිබූ මෙම ප‍්‍රකාශය, කොළඹ ඇමරිකානු තානාපතිවරයා විසින් කරන ලද්දේ 2003 මුල් භාගයේදී දී ඇණහිටි සාම සාකච්ඡා යළිත් ආරම්භ කිරීමේ හැඟවුම් පළ වෙමින් තිබියදී ය.

2006 ජනවාරි 26 වෙනිදා විමුක්ති කොටි සංවිධානය සාකච්ඡා සඳහා සිය සූදානම නිල වශයෙන් නිවේදනය කර සිටියේය. ස්ථානය පිළිබඳ පැවැති මතභේද අවසාන කරමින්  පෙබරවාරි 22 හා 23 යන දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සාකච්ඡා සඳහා මුණ ගැසුණු රජයේ හා කොටි සංවිධාන නියෝජිතයෝ ජූනි 08 සහ 09 වෙනිදා යළිත් හමුවීමට එකඟතාව ඇති කරගත්හ. බැලූ බැල්මට වර්ධනය වෙමින් තිබූණේ සුබවාදයකි. නමුත් ඊට පටහැනිව යමින් අපේ‍්‍රල් 10 වෙනිදා කැනේඩියානු රජය නව ත‍්‍රස්ත මර්දන නීති උපයෝගී කොටගනිමින් කැනඩාව තුළ කොටි සංවිධානය තහනම් කරනු ලැබිණ. සාකච්ඡාවන් විසින් මතුකළ සුබවාදය වේගයෙන් අභාවයට යාම ඇරඹූණේ ඒත් සමග ය. tamileditors.com වෙබ් අඩවි වාර්තාව අනුව ‘‘ප්‍රොජෙක්ට් බීකන්’’ සැළැස්ම ආරම්භ වීමට නියමිතව තිබුණේ 2006 මැයි 01 වෙනිදායිනි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වූ ඩොනල්ඩ් කෑම්ප් දෙදින සංචාරයක් සඳහා කොළඹට ළඟා වූයේ මැයි 14 වෙනිදා ය. ලංකාවෙන් නික්ම යාමට පෙර මැයි 16 වෙනිදා එම්.ටී.වී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ හෙතෙම,  ‘මැයි අගදී ජපානයේ ටෝකියෝ නගරයේ හමුවීමට නියමිත ශ‍්‍රී ලංකාවට ආධාර දෙන රටවල සම සභාපතිවරුන්ගේ රැස්වීමේදී නැවත සාම සාකච්ඡා කරා යාමට ශී‍්‍ර ලංකාවට උපකාර කිරීමට බලාපොරොත්තු වන්නෙමු’යි පළමුව කියා සිටියේය. අනතුරුව එදිනම රජයේ රූපවාහිනී සංස්ථාව හා සාකච්ඡාවකට එක් වූ හෙතෙම ‘කොටි සංවිධානය යුරෝපයේ ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තමන් උපරිම සහාය සපයන බවත්, එම ලේබලය ඔවුන්ට හොඳින්ම ගැළපෙන බවත්’ දෙවනුව කියා සිටියේය.

ජපානයේ ටෝකියෝ නගරයේ සම සභාපතිවරුන්ගේ හමුව නියමිතව තිබූ මැයි 30 වෙනිදාම, යුරෝපය තුළ කොටි සංවිධානය තහනම් කළ බවට රාජ්‍යයන් 25කින් සමන්විත යුරෝපා සංගමය විසින් නිවේදනය කර සිටියේය.

බැලූ බැල්මට ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම අකුරටම දියත්වීම ආරම්භ වෙමින් තිබිණ. මාවිල් ආරු මතභේදය මුල කොට ගනිමින් සිව් වැනි ඊළම් යුද්ධය පුපුරා ගියේ ඉන් දෙමසක් ඇවෑමෙනි.

යුද මෙහෙයුම් සහ ‘ප්‍රොජෙක්ට් බීකන්’

2005 වසරේ අග භාගය වනවිට පැවැති යුද හා භූගෝලීය යථාර්ථයන්ට අනුකූලව ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම මගින් කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශ වෙරළබඩ කලාප තුනකට බෙදා වෙන්කළ බව tamileditors.com වෙබ් අඩවි වාර්තාවෙහි දැක්විණ. 2005 නිමාවන වන විට පැවැති කොටි පාලන ප‍්‍රදේශ ඒ අනුව බලතොත් බෙදා පෙන්විය හැක්කේ මෙපරිද්දෙනි: පළමුව, නැගෙනහිර පළාතේ මාන්කෙර්නි සිට පනිච්චන්කෙර්නි, වාකෙරෙ, කතිරවේලි හා වෙරුගල් දක්වාත්, තී‍්‍රකුණාමල වරායට දකුණින් වන ෆවුල් තුඩුවේ සිට ඊච්චලම්පත්තුව දක්වාත් වන වෙරළ තීරය එක් කළාපයකි. දෙවනුව, කෝකිලායි, හා කොක්කුතෝඩුවායි සිට අලම්පිල් හා මුලතිවු දක්වාත්, එතැන් සිට චුන්ඩිකුලම්, චෙම්පියන්පත්තු හා නාගර්කෝවිල් දක්වාත් දිවෙන උතුරු පළාතේ නැගෙනහිර වෙරළ තීරය තවත් කළාපයකි. තෙවනුව, සිලාවත්තුරෛ සිට වන්කාලෛ, විඩත්තල්තිවු හා ඉලූප්පායිකඩවෛ දක්වාත්, එතැන් සිට වෙල්ලාන්කුලම් හරහා පුනරීන් දක්වාත් විහිදෙන බටහිර මුහුදු තීරය තුන් වෙනි කළාපයකි. ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්මට අදාළ වෙබ් අඩවි වාර්තාව පළවන විට ආරම්භ වී නොතිබුණද, රජයේ හමුදා කි‍්‍රයාන්විතයන් මේ වනවිට ඇදී යන්නේ මෙකී වෙරළබඩ කළාපයන් අත්පත් කරගනිමිනි. ප‍්‍රබන්ධයක් සේ පෙණුනු වාර්තාව හා වත්මන් යථාර්ථය අතර පවතින බව පෙනෙන අද්භූත සමානත්වයේ එක් වැදගත් අංගයක් වන්නේ එයයි.

කෙසේ වුවද, අපේක්‍ෂිත ආකාරයෙන්ම යුද මෙහෙයුම් විසින් සුවිශාල මානුෂික අර්බුදයන් නිර්මාණය කෙරිණ. නැගෙනහිර මෙහෙයුම් ආරම්භ වී නව මාසයක් ගත වන විට 165,000ක සරණාගත ජනගහණයක් මඩකළපු දිස්ති‍්‍රක්කය කරා සේන්දු වූ බව රජයේ දිස්ති‍්‍රක් ලේකම්වරයා විසින් 2007 මාර්තුවේදී තහවුරු කර සිටියේය. කොටි ගරිල්ලන්ගේ පාලනය යටතේ පැවැති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකට අයත් ප‍්‍රදේශවලට එල්ල කළ බර අවි ප‍්‍රහාර උග‍්‍ර වත්ම එහි දිවි ගෙවූ 128,000ක ජනගහණයෙන් 100,000කට වැඩි පිරිසක් මඩකළපුව කරා පැමිණ තිබිණ. මාර්තු මාසය අග භාගය වන විට මඩකළපු ජනගහණයෙන් 38% කට උන්හිටි තැන් අහිමිව තිබූ අතර එයින් 50%ම තාවකාලික කූඩාරම්වල දිවි ගෙවමින් සිටියහ. ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්මෙන් පූර්වකල්පනය කරන ලද පරිදිම තීව‍්‍ර වන මානුෂික අර්බුදයන්ට ප‍්‍රතිචාර වශයෙන් විදේශගත දෙමළ ජනයා වීදි කරා ගොණුවනු දක්නට ලැබුණේ මීට සමාන්තරවය. ඔවුන් මැඩලීම සඳහා ආධාර දෙන රටවල් විසින් ගත යුතු යැයි ශී‍්‍ර ලංකා රජයේ බලධාරීන් විසින් නිර්දේශ කළ කි‍්‍රයාමාර්ග පිළිබඳ ඉහත කී වෙබ් අඩවි වාර්තාවේ සඳහන් අනුමානයන් යථාර්ථය හා සම්පාත වීම ඇරඹුණේ එතැන් සිටය.

යුද මෙහෙයුම් ආරම්භ වී මාසයක් ඇවෑමෙන් 2006 අගෝස්තුවේදී එක්සත් ජනපදයේ වොෂින්ටන්, නිව්යෝර්ක් හා නිව් ජර්සි නගරවල දියත් වූ විශේෂ මෙහෙයුම් මගින් දෙමළ කි‍්‍රයාකාරිකයින් රැසක් අත් අඩංගුවට ගැනිණ. 2007 අපේ‍්‍රල් 01 වෙනිදා ප‍්‍රංශයේ විශේෂ පොලිස් මෙහෙයුමක් මගින් දෙමළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා දෙමළ පුනරුත්ථාපන සංවිධානයට සම්බන්ධ කි‍්‍රයාකාරිකයින් 17 දෙනෙකු පැරිසියේදී එකවර අත් අඩංගුවට ගන්නා ලදී. 2007 මැයි පළමුවෙනිදා ස්විට්සර්ලන්තයේ සූරික් නගරයේදී ස්විස් දෙමළ කි‍්‍රයාකාරිකයින්ද අත් අඩංගුවට ගනු ලැබූ අතර ජූනි 21 වෙනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර විශේෂ මෙහෙයුමක් මගින් දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ප‍්‍රමුඛතම කි‍්‍රයාකාරිකයින් අත්අඩංගුවට ගැණින.

අන්තර්ජාතික මෙහෙයුම් එතෙකින් නොනැවතිණ.

වන්නි මෙහෙයුම් ආරම්භ වීමත් සමගම අවතැන්වන ජනයා මුහුණ දෙන මානුෂික අර්බුදයන් ගැඹුරුවනු පෙනෙනන්ට තිබුණි. එසේ තිබියදී 2007 නොවැම්බර් 15 වෙනිදා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විසින් දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ බැංකු ගිණුම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවන ලදී. කැනඩාව තුළ දෙමළ ජන විරෝධතා සංවිධානය කළ ලෝක දෙමළ සංවිධානය කැනේඩියානු රජය විසින් ත‍්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කරන ලද්දේ 2008 ජූනි 13 වෙනිදාය. ඉන් සතියක් ඇතුළත ජූනි 18 වෙනිදා ඉතාලි ආරක්‍ෂක අංශ විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් විරෝධතා සංවිධානය කළ දෙමළ කි‍්‍රයාකාරිකයින් 30 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබිණ.

පළමුවර කියවීමේදී කුමන්ත‍්‍රණ න්‍යාය මත පදනම්ව ලියන ලද වාර්තාවක් සේ හැඟුණද, ගතව ගිය වසර එක හමාරක කාල වකවානුව තුළදී ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්මට අදාළ මූලාශ‍්‍ර, යථාර්ථය විසින්ම සපයමින් ඇති බවක් පෙනේ.

2009 ඊළාම් යුද්ධයේ කඩඉමද?

කොටි සංවිධානය පරාජය කිරීමේ මෙහෙයුම් ලබන වසරේ මැද භාගය වනවිට සම්පූර්ණ කළ හැකි බවත්, අනතුරුව තවදුරටත් ඉතිරිව ඇති ගරිල්ලන් සොයා විනාශ කිරීමේ සීමිත මෙහෙයුම් ගෙනයන බවත් යුද හමුදාපති සරත් ෆොන්සේකා විසින් ජූනි 30 වෙනිදා කොළඹදී පැවති විදේශ මාධ්‍යකරුවන්ගේ හමුවකදී ප‍්‍රකාශ කොට තිබිණ. 2009 මැයි මාසයෙන් මූලික මෙහෙයුම් අවසන් කිරීමත්, ඉන් අනතුරුව දෙවසරක කාලයක් දිවෙන ‘පවිත‍්‍ර කිරීමේ මෙහෙයුම්’ පිළිබඳවත් 2007 මුල් භාගයේදී පළ වූ ඉහත වෙබ් අඩවි වාර්තාව කර ඇති සඳහන අපූර්ව ලෙස මෙකී ප‍්‍රකාශය හා සැසඳේ.

බැලූ බැල්මට මූලාශ‍්‍ර රහිත අනුමානයන් ගහණ ප‍්‍රබන්ධයක් සේ පෙණුනු ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම පිළිබඳ වාර්තාව, යථාර්ථයේ සිදුවීම් හා සම්පාත වෙමින් ඇත්තේ අහඹුවකින්ද? නැතහොත් නොවැළැක්විය හැකි නියතයකින්ද?

නොවැසූ පොතක් බඳු ඉතිහාසයේ එළඹෙන ජවනිකා එකී ගැටළුව විසඳාදෙනු ඇත.☐

ෆේබියස්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.