JDS Sinhala

ධර්මරත්නම් සිවරාම්: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් - I

ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් මාසයේදී  පැහැරගෙන ගොස් මරා දමන විට ඔහු වැදගත් ලියැවිල්ලකට මුලපුරා තිබුණි. ඒ, සිංහලට පෙරළා මෙහි පළ කරන ''ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද අභිලාෂයන්' නමැති අවසන් නොකළ ලිපියයි. කලාපීය භූ දේශපාලනික චලනයන් පිළිබඳ අනවරත හැදෑරීම් කිසිවිටක අත් නොහළ සිවරාම්, විදේශ දූත මණ්ඩල, ආරක්‍ෂක සහ ජාත්‍යන්තර උපාය මාර්ග අධ්‍යයන කවයන් යනාදී මූලාශ්‍රයන් සමග දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනඟාගත් අන්තර්  සබඳතා පාදක කොට ගනිමින් ඉන්දියානු සාගරය කේන්ද්‍රීය කොටගෙන සිදුවෙමින් පවතින වැදගත් උපාය මාර්ගික වෙනස්කම් පිළිබඳව සිය නිරීක්‍ෂණයන් ලියා තැබුවේය. ශ්‍රී ලංකාවට නැගෙනහිරෙන් අරාබි මුහුද සහ පර්ෂියානු ගල්ෆ් කලාපය ආශ්‍රිතවද,  බටහිරෙන් මලක්කා සමූද්‍ර සන්ධිය, දකුණු චීන මුහුද හා පැසිෆික් සාගරාශ්‍රිතවද සිදුවන තීරණාත්මක විපර්යාසයන් ගැන ඔහුගේ ආලෝචනාවන් සටහන් කර තබන විට, එක්සත් ජනපදයේ ප්‍රාථමික මූලෝපායයික අවධානය යුරෝ අත්ලාන්තික් කලාපයෙන් ඉන්දියානු සාගර කලාපයට මාරුවීම නිල වශයෙන් නිවේදනය කෙරී නොතිබිණ. එමෙන්ම, එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ක්‍රියාකාරීත්වයන් ගැන ඔහු විසින් මෙහි සිදුකරන වැදගත් අනාවරණයන් එඩ්වඩ් ස්නෝඩන්ගේ ආන්දෝලානාත්මක හෙළිදරව් කිරීම්වලට අට වසරකට පෙර සිදු කළ දෑ බැව් සැළකිල්ලට ගැනීම ද වැදගත් ය.

සිව්වැනි ඊළම් යුද්ධය ඇවිළ යාමේ නියතතාව පෙරදුටු සිවරාම්, ඊට පාදක වන සැබෑ හේතු සාධක සහ උත්ප්‍රේරකයන් වඩා පුළුල් කලාපීය භූ දේශපාලන සන්දර්භයක් තුළ වටහා ගත්තේය. පිළිමල් බලයන් අතර තීව්‍ර වන පස මිතුරු භූ දේශපාලන අභිලාෂයන්ගේ ආතතිය විසින් ලංකාවේ යුදමය න්‍යාය පත්‍රය නොවැළැක්විය හැකි ලෙස පෙරට ගනු ඇතැයි ඔහු පූර්වකල්පනය කරන ලද්දේ එහෙයිනි. එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය අතර කලාපීයව උත්සන්න වීමට නියමිත උපාය මූලික පරස්පරතාවන්ගේ දිශාවන් ගැන ඔහුගේ ගණන් බැලීම් හා සමකාලීන යථාර්ථය අතර වෙනස්කම් මතුව තිබුණද, ඔහු විසින් එළඹි නිගමනයන්ට පිටුබල දුන් වෙනස් විෂය මූල තත්ත්වයන් එවකදී පැවතුණි. උදාහරණයක් වශයෙන්, ඉන්දියානු විරෝධතා හේතුවෙන් අත්සන් නොකොට කල් මරමින් තිබුණු ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර 'ප්‍රතිග්‍රහණ සහ සේවා හුවමාරු ගිවිසුම හෙවත් අක්සා ගිවිසුමෙහි වැඩ අවසන් කරන ලද්දේ සිවරාම්ගේ මරණයෙන් දෙවසරකට පසු ය.

තමන්ගේ ඒකායන අභිලාෂය 'ලොව පුරා පීඩිත ජනයාට සිය පීඩනයෙන් ගැළවීමට උපකාරී වනු පිණිස සංගත දැනුම් පද්ධතියක් සම්පාදනය කිරීම' බැව් සිවරාම් සිය බුද්ධිමය චරිතාපදානය ලියූ මහාචාර්ය මාක් විටෙකර් හා ප්‍රකාශ කරන ලද්දේ ඇයිදැයි වටහා ගන්නට කොටස් දෙකකින් පළ කෙරෙන මේ ලිපිය අවකාශ සළසනු ඇත. ශ්‍රී ලංකාව දිවයින කොටගත් ජනයාගේ සාමූහික ඉරණම කෙරෙහි කලාපීය හා ගෝලීය බලයන්ගේ ක්‍රියාකාරීත්වයන් කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇතිදැයි ඔහු විසින් පළ කරන ලද අනුමානයන් වර්ගෝත්තමවාදය ශක්තිමත් කරන දූපත්වාදී මනෝ භ්‍රාන්තියකට නොව, ඉන් තීරණාත්මක ගැළවීමට අවශ්‍ය ඉදිරි දර්ශනයක් සඳහා පදනමක් සම්පාදනය කරයි. ව්‍යාජ බටහිර විරෝධය තොරොම්බල් කරමින් නැගී ආ රාජපක්‍ෂවාදයට පිටුබල දුන් කාරණා මෙන්ම, ඉකුත් තුන් මාසය ඇතුළත එකක් පසුපස එකක් වශයෙන් සිදු වූ එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරීන් ගණනාවකගේ ලංකාගමනයන්ගේ භූ දේශපාලනික හැඟවුම් වටහා ගැනීමටද සිවරාම්ගේ විශ්ලේෂණය, විචාරශීලී සිංහල පාඨකයාට මං විවර කර දෙනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

සංස්කාරක කමිටුව


ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් දකුණු ආසියාවේ සහ ආසියාව තුළ එහි මිලිටරි අරමුණු සමඟ අත්‍යන්ත වශයෙන්ම බැඳී පවතී.

මේ හේතුවෙන් ශී‍්‍ර ලංකාව තුළ එක්සත් ජනපද හමුදාමය සහ ඔත්තු සේවා අභිලාෂයන් වටහා ගැනීම සඳහා පොදු වශයෙන් ආසියාවටත්, නිශ්චිතව කිවතොත් දකුණු ආසියාවටත් අදාළව එක්සත් ජනපද උපායික අරමුණු පිළිබඳ සංක්‍ෂිප්ත විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙහිදී ආසියාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අරමුණුවලට අදාළ කේන්‍ද්‍රීය කාරණාව වන්නේ ‘කලාපීය හෝ මහාද්වීපික බලාධිකාරයක නැගීම වැළැක්වීමේ’ අභිලාෂයයි. මෙම අරමුණ ප‍්‍රධාන හේතු දෙකක් මත වැදගත් කොට සළකනු ලැබේ.

1. එක්සත් ජනපදයට, පෘථිවියේ අතිශයින් වැදගත් කොටසකට ආර්ථික, දේශපාලන සහ යුදමය වශයෙන් ප‍්‍රවේශවීමේ අවකාශය ඇහිරී යාම වැළැක්වීම.

2. අතීතයේදී සෝවියට් සංගමය වෙතින් එල්ල කළ ආකාරයේ ගෝලීය අභියෝගයක් එක්සත් ජනපදයට එල්ල කළ හැකි ආකාරයෙන් සම්පත් ඒකරාශී වීමක් වැළැක්වීම.

මේ මොහොතේදී ආසියාවේ කිසිදු රාජ්‍යයක් තමන්ට එවැනි තර්ජනයක් එල්ල නොකරතැයි එක්සත් ජනපදය විශ්වාස කරයි. නමුත් චීනය, ඉන්දියාව සහ ඉරානය යන රාජ්‍යයන් ස්වාධීනව හෝ රුසියාව ද ඇතුළත් කලාපීය සන්‍ධානයන්ගේ හවුල්කරුවන් වශයෙන් හෝ ආසියාව තුළත්, දිගුකාලීනව ලෝකය තුළත් එක්සත් ජනපද අභිලාෂයන්ට තර්ජනය කිරීමට සමත් මහාද්වීපික බලයන් වශයෙන් වර්ධනය වීමට විභවයක් ඇති බව එක්සත් ජනපදයේ විශ්වාසයයි.

පෙන්ටගන් අධ්‍යයනයක්

එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කොට ඇති කොටසක් මගින් කිසියම් රටක් කලාපීය හෝ මහාද්වීපික බලවතෙකු වීම වැළැක්විය හැකි ආකාරයන් තුනක් පිළිබඳව සාකච්ඡා කරයි. සිව් වැනි ආකාරයක් ද මෙම ලිපියේ දක්වා තිබේ.

1. කලාපය තුළ යුදමය වශයෙන් කි‍්‍රයාකාරී භූමිකාවක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදයට අවකාශ සැළසීම, ස්වකීය ආරක්‍ෂණ අභිලාෂයන්ට වාසිදායක වන බැව් මතභේදයට මුල් වී ඇති රාජ්‍යයට ඒත්තු ගැන්වීම.

2. එක්සත් ජනපද ගුවන් හමුදාවට කඳවුරු පහසුකම් නිර්මාණය කර ගැනීමේ අවස්ථා හිමිකර ගැනීම මගින් අවසාන වශයෙන් කලාපය තුළ සිදුවන වර්ධනයන් හැඩගැස්වීම අරමුණු කොට ගත් යුදමය සන්‍ධානයන් කලාපය තුළ වෙනත් රාජ්‍යයන් සමඟ ගොඩනංවා ගැනීම. මෙමගින් පුළුල් පරාසයක පැතිරුණු ‘පරිදර්ශනයන් සහ මෙහෙයුම්’ (scenarios & operations) සමඟ ගණුදෙනු කිරීමේදී වැදගත් වන්නා වූ එක්සත් ජනපද බලය කලාපය තුළ ප‍්‍රක්‍ෂේපණය  කිරීමට ඉඩ ප‍්‍රස්ථා සැපයෙනු ඇත.

3. කලාපීය බලයක් සඳහා විභවයක් සහිත වෙනත් රාජ්‍යයන් සමඟ, ආසියාව තුළ එක්සත් ජනපද අභිලාෂයන්ට හානිදායක විය හැකි ආකාරයේ ගොනුවීම් කරා අදාළ රාජ්‍යය යොමු වීම වැළැක්වීම.

4. කලාපීය බලවතෙකු බවට වර්ධනය වීමේ විභවයක් සහිත රාජ්‍යයන් වෙතින් එක්සත් ජනපදය සහ එහි පාක්‍ෂිකයන්ට එල්ල විය හැකි අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්සත් ජනපද නායකත්වය සහිත එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් හෝ වෙනත් තත්කාර්ය මෙහෙයුම් සැළසුම් කිරීමට සහාය ලබාගැනීමේ අරමුණ පෙරදැරිව, එක්සත් ජනපද උපායික අභිලාෂයන්ට අභියෝග කිරීමට අඩුම ඉඩක් තිබෙන රාජ්‍යයන් සමග දේශපාලන සහ ආර්ථික සබඳතා ගොඩනංවා ගැනීම.

මෙම සන්දර්භය තුළ දකුණු ආසියාව තුළ එක්සත් ජනපදයේ ප‍්‍රධාන අභිලාෂයන් පහත පරිදි වේ.

1. ඉන්දියාවේ න්‍යෂ්ටික සහ බැලිස්ටික් මිසයිල ශක්‍යතා සංවර්ධනය කර ගැනීමෙන් ඔවුන් වැළැක්වීම හෝ එම අදහස් වෙනස් කිරීමට පොළඹවා ගැනීම.

2. ආසියාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් අවනිශ්චය කිරීම සඳහා චීනය හෝ රුසියාව සමඟ හෝ ඒ රාජ්‍යයන් දෙකම සමඟ හෝ එසේත් නැතිනම් ප‍්‍රංශය සමඟ හවුලක් ඇති කරගැනීමෙන් ඉන්දියාව වැළැක්වීම. එක්සත් ජනපදය මෙය මුදුන්පත් කරගැනීමේදී අනුගමනය කරන වෙනත් ආකාරයන්ට අමතරව, ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇත්ත වශයෙන්ම ඇති කර ගැනීම හෝ එසේ ඇති බවට අදහසක් පැතිරවීම මගින් ද උත්සාහ දරයි.

3. උප මහාද්වීපය තුළ සමස්ත උපායික ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදයට ඉඩ ප‍්‍රස්ථා සැලසීම ස්වකීය අභිලාෂයන්ට වාසිදායක බැව් ක‍්‍රමානුකූලව නවදිල්ලියට ඒත්තු ගැන්වීම. මෙසේ කිරීම සඳහා ආසියානු කලාපය තුළ ස්වකීය උපායික රැඳී සිටීම ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට එක්සත් ජනපදයට සිදුවන අතර අසල්වැසි කලාපය තුළ තමන්ට වැදගත් අභිලාෂයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා හෝ ස්වකීය  බලය ප‍්‍රක්‍ෂේපණය කිරීම සඳහා සිය හමුදාමය අතිරික්තයන් යොමුකිරීම සඳහා වූ අවකාශයක් නවදිල්ලියට ඉතිරි නොකරන ආකාරයෙන් ඉන්දියානු හමුදාවන් උපරිම වශයෙන් විසුරුවා තැබීම. මේ ප‍්‍රවේශය සඳහා මූලික පියවර වන්නේ පාකිස්ථානයේ යුදමය තත්ත්වය නංවාලීමයි.

ඉන්දු - ඇමරිකානු ආතතීන්

රුසියාව සමඟ ඉන්දියාව ඇති කරගෙන තිබූ ආරක්‍ෂක මිත‍්‍රත්ව ගිවිසුම වර්තමානය වන විට දියාරුව ගොස් ඇති බැවින් කලාපය තුළ එක්සත් ජනපද බලය ප‍්‍රක්‍ෂේපණය කිරීමට තවදුරටත් එය බාධාවක් නොවේ. කෙසේ වුවද කලාපය තුළ ඇමරිකානු බලය ප‍්‍රක්‍ෂේපණය කිරීමේ කොටසක් වශයෙන් උප මහාද්වීපයේ භූමිය මත යුද්ධයක් ගෙනයාමට හැකියාවක් නොපවතී. මන්දයත්, ඉන්දියානු හමුදාවන් සමඟ සටන් කිරීමට එක්සත් ජනපද කාර්ය සාධන බලකායන්ට (US expeditionary forces) අවශ්‍ය කරන ඉදිරි කඳවුරු පහසුකම් නොමැතිකමින් සහ සීමිත උපක‍්‍රමික අවස්ථා හේතුවෙන් ඔවුන්ට අත්විඳීමට සිදුවන හානිය ඉහළ එකක් විය හැකි නිසා ය.

එම හේතුවෙන් මේ වනවිට උප මහාද්වීපය තුළ එක්සත් ජනපද බල ප‍්‍රක්‍ෂේපණය සඳහා ඇති ප‍්‍රධානතම මාධ්‍යය බවට පත්ව ඇත්තේ එක්සත් ජනපද පැසිෆික් සේනාංකයන්ගේ සහාය සහිතව එක්සත් ජනපද ගුවන් හමුදාවන් උපායිකව විහිදුවීමයි. සියල්ලටමත් වඩා, දකුණු ආසියාව තුළ එක්සත් ජනපද උපායික රැඳී සිටීම වර්ධනය සහ ශක්තිමත් කරන ප‍්‍රධානතම සංරචකය ද වනු ඇත්තේ එයයි.

එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කලාපය තුළ කඳවුරු අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය කොට හඳුනා ගැනීම් සිදුකර තිබේ. මෙම අවශ්‍යතා වූ කලී ඉන්දියාව සහ පාකිස්ථානය අතර පූර්ණ යුද්ධයක් පුපුරා යාම සහ ප‍්‍රත්‍යන්ත රටවලට සිදුකරන ඉන්දියානු මිලිටරිමය ‘ආක‍්‍රමණයන්’ දක්වා වූ පුළුල් පරාසයක විහිදුනු පරිදර්ශනයන් සහ ක්‍රියාන්විතයන් මත පදනම්ව පැන නැගීමට ඉඩ තිබෙතැයි අපේක්‍ෂා කළ හැකි ඒවා ය.

එමෙන්ම මෙකී අධ්‍යයනයන් ඔස්සේ අදාළ ප‍්‍රදේශය තුළට 'අතිරේක ආවේක්‍ෂණ සම්පත්' (additional surveillance assets) යෙදවීම මගින් සෝදිසි විමර්ශන කි‍්‍රයාකාරීත්වයන් තීව‍්‍ර කිරීමට ද තීරණය කරන ලදී. ශී‍්‍ර ලංකාව තුළ ස්ථානගත කොට ඇති ජාතික ආරක්‍ෂක ඒජන්සියේ (National Security Agency - NSA) නියෝජනය වර්ධනය කොට ශක්තිමත් කිරීමට ඇතුළත් වන මෙකී ‘සම්පත්’ සම්පාදනය කිරීම මූලික වශයෙන් එක්සත් ජනපද හමුදාවන්ට පැවරී තිබේ.  දකුණු ආසියාව තුළ එක්සත් ජනපද කාර්ය සාධන බලකායන්ට අවශ්‍ය කඳවුරු පහසුකම් වර්ධනය කිරීම තරමටම ඕනෑම තත්ත්වයකට ගැළපෙන ආකාරයෙන් ඔත්තු සේවා සූදානම් කොට තැබීම ද වැදගත් වේ.

'කොටි හඬ' වොෂින්ටනයට

මෙය ක්‍රියාවට නංවා ඇත්තේ ඉන්දීය අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික සහ මිසයිල සංවර්ධනය කිරීමේ පහසුකම් නිරීක්‍ෂණය කිරීමේ අදහසක් ඇතුව ය. ඉන්දීය අර්ධද්වීපයේ වැඩි කොටසකටත්, උප මහාද්වීපයේ නැගෙනහිර වෙරළබඩ ප‍්‍රදේශයන්ටත් අදාළ නීරීක්‍ෂණ කටයුතු වර්තමානයේ සිදු කෙරෙනුයේ එක්සත් ජනපද ආරක්‍ෂක ඔත්තු සේවා ඒජන්සිය සහා ජාතික ආරක්‍ෂක ඒජන්සිය සතු ඉලෙක්ට්‍රෝනික ඔත්තු සේවා සහ වෙනත් සම්පත් සැළකිය යුතු ප‍්‍රමාණයක් රඳවා ඇති තායිලන්තයේ සහ සිංගප්පූරුවේ සිට ය. තායිලන්තයේ ස්ථානගත ජාතික ආරක්‍ෂක ඒජන්සියට අයත් කඳවුර විසින් නිරීක්‍ෂණයට හසු කරනු ලබන දෑ අතර ශී‍්‍ර ලංකාවේ සිට සිදු කරනු ලබන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නිවේදන කටයුතු ද වේ. උදා: ජාතික ආරක්‍ෂක ඒජන්සියේ තායිලන්ත මධ්‍යස්ථානයට අනුයුක්ත කොට ඇති පරිවර්තකයන් විසින් ‘කොටි හඬ’ ගුවන් විදුලි විකාශයේ වැඩ සටහන් විකාශනයෙන් පැයක් ඇතුළත දී ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කොට වොෂින්ටන් මූලස්ථානයට සපයනු ලබයි.

ඉන්දීය උප-මහාද්වීපය තුළ එක්සත් ජනපද ගුවන් හමුදා මෙහෙයුම් සඳහා සහාය සපයනු පිණිස අවශ්‍ය කඳවුරු පහසුකම් පිළිබඳ එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යයන වාර්තාවේ අනාවරණය කරන ලද කොටසක දැක්වෙන්නේ "ලොව මෙම කොටසේ කඳවුරු පහසුකම් යම් ප‍්‍රමාණයකට සීමිත" බව ය. අදාළ අධ්‍යයනය වැඩිදුරටත් මෙසේ දක්වයි: "උප මහාද්වීපයට ආසන්නතම එක්සත් ජනපද නිත්‍ය මුරපොළ දියේගෝ ගාර්ෂියාව වන අතර අප මෙහිදී ‘ආසන්නතම’ යන යෙදුම භාවිතා කරන්නේ කල්පනා කර බැලීමෙනි. මන්ද යත් අදාළ කඳවුර පිහිටා තිබෙන්නේ ඉස්ලාමාබාදයේ සිට නාවුක සැතපුම් 2,500 දුරින් වන අතර (කාශ්මීරයේ සිට ද අදාළ කඳවුරට ඇත්තේ ආසන්න වශයෙන් මීට සමාන දුරකි.) නවදිල්ලියේ සිට ඊට ඇති දුර නාවුක සැතපුම් 2,200 කි."

කඳවුරු පහසුකම් සඳහා ඉන්දියාව ආසන්නයේ වන ප‍්‍රදේශ තුනක් පොදු වශයෙන් මෙකී අධ්‍යයන වාර්තාව විසින් හඳුනාගනියි. ඒවා ඉන්දියාවට නැගෙනහිරින්, බටහිරින් සහ උතුරින් පිහිටා තිබේ.

පළමුවැන්න ඉන්දියාවෙන් නැගෙනහිර ප‍්‍රදේශයයි. "මෙම කාලපය තුළ පහසුකම් සීමිත වන අතර එක්සත් ජනපදය හා බුරුමය අතර සම්බන්‍ධතා දැඩි පීඩනයකට යටත්ව ඇතැයි" අධ්‍යයන වාර්තාවේ කතුවරුන් ලියයි. අවසාන වශයෙන් මෙම ප‍්‍රදේශය චීනයට ඇති ආසන්නභාවය සළකා බැලූ විට, පවතින ආතතීන් ඉහළ යන තත්ත්වයක් තුළ දී සමීප මිලිටරි සබඳතා සඳහා ඇති අවස්ථා සීමිත ය.

දෙවැනි ප‍්‍රදේශය සමන්විත වන්නේ මධ්‍යම ආසියානු ජනරජයන්ගෙනි. කලින් 'සෝවියට් සමූහාණ්ඩු' වශයෙන් පැවති මෙම රාජ්‍යයන් සමඟ සබඳතා වර්ධනය කිරීම ඔස්සේ දකුණු ආසියාවට ප‍්‍රවේශ මාර්ගයන් වඩ වඩාත් වර්ධනය කෙරෙනු ඇත. ඉන්දු උප-මහාද්වීපික කලාපයට ඇතුල් වීමේ වටිනා ප‍්‍රවේශ දොරටු වශයෙන් උස්බෙකිස්ථානය සහ කසාක්ස්ථානය වැනි මධ්‍යම ආසියානු රාජ්‍යයන් භාවිතා කළ හැකි බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

"තුන්වැනි කලාපය මැද පෙරදිග ප‍්‍රදේශ වන අතර දකුණු ආසියාව තුළ මෙහෙයුම් පවත්වාගෙන යාමේදී වඩාත්ම වැදගත්භාවය අප දකින්නේ මෙම කලාපය තුළ ය. ගල්ෆ් යුද සමයේදී පැහැදිලිව පෙන්නුම් කළ පරිදි මෙම ප‍්‍රදේශය තුළ වන ගුවන් කඳවුරු පහසුකම් අන් කිසිවකට දෙවෙනි නොවන අතර කලාපයේ ආණ්ඩු සාපේක්‍ෂව ස්ථාවරභාවයක් සහිත, බොහෝ දුරට එක්සත් ජනපද අවශ්‍යතා සමඟ එක පෙළට සිට ගන්නා ජාතික අභිලාෂවලින් සැදුම්ලත් ඒවා ය.’’

ඉන්දියාව ආසන්නයෙන් කඳවුරු

භූගෝලීයව සැලකූ විට  ඕමානය ඉන්දු-පාකිස්ථාන දේශ සීමාවට නාවුක සැතපුම් 500ක් තරම් සමීපව පිහිටා තිබේ. එක්සත් ජනපදය සහ  ඕමාන ආණ්ඩුව අතර සබඳතා යහපත් තත්ත්වයක පවතින අතර  ඕමානය ඇමරිකාවේ විශ්වාසනීය මිත‍්‍රයකු වශයෙන් සිය පක්‍ෂපාතීත්වය පෙන්නුම් කර තිබේ. මෙයට අතිරේක වශයෙන් කඳවුරු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් එහි හොඳින් සංවර්ධනය කොට ඇත. සීබ් ජාත්‍යන්තර කඳවුර සහ මසීරාහ් දිවයින යන කඳවුරු දෙක එක්සත් ජනපද ගුවන් හමුදා මෙහෙයුම් සඳහා නිශ්චිත වශයෙන්ම හොඳින් ගැළපේ. (අදාළ ලියැවිල්ලේ මෙම කොටස ශී‍්‍ර ලංකාව තුළ එක්සත් ජනපද කඳවුරු පහසුකම් සපයාගැනීමට අදාළව මේ වන විටත් අනාවරණය නොකළ අධ්‍යයනයක් පිළිබඳ මූලික මඟ පෙන්වීමක් සපයයි. වැඩිදුර තොරතුරු මෙම ලිපියේ ඉදිරියේදී දැක් වේ.)

දකුණු ආසියාව තුළ එක්සත් ජනපදයට ඇති අවශේෂ කඳවුරු පිහිටා ඇත්තේ තායිලන්තයේ සහ සිංගප්පූරුවේ ය. එක්සත් ජනපදයට තායිලන්තය සමඟ දිගු කලක සිට පැවත ආ ආරක්‍ෂක ගිවිසුමක් තිබෙන අතර තායිලන්ත රාජකීය නාවුක හමුදාවට අයත් යූ ටපාඕ ගුවන් මධ්‍යස්ථානය ඔවුහු ප‍්‍රයෝජනයට ගනිති. සිංගප්පූරුව සමඟ ද ඒ හා සමාන ආරක්‍ෂක ගිවිසුමක් එක්සත් ජනපදයට තිබේ. නමුත් ඉහතින් සඳහන් කළ එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යයන වාර්තාව විසින් පෙන්වා දෙන්නේ මධ්‍යම සෞදි අරාබියාවේ කඳවුරුවල සිට නවදිල්ලියට නාවුක සැතපුම් 1,600 ක් දුර වන අතර සිංගප්පූරුවේ සිට නාවුක සැතපුම් 2,600 ක් දුර බවයි.

එම නිසා 1990 ගණන්වල සිට ඉන්දියාවට වඩාත් ආසන්න රටවල් තුළින් කඳවුරු පහසුකම් සපයා ගැනීම පිළිබඳ එක්සත් ජනපදය කි‍්‍රයාකාරී ලෙස සොයා බලන්නට විය. මෙම කි‍්‍රයාදාමය තුළදී අදාළ ඉලක්ක රටවල් තුළ ස්වකීය ප‍්‍රධාන ආරක්‍ෂක හවුල්කරුවන් වන කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය සහ සිංගප්පූරුව ආදී රටවල් විසින් භුක්ති විඳින ඔත්තු සේවා, මිලිටරි, රාජ්‍ය තාන්ති‍්‍රක සහ ආර්ථික අවකාශයන් සහ ප‍්‍රවේශ ඉඩකඩ එක්සත් ජනපදය විසින් ප‍්‍රයෝජනයට ගන්නා ලදී.

මෙම සන්දර්භය තුළ දකුණු ආසියාවේ කඳවුරු ලා ගැනීම සඳහා වන අවස්ථාවන් සොයා බලනු විනා එක්සත් ජනපද ගුවන් හමුදාවන් සඳහා මිලිටරි කඳවුරු සංකීර්ණයක් අභිනවයෙන් ගොඩනැංවීමට එක්සත් ජනපදය කි‍්‍රයා නොකරන බව අවධාරණය කළ යුතුව තිබේ.☐

(මතු සම්බන්ධයි)

ධර්මරත්නම් සිවරාම්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.