JDS Sinhala

ධර්මරත්නම් සිවරාම්: දෙමළ අරගලය සහ භූ දේශපාලන බල රටා

ධර්මරත්නම් සිවරාම්ගේ නොදිගු දිවි සැරිය තුළ ඔහු විශිෂ්ඨයෙකු බවට පත් වන්නේ ජීවන පරිචය හා පොතපතින් ලත් පැතිරුණු විෂය දැනුම හේතුවෙන් නොවේ - තමන් ප්‍රත්‍යක්‍ෂ කොට ග්‍රහණය කරගත් දුර්බෝධී සංකීර්ණ යථාර්ථයන් සරල හා සුගම ලෙස සාමාන්‍ය ජනයාට ඒත්තු ගැන්වීමට ඔහු දැක් වූ දේශපාලන කෞෂල්‍යය හේතුවෙනි. ලාංකීය දේශපාලනය ගැන පොදු වශයෙනුත්, දෙමළ ජාතික අරගලය ගැන නිශ්චිත වශයෙනුත් ඔහු ලියන ලද ලිපි ලේඛන හරහා සම්පාදනය කළ ගැඹුරු ආලෝචනාවන් යළි යළිත් කියවා බැලීම දෙමළ පාඨකයන්ට තරමටම, විචාරශීලී සිංහල පාඨකයන්ට ද වැදගත් වෙතැයි අප කල්පනා කරන්නේ, හුදකලා දූපත්වාසී මානසික කුරුබිලියෙන් අප මුදවා වඩා පුළුල් කලාපීය සන්දර්භයක් තුළ අ‍ප සියල්ලන්ගේ සාමූහික ඉරණම වටහා ගන්නට එමගින් මං විවර කරන නිසා ය.

පැහැරගෙන ගොස් මරා දමන්නට වසරකට පෙර,  2004 මැයි මාසයේදී ජර්මනියේ දේශන මාලාවකට සහභාගී වෙමින් ඔහු පළ කළ අදහස් ඇසුරින් සංක්‍ෂිප්ත ලෙස සකසා ගන්නා ලද මෙම ලිපිය ඊට කදිමට දෙස් දෙයි. ඇෆ්ගනිස්ථාන හා ඉරාක ආක්‍රමණයන් විසින් තීරණාත්මක ලෙස හැඩ ගස්වන ලද නව ගෝලීය හා කලාපීය භූ දේශපාලන බල රටාවන් ලංකාව කෙරෙහි ඇති කිරීමට නියමිත සංයුක්ත බලපෑම ගැන සිවරාම් එකළොස් වසකට පෙර පළ කළ කල්පනාවන්, ලංකාවේ යුද්ධාවසානයේ ලේ වැකි පරිච්ඡේදත්, අප ජීවත්වන වත්මන් අවධියත් සම්බන්ධයෙන් කල් තබා සිදුකළ වැදගත් හා විස්මය දනවන පුරෝකථනයක් සේ සැළකිය හැකි ය.

සංස්කාරක කමිටුව


ජාතික ප‍්‍රශ්නය මුල්කොටගත් සන්නද්ධ ගැටුමෙහි ඉතිහාසය දෙස බැලූවහොත් කුඩා පරිමාණයේ අඩු තීව‍්‍රතාව සහිත ගරිල්ලා ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ වූ දෙමළ ව්‍යාපාරය 1983 ඉන්දියාවේ මැදිහත්වීමත් සමගම මාස 5-6ක කාලය තුළ අතිශය වේගයෙන් ව්‍යාප්තව වැඩුණු බව දකින්නට පුළුවන. එම මැදිහත්වීම ඒ අවදියේ දකුණු ආසියාවට සහ ඇෆ්ඝනිස්ථානය සහ ඒ අවට කලාපයට ඉන්දියාව විසින් කළ මැදිහත්වීම්වලට සමාන්තර වූවකි. ඒ වනවිට ශී‍්‍ර ලංකා ආණ්ඩුව එක්සත් ජනපදය දෙසට වඩ වඩාත් ගමන් කරන බව පිළිගැනීමට ප‍්‍රමාණවත් සෑම හේතුවක්ම ඉන්දියාව හමුවේ පැවතුණි. කොළඹ ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබූ ‘ඇමරිකානු හඬ’ විකාශන මධ්‍යස්ථානයේ තාක්‍ෂණික පුළුල් කිරීම සඳහා අවශ්‍ය අක්කර 1,000ක භූමි භාගයක් ඒ වන විටත් එක්සත් ජනපදයට බටහිර වෙරළ තීරයෙන් වෙන්කර දීමට තීන්දු කෙරී තිබුණි. ඒ සඳහා එතෙක් පැවති ගිවිසුම වසර 10කින් දිගු කිරීමට ශී‍්‍ර ලංකා ආණ්ඩුව පියවර ගන්නා ලද්දේ 1983දී ය. ඇමරිකානු හඬ විකාශන මධ්‍යස්ථානය තුළ අතිශය අවම සංඛ්‍යාත සම්පේ‍්‍රෂකයන් (Extreme Low Frequency-ELF) ස්ථානගත කර පවත්වාගෙන යන බවට එවකදී සෝවියට් සංගමය මෙන්ම ඉන්දියාව ද එක්සත් ජනපදයට චෝදනා කළහ. මෙසේ පිහිටුවා ඇති  සම්පේ‍්‍රෂක මගින් මූලික වශයෙන් ඉන්දියානු සාගරය තුළ සිදුවන සෝවියට් සබ්මැරීන පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු පහසු කරනු ලැබ ඇතැයි සැක පළ විය.

අනෙක් අතින්, එක්සත් ජනපදය විසින් අත්සන් කළ ඇමරිකානු හඬ විකාශන මධ්‍යස්ථානය සඳහා වූ ගිවිසුම ඉන්දියාවේ උපාය මාර්ගික ආරක්‍ෂාව පිළිබඳ අභිලාෂයන්ට එරෙහිව යන්නක් බවට ඉන්දියාව චෝදනා කළාය. එමගින් ඉන්දියාව අදහස් කරන ලද්දේ ඉන්දියාවට දකුණින් වූ කලාපයේ උපායික ආරක්‍ෂණ වාතාවරණයට එමගින් ඇතිකරන බලපෑමයි. මීට අමතරව ති‍්‍රකුණාමලයේ ඉන්‍ධන ගබඩා සංකීර්ණය සිංගප්පූරුවේ ලියාපදිංචි කරන ලද සමාගම් හරහා එක්සත් ජනපදයට පවරා දීමට ශී‍්‍ර ලංකා ආණ්ඩුව පියවර ගනිමින් තිබෙන බවට ද ඉන්දියාව අනුමාන කළාය. ඒ වනවිටත් ශී‍්‍ර ලංකා හමුදාවන් පුහුණු කිරීමට එක්සත් රාජධානිය විසින් විශේෂ ගුවන් සේවා බලකා (SAS) විශේෂඥයන් මැදිහත් කරවීම පිළිබඳව ද ඉන්දියාව කණස්සල්ලට පත්ව තිබුණි. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් දෙමළ විමුක්ති ව්‍යාපාරයට එරෙහිව එක්සත් ජනපද යුද ආධාර විවෘතවම ඉල්ලා සිටීම විසින් තත්ත්වය තවත් බරපතල කළේය.

උපායික ලීවරයක්

1956දී සූවස් ඇළ වසා දැමීමත් සමග නිශ්කී‍්‍රය වූ බි‍්‍රතාන්‍ය - ශී‍්‍ර ලංකා ආරක්‍ෂක ගිවිසුම යළිත් අලූත් කොට බල ගැන්වීමට අවශ්‍ය කටයුතු ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් සූදානම් කරන ලද්දේ 1983 වසරේ ඉහතින් කියූ මතභේදයන් ඇවිළ යන වටපිටාව තුළ ය. දෙවන ලෝක සංග‍්‍රාමය වන විට බි‍්‍රතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ ගිනිකොණ දිග මූලස්ථානය වශයෙන් ශී‍්‍ර ලංකාව යොදා ගැණුනු අතර එමගින් ආසියාව පාලනය කිරීමට වැදගත් වූ පෙරමුණු මෙහෙයුම් කඳවුරක් (Forward Operating Base - FOB) වශයෙන් ශී‍්‍ර ලංකාව යොදාගනු ලැබිණ. නමුත් සුවස් ඇළ මාර්ගය වසා දැමීම හමුවේ මෙම අවශ්‍යතාව හීන වී ගියේය. කෙසේ වුවද ඉහතින් කී සමස්ත සිදුවීම් දාමය හමුවේ දෙමළ ජාතික ව්‍යාපාරය සන්නද්ධ කරවීම මගින් ශී‍්‍ර ලංකා ආණ්ඩුව යළිත් සිය සීමා ඉර කරා ගෙන ඒමට ඉන්දියාව තීරණය කර තිබුණි. දෙමළ ජාතික ව්‍යාපාරය සන්නද්ධ කිරීමට ඉන්දියාව ගෙන යන කි‍්‍රයා මාර්ගයට එරෙහි ප‍්‍රතිසැළසුම් ඵල නොදරන බව 1987 වන විට ශී‍්‍ර ලංකා ආණ්ඩුව වටහා ගත්තේය. අනෙක් අතින් ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයා වෙන්ව යනු දැකීමේ කිසිදු අභිලාෂයක් ඉන්දියාවට නොතිබුණු අතර එමගින් වඩා විශාල දකුණු ඉන්දීය භූ දේශපාලන කලාපයට ඇති කළ හැකි බලපෑම පිළිබඳ ගණන් බැලීමක් ද ඉන්දියාවට තිබුණි. ඉන්දියාවට අවශ්‍ය වූයේ ශී‍්‍ර ලංකා ආණ්ඩුව මත පීඩනයක් ඇති කිරීමේ ලීවරයක් වශයෙන් දෙමළ විමුක්ති ව්‍යාපාරය යොදාගැනීම හරහා ඉන්දියාව සමග සම්මුතියකට එළඹීමට ශී‍්‍ර ලංකා ආණ්ඩුව පොළඹවා ගැනීමයි. 

‘87 දී අත්සන් තබන ලද ඉන්දු - ලංකා ගිවිසුම, ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ බාහිර ස්වයං තීරණ හැකියාවට තීරණාත්මක ලෙස බලපෑවේය. ඉන්දියාව හැර වෙන කිසිදු බලවේගයකට ති‍්‍රකුණාමලය පවරාදීම හෝ කවරා ආකාරයකින් හෝ යොදා ගැනීමේ අවකාශය එමගින් නෛතිකව අවුරා දමන ලදී. ඉන්දීය අනුමැතිය විමසීමකින් සහ අධීක්‍ෂණයෙන් තොරව විදේශීය ඔත්තු සේවා සහ යුද කි‍්‍රයාකාරකම් සඳහා ශී‍්‍ර ලංකාවේ භූමිය හෝ ඇමරිකානු හඬ විකාශන මධ්‍යස්ථානය යොදාගැනීම වළාකලන වාරණයක් ගිවිසුම මගින් පැනවිණ. ඇමරිකානු හඬ විකාශන මධ්‍යස්ථානය තුළ සවි කිරීමට සැළසුම් කෙරෙන  ඕනෑම උපකරණයක් ඉන්දියාවේ පරීක්‍ෂාවට යටත් වීම ගිවිසුම මගින් අනිවාර්ය කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකා හමුදාවන් ඉන්දියාව තුළ පුහුණු කිරීමත්, බුද්ධි අංශ තොරතුරු හුවමාරුවේදී ඉන්දියාව ප‍්‍රාථමික පාර්ශ්වය වශයෙන් සැළකීමත් ගිවිසුම විසින් ඉල්ලා සිටියේය. මේ අනුව 1987 ගිවිසුම හරහා ශී‍්‍ර ලංකාව ඉන්දියාවේ උපාය මාර්ගික අඩස්සිය තුළට අන්තර්ගත කරගැනීමක් අපේක්‍ෂා කෙරිණ.

ලංකා - ඇමරිකානු 'අක්සා' ගිවිසුම

මෑතකාලීනව මෙම යථාර්ථයන් වෙනස් කිරීමේ සැළසුම් දක්නට ලැබුණේය. ඉකුත් දෙවසර පුරාම ශී‍්‍ර ලංකාව සමග ප්‍රතිග්‍රහණ සහ අන්තර් සේවා පහසුකම් ගිවිසුමක් (Acquisition and Cross Servicing Agreement - ACSA) අත්සන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කළාය. සුබික් බොක්කේ කඳවුරු පහසුකම් අහිමිවීමෙන් පසු පිලිපීනය සමඟ ද එවැනි ගිවිසුමකට එක්සත් ජනපදය එළඹුණි. මෙම ප්‍රතිග්‍රහණ සහ අන්තර් සේවා පහසුකම් ගිවිසුම මගින් ශී‍්‍ර ලංකාව ජර්මනියක් බවට පෙරළා ගැනීමේ අවකාශය එක්සත් ජනපදයට හිමි වේ. ඔවුන්ගේ කඳවුරු පහසුකම් ඇති අතර සිය කැමැත්ත අනුව යාම්-ඊම් කිරීමටත්, න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ නෞකා මෙන්ම ගුවන් යානා ගෙන ඒමේ පහසුකම් භුක්ති විඳීමටත් එමගින් ඔවුන් හැකිවීමට නියමිතව තිබුණි. නමුත් එකී සාකච්ඡා ඉස්මතුව ආ 2002දී ඉන්දියාව විසින් එය වළකන ලදී. මේ තත්ත්වයන් විසින් ශී‍්‍ර ලංකාව මුල් කොට ගනිමින් යළිත් සීතල යුද්ධයකට පසුබිම නිර්මාණය කර ඇති අතර කොළඹ ආණ්ඩුව සිය අණසක හා බලපෑම තුළට ගෙන ඒමේ එක්සත් ජනපද පරිශ‍්‍රමයන් වඩ වඩාත් දැකිය හැකිව තිබේ. ආර්ථික උපායයන් මගින්ද, වෙළඳ ගිවිසුම් මගින්ද, ශී‍්‍ර ලංකා සන්නද්ධ හමුදාවන් පුහුණු කිරීමේ විශේෂ ඒකාබද්ධ වැඩසටහන් තීව‍්‍ර කිරීම මගින්ද මෙම කාර්යය පෙරට යනු දැකිය හැක. ශී‍්‍ර ලංකා හමුදාවේ ඇතැම් වැදගත්ම සේනාංක තුන්වෙනි ඊළම් යුද සමයේදී මුළුමණින්ම පරාජයන් අත්පත් කරගැනීම වෙනම කතාවක් වුවද, ඔවුන් පුහුණු කිරීමේ වැඩිමනත් කාර්යයන් ඉටුකරන ලබන්නේ එක්සත් ජනපද පැසිෆික් ආඥාව මගිනි. මේ සියල්ල මගින් ශී‍්‍ර ලංකාව තුළ සිය භූමිකාව පුළුල් කරගැනීමේ එක්සත් ජනපද අභිලාෂය පෙන්නුම් කර ඇති බව මගේ හැඟීමයි. එසේ නොවන්නට පිලිපීනය සමඟ ඇතිකරගත් ආකාරයේ ප්‍රතිග්‍රහණ සහ අන්තර් සේවා පහසුකම් ගිවිසුමක් ශී‍්‍ර ලංකාව සමඟ ඇති කරගැනීමට කොළඹ ආණ්ඩුව පොළඹවා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගී. (2002 සිට පස් වසක් තිස්සේ කල් මරමින් දිග්ගැසුණු සාකච්ඡාවන්ට නිමිති වූ මෙම ගිවිසුමට 2007 මාර්තුවේදී ගෝඨාභය රාජපක්‍ෂ විසින් අත්සන් තබන ලදී. - සංස්කාරක

මෙම අන්තර්ජාතික බලවේගයන්ගේ බල අරගල භූමියක් බවට ශ‍්‍රී ලංකාව පත්වීම හරහා සිදුවන ජාත්‍යන්තරීකරණ කි‍්‍රයාවලිය කවර හෝ සාම කි‍්‍රයාදාමයක් කෙරෙහි ඇති කරන්නේ නිශේධනීය බලපෑමකි. උපායික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ශී‍්‍ර ලංකාවට ප‍්‍රවේශවන්නන් තුළ සාමය පිළිබඳ අභිලාෂයන් වැදගත් තැනක් නොගනී. ඔවුන්ට මූලිකව අවශ්‍ය වන්නේ අස්ථාවරභාවයයි. එක්කෝ පූර්ණ අස්ථාවරභාවයකි. නැතහොත් ඔවුන් විසින් නීර්ණය කරනු ලබන සීමාවන්ට යටත්ව කි‍්‍රයා කරන්නා වූ තත්ත්වයකි. මේ දක්වා ඉන්දියාව සිය මැදිහත්වීම් මගින් ද අවුරා දැමීමට ප‍්‍රයත්න දරනුයේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ අවකාශයයි. මේ හේතුව නිසාම අප හමුවේ දිග හැරෙමින් තිබෙනුයේ එක් අතකින් ඉන්දියාවත්, අනෙක් අතින් එක්සත් ජනපදය - බි‍්‍රතාන්‍ය සන්‍ධානයේත් අභිලාෂයන් අතර වැඩෙන සීතල යුද්ධයයි. දෙමළ ජනයා මුහුණ දෙන අභියෝගය වන්නේ මෙම තත්ත්වයන්ට යටත්ව අරාජිකත්වයන් ශක්තිමත් වීමට ඉඩ නොතැබීමයි. මක් නිසාද යත් ඉහත බලයන්ගේ එල්ලය වන්නේ ද එවැනි අරාජිකත්වයක් නිර්මාණය කිරීම වන හෙයිනි. ඒ ඇයිද යන්න මම පසුව පැහැදිලි කරමි.

උපාය මාර්ගික බල නාටකය

දෙමළ ජනයා විසඳාගත යුතු ප‍්‍රශ්න කිහිපයක් තිබේ. පළමුවැන්න මේ වර්ධනය වන තත්ත්වයන් කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමු කිරීමයි. ඒ මගින් ස්වකීය පැවැත්මේ තීරණාත්මක කොන්දේසි ස්වකීය මව්බිම තුළම පවත්වා ගැනීමයි. ඒ හරහා සමස්ත සමාජ දේහයම පූර්ණ බිඳ වැටීමකට ලක්වීම වළකාලන අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් නඩත්තු කිරීමයි. එමෙන්ම බාහිර බලවේගයන් සමග සන්‍ධානගත වීමේ ඉඩක් ඇති අවස්ථාවාදී බලවේගයන්ගේ කි‍්‍රයාකාරී හැකියාවන් නිශ්කී‍්‍රය කොට දැමීමයි. එහි අදහස එවැනි බලවේග වඩා පුළුල් දේශපාලන සහ ජාතික අභිලාෂයන් නියෝජනය කරන්නන් වශයෙන් ගොඩනංවනු ලබන ප‍්‍රතිරූපයන් ඒවායේ පදනමින්ම නි‍්‍රශ්ක‍්‍රීය කර දැමීමයි. ඉන්දීය සාගර කලාපය තුළ දිගහැරෙමින් තිබෙන නව ජාත්‍යන්තර උපාය මාර්ගික බල නාටකයෙන් සිය දිගුකාලීන අරගලය ගළවා ගනිමින් ආරක්‍ෂා කරගැනීමේ වගකීම අන් සියල්ලටම වඩා දෙමළ ජනයාගේ වගකීමක් බවට පත් වේ.

මෙකී යථාර්ථයන් නිර්මාණය කරන වැදගත් චලනයන් අප ආසන්නයේ සිදුවෙමින් පවතී. ඉරාකය තුළ ස්ථිර වාඩි ලා ගැනීමක් සඳහා වන ඇමරිකානු අභිලාෂය ඉන් එකකි. ඉරාකයට එහි ස්වෛරීභාවය යළිත් පවරා දෙන්නේද, නොදෙන්නේද යන්න කෙසේ වෙතත්, ලොව ලාභදායීම ඛණිජ තෙල් සම්පත් කරා සිය ප‍්‍රවේශ පහසුකම් පවත්වා ගැනීම සඳහා ඉරාකය තුළ එවැනි ස්ථිර වාඩි ලා ගැනීමක අවශ්‍යතාව ඔවුන්ට තිබේ. මෙහිදී එවැනි සුවිශාල වාඩි ලා ගැනීමක් සඳහා අවශ්‍ය පෙරමුණු සැපයුම් පහසුකම් (Forwad Supply Fascilities) ප‍්‍රමාණවත් තරමින් ඔවුන් සතුව නොතිබීම ප‍්‍රධානතම ගැටළුවකි. දැනට කලාපය තුළ ඔවුන් සතුව පවතින එවැනි ප‍්‍රධානතම පහසුකම් සැපයෙනුයේ දකුණු දිග ඉන්දීය සාගරයේ දියේගෝ ගාර්ෂියා දූපත් කේන්‍ද්‍ර කොටගෙන ය. නමුත් දියේගෝ ගාර්ෂියාව සම්බන්‍ධයෙන් ඇති ප‍්‍රධානතම ගැටළුව දුර සහ භූමි ප‍්‍රමාණයේ කුඩා බවයි. ආසන්නතම නිත්‍ය කඳවුර පිහිටා ඇත්තේ දකුණු කොරියාව තුළය. ඉන් ඔබ්බට ඔකිනාවා දූපත් මූල් කොටගත් කඳවුරත්, අනතුරුව ගුවාම් හා හවායි කඳවුරුත් පිහිටා තිබේ. ඒ අනුව ආසන්නතම ස්ථානගත වීම දියේගෝ ගාර්ෂියාව මූලික කොටගත් එකකි. එය පිහිටා ඇත්තේ ඉරාක භූමියේ සිට නාවුක සැතැප්ම 3,000කට වැඩි දුරකිනි. ඉරාකය මේ වනවිට පවතිනුයේ එක්සත් ජනපද මධ්‍යම ආඥාව යටතේ ය. නමුත් දියේගෝ ගාර්ෂියාව පැසිෆික් ආඥාව යටතේ පවතී. ඉරාකය කරා සාමාන්‍ය ප‍්‍රවේශ සහ සැපයුම් මාර්ගයන් වැටී ඇත්තේ දකුණු චීන මුහුද ඔස්සේ පැමිණ, මලක්කා සමුද්‍ර සන්‍ධිය හරහා ශී‍්‍ර ලංකාව පසුකරමින් අරාබි මුහුද හා හෝර්මුස් සමුද්‍ර සන්‍ධිය හරහා පර්ෂියානු ගල්ෆ් කලාපයට ඇතුල්වන ආකාරයට ය. ඇත්තෙන්ම, කෙටිම සහ වඩාත් සුරක්‍ෂිත මුහුදු මාර්ගය මෙය වේ. මේ නිසා ඉරාකය සහ මැද පෙරදිග කලාපය පාලනය කිරීමට එක්සත් ජනපදය සිදුව ඇත්තේ මධ්‍යම සහ පැසිෆික් ආඥාවන් අතර සම්බන්‍ධීකරණය මඟිනි. ඒ සඳහා ආසන්නතම නිත්‍ය කඳවුරු පහසුකම් ඇත්තේ දකුණු කොරියාව තුළ ය. එය ඇත්තේද විශාල දුරකිනි.

දෙමළ ජනයාගේ 'අවාසනාව'

අනෙක් අතින් කලින් පිලිපීනයේ තිබූ කඳවුරු පහසුකම් පෙර පරිද්දෙන් නොමැති නමුත් පැසිෆික් කලාපයේ ඉන්දියානු සාගර කලාපයට ඇතුල් වීමේ ප‍්‍රවේශ දොරටුව පිලිපීනයයි. පිලිපීනය පාලනය කිරීමේ හැකියාව එක්සත් ජනපදයට අතිශය වැදගත්කමක් සහිත එකක් වී ඇත්තේ ඒ හෙයිනි. පිලිපීනය සමග ද ප්‍රතිග්‍රහණ සහ අන්තර් සේවා පහසුකම් ගිවිසුමකට එළඹීමට ඇමරිකාව පොළඹවන ලද්දේද මේ හේතූන් විසිනි. ශී‍්‍ර ලංකාව පිහිටා ඇත්තේ මේ වැදගත් ප‍්‍රවේශ මුහුදු මාර්ගයන් හරි මැද ය. පර්ෂියානු ගල්ෆ් කලාපය සහ ඉරාකය පාලනය කිරීමේ සමස්ත කාර්යය සම්බන්‍ධයෙන් ලංකාව වැදගත් පෙරමුණු ප‍්‍රදේශයක් වශයෙන් යොදාගැනීමේ හැකියාව යථාර්ථ විරෝධී අතිශයෝක්තියක් නොවන්නේ ඒ නිසාය. ඒ වෙනුවට මෙම කාර්යය සඳහා හැම විටම ගුවන් යානා ප‍්‍රවාහන නාවුක යාත‍්‍රා (air craft carrier) යොදාගැනීම මිල අධික කාර්යයකි. මැද පෙරදිග කලාපය තුළ සුවිශාල හමුදා රැඳවීමකට එක්සත් ජනපදය ගණන් බලන්නේ නම්, දකුණු චීන මුහුදට මෙපිටින් වූ, දියේගෝ ගාර්ෂියාවට වඩා නුදුරෙහි ඇති ඉදිරි සැපයුම් කඳවුරක් පිළිබඳව ඔවුන් කල්පනා කළ යුතුව තිබේ. ඒ සඳහා දෘෂ්‍යමානයේ පවතින වැදගත්ම තරඟකරුවා ශ‍්‍රී ලංකාවයි. වඩාත් නිශ්චිත කොට කිවතොත්, ති‍්‍රකුණාමලය ද ඇතුළත් එහි නැගෙනහිර පළාතයි.

අවාසනාවන්ත ලෙස දෙමළ ජනයා එම වැදගත් භූමියෙහි ව්‍යාප්තව ජීවත් වෙයි. ති‍්‍රකුණාමලයේ සිට උතුරු දෙසට විහිදෙන වෙරළ තීරය ඔස්සේ පැතිර පවතින දෙමළ ජනයාගේ වාසභූමි ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ගයන් ආසන්නයෙන් දිව යයි. මෙකී අතිශයින් වැදගත් මුහුදු මාර්ග මත ස්වකීය ආධිපත්‍යය ස්ථාවරව පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව එක්සත් ජනපදයට ඇති අතර ඒවායේ සුරක්‍ෂිතතාව පිළිබඳ සහතිකයක් ද ඔවුන් අපේක්‍ෂා කරනු ලබයි.

මෙහිදී වැදගත් කරුණ වන්නේ අප ජීවත්වන වකවානුවේ මුහුදු මාර්ගයන්ගේ උපායික වැදගත්භාවය පිළිබඳ පවතින පොදු පිළිගැනීමයි. බටහිර ජනයාගේ බාධා විරහිත නිදහස් ජීවිතය සඳහා අත්‍යවශ්‍ය වන බලශක්ති සැපයුම මුළුමණින්ම රඳා පවතින්නේ මෙකී මුහුදු මාර්ගයන්ගේ සුරක්‍ෂිතභාවය මත ය. ලොව ආර්ථික කි‍්‍රයාවලිය කෙරෙහිද මුහුදු මාර්ගයන්ට ඇති සම්බන්‍ධය අවියෝජනීය එකකි. ඉහතින් අපගේ සාකච්ඡාවට බඳුන් වූ ලංකාවේ නැගෙනහිර ප‍්‍රදේශයට යාබද මුහුදු මාර්ගයන් ලොව සමස්ත බහලූම් ප‍්‍රවාහනයෙන් හරි අඩක් ප‍්‍රවාහනය සඳහා දැනටත් යොදා ගැනේ.

චීනයේ උපාය මාර්ගික භූමිකාව

මෙහිදී වැදගත් භූ දේශපාලන වර්ධනයක් වන්නේ චීනය මෙම තීරණාත්මක කි‍්‍රයාවලියේ මූලික භූමිකාවක් දරන්නෙක් වශයෙන් නැගී ඒමයි. සිය වැඩි වන බලශක්ති ඉල්ලූම සංතෘප්ත කිරීමේ අභියෝගය චීනය හමුවේ තිබේ. ඒ නිසාම ඉහත මුහුදු මාර්ග කෙරෙහි සකී‍්‍රය මැදිහත් වීමක් සළකුණු කිරීමට චීනයට සිදු වේ. නමුත් මෙකී මුහුදු මාර්ග සහ ඒවාට ආදළ උපායිකව වැදගත් මර්මස්ථාන පාලනය කිරීමේ හැකියාව එක්සත් ජනපදය විසින් අත්පත් කරගනු ලැබුවහොත්, එය එක්සත් ජනපදයේ උපායික අභිලාෂයන්ට වාසිදායක තත්ත්වයන් නිර්මාණය කර දෙනු ඇත. වැදගත් උපායික මර්මස්ථානයක් වශයෙන් සැළකෙන හෝර්මුස් සමුද්‍ර සන්‍ධිය නිදසුනක් ලෙස සැළකුවහොත් එහිදී එවැනි වාසිදායක තත්ත්වයක් මේ වනවිටත් එක්සත් ජනපදය විසින් භුක්ති විඳිනු දැකිය හැකිය. හෝර්මූස් සමූද්‍ර සන්‍ධිය පසුකර යන සෑම නෞකාවක්ම එක්සත් ජනපද විශේෂ සේනාංකයන්ගේ අධීක්‍ෂණයට යටත් වේ. ඒ සඳහා සැපයෙන පහසු හේතුව වන්නේ 'ත‍්‍රස්තවාදය' පිළිබඳ තර්කයයි.

මතුවෙමින් එන ගෝලීය බල තුලනයන් පිළිබඳ නව පරිදර්ශනයන් (scenarios) සමග නොවැළැක්විය හැකි ලෙස ලංකාවත්, විශේෂයෙන් ම දෙමළ ජනයාගේ ඉරණමත් ගැටගැසී පවතී. මේ සුවිශාල බලයන් විසින් නිදහස සඳහා වූ දෙමළ ජනයාගේ දිගුකාලීන අභිලාෂයන් පාගා යටකොට දැමීමේ තර්ජනය දැනටමත් මතුකර තිබේ. එළඹෙන කාලය තුළ මෙකී උපාය මාර්ගික අභිලාෂයන් සම්බන්‍ධයෙන් වන තීරණාත්මක වෙනස්කම් සහ චලනයන් පිළිබඳ සමීප අවධානයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යව ඇත්තේ මේ සියළු හේතු කාරණා නිසා ය.

එක් පැත්තකින් එක්සත් ජනපදය සහ ඉන්දියාව අතරත්, එක්සත් ජනපදය සහ චීනය අතරත් සංකීර්ණ ස්වභාවයක සීතල යුද්ධයක් පවතින බව නිරීක්‍ෂණය කළ හැක. නමුත් වැදගත්ම කරුණ සාමය ඉලක්ක කොටගත් කි‍්‍රයාවලියක් කෙතරම් කාලයක් පවත්වාගෙන යා හැකිවේද යන අභියෝගයයි. මා කල්පනා කරන ආකාරයට එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ සාම සාකච්ඡා සහ සංවර්ධනය පිළිබඳ න්‍යාය පත‍්‍ර මත සිය ආධිපත්‍යය තහවුරු කිරීමයි. ඒ සඳහා ඉලක්ක කරගත් ආධාර කණ්ඩායම් සාකච්ඡා තුළ වඩ වඩාත් ඔවුන්ගේ මූලිකත්වය ප්‍රමුඛ වනු ඉදිරියේදී දැකිය හැකි වනු ඇත. නමුත් මේ කතා කරන මොහොත වන විට පවතින තත්ත්වයන් අතිශයින් සංකීර්ණ බැවින් අනාවැකි පළකිරීමේ හැකියාවක් අප කිසිවෙකුත් සතුව ඇතැයි මම නොසිතමි. භූමිය මත පවතින යථාර්ථයන් බලන්නේ නම් එක්සත් ජනපදයට හෝ ඉන්දියාවට ඔවුන් අපේක්‍ෂා කරන තරම් වේගයෙන් මෙකී කි‍්‍රයාවලීන් මත සිය ආධිපත්‍යය තහවුරු කරගැනීම දුෂ්කර වනු ඇත. දැනටම පවතින බෙදී වෙන් වූ ජනගහණයනුත්, සන්නද්ධ කණ්ඩායම් සහ මිලිෂියාවන් ගණනාවකුත්, බල කේන්‍ද්‍රයන් කිහිපයකුත් යන යථාර්ථයන් වනාහී භයානක සංයෝගයකි. එකක් අනෙකට එරෙහිව යොදවා ගැනීමේ හැකියාව මේ නිසාම පවතී. මේ මොහොතේ ඉරාකයේ දිගහැරෙන කි‍්‍රයාවලියේ ඉදිරි වර්ධනයන් කෙබඳු විය හැකිද යන්න පිළිබඳ කල්පනා කර බැලීම මෙහිදී වැදගත් වනු ඇත.

මුල් සිඳුණු සමාජයක්

නමුත් අන් රටවල් බොහෝමයකට සාපේක්‍ෂව ලංකාවේ දෙමළ අරගලය සතු විශේෂ ලක්‍ෂණයක් පවතී. එහිදී සිය අභිලාෂයන් සඳහා යොදාගත හැකි සන්නද්ධ බලයන් සංඛ්‍යාත්මකව විශාල ප‍්‍රමාණයක් නොපවතී. බල තුලනයට බලපෑ හැකි බලපෑම් සහගත සන්නද්ධ හැකියාවක් තිබෙන, සම්මුතින් සඳහා යටත් කරගත හැකි මාධ්‍යමික බලවේගයක් වශයෙන් හඳුනාගත හැකි ව්‍යාප්ත වූ බලවේගයක් දෙමළ ජනයා අතරින් මතු කරගැනීමට කිසිවෙක් තවමත් සමත්ව නැත. මෙය වෙනස් විය හැකි, පරිණාමයකට ලක්විය හැකි කි‍්‍රයාවලියක් බව මතක තබා ගැනීම වැදගත් ය. එක්කෝ එය එක්සත් ජනපදය කැමැති ආකාරයට සිදුවනු ඇත. නැතහොත් ඉන්දියාව කැමති ආකාරයට සිදුවනු ඇත. නමුත් එය ඔවුන් කිසිවෙකුට අවශ්‍ය තැනට ගමන් කරනු ඇති බවක් එමගින් අදහස් නොවේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ අරාජිකත්වයකි. සමස්ත සමාජ දේහයේම විසුණු වී යාමකි. සිය සුවච ඔත්තුකරුවන් බවට පත්විය හැකි, මිලිෂියාවන් හෙවත් උප හමුදාවන් ගොඩනැංවිය හැකි සුවිශාල සරණාගත ප‍්‍රජාවක් ඔවුන්ට අවශ්‍යව තිබේ. ඔවුන්ට සිය අවශ්‍යතා සඳහා යොදවා ගත හැක්කේ ස්වකීය පැවැත්මෙහි සියළු මුල් සිඳුණු සමාජයකි. 

නිදසුනක් ලෙස කොන්ගෝව ගත හැක. අපගේ සෙලියුලර් දුරකථන සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදාගැනෙන කොලම්බයිට් ටැන්ටලයිට් හෙවත් කෝල්ටන් නමැති ඛණිජ ද්‍රව්‍යය ඉතා අඩු මිලට මිල දී ගැනීමට කොන්ගෝවේදී ඔවුනට පුළුවන. ඒ කොන්ගෝවේ ස්වෛරීභාවය නැති හෙයිනි. සන්නද්ධ කරන ලද සෑම මිලිෂියාවක්ම ඔවුන් විසින් නිශ්චය කරන මිල ගණන්වලට ඒවා විකුණති. අනෙක් කාරණාව වන්නේ කොන්ගෝව සතුව ඇති සුවිශාල යුරේනියම් නිෂ්පාදන හැකියාවයි. ඒවා නිෂ්පාදනය කරන්නේ කවර ප‍්‍රමාණයන්ගෙන්ද, ඒවා මිලදී ගන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සවිස්තරාත්මක දත්ත මේ මොහොතේ මා සතුව නැත. ඇත්ත වශයෙන් ම ඒ පිළිබඳ කිසිවෙක් කතා නොකරයි. ඔබට අසන්නට ලැබෙන්නේ සමූල ඝාතනයන් පිළිබඳව පමණි. මේ වන විට තුන් ලක්‍ෂණයක් ජනයා ඝාතනය වී තිබේ. අප දන්නේ මේ මළ මිනී සංඛ්‍යාවන් පිළිබඳ සංඛ්‍යා දත්ත පමණි.

උපායික අනුමානයන්

දෙමළ ජනයා වෙසෙන ප‍්‍රදේශයන් වූ කලී භූමි ප‍්‍රමාණයට සාපේක්‍ෂව බලතොත් ලොව ඉහළම ටයිටේනියම් ප‍්‍රතිශතයක් සහිත කලාපයකි. ටයිටේනියම් ඩයොක්සයිඞ් නිපදවා ගැනෙන්නේ ඉල්මනයිට් වලිනි. උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ මෙකී ටයිටේනියම් සහ රූටයිල් නිධි පැතිර පවතී. මේවා ඉතා අඩු මිලට මිලදී ගැනීමේ යෙදී සිටි ජපානය සහ බි‍්‍රතාන්‍ය වැනි රටවල් ජාතික ප‍්‍රශ්නය හා බැඳුණු කි‍්‍රයාවලිය සමඟ සමීප ගණුදෙනුවක් පවත්වනු අපට දැකිය හැක. මේ මිලදී ගැනීමේ කි‍්‍රයාවලිය නවතාලනු ලැබුණේ වසර කිහිපයකට පෙර කොටි සංවිධානය ඉල්මනයිට් ගෙන යන නෞකා දෙකකට එල්ල කළ ප‍්‍රහාරයන් හේතුවෙනි. ස්වෛරීභාවය පිළිබඳ බරපතල කේවල් කිරීමක් එකී ප‍්‍රහාරයන් තුළ සැඟව පවතී. ඔවුන්ට මැදිහත්වීමේ කිසිදු හැකියාවක් නොමැති බව මගේ තර්කය නොවේ. නමුත් දිවයිනේ අවශේෂ ප‍්‍රදේශවලදී සම්පත් කරා ඇති අන්දමේ පහසු ප‍්‍රවේශ මාර්ගයන් දෙමළ ජනයා ජීවත්වන ප‍්‍රදේශයන්හිදී නොමැති වීමට බලපා ඇති සාධකය දෙමළ ජනයාගේ අරගලයයි.

නමුත් මා කලින් කීවාක් මෙන් එළඹෙන කාලය පිළිබඳ නියත අනාවැකි කියන්නට අපි කිසිවෙක් සමත් නොවෙමු. අපට කළ හැක්කේ, අප හමුවේ ඇති යථාර්ථයන් ඇසුරෙන්, නිර්මාණය වීමට වැඩි විභවතාවක් ඇති පරිදර්ශනයන් මත පදනම්ව උපාය මාර්ගික අනුමානයන් පළ කිරීම පමණි.☐

ධර්මරත්නම් සිවරාම්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.