JDS Sinhala

ජෝතිපාල, අමුණුගම සහ අපි: තිස්තුන් වියැති කැඩපතකින් තිස්වසක දේශපාලනය කියැවීම

ච්. ආර්. ජෝතිපාල නම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ ජනප්‍රියතම ගායකයා මියගොස් මේ ජූලියට වසර 33කි.

ජෝතිපාලගේ අවමගුලට ගැලූ මහා ජනගංගාව දුටු ආචාර්ය සරත් අමුණුගම "බිඳ වැටුණු සංස්කෘතික බලකණුව" නම් ආන්දෝලනාත්මක ලිපිය 'විචිත්‍ර' නම් කලා පුවත්පතට ලියා මේ ජූලි 25ට වසර 33ක් ගතව ගොසිනි.

එදා අමුණුගමගේ නිරීක්ෂණය වූයේ, ජෝතිපාලගේ (සහ රමණී බර්තොලමියුස්ගේ) මළගමට ආ 'සියයට අනූවක්ම සැදුම් ලද්දේ ළාබාල තරුණ තරුණියන්ගෙන්ය' යන්න ය.

මේ ලියන මාද ඒ නිරීක්ෂණයට අනුව හරි නම් එදා සිටිය යුතු වූයේ ඒ මළගෙවල්වල ගිය පිරිස අතරේ ය. මා ද එකල ඔහු කියන වයස් කාණ්ඩයේ සිටි බැවිනි.

එහෙත් මම මේ මළගෙවල් දෙකෙන් එකකටවත් නොගියෙමි. මේ මරණ දෙකම අමුණුගම නිරීක්ෂණය කළ අන්දමින් මා කම්පාවට පත්කළේ ද නැත.

කොටින්ම මම එදා කොහෙත්ම ජෝතිපාල රසිකයෙක් නොවීමි. ඒ වෙනුවට ජෝතිපාල යනු එකල මට පෙන්නන්නට බැරි ගායකයෙකි.

මා මෙයින් කියන්නේ අමුණුගමගේ එදා නිරීක්ෂණය වැරදිය කියා නොවේ.

ඔහුගේ නිරීක්ෂණයට හසුවූ 'අතිබහුතර ළාබාල තරුණ තරුණියන්ගේ කණ්ඩායමේ' මා නොසිටි බව ය. මා පමණක් නොවේ, පසුගිය වසර 33ටම මේ කතාව එහෙමකට සූත්‍රගතකර එළිපිට නොකියූ 'ළාබාල තරුණ සුළුතර කණ්ඩායමක්' අර මළගෙදර ගිය 'සියයට අනූවක් වූ බහුතර කණ්ඩායමෙන්' බැහැරව මේ මළගෙවල්වලින් මහා කම්පනයකට පත්වන්නේ ද නැතිව, ජෝතිපාල සංස්කෘතික වීරයෙක් කරගන්නේ ද නැතිව එදා එහි සිටි බව ය.

මා මේ කියන මගේ සුළුතර පරපුරේ දීප්තිමත්ම සොයුරු සොයුරියෝ විශාල පිරිසක් ජෝතිපාලගේ මළගෙදරින් වසරක් දෙකක් ඔබ්බෙන් ආ අන්ධකාර භීම සමයේ දී රුදුරු ඝාතනයන්ට ගොදුරු කරවූවාහුය යන්න ජෝතිපාල මියයන විට - අමුණුගම ඉහත ලිපිය ලියන විට අප නොදැන සිටි, එහෙත් අද අප දන්නා ඉතිහාසයයි.

එදා අර මළගෙවල්වල ගිය සා‍‍තිශය බහුතරයක් වූ තරුණ කැලෙන් වෙන්ව සුළුතරයව සිටි අප, ඒ ලෙයින් තෙත්බත් වූ භීම සමයෙන් ද පණබේරාගෙන ඉන් මෙපිටට, එනම් අනූව දශකයට පාතැබූ කල සාතිශය සුළුතරයක් වී සිටි බව අප මෙන්ම අමුණුගම ද සිය පශ්චාද් නිරීක්ෂණ සමයේ දී උගත් සත්‍යයයි.

අපේ සංස්කෘතික වීරයෝ කවරහුද?

ජෝතිපාලලා නොවිණි නම්, එදා අපේ සංස්කෘතික වීරයෝ කවුරුනම් වූවාහුද?

සත්‍යයේ ගීතය හා පවන කළ නන්දා මාලිනී ය. ඒ ගී ලියූ සුනිල් ආරියරත්න ය. නිර්දය සාහිත්‍ය විචාර ‍භාවිතාවක යෙදුනු මහාචාර්ය සුචරිත ගම්ලත් ය. මරාසාද් කළ සුගතපාල ද සිල්වා ය. කරුමක්කාරයෝ පමණක් නොව ගණදුරු මැදියම දකිනෙමි අරුණළු ද ලියූ ගුණදාස අමරසේකර ය. ගුණදාස කපුගේ ය, ධර්මසේන පතිරාජ ය, ධර්මසිරි බණ්ඩාරනායක ය.

මේ ලයිස්තුව තව ටිකක් දික්කළ හැකි වෙතත්, එය මහා දිග ලයිස්තුවක් නම් නොවේ.

අර රුහිරු ගංගාවෙනුත් පිහිනා ඇවිත් ටික කලක් ගතවූ පසු මේ බොහෝ සංස්කෘතික වීර ප්‍රතිමාවෝ බොල් පිළිම වී අප ඇස් පනාපිට ගරාවැටුණහ. එහෙත් ඒ ඇතැම් වීරයෝ ඔවුන් හා අප අතර වූ දුරස්ත වීරත්වය වෙනුවට අප සිය මිත්‍ර සන්ථවයන්ට පවා ඇතුළු කරගෙන, සිය වීරත්වය ද විනාශ නොකරගනිමින් අප අතිසුළුතර පරම්පරාව හා කිසියම් සංවාදයක දිගටම නියැලී සිටියහ.

පළමු කාණ්ඩයට උදාහරණ වන්නේ 'සිටින් පුටු කබල්මත සීරුවෙන්' යයි අපට කියා, අන්තිමේදී අප සීරුවෙන් ඉන්නා අතරම 'නෝනා නාන්නනන් නාන්න නෝනා'යි අර බහුතරයට ගැයූ නන්දා මාලිනී ය. 'අයුක්තියේ අණ පිළිපැද කුමටද ඔබ පලඳින තරු' යි එදා ලියා අද පෝලිමට රජකතා ද, බණ කතාද බයිස්කෝප් කර අර 'බහුතර යෞවනයන්ගේ' වැඩිහිටි වියට විකුණන සුනිල් ආරියරත්න ය. ගැමි සිංහල බෞද්ධ ප්‍රඥාංකුරයක් සොයාගොස්, විමල් වීරවංශ නම් වූ පළාතම ගඳගස්සවන කීඩාරම් පඳුර අසළ නතරවූ ගුණදාස අමරසේකර ය.

දෙවැනි කාණ්ඩයට උදාහරණ වන්නේ අවසානය දක්වා අප තුළ වූ ගෞරවය පළුදු නොකරගත් නමුත් මිත්‍රත්වය හා සහෘදත්වයද අපට නොමසුරුව ප්‍රදානය කළ සුචරිත ගම්ලත්ලා, සුගතපාල ද සිල්වලා ය.

88-89 භීෂණයෙන් විනාශ නොවී අර සුළුතරයෙන් ඉතිරිවී සිටි අපි කෙමෙන් ජෝතිපාල මියගිය '87ට වඩා වෙනස් විදියකට එයින් දශකයක් යන්නට මත්තෙන් ලෝකය බලමින් සිටියෙමු. එවිට අපට ජෝතිපාල පෙන්නන්නට බැරි ගායකයෙක් නොවුණේ ය. නිහාල් නෙල්සන් වෙනත් විදියක හැකියාවක් ඇති වෙනත් රසික තීරුවකට අමතන අවධානයට යොමුවිය යුතු ගායකයෙක් ලෙස දකිමින් සිටියෙමු. එම් එස් ප්‍රන‍ාන්දු නූතන නාගරික ජනකවියෙක් නොවේදැයි සිතමින් සිටියෙමු. නිහාල් සිල්වා අපතේ ගිය යෝද රංග කුසලතාවක් ලෙස දකිමින් සිටියෙමු.

අමුණුගම මේ ලිපිය තුළ කරන, මෙහිදී අපට අදාළවන වැදගත්ම නිරීක්ෂණය මෙයයි. "නොබෝ කලකින් අප දේශපාලනයද මේ තරුණ කැලගේ ඉල්ලූම අනුව අලූත් ස්වරූපයක් ගනු ඇත."

මේ අනාවැකිය පවසන විට තව නොබෝ කලකින් ලංකා සමාජය මත පතිත වීමට නියමිතව තිබූ දැවැන්ත භීෂණය ගැන (කිසියම් අනුමානයක් තිබුණානම් හැර) එහෙමකට යමක් අමුණුගම දැනසිටියායයි සිතිය නොහැකි ය. එහෙත් ඔහුගේ 'බහුතර තරුණ්‍යයෙන්' අතිබහුතරය ඒ ඓතිහාසික ලේ ගංගාවෙන් ද නිරුපද්‍රිතව එතෙර වූවායයි ද, ඊට අයත් නොවූ 'අතිසුළුතර තරුණ කුලකය' ඒ ලේ ගංගාවෙන් පිහිනා එතෙර වනවිට සාතිශය සුළුතරයක් වී සිටියායයි ද අප දන්නා ඉතිහාස කරුණුවලට අනුව සූත්‍රගත කල කළ, මේ අනාවැකිය අද වනවිට මුළුමනින් සත්‍යයක් බවට හැරී ඇතැයි නිගමනය කළ හැකි නොවේද?

මේ ජෝතිපාල සංස්කෘතික වීරයෙක් කරගත් තාරුණ්‍යය, දේශපාලන තලයේ දී නියෝජය කළේ කවුරුන්ද යන්න හඳුනාගැනීම ඉතා වැදගත් ය.

'ජෝතිපාල සංස්කෘතියේ' දේශපාලන නියෝජනය

ජේආර් විසින් පුද්ගල ඒකකයක් ලෙස ඍජුව නියෝජනය නොකළත්, ඔහු ස්ථාපිත කර හදාවඩාගත් ක්‍රමය විසින් '87 දක්වාත් නියෝජනය කැරුණේ එයයි. එහෙත් ජේආර් ගේ ඇවෑමෙන් ඊට අතිශයින් ගැලපෙන නියෝජිතයා එජායප ‍තුළින්ම හමුවිය. ඒ ප්‍රේමදාසයි. අර ලේ වැකි භීමසමයෙන් මෙපිටටත්, ඔහුගේ ඝාතනය දක්වාත් ඒ ප්‍රවාහයේ නියෝජිතත්වය අනභියෝගීව ඔහුටම උරුමවී තිබිණි.

ජේආර් පුද්ගලානුබද්ධව නොව ක්‍රම සම්පාදකයෙක් ලෙසත්, ප්‍රේමදාස පුද්ගල පංචස්කන්ධයක් ලෙසත් නියෝජනය කළ මේ ප්‍රවාහයේ ආධිපත්‍යය රනිල්ගේ එජාපයෙන් මුළුමනින් පාහේ ගිලිහිණි. ඔහුගේ එජාපයෙන් ඒ නියෝජිතත්ව බලවේග මුළුමනින් අහෝසිවී ගියා නොවේ. ඒවා යටපත් වී ගියේ ය. ඔහු ඒවා යටපත් කළේ ය. ඉනුත් අනතුරුව කෙමෙන් ඉන් පිටතට කාන්දු වී ගියේ ය. දේශපාලනය පිළිබඳ ඔහුගේ අදහසට අමතරව, රනිල්ගේ පන්ති පසුබිම, ඇබ්බැහිකම්, ළැදියාවන් හා බැඳියාවන් ද ඊට බලපෑ බව පෙනේ.

චන්ද්‍රිකා යනු පන්තිමය අනන්‍යතාවකින් මේ ප්‍රවාහය නියෝජනය කළ නායිකාවක නොවුණත්, ඇගේ දේශපාලන දේහය මෙන්ම භාෂා ලෝකය ද නියෝජනය කළේ එයයි. ඒ අනුව ඊට ප්‍රතිවිරුද්ධ සංස්කෘතියක් පන්තිමය වශයෙන් උරුමකරගෙන සිටියදී පවා, එහි නියෝජිතයා බවට කිරුළු පැළැඳීමට ඇය සමත්වූවා ය. ඊට අර ප්‍රවාහයේ ජෝතිපාල බඳුම සංස්කෘතික දැවැන්තයෙක් වූ විජයගේ උරුමය ඈට තිබූ දැවැන්තම සුදුසුකමයි, ශක්තියයි, බලයයි.

එහෙත් ඇගේ ඒ නියෝජිතත්ත්වය අභියෝගයට ලක්වන, සැකකැරෙන සංසිද්ධීන් ඇගේ පාලන කාලය පුරාම මතුවිය. එවකට නාමකායක් පමණක් වූ විජය උරුමය අභිබවා පන්ති උරුමය පිටතට පොලාපැන්න අවස්ථාවලදී ද, ඇගේ 'විජය ප්‍රවාහයේ' සමාජ සම්බන්ධතාවල අව්‍යාජත්වය ප්‍රශ්නකැරුණු තැන්වලදීද ඒ තත්ත්වය කැපීපෙනිණි. විජයට පෙම්බැන්දාට විජයගේ උතුර පිළිබඳ දේශපාලන මැදිහත්වීමට කිසිදු සංවේදීත්වයක් නොදැක්වූ අර 'බහුතරය' චන්ද්‍රිකා උතුරට යුද්ධය වෙනුවට දේශපාලන විසඳුමක් සොයන තැනට තල්ලු වූ හැම විටෙකම විශේෂයෙන් ඈ සැක කළහ.

එහෙත් ප්‍රේමදාසගෙන් පසු මේ ප්‍රවාහයට හරියටම හරියන නියෝජිතයා මුණගැසුණේ 2005දී ය. ඒ අන්කිසිවෙක් නොව මහින්ද රාජපක්ෂයි.

අමුණුගම පුරෝකථනයේ කූටප්‍රාප්තිය

මහින්ද චින්තනය යනු මේ අරුතින් ගත්කල අන් කිසිවක් නොව අමුණුගම එදා නිරීක්ෂණය කළ - පුරෝකථනය කළ ප්‍රවාහයේ කූටප්‍රාප්ති ආත්ම ප්‍රකාශනයයි. රනිල්ගේ එජාපයෙන් පිටමං කැරුණු ජෝතිපාල සංස්කෘතියේ නියෝජිත බලවේග ද මහින්ද සරණ ගියපසු, එදා අප නියෝජනය කළ සුළුතරයේ සංස්කෘතික වීරයන්ව සිටි අමරසේකරලා, සුනිල් ආරියරත්නලාත් එහි කුස්තූරවලට හරියටම හරියන සක්ක කෑලි ලෙස එකලස් වූ පසු එය පරිපාකයට පත්විය. රුහිරු ගංගාවක ගිල්වා දෙමළ ජනයාගේ අරගලය ද වනසාදැමුවායින් අනතුරුව මහින්දවාදය ආගමක් බවට පත්වූ අතර, අමුණුගමගේ අනාගත වාක්‍යය එහි පරිසමාප්තියට ළඟා විය.

'87 සිටි අපේ සුළුතර තාරුණ්‍යයෙන් බහුතරයක දේශපාලන නියෝජිතයා ඍජුව හෝ වක්‍රව ජවිපෙ විය. එහෙත් පශ්චාද් භීෂණ සමයේ, විශේෂයෙන් පශ්චාද් පාර්ලිමේන්තු සමයේ අපේ සුළුතරය රැකගන්නවාට වඩා 'ජෝතිපාල සංස්කෘතික බහුතරයේ' උරුමයට ඉව අල්ලන්නට ගොස් එය අප විතැන්කර දැම්මේ ය. අද දක්වාම ඔවුහු රණවිරු කඳවුරුවල ඉඳුල් ලෙවකන්නටත්, ජාතිවාදී කඳවුරුවල නිදිවදින්නටත් යමින් මේ පරිවර්තිත දේශපාලන සන්දර්භයට අන්ධ වී සිටින අතර, කුමන ගොහොරුවල ලැග්ගත් 'ජෝතිපාල සංස්කෘතියේ බහුතරය' තමන්ව ඔවුන් තුළට ලේසියෙන් වැද්ද නොගන්නා බව තේරුම් නොගෙන සිටිති.

ජෝතිපාල මියගිය 33 වසරකට එපිට අතීතයේ දී සුළුතරය වී සිට, එයින් කෙටි කලක් ඇවෑමෙන් රුහිරු ගංගාවක පිහිනා සාතිශය සුළුතරය බවට පත්වූ ක්ෂුද්‍ර පරපුරක උරුමය අත්නොහැරීමේ වරදට අපි අද අමුණුගම පුරෝකථනය කළ සන්දර්භයේ පරිපූර්ණ පිටස්තරයෝ වෙමින් සිටිමු.

වසර 33කට පෙර සංස්කෘතික දේශපාලනය ගැන ආන්දෝලනාත්මක ලිපියක් ලියූ ශාස්ත්‍රීය චරිතයක් වූ ආචාර්ය සරත් අමුණුගම ඉක්මනින්ම ඒ 'තරුණ කැලගේ ඉල්ලුම අනුව අලුත් ස්වරූපයක් ගත් දේශපාලනයේ' ගිලී, තිස්තුන් වසක් ඇවෑමෙන් ඒ දේශපාලනයේම කුණුවී ඕජස් ගලන තිස්තුන්කෝටියක් පංචස්කන්ධවලින් එකක් බවට පත්වී තිබේ. 33 වසකට පෙර මේ අනාගත පෙරළිය පෙර දුටු තමන්ට කරන්නට තිබුණේ ඒ ප්‍රවාහයේ කුණුවී ගිය තවත් එක් මළමිනියක් වීමද, ඊට වඩා දෙයක් තමන්ට කරන්නට නොතිබුණේද යන්න අමුණුගම තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන්වත් අද සිතා බලා, අනාගත වාක්‍යයක් ලෙස නොව ස්වයං විවේචනයක් ලෙසවත් යමක් ලියා තබනවා නම්, එය ඔහු පසුගිය දශක තුන පුරාම කළ දේශපාලනයට වඩා වැඩදායක වනු ඇත.

අද මම ජෝතිපාලට ගායකයෙක් ලෙස ප්‍රියකරමි. ඔහු සතුව පැවැති විශිෂ්ට ගායන හැකියාව අගයමි. ඇකඩමියාවෙන් බැහැරව පවා ඔහු අත්පත් කරගෙන සිටි තීක්ෂණ සංගීත ඉව පසසමි. එහෙත් මට ඔහු ගැන මහා පිස්සුවක් නැත.

අද මට නන්දා මාලිනී හෝ සුනිල් ආරියරත්න යනු කාලෙන් කාලෙට එන සමාජ දේශපාලන රැලිවල දියබුං ගසන්නට කැමැතිවන, 'පවන' උරුමය අහිමිකරගත් අදේශපාලනික කලා නෝනලා මහත්තුරු ය. අද මට ගුණදාස අමරසේකර යනු තනිකර විගඩමකි.

අනිත් අතට අප අතර නැතත් සුචරිත ගම්ලත් හා සුගතපාල ද සිල්වා යනු අදටත් හදවත තුළ ඉඩක් වෙන්කරගෙන සිටින සැබෑ මිනිස්සු ලෙස අප තුළ ජීවමාන වන්නෝ ය. ජීවත්ව සිටින මළකඳන්වලට වඩා ඔවුන් හා අදටත් අපට ආත්ම භාෂණයක හෝ යෙදිය හැකි ය. ඔවුන් හා වන ඒ ආත්ම භාෂණය ඇවිදින මළකඳන්වලට කතාකරනවාට වඩා අදටත් අප පෝෂණය කරයි.

එහෙත් අද වනවිට වැඩිහිටියන් වී රටේ දේශපාලනයේ ස්වරූපය තමන්ගේ බවට පත්කරගෙන සිටින අර අමුණුගමගේ 'සාතිශය බහුතරය' එදා අපේ සංස්කෘතික වීරයන්ගෙන් තවමත් මුළුමනින් ගරානොවැටුණු චරිත දෙස බලන්නේ කෙසේද? සුචරිත ඔවුන්ට හොඳ උගතෙක් වුවත් රට බෙදන්නට වළිකෑවෙකි. පතිරාජලා ධර්මසිරිලා හොඳ සිනමාකාරයන් වුවත් ඇන්ජීඕ පදයට නටන්නෝ ය; කොටි හිතවාදීහු ය. අපේ වීරයන් වී සිට ගරාවැටුණු චරිත ඔවුන්ගේ විසිල් පහර ලබමින් බයිස්කෝප් හදති. සින්දු ලියති, කියති. නාට්‍ය හදති. රාජපක්ෂ ආගමට දොහොත්මුදුන් දී සාදුකාරත් දෙති.

මේ සාතිශය සුළුතර, පිටස්තර, පිටමං කරනුලැබූ පරම්පරාව මේ වනවිට එක්කෝ මා මෙන් අඩසියවස සැමරීමේ ආසන්නයට පැමිණ සිටිති. නැතිනම් ඒ කඩඉම පැනගොස් සිටිති. තවත් කෙටි කාලයක් ඇවෑමෙන් ඒ සුළුතර පරම්පරාවේ කරදරයෙන් ලාංකේය දේශපාලනයටත්, සංස්කෘතියටත් ස්වභාවිකව ම මිදෙන්නට අවස්ථාව උදාවනු ඇතැයි ද, 'දේශපාලන ස්ව‍රූපය' මුළුමනින් අත්පත් කරගත් සිය පරම්පරාවේ සුජාත දුවාදරුවන්ට සදාතනික ශාන්තිය උදාවනු ඇතැයි ද, 'ජෝතිපාල සංස්කෘතියේ' බහුතරයත්, එහි දේශපාලන නායකත්වයත් අද කල්පනා කරනවා ඇත.

මේ තමන් සමාජ නිරීක්ෂණයෙන් පුරෝකථනය කළ පරිවර්තනය බව සැබෑ වුවත්, එය තමන් ප්‍රාර්ථනා කළ දේදැයි අමුණුගමලාට අද හෝ කල්පනා කරන්නට විවේකයක් ලැබෙනු ඇතිදැයි කාට හෝ පුරෝකථනය කළ හැකිද?

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, මෙයින් 33 වසරකට පෙර අමුණුගම විවරකළ කවුළුව ඒ දශක තුනක දේශපාලනය කියවීමට වෙනස්ම මානයක් තනාදුන් සන්ධිස්ථානීය එකක් ලෙස අදට ද වටිනා බව ය.

අමුණුගම තමන්ගේම කවුළුවෙන් ගලා ආ ආලෝක දහරින් ගිනිකන වැටී, කවුළුවෙන් පනින්නට ගොස් නරාවලට ඇදවැටුණේ ය.

එහෙත් අපට 33 වසරකට පසුවත් ඒ කවුළුව ළඟට ගොස් ඒ ඉතිහාස ගමන්මගේ භූ සිත්තම වෙනත් කෝණයකින් කියවාගන්නට පිළිවන් වී තිබේ.☐

(ජෝතිපාලගේ සිතුවම: © ජනක මල්මතුරාම | Facebook

සනත් බාලසූරිය


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.