JDS Sinhala

The Platform: ධනේශ්වර ඩිස්තෝපියාවට එරෙහිව

මාජ අසමානත්වය සහ දරිද්‍රතාවය යනු ගෝලීය ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යළි යළිත් ප්‍රතිනිෂ්පාදනය කරන ඓන්ද්‍රීය සංඝටකයන් වේ. එය මේ තරම් කදිම හා නග්න ලෙස විද්‍යාමාන වූ වකවානුවක් මෑත දශක කිහිපය තුළ නැති තරම් ය. සරළ හා ප්‍රකට නිදසුනක් ගෙන බලන්න:

2018 ඔක්ස්ෆෑම් (Oxfam) වාර්තාව අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 26 දෙනාගේ වත්කම් හි එකතුව ලොවෙන් අඩක් වූ බිලියන 3.8ක ජනගහනයේ වත්කම් හි එකතුවට සමාන ය. එහි 2019 වාර්තාව අනුව ලොව පොහොසතුන් 1% ගේ වත්කම් හි එකතුව ලොව බිලියන 6.9ක ජනගහනයේ වත්කම් හි එකතුවේ දෙගුණයටත් වඩා වැඩි වේ. ලොව පොහොසත්ම මිනිසා වන ඇමසෝන් (Amazon) භාණ්ඩ බෙදාහැරීම් ජාලයේ හිමිකරු ජෙෆ් බේසෝස් (Jeff Bezos) ගේ වත්කම ඇ. ඩො. බිලියන 141ක් වන විට ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ආසන්න වන්නේ ඇ. ඩො. බිලියන 87.9ක ට පමණකි. ඇමෙරිකාවේ උපාධිධරයෙකුගේ ජීවිත කාලයක ආදායම (ආසන්නව ඇ. ඩො. මිලියන 22 කි) ඉපැයීමට බේසෝස්ට ගත වන්නේ මිනිත්තු 15ක් පමණ ය. වරප්‍රසාදිත පොහොසතුන්ගෙන් අවම බදු ප්‍රමාණයක් ලබා ගනිමින් දෛනික ජීවන අරගලයේ යෙදෙන පීඩිතයාගේ ශ්‍රමය සූරාකෑමට ඉඩහළ මෙම ක්‍රමය තුළ නො ඉසිලිය හැකි ලෙසින් ව්‍යාප්තව ඇති සමාජ අසමානත්වය සහ දරිද්‍රතාවය ව්‍යසනයකි.

ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එහෙත් ලොව බහුතරයකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රමාණවත් තරම් පෝෂ්‍යදායක ආහාර ළඟාකර ගැනීමේ පහසුකමක් නොමැත. දිනකට එක් ආහාර වේලක් හෝ නොලැබෙන විශාල ප්‍රමාණයක් ලොව පුරා සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදයේ දිනකට ආහාර ටොන් 150,000 ක් ඉවත දමන විට (මෙය අවශ්‍ය නම්, එක් ඇමෙරිකානුවකුගේ වාර්ෂික ආහාර පරිභෝජනය සේ සැළකෙන ටොන් එකක ප්‍රමාණය හා සැසඳිය හැක) අප්‍රිකාවේ පමණක් මිලියන 237ක් පමණ මිනිස් සමූහයක් දිනපතා කුසගින්නේ පසු වේ. එක මිනිත්තුවක පරිභෝජනය සඳහා ලොව පුරා මිලියන එකකට වැඩි ප්ලාස්ටික් වතුර බෝතල් නිපදවීමේ හැකියාවක් ඇති මොහොතක, උප සහරානු අප්‍රිකානු ජනයා පානීය ජලය සොයා සැතපුම් ගණන් ඇවිද යති. මේ සියල්ල සිදුවන්නේ පෘතුවියෙහි ජීවත්වන සමස්ත මානව වර්ගයා වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍යජනක ආහාර නිපදවීමට සහ එම ආහාර නියමානුකූලව බෙදා හැරීමට අපේක්ෂිත තාක්ෂණය උවමනාවටත් වඩා අද්‍යතන ආර්ථිකය තුළ දියුණු වී ඇති මොහොතක ය.

The Platform චිත්‍රපටයෙහි පසුබිම මේ විසමතාවයි.

මෙම චිත්‍රපටය ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ගැල්ඩර් ගස්තෙලු-උරුතියා (Galder Gaztelu-Urrutia) නම් වූ සිනමාකරුවාගේ ත්‍රාසය, ප්‍රචණ්ඩත්වය සහ උද්වේගය කැටිවූ විද්‍යා ප්‍රබන්ධයකි. චිත්‍රපටයෙහි පසුතලය ව්‍යවහාරික බව ඉක්මවා ගිය අධිතාත්වික සිර මැදිරි සංකීර්ණයකින් යුත් සිරස් කුළුනකි. නිල වශයෙන් එය “සිරස් ස්වයං-කලමනාකරණ මධ්‍යස්ථානය“ (Vertical Self-Management Center) වශයෙන් නම් ලද ද, එහි සිරකරුවන්ට අනුව එය “නරාවළ“ කි. මහල් තුන්සීයක ට අධික අහස් උසැති මෙම කුළුණෙහි එක් මහලක ඇත්තේ තනි ඇඳන් දෙකකින් සමන්විත, වා කවුළු නොමැති එක් සතරැස් සිර කුටියක් පමණකි. සිරකුටිය මධ්‍යයහි අඩි 8ක් පමණ දිගින් සහ අඩි හතරක් පමණ පළලින් යුත් සෘජුකෝණාස්‍ර විවරයකි. එබී බැලූවිට, එම විවරය අසලට පැමිණ සිටින ඉහළ සහ පහළ මහලයන් හි (සිරකුටිවල) සිරකරුවන් පෙනෙන සේ එය විවෘතය. ආහාර සහිත සෘජුකෝණාස්‍ර හැඩැති තට්ටුවක් (The Platform) ඉහළ මහලයන්ගේ සිට පහළ මහලයන් තෙක් දිනකට වරක් ගමන් කරන්නේ මේ විවරය තුළිණි. එක් සිර කුටියක සිටින සිරකරුවන් දෙදෙනාගේ ආහාර පරිභෝජනය පිණිස එම මහලේ ඉතා සුළු මොහොතක් මෙම ආහාර සහිත වේදිකාව නවත්වනු ලැබේ.

කුළුනේ ඉහළම මහලේ දැඩි සුපරික්ෂාව යටතේ සූදානම් කෙරෙන අධි සුඛෝපභෝගී ආහාර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබා ගතහොත්, එය සියළුම සිරකරුවන් සදහා ප්‍රමාණවත් වන බැව් කියැවේ. ආහාර බෙදාහැරීම සදහා ඇති මෙම ක්‍රමවේදය අනුව ඉහළම පිහිටි සිරකුටි දහයක පමණ සිරකරුවන්ට අතිවිශිෂ්ට ආහාරවේලක් ලබා ගැනීමට හැකිවන අතර පහළ තවත් සිරකුටි පනහකට පමණ ඔවුන් ඉතිරිකළ ආහාරවලින් යැපීමට සිදු වේ. ඔවුන්ගේ මඟහැරුණු සුන්බුන්වලින් පහළ තවත් සිරකුටි පණහකට පමණ යාන්තමින් දිවිරැකගත හැකි නමුත්, ඊටත් පහළින් සිටින සිරකරුවන් සඳහා කිසිවක්ම නොලැබේ. ඔවුහු එකිනෙකා මරා ගනිමින් දිවි පැවැත්ම පිණිස ඔවුනොවුන්ගේ ශරීර මාංශය කෑමට පෙලඹෙති. බොහෝවිට සියවන මහලෙන් පහළ කාමරවල සිටින සිරකරුවන් දෙදෙනා අතරින් ශක්තිවන්තයා පමණක් දිවිරැකගනියි.

තිර රචනය අනුව සිරකරුවන් දෙදෙනෙකුට එක් මහලක රැඳීමට හැක්කේ මාසයක පමණ කාලයකි. ඉන්පසුව ඔවුන් ස්වයංක්‍රීයව, සසම්භාවීව වෙනත් මහලකට මාරු කරණු ලැබේ. එබැවින්, අවස්ථාව ලැබුණු සැනින් ඉහළින් ඇති කුටිවල සිරකරුවන් පහළින් සිටින කිසිවෙකු ගැන නොසිතා ගිජුව ආහාර ගිලගැනීම සාමාන්‍යය සිදුවීමයි. ඊළඟ මාසයේ නැවතත් ආහාර නොලැබීමේ බොහෝ ඉඩක් ඇති බැව් ඔවුහු දනිති. සිරකරුවන් වෙත පසුව පරිභෝජනය සඳහා ආහාර ළඟ තබාගැනීම අවුරා ඇත.

මෙම ක්‍රියාවලිය ගැන අනවබෝධයෙන් යුතුව චිත්‍රපටයේ කතානායකයා වන “ගොරෙන්“ සිරගෙදරට පැමිණෙන්නේ ස්ව කැමැත්තෙනි. ඒ මාස හයක සිරගතවීම වෙනුවන් ඔහුට හුවමාරුකරගත හැකි උපාධිය වෙනුවෙනි. තමන් තෝරාගත් එක් දෙයක් සිරකුටිය වෙත රැගෙනයාමට සෑම සිරකරුවෙකුටම ඉඩ දී ඇති අතර ඔහු අත රැඳෙන්නේ ඓතිහාසික ස්පාඤ්ඤ නව කතාවක් වූ මිගෙල් ද සර්වන්තෙස් (Miguel de Cervantes) ගේ “දොන් කිහෝතෙ“ (Don Quixote – 1605) ග්‍රන්ථයයි. සිරකුටියේ ක්‍රියාපටිපාටිය ගැන අවබෝධයෙන් යුක්තවූවෝ තමන්ගේ දිගුකල් පැවැත්ම පිණිස ප්‍රයෝජනවත් වේ යැයි සිතෙන දෑ ළඟ තබා ගනිති. ගොරෙන් පළමුවෙන් පැමිණෙන්නේ ආහාර අහිමිවීම පිළිබඳ එතරම් ගැටළුවක් නොමැති 48 වන මහලේ සිර කුටියටයි. කපන්න කපන්න මුවහත්වෙන පිහියක් තමන්ගේ තේරීම ලෙස ලඟ තබාගෙන සිටින දැඩි ස්වාර්ථකාමී “ත්‍රිමගාසි“ නම් වූ තම සිර සගයා සමඟ භොතිකමය සහ මනෝමය සංවාදයන් සමඟ චිත්‍රපටය ගලා යයි.

ගොරෙන්: කොච්චර කෑම ලැබෙනවද පහළ සිරකුටිවලට
ත්‍රිමගාසි: මුකුත්ම නෑ
ගොරෙන්: එහෙනම් අපි කතා කරන්න ඕනෑ අපිට උඩින් ඉන්න අයට
ත්‍රිමගාසි: මොකටද?
ගොරෙන්: එතකොට උන්ට නියමිත කොටස විතරක් අරගෙන පහළ අයට ඉතුරු කරන්න පුළුවන්. උන්ට පුළුවන් ඒ පණිවිඩය ඊළඟ ඉහළ තට්ටුවට ගෙනියන්න
ත්‍රිමගාසි: ඕ.. ඕ.. තමුසේ කොමියුනිස්ට් කාරයෙක්ද?
ගොරෙන්: මම යුක්තිසහගතව හිතන්නෙ. අපිට පුළුවන් ආහාර බෙදාහදාගන්න
ත්‍රිමගාසි: මම දන්න නිසයි කියන්නෙ ගොරෙන්... ඉහලින් ඉන්න අයට අපිට අහුම්කන්දෙන්න ඕනෙකමක් නැහැ
ගොරෙන්: එහෙනම් අපි පහළින් පටන් ගනිමු
(ගොරෙන් පහළ සිරකරුවන්ට කතා කරනවිට, ඔවුහු ඊළඟ වාරයේ තමන්ට වයින් ඉතිරිකරන සේ ඔහුට බැන වදිති. ත්‍රිමගාසි කේන්තියෙන් පැමිණ පහල මහලට මුත්‍රා කරයි.)
ත්‍රිමගාසි: අවජාතකයො... බීපල්ලා මෙන්න වයින්...
ත්‍රිමගාසි: පහළ ඉන්න එවුන් පහළයි ගොරෙන්
ගොරෙන්: ඊළඟ මාසයේ උන් අපට වඩා උඩින් ඉඳීවි
ත්‍රිමගාසි: ඔව් එතකොට උන් අපිට ඕකම කරාවි..අවජාතකයො

වහල් රාජ්‍යය සහ වැඩවසම් නිෂ්පාදන මාදිලින් තුළ බලපැවැති නග්න ශ්‍රමය සූරාකෑම ඉක්මවා වත්මන් ධනේශ්වරය විසින් මිනිසුන්ගේ ශ්‍රමය සූරාකෑම සූක්ෂමව සිදුකරන අතර එහි සැකැස්මෙහි මූලිකවම ඇත්තේ උත්තේජිත තරඟකාරීත්වයයි. ඔවුහු පොදු හැඟීම් වෙනුවට ස්වාර්ථය පමණක්ම ප්‍රබලව ඉස්මතු කිරීමට වගබලා ගනිති. ස්වාර්ථකාමී සහ වෘත්තීය කේන්ද්‍රික මිනිසාගේ පැවැත්ම, පාලනයේ දී මෙන්ම සූරාකෑමේ දී පහසුවකි. තනිව ජීවන අරගලයේ යෙදෙන ශ්‍රමිකයා තමන්ගේ අභිවෘද්ධිය පිණිස අනෙකා නොසළකා හැරීමට හෝ විනාශකර දැමීමට ඉතා පහසුවෙන් යොමුවේ. මනුෂ්‍යත්වයෙන් තොර එවන් සමාජයක ජඩ ස්වභාවය වෙනදාටත් වඩා අපි සියල්ලෝම අත්විදිමින් සිටිමු. මිනිසාගේ එක්සත්කම, පරාර්ථකාමය වැනි මානව හැඟීම් අනුක්‍රමයෙන් විනාශවෙමින් පවතී.

“ධනපති පංතිය, සිය ආධිපත්‍ය පැතිරූ සෑම තැනෙකම...මිනිසෙකු සහ මිනිසෙකු අතර නග්න ස්වාර්ථකාමය හැර අන් කිසිවක් ඉතිරි නොකළේය, (කොමිනිස්ට් ප්‍රකාශය, කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංග්ල්ස්)

චිත්‍රපටයේ සිරස් ස්වයං-කළමනාකරණ මධ්‍යස්ථානය මූර්තිමත් කරවනුයේ මෙම පාලන ක්‍රමය යටතේ ගොඩනැංවුණු සමාජ ව්‍යුහයයි. මධ්‍යස්ථාන පරිපාලනයේ මූලික පරමාර්ථයන් චිත්‍රපටය තුළ අපහැදිලි මුත් (එය චිත්‍රපටයේ මූලික ආඛ්‍යානය නොවන බව වරෙක අධ්‍යක්ෂ ගැල්ඩර් පුවත්පතකට පවසා තිබුණි) එයින් දෘශ්‍යමානවන්නේ දැනුවත්ව මෙම විෂමතාවය මෙන්ම විනාශය ද නඩත්තු කරන රාජ්‍යයේ ස්වභාවය යි. එහි සිටින සිරකරුවන් තුළින් ඔවුන්ගේ සිරකුටි පිහිටුමෙහි උච්ඡතාව අනුව සමාජ අසමානත්වයේ ස්ථරයන් පිළිබිඹු කෙරේ. ඔවුන් එහි නොවැළැක්විය හැකි ගොදුරු ය. නමුත් මෙම සමාජ ව්‍යුහයට එරෙහිව නැගී සිටීමේ ව්‍යතිරේකී මිනිසා සිටින්නේ ද ඔවුන් අතර ය. සානුකම්පිත මෙන්ම රැඩිකල් ප්‍ර‍වේශයන්ගෙන් අනතුරුව ඔවුන්ගේ අවසන් උත්සාහය වන්නේ මනුෂ්‍යත්වය තවමත් සප්‍රාණිකව ඇති බව සංකේතාත්මකව මධ්‍යස්ථානයේ පරිපාලනය වෙත දැනුම්දීමේ අරමුණ ළඟාකර ගැනීමයි. එම “සංකේතය“ බාහිර පාර්ශවයකට මනුෂ්‍යත්වයේ හැඟවුමක් වුව එහි යථාර්ථය එසේ නොවන බව චිත්‍රපටය තුළින්ම පෙන්වා දෙන විට එයින් උද්දීප්ත බලාපොරොත්තු දැල්වීමේ රූපකය හැරෙන්නට එහි දෘෂ්ටිවාදය අපහැදිලි ය. එහෙත් ගැල්ඩර් පවසන පරිදි සැබෑ පැනය වන්නේ අප තවදුරටත් මේ අධමත්වයේ ගැවසිය යුතු ද, නැතිනම් ඊට එරෙහිව සටන්වැදිය යුතු ද යන්නයි. එහෙත් අවිශද අවසානයක් සහිත තිර රචනයෙහි, අරගලයේදී පීඩිතයා සතු අත්‍යාවශ්‍යම මෙවලම මඟහැරී ඇතැයි මට සිතේ.

පීඩකයාට එරෙහිව පීඩිත පංතියේ එකමුතුවට අත්‍යන්ත අන් යමක් වේද?

චිත්‍රපටයේ චරිත, දෙබස්, සංකේත සහ රූපරාමු වෙනම ම අධ්‍යයනය කළ යුතු තරමට රූපාත්මක ය. එහෙත් ඒ සියල්ල චිත්‍රපටයේ කතා තේමාවට කිසිදු බාධාවක්වත් නොවන පරිදි ඓන්ද්‍රියව පවතී. චිත්‍රපටයේ අනාවෘත අවසානය ප්‍රශ්නකාරී වුව, ඩේවිඩි ඩෙසෝලා සහ පෙද්රෝ රිවෙරෝ (David Desola and Pedro Rivero) ගේ තිර රචනය සංයුක්ත ය; ප්‍රබලය. උපහාසය මෙන්ම උත්ප්‍රාසය සම්මිශ්‍ර වුවද එය සාහසික සහ ප්‍රචණ්ඩ ය. ගොරෙන් ලෙස රඟපාන ඉවාන් මසගේ (Iván Massagué) ඇතුළු නළු නිලියන්ගේ විශිෂ්ට රඟපෑම් ප්‍රේක්ෂකයා සිරස් කුලුණු සංකීර්ණයේ ම රඳවාගනී.

2014 වසරේදී තිරගත වූ අධ්‍යක්ෂක බොන් ජූන් හෝ (Bong Joon Ho) ගේ Snowpiercer නම් වූ විද්‍යා ප්‍රබන්ධය සංකල්පමය වශයෙන් The Platform සමඟ සමපාත වන නමුත් එම කෘතීන් එකිනෙක සංසන්දනය කිරීම සාධාරණ නොවේ. Snowpiercer විශාල පිරිවැයකින් ප්‍රබල කතා තේමාවක් විවරණය කළ කෘතියක් වන විට The Platform අඩු පිරිවැයකින් නිමකළ සංකල්පිත අභ්‍යාසයකි. එහෙත් Snowpiercer වැනි සිනමාවකට කැමැත්තෝ The Platform චිත්‍රපටය වින්දනය කරනු ඇති බැව් නොඅනුමාන ය.

ගෝලීය ධනේශ්වර පාලන ක්‍රමය තුළ සමාජ අසමානත්වය සහ එමඟින් එම සමාජයෙහි ඇවිලෙන ස්වාර්ථකාමය මෙන්ම එයට එරෙහි වීමේ අරගලය විමසන The Platform, සිය ප්‍රථම නිර්මාණයෙන්ම සිනමාව තුළ සිය මුද්‍රාව තැබූ අධ්‍යක්ෂ ගැල්ඩර් ගේ ව්‍යක්ත දේශපාලන දෘෂ්ටාන්තයකි. ඔහුගේ මෙම ප්‍රබල ආරම්භයෙන්, අනාගතයේ ඔහු වෙතින් බිහි වෙතැයි සිතිය හැකි තවත් පරිනත කෘතීන් සඳහා බලාපොරොත්තුවක් දැල්විය හැකි වීම ආස්වාදජනක ය.☐

(මේ වන විට Netflix හි ප්‍රචාරය වන මෙම චිත්‍රපටයෙහි මිනිත්තු 94 ක ධාවන කාලය තුළ ජුගුප්ස්සාව, ත්‍රාසය සහ ප්‍රචන්ඩත්වය අනූන බැවින් The Platform නැරඹීමේ අභිමතය පුද්ගල නිශ්‍රිතය. මෙම චිත්‍රපටය සඳහා 2019 ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේ “Midnight Madness“ නම් වූ ජනතා තේරීම් සම්මානය හිමිවිය.)

මහේෂ් මුණසිංහ


© JDS


මූලාශ්‍ර:

https://www.theguardian.com/business/2019/jan/21/world-26-richest-people-own-as-much-as-poorest-50-per-cent-oxfam-report
https://www.oxfam.ca/news/worlds-richest-1-have-more-than-twice-as-much-wealth-as-6-9-billion-people-says-oxfam/
https://www.cnbc.com/2018/06/18/how-amazon-made-jeff-bezos-the-richest-man-alive-worth-141-billion.html
https://www.britannica.com/topic/Don-Quixote-novel

https://www.google.com/publicdata/explore?ds=d5bncppjof8f9_&met_y=ny_gdp_mktp_cd&idim=country:LKA:NPL:MMR&hl=en&dl=en
https://www.google.com/search?client=firefox-b-d&q=food+ton+150%2C000+america
http://www.fao.org/news/story/en/item/1180443/icode/
https://www.marxists.org/archive/marx/works/1848/communist-manifesto/
https://www.tiff.net/awards


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.