JDS Sinhala

'ඇත්ත' සංවාදයෙන් ඇබින්දක්: අපේ ‘යක්ෂයා’ ‘පාරාදීසයට’ මාරුකිරීම

ජූඩ් රත්නම්ගේ 'පාරාදීසයේ යක්ෂයෝ' වාර්තා චිත්‍රපටය මාස කිහිපයකට කලින් කොළඹ සංස්කෘතික කවයන් තුළ හදිසි උද්වේගයක් ජනිත කොට තිබුණි. යාපනයේ සංවිධානය කෙරුණු සිනමා උළෙලක ඒ වාර්තා චිත්‍රපටය නොපෙන්වීමට සංවිධායකයන් විසින් ගත් තීරණයක් හේතුවෙනි. ප්‍රකාශනයේ නිදහසත්, දෙමළ ජාතික ජාතික අරගලයේ යුක්ති යුක්තභාවයත් යනාදී කරුණු වටා භ්‍රමණය වූ ඒ උද්වේගය දකුණේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාත් පදනම් කොට සිංහලෙන් ඇවිළ ගියේය.

2018 ඔක්තෝබර් මාසයේ 28 වැනිදා 'ඇත්ත' පත්තරයේ 'අලංකාරය' අතිරේකයේ සනත් බාලසූරිය හා කළ සාකච්ඡාවක් පළ කෙරුණේ ඉහත උද්වේගය සිඳී යන්නට කලිනි. 'සාමූහික ආත්මයේ තුවාළ පාරන්න තරම් ප්‍රගතිශීලීන්ගේ පවා චින්තනය දිළිඳුයි' මැයෙන් පළ වූ එම සාකච්ඡාවේ තැනෙක ඔහු මෙසේ කියයි:

"ලංකාවෙත් පහුගිය දවස්වල වාර්තා චිත‍්‍රපටයක් සම්බන්ධයෙන් ‘අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය’ කියන තේමාව යටතේ මහා ආන්දෝලනයක් ඇතිවුණා. ‘තමන්ගේම ජාතියේ මිනිස්සු (දෙමළු) කොයිතරම් මැරිලා හරි යුද්ධය අවසන් වනවා දකින්නට තමන්ට අවශ්‍ය වුණු බව’ ප‍්‍රසිද්ධියේ කියන (කොළඹ ඉපදුණු, ළමාකාලයෙන් වසර හතරක් මඩකලපුවේ ජීවත් වූණු, මහනුවර හැදී වැඩුණු ‘දෙමළෙක්’ නිර්මාණය කළ චිත‍්‍රපටයක් දකුණ මූලික වී යාපනයේ සංවිධානය කරන සිනමා උළෙලක පෙන්වන එකට යාපනයේ දෙමළා විරුද්ධ වීම අපට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිවීමක් විතරමද? යුද්ධයකින් කොච්චර හරි මිනිස්සු (මේ කියන්නෙ සටන්කරුවන් ගැනවත් නෙවෙයි) මැරෙන එක අනුමත කිරීමේ කලාව කොහෙ තියෙන අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසකටද අයිති වෙන්නෙ?" (සම්පුර්ණ ලිපිය මේ සබැඳියෙන්)

ජර්මානු ඉතිහාසයත්, වාර්ගික සමූහ ඝාතන හා පොදුජන විඥානයත් ගැන පළකෙරුණු අදහස්වල සන්දර්භය තුළ ඔහු විසින් උදාහරණ කොට දක්වන ලද ඉහත  අදහසට පිළිතුරක් සතියක් ඇවෑමෙන් 'ඇත්ත' පුවත්පතේ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ විසින් ලියන ලදී. (අදාළ පිළිතුර මේ සබැඳියෙන්).

ඊට පිළිතුරු වශයෙන් සනත් බාලසූරිය විසින් ලියන ලදුව 'ඇත්ත' පත්‍රයේ පළවූ අවසන් සටහන පහතින් පළ වේ. මේ නැවත් පළකිරීම, මුල් සංවාදය මඟහැරුණු පාඨක පිරිස් වෙනුවෙනි. - සංස්කාරක කමිටුව


['ඇත්ත' පත්‍රය විසින් පළකළ සංස්කාරක සටහන: ‘පාරාදීසයේ යක්ෂයෝ කවරහු ද?’ නමින් පසුගිය දා ඇත්ත ‘අලංකාරය’ වෙත අප ලියූ ලිපිය හා බැඳුණු පිළිතුරු ලිපියක් සනත් බාලසූරිය විසින් එවා තිබේ. සංස්කරණයකින් තොරව සහ පෙර අපගේ ලිපියට ලබා දුන් අවකාශයට සමාන අවකාශයක් ද වෙන් කරමින් අප එය මෙහි පළ කරමු. එසේ ම අප විසින් උක්ත උපුටාගැනීමේ දී ඔහු එම අදහස පළ කර ඇති සන්දර්භය නොදැක්වීමෙන් අචාරධර්ම කඩ කොට ඇතැයි කරන සඳහන පිළිගනිමින් ඊට සමාව ඉල්ලා සිටිමු.‍

එසේ ම නැවත ඊට පිළිතුරු ලිපියක් ලියන්නට අපට අදහසක් නැත්තේ අප මේ කරුණු හා එකඟ වන බැවිනි. යමක් සෑහෙන සහ තර්කානුකූල ව ඔප්පු කළ පසු මුග්ධ ලෙස ස්වාත්මය නගාගන්නට බොරුවට තර්ක නොකිරීම සංවාදයෙහි දී ශිෂ්ට කරුණක් ලෙස විශ්වාස කරන නිසාවෙනි. - සඳුන් ප්‍රියංකර විතානගේ]

   *                                 *                                 *                                 *                                 *                                 *

ම්මුඛ සාකච්ඡාවකදී නැඟුණු පැනයකට මා දුන් පිළිතුරක කොටසක් උපුටා දක්වමින්, ජූඩ් රත්නම්ගේ Demons in Paradise වාර්තා චිත‍්‍රපටය වටා ගොඩනැඟුණු සංවාදය අලූත් කිරීමට සඳුන් ප‍්‍රියංකර විතානගේ දරන උත්සාහය වැදගත් නමුත්, එ’විසින් උත්පාද කැරෙන තීරණාත්මක ගැටලු කිහිපයකට මගේ ප‍්‍රතිචාරය ද සටහන් කර තැබීම ඇවැසි යැ යි හඟිමි.

සඳුන් මගේ අදහස උපුටා දක්වන ආකාරයෙන් ගම්‍ය වන්නේ, එය මා මෙම සිනමාපටය සම්බන්ධයෙන් ම ඔවුන්ගේ පුවත්පතට කළ විශේෂ, කේවළ ප‍්‍රකාශයක් බව යි. මෙය සාවද්‍ය ය. උක්ත කොටස එන්නේ ජර්මනියේ සිදුවූ යුදෙව් වර්ග සංහාරය පිළිබඳ ප‍්‍රශ්නයකට දෙන පිළිතුරක කොටසක් ලෙසිනි. ඒ අනුව, එහි මගේ මුඛ්‍ය තේමාව සිනමාපටය නොවේ. මා කතාකරන්නේ ඒ මහා යුදෙව් සංහාරය ‘නොසිදුවූවක්’ හෝ ‘කියන තරම් බරපතල නොවූවක්’ ලෙස ප‍්‍රසිද්ධියේ කියාසිටීම, ‘අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට’ මොනම විදියකින්වත් අයත් නොවීමත්, එවැනි ප‍්‍රකාශ අදත් යුරෝපයේ බොහෝ රටවල නීතියෙන් තහනම්වීමත් ගැන ය. ඉතාම සංවේදී, විවාදාපන්න විෂයයක් ගැන වාර්තා චිත‍්‍රපටයක් නිපදවූ පුද්ගලයෙක් සිනමාපටය තුළමත්, ඉන් පරිබාහිරවත් කර ඇති ප‍්‍රකාශයක් පමණක්, මම මගේ මුඛ්‍ය තේමාව කියවන්නාට වඩා සමීප කිරීමේ පිටුබල තර්කයක් ලෙස යොදාගතිමි.

වෙනත් තැනක ආ අදහසක් උපුටා විවේචනය කිරීමේ දී, ඒ අදහස ස්ථානගත සන්දර්භය නිවැරැුදිව දැක්වීම ජනමාධ්‍යවේදියකුගෙන්, සදාචාරවත් සංවාදකයකුගෙන් බලාපොරොත්තු විය යුතු ආචාර ධර්මයකි. එය සඳුන්ගේ සංවාදයෙන් ගිලිහේ. දැන් මා වෙනත් කරුණකට උපස්තම්භක ලෙස එක්කළ අදහසක්, සඳුන් අතින් චිත‍්‍රපටයක් අරබයා ඔවුන්ගේ පුවත්පතට කරන ලද විශේෂ ප‍්‍රකාශයක් බවට පත්ව තිබේ. ඒ අනුව සඳුන්ගේ ම ‘සඳ සහ ඇඟිල්ල’ පිළිබඳ ‘පට්ට ගැසූ කතාව’ නිරායාසයෙන් මෙතැනට ආදේශ වෙයි. මා වෙනත් යමක් පෙන්වන්නට දිගු කළ ‘ඇඟිල්ල’ ඔහු තමන්ට ගැලපෙන ගාණට කපාගෙන ඇත.

මිනිසුන් මරා යුද්ධය අවසන් කිරීම

තමන්ගේ ප‍්‍රකාශයත් සන්දර්භයෙන් උදුරා විවිධ ලෙස අර්ථකථනය කිරීම වැරදි බවක් ජූඩ් රත්නම් ද කියා ඇත. එහෙත් ‘කොතරම් මිනිසුන් මරාදමා හෝ යුද්ධය අවසන් වනු දකින්නට තමන්ට අවශ්‍ය වී’ යැ යි කියැවෙන ප‍්‍රකාශයක් මොන සන්දර්භයට දැම්මත්, ශිෂ්ටාචාරගත සමාජයක් හමුවේ සාධාරණීකරණය කළ හැක්කක් නොවේ. මිනිසුන් මරා හෝ ප‍්‍රශ්න විසඳීම අයත් වන්නේ ෆැසිස්ට් අදහස් කලාපයකට මිස ශිෂ්ට කලා/සංස්කෘතික/දේශපාලන/මතවාද කලාපයකට නොවේ.

සඳුන් කියන ‘කතුවරයාගේ මරණය’ නම් කලා විචාර සංකල්පය මා කියන දෙයට කොහෙත්ම අදාළ නැත. ඉහත කෙටි අදහස කීමෙන් මා කළේත්, දැන් මා මෙහි කරන්නේත් කලා විචාරයක් නොවේ. මුලුමනින් ම කලාකෘතියක් නොවන වාර්තා චිත‍්‍රපටයක අධ්‍යක්ෂවරයා චිත‍්‍රපටය තුළත්, ඉන් පිටතත් කරන ප‍්‍රකාශයක් ඔස්සේ ගොඩනැගෙන දේශපාලනික වූද, ආචාරධාර්මික වූද ගැටලුවක මෙතෙක් නොතකා හැරුණු පරාසයක්, ඒ සමස්ත කතිකාවට අභිමුඛ කරවීම පමණක් මම කරමි. න්‍යායයන් කොතෙක් තිබුණත් ඒවා භාවිත කළ යුත්තේ අදාළ තැනදී පමණි. නැතිනම් එය න්‍යායන්ට ද කරන හානියකි.

(ඓතිහාසික නොවන) ප‍්‍රබන්ධයක චරිත, යථා ලෝකයේ සෙවීම විහිළුවකි. එහෙත් මේ වාර්තා චිත‍්‍රපටයේ එන නිශ්චිත චරිත හා සිදුවීම් සැබෑ ලෝකය හා ගලපා බැලීම, ඔහු වාර්තා කරන ඉතිහාසයට සාධාරණයක් ඉටුවන්නේදැ‘යි පිරික්සා බැලීමේ පැත්තෙන් අත්‍යාවශ්‍ය ය.

ඒ අනුව සඳුන් උපහාස පූර්වකව වරනඟන අධ්‍යක්ෂවරයාගේ ‘දෙමළකමේ ශුද්ධභාවය ප‍්‍රශ්න කිරීම’ සේම, චිත‍්‍රපටයේ ප‍්‍රධාන ‘චරිතය’ වන, අපත් දන්නා හඳුනන මනෝරංජන්ගේ ‘සැබෑ චරිතය’ වෙත යොමුවීම ද මේ සාකච්ඡුාව දිගේ ඉදිරියට යන්නේ නම්, මට අතිශයින් අදාළ ය. මන්ද, ජූඩ් හා මනෝරංජන් එකතුව වාර්තානුසාරීව ප‍්‍රතිනිර්මාණය කරන බව කියන්නේ දෙමළ අරගලයේ එක් තීරණාත්මක වකවානුවක ‘ඉතිහාසය’ බැවිනි. එක් කුඩා නිදසුනක් දක්වතොත්, මනෝරංජන් සෙල්වි නම් තරුණ කිවිඳියගේ නම චිත‍්‍රපටයෙහි හැඬූ කඳුළින් උසුරුවයි. උත්සාහය තමන්ට සැඟවුම් ස්ථානයක් ලබාදීමත්, ඇගේ ඝාතනයත් අතර සම්බන්ධයක් ගොඩනැඟීම ය. එහෙත් චිත‍්‍රපටය ලංකාවෙන් බැහැර ප‍්‍රදර්ශනය වූ අවස්ථාවක දී මනෝරංජන් හා සෙල්වි අතර තිබුණා යැ යි කියන සබඳතාව/දැනහැඳුනුම්කම ප‍්‍රශ්න කැරුණු කල්හි, ඊට දීගත හැකි නිශ්චිත පිළිතුරක් නොතිබූ බව චිත‍්‍රපටය ගැන දෙමළ සමාජයේ කතිකාව ගැන අවබෝධයක් ඇත්තෝ දනිති. ජූඞ්ලාගේ හා මනෝරංජන්ලාගේ ඉතිහාස වර්ණනාවේ ඇති ‘ගැප්’ මේවා ය. සිංහල සමාජයට මේ ‘ගැප්’ නොපෙනුණාට ඒවා දකින, ඓතිහාසික කරුණු වශයෙන් ඒවා අත්විඳි මිනිස්සු තාමත් දෙමළ සමාජයේ ජීවත් වෙති.

ශාස්ත්‍ර විරෝධී සූදුව

‘කතුවරයාගේ මරණය’ මෙතැනට අදාළ නොවන අනෙක් කාරණය වන්නේ ‘‘මගේම මිනිසුන් මරාදමන්නට සිදුවුවත්, අප ආරම්භ කළ මේ අරගලය, මේ උමතුව අවසන් වනු දකින්න මට අවශ්‍ය වුණා” යයි අධ්‍යක්ෂවරයා කරන ප‍්‍රකාශය ‘කෘතිය විනිශ්චය කිරීමේ දී කර්තෘගේ පෞද්ගලිකත්වය අදාළ නොවේ’ තාලේ කලා වෛෂයික සංකල්පයක් අස්සට දැමීම කිසිසේත්ම කළ නොහැකි බැවිනි. ජූඞ් එහිදී උසුරුවන්නේ කලා නිර්මාපකයකු විසින් දැරියයුතු මතවාදයක් නොව, තනිකරම ෆැසිස්ට් අදහසකි. එවන් ෆැසිස්ට් ප‍්‍රකාශයක් මගහැර යාමට ශාස්ත‍්‍රීය න්‍යායන්ට මුවාවීම නම් භයානක, අදේශපාලනික, ශාස්ත‍්‍ර විරෝධී සූදුවකි.

සඳුන්ට ජූඩ්ගේ ‘දෙමළකමේ ශුද්ධභාවය ප‍්‍රශ්න කිරීමක්’ වන ජූඩ් රත්නම්ගේ සැබෑ අනන්‍යතාව හඳුනාගැනීම, අප කතිකාවට අවියෝජනීය ලෙස දෙයාකාරයකින් ම බැඳී තිබේ. පළමුව, ඔහු ‘‘මගේම මිනිසුන් මරාදමන්නට සිදුවුවත්” තමන්ට යුද්ධයේ අවසානයක් දකින්නට අවශ්‍ය වූ බව කියන විට, මේ කියන ‘මගේ මිනිසුන්’ හඳුනාගැනීමට එය අතිශයින් අදාළ ය. දෙවනුව, මේ චිත‍්‍රපටයත් සමඟ ජූඞ් තමන්ටම ගොඩනඟාගන්නා ‘මම’ නම් අලුත් ප‍්‍රබන්ධය, සිය කෘතියට සුජාතභාවයක් ලබාගැනීමත්, එය මාකට් කිරීමත් අරමුණු කරමින් ම ගොඩනඟා ඇති බව පෙනෙන හෙයින්, ‘සැබෑ රත්නම්’ හා ‘ප‍්‍රබන්ධිත රත්නම්’ වෙන්කොට හඳුනාගැනීමත් අපේ කාර්යයට අතිශය වැදගත් ය.

ජූඩ් මෙහි කියන යුද්ධය අවසන් වන්නේ නම් ‘මැරුණත් කමක් නැති’ දෙමළුන් සමූහාර්ථයෙන් අගනුවර උපන් හෝ රටමැද හැදී වැඩුණු හෝ දරුවන් බේරාගැනීමට ඉන්දියාවට පළා ගිය දෙමළුන් නොවේ. අවසන් අදියරේ හතරවටින් කොටුවී මරණය අබිමුව සිටගෙන උන් උතුරේ දෙමළුන් ය. එවිට ‘මැරුණාට කමක් නැතැ යි’ ගම්‍ය කරන ‘මගේ මිනිසුන්’ (ඔහු මේ සාහසික ප‍්‍රකාශයකට සුජාතභාවයක් හා තමන්ගේකමක් ආරෝපණය කරන්නට හදන්නේ මේ ‘මගේ’ කෑල්ලෙනි.) ඇත්තටම ඔහු ගේ මිනිසුන්දැ’ යි සොයාබැලීම සඳුන්ට උත්ප‍්‍රාසයක් වූවාට අපට එය උත්ප‍්‍රාසයක් නොවේ. සැබවින්ම ඔහු මේ කියන්නේ තමන්ගේ ම මිනිසුන් ගැනද? නැත, තමන්ගේ මාපිය, සහෝදර නෑසියන්, අසල්වාසීන් තබා දැනහැඳුනුම්කමක්වත් නොතිබෙන්නට ඉඩ ඇති මනුෂ්‍ය කොට්ඨාසයක් ගැන ය. හුදෙක් දෙමළ වීම නිසා මෙවැනි වැඩකදී තමන්ට අනන්‍ය කරගත හැකි, එහෙත් වෙනත් භෞමික හා දේශපාලනික සන්දර්භයකට අයත්, වෙනම සාමූහික අභිලාශයන් සහිත, වෙනම අරගලයකට බැඳුණු, එබැවින්ම, වෙනම ඉරණමකට බැඳුණු මිනිස් කොට්ඨාසයක් ගැන ය. ඒ අනුව අර සාහසික ප‍්‍රකාශයට බොරු ‘තමන්ගේකමක්’ දෙන්නට යොදන ‘මගේ’ කෑල්ල තනිකර ව්‍යාජයකි.

ජූඩ් රත්නම්ගේ අනන්‍යතාව

දෙවනුව ඔහු සිය චිත‍්‍රපටයට ඓන්ද්‍රීය සම්බන්ධයක් දීම සඳහාම ගොඩනගන ‘මම’ නම් ප‍්‍රබන්ධයේ ව්‍යාජය පෙන්වීමට ද ඔහුගේ නිවැරදි අනන්‍යතාව අවශ්‍ය ය. මෙවැනි චිත‍්‍රපටයක් හැදීමට ජූඞ්ට ඇති ඓන්ද්‍රීය සම්බන්ධය කුමක්දැ’ යි ‘‘දිනමිණ” (යක්ෂයා කවුද රටට කියන්න - ජූඩ් රත්නම් - 09/10/2018) විමසන පැනයට ජූඞ් කියන්නේ කළුජූලිය අවස්ථාවේ දී සිය පවුල ජීවිත බේරාගැනීම පිණිස මඩකලපුවට පළා ගිය බව ය. එවිට ජූඩ්ගේ වයස 05කි. මේ අවුරුදු පහේ ළමයාට ‘‘ආයුධ සන්නද්ධ කල්ලි දකිනකොට ඒකත් එක්ක ආශාවක්” ඇති වේ. මේ කුඩා ළමයා ‘‘අපි ඔක්කොම එක වගේ සටන් කරමු කියන අදහසේ” සිට ඇත. අවුරුදු 1ක්, 4ක් සහ 5ක් වූ (උපරිම අවුරුදු 7ට අඩු විය හැකි) මේ ‘කොල්ලො තුන්දෙනා’ ආයුධ අතට ගනී යැ යි බියවන ඔවුන්ගේ මව ඔවුන් රැගෙන ඉන්දියාවට පළායන්නී ය. මේ මවගේ බිය ‘සාධාරණ අනාගත බියක්’ ලෙස සැලකිය හැකි වුවත්, සිංහල කියවන පාඨකයා හමුවේ ජූඩ් කරන්නේ ඒ බිය වංචනික ලෙස ආයෝජනය කිරීම ය. (එහෙත් මේ පිළිතුරේ ම තව තැනක ඔහු කියන්නේ ‘ඉන්දියාවට ගියේ කොටින්ගෙන් බේරෙන්නට’ බව ය. මෙයින් කවරක් ඇත්ත ද? දන්නේ ජූඩ්ම ය.) ඉතින්, මේ ගැටලු නිරාකරණය කරගැනීමට මට ජූඩ් ගේ සැබෑ අනන්‍යතාව වැදගත් ය.

දිනමිණේ ඉහත ප‍්‍රශ්නයට ‘‘මට එවැනි ඓන්ද්‍රීය සම්බන්ධයක් නැහැ. එහෙත් අපේ ‘මාමාට’ එවැනි සම්බන්ධයක් තියෙන බව ඔහු කියනවා. ඉතින් මා දන්නා සිනමාවෙන් ‘මාමාගේ’ ඓන්ද්‍රීය අත්දැකීම ප‍්‍රතිනිර්මාණය කළා” වැන්නක් කීවානම් මෙලෙසින් හිස්තැන් තබා අලුත් ‘මම’ ප‍්‍රබන්ධයක් හැදීමේ අවශ්‍යතාවක් නැත. චිත‍්‍රපටයක් හැදීමට, ඒ විෂයයට අමුතු ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇවැසි නැති බැවිනි.

දැන් ‘කතුවරයාගේ මරණයත්’ යහමින් උසුරුවන, උතුරේ සන්නද්ධ කණ්ඩායම්වල සිටි වාමාංශිකයන් සේ ම දෙමළ ජාතික විමුක්ති සටනේ හිස අහිමිවූ හැටිත් පිරිසිඳ දන්නා සඳුන්ලාට මේ ජූඞ් චරිතයේ ‘ගැප්’ නොපෙනෙන්නේ, ජූඩ් යනු තමන් ප‍්‍රියකරන වර්ගයේ චිත‍්‍රපටයක් කර මානසික අල්ලසක් දුන්, තමන් කැමැති ජාතියේ දෙමළෙක් නිසාද?

සිංහල ජාතිවාදියාගේ ප්‍රහර්ෂය

විදර්ශන කන්නන්ගරගේ අදහසක් අනුමත කරමින් සඳුන් කියන්නේ මේ සිනමාපටය ‘‘දකුණේ ජාතිවාදීන්ට උඩපනින්නට දෙයක්” නොවන බව ය. මේ තර්කය ම ගතහොත්, එය ‘‘දෙමළ ජාතික විමුක්ති අරගලය පිළිගනිමින්” අදහස් දක්වන සඳුන් ද ඇතුළු අප බොහෝ දෙනකුගේ සැබෑ ‘අභ්‍යන්තරික සතා’ නිරුවත් කර පෙන්වන්නකි. දකුණේ ජාතිවාදියාට උඩපනින්නට ‘දෙයක්’ අවශ්‍ය බව සඳුන් මෙයින් පිළිගනියි. එනම්, ඇත්තටම ඔහු අනිච්ඡානුගව බලන්නේ ඒ දකුණේ ජාතිවාදියා හා සම්මුතිගතවීමට නොවන්නේ ද? අපට අනුව නම් ‘ජාතිවාදියාට’ උඩපනින්නට ‘දෙයක්’ තිබිය යුතු නැත. අනෙක් අතට ‘‘උඹලාට උඩපනින්නට ‘දෙයක්’ මේකේ නැතැ’’යි කලා විවරණ සපයා ජාතිවාදියා ෂේප් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවකුත් නැත. එහෙත් සඳුන්ලාගේ අවිඥානය මේ සම්මුතිය පළමු කොට ම සොයයි. මේ සංවාදයේ ඉන්නා සඳුන් නියෝජනය කරන ‘පළමු පිරිස අතර’, ‘මේ චිත‍්‍රපටය හරියට බැලූවා නම් (‘දිවයින’ පුවත්පතේ) කීර්ති වර්ණකුලසූරියලාටත් ඔය හැටි උඩපනින්නට දෙයක් නැති බව’ කියන්නෝ ද වූහ.

දැන් අපට අසන්නට ඇත්තේ මෙය යි. ‘දකුණේ ජාතිවාදියාටත්, කීර්ති වර්ණකුලසූරියලාටත් උඩපනින්නට දෙයක් නැති’, ඇත්තට ම නම් ඔවුන් සන්තර්පණය කරන, ඔවුන්ට මානසික අල්ලස් දෙන (ජූඩ් සිය සිනමාපටයෙන් ඔවුන්ට දෙන අල්ලස් සඳුන්ගේ අවිඥානය ම සැකෙවින් ලයිස්තු ගත කර ඇත) සිනමාපටයක් උතුරත් ඒ විදියටම පිළිගත යුතුය යි සඳුන්ලා සිතන්නේ ඇයි? මේ තර්කන මාර්ගයෙන් පවා පෙනෙන්නේ අප අභ්‍යන්තරයේ ලැගුම්ගෙන ඉන්නා ජාතිවාදී, වර්ගවාදී සත්වයා එහෙම ලේසියෙන් පළවාහැරිය නොහැකි බව ය. අප මොන වචන උසුරුවන්නට ගියත්, අපේ රහස් නිල හොඳ හැටි අල්ලාගෙන සිටින ඒ සත්වයා අප තමන් ආසන්නයෙන් ස්ථානගත කරගැනීමට මාන බලයි.

අපි දියුණු දේශපාලන බුද්ධි සම්ප‍්‍රදායයකට, එය නිරන්තර පෝෂණය කරන විධිමත් ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදායකට උරුමකම් කියන්නෝ නොවෙමු. එබැවින් ම යෞවනෝදයේ දේශපාලනයට අත්පොත් තබන අප බොහෝ දෙනකුට එළියට එන්නට සිදුවන්නේ ජාතිවාදයේ, වර්ගවාදයේ කැතකුණු තවරාගෙන එහි කරවටක් එරීගෙන ය. එතැනින් කැඞී වෙන්වී යාම මාරාන්තික අරගලයකි. ‘ඉන් කැඩී වෙන්වී ගොස් ඇත්තෙමු’ යි උදාන වාක්‍ය ගයන්නන් තුළ පවා සංකීර්ණ ගැටලුවක දී අර ගොහොරුවට ම ඇදුණු මුලක් දකින්නට ලැබීම මහා පුදුමයක් ලෙස ගත යුතු නැතත්, තේරුම් ගතයුතු හා පිළියම් සෙවිය යුතු තත්ත්වයකි.

‘‘දෙමළ විමුක්ති අරගලය සන්නද්ධ තැනකට තල්ලූ වී යාමට හේතුභූත වූ කරුණු කෙසේ වුවත් එකී අරගලය සාධාරණ එකක් බව මේ ලියුම්කරු පිළිගනියි.” සඳුන් මේ කියන දෙයම වෙනත් වචනවලට නැගුවහොත්, දෙමළ විමුක්ති අරගලය සාධාරණ ලෙස පිළිගන්නා ඔහුට, එය සන්නද්ධ තැනකට තල්ලූවී යාමට හේතුභූත වූ කරුණු ගැන දැනුත් ඇත්තේ දෙගිඩියාවකි. ‘නිදහස් ලංකාවේ’ හැත්තෑ වසරක ඉතිහාස පරිච්ෙඡ්ද ‘දෙමළ විමුක්ති අරගලයේ සාධාරණත්වය’ හඳුගාගැන්ම උදෙසා ‘කඩිනම් පාඨමාලාවක් ලෙස’ හදාරද්දී මගහැරුණු පිටුවල ඒ ‘හේතු’ අනන්තවත් තිබෙන්නට ඇති බව පමණක් මෙනෙහි කරන්නෙමු.

සැබැවින්ම නම් දැන් සඳුන් මගෙන් උපුටාගත් කොටසට අදාළව නඟා ඇති, ප‍්‍රතිචාර ඇවැසි සේ පෙනෙන තර්කවලට ප‍්‍රතිචාර දක්වා හමාර ය. දැන් ඉතිරිව ඇත්තේ සඳුන්ගේ ඇත්ත ම ඇත්ත අභිලාශය වෙත ගමන් කිරීම ය. ඒ ‘‘ස්වජාතික විමතික සටන්කාමීන් සමූලඝාතනය” ලෙස ජූඞ් රත්නම්ගේ සිනමාපටය අනුසාරයෙන් ඔහු තනාගන්නා ‘සුවපහසු කලාපය’ යි. එහෙත් මේ දෙක අතර පරතරයක් තබාගැනීමට අපි කැමැත්තෙමු. එබැවින් සඳුන්ලාගේ පුවත්පතින් තවදුරටත් ඉඩ ලබාදිය හැකි නම්, ඉදිරි සතියක දී ඒ සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.☐

සනත් බාලසූරිය


© ඇත්ත


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.