JDS Sinhala

සල රූ වංශය: ගිනිබත් රාජකීය වික්‍රමය, ලංකා ගීතය හා තවත් කතා


සිනමාව පිළිබඳ ආචාර්‍ය උපාධිධාරිනියක් වන විලාස්නී තම්පෝ වුටින්, ප්‍රංශ පරිපාලන දිස්ත්‍රික්කයක් වූ රේයූනිඔන්  දිවයිනේ University of La Réunion සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ලංකාවේ කීර්තිමත් සිනමාකරුවෙකු වූ රොබින් තම්පෝගේ දියණිය වන ඈ සිනමාව පිළිබඳව  පර්යේෂණ නිබන්ධන ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ. පැරිසියේ සෝර්බෝන් සරසවියට අනුබද්ධ ප්‍රාචීන භාෂා හා ශිෂ්ටාචාර පිළිබඳ ජාතික ආයතනයේ (Institut National des Langues et Civilisations Orientales) දී "Primitifs, pionniers et lieux de cinéma à Ceylan colonial 1890-1940" මැයෙන් 'යටත් විජිත ලංකාවේ සිනමා කර්මාන්තයේ ප්‍රමුඛයන්, පුරෝගාමීන් හා සිනමා ප්‍රදර්ශන ශාලා' පිළිබඳව ඇය විසින් කරන ලද දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

සටහන: අතුල විතානගේ | ඇතැම් දුර්ලභ සේයා රූ සපයා දුන් අජිත් ගලප්පත්ති හා නුවන් නයනජිත් කුමාර සොයුරන්ට ස්තූතියි.


නෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹෙනුයේ 19 වැනි සියවසේදී ය. ඒ 1896 වර්ෂයේ සිට  චලන චිත්‍ර ප්‍රදර්ශණ අත්දැකීම් ද ඇතිව ය. කෙසේ නමුත් 19 වන සියවස වන විට සිනමාව ව්‍යාප්තවීමට මූලිකව බලපානු ලබන්නේ තාක්ෂණික මැදිහත්වීමත්, සුවිශේෂී චරිත කිහිපයක මැදිහත් වීමත් ය. සිනමාව විකාශනයට බෙහෙවින් උපකාරී වූ මුද්‍රණ යන්ත්‍රණය, ටෙලිග්‍රාෆ්, ඡායාරූප ශිල්පය, විදුලි බල්බය, පිස්තෝලය සහ පොනොග්‍රාෆ් වැනි නව තාක්ෂණික නිපැයුම්, ප්‍රංශ හා ඇන්ග්ලෝ සැක්සන් නිපැයුම්කරුවන් විසින් හුදු නිපැයුම්වලට පමණක් සීමා නොවී ඒවා ව්‍යාපාරික මට්ටමට ගෙන ඒමට ද උනන්දු විය. ඒ හේතුවෙන් 20 වන සියවසේ මුල් කාර්තුවේදී  ඉන්දීය ව්‍යාපාරිකයන් ද මේ ක්ෂේත්‍ර කෙරෙහි සිය දායකත්වය ලබා දෙන්නට විය. නව තාක්ෂණික නිපැයුම් හදුන්වාදීමට තිබු අති මහත් උනන්දුව හේතුවෙන් බොහෝ රටවල් චලන රූපමය තාක්ෂණය වැළඳ ගත්තේ එය හදුන්වා දුන් පළමු වසර කීපය තුළදීම ය.

පුවත් පත් දැන්වීම්වලට අනුව නාගරිකව  වෙසෙන ලාංකිකයන් ගැමි නාටක, සර්කස් , රූකඩ, මැජික්, සංගීත සංදර්ශන හා ඔපෙරා ආදී සියලු අකාරයේ විනෝදාස්වාදයන් සඳහා පුරුදුව සිටි බවට ප්‍රකට ය.  මෙවැනි සංදර්ශන බොහොමයක් ම පැවැත්වූයේ නගරයේ ආර්ථික මර්මස්ථානය ලෙස සලකූ කොළඹ -කොටුව තුළ ය. හමුදා පාලනයකට නතුව තිබු කොළඹ - කොටුව සිංහල බස් වහරට අනුව  මල්වත්ත වුයේ ඒ අවට සරුවට වැඩුණු සුරියකාන්ත මල් යාය නිසාවෙනි. සිනමා ප්‍රදර්ශන ඇරඹෙන්නට මත්තෙන් කොළඹ-කොටුව පුරා  කුඩාරම් හා කුඩා මණ්ඩප තුළ විවිධ මාදිලියේ  සංදර්ශන, රංග දැක්වීම් පැවැත්වූ අතර ඊට ඉතාමත් ඉක්මනින් චලන රූප ප්‍රදර්ශන ද එක් විය. ඒ ආසන්නයේ ජීවත් වූ දේශීය හා විදේශීය ධනවතුන්ගේ නොමසුරු අනුග්‍රහය මෙවැනි ප්‍රදර්ශනයන් සඳහා නිබඳව ලැබිණි.

පළමු සිනමා ශාලාව

ලුමියර් ඔපරේටර්ස් විසින් සිනමාටෝග්රාෆ්  යොදා ගනිමින් කොළඹ දී චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට සැරසෙන බව 1898 ජනවාරි 8 වැනිදා 'සිලෝන් ඩේලි නිවුස්'  පුවත් පත වාර්තා කර තිබුණි. එම වසරේදීම ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබුණු,  "ග්‍රීක් -තුර්කි යුද්ධය" සහ "ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩකයෝ"  යන සිනමා දර්ශනයන් දෙක ගැනද වාර්තා විය. මේ සිනමා ප්‍රදර්ශන  අතරින් යටත් විජිත ලාංකිකයන් අතර වඩාත් ප්‍රකට වුයේ  Edison's Kinetoscope ය. ශත පහක් වැනි මුදලකට එංගලන්ත රජ පවුලේ, බකිංහැම් මාලිගයේ හා බෞද්ධ සිද්ධස්ථානවල ජායාරූප දැකගැනීමට මෙහිදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා විය.

1874 - 1895 දක්වා කාලය තුළ නාගරික ප්‍රදේශවලට විදුලි බලය සැපයෙන තෙක්  ගෑස් පහන් ආධාරයෙන් රාත්‍රී දර්ශන ද පැවැත්විණි. සිනමාව වාණිජ මට්ටමින් පුළුල් වීමට විදුලි බලය ප්‍රධාන සාධකයක් විය.

මේ  පැවති සංදර්ශනයන්හි පළමු භාගය අවසන්ව ඒ අතර තුර ලැබෙන විවේක කාලය තුළ චිත්‍රපට පෙන්වනු ලැබුණි. ඒවා ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය.

1901 - 1904 කාලය අතර පළමු වරට නිල චලන චිත්‍ර ප්‍රදර්ශනයක් මෙරට පවත්වා ඇත. ඒ ප්‍රවෘත්තිමය විශේෂාංග ලෙස ඉදිරිපත් කෙරුණු වික්ටෝරියා රැජිනගේ අවමංගල්‍යය සහ හයවන එඩ්වඩ්ගේ රාජාභිෂේකයයි. එවකට යටත් විජිත ආණ්ඩුකාරයා වූ  සර් ජෝශප් වෙස්ට් රිජ්වේගේ අනුග්‍රහය යටතේ මෙය සංවිධානය කෙරුනේ, 1895 දෙසැම්බර් මස 28 වැනිදා පැරිස් නුවර දී ලුමියර් සොහොයුරන් විසින් ලොව පළමු වරට කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් වසර කිහිපයකට අනතුරුව ය.

විසි වැනි සියවසට පිය නගමින් තිබියදී ,කොළඹ ප්‍රදර්ශනය වූ බොහෝ සිනමා විශේෂාංග අතරින් ප්‍රේක්ෂකයන්ට ආකර්ෂණයක් වුයේ බ්‍රිතාන්‍යයන්ගේ ජයග්‍රහණයන් සංකේතවත් කළ බූවර් යුද්ධයේ තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයන් වෙත ය. ඊට බොහෝ දුරට හේතු වුයේ ඒ වන විටත් දකුණු අප්‍රිකානු සිරකරුවන් බොහොමයක් යටත් විජිත ලංකාවට පිටුවහල් කර තිබීම ය.

කොළඹ හයිඩ් පාක් කෝනර්හි "පබ්ලික් හෝල්", මෙරට සිනමාවේ ආරම්භය සනිටුහන් කරන වැදගත් සංකේතයකි. එය 19 වන සියවසේ මැද භාගය වන විට විවිධ උත්සව වෙනුවෙන් යොදා ගන්නා ලද ශ්‍රවණාගාරයකි. 1899 සැප්තැම්බර් 29 වැනිදා 'ද සිලෝන් එක්සැමිනර්' පුවත්පත පබ්ලික් හෝල්හි පැවැත්වූ සිනමා දර්ශනයක් ගැන දැන්වීමක් පළ කළේය. එහි සඳහන් වූයේ  The Convict’s Escape සමගින් 120 Living Pictures  රාත්‍රී 9 ට ආරම්භ වන දර්ශණය සඳහා ප්‍රවේශ පතක මිල, රුපියලත් රුපියල් තුනත් අතර වන බවය.’’

පබ්ලික් හෝල් පසු කලකදී "එම්පයර් පික්චර් පැලස්" නමින්  ලංකාවේ පළමු අංග සම්පුර්ණ සිනමා ශාලාව බවට පත්විය.‍

1907 අගෝස්තුවේදී සජීවී ජායාරූප ලෙස හඳුන්වමින් ප්‍රදර්ශනය කෙරුණු Leonard’s Beautiful Pictures චලන රූ එකතුව විස්තර කර තිබුණේ "අධ්‍යාපනය සමගින් විනෝදාස්වාදය, සිනමා කලාවේ අනගි සොයාගැනීමක්...." යනුවෙනි. එම දැන්වීම මගින් තව දුරටත් සැල කර තිබුණේ විදුලි පංකා සමගින් නැරඹීමේ පහසුව සලසා ඇති බව ය.

එල්ෆින්ස්ටන් පික්චර් පැලස්

1907 දී  මෙරට දී චිත්‍රපට ප්‍රදර්ශනයක් නිතිපතා මහජනයා වෙනුවෙන් සංවිධානය කිරීමට කොළඹ කොටුව මධ්‍යයේ පිහිටි බ්‍රිස්ටල් හෝටලයේ කළමනාකාරිත්වය ක්‍රියා කළේය. එහිදී කොළඹ වැසියන් වෙත මුලින්ම ප්‍රදර්ශනය කරනු ලබුවේ Living London  නම් බයිස්කෝප් සංදර්ශනය වේ. අද පැගෝඩා රෙස්ටුරන්ට් නමින් ප්‍රකට වී ඇත්තේ එදා යටත් විජිත ලංකාවේ සිනමා කර්මාන්තයට අඩිතාලම දැමු බ්‍රිස්ටල් හෝටලයයි. රාත්‍රී 9.30 ට පැවැත්වෙන මෙම දර්ශනයක් සඳහා අය කරනු ලැබුවේ රුපියලක් හෝ දෙකක් අතර මුදලකි. අනෙකුත් විනෝදාස්වාදක දේට වඩා චිත්‍රපට නැරඹීම තුළින් ප්‍රේක්ෂකයෝ ඉමහත් ආස්වාදයට පත්වුහ. කොළඹ කොටුවේ  වරායට මුහුණ ලා පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ද සිනමා ප්‍රදර්ශණය කෙරුණු තවත් එක් ස්ථානයකි. බොම්බාය කේන්ද්‍ර කරගත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් එම වකවානුව තුළ සුපිරි ගනයේ හෝටල් ජාලයකි. සිනමා වංශ කතාවේ ආරම්භය සනිටුහන් කෙරෙන හෝටල් අතර වොට්සන් හෝටලය ද වේ. මේ ආදර්ශයම ගත් Novelty තියර්ටර්ස් විසින් ද නිතිපතා බයිස්කොස් සංදර්ශන සංවිධානය කළේය.


නිල වශයෙන් චලන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් ප්‍රථමයෙන්ම අවසර ඉල්ලා සිටියේ ලාංකීය සිනමාවේ පෙරටුගාමියෙකු වන ඒ.ඩබ්ලියු.ඒ. ඇන්ඩ්රී විසිනි. යුරෝපිය ජාතික පියෙකුට සහ යාපනයේ මධ්‍යම පාන්තික මවකට දාව යාපනයේ දී උපන් ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියෙකි. ඡායාරූප ශිල්පිය දක්ෂතාවයන්ට අමතරව  ශුර ව්‍යාපාරිකයෙකු ද වූ ඇන්ඩ්රී, 1903 වසරේ දී  "කොරික් බයිස්කෝප්" නමින් සමාගමක් ආරම්භ කළේය. මෙය ලාංකිකයෙකු විසින් ආරම්භ කළ පළමු සිනමා සමාගම ලෙස සැළකේ. ඔහු විසින්  විදේශයකින් මිලදී ගත් ප්‍රොජෙක්ටරයක් මගින් යුරෝපයෙන් ගෙන්වන ලද නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර ඒ සඳහා ප්‍රේක්ෂකයන් විශාල ලෙස ඇදී  එන්නට විය. විශේෂයෙන්ම  පාර්සි, දෙමළ හා සිංහල  නාට්‍ය වෙත නැඹුරුව සිටි ප්‍රේක්ෂකයෝ මේ කෙරෙහි මහත් ආකර්ෂණය වූහ. මෙය යටත් විජිත ලංකා සමාජය තුළ සිදුවූ ඉදිරි පිම්මක් ලෙස සැලකිය හැකි ය. ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සිනමා ප්‍රදර්ශනයේ හා ආනයනයේ ඒකාධිකාරය ඔහු සතු විය. 1910 දී ඇන්ඩ්රිගේ මරණය වන තෙක්ම කොළඹ කොටුවේ සිනමාව ඔහුගේ අණසක යටතේ පැවතිණි.

සංචාරක සිනමා දර්ශන

උපතින් ඉංග්‍රීසි ජාතිකයෙකු වූ වෝර්වික් මජෝර්ස්,  යටත් විජිත  සිනමාව තුළ නම් රැඳවූ අයෙකි. 1930 වසර මැද භාගයේදී රීගල් සිනමා ඇරඹුම ‍තුළින් කොළඹ කොටුව සිනමාවේ  ඔහු තවත් ප්‍රකට විය. මජෝර්ස් 1913 දී සිය සිනමා කර්මාන්තය ඇරඹියේ තමිල්නාඩුවේ අගනුවර මදුරාසියේ  "ඉලෙක්ට්‍රික් තියටර්" යළි ක්‍රියාත්මක කරමින් ය. අනතුරුව  මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ  ඔහු විසින් ඉදිකළ "බ්ලේක්  හෝල්" වෙත සිනමා ප්‍රේක්ෂකයන් විශාල ලෙස ඇදී එන්නට විය. පසු කලක දී  වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු මෙන්ම  පර්සියානු සම්භවයක් සහිත සිනමා ව්‍යාපාරිකයෙකු වූ ජේ. එෆ්. මාදන්  එම ස්ථානයේ  "එල්ෆින්ස්ටන් පික්චර් පැලස්" ඉදි කළේය. මාදන්ගේ සිනමා ප්‍රදර්ශන ජාලය, උතුරු ඉන්දියාව ඇතුළු අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වෙත ද ප්‍රචලිත වූවකි. ඔහුගේ බොහොමයක් සිනමා ශාලාවන් නම්  කෙරුනේ  "එල්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෆින්ස්ටන්"  යනුවෙනි. 1920 වන විට මාදන්  විසින් මෙරට සිනමා කර්මාන්තය සියතට පත් කර ගනිමින් කොළඹ නගරයේ  එම්පයර් හා එල්ෆින්ස්ටන් ඇතුළු අංග සම්පුර්ණ සිනමා ශාලා ඉදිකිරීමට පුරෝගාමී විය.

ග්‍රාමීය ප්‍රදේශවලට ද බයිස්කෝප් ප්‍රදර්ශනය රැගෙන යාම මෙරට සිනමා කර්මාන්තයේ පුරෝගාමීන්ගේ ප්‍රමුඛ අරමුණක් විය. ඔව්හු ඒ වෙනුවෙන් සිය සම්පත් නොමඳව යොදවන්නට විය.

1909 දෙසැම්බර් වන විට ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය රෝද මත ක්‍රියාත්මක දිගු පටි රෝල් බවට වර්ධනය විය. මේ වකවානුව තුළ නුර්බායිගේ "ලන්ඩන් බයිස්කෝප් සමාගම" එළිමහන් සිනමා ප්‍රදර්ශන සංවිධානය කළේය. කොළඹ විසු ජර්මානුවෙකු වූ  සී.වාග්නර්ගේ කුඩාරම් සැපයීමේ ව්‍යාපාරය මීට බොහෝ දායක විය. කෙසේ වෙතත්, තැනින් තැනට ගොස් ප්‍රදර්ශන පැවැත්වීමේ සිනමා ව්‍යාපාරයේ වඩා කීර්තිමත් නිදසුන වන්නේ  අන්ද්‍රරේස් වැන් ස්ට්‍රාස් ය. ලන්දේසි-සිංහල මිශ්‍ර සම්භවයක් සහිත පවුලකින් පැමිණි අන්ද්‍රරේස් වැන් ස්ට්‍රාස් යනු ඇත්ත වශයෙන්ම  සංචාරක හා ස්ථාපිත යන සිනමා ව්‍යාපාරයන් දෙකෙහිම දිරිමත් සංකේතය මෙන්ම ප්‍රඥාවන්ත ව්‍යවසයකයා ද වේ.

වැන් ස්ට්‍රාස්ගේ ජංගම සිනමා ප්‍රදර්ශණ සැබෑ ලෙසම බොහෝ පිරිස් අතරට සිනමාව රැගෙන යාමට සමත්විය. සිය සිනමා ප්‍රදර්ශන අත්දැකීම් බෙදා ගැනීමේ අරමුණින් හන්ටර්ස්, වැන් ස්ට්‍රාස්ගේ "ඉම්පීරියල් ටෝකිස්"  කණ්ඩායමට එක් වුයේ මේ අතරතුර ය. තැනින් තැනට ගොස්  සිනමා ප්‍රදර්ශණ කිරීමේදී ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකිරීම වැනි වෙහෙසකර වැඩ කොටස්වලට ඔවුන්ට  යම් පිටු බලයක් වුයේ  හන්ටර්ස්ගේ මේ මැදිහත් වීම ය. ඉම්පීරියල් ටෝකීස් සමාගම 1920 මැද භාගය වන විට දිවයිනේ ඈත එපිට කැලෑබද  ගම්මාන කරා ද ළඟා විය. ඔවුන්ගේ ගමන් මාර්ගය තීරණය වුයේ නිවර්තන කාලගුණික තත්ත්වයන්ගේ වෙනස් වීම සළකා බලමින් ය. විශේෂ අවධානය යොමු වුයේ මෝසම් වැසි කෙරෙහි ය. අන්ද්‍රේස් වෑන් ස්ට්‍රාස් සිය සංචාරක සිනමා කර්මාන්තය ඉදිරියට ගෙන යමින්ම බලන්ගොඩ ඉම්පීරියල් වැනි දර්ශනීය සිනමා ශාලා ගණනනාවක් ඉදි කළේය. යටත් විජිත පාලනයේ මධ්‍යම පන්තිකයන් වෙනුවෙන් සිනමා ශාලා ඉදිකරමින් ඔහු සිය වෙළඳපොල පුළුල් කරන්නට විය. ඔහුගේ නිත්‍ය සිනමා ශාලා අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් සමග 1970 මැද භාගයෙන් පසු  තැනින් තැන ගොස් පැවැත්වූ සිනමා ප්‍රදර්ශණ ඔහු සම්පුර්ණයෙන්ම අත් හළේය.

සිලෝන් මෝනින් ලීඩර්  පුවත්පත 1908 පෙබරවාරියේදී වාර්තා කර තිබුණේ හුදු ආශාව මත වූ පෙළඹීමත්, තරඟයත් නිසා බොහෝ සිනමා සමාගම් ඇරඹි බව ය. මෙම ප්‍රවනතාවය විසින් සලකුණු කරනු ලැබුවේ කුඩාරම්, ප්‍රදර්ශන කුටි, ලෑලි හා ටකරන් මඩුවේ සිට ක්‍රමවත්ව ගොඩ නැගූ සිනමා ශාලා දක්වාම, ආගන්තුක විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස සිනමාවේ වර්ධනය හා ජනප්‍රියත්වයයි.

කොළඹ විසු  ජර්මානුවෙකු වූ සී. වාග්නර්, කොරික් බයිස්කෝප් සමාගම සමග කටයුතු කර උපයාගත් මුදලින්  "ඔලිම්පියා බයිස්කෝප් සමාගම" ආරම්භ කළේය. ඔහු පසුව ඉන්දියාවෙන් චිත්‍රපට ආනයනය කරන්නට වුයේ බෝරා ජාතික ලාංකිකයෙකු වූ ටී.ඒ.ජී. නූර්බායි සමග එක්වෙමින් ය.

වාග්නර්, කොරික් බයිස්කෝප් සමාගමට එක් වූ මුල් වකවානුවේදීම, ඉතාමත් ප්‍රකට ටවර් හෝල්හි කළමනාකාරවරයා ලෙස ද පත්විය. ඔහු එම ධුරයට පත් වූ විගසම එය සිනමා ශාලාවක් බවට පත් කළේය. ටවර් හෝල්හි පැවති ස්වරූපය මුළුමනින් වෙනස් කිරීමත්, ප්‍රකට නාට්‍ය ශාලාවක් මෙසේ සිනමා ශාලාවක් බවට පත් කිරීමත්, මගින් පෙන්නුම් කරනුයේ  ලාංකීය සිනමාව අත්පත් කරගත් එක් වැදගත් සිහිවටනයකි. එහෙත් මෙම ගනුදෙනුව හේතුවෙන් සිංහල නාට්‍ය කලාව තාවකාලිකව යම් පසුබෑමකට ලක්විය.

වැල්ලවත්ත ස්පිනින්ග් හා වීවින් මිල්ස් සමාගමේ හිමිකරුවා මෙන්ම මාලදිවයින හා ලංකාව අතර නැව් සේවා සමාගමක් ද පවත්වා ගෙන ගිය ටී.ඒ.ජී. නූර්බායි, විසිවන සියවස ආරම්භයේදී සිය ක්‍රියාකාරකම් චිත්‍රපට නිෂ්පාදනය හා බෙදාහැරිම කෙරහි පුළුල් කරනු ලැබුයේ "ලන්ඩන් බයිස්කෝප්" නම් කොටුව කේන්ද්‍රීයව පිහිටවූ ඔහුගේම සිනමා සමාගම හරහා ය. සිනමා ශාලා රැසක් මිලදී ගත් නූර්බායි, කොළඹ පිහිටි ක්‍රිටෙරියන් ශාලාව "ඔලිම්පියා" නමින් ලාංකික සිනමාවට දායාද කළේය.

1918 ජුලි 18 වැනිදා සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘත වූ ඔලිම්පියා සිනමාහි 1924 වන තෙක් දිනකට දර්ශන වාර තුන බැගින් ප්‍රදර්ශනය වූයේ ඉන්දියානු හා බ්‍රිතාන්‍ය නිෂ්පාදිත චිත්‍රපට ය. 1922 දී  තවත් විශේෂ වැදගත් සංධිස්ථානයක් වුයේ නූර්බායිට අයත් වූ ප්ලාසා සිනමාහි ඉදිරිපත් කෙරුණු විනාඩි 10 ක ආගමික කෙටි චිත්‍රපට ය. ඒ මගින් පෙන්නුම් කරනු ලැබුවේ  සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ ජාතිප්‍රේමි දාර්ශනිකයා මෙන්ම ප්‍රශංසාත්මක වීරයා වූ අනගාරික ධර්මපාල පිළිබඳව ය. ඒ සමගම මෙම සිනමා පටය හරහා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඉන්දියාවේ ධර්මරාජ විහාරයට රැස්වූ බෞද්ධ නායකයන් අලලා කෙටි විශේෂාංගයක් ද ඇතුළත් විය.

කතානාද සිනමාව

1902 දී කල්කටාව කේන්ද්‍ර කරගත්  සිනමා ව්‍යාපාරිකයෙකු වූ ජම්ශේජි ශිරාම්ජී  මාදන්ගේ නැගීමත් සමග යුරෝපීය සම්භවයක් සහිත ලාංකිකයන්ගේ සම්පුර්ණ අධිපත්‍යට නතුව තිබු යටත් විජිත  සිනමාව අවසන් අදියරට ලඟා වෙමින් තිබිණි. "සීමාසහිත  මාදන් තියටර්ස්" නම් ඔහුගේ සමාගම 1930 වසරේ මැද භාගය වන විට විශාල වර්ධනයක් පෙන්නුම් කළේය. ඉන්දියාවේ ප්‍රධාන නගරවලත්, කලාපයේ අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ප්‍රධාන නගරවලටත් විහිදුනු  සිනමා ශාලා හා චිත්‍රපට බෙදාහැරීමේ ශක්තිමත් ජාලයක් සිය ආධිපත්‍යයට නතු කරගැනීමට ඔහු සමත් විය. යටත් විජිත ලංකාව තුළ මේ ක්‍රියාවලිය ඇරඹියේ 1903 දී ඔහුගේ පළමු ලංකා සංචාරයෙන් අනතුරුව ය. දේශීය පර්සියානු ජනයාගේ ද සහාය ඇතිව ඔහු විසින් සිය සිනමා සමාගමේ ශාඛාවක් කොළඹ දී  ඇරඹීය. ඒ අනුව ලංකා සිනමාවට මාදන්ගේ මැදිහත්වීමත් සමගින් චිත්‍රපට  ප්‍රදර්ශන හා බෙදාහැරීම් අංශය ප්‍රකෘතිමත් වෙමින්  දිවයින පුරා පිහිටි සිනමා ශාලා ප්‍රමාණය ද ඉහළ නැංවිණි. මුලින්ම චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් ඉහළ වටිනාකමක් හිමිව තිබු පබ්ලික් හෝල්  ඔහු විසින් "එම්පයර් තියටර්" නමින් නම් කළේය. ලෝකයේ රසවත්ම තේ වලට ප්‍රකට මධ්‍ය කඳුකරයේ නුවරඑළිය වෙත ද මාදන්ගේ බැල්ම වැටිණි. එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ පර්සියානු සිනමා ව්‍යාපාරිකයා විසින් 'ක්ලිෆර්ඩ් පැවලියන්' හා 'පැලස් හෝල්' පිහිටුවන්නට යුහුසුළු විය. නිස්කලංක වටපිටාවකට හා සෞම්‍ය කාලගුණයකට උරුමකම් කියන නුවරඑළිය, කුඩා වුවත් වැදගත් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විය. උඩරට රදළ පැලැන්තිය මෙන්ම ගොඩනැගෙමින් තිබුණු ධනවත් වැවිලිකාර පවුල් ද, ඉහළ කඳුකරයේ  සිනමා ශාලාවක් ස්ථාපිත කිරීම ගැන ප්‍රමෝදයට පත්වුවාට සැකයක් නොමැත.

1925 වන තුරු දේශීය චිත්‍රපට නිෂ්පාදනයක් නොවිණි. එවැනි දෙයක් පිළිබඳව යටත් විජිත ලංකාව තුළ අවධානයක් යොමු වී නොමැත. එතරම් තැකීමක් නොකළ ද, චාර්ල්ස් අර්බන් ඔපරේටර්ස් විසින්  1907 දී රූ ගත කළ A Ramble Through Ceylon සහ ලංකාව සම්බන්ධව රූප රාමු කිහිපයක් යොදාගනිමින් 1903 දී  නිපදවූ තෝමස් එඩිසන් ගේ Curious Scenes from India  විශේෂ අවස්ථාවන් දෙකක් ලෙස දැක්විය හැකි ය. ඉන් පසු ගතවූ දශක කිහිපයක් පුරාවටම ලංකාව සම්බන්ධයෙන්  සිනමාකරුවන්ගේ අවධානයට ලක්විය හැකි තරම් දෙයක් වී නම්, ඒ බ්‍රිතාන්‍ය වාර්තා සිනමාකරුවන්ගේ ව්‍යාපාරයේ බැසිල් රයිට් සහ රොබර්ට් ෆ්ලාහෙර්ටිගේ මැදිහත් වීම ය.

ඇමෙරිකානු සිනමාවේ වර්ධනයක් පෙන්නුම් කිරීම ගැන 1920-30 වකවානුව තුළ දේශීය පුවත් පත්වල පළවූ දැන්වීම් සාක්ෂි දරනු ඇත. චිත්‍රපට ආනයනයේ නිරතව සිටි සිනමා ව්‍යවසායකයන් ද බටහිර නව තාක්ෂණික ඉදිරිපත් කිරීම්  හා සමාන්තරව කටයුතු කරන්නට පෙළඹිණි. විශේෂයෙන් හඬ යොදා ගැනීමත් සමග ඉන්දියාවේ එතෙක් නිහඬව චලනය වූ හින්දි සිනමා ලෝකයට දෙබස්, ගීත සහ සංගීතය මුසුවීමත් සමගින් චිත්‍රපට නිර්මාපකයන් වෙත බොහෝ ප්‍රවේශයන් විවර විය. එහෙත් පැවතියා වූ තාක්ෂණික ගැටළුත් භූගෝලීය දුරස්ථභාවයත් කතානාද සිනමාව වෙත ඉන්දියාවට මෙන් වඩා ඉක්මනින් අනුවර්තනය වන්නට ලාංකික සිනමාකරුවන්ට නොහැකි විය. ඇලන් ක්රෝස්ලන්ඩ් අධ්‍යක්‍ෂණය කළ Jazz Singer  (1928) සංගීත ඛණ්ඩ ඇතුළත් පළමු සිනමා නිර්මාණය විය. එය ඉන්දියාවේ ප්‍රදර්ශණය වුව ද ලංකාවේ ප්‍රදර්ශනය කිරීම ගැන මත එකඟතාවයක් නොවිණි. නමුත් සංගීතාත්මක ආරේ දෙවැනි සිනමා නිර්මාණය වූ  Melody of Love  කොළඹ ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්තාව ලැබුණි. මෙම දෙබස් රහිත සංගීතාත්මක චිත්‍රපටය, සීමාසහිත මාදන් තියටර්ස් විසින් ගෙන්වා 1929 ජුලි මාසයේදී එම්පයර් තියටර්හි ප්‍රදර්ශනය කෙරිණි.

1930 වන විට නොකඩවා ජනප්‍රියත්වයක් පවත්වා ගැනීමට  යුරෝපීය හා ඇමෙරිකානු චිත්‍රපට සමත් වූ බව 1928 මාර්තු 3 වැනිදා 'සිලෝන් ඔබ්සවර්' පුවත් පත අනාවරණය කළේය.  Moon of Israel (1919) එසේ ජනප්‍රිය ඇමෙරිකා එක්සත් ජනපද සිත්තමකි. එය මාදන්ගේ ඉන්දීය සිනමා ජාලය හරහා කොළඹ ප්‍රේක්ෂකයන්ට ද නැරඹීමේ අවස්ථාව උදා විය. මෙම චිත්‍රපටය ඊට වසර දෙකකට පෙර එළි දැක්වූ  සර්  එච්.රයිඩර් හගාර්ඩ්ගේ නවකතාවක් මත පදනම් වුවකි. කොළඹ එම්පයර් තියටර්හි මෙය ප්‍රදර්ශනය කෙරුණේ  වෙසක් සතියක වීම  විශේෂත්වයකි.

දේශීය සිනමා නිර්මාණයන් නොතිබුණ පසුබිමක ඉන්දියානු හා ඇමෙරිකානු  චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙත එක විට ප්‍රදර්ශණය කෙරිණි. නිදසුන් ලෙස ගෝවින්ද රාජ්  පාල්කේගේ "රාජා හරිශ්චන්ද්‍ර" සමගින්  චාර්ලි චැප්ලින්ගේ Gold Rush (1925) දැක්විය හැක. 1928 ජුනි 18 වැනිදා 'සිලෝන් ඔබ්සවර්' පුවත් පතේ පළ කරනු ලැබූ දැන්වීමකට අනුව Fantomas (1913), එෆ්. රිචර්ඩ් ජෝන්ස්ගේ Gaucho (1927), ඩග්ලස් ෆෙයාර්බැන්ක්ස් ඇතුළු  ශිල්පින් රැසක් රංගනයෙන් දායකවූ හෙන්රි කිංග් අධ්‍යක්ෂණය කළ  The Winning of Barbara Worth (1926) යන චිත්‍රපට ප්‍රදර්ශනය කර ඇත. ඇමෙරිකානු ජනප්‍රිය ප්‍රතිරූපයන්ගේ ලංකා සංචාර හේතුවෙන් මේ වකවානුව තුළ ඇමෙරිකානු සිනමා නිර්මාණ කෙරෙහි පැවති උද්යෝගය වැඩි වන්නට විය. මෙම සිනමා පට මාදන්ට අයත් එල්ෆින්ස්ටන් පික්චර් පැලස් හා එම්පයර් තියටර්ස්හි ප්‍රදර්ශනය කෙරිණි.

1931ජනවාරි 11 වැනිදා චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපටයක් වූ  Good Night Charlie නොහොත් A Night Out (1915) කොළඹ එල්ෆින්ස්ටන්හි දී ප්‍රදර්ශනය කෙරිණි. එම වසරේදීම ස්ටුවර්ට් පැටන් විසින් නිපදවූ Wonderful Night (1922) සහ ජේම්ස් ෆ්ලඩ්ගේ Man without a Conscience  (1925) සිනමා පට දේශීය ප්‍රේක්ෂකයන් වෙත නැරඹීමේ අවස්ථාව උදාවිය.

ඇන් ඇම්ගේ 'රාජකීය වික්‍රමය'

එසේම ඉන්දියානු සිනමාව ද ඉහළ ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබිණි. 1936 දී එල්ෆින්ස්ටන්හි ප්‍රදර්ශනය කෙරුණු වයි. රාඕ අධ්‍යක්‍ෂණය කළ  "චින්තාමණි" චිත්‍රපටයේ  අපුර්ව හා අනපේක්‍ෂිත සාර්ථකත්වය ඊට කදිම ලෙස සාක්ෂි දරනු ඇත. එම වසරේ ජනවාරි මස පළ වූ පුවත්වලට අනුව නොකඩවා සති 24 ක් තිරගත වෙමින්  බොක්ස් ඔපිස් වාර්තා පිහිටුවීමට මේ විශිෂ්ට  දකුණු ඉන්දියානු සිනමා කෘතිය සමත්විය. යටත් විජිත ලංකාවේ නිපද වූ පළමු දෙමළ සිනමා නිර්මාණය "නල්ල තන්ගෙයි" ඉකුත් වසරේදී ප්‍රදර්ශනය කෙරිණි. එහෙත් ලාංකීය දෙමළ සිනමා කලාවේ ඉරණම පසක් කරමින් එය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට අසමත් විය. මෙය  විදේශීය චිත්‍රපට ආගමනය මධ්‍යයේ,  ලංකාවේ රූගත කොට දේශීය නිර්මාණයක් බිහි කිරීමට දැරූ  සාඩම්බර ප්‍රයත්නයකි.

ලාංකීය සිනමා ඉතිහාසයේ වැදගත්ම සලකුණ වනුයේ මෙරට පළමු නිහඬ සිනමා පටය වූ  ටී.ඒ.ජී නූර්බායිගේ  'රාජකීය වික්‍රමය' (1925) යි. සිනමා නිර්මාණ සදහා යටිතල පහසුකම් නොවූ යටත් විජිත ලංකාව තුළ නිපදවූ පළමු සිනමා පටය ලෙස 'රාජකීය වික්‍රමය' (Royal Adventure) සැබවින්ම, ලාංකිකයන්ගේ සිනමාත්මක දක්ෂතාවය ඉන්දියානුවන්ට මොනවට ඔප්පු වුයේ එහි පසු නිෂ්පාදන කටයුතු සදහා බොම්බේ වෙත රැගෙන යාමෙන් පසු ය. දැරිය යුතු අධික පිරිවැය නිසා ඇනවුම් කරනු ලැබුවේ එක් චිත්‍රපට පිටපතක් පමණි. ලංකාවට පැමිණීමට පෙර එම පිටපත සිංගප්පුරුවේ දී ගිනිබත් වීම නුර්බායිගේ එදිරිවාදීන් විසින් කළ සාපරාධී ක්‍රියාවක් ලෙස සැළකේ.  බොහෝ හේතු සාධක විසින් අද වන විට සනාථ කරනු ලබන කරුණක් වනුයේ, 'රාජකීය වික්‍රමය' නියත වශයෙන්ම ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කර ඇති බව ය.  ගුප්තා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම සිනමා පටය සඳහා පසු කලෙක ලංකාවේ මුදල් ඇමතිවරයෙකු මෙන්ම වාමාංශික දේශපාලඥයෙකු වූ ඇන්.ඇම් පෙරේරා  සමඟ ශිබිල් ෆීත්, එන්.ආර් ඩයස්, ඇල්බට් සිල්වා,රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා, ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, සහ ඩේවිඩ් මැනුවෙල් රංගනයෙන් දායක විය. බම්බලපිටිය වෙළඳ පොළ සහ තුරඟ තරඟ පිටිය අතර මැද පිහිටි පොල් වත්තක රූගත කිරීම් කෙරිණි. සාර්ලිස් මාස්ටර් විසින් දර්ශණ තල නිර්මාණය කෙරුණු අතර ජේ.ඇස්.ප්‍රනාන්දු ගෙන් ඔහුට නොමඳ සහයක් ලැබිණි.

එපමණක් නොව, 1935 වසරේදී ලන්ඩන් නුවර ප්‍රදර්ශනය කෙරෙන බැසිල් රයිට්ගේ Song of Ceylon  (1934) සමගින් යුරෝපීය වාර්තාමය සිනමාකරුවන්ගේ අවධානය ලංකාව වෙත යොමු වන්නට විය. මෙම වාර්තාමය සිනමා පටය සැලකෙනුයේ බ්‍රිතාන්‍ය වාර්තා සිනමා ව්‍යාපාරයට හිමි වූ රන් තිළිණයක් ලෙසිනි. ඉන් පසු එඩ්වඩ් වික්‍රමසිංහගේ 'පළිගැනීම' (Revenge) නම් මිනිත්තු විසි පහක නිහඬ සිනමා පටය මෙරට මුල් කාලීන සිනමා වර්ගීකරණයට අයත් වන්නකි. එය 1936 මැයි 19 වැනිදා මහජන ප්‍රදර්ශනයට විවෘත වුයේ අද වන විට අභාවයට යමින් තිබෙන කොළඹ කොටහේන "ගෙයිටි තියර්ටර්ස්" හි දීය.

ටවර් හෝල් නළුවෙකු මෙන්ම ජායාරූප ශිල්පියෙකු වූ එඩ්වඩ් වික්‍රමසිංහගේ නිහඬ කෙටි සිනමා පටය වෙනුවෙන් එන්.ආර් ඩයස්, ශ්‍රියා කාන්තා, ඩී.ජේ සංඝපාල, එච්.ඩබ්ලිව් සුගතදාස ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය. එන්.ආර් ඩයස් මෙරට නිහඬ හා කතා නාද සිනමා නිර්මාණ දෙවර්ගයටම දායක වූ රංග ශිල්පියා ලෙස සැළකේ.

භික්ෂූන්ට සිත් තැවුල්

1930 වකවානුවේදී ක්‍රම ක්‍රමයෙන් මාදන්ගේ සිනමා ශාලා සියල්ල ශබ්ද පරිපථවලින් සමන්විත විය. ආනයනය කළ ඇමෙරිකානු සිනමා පට මෙරට ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශණය කිරීම මාදන් තම ප්‍රතිපත්තියක් ලෙස පවත්වා ගෙන ගියේය.  1934 අප්‍රියෙල් වන විට කොළඹ නගරයේ සාඩම්බරයෙන් වැජඹුණ ප්‍රමුඛ සිනමා ශාලා හතරකි. ඒවා නම් රීගල් , මැජෙස්ටික් ටෝකීස්, එම්පයර් සහ එල්ෆින්ස්ටන් ය.

කැපිටල් තියටර්ස් යනු ඇමෙරිකානු චිත්‍රපට ප්‍රදර්ශනයට නම් දරා තිබුණු තවත් සිනමා ශාලාවකි. Son of Tarzan (1920) සහ ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත්ගේ දෙවැනි කථානාද සිනමා කෘතිය වූ  Abraham Lincoln (1930) මෙහිදී ප්‍රදර්ශනය විය. ඔහුගේ මුල් සිනමා නිර්මාණය වූ Fighting Blood (1911) ඔලිම්පියා තියටර්ස්හි තිරගත විය.

මෙම වකවානුවේදී බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා එක්සත් ජනපද සිනමා පට  බොහොමයක් ප්‍රදර්ශනයට කොළඹ කැපිටල් තියටර්ස් ප්‍රමුඛ වූ  අතර හින්දි සිනමා නිර්මාණ ප්‍රදර්ශනයට ද දින නියම කර තිබිණි. ගීත 18 ක් ඇතුලත් හින්දි සිනමා සිත්තමක් වූ  Sati Son, යටත් විජිත ලංකාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් වීම ඇතැම් බෞද්ධ භික්ෂුන්ගේ සිත්තැවුලට පවා හේතු විය.

පහසුවෙන් මතකයෙන් අත්හල නොහැකි ඛේදාන්තය වූ 'රාජකීය වික්‍රමය' විනාශ වීමෙන් පසුව ද නුර්බායි සිය සිනමා ව්‍යාපාරය යළි නගා සිටුවිමට ප්‍රයත්නයක් දරනු ලැබුවේ ලාංකීය සිනමා ඉතිහාසය තුළ  නව පරිච්ජේදයක් දිග හරිමින් ය. ඒ 1928 දී ඇල්ෆ්‍රඩ් ලියෝ තම්බයියා, මනුවෙල් සවරිමුත්තු සහ චිත්තම්පලම් ගාඩිනර් යන ලාංකිකයන් තිදෙනා සමග එක්ව "නව සිනමා" පිහිටුවමිනි. ඒ හරහා ඉන්දියාවෙන් චිත්‍රපට මෙරටට ආනයනය කෙළේය.

ඇල්ෆ්‍රඩ් ලියෝ තම්බයියා 1947 සිට 1956 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කයිට්ස් ආසනයේ මහජන නියෝජිතයා ලෙසින් කටයුතු කළේය. යාපනේ උපන් ගාඩිනර්, සිනමා කර්මාන්තයට  අමතරව කාගිල්ස් හා මිලර්ස් වෙළඳ ආයතනයන්හි වගකීම දැරූ ව්‍යාපාරිකයෙකි. 1947 දී ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සෙනේට් සභිකයෙක් ලෙසද පත් විය. 1938 වසරේ නූර්බායිගේ මරණයත් සමඟ මෙම හවුල්කාර සමාගම ද බිඳ වැටිණි. මේ සිදුවීම්වලින් අනතුරුව චිත්තම්පලම් ගාඩිනර් විසින් පළමු දේශීය සිනමා නිෂ්පාදන හා බෙදාහැරීම් සමාගම ලෙස "සීමාසහිත සිලෝන් තියටර්ස්" ඉදිරියට ගෙන යමින්, මාදන් තියටර්ස් වෙත අයත් ව තිබු බොහෝ සිනමා ශාලා මිළ දී ගෙන,නවීකරණයට ලක් කළේය.  රීගල් සිනමා නව නිමාවකින් යුතුව නැවත ගොඩනගනු ලැබූ ගාඩිනර්,  ඔලිම්පියා, ප්ලාසා සහ මීගමුව චිත්‍රා සිනමා මිලදී ගනු ලැබුණි.

යටත් විජිත ලාංකීය සිනමාව තුළ 1930 දශකය පිළබඳව ප්‍රසාදයෙන් සිහිපත් කළ හැකි ය. කොළඹ රීගල් සිනමා එම යුගයේ අලංකාරය හා විශිෂ්ටත්වය පෙන්නුම් කරන කදිම සාක්ෂියකි.  නිදහසට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත ලංකාවේ ප්‍රධාන සිනමා ශාලා ලෙස සැළකෙන එල්ෆින්ස්ටන්, මැජෙස්ටික්, ඔලිම්පියා, ප්ලාසා, රීගල් සහ එම්පයර් මගින්  ප්‍රකට කරනුයේ සිනමාව ඉදිරියට ගෙනයාම වෙනුවෙන්  ඉන්දියානු හා ලාංකික සිනමා හිමිකරුවන් තුළ වූ විශිෂ්ඨ  දැක්ම ය.☐

විලාස්නී තම්පෝ වුටින්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.