JDS Sinhala

අංගනා: සම්මුතික සමාජයක සංක්‍රාන්ති ලිංගිකයා

පතේදී දරුවාගේ ජනනේන්ද්‍රිය දෙස බලා එම දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය නිර්ණය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එහෙත් ලිංගික අනන්‍යතාව (Gender Identity)යේ ව්‍යතිරේකයන් තිබිය හැකි බව මේ වන විට වෛද්‍ය විද්‍යාවේ පිළිගත් මතයයි. ඒ අනුව පුද්ගලයෙකුගේ ශාරීරික සහ මානසික වර්ධනයත් සමඟම ලිංගික අනන්‍යතාවය, උපතේදී ලබාදෙන ස්ත්‍රී පුරුෂ බවට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධව හෝ ලිංගිකත්ව පරාසය තුළ ඕනෑම තැනක ස්ථානගත වී හෝ තිබිය හැක. එය ස්වභාවධර්මයේ අනෙකුත් සියළුම ජීවීන්ට මෙන්ම මානව වර්ගයාට ද අදාළ වේ.

ලිංගික අනන්‍යතාවය යනු පුද්ගලයෙකුගේ අභ්‍යන්තරිකව සහ ඒකභාවීව තමන්ට සංජානනය වන ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය හෝ පිළිබඳ ලිංගික අත් විඳීමයි. එහෙත් එය ලිංගික නැඹුරුව (Sexual Orientation) සමඟ පටලවා ගතයුතු නොවෙයි.  ලිංගික නැඹුරුව යනු මූලික වශයෙන් අනෙකා වෙත වූ තමන්ගේ ලිංගික වසඟවීමයි. එම පෙලඹවීම බොහෝ විට විරුද්ධ ලිංගිකයා වෙත (Heterosexual) වුව, පිරිමියෙක් පිරිමියෙකු වෙත ද (Gay) ගැහැනියෙක් ගැහැනියකු වෙත ද (Lesbian) හෝ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වෙත ද (Bi-sexual) විය හැක.

සංක්‍රාන්ති සමාජභාවීන් හෝ සංක්‍රාන්ති ලිංගිකයන් (Transgender) වශයෙන් හැඳින්වෙන්නේ තමන්ගේ ලිංගික අනන්‍යතාවය උපතේ දී ලබා දුන් ලිංගිකත්වයට පරිබාහිරව සංජානනය වන පුද්ගලයන් ය. මෙවැනි සංක්‍රාන්ති සමාජභාවීන් බොහෝ විට උපතින් පිරිමියෙක් ව සිට ගැහැනියෙකු සේ ලිංගික අනන්‍යතාවය වෙනස් වූ සංක්‍රාන්ති ගැහැනු (Trans Women: Male-to-Female), ගැහැනියෙක් ව සිට පිරිමියෙකු සේ ලිංගික අනන්‍යතාවය වෙනස් වූ සංක්‍රාන්ති පිරිමි (Trans Men: Female-to-Male), ස්ත්‍රී පුරුෂ බව අනුසාරී නොවුණු පුද්ගලයින් (Gender non-conforming), ස්ත්‍රී සහ පුරුෂ භාවයන් යුග්මයම සංජානනය වන හෝ සංජානනය නොවන හෝ පුද්ගලයින් (Gender Queer) සහ උපතේ දී ලබා දුන් ලිංගිකත්වයට ප්‍රතිපක්ෂව ඇඳුම් පැළඳුම් දරන්නන් (Crossdresser) වේ.

උපතේ දී ලබා දුන් ලිංගිකත්වය සමඟ සමස්ථාපිතව ලිංගික අනන්‍යතාවය ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවීන් (Cisgender)ගේ මෙන්ම සංක්‍රාන්ති සමාජභාවීන් ගේ ලිංගික නැඹුරුව විරුද්ධ ලිංගික, සමලිංගික (සමරූපී/සමකාමී) හෝ බහු ලිංගික විය හැක. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, උපතින් පිරිමි බව හිමි පුද්ගලයෙක් ලිංගික පරිණාමනයට පෙර විරුද්ධ ලිංගිකයන් (ගැහැනුන්) වෙත නැඹුරුවක් තිබී එම නැඹුරුව අඛණ්ඩව පවතින්නේ නම්, එම සංක්‍රාන්ති ගැහැනිය එතැන් පටන් සමකාමී වේ.

ශාන්ති දිසානායකගේ “අංගනා“ නම් වූ අළුත්ම නවකාවේ ප්‍රධාන චරිතය වන සේපාල ද එවැනි සංක්‍රාන්ති ගැහැනු ළමයෙකි. සේපාලගේ ලිංගික අනන්‍යතාවය ලෙස උපතේ දී ලබා දුන් පිරිමි බවට එරෙහිව ගැහැනුකම රූපාන්තරණය වන අයුරුත්, සංජානනයන් වෙනස් වන අයුරුත් කතුවරිය නවකතාවේ ආරම්භයේ පටන්ම පාඨකයා වෙත ඒත්තු ගන්වයි. ශාන්තිගේ සරල බස් වහරෙහි සේපාල යනු පිරිමි - ගැහැනු ළමයෙකි.

මානව හිමිකම් ක්‍රියාකාරිණියක් මෙන්ම සංක්‍රාන්ති ගැහැනියකව සංක්‍රාන්ති සමාජභාවීන්ගේ අයිතීන් වෙනුවෙන් අරගළයෙහි යෙදෙන භූමි හරේන්ද්‍රන් සෝයුරියට පිළිගන්වමින් ඇරඹෙණ “අංගනා“ නවකතාවෙහි සැකැස්ම දළ වශයෙන් මෙසේ ය.

සාම්ප්‍රදායික ඉඩම් හිමි ගැමි පවුලක වතාවතක් සේ ගොවිකම කරන පියෙකුට සහ නිරතුරුවම වෙහෙස මහන්සිව ගේ දොර වැඩ සමඟ හැපෙන මවකට දාව උපන් සේපාලට තව වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියකි. සෝයුරා යුද්ධයේ දී සිය දිවිපුදා ඇති අතර සෝයුරිය දීග ගොසිනි. උපතින් ලද පිරිමි කම ඉක්මවා නැඟෙන ගැහැනුකම සහ එම ගති පැවතුම් නිසාවෙන් සිය දෙමව්පියන් (විශේෂයෙන් පියා) අතින් සිදු කෙරෙන වෙනස්කම්, ශාරීරක සහ වාචික පීඩාවන් හමුවේ නිවසින් පලා යන සේපාලට සමාජය තුළින් ද විවිධාකාරයේ අඩම්තේට්ටම් වලට මුහුණදෙන්නට සිදු වේ. සේපාල වෙත අනුකම්පා කරන තවත් චරිත කිහිපයක් (රංජි, රෝහිණී, දිලී සහ රංමැණිකා) අතරින් දිවෙන නවකතාව, ස්ථාවර යැයි සැලකිය නොහැකි මුත් එක්තරා අන්දමේ සුඛාන්තයකින් අවසන් වෙයි.

ලොව පුරා සිටින සියයට 0.6 ක් පමණ යැයි අනුමාන කළ හැකි සංක්‍රාන්ති සමාජභාවීන් (විවිධ රටවල මෙය සියයට 0.5 සිට සියයට 1 අතර ප්‍රමාණයක විහිදෙයි) බොහෝ දෙනෙක් විවිධාකාරයේ වෙනස්කම්, අපහාසයන්, අපයෝජනයන්, හිරිහැර කිරීම්, ඝාතනයන් සහ වෙනත් සාහසික අපරාධයන්වලට තවමත් ඉලක්ක වෙති. එහි ඇරඹුම සිද්ධවන්නේ තමන්ගේම නිවසෙනි. දෙවනුව පාසැල වෙතිනුත්, ඉන් අනතුරුව සාමාන්‍ය සමාජයේ විවිධ කුලකයන් වෙතිනුත් අපහාසයන්ට සහ හිරිහැරයන්ට ඔවුහු ගොදුරු වෙති.

නවකතාවෙහි අඩකටත් වඩා ප්‍රමාණයක සේපාල වෙත සිදුකෙරෙන එම ගෘහස්ථ පීඩනය මැනවින් දැක් වේ. අනුකම්පා විරහිත පියාගේ පරිභව සහ පහරදීම් මෙන්ම, අනුකම්පා සහගත වුව අම්මාගේ දෙස් දෙවොල්ද, පියා විසින් සේපාලව නිවසින් එළියට ඇද දමන තෙක්ම සිදුවෙයි. සමාජයට මුහුණ දෙන්නේ කවර ලෙසකින්දැයි යන පැනයෙන් අසරණ වන දෙමව්පියෝ සේපාලට උපතින් ලැබුණු පිරිමි ජනනේන්ද්‍රියට එදිරිව නැඟෙන කාන්තා ගතිලක්ෂණ පිළිකෙව් කරති. සේපාලගේ මව එය දෙවියන්ගේ සාපයක් හෝ තමන්ගේ කරුමයක් සේ හෝ සලකන විට, සේපාලගේ පියා එය සේපාලගේ මනෝවිකාරයක් සේ සලකා එය මැඩ පැවැත්වීමට ශාරීරික වද හිංසාවලට පවා යොමුවෙයි.

මෙය සේපාලට පමණක් නොව අනෙකුත් බොහෝ සංක්‍රාන්ති සමාජභාවීන්ට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත අත්දැකීමකි. ඔවුහු තමන්ගේ ආරක්ෂකයින් විය යුතු තමන්ගේම ආදරණීය දෙමාපියන්ගේ ගර්හාවට, අපවාදයට සහ දණ්ඩනයට ඔවුහු පළමුව මුහුණදෙති.

තමන්ගේ ලිංගික අනන්‍යතාවයට අනුව ලිංගික භාව ප්‍රකාශය (Gender Expression) මානවයන්ට පොදු වූ ස්වභාවික ලක්ෂණයකි. ජනනේන්ද්‍රියේ ස්වභාවය කුමක් වුව සංක්‍රාන්ති සමාජභාවීහු ද ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවයට අනුරූපව හැසිරෙති. සංක්‍රාන්ති පිරිමි ළමුන් (උපතින් ගැහැනු ජනනේන්ද්‍රිය සහිත) හිස කෙස් කොටට කපා පිරිමි ඇඳුම් පළඳින්න රිසි වන විට සංක්‍රාන්ති ගැහැනු ළමෝ (උපතින් පිරිමි ජනනේන්ද්‍රිය සහිත) කාන්තා විලාසිතා කරති. එහෙත් මේ වෙනස්වීම් මානසික ව්‍යාධීන් හෝ මුරණ්ඩුකම් හෝ සේ සලකන දෙමව්පියන්ගේ අපයෝජනයට ඔවුහු නිරතුරුවම ගොදුරු වෙති.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව පමණක් වෙන් වෙන්ව සේවා සපයන රෝහල්, පොලිස් රැඳවුම්, බන්ධනාගාර රැඳවුම්, ආරක්ෂක මුර කපොලු සහ පොදු වැසිකිළි වැනි ස්ථානවල දී  ලිංගික අනන්‍යතාවයේ පරස්පරතාවයන් නිසා සංක්‍රාන්ති සමාජභාවීන් බරපතළව හිරිහැරයට පත් වේ. අවමන් ලබයි. රැකියාවන් සහ නවාතැන් සෙවීමේ දී ඔවුහු නිරතුරුව ප්‍රතික්ෂේප වෙති. විද්‍යුත් සහ කඩදාසි මාධ්‍ය වෙතින් ස්ත්‍රී සහ පුරුෂ සමාජභාවීන්ට ලැබෙන ගෞරවය ඔවුනට නොලැබෙයි. සමාජ වෙබ් අඩවිවලින් ඔවුහු විවිධාකරයේ අවමන් (Cyber-bullying) ලබති. ලිංගික අනන්‍යතාවය වෙනස් වීමෙන් පසුව තමන්ගේ ජාතික හැඳුනුම්පත වෙනස් කරගැනීමට නොහැකි වීමෙන් ලංකාව වැනි රටවල ඔවුහු අමතර පීඩාවකට මුහුණ දෙති. ජාති සහ කුල අනන්‍යතාවයන්ගේ සමාජ පිහිටුම මෙන්ම ආන්තික දරිද්‍රතාවය නිසාවෙන් ද මෙම තත්වයන් ඉතා නරක අතට හැරේ. නවකතාවෙහි දිගහැරෙන සිද්ධීන් ඇසුරෙන් සාමාන්‍ය සමාජය අබිමුව සේපාල මුහුණදෙන අපහාසයන්, හිරිහැරයන් සහ ලිංගික අඩම්තේට්ටම් නොපැකිලව සහ ප්‍රබලව ඉදිරිපත් කිරීමට කතුවරිය සමත් වෙයි.

ලිංගික අනන්‍යතාවය පිළිබඳ සමාජ දුර්මත, සංක්‍රාන්ති සමාජභාවීන් කෙරෙහි වූ භීතිකාව (Transphobia), සංක්‍රාන්ති සමාජභාවීන් ගැන නාස්තික ආකල්ප සහ නොදැනුවත්භාවය මෙකී ගර්හාවන්ට සහ අපවාදයන්ට මූලිකව හේතු වෙයි.

“මිණි කැට මෙන් පරිස්සමට කනේරු ඇට සොයා අහුලාගත් සේපාල වත්ත පහලට යාමට පෙර කුස්සියට එබුණේය. අවසන් වරටත් අම්මා දැක බලා ගැන්ම ඔහුගේ අභිප්‍රාය වූ අතර, සීනි අහුරක්ද සොරා ගත යුතුව තිබිණ“ (අංගනා: පි.20)

ලංකාව ඇතුලත සංක්‍රාන්ති සමාජභාවී කුලකයේ සිය දිවි හානිකර ගැනීම් පිළිබඳව නිශ්චිත සමීක්ෂණයක් සිදු කර ඇත්දැයි මම නොදනිමි. එහෙත් ලොව පුරා විවිධ රටවල සිදුකර ඇති සමීක්ෂණ අනුව එම දිවි හානිකර ගැනීම් සංක්‍රාන්ති සමාජභාවීන් නොවන පුද්ලයින්ගේ දිවි හානිකර ගැනීමේ ප්‍රතිශතයට වඩා ඉතා ඉහළ ය. ඇමෙරිකාවේ පමණක් 2015 වසර තුළ වාර්තා වී ඇති සංක්‍රාන්ති සමාජභාවීන්ගේ සිය දිවි නසා ගැනීම් උත්සාහයන් සියයට 40 කි. එය ස්ත්‍රී පුරුෂ සමාජභාවීන් ගේ සිය දිවි නිසාගැනීමේ උත්සහායන්ට වඩා නව ගුණයකි (2015 U.S. Trans Survey). ස්කොට්ලන්තයේ සංක්‍රාන්ති සමාජභාවීන් 84% කට සිය දිවි නසා ගැනීමේ සිතිවිලි එක් වරක් හෝ තිබී ඇති අතර සෑම සංක්‍රාන්ති සමාජභාවීන් තුන් දෙනෙක් ගෙන් එක් අයෙකු සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත (2012 survey by the Scottish Transgender Alliance and Sheffield Hallam University).

සෑම ආගමකම පැවැත්මෙහි පදනම “බිය“ ය. ආර්ථික කොන්දේසි නො ලිහිල් පීඩිත සමාජයන්හි පුන්‍යවන්තයන් බොහෝ සෙයින් සීමිත වන විට,  වඩා යහපත් මතු ආත්මයක් ලබණු පිණිස පින් සිද්ද කළ යුතුය යන භීතිය විසින් සමාජයක් හික්මවෙනු ලැබේ (?). අපට සිටින්නේ බුදුන් වඳින, දන් පුදන, දම් දෙසන, දකින දකින වැඩිහිටියන්ට දණින් වැටී නමඳින, උදේ සවස බුදුසරණයි යනුවෙන් මුවින් ආශිර්වාද කරන ජන සමූහයකි. ලොව වැඩිම ආගමික නැඹුරුතාවය සහිත රටවල් සැලකීමේ දී ලංකාව (තවත් නොදියුණු රටවල් පහක් සමඟ) පළවෙනි ස්ථානයට පත් වන්නේ එබැවිනි (The Telegraph, UK, 2017.04.16). එහෙත් එවැනි කරුණාබර සමාජයක සේපාල සහ දිලී වැනි සංක්‍රාන්ති සමාජභාවින්ගේ ඛේදනීය ඉරණම ශාන්ති සිය නවකතාවේ චරිත ලවා කිහිප තැනකදීම ප්‍රශ්න කරවයි.

“ලිංග පරිවර්තනය සිදුවන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ.“ (අභිධර්මයේ මූලික කරුණු, 8 වන මුද්‍රණය: රේරුකානේ චන්දවිමල හිමි. ලිංග පරිවර්තනය. පි. 135)

ස්ත්‍රීභාවය ලබන්නේ අකුසල් නිසාවෙන් යැයි ගැමියන් ශ්‍රද්ධාභක්තියෙන් යුතුව ඉගෙන ගන්නේ පන්සලෙන්ම ය.  ස්ත්‍රී සහ පුරුෂ සමාජභාවී සම්මතයට පරිබාහිරව නමුදු ස්වභාවධර්මයේ එම අභිජනන ක්‍රියාවලිය මඟින්ම උත්පත්තිය ලැබූ සංක්‍රාන්ති සමාජභාවීන්ට “කරුමක්කාරයෝ“, “පව්කාරයෝ“ යැයි එම සදාචාරසම්පන්න සමාජයෙන්ම පටබැඳෙන්නේ එබැවිනි.

“ගෑනු වෙලා උපදින්නෙ පව් කරලා. එතකොට මූ කොච්චර පව් කරල ඇද්ද මෙහෙම දෙයක් වෙන්ඩ..“ (අංගනා: පි.89)

සිය අයිතිවාසිකම් වෙනුවෙන් සහ තමන් වෙත වූ සියළුම විධියේ අපයෝජනයන්ට එරෙහිව සිදුකෙරෙන සංක්‍රාන්ති සමාජභාවීන් ගේ අරගලය, එය සමඟ බද්ධව පෙළගැසෙන ස්ත්‍රී සමකාමී, පුරුෂ සමකාමී, බහු සහ අන්තර් ලිංගිකයින්ගේ (LGBT+ ලෙස හැඳින්වේ) අරගලයෙන් වියුක්තව ගත නොහේ. අඩු වැඩි වශයෙන් මේ සියළු සමාජභාවීහු පීඩිතයෝ ය. සම්මත ලිංගික අනන්‍යතාවයට (ස්ත්‍රී පුරුෂ සමාජභාවය) වෙනස් වීමෙන් හෝ සම්මත ලිංගික නැඹුරුවට (විෂම ලිංගික) එරෙහි වීමෙන් ඔවුහු සැමවිටම අවමානයට ද හිරිහැරයට ද පත්වෙති. පිරිමියෙක්ට තවත් පිරිමියෙකුට මෙන්ම ගැහැනියෙක්ට තවත් ගැහැනියකුට ආදරය කිරීමට ඇති අයිතිය ගැන ශාන්ති “අංගනා“ තුළ ඉස්මතු කරන්නේ මෙම අරගලයන්ගේ සහසම්බන්ධය නිසාවෙනි.

“ගෑනියෙකුට තවත් ගෑනියෙකුට ආදරේ කරන්ඩ බැරිකමක් නෑ සේපාල..පිරිමියෙක් ගෑනියෙකුටයි ගෑනියෙක් පිරිමියෙකුටයි විතරද ආදරේ කරන්නෝනෑ..? ඒක මහ පුදුම කතාවක්නෙ..පිරිමියෙකුට තවත් පිරිමියෙකුට ආදරේ කරන්න පුළුවං වෙන්ඩෝනෑ..“ (අංගනා: පි.128)

ශාන්ති  රජරට උපන් සාමාන්‍ය ගැමි ගැහැනියකි. බිරිඳකි. අම්මා කෙනෙකි. එහෙත් නිරන්තර කියවීමෙන් අවශෝෂිත දැනුම ඇගේ රචනාවන් තුළ ඒ ගැමිකම ඉක්මවා ගිය විරල මානවවාදයක් මතුකරවයි. ඈ යුද විරෝධී වේ. ජාතිවාදයට සහ ජාතිකවාදයට එරෙහි වේ. කුල භේදය ප්‍රතික්ශේප කරයි. ප්‍රදර්ශනකාමී ආගම් නොතකා හරී. නැකැත්, පොරාන්දම්, දේව ඇදහිලි නොපිළිගනී. අනෙකුත් මිත්‍යාමත නොඅදහයි. පීඩිතයන් වෙනුවෙන් ඇගේ නෛසර්ගික ලේබණ හැකියාව නොබියව මුදා හරී.

ගැමි සංස්කෘතියේ සහ එම පර්යාවරණයේ උපමා උපමේයන් ද ඒ සංවාදරූපක ද සමඟ කතන්දර කීමේ දී ශාන්ති බුහුටි ය. අඛන්ඩව කියවා නිම කිරීමේ රුචිය නවකතාවක මුල සිට අග දක්වාම පවත්වා ගැනීමට හැකිවීම ඇගේ රචනා ශෛලියේම ගුණයකි. “අංගනා“ ශාන්තිගේ හොඳම නවකතාවක් යැයි මම නොකියමි. ඇගේම “වාලුකා“ නවකතාව තරම් එය සද්දන්ත නොවේ. “වාලුකා“ ගැඹුරු ය. තියුණු ය. කියවා නිම වූ පසුවද එයින් ගැලවුමක් නොමැති වන තරමට එහි චරිත අතර ද පරිසරය අතරද කියවන්නා රැඳවෙයි. දැනට නවකතා විසිගණනට වඩා පළකර ඇති ශාන්ති වෙතින්  “වාලුකා“ වලටත් වඩා පරිපූර්ණ බවක් “අංගනා“ තුළින් ඇගේ පාඨකයෝ බලාපොරොත්තු වූයේ නම් මම එයට දොස් නොකියමි. “අංගනා“ තුළ නොපිරුණු බව මට දැනුණේත් “වාලුකා“ සමඟ සැසඳීමෙනි.

සංක්‍රාන්ති සමාජභාවීන් වෙත ඇති ගෘහස්ථ සහ සමාජීය පීඩාව “අංගනා“ තුළින් මනාව විවිරණය වී ඇති නමුදු ලිංගික ශ්‍රමිකයන් ලෙසින් ඔවුන්ට සිදුවන අපයෝජනයන් හෝ සැහැසිකම් පිළිබඳ වැඩි අවධානයක් යොමුවී නැති බවක් පෙනේ. නවකතාවෙහි දැක්වෙන ලෙසින් ම නාට්‍ය, සර්කස් සහ කානිවල්වලට සම්බන්ධවීමෙන් පසුව හෝ සෘජුවම යොමුවීමෙන් හෝ තුන්වන ලෝකයේ සංක්‍රාන්ති සමාජභාවීන්ගේ ජීවිත ව්‍යසනකර වෙන්නේ ලිංගික ශ්‍රමය විකිණීම තුළිනි.  සමස්ත ලිංගික ශ්‍රමිකයන් ම පීඩිතයන් වන නමුදු සමාජය තුළ සංක්‍රාන්ති සමාජභාවීන් වෙත ඇති නිෂේධනීය ආකල්ප නිසාවෙන් ඔවුන්ගේ ඉරණම ඊට වඩා දරුණු ය. ඛේදනීය ය.

සංක්‍රාන්ති සමාජභාවීන් ගැන ප්‍රථම පුරුෂ ආඛ්‍යානයෙන් ලේඛනයෙහි යෙදෙන විට විශේෂයෙන් ප්‍රවේසම් සහගත විය යුතු ය. පිළිගත් පාරිභාෂිතයට අනුව පරිණාමනය වූ ලිංගික අනන්‍යතාවයේ ස්ත්‍රී-පුරුෂ බව සලකා ප්‍රථම පුරුෂ ආඛ්‍යානයනය සිදුනොකිරීමෙන් සංක්‍රාන්ති සමාජභාවීන් වෙත සිදුවන්නේ අවමානයකි. “අංගනා“ හි සංක්‍රාන්ති සමාජභාවී චරිත එම නමින් (සේපාල) පමණක් ම හෝ වෙනස් වූ ලිංගික අනන්‍යතාවයේ (ඇය/ඇයට/ඇයගේ) අඛ්‍යානයෙන් හෝ ආමන්ත්‍රනය කළ යුතුව තිබුණි. සේපාල වෙත  “ඔහු“ යන සර්ව නාමය යෙදවීමෙන් ශාන්ති වෙතින් නොදැනුවත්ව හෝ ඒ වැරැද්ද “අංගනා“ තුළ සිදු වී ඇත. “ඇය“ යනුවෙන් භාවිතාකළේ නම් සේපාල වෙත වූ ස්ත්‍රීත්වය තවදුරටත් තීව්‍ර කර ගැනීමට ද ඉඩ තිබුණි.

එතෙකුදු වුවත් “අංගනා“ නවකතාව තුළින්, සේනපුර, ට්‍රැක් හතර හන්දියේ ශාන්ති දිසානායක විසින් “සමරිසි විවාහ නීතිගත කිරීමේ කැබිනට් පනත විසිකරේ මම!“ යැයි උදම් ඇනූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සංක්‍රාන්ති ලිංගික තත්ත්වයට පත් වූ පුද්ගලයන් යනුවෙන් කොටසක් සාමජය තුළ නොමැති බවත් එවැනි පුද්ගලයින්ට ද සමරිසි පුද්ගලයන්ට ද ඇත්තේ මානසික රෝගී තත්ත්වයක් බවත් පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස ඇතුළු, සංක්‍රාන්ති සමාජභාවීන් “පොන්නයන් හෝ නපුංසකයන්“ ලෙසින් සළකන්නට පුරුදු වූ සම්ප්‍රදායික/ගතානුගතික මතවාදයන්හි ගැලුණු බහුතරයක් ලාංකිකයින්ට එල්ලකරන අභියෝගය සුළුපටු නොවේ.

ධනේශ්වර සංවර්ධිත රටවල සංක්‍රාන්ති සමාජභාවීන් ගේ අරගලවලින් දිනාගත් අයිතීන් බොහෝ වෙතත් ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල තත්වය අතිශයින් කනගාටුදායක ය. එම ධනේශ්වර රටවල වුව සිය ආර්ථිකයේ පදනම වූ න්‍යෂ්ටික පවුලේ දෘෂ්ටිවාදය ශක්තිමත් කරණු පිණිස සංක්‍රාන්ති සමාජභාවීන් වෙත වඩාත් ගැළපෙන ස්ත්‍රී හෝ පුරුෂ හෝ සමාජභාවය පමණක් තහවුරු කිරීමට ශල්‍යකර්ම මූලික හෝ හෝමොනික ක්‍රමවේදයන් සඳහා ඉඩ සලස්වනු නමුදු, ස්ව කැමැත්තට අනුව නොබැඳි ලිංගික අනන්‍යතාවයකින් (Gender Neutral) පෙනී සිටින්නට ඔවුනට ඉඩ සැලසෙන්නේ නැත. ධනේශ්වර චින්තනය තුළ ලිංගිකත්වය ස්ත්‍රී සහ පුරුෂ යන විෂම යුග්මයට පමණක් සීමා කෙරේ. 

ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සංක්‍රාන්ති සමාජභාවී මාක්ස්වාදී ක්‍රියාකාරිණියක් වූ ලෙස්ලී ෆයින්බර්ග් (1949-2014) විසින් ඇගේ “ට්‍රාන්ස්ජෙන්ඩර් වොරියර්ස්“ කෘතියෙන් කාහලය නඟන්නේ පන්ති සටන් අරගලයක කෙළවර බිහිකරන සමාජවාදී සමාජයක් වෙනුවෙනි.

“වැඩකරන මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වූ ආර්ථික ක්‍රමයක් බිහිකරගන්නා තුරු අප කිසිවෙක් නිදහස් නොවේ. සංක්‍රාන්ති සමාජභාවීන් වශයෙන්, අප කෙරෙහි අගතිය සහ ද්වේශය පොලඹවන පන්ති විෂමතාවය අහෝසි වූත්, ලිංගික අනන්‍යතාවය, ලිංගික නැඹුරුතාවය සහ මානව ප්‍රේමය රාජ්‍ය නීතිය මඟින් සීමා කරවනු ලැබීම අපරිකල්පනීය වූත් සමාජයක්, සටන් කර දිනා ගන්නා තුරු අපට ගැලවුමක් නොමැත.” (Transgender Warriors: Making History from Joan of Arc to Dennis Rodman, Leslie Feinberg - පි. 128)

ශාන්තිගේ “අංගනා“ නවකතාව දිරි දෙන්නේ සංක්‍රාන්ති සමාජභාවීන්, ස්ත්‍රී සමකාමී, පුරුෂ සමකාමී, බහු සහ අන්තර් ලිංගිකයින් (LGBT+) ඇතුළු සියළු පීඩිතයින් එක්ව සටන්කර දිනා ගතයුතු ඒ අරගලයට ය☐

මහේෂ් මුණසිංහ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.