JDS Sinhala

ට්සුකුරු ටසකිගේ වන්දනා සමය: මුරකමිගෙන් තුන්කාලක් නොපිරුණු බඳුනක්?

රුකි මුරකමි ගේ අවසානයට මුද්‍රණයෙන් පළවූ නවකතාව 'අවර්ණ ට්සුකුරු ටසකි සහ ඔහු ගේ වන්දනා සමය' (Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage) මුල් ජපන් බසින් එළිදැකීම ජපානය තුළ උන්මාදයක් බවට පත්විය. එය ජපන් ඇමසෝන් වෙබ් අඩවියේ එතෙක් වේගයෙන් ම අලෙවි වූ පොත බවට පත්විනැ'යි වාර්තා වෙයි.

බීට්ල්ස්ලා ගේ හෝ බොබ් ඩිලන් ගේ නවතම ගීත ඇල්බමයක් නිකුත් වන තුරු පැරැණි පරම්පරාවන් ගී තැටි වෙළෙඳසල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටි අන්දමින්ම මුරකමි ගේ අලුත් කෘතියක් බලාපොරොත්තුවෙන් පාඨකයන් පෙළගැසී සිටින බව 'The New York Times' පුවත්පතට 'අවර්ණ ට්සුකුරු ටසකි' අරබයා විචාරයක් ලියන පැටී ස්මිත් පවසයි. පොත එළිදුටු මධ්‍යම රාත්‍රියේ පටන් සත් දිනක් ඇතුළත එය ජපානයේ පිටපත් මිලියනයකට වඩා අළෙවි වී තිබේ.

"සරසවියේ ගතකළ සිය දෙවැනි වසරේ ජුලි මාසයේ සිට ඊළඟ වසරේ ජනවාරිය දක්වා ට්සුකුරු ටසකිට සිතන්නට හැකි වූ එක ම දෙය මියයාම යි....." යන උනන්දුව දල්වාලන වැකියෙන් ඇරැඹෙන නවකතාව, සිය ජීවිතයේ විවිධ වකවානුවල දුම්රිය ස්ථාන හා තදත්ම්‍ය වූ ට්සුකුරු ටසකිගේ තාරුණ්‍යයේ කතාව අපට කියයි. සිය උපන් ගම වූ නගෝයා හි නව යොවුන් පාසල් සිසුවකු ව සිටිය දී ඔහු යෙහෙළියන් දෙදෙනකුගෙන් හා යහළුවන් තිදෙනකුගෙන් සැදි දෘඩ අන්‍යොන්‍ය බැඳීමක් සහිත පස්දෙනකුගේ මිතුරු කල්ලියක සාමාජිකයෙක් වෙයි. කල්ලියේ අනෙක් සිව් දෙනාගේම වාසගම් හා කිසියම් වර්ණයක් බැඳී තිබෙන අතර එහෙයින්ම ඒ සිව් දෙනා වර්ණවත් අපනාමයන් ලබති. යහළුවන් දෙදෙනා 'නිල්' සහ 'රතු' ලෙසිනුත්, යෙහෙළියන් දෙදෙනා 'සුදු' සහ 'කළු' ලෙසිනුත් ය. වාසගමට වර්ණයක් නොඈඳෙන ට්සුකුරු අවර්ණව ඉතිරි වේ. තමන් කිසිදු වර්ණවත් බවක් හිමි නැති, කිසිදු වෙසෙසියාවක් නැති ඉතා ම සාමාන්‍ය, නීරස පුද්ගලයෙක් ය යන කාන්සා සහගත සිතිවිල්ලෙන් ඔහු පෙළෙයි.

'වන්දනා සමය'

පස්දෙනාගේ කල්ලියෙන් නගෝයා හැරදා උසස් අධ්‍යාපනය උදෙසා ටෝකියෝවට එන එක ම සාමාජිකයා වන ට්සුකුරු, ඔහු ගේ විශ්ව විද්‍යාල දිවියේ දෙවැනි වසරේ දී කිසිදු හේතු දැක්වීමකින් තොරව පස්දෙනාගේ කල්ලියෙන් සදහට ම නෙරපා දැමේ. ඒ හදිසි තීරණයට හේතුව මිතුරු කල්ලිය ඔහුට හෙළි කරන්නේ නැති අතර, හේතු විමසීමට තරම් දිරියක් ඔහුට ද නැත. දිවි නසාගැනීමේ අධිකතර පෙළඹුමක් ඇතිකරන මෙම හදිසි නෙරපා දැමීමේ වේදනාවෙන් යම් අයුරකින් ගොඩයාමට ඔහුට අත දෙන්නේ සරසවියේ දී ඔහු ගේ එක ම මිතුරා බවට පත්වන, හදිසියේ මතු වී හදිසියේ ම අතුරුදහන් වන හයිඩා ය. හයිඩාගේ වාසගම ද වර්ණයකට ඈඳෙන අතර ඒ අලු පැහැය ය. හදිසියේ අතුරුදහන් වන විට හයිඩා ට්සුකුරු වෙත තබා යන්නේ ෆ්‍රාන්ට්ස් ලිස්ට් (Franz Liszt) ගේ වන්දනා සමය (Années de pèlerinage) සංගීත තැටි කට්ටලය යි.

එයින් වසර 16කට පසු, දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවකු ලෙසින් දුම්රිය ස්ථාන ඉදිකරන තිස් හය හැවිරිදි ට්සුකුරු සිය නව පෙම්වතිය වන සාරා ගේ පෙළඹවීම හා මගපෙන්වීම මත, සිය ආධ්‍යාත්මයේ සදාකාලික තුවාලයක් ලෙසින් ශේෂව පවතින මිතුරු කල්ලියෙන් අහේතුක ව හදිසියේ නෙරපා හැරීමේ සැබෑ හේතු සොයා වන්දනාවක නිරත වේ.

"මුලින් ම මගේ අරමුණ වුණේ කෙටිකතාවක්. වයස තිස් හයක, බෙහෙවින් හුදෙකලා මේ හාදයා ගැන කියන්න යි මට වුවමනා වුණේ. ඔහු ගේ ජීවිතය විස්තර කරන්න මට අවශ්‍ය වුණා. ඉතින් ඔහුගේ රහස විසඳී අවසන් කරන්න නියමිතව තිබුණේ නෑ. අබිරහස අබිරහසක් ලෙසම තියෙන්න යි නියමිත වුණේ. ..... මං ඒ කෙටිකතා කොටස ලියල ඉවර වුණාට පස්සේ සාරා (ට්සුකුරුගේ වත්මන් පෙම්වතිය) ඔහු වෙතට ඇවිත් කිව්වා, 'මොකක්ද සිද්ද වුණේ කියලා ඔයා හොයාගන්න ඕනෑ' කියලා. ඉතින් ඔහු තමන්ගේ පරණ යහළුවන් මුණගැහෙන්න නගෝයා වෙත ගියා. මටත් ඒ දේ ම සිද්ද වුණා. සාරා මා වෙතට ඇවිත් කීවා 'ඔබ ආපසු නගෝයා වෙතට ගොස් මොකද වුණේ කියලා හොයාගන්න ඕනෑ,' කියලා. මං පොත ලියමින් ඉන්නකොට මගේම චරිත මා වෙතට ඇවිත් මා මොනවද කරන්න ඕනෑ කියලා කීවා.....  ප්‍රබන්ධය හා මගේ අත්දැකීම එකිනෙකට සමාන්තර වෙන්න ගත්තා. ඉතින් ඒක නවකතාවක් වුණා." මුරකමි 'The Guardian' පුවත්පතට කියයි.

හුදෙකලා අඩවියකට පසුබැසීම

නව යොවුන් වියේ සිට වැඩිහිටි වියට පත්වන කතානායක චරිතයක මනෝමය හා චර්යා ධාර්මික වෙනස්වීම් විෂයය කරගන්නා 'බිල්ඩුන්ග්ස්රොමාන්' (Bildungsroman) නම් සාහිත්‍ය ශානරයට සමීප වන මෙය වැඩි කොටම යථාර්ථවාදී ශෛලියෙන් විදාරණය වන අතර, මුරකමි ගේ හුරුපුරුදු මායා යථාර්ථය බොහෝකොටම කෘතියේ එන සිහිනවලට හා කතාන්තරවලට සීමා වෙයි.

මේ හේතුව නිසා ම ඇතැම් විචාරකයෙක් 'අවර්ණ ට්සුකුරු ටසකි.....' දකින්නේ මුරකමි ආපසු සිය 'Norwegian Wood' නවකතාවේ ඉම් පෙදෙස් කරා කරන පසුබැසීමක් ලෙසිනි.

'The Telegraph' පුවත්පතට විචාරයක් සපයන ලියෝ රොබ්සන් 'අවර්ණ ට්සුකුරු ටසකි.....' ගැන කියන්නේ මෙහි දී "මුරකමි සිය සුප්‍රකට සම්භාව්‍ය නවකතාව 'Norwegian Wood' හි හුදෙකලා, ගුඪ වපසරිය වෙත අඩියක් පසුපසට ගෙන සිය මග වරද්දාගෙන" ඇති බව ය.

මුරකමි ජපන් තාරුණ්‍යය විසින් වැළැඳගනු ලැබීමට හේතු වූද, ඔහු යම් විදියක සුපිරි තරුවක් බවට ඔසවා තබන්නට හේතු වූද 1987 පලවූ 'Norwegian Wood' සමඟින් අවර්ණ ට්සුකුරු ගේ සබැඳියාව ඇරැඹෙන්නේ ග්‍රන්ථ නාමකරණයෙන්ම ය. බීට්ල්ස් ගායක කණ්ඩායමේ සුප්‍රකට 'නෝවීජියන් වුඩ්' ගීතය මුරකමි ගේ '87 නවකතාවට නම දුන්නා පමණක් නොව, එහි දී ඔහු ආමන්ත්‍රණය කරන තාරුණ්‍යයේ විගලිතභාවය ඇතුළු මනෝභාවයන් සමග (ගීතයේ වාච්‍යාර්ථයෙන් ම නොවුණත්) යම් ගනුදෙනුවක් කරන්නේය යි හඟිමි. එලෙසින් ම 'අවර්ණ ට්සුකුරු.....' කෘතියට නම දීමේදී හංගේරියානු සංගීතඥ ෆ්‍රාන්ට්ස් ලිස්ට්ගේ වන්දනා සමයට භූමිකාවක් හිමිවනවා සේම, එහි පාත්‍රයන් අතර කිසියම් ආත්මීය හුවමාරුවකට ද එම සංගීත ඛණ්ඩය අනායාස වාහකයක් බවට වරින් වර පත්වන බවක් පෙනේ.

'Norwegian Wood' හි කතානායක ටෝරු වතනාබේගේ පෙම්වතිය වන නඔකෝ සමඟින් කඳුකර සුවාගාරයේ කාමරය බෙදාගන්නා රෙයිකෝ සිය ගිටාරයෙන් බීට්ල්ස්ලා ගේ 'නෝවීජියන් වුඩ්' නිරන්තරයෙන් වාදනය කරන පරිද්දෙන් ම, අවර්ණ ට්සුකුරුගේ පංච මිත්‍ර සමාගමයේ මානසික අවපීඩනයේ වැඩියෙන්ම ගැලුණු තැනැත්තිය - ට්සුකුරු ගේ නිර්දය ඉරණමේ නිර්මාතෘවරිය ද වන - 'කළූ' නිරන්තරයෙන් පියානෝවෙන් වාදනය කරන්නේ ද ලිට්ස් ගේ 'වන්දනා සමය' යි.

මුරකමි ලකුණු

නවකතාකාරයකු වීමට පළමු ජෑස් ක්ලබ් හිමිකරුවෙක් වූ මුරකමි සිය පොත්වල සංගීතකාරයන්ගේ හා සංගීත නිර්මාණයන්හි නම් හලාදැමීමක් කරමින් මහන්තත්තය පෙන්නනවාට වඩා ඒ උදෘතීකෘත සංගීත ඛණ්ඩයන්ගෙන් සිය කෘතියට වැඩක් ගැනීමට උත්සාහ කරන්නේය යන හැඟීම පාඨකයකු වශයෙන් තවමත් මවෙත තිබේ.

අනෙක් අතට ග්‍රන්ථ නාමය හා නොබැඳුණ ද, ඔහු ගේ බොහෝ කෘතිවල මේ සංගීතමය සැඳැහුම පාඨකයාට හමුවෙයි. නිදසුනකට 1Q84 නම් දැවැන්ත නවකතාවෙහි සම්භාව්‍ය මෙන්ම සමකාලීන සංගීතඥයන් කිහිප දෙනකු පිළිබඳවම කරන සඳැහුම් අතර, නවකතාවේ බොහෝ උද්වේගකර අවස්ථාවන්හි දී කීර්තිමත් චෙක් සංගීතඥ ලැවොෂ් යනාෂෙක්ගේ සින්ෆොනියේටා සංගීත රචනාව මතුවෙයි.

මුරකමි ගේ සාහිත්‍යයේ බොහෝවිට දැකිය හැකි එක් සුවිශේෂී අනන්‍යතාවක් වන්නේ වේගවත් කියවීමකට පාඨකයාට කරන පෙළඹවීම යි. නිරන්තරයෙන් මැවෙන කුතුහලය එහි උත්ප්‍රේරකය වන අතර ඔහු ගේ සරල භාෂා ශෛලිය ඒ වේගවත් කියවීමට අත්වැල් සපයයි. 1Q84 නවකතාව පිටු දහසකට ආසන්න වුවත්, 'Kafka on The Shore' (පත්‍රාවරණිත මුද්‍රණය) පිටු 650කට එහාපැත්තේ වුවත්, ඒ දැවැන්තකම වෙහෙසකර කියවීමක් බවට පත් නොවෙයි. සිය කෘති තුළ ඔහු නිරන්තරයෙන් මවන ඉන්ද්‍රජාලිකත්වය ද, භාෂාවේ සරල ඍජුකම හේතුවෙන් ආයාසකර කියවීමකට හේතු නොවෙයි.

'අවර්ණ ට්සුකුරු' තුළ ද මේ කියැවීමේ පෙළඹවීම රැඳී තිබේ. ඊට අමතරව යථාර්ථවාදයට වැඩි වපසරියක් පවරන 'පරණ මාවතට පසුබැස ගිය ද' මායා යථාර්ථය ද ඇතුළු සුප්‍රකට මුරකමි ලකුණු වන අවිශිෂ්ට අවර්ණ කතානායකයෙක්, යෞවනයේ පරාරෝපණය, ලිංගිකත්වය, මරණය හා මරණ ආශය පිළිබඳ කතිකාව, යථාව හා සිහින අතර බොඳවුණු සීමා ඉර, සුවිශේෂී සංගීත රචනා සැඳැහුම් ඇතුළු අඩුවැඩිය මේ පිටු 300 තුළ ද අසුරා තිබේ.

අවලස්සන තාරා පැටියා

ජපානය තුළ ඉතා ඉහළ අලෙවියක් ඇති, වාණජ්‍ය වශයෙන් අති සාර්ථක ලේඛකයකු ලෙස සැලකුම් ලබන මුරකමි, එහි ස්ථාපිත සාහිත්‍ය අධිකාරීන් වෙතින් උණුසුම් පිළිගැනීමක් නොලබන්නෙකි. එම අධිකාරීන්ට අනුව මුරකමි බටහිර ලේඛකයන්ගේ දැඩි ආභාෂයක් සහිත නිර්-ජපානීය ලේඛකයෙකි. සාහිත්‍යයේ සේම අනෙකුත් කලාවන් විෂයයෙහි අති අනන්‍ය වූ ද, සුවිශේෂී වූ ද සම්ප්‍රදායයකට උරුමකම් කියන ජපානයේ නිල සාහිත අධිකාරීන්, ඒ චිරන්තර උරුමයන්හි ම නොපිහිටමින්, කෆ්කියානු ආභාසය ඇතුළු බටහිර සාහිත්‍ය ප්‍රවණතාවන්හි ද, බටහිර දර්ශනවාදයන් හිද ආභාසය යහමින් ලබමින්, අපරදිග සංගීතය ඇතුළු බටහිර කලා සංස්කෘතිකාංග සිය වියමන් හා වෙලා පටලවමින්, එම නූතනවාදී සේ ම ඇතැම් විට එය ඉක්මවා පශ්චාත් නූතනවාදී ද වූ ආඛ්‍යාන රටාව හා ඊනියා 'බටහිරකරණය' ද හේතුවෙන් ජපන් තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය වූ, ඒ අසාමාන්‍ය ජනප්‍රියත්වයෙන් ගැලවෙනු පිණිසම රට හැරදමා ගොස් ස්වයං පිටිවහලකු වූ මුරකමි දෙස මේ අයුරින් බැලීමේ පුදුමයක් ද නැත.

ජපාන සාහිත්‍යාධිකාරීන් වෙතින් තමන් ලබන සැළකීම පිළිබඳ යථාර්ථය පිළිගන්නා මුරකමි වරක් කීවේ තමන් "ජපන් සාහිත්‍ය ලෝකය තුළ පළවාහරින ලද්දකු" බව ය.

''මට මගේ ම පාඨකයන් ඉන්නවා. ඒත් විචාරකයන්, ලේඛකයන් බොහෝ දෙනෙක් මට කැමති නෑ. ඔවුන්ට මං එක්තරා විදියක අවලස්සන තාරා පැටියෙක්.... හැමදාටම තාරා පැටියෙක්; කවදාවත් හංසයකු බවට පත් නොවෙන."

තමන් සමකාලීන ජපන් සාහිත්‍යය එතරම් නොකියවන බව ද මුරකමි ප්‍රසිද්ධියේ කියයි.

"මං ලියන හැම පොතක්ම අලෙවි ප්‍රවර්ධන කටයුතුවලට හෝ විචාරයට ලක්වීමට කලින් ම ජපානය තුළ පිටපත් ලක්ෂ තුනක් විකිණෙනවා. ඔවුන් මගේ පාඨකයන්. ඔබ ලේඛකයෙක් නම්, ඔබට පාඨකයන් ඉන්නවා නම්, ඔබට හැම දෙයක් ම තියෙනවා. ඔබට විචාරකයන් හෝ ග්‍රන්ථ විවේචන අවශ්‍ය වෙන්නේ නෑ," මුරකමි 'The New Yorker' පුවත්පතේ රෝලන්ඩ් කෙල්ට්ස් හා කියා සිටී.

ජපානය තුළ ඔහු ගේ තත්ත්වය එය වුවත් සෙසු ලෝකයට, විශේෂයෙන් එක්සත් ජනපදයට ඔහු පෙරදිග හා බටහිර යා කරන රස විද්‍යාඥයෙකැ'යි, කාලයක් තිස්සේ ටෝකියෝ හා නිව්යෝක් නගර ද්වයම සිය නිවහන කරගෙන සිටින කෙල්ට්ස් පවසයි.

සාහිත 'රොක් තරුව'

ආත්මීය වශයෙන් විගලිත හා පරාරෝපිත වූ, භෞතික ජීවිතයෙන් දැඩි ව බටහිරකරණය වූ ජපන් තාරුණ්‍යය අමතමින් ජපානය තුළ සුපිරි තරුවක් වූ මුරකමි, ජපානයේ ගුප්ත ආත්මය පිළිබඳ කුහුල්බර බටහිර මනසට ශින්ටෝ දහම ඇතුළු ජපන් සාරයේ ක්ෂුද්‍රාංශු මාත්‍රයක් ඉන්ද්‍රජාලයන් ඇතුළු බටහිර අනුපානයන් හි කලතා ගෙනැවිත් බටහිරද ආලෝලනය කරමින් අපූර්ව රහස්‍ සාහිත්‍ය වට්ටෝරුවක් නිර්මාණය කිරීමට සමත්වීම ඔහු ගේ රස විද්‍යාවදැයි තීරණය කිරීමට තවමත් කිසිවකු ඉක්මන් නොවන්නට ඉඩ තිබේ.

කෙසේ වෙතත් ඉංගිරිසිය වහරන්නේ නැති යුරෝපයේ බොහෝ දැවැන්ත නොවූ නගරවල පවා පොත් කඩයකට ගොඩවැදුණොත්, ඉංගිරිසි සාහිත්‍යයට වෙන් වූ හුණ්ඩු රාක්කයක වුව මුරකමි වරදින්නට විදියක් නැති බව මගේ අත්දැකීම යි. ඒ අතර A Wild Sheep Chase, Kafka on The Shore, Norwegian Wood, The Wind-up Bird Chronicle, Hard Boiled Wonderland and The End of The World අතරින් කිහිපයක් සමග විශේෂයෙන් 1Q84 ද නො වරදින බව මගේ නිරීක්ෂණය වන අතර, දැන් 'අවර්ණ ට්සුකුරු ටසකි'ත් ඒ ගොන්න කිසියම් කාල පරාසයකට හෝ නියෝජනය කරනු ඇතැයි සිතමි.

පශ්චාත් නූතනවාදී සාහිත්‍යයේ වැදගත් චරිතයක් ලෙසින් මෙන්ම ජීවතුන් අතර සිටින ප්‍රධාන නවකතාකරුවකු වශයෙන් ද මුරකමි ජපානයෙන් බැහැර ලෝකයේ දී ඇතැම් විට සැඳැහුම් ලබයි. එහෙත් ඔහු ජගත් සාහිත්‍යය තුළ බැරෑරුම් සාහිත්‍යකරුවකු ලෙසින් බාරගැනීමට මැලිවන විද්වත් සාහිත කතිකාවේ ප්‍රමාණයද නො සලකා හළ නොහැකි තරම් ය. මේ කතිකාවන් තුළ ඇතැම් විට ඔහු සැලකෙන්නේ සාහිත රොක් තරුවක් ලෙසිනි.

නොවිසඳුණු අභිරහස් මඟ දමායන්නා

නිදසුනකට ඔහු ගේ බොහෝ කෘතීන්හි අවසන ආඛ්‍යානමය නොවන, හුදු ඉන්ද්‍රජාලික පඨිතයන් ඔස්සේ මැවුණු, නො විසඳුණු අබිරහස් ගොන්නක් ඉතිරි වේ. සෑම සකල අබිරහසක්ම සාහිත පඨිතයක් අවසන විසඳී හමාර වියයුතු ය යන්න මෙහි අදහස නොවේ. (විශේෂයෙන් විසඳුණු/නොවිසඳුණු ආඛ්‍යානමය අබිරහස් සුවිශේෂී මුරකමි ලකුණකි.) ෆ්‍රාන්ස් කෆ්කාගේ මායාමය මැවීම් හි නව අරුත් සොයා යාම පමණක් නොව, ඔහු සිය ලිවීම්හි ලා යොදාගෙන ඇති ඇතැම් බහු අර්ථවත් ජර්මානු වදන් හා වාක්‍ය ඛණ්ඩ යළි යළිත් අර්ථ නැංවීම ද සියවසක් පුරා සිදුවෙමින් එයි. එහෙත් මුරකමිගේ නො විසඳුණු පඨිතමය අබිරහස් ඒ අයුරින් කාලාන්තරයක් බහු අරුත් නැගෙමින්, වාද විවාදයන් මොලවාලමින් ජීවමානව පවතිනු ඇති'දැ යි කීමට තාම කල්වේලා වැඩි වන්නට පිළිවන. කෙසේ වෙතත්, තමන් මවන සාහිත ලෝකයේ සියලු මැවීම්වලට නිශ්චිත අරුත් දීමට සාහිත්‍යකාරයා බැඳී නොමැත්තේ වුව, අරුත් විරහිත හෝ බැරෑරුම් අරුත් නො නඟන අබිරහස් මෝස්තර සේ මග දමා යාම ද සාහිත වියමනක ගැඹුර හා නො ගැඹුර අතර ගැටලුවක් ලෙස වරනැඟෙන්නට බොහෝ විට ඉඩ තිබේ.

නොබෙල් ත්‍යාග නාම යෝජනා හා අවසන් ත්‍යාගලාභියා තෝරාගත් ක්‍රමවේදය වසර පනහක් යනතුරු රහසක් ලෙස පවතින බව ශපථ කැරෙන්නේ වුව, වසර ගණනාවක සිට මුරකමි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අබිමුව සිටින බලවත් තරඟකරුවෙකිය යන අදහස පුළුල්ව පැති රපවතී. ඉදින් මුරකමි ලෝලීහු දැනට වසර ගණනාවක සිට සිය ලේඛක වීරයාට නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමෙන තුරු අපේක්ෂා දෑස් දල්වාගෙන බලා සිටිති. එම සම්මානයෙන් පුදනු ලබන තෙවැනි ජපන් ලේඛකයා මුරකමි වනු දැකීම ඔවුන් ගේ අපේක්ෂාව යි. එහෙත් මේ දක්වා ම ඔවුන්ට උරුම වූයේ බලාපොරොත්තු කඩවීමේ ශෝකය යි.

නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගැනීමට ඇති හැකියාව ගැන විමසන ලදුව මුරකමි 'The New Yorker'ට දෙන්නේ කෙටි පිළිතුරකි. "නෑ, මට සම්මාන අවශ්‍ය නෑ. සම්මාන ලැබෙනවා කියන්නේ ඔබ ඉවරයි කියන එක."

'Granta' සාහිත්‍ය සගරාවේ සංස්කාරක ජෝන් ෆ්‍රීමන් පවසන්නේ මුරකමිට වැදගත් සාහිත්‍ය ත්‍යාගයක් දිනාගැනීම හා නිසැක සම්භාවනාවකට පාත්‍රවීම අපහසු කරවන කාරණා දෙකක් බලපවත්වන බව යි. "පළමුවැන්න තමයි මේ කතා ක්ෂණ නිර්මිත ඒවා නොවුණත්, එසේ ක්ෂණිකව නිර්මාණය කරන ලද දේවල් සේ පෙනීයාම. දෙවැන්න ඔහුගේ කෘතිවල ඇති මුග්ධභාවය හා ප්‍රහසනාත්මක බව යි. හාස්‍යමය පෙළඹවීමක් ඇති මිනිසුන් හැම විටම කෙටි කාලීනව අවතක්සේරුවට ලක්වන බවයි මං හිතන්නේ."

තුන්කාලක් නො පිරුණු බඳුනක්?

අවර්ණ ට්සුකුරු ටසකි කෘතියේ එන විශේෂ වාක්‍ය තුනක් මුරකමි ගේ අඥාන සැඳැහුමක් සේ 'The Guardian' පුවත්පතට ලියන විචාරයේ දී මාක් ලෝසන් හඳුන්වයි. ට්සුකුරු ගේ අතීත යෙහෙළියක්, ඔවුන් ගේ මිතුරු කල්ලියේ සිටි අනෙක් යෙහළිය ඇය විසින් තෝරාගන්නා ලද විෂය ක්‍ෂේත්‍රයේ - එනම් සංගීතයේ - සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට අසමත් වීම ගැන සඳහන් කරමින් මෙසේ කියන්නී ය.

"කුසලතාව හරියට භාජනයක් වගේ. කෙනෙකුට පුළුවන් ඕනැ තරම් මහන්සි වෙලා වැඩකරන්න. ඒත් භාජනයේ ප්‍රමාණය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒකට දරන්න පුළුවන් වතුර ප්‍රමාණය විතරයි එහි රඳන්නේ."

එහෙත් මේ රූපකය සලකන්නේ නම් ජලයෙන් කොටසක් ඉවතට වෑස්සී යාමට හෝ වාශ්ප වීමට හැකි බව මුරකමි තේරුම් ගත යුතුව තිබිණැයි ලෝසන් කියයි.

"එසේම මේ පොතෙහි භාජනය පිරී ඇත්තේ යාන්තම් තුනෙන් දෙකකට මදක් වැඩියෙනි." ලෝසන් 'අවර්ණ ට්සුකුරු ටසකි' අරබයා පවසයි.☐

සනත් බාලසූරිය


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.