JDS Sinhala

‘ලිවීම කියන්නේ ආදරය පිළිබඳ ක්‍රියාවක්’ - උම්බෙර්තෝ එකෝ

ඉතාලියානු ලේඛක හා ශාස්ත්‍ර‍ඥයෙකු වූ උම්බෙර්තෝ එකෝ අසූ හතර වැනි වියේදී මිය ගියේය. මාර්කේස් ගේ ‘හුදකලාවේ සියක් වරසකින්’ පසු බටහිර නව කතාවේ පැතිරුණු  පුනරුදයකට පසුබිම සකස් කළ  ‘Name of the Rose’ 1980දී ලියා පළ කළ එකෝ, ප්‍ර‍බන්ධ කතා කලාවේ මුදුනෙහිම වැජඹිණ.

‘කියවීමට අසීරු ඔබේ නවකතා මේ තරම් සාර්ථක වන්නේ කෙසේදැ’යි ඇතැමුන් තමන්ගෙන් විමසීම තමන් කෝප ගන්වන බව වරක් හෙතෙම ‘වෝග්’ සඟරාව හා සම්මුඛ සාකච්ඡාවක දී කීය. ‘ඒක හරියට පිරිමි මේ තරම් තමුන් ගැන උනන්දු වන්නේ ඇයිදැයි ස්ත්‍රියකගෙන් ඇසීම වැනි’යැයි හේ උත්ප්‍රාසයෙන් කීවේය. නමුත් ප්‍රබන්ධ කතා කලාවේ එකෝගේ සුවිශේෂතාව අවිවාදිත හා අසමසම එකකි.

සම්භාව්‍ය සාහිත්‍ය කලා කුලකයන් තුළ මෙන්ම ජනප්‍රිය සංස්කෘතික කවයන් තුළ ද එක හා සමාන අවකාශයක් අත්පත් කරගෙන සිටි ඔහු, හෝමර් සහ වෝල්ට් ඩිස්නි අතර වෙනස තමන් පිළිගන්නා අතරම ‘ජපන් හයිකු කවියක් තරමටම මීකී මවුස් ද පරිසමාප්ත’ වීමට ඉඩක් ඇතැයි වරක් කීවේය. තමන් සති අන්තයේදී නවකතා ලියන බැරෑරුම් මහාචාර්යවරයෙකු යැයි හඳුන්වා දෙන්නට රිසි වූ හෙතෙම බොලොඤ්ඤා සරසවියේ සංඥාර්ථවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සිය ශාස්ත්‍රාලයීය දිවිය හා අත්‍යන්තයෙන් බැඳී සිටියේය.

2008 වසරේ දී Paris Riview සඟරාවේ 197 වැනි කලාපය වෙනුවෙන් ලිලා අසාම් විසින් කළ දීර්ඝ සාකච්ඡාවකින් සංක්‍ෂිප්ත ලෙස සකසා ගත් මෙම ලිපිය සිය කලාවත්, ජීවිතයත්, ලෝක දැක්මත් පිළිබඳ මැකී ගිය ප්‍ර‍තාපවත් චිනත්කයෙකු හා සාහිත්‍යධරයෙකුගේ නොනැසුණු ආලෝචනාවන් ගෙනහැර දක්වයි.

පරිවර්තනය: සනත් බාලසූරිය


බ ඉපදුනේ කොහේද?

අලෙස්සන්ද්‍රියා කියන නගරයේ. එහි හදන බොර්සලිනෝ තොප්පි නිසා මේ නගරය ප්‍රසිද්ධයි.

ඔබ පැවත එන්නේ මොන වගේ පවුලකින්ද?

මගේ තාත්තා ගණකාධිකාරීවරයෙක්. ඔහු ගේ පියා මුද්‍රණ අක්‍ෂරවේදියෙක්. මගේ තාත්තා දරුවන් දහ තුන්දෙනෙක් හිටපු පවුලේ වැඩිමලා. මං අපේ පවුලේ වැඩිමල් පුතා. මගේ පුතා තමයි මගෙ පළමු දරුවා. එයාගෙ පළමුවැනි දරුවාත් පුතෙක්. ඉතින් කෙනෙක් අහම්බෙන් වගේ එකෝ පවුල බයිසන්තියානු අධිරාජ්‍යයාගෙන් පැවත එන බව හොයාගත්තොත්, මගේ මුණුපුරා තමයි dauphin මහාදිපාදයා.

මගේ සීයා නගරයෙන් හැතැප්ම තුනක් විතර ඈතින් ජීවත් වුණත්, මට අවුරුදු හයක් වෙද්දී සීයා මියගියත්, ප්‍රමුඛවම ඔහු මගෙ ජීවිතයට වැදගත් බලපෑමක් ඇති කළා. ඔහු ලෝකය ගැන පුදුමාකාර විදියේ කුතුහලයකින් හිටියා වගේ ම, බොහෝ පොත පත කියෙව්වා. අපූරුම දේ තමයි රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ ඔහු පොත් බැඳීම පටන් ගත්ත එක. ඉතින් එයාගේ ගෙදර හැම තැන ම නොබැඳපු පොත් ඒ මේ අත දාලා තිබුණා - සිත්තම්වලින් අලංකාර කරපු ගොට්යේ (Gautier) , ඩ්‍යුමා (Dumas) වගේ ලේඛකයන්ගේ දහනව වැනි සියවසේ ජනප්‍රිය පරණ නවකතා. මේවා තමයි මං මුලින් ම දැකපු පොත්. 1938 දී සීයා මියගියාම මේ බොහොමයක් නොබැඳපු පොත්වල අයිතිකාරයෝ ඒවා ආපහු ඉල්ලා හිටියේ නෑ. ඉතින් පවුලේ අය ඒවා ඔක්කොම විසාල පෙට්ටියක අඩුක් කරලා පැත්තකට දමලා තිබුණා. අහම්බයකින් මේ පෙට්ටිය මගේ දෙමාපියන්ගේ පාමහල් ගබඩාවට (celler) ගොඩ බෑවා. ගල් අඟුරු ටිකක් හරි වයින් බෝතලයක් හරි ගේන්න මාව වරින් වර මේ කාමරේට යවනවා. දවසක් මේ පෙට්ටිය ඇරපු මම පොත්වලින් පිරි නිධානය සොයාගත්තා. එදා පටන් මම නිතර නිතර ම මෙතැනට යන්න පටන්ගත්තා. අනර්ඝ සඟරාවක් වුණු, ආගන්තුක රටවල් පසුබිම් කරගත් අපූර්ව හා සැහැසි කතාන්තරවලට වෙන්වුණු 'Giornale illustrato dei viaggi e delle avventure di terra e di mare' - කියන ‘සිතියම් සහිත මුහුදු හා ගොඩබිම් සංචාර හා වීර චාරිකා සඟරාව’ ද මගේ සීයා එකතු කර තිබූ බව පෙනෙන්න තිබුණා. කතාන්තර නමැති භූමිභාගයට මගේ පළමු මහා කඩාපැනීම ඒ සඟරා කියවීම බවට පත්වුණා. අවාසනාවකට මට පසුව මේ සියලූ ම පොත් හා සඟරා අහිමි වුණා. ඒත් දශක ගණනාවක් තිස්සේ කෙමෙන් කෙමෙන් මම ඒවායේ පිටපත් පරණ පොත් කඩවලින් හා පාවිච්චි කළ පොත් විකුණන පදික වෙළෙඳසැල්වලින් නැවතත් එකතු කරගත්තා.

සීයාගේ ගෙදර යනකම් ඔබ කිසි ම පොතක් දැක තිබුණේ නැතිනම්, ඒකේ තේරුම ඔබේ දෙමාපියන් සතුව කිසි ම පොතක් පතක් තිබුණේ නෑ කියන එකද?

ඒක අමුතු දෙයක්, තරුණයෙක්ව ඉන්දැද්දී මගේ පියා කෑදර කියවන්නෙක්. දරුවන් දහ තුන්දෙනෙක් හිටි නිසා මගේ ආච්චිටයි, සීයාටයි යන්තම් එදිනෙදා ජීවිතේ ගැටගහගන්න විතරයි පුළුවන් වුණේ. ඒ නිසා මගේ තාත්තාට පොත් ගන්න වියදම් කරන්න බැරි වුණා. ඉතින් එයා පෙට්ටි කඩවලට ගිහින් පාරේ හිටගෙන පොත් කියෙව්වා. කඩකාරයාට, මගේ තාත්තා මේ විදියට වටපිටාවේ ගැවසෙමින් ඉන්නවා බලා ඉඳලා එපා වුණාම, තාත්තා ඊළඟ පොත් පෙට්ටි කඩේට ගිහින් පොතේ ඊළඟ ගොටස එතැන හිටගෙන කියවනවා. ඔන්න ඔය විදියට. මේක මම නිතර සිහිකරන දර්ශනයක්. අධිෂ්ඨානශීලී පොත් ලූහුබැඳයාමක්. වැඩිහිටියෙක් විදියට මගේ පියාට විවේකයක් තිබුණේ හැන්දෑවට විතරයි. එයා වැඩිපුර පත්තර හා සඟරා කියෙව්වා. අපේ ගෙදර තිබුණේ නවකතා කිහිපයක් විතරයි, ඒත් ඒවා තිබුණේ රාක්කවල නෙමෙයි, පෙට්ටගමක. සමහර වෙලාවට තාත්තා යාළුවන්ගෙන් ඉල්ලගෙන ආපු නවකතා කියවනවා මම දැකලා තියෙනවා.

ඔබ ඒ තරම් තරුණ අවධියේ දීම විද්වතෙක් වීම ගැන ඔහු මොකද හිතුවේ?

මෙහෙමයි, එයා වේලාසනින්ම මියගියා, 1962 දී. ඒත් ඒ වෙනකොටත් මම පොත් කීපයක් පලකරලා තිබුණේ. ශාස්ත්‍රාලයීය පොතපත වූ ඒවා සමහර විට මගේ පියාට ව්‍යාකූල දේවල් වෙන්න ඇති. ඒත් හුඟක් රෑ වෙලා එයා ඒවා කියවන්න උත්සාහ කරන හැටි මට දැකගන්න ලැබුණා. The Open Work ‘දි ඕපන් වර්ක්‘ පළවුණේ හරියටම එයා ගේ මරණයෙන් මාස තුනකට කලින්. ඒක විශිෂ්ඨ කිවිවර ඉව්ජිනියෝ මොන්තාලේ විසින් Corriere della Sera හි විචාරය කරනු ලැබුවා. ඒක මිශ්‍ර විචාරයක් - අපූර්ව, හිතවත්, ඒ වගේ ම නිර්දය එකක්. ඒ කොහොම වුණත් ඒක මොන්තාලෙ විසින් කරන ලද විචාරයක්. ඉතින් මං හිතනවා මගේ තාත්තාට ඊට වැඩිය දෙයක් හිතාගන්නවත් බැරිවෙන්න ඇති. එක්තරා විදියකට මං මගේ ණය ගෙව්වා, වඩා වැඩි සන්තෝෂයකින් ඔහු මගේ නවකතා කියවන්න ඉඩතිබුණා කියා මට හිතුනත්, අන්තිමේ දී මට හැ‍ඟෙනවා මං ඔහු ගේ හැම ප්‍රාර්ථනාවකටම ළඟා වුණා කියලා. මගේ මව ඔහුට වඩා තවත් අවුරුදු දහයක් ජීවත් වුණා. ඒ නිසා ඈ දන්නවා මං තව බොහෝ පොත් ලියූ බවත්, පිටරට විශ්ව විද්‍යාලවලින් මට දේශන සඳහා ආරාධනා කරන ලද බවත්. ඇය හොඳට ම රෝගාතුරවයි හිටියේ. සිද්ද වෙන්නේ මොකක්ද කියලා හරිහැටි අවබෝධ කරගෙන සිටියා කියා මා හිතුවේ නැතත්, ඇය සතුටින් හිටියා. පුත්‍රයා අන්තිම ඔලමොට්ටලයෙක් වුණත්, අම්මා කෙනෙක් තමන්ගේම පුතා ගැන ආඩම්බර වන බව ඔබ දන්නවනේ.

ඉතාලියේ ෆැසිස්ට්වාදය ශක්තිමත් වෙනකොට හා යුද්ධය පටන් ගන්නකොට ඔබ ළමයෙක්. එ් කාලේ ඔබ එය තේරුම් ගත්තේ කොහොමද?

ඒක මහ අද්භූත කාලයක්. මුසොලිනී බොහොම ජනකාන්ත වුණා, ඒ කාලේ හැම පාසල් යන ළමයෙක් වගේම මමත් ෆැසිස්ට් තරුණ ව්‍යාපාරයට බඳවා ගැනුණා. මිලිටරි මෝස්තරයේ නිල ඇඳුමක් අඳින්නත්, සෙනසුරාදා දවස්වල පැවැති රැළිවලට සහභාගී වෙන්නත් අපට නියම වුණා. ඒ දේවල්වලට අපි බොහොම කැමැති වුණා. ඒක හරියට අද ඇමරිකානු කොලූවෙක් යුද නාවුක භටයකුගේ ඇඳුමින් සැරසෙනවා වගේ දෙයක් - ඔහු හිතාවි ඒක බොහොම විනෝද ජනකයි කියලා. ළමයින් හැටියට අපිට මුළු ව්‍යාපාරය ම බොහොම ස්වභාවික දෙයක් වුණා. හරියට ශීතකාලෙ දී හිමත්, ගිම්හාන කාලේ දී උණුසුමත් වගේ. වෙනත් විදියක ජීවන ක්‍රමයක් තියෙන්න පුළුවන් කියල අපට හිතාගන්නවත් බැරි වුණා.  ඕනෑම කෙනෙක් තමන්ගේ ළමාකාලය සිහි කරනවා වගේම මුදු මොළොක් විදියට මමත් ඒ කාලේ සිහිකරනවා. බෝම්බ දමන එක හා සුරක්‍ෂිත ස්ථානයක අප ගතකළ රාත්‍රීන් පවා මට ඒ මෘදුකමින්ම මතක් කරන්න පුළුවන්. 1943 දී ෆැසිස්ට්වාදයේ පළමු කඩාවැටීමත් එක්ක ඒ සියල්ල අවසන් වුණාට පස්සේ මං ප්‍රජාතන්ත්‍රවාදී පත්තරවලින් හොයා දැනගත්තා වෙනස් දේශපාලන පක්ෂ හා මතවාද පවතින බව. බෝම්බ දැමීමෙන් බේරීම සඳහා අපේ ජාතියේ ඉතිහාසයේ වඩාත්ම ක්ෂතිමය කාලය වූ 1943 සැප්තැම්බර් ඉඳලා 1945 අප්‍රේල් වෙනකං මමත්, මගේ අම්මාත්, සහෝදරියත් පීද්මොන්ටීස් භාෂාව කතාකළ ගමක් වූණ විරෝධන ව්‍යාපාරයේ බාහිර කේන්ද්‍රයේ පිහිටි පිටිසර මොන්ෆෙරැතෝවල පදිංචියට ගියා.

ඔබ මේ ගැටුම් දුටුවාද?

ෆැසිස්ට්වාදීන් හා පාටිසන්වරුන් අතර තීරණාත්මක වෙඩි තබාගැනීම් බලාහිටි හැටි මට මතකයි. ඒ වගේම මටත් ඒ අලකලංචියට එකතු වෙන්න හැකිවේවිය’යි මා ප්‍රාර්ථනා කළ තරම්. එක් අවස්ථාවක මං ඉඳගෙන හිටි තැනින් බිමට පැන වෙඩි උණ්ඩයක් මඟහැරපු බවක් පවා මට මතකයි. ඊළඟට, ඒ වෙනකොටත් මගේ පියා රස්සාව කරමින් සිටි අලෙස්සන්ද්‍රියා වෙත ඔවුන් හැම සතියකම බෝම්බ දමනු අප හිටි ගම්මානයේ දී දුටු බවත් මට මතකයි. දොඩම් ගෙඩියක් වගේ අහස පුපුරා ගියා. දුරකථන මාර්ග වැඩකළේ නෑ, ඉතින් අපට තාත්තා සති අන්තයේ ගෙදර එනකන් ඉන්න සිද්ධ වුණා එයා තාම ජීවතුන් අතරද කියලා දැනගන්න. මේ වගේ කාලයක ගම්බද පෙදෙසක ජීවත් වීම, කොහොමද නොමැරී ජීවත් වෙන්නේ කියලා ඉගෙනගන්න තරුණයෙකුට බල කළා.

ඔබ ලියන්න ගත් තීරණයට යුද්ධය විසින් කිසියම් හෝ බලපෑමක් කළාද?

නෑ, එහි ඍජු සම්බන්ධයක් නෑ. මම ලියන්න පටන් අරගෙන හිටියේ යුද්දෙට කලින්, යුද්දෙන් ස්වාධීන ව. ගැටවර වියේ දී මං විහිළු කතා පොත් ලිව්වා, මොකද මං ඒවා බොහොමයක් කියවලා තිබුණු නිසා. තව මැලේසියාව හා මධ්‍යම අප‍්‍රිකාව පදනම් කරගත් අද්භූත නවකතාත් ලිව්වා. මං සර්වතෝභද්‍රවාදියෙක්, ඒ නිසා ඒවා මුද්‍රණය කළා වගේ පේන්න තිබීම මට අවශ්‍ය වුණා. ඉතින් මං ඒවා කැපිටල් අකුරෙන් ලියලා, ග්‍රන්ථ නාම පිටු, සාරාංශ හා චිත්‍ර සටහනුත් ඇතුළත් කළා. ඒක හරි ම වෙහෙසකර වැඩක්. ඉතින් මං ඒ එකක්වත් ඉවරයක් කළේ නෑ. ඒ කාලෙ මං අවසන් නොකළ මහා අග්‍රගණ්‍ය කෘති රචකයෙක් වෙලා හිටියා. ඒ වුණත්, නිසැකවම මං නවකතා ලියන්න පටන්ගත්තාම යුද්ධය ගැන මගේ මතකය කිසියම් කාර්යයක් කළා. ඒත් හැම කෙනෙක්ගේම යෞවනයේ මතකයන් ඔහු ගේ සිතේ හොල්මන් කරනවා.

මේ කාලේ කවි ලියන්නත් උත්සාහ කළ බව ඔබ කලින් කියා තිබුණා. ලිවීම ගැන රචනාවක දී ඔබ කියා තිබෙනවා, ‘‘ගැටවර වියේ කුරුලෑවල  පවතින්නාක් බඳු ක්‍රියාකාරීත්ව සම්භවයක් සහ විධිමත් සාමාකෘතියක් මගේ කාව්‍යකරණයේ තිබුණා’’ කියා........

මං හිතනවා එක්තරා වයසක දී, පහළොවේ දී නැතිනම් දාසයේ දී විතර, කවි ලිවීම කියන එක හරියට ස්වයං වින්දනය වගේ කියලා. හොඳ කවියෝ පසු කාලෙක දී තමන් ගේ මුල් අවධියේ කවි පුච්චලා දානවා, ඒත් නරක කවියෝ ඒවා පලකරනවා. හොඳ වෙලාවට මං බොහොම ඉක්මනට ඒක අත්ඇරලා දැම්මා.

ඔබේ සාහිත්‍ය ව්‍යයාමයන්හි දී ඔබව දිරිගැන්නුවේ කවුද?

මගේ මව් පාර්ශවයේ මිත්තනිය - ඇය ඉතා ම උනන්දු කියවන්නියක් වුණා. ප්‍රාථමික පාසලේ පස්වැනි පන්තියට විතරයි ඈ ගිහින් තිබුණේ. ඒත් නගර සභා පුස්තකාලයේ සාමාජිකාවක් වූ ඈ මා සඳහා සතියකට පොත් දෙකක් හෝ තුනක් ගෙදර ගෙනාවා. ඒවා බාල නවකතා හෝ එහෙමත් නැතිනම් බල්සාක් ගේ කෘති වෙන්න පුළුවන්. ඇයට ඒ දෙවර්ගයේම ඒ තරම් වෙනසක් තිබුණේ නෑ - ඒ හැම එකක් ම ආකාර්ෂණීය වුණා. අනිත් පැත්තෙන් පසුව හස්ත මුද්‍රා සන්නිවේදන ශිල්පිනියක් වූ මගේ අම්මාට අධ්‍යාපනයක් තිබුණා. ඇය ප්‍රංශ හා ජර්මානු භාෂාවන් පටන්ගත්තා. තරුණ කාලේ ඈ හුඟක් පොත් කියෙව්වත් කල්ගතවෙද්දී ඈ ආදර නවකතා හා කාන්තා සඟරා විතරක් කියවන්නියක් වෙමින් කිසියම් කම්මැලිකමකට යටවුණා. ඉතින් ඈ කියවපු දේවල් මම කියෙව්වේ නෑ. ඒත් ඇය උසස් ඉතාලියානු ශෛලියකට ඉතා ම අපූරුවට කතාකළා වගේ ම ඉතා ම ලස්සනට ලිව්වා. ඒ නිසා ඇගේ මිතුරියන් තමන්ගේ ලියවිලි ඇයට කියලා ලියවාගත්තා. ළාබාල වියේ දී ම පාසල හැර ගියත් ඇයට භාෂාව ගැන ඉතා උසස් සංවේදීත්වයක් තිබුණා. ලිවීමේ අව්‍යාජ රසය වගේම මගේ ශෛලියේ පළමු සංඝටකත් මා ඇගෙන් උරුමකරගත්තාය යි මට හිතෙනවා.

මධ්‍යකාලීන සෞන්දර්යයවේදය හදාරන්න ඔබ තීරණය කළේ ඇයි?

මං  ලැබුවේ කතෝලික අධ්‍යාපනයක්. ඒ වගේ ම විශ්ව විද්‍යාලයේ ඉන්නකොට මං ජාතික කතෝලික ශිෂ්‍ය සංවිධානයකුත් මෙහෙයවූවා. ඉතින් මං මධ්‍යකාලීන ශාස්ත්‍රාලීය චින්තනයෙන් හා මුල් ක්‍රිස්තියානි දේවධර්මයෙන් වසඟයට පත්වෙලායි හිටියේ. මං තෝමස් ඇක්වයිනාස් ගේ සෞන්දර්ය ශාස්ත්‍රය පිළිබඳ නිබන්ධනයක් ලියන්න පටන් ගත්තත්, ඒක අවසන් කරන්න ඔන්න මෙන්න කියා තිබිය දී මගේ විශ්වාසය ක්ෂතියකට හසුවුණා. ඒක සංකීර්ණ දේශපාලන පලහිලව්වක්. මං අයිති වුණේ ශිෂ්‍ය සංගමයේ වඩා ප්‍රගතිශීලී පැත්තට, එහි තේරුම තමයි මං සමාජමය ගැටලූ හා සමාජ සාධාරණත්වය ගැන උනන්දුවෙන් හිටියා කියන එක. ශිෂ්‍ය සංගමයේ දක්ෂිණාංශය 12 වැනි පියුස් පාප්තුමා විසින් ආරක්ෂා කරනු ලැබුවා. දවසක් සංගමයේ මගේ පාර්ශ්වයට මිත්‍යා දෘෂ්ටිකයන් හා කොමියුනිස්ට්වාදීන් ලෙස චෝදනා කරනු ලැබුවා. වතිකානුවේ නිල පුවත්පත පවා අපට පහරදුන්නා. මේ සිද්ධිය මගේ විශ්වාසය දර්ශනවාදී ප්‍රත්‍යවලෝකනයකට ලක්කරන්න තුඩුදුන්නා. ඒත් මං මධ්‍යතන යුගය පිළිබඳව වගේම මධ්‍යකාලීන දර්ශනවාදයත් අධ්‍යයනය කිරීම විශාල ගෞරවයකින් දිගට ම කරගෙන ගියා. මගේ ආදරණීය ඇක්වයිනාස් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

තරුණ මධ්‍යකාලීන ශාස්ත්‍රවන්තයෙක් විදියට ඇයි ඔබ එක පාරටම භාෂා අධ්‍යයනයට යොමු වුණේ?

මතක ඇති කාලෙ ඉඳලා මං සන්නිවේදන කාර්යය තේරුම් ගැනීම ගැන උනන්දු වුණා. සෞන්දර්යයවේදයන්හි ප්‍රශ්නය වුණේ, කලා කෘතියක් යනු කුමක්ද, කලා කෘතියක් අප සමඟ සන්නිවේදනයෙහි නියැලෙන්නේ කොහොමද? වැනි දේ යි. මේ කොහොමද කියන කාරණය විශේෂයෙන් මගේ සිත් ගත්තා. ඒ විතරක් නෙවෙයි, මනුෂ්‍යයන් විදියට අප හැඳින්වෙන්නේ භාෂාව නිශ්පාදනය කරන්න අප සමත් නිසා යි. කොහොම වුණත් මගේ නිබන්ධනය අවසාන වූ වහාම මම ඉතාලියානු රාජ්‍ය රූපවාහිනියේ වැඩකරන්න පටන්ගත්තා. ඒ 1954 වසරේදියි. පළවෙනි රූපවාහිනී විකාශනයන් ආරම්භ කරලා මාස කිහිපයයි ගතවෙලා තිබුණේ. එය ඉතාලියේ මහා දෘෂ්‍ය සන්නිවේදන යුගයේ ආරම්භය වුණා. ඉතින් හරියට මට කිසියම් විකාරරූපී, දෙකට පැලූණු පෞරුෂත්වයක් තියෙනව වගේ මං පුදුම වෙන්න ගත්තා. එක් පැත්තකින් මං පර්යේශණාත්මක සාහිත්‍යයේ හා කලාව විෂයයයෙහි භාෂාවේ වඩාත් ම දියුණු ක්‍රියාකාරීත්වයන් ගැන උනන්දුවෙන් හිටියා. අනිත් පැත්තෙන්, මං රූපවාහිනියට, චිත්‍ර‍කතා පොත්වලට රහස්පරීක්ෂක කතාවල ප්‍රිය කළා. විය යුතු විදියටම මං මගෙම ඇහුවා මගේ ලැදිකම් ඇත්තටම මේ තරම් විවිධාකාර වෙන්න පුළුවන් ද කියලා.

විවිධ මට්ටම්වල සංස්කෘතීන් ඒකාබද්ධ කරන්න මට වුවමනා වුණු නිසා මං සංඥාර්ථවේදය වෙතට හැරුණා. ජනමාධ්‍ය විසින් නිශ්පාදනය කරනු ලබන  ඕනෑ ම දෙයක් සංස්කෘතික විශ්ලේෂණයේ වස්තුවක් ද විය හැකි ය යන අවබෝධයට මා පැමිණියා.

සංඥාර්ථවේදය යනු බොරුකීමේ න්‍යායය බව ඔබ වරක් කීවා.....

‘බොරුකීම’ කියනවා වෙනුවට මට කියන්න තිබුණේ ‘ඇත්තට පටහැනි දේ කීම’ කියලා යි. මානව වර්ගයාට පුළුවන් සුරංගනා කතා කියන්න, අලූත් ලෝක මවාගන්න, අත්වැරදීම් කරන්න - ඒ වගේම අපට බොරු කියන්න පුළුවන්. භාෂාව මේ සියලූම හැකියාවන්ට වගකියනවා. බොරුකීම විශේෂයෙන්ම මනුෂ්‍ය හැකියාවක්. අඩිපාරක් ලූහුබඳින බල්ලෙක්, ලූහුබැඳ යන්නේ ඉවක්. කතාවට කියනවා නම්, බල්ලා හෝ ඉව ‘.බොරුකියන්නේ නෑ.’ ඒත් මට පුළුවන් ඔබට බොරු කියන්නත්, ඔබ මගෙන් ඇසූ පාර නොව වෙන පාරක් පෙන්වා ඒ පාරේ ඔබව යවන්නත්. එහෙම වුණත් ඔබ මාව විශ්වාස කරනවා සහ වැරදි පාරේ යනවා. මේක මෙහෙම වියහැකි වෙන්නේ අපි සංඥා මත යැපෙන නිසායි.

ඔබ තාමත් රූපවාහිනියට වසඟ වෙලාද ඉන්නේ?

රූපවාහිනී නරඹන්න කැමති නැති කවුරු හරි බැරූරුම් විද්වතෙක් ඉන්නවාද කියලා මට සැකයි. මං විතරයි ඒක හෙළිදරව් කරන්නේ. ඊළඟට මං ඒක මගේ වැඩවලට අමුද්‍රව්‍යයක් විදියට යොදාගන්න උත්සාහ කරනවා. ඒත් මං හැම දෙයක් ම ගිලදාන බඩජහරියෙක් නෙමෙයි. මං  ඕනෑම ජාතියක රූපවාහිනී වැඩසටහන් බලලා මං සතුටු වෙන්නේ නෑ. මං නාට්‍යමය කතා මාලාවලට කැමතියි. ඒත් වැඩකට නැති වැඩසටහන්වලට මං කැමති නෑ.

ඔබ විශේෂයෙන් ප්‍රිය කරන වැඩ සටහන් තියෙනවාද?

පොලිස් මාලා නාටක, උදාහරණයකට ‘ස්ටාස්කි ඇන්ඩ් හච්’ (Starsky & Hutch).

ඒක දැනට විකාශනය වෙන එකක් නෙමෙයිනේ. හැත්තෑව දශකයේ විතර පෙන්නපු එකක්.......

මං දන්නවා, ඒත් මට දැනගන්න ලැබුණා මුළු කතා මාලාවම මෑතක දී ඩීවීඩී ගත කරලා එළිදැක්කා කියලා. ඉතින් මං ඒක ගන්නයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මං සීඑස්අයි, මියාමි වයිස්, ඊආර් වැනි ඒවාට හා ඒ හැම එකකටම වැඩිය ‘කලම්බෝ’ කතා මාලාවට කැමතියි.

අවුරුදු හතලිස් අටක් වෙනකම් ඔබ නවකතා ලියන එක ආරම්භ නොකළේ ඇයි?

හැමෝම හිතන විදියට ඒක ඒ තරම් ලොකු පිම්මක් නෙමෙයි, මොකද මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ පවා, මගේ න්‍යායගතකිරීම්වල පවා මම ඒ වෙනකොටත් ආඛ්‍යානයන් නිර්මාණය කරමිනුයි හිටියේ. විද්‍යාඥයන් තමන්ගේ වැදගත් සොයාගැනීම් සිදුකළේ කොහොමද කියන එක විස්තර කරනවා වගේ, දාර්ශනික ග්‍රන්ථ හරයාත්මක වශයෙන් ඇත්තටම වැඩිහරියක් කරන්නේ තමන්ගේ පර්යේෂණයන් පිළිබඳ කතාන්තරය කියන එක නේද කියා මං බොහොම දුරට කල්පනා කළා. ඉතින් මට හැඟෙනවා මා දිගට ම කතන්දර කියමින් හිටියා, හුදෙක් යන්තමට වෙනස් වූ ශෛලියකින් කියලා.

ඒත් නවකතාවක් ලියන්න අවශ්‍යයි කියලා දැනෙන්න ඔබට බලපෑවේ කුමක්ද?

1978 දවසක යෙහෙළියක් මට කීවා ආධුනික ලේඛකයන් පිරිසක් විසින් ලියන ලද කුඩා රහස් පරීක්ෂක නවකතා මාලාවක් ප්‍රකාශයට පත්වීම අධීක්ෂණය කරගැනීමට ඇයට අවශ්‍යයි කියා. රහස් පරීක්ෂක කතාවක් ලියන්න කිසිම විදියකින් මට නම් බෑ, ඒත් මං කවදා හරි එහෙම එකක් ලිව්වොත්, ඒක මධ්‍යතන යුගයේ පූජකයන් චරිත විදියට එන, පිටු පන්සීයක පොතක් වෙයි කියා මා කීවා. එදා, ගෙදර ඇවිත් මං මධ්‍යතන යුගයේ පූජකයන්ගේ කල්පිත නම් ලැයිස්තුවක් හදන්න පටන් ගත්තා. පස්සෙ වෙලාවක විෂ ශරීරගත වූ පූජකයාගේ රුව මගේ හිතේ හදිසියෙන් පහළ වුණා. සියල්ල ම ආරම්භ වුණේ එතැනින්, ඒ රූපයෙන්. ඒක මැඩපැවැත්විය නො හැකි පෙළඹවීමක් බවට පත්වුණා.

ඔබ ලියන්නේ දවසේ කුමන වෙලාවේද?

ඒ ගැන නියමයක් නෑ. කාලසටහනකට වැඩකරන එක මට කරන්න බැරි දෙයක්. ලියන එක උදේ හතට පටන් අරන්, සැන්ඩ්විච් එකක් කන්න විතරක් නවත්වලා, මහ රෑ තුනට අවසන් කරනවා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මට ලිවීමේ අවශ්‍යතාව කොහෙත්ම දැනෙන්නේ නෑ.

ලියනකොට, ඔබ දිනපතා කොපමණ ප්‍රමාණයක් ලියනවාද? ඒකටත් කිසිම නියමයක් නැද්ද?

නෑ. මේ අහන්න, ලියනවා කියන එකෙන් අදහස් කරන්නේ කඩදාසියක් මතට වචන දමන එකම වෙන්න අවශ්‍ය නෑ. ඇවිදින ගමන් හෝ කෑම කන ගමන් ඔබ පරිච්ඡේදයක්ම ලියනවා වෙන්න පුළුවන්.

ඒ කියන්නේ ඔබට හැම දවසක්ම වෙනස්?

මං මගේ මොන්ෆෙරැතෝවල කඳු මුදුනේ තියෙන පිටිසරබද නිවසේ ඉන්නවා නම්, එතකොට මට කිසියම් දින චරියාවක් තියෙනවා. මං මගේ පරිගණකය ක්‍රියාත්මක කරනවා, ඊමේල් ටික බලනවා, කිසියම් දෙයක් කියවන්න පටන්ගන්නවා, ඒක ඉවර වෙලා දවල් වෙනකං ලියන්න ගන්නවා. ඊට පසසේ මම ගම පැත්තට යනවා, එහෙ දී බාර් එකෙන් පොඩි මදුවිතක් අරගෙන පත්තරේ කියවනවා. ආපහු ගෙදර ඇවිත් රෑ එකොලහ වෙනකං ටීවීඑක නැත්නම් ඩීවීඩී එකක් බලනවා. ඊළඟට පාන්දර එක හෝ දෙක වෙනකං තව ටිකක් වැඩකරනවා. බාධා කිරීමක් ඇති නොවන නිසා එහෙදී මට ඒ විදියේ කිසියම් දින චරියාවක් තියෙනවා. ඒත් මිලාන්වල හෝ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මගේ කාලය මටම හසුරුවාගන්න බෑ - හැම තිස්සේ ම වෙන කවුරුහරි තීරණය කරනවා මං මොනවද කරන්න  ඕනෑ කියලා.

අද වනවිට ඔබ වැඩිපුර ම සතුටු වෙන්නේ මොනවායින්ද?

රාත්‍රී කාලයේ නවකතා කියවීමෙන්. සමහර වෙලාවට මට සැකයි කතෝලික ආගම අත්හැර දැමූවකු විදියට දවල් කාලයේ කියවීමට තරම් නවකතා ආනන්දජනක වැඩියි කියලා කොඳුරන හඬ මගේ ඔලූවේ තවමත් තිබිය යුතුද නැතිද කියලා. ඒ නිසා දිවා කාලය සාමාන්‍යයෙන් රචනාවන්ට සහ වෙහෙසකර වැඩවලට.

වරදකාරී සතුටුවීම් ගැන මොකද කියන්නෙ?

මං කරන්නේ පාපොච්ඡාරණයක් නෙවෙයි! හා, හොඳයි: ස්කොච් විස්කි. අවුරුදු තුනකට කලින් අත්හැරලා දානකං දුම්බීමත් වරදකාරී සන්තෝසයක් වුණා. මට දවසකට සිගරට් හැටක් විතර බොන්න පුළුවන්කම තිබුණා. ඒත් මං ඉස්සර පයිප්ප බොන්න පුරුදුවෙලා හිටපු කෙනෙක්. ඒ නිසා මගෙ පුරුද්ද වුණේ ලියමින් සිටින අතර දුම ඉවතට පිඹ හරින්නයි. මං දුම වැඩිපුර ඇතුළට ඉරුවේ නෑ.

නවකතාකරුවෙක් විදියට ඔබේ අසාමාන්‍ය ජනප්‍රියත්වය කියවන්නාගේ භූමිකාව පිළිබඳ ඔබේ අවබෝධය වෙනස් කළා කියා ඔබ හිතනවාද?

බොහෝ කාලයක් ශාස්ත්‍රඥයෙක් විදියට ඉඳීමෙන් පස්සේ නවකතා ලිවීම හරියට හදිසියේම ඔබේ පරණ සගයන් - විචාරකයන් - ඔබ දිහා බලා සිටිද්දී රංග විචාරකයෙක් වේදිකා පාදස්ථ ආලෝක දහරා ඉදිරියට පා තැබුවා වගේ. ඒක මුලින් ඇත්තටම ව්‍යාකූල දෙයක්.

ඒත් ලේඛකයෙක් විදියට කියවන්නාට කොපමණ බලපෑමක් එල්ලකළ හැකිද යන්න ගැන ඔබේ අදහස නවකතා ලිවීම විසින් වෙනස් කරනු ලැබුවාද?

හොඳ පොතක් එහි කතුවරයාට වඩා බුද්ධිමත් බව මං හැම විටම කල්පනා කරනවා. පොතකට පුළුවන් ලේඛකයා දන්නේ නැති දේවල් කියන්න.

ඔබේ මෙහි මිලාන්වල තියෙන පුස්තකාලය ගත්තොත් ඒකමත් බොහොම ප්‍රසිද්ධයි. ඔබ එකතු කරන්න කැමති මොන වර්ගයේ පොත්ද?

පනස් දාහක් විතර පොත් මගේ ළඟ තියෙනවා. ඒත් දුර්ලභ පොත් එකතුකරන්නෙක් විදියට, අපගාමක අදහස කෙරේ මනුෂ්‍යයාගේ නැඹුරුව විසින් මාව වසඟ කරනු ලැබ තිබෙනවා. ඉතින් මං කබාලා ශාස්ත්‍රය, රසවිද්‍යාව, මැජික්, නිමැවූ භාෂාවන් ආදී මං විශ්වාස නොකරන විෂයයන් ගැන පොත් එකතු කරනවා. නොදැනුවත්ව ම වුණත් බොරු කියන පොත්. මගේ ළඟ ටොලමි ඉන්නවා. ඒත් ගැලීලියෝ නෑ. මොකද ගැලීලියෝ ඇත්ත කිව්වා. මං වඩා කැමතියි උන්මාද විද්‍යාවන්ට.

ඔබ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රසිද්ධ බුද්ධිමතෙක්. ඔබ කොහොමද ‘intellectual’ බුද්ධිමතා කියන පදය නිර්වචනය කරන්නේ? ඒකට තාමත් විශේෂ වූ තේරුමක් තියෙනවද?

බුද්ධිමතා යන්නෙන් ඔබ අදහස් කරන්නේ අත්වලින් නොව, තමන්ගේ ඔලූවෙන් පමණක් වැඩකරන කෙනෙක් නම්, එහෙම නම් බැංකු ලිපිකාරයෙක් බුද්ධිමතෙක්, මයිකල් ආන්ජෙලෝ එහෙම නෙමෙයි. ඒ වගේ ම අද, පරිගණකයක් එක්ක හැමෝම බුද්ධිමතෙක්. ඉතින් ඒකට කෙනෙකුගේ වෘත්තිය හෝ සමාජ පන්තිය සමඟ කිසි ම සම්බන්ධයක් තියෙනවා කියලා මං හිතන්නේ නෑ. මට අනුව බුද්ධිමතෙක් කියන්නේ නිර්මාණශීලීව නව දැනුම නිශ්පාදනය කරන  ඕනෑම කෙනෙක්. අලූත් මාදිලියේ රිකිලි බද්ධයක් ගැන අවබෝධයක් තියෙන ගොවියෙකුට අලූත් ඇපල් වර්ගයක් නිපදවන්න පුළුවන්. ඒ මොහොතේ ඔහු බුද්ධිමය කි‍්‍රයාකාරකමක් නිෂ්පාදනය කළා. තමන්ගේ මුළු ජීවිත කාලෙම හයිඩෙගර් ගැන එකම දේශනාව නැවත නැවත පුනරුච්ඡාරණය කරන මහාචාර්යවරයෙක් හෝ දාර්ශනිකයෙක් බුද්ධිමතෙකුගේ තත්ත්වයට පත්වෙන්නේ නෑ. විවේචනාත්මක නිර්මාණශීලීත්වය - අප කරමින් සිටින දෙය විවේචනය කිරීම හෝ එය සිදුකිරීමට වඩා හොඳ ක්‍රමයක් සොයාගැනීම - බුද්ධිමය කාර්යයෙහි එකම ලකුණ යි.

සාත්‍රගේ හා ෆුකෝගේ කාලයේ වගේ ම අදත් බුද්ධිමතුන් දේශපාලන කාර්යභාරය පිළිබඳ මතය වෙනුවෙන් කැප වී සිටිනවාද?

දේශපාලනික ව කැපවීම උදෙසා බුද්ධිමතෙක් පක්ෂයක සාමාජිකයෙක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි කියා හෝ, ඊටත් වඩා නරක ලෙස, සමකාලීන සමාජ ගැටලූ ගැන විශේෂයෙන් ලිවිය යුතුයි කියා මා විශ්වාස කරන්නේ නෑ. බුද්ධිමතුනුත් අනෙක්  ඕනෑම පුරවැසියෙක් වගේම දේශපාලනයේ නියැලිය යුතුයි. වැඩිම වුණොත්, බුද්ධිමතෙකුට පුළුවන් තමන් ‍ගේ කීර්ති නාමය පවතින්නා වූ තත්ත්වයකට උදව් කරන්න පාවිච්චි කරන්න. නිදසුනකට පාරිසරික ගැටලූව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ප්‍රකාශනයක් තිබෙනවා නම්, මගේ අත්සන ඇතැම් විට උපකාරයක් වෙන්න පුළුවන්, ඉතින් මම මගේ කීර්ති නාමය පොදු කටයුත්තක ඒකල අවස්ථාවකට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ගැටලූව තමයි, බුද්ධිමත්භාවය ඇත්තටම ප‍්‍රයෝජනවත් වන්නේ වර්තමානය නොව අනාගතය ගැන අවධානය යොමු කරන තාක් දුරට පමණයි. ඔබ රඟහලක ඉන්නවා නම්, එහි ගින්නක් ඇතිවෙනවා නම්, කවියෙක් ආසනයක් උඩට නැගලා කවියක් කටපාඩමින් කිවයුතු නෑ. අනිත් හැමෝම වගේ ඔහුටත් කරන්න තියෙන්නේ ගිනි නිවන හමුදාවට කතාකරන්න යි. බුද්ධිමත් භාවයේ භාවිතාව විය යුත්තේ රඟහල පැරණි හා අනතුරුදායක තැනක් නිසා ඒ ගැන අවධානය යොමු කිරීමයි! එහෙම වුණොත් ඔගේ මැදිහත්වීම අනාගත අනතුරක් සම්බන්ධයෙන් කලින් කරන ඉල්ලීමක් වෙන්න පුළුවන්. බුද්ධිමතා ගේ කාර්යභාරය කියන්නේ අප එය කළ යුතුයි යන්න මිස අපි මේ දැන් මේක කළයුතුම යි යන්න නොවේ! - ඒක දේශපාලකයාගේ රස්සාව. තෝමස් මෝර් ගේ උතෝපියාව කවදා හෝ සැබෑවක් වුණොත්, ඒක ස්ටැලින්වාදී සමාජයක් වෙයි කියලා මට පොඩි සැකයක් තියෙනවා.

නවකතාවේ මරණය, පොත්වල මරණය, කියවීමේ මරණය ගැන කියන අයගේ ප‍්‍රකාශ ගැන ඔබ මොකද කියන්නේ?

යම් කිසි දෙයක අවසානය විශ්වාස කිරීම නියම සංස්කෘතික ආස්ථානයක්. ග්‍රීකයන්ගේ සහ ලතින් ජාතිකයන්ගේ පටන් අපි අඛණ්ඩව විශ්වාස කරමින් හිටියා අපේ මුතුන් මිත්තන් අපට වඩා හොඳ බව. වැඩිවර්ධනය වන රුදුරුකමකින් ජනමාධ්‍ය ක්‍රියාවේ යොදවන මේ වර්ගයේ ක්‍රීඩාවන් ගැන මම හැම විටම පුදුම වෙනවා වගේම උනන්දු වෙනවා. හැම ඍතුවක ම නවකතාවේ අවසානය ගැන, සාහිත්‍යයේ අවසානය ගැන, අමෙරිකාවේ සාක්ෂරතාවේ අවසානය ගැන ලිපියක් තියෙනවා. මිනිස්සු තව දුරටත් කියවන්නේ නෑ! ගැටවරයන් කරන්නේ වීඩියෝ ගේම් ගහන එක විතරයි! ඒත් ඇත්ත තත්ත්වය ලෝකේ හැම තැනම පොත්වලින් වගේම තරුණ ජනයාගෙන් පිරීගිය සාප්පු තියෙනවා ය කියන එක යි. මනුෂ්‍ය ඉතිහාසයේ කවදාවත් මේ තරම් පොත් තිබුණු, මේ තරම් පොත් විකුණන තැන් තිබුණු, මේ තරම් තරුණ ජනයා මේ තැන්වලට ආ ගිය හා පොත් මිලදී ගත් කාලයක් තිබුණේ නෑ.

ඔබේ කෘති නො නැසී පැවතීමේ සංකල්පය ඔබට කොතරම් වැදගත්ද? ඔබ නිරන්තරයෙන් ඔබේ දායාදය ගැන හිතනවද?

පුද්ගලයෙක් තමන් වෙනුවෙන් ලියනවා කියලා මං විශ්වාස කරන්නේ නෑ. මං හිතන්නේ ලිවීම කියන එක ආදරය පිළිබඳ ක්‍රියාවක් විදියට - ඔබ ලියන්නේ යමක් තවත් කෙනෙකුට දෙන්න යි. යම් දෙයක් සන්නිවේදනය කරන්න යි. ඔබේ සංවේදනාවන් අනෙක් මිනිසුන් හා බෙදාහදාගන්න යි. ඔබේ කෘති කොපමණ කාලයක් නො නැසී පවතිනවා ද කියන ගැටලූව නවකතාකාරයෙකුට හෝ කවියෙකුට විතරක් නෙමෙයි, හැම ලේඛකයෙකුටම මූලධාර්මික යි. සැබෑව නම්, දාර්ශනිකයෙක් තමන්ගේ කෘතිය රචනා කරන්නේ තමන් ගේ න්‍යායන් බොහෝ මිනිසුන්ට ඒත්තු ගැන්වීම සඳහා යි. තමන්ගේ පොත ඊළඟ අවුරුදු තුන්දාහ පුරාමත් මිනිසුන් කියවාවි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඒක හුදෙක්ම ඔබේ දරුවන් ඔබ නො නැසී පවත්වාගෙන යාවි, ඒ වගේ ම ඔබට මුනුබුරෙක් හිටියොත් ඔහු ඔබේ දරුවන් නො නැසී පවත්වාගෙන යාවි කියා බලාපොරොත්තු වෙනවා වගේ. හැම කෙනෙක්ම අඛණ්ඩතාව පිළිබඳ හැඟීමක් බලාපොරොත්තු වෙනවා. මං මගේ පොතේ ඉරණම ගැන උනන්දුවක් නැතැ’යි ලේඛකයෙක් කියනවා නම්, සරලව කිව්වොත් ඔහු බොරුකාරයෙක්. ඔහු එහෙම කියන්නේ සම්මුඛ සාකච්ඡාව කරන්නා සතුටු කරන්නයි.

ජීවිතයේ මේ අවස්ථාවේ ඔබට කිසියම් හෝ පසුතැවීමක් තියෙනවාද?

මම හැම දෙයක් ගැනම පසුතැවෙනවා, මොකද මම සකලවිධ දේවල් සම්බන්ධයෙන්ම බොහෝ වැරදි කර ඇති නිසා. ඒත් මට නැවත මුල ඉඳන් පටන්ගන්න සිදුවුණොත්, මං අවංකවම හිතනවා මං ආයෙත් ඒ වැරදිම කරයි කියලා. මම බොහොම බැරෑරුම් වුණා. මම මගේ හැසිරීම හා මගේ අදහස් පරීක්ෂාවට ලක්කරමින් හා මාවම විවේචනය කරමින් මගේ ජීවිතය ගතකරලා තියෙනවා. මගේ නරකම ස්වයං විවේචනය මොකක්ද කියලා මං ඔබට කිසිදාක් නොකියන බව - ඩොලර් මිලියනයකටවත් නොකියන බව - මට හොඳට ම විශ්වාසයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.