JDS Sinhala

විප්‍රලාපී කවි මඟෙහි හමුවන 'ඉතා කෙටි කළබල සිහින'

(මෙම ලිපිය, සශෝධා සම්මානි ප්‍රේමරත්නගේ 'ඉතා කෙටි කළබල සිහින' කවි එකතුව සඳහා ලියන ලද පෙරවදනකි.)

"පරිකල්පනයේ සාරවත් බව විසින් එහි නොපණත් නිදහස තුළ නිමැවනු ලබනුයේ විප්‍රලාප ම මිස අන් කිසිවක් නොවේ". - ඉමෑනුවෙල් කාන්ට්

වංගු ගැසීම් වලින් තොරව ඍජුවම පැවසුවහොත්, විප්‍රලාපී සාහිත්‍ය වූ කලි අභූතරූපී සාහිත්‍යයික ප්‍රවර්ගයේ  අනු ‘ජොන්රයක්‘  ලෙස ක්‍රියාකරන්නකි. නිර්මාණකරුවා යොදාගන්නා උපාය උපක්‍රම මඟින් සම්පාදනය වනුයේ ප්‍රඥාගෝචර දෑද නිරර්ථක දෑද යන්න නිර්මාණයට අබිමුඛ වන කියවන්නාට සාපේක්ෂ ය. එහෙත් සංසක්තාර්ථ දනවන නා නා සංඛේත පද්ධති එවන් වූ භාෂාමය රළ නැඟීම් බොහෝ අඳුරු කාලාපයන් ආවරණය කරමින් ඇදී යන්නකි. සම්ප්‍රදායික භාෂා සම්මුතීන් හා තර්කානුකූල විය හැකි වැඩවසම් භාෂා මූලධර්ම බිඳ දමන්නට නූතන බසක් තනාගැනීමට න්‍යාය විරෝධීභාවය පවා ඉක්මවා යා යුතු යැයි මම විශ්වාස කරමි. එනයින් ගත් කළ මේ වනාහී අතිශයින් ම සුවිශේෂ භාවිතයකි.

ජේම්ස් ජොයිස්, රඩ්යඩ් කිප්ලිං, ඕජේන් ඉයොනෙස්කෝ, ක්‍රිස්ටියාන් මෝහන්ස්ට්යෑන්, එරික් සතී, මෙන්ම ජෝර්ජ් ඕවල් බඳු සාහිත්‍යයට සුවිශේෂ සම්ප්‍රදානයක් කළ පෞරුෂයන් පවා විප්‍රලාපී පොහොරින් ආභාසය ලැබ සාහිත්‍යය අස්වැද්දූ බව පැහැදිලි ය. එහෙත් බොහෝ විට මොවුන් අතින් සාහිත්‍යය, නවකතාමය හා නාට්‍යමය තානයකින් උත්කර්ෂයට නැඟුණද විප්‍රලාපී කවිය වනාහි එම සාහිත්‍යයික ජොන්රයේ වඩා සක්‍රීය භාවිතය බව පිළිගන්නට සිදුවේ. 

මේ වනාහී සහමුලින්ම පරිපූර්ණ අර්ථ දනවන සාහිත්‍ය ව්‍යාපාරයක් නොවේ යැයි නැඟෙන තර්කයක් තිබෙන්නට පිළිවන. ඒත් එසේ වීම සාහිත්‍යයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස මම නොසිතමි. මට අනුව ඥානනය මිස සන්නිවේදය සාහිත්‍යයේ අත්‍යවශ්‍යාංගයක් නොවේ.  එවන් පූර්ණ අර්ථකතන නිර්මාණ භාවිතය විසින් ඉල්ලා සිටිනු නොලැබීම ම විප්‍රලාපී කවියට ආවේනික එක් සුවිශේෂ  ලක්ෂණයකි. බොහෝ විට සමස්ථාර්ථය උත්ප්‍රාසය තුළ ම වර නැඟේ. හාස ජනනය සන්ධර්භය විසින් ඉල්ලා සිටින්නේ වෙයි. කොටින්ම එහි නිපදවෙන කවිබස වුව අතිශයින්  දුලබ නිර්මාණකරුවන්ගේ භාව ලෝකය තුළම නිපදවන්නේ වෙයි. ඉදින් එය අවශ්‍යයෙන් ම අලුත් ම බසක් වන බැවින් හැම විටම කවිය අලුත් කවියක් වෙයි.  එබැවින් නිරන්තරයෙන් ම අලුතින්ම වදන් තනාගෙන අලුතින් ම කවි ලියන්නට නිර්මාණකරුවා පෙළඹෙයි. හිතුවක්කාරකම විසින් ම උත්පාද කෙරෙන හිතුමතයේ ම පහළ වන මෙම අරුම ලියැවිලි නිරන්තරයෙන් මෙන්ම අවශ්‍යයෙන් ම ‘ඕසය‘,‘තාලය‘ හා ‘තානම‘ ඉල්ලා සිටී.  ව්‍යූහාත්මකව ගතහොත් ඉංග්‍රීසි‘ බිළිඳු ගී‘ ආකෘතිය හා ඉංග්‍රීසි ‘ජන කවි‘ ආකෘතිය මෙහි පදනම සකසයි. මේ සකලවිධ ලක්ෂණ හේතුවෙන් මෙම කාව්‍ය ප්‍රවර්ගය අතීතය පුරා ම සියලු කවියන් අත ළෙලන ධජයක් වූයේ නැත.  එසේ වීම එහි සහජයයි.

සාහිත්‍යයේදී අතිශයින් ගැඹුරුතර දේශපාලනය උපාය උපක්‍රමයක් ලෙස සත්ව සත්තතියෙන් වැඩ ගත් ජෝර්ජ් ඕවල් විසින් ලියැවුණු 1968 දී ප්‍රකාශයට පත් පත්‍රකලා සහ ලියමන් අතුළත් ‘ජෝර්ජ් ඕවල්ගේ එකතු කළ රචනා‘  නම් කෘතියේ එන ‘විප්‍රලාපී කවිතාව‘  නම් වන ප්‍රකට රචනාවේ ඔහු මෙසේ ලියයි.

‘‘නොයෙකුත් භාෂාවන්ගෙන් ලියැවී ඈති කවි අතර ‘විප්‍රලාපී කාව්‍ය විධිය‘ සොයා පහදා ගැනීම අපහසු  බව සත්‍යයකි. ඉංග්‍රීසියෙන් පවා මෙකී කාව්‍ය ප්‍රවර්ගයේ නිර්මාණ බහුලව හමුවන්නේ නැත. එයින් නිමැවී ඇති කවි අතුරින් බහුතරයද, බිළිඳු ගී හෝ වියැකී යමින් පවතින ජන කවි ආරේ පවතියි. එයින්ද බොහොමයක් කවි වල ඊට එළඹෙන්නේ මුළුමනින් ම ‘විප්‍රලාපී‘  ක්‍රමෝපායන් අනුගමනය කරමින් නොවේ. මන්දයත් එසේ සිදුවන්නේ එවන් නිමැවුම්වලට පාදක වූ මූල සම්ප්‍රයෝගය අමතක කර දැමී  ඇති බැවිනි‘‘.

ඉක්බිති ඕවල් මෙම තර්කය සාධනය කරනු පිණිස ඊට නිදර්ශනයන් සපයයි. අවසානයේ ඔහු තර්ක කරන්නේ මේ‘ උල්කාපාතමය‘ නම් ගම් අත්හැර දැමුවද ඉන් ධ්වනි නැඟෙන අත්දැකීම ඔබේ මෙන් ම මගේ ද කතාවට විශ්මයජනක ලෙස සමාන්තර හෝ සමාන වන බවයි.

ලෝක සාහිත්‍යයික වපසරියේ පවා සුවිශාල ලෙස සංවාදයට ලක් නොවුණ ‘විප්‍රලාපී‘  සාහිත්‍යය මෙන්ම එහි අනු ජොන්රරික ‘විප්‍රලාපී කවිය‘ නූතනවාදයේ සම්ප්‍රාප්තියට පෙර සම්භාව්‍ය කලා වපසරියේ පවා ගැවසුණු සාඩම්බරීය නොවන භාවිතයකි.  සැබැවින්ම ගතහොත් ‘විප්‍රලාපී කාව්‍ය ශාස්ත්‍රය‘  පැන නැඟුණේ පුනුරුදය නම්  ලත් පර්යාලෝකී සමයේ අවසාන භාගය හා විචිත්‍රාද්භූතවාදයේ පූර්වභාගය අතරතුර වූ දාර්ශනික හා බුද්ධිමය ක්ෂිතිජයේ පැවති ව්‍යාඛ්‍යානාත්මක සම්ප්‍රදායට එදිරිව ය.  එබැවින් එය සම්භාව්‍ය සාහිත්‍ය තුළ ප්‍රවර්ග කළ හැකිද යන්න සංවාද කටයුතු මැයකි. නූතනවාදයේ නිල සම්ප්‍රාප්තියට පෙර ම නූතනවාදී ප්‍රවනතාවන් තිබියේ නම්, විප්‍රලාපී භාවිතය, ඒ අතරෙහි තබා විග්‍රහ කරගන්නට ද නොහැකියාවක් නොවේ.  කිසිඳු ගැටළුවෙක් නැත. විප්‍රලාපී කවිය සහෘදයා බරපතල ලෙස ඥානනය කරයි. එමෙන්ම එය, එතෙක් පැවති සම්ප්‍රදාය ක්‍රමෝපායික ලෙස ප්‍රශ්න කරයි.

නූතන විප්‍රලාපී කවියේ කාව්‍යමය ලක්ෂණ, එකී ප්‍රවර්ගයේ ම  මධ්‍ය කාලීන නිර්මාණයන්ගේ පුනරාවර්ථනයක් බව ඉංග්‍රීසි ඉතිහාසඥයකු මෙන්ම සාහිත්‍ය විචාරයකු වන නොයෙල් මැල්කම් 1997 දී පළ කළ ඔහුගේ ‘ඉංග්‍රීසි විප්‍රලාපයේ මූලයන්‘ යන සුවිශේෂ කෘතියේ සඳහන් කරයි .  එහිදී ඔහු අවධාරණය කරන්නේ කිකිළියන් විසින් උකුස්සන් ඩැහැගනු ලැබීම බඳු සත්ව භූමිකා ප්‍රත්‍යාවර්ථනය මෙන් ම, ඇඹරුම්ගල් පියාසැරිය බඳු අචේතනික වස්තුන් සචේතනික ප්‍රාණීන් බවට පැමිණවීමේ සජීවීකරණය බඳු ලක්ෂණ මීට ඇතුළත් ය යන්න ය. එමෙන් ම සත්ව ප්‍රභේදයන් විසින් නාට්‍යානුරූපීව ප්‍රතිනිර්මාණය කෙරෙන සංකීර්ණ මිනිස් ක්‍රියාකාරකම් ඈ වූ දෑ මෙම ප්‍රවර්ගයේ සංයුක්ත ලකුණකි.

වකවානු හා කාල නිර්ණය කිරීම් කෙසේ වතුද විප්‍රලාපී කවිය වනාහී අතිශයින් බරපතල සාහිත්‍යයකි. එසේ ම එය ජොන්රයක් ලෙස ස්ථාපිත කිරීමේ පුරෝගාමී කාර්යභාරය එඩ්වඩ් ලියර්ගේ කාව්‍ය ව්‍යාපාරය හරහා පැන නැඟිණ.  ඒ නූතනවාදයේ නිල කාල නිර්ණයට කලියෙනි.  එබැවින් මෙකී නූතනවාදී පිබිදීමට පෙර පැවති සම්භාව්‍ය සහ සාම්ප්‍රදායික සාහිත්‍ය කලා වපසරියේ විප්‍රලාප කවිය ස්ථානගත කරන්නට සුවිශාල බුද්ධිමය ශ්‍රමයක් දරන්නට සිදුවීම අත්‍යාවශ්‍ය යථාර්ථයක් බව නොකිවමානා ය. විප්‍රලාපී කවියට  ‘සම්භාව්‍ය සහතිකය‘ පවා ලැබ දීමට හැකි වූ එඩ්වර්ඩ් ලියර්ගේ පළමු මුද්‍රිත කෘතිය සමාජ ගත වූයේ ‘විප්‍රලාපය පිළිබඳ කෘතියක්‘ මැයෙනි. ඒ 1846 දී ය.  ස්වකීය සංචාරයන් මත පදනම් ව ‘භූ දසුන් සිත්තරෙකුගේ සංචාර නිරූපණ‘ මැයෙන් ග්‍රන්ථාවලියක් පළ කළද ඔහු සදානුස්මරණීය වූයේ ‘විප්‍රලාපී‘ සහ ‘ලිමෙරික්ස්‘ කාව්‍ය භාවිතාවන් නිසා ය. එසේම ඔහුගේ පසුකාලීන ග්‍රන්ථ වූ ‘විප්‍රලාපී ගීත‘ (1871) සහ ‘හාසජනක ගේය පද ‘ (1877) ස්ථානගතවූයේ නූතනවාදී අවකාශයක ය.  ඒවා අද පවා සහෘද ලෝකයේ සැරිසරයි.

ලියර් මෙන්ම ‘ සම්භාව්‍ය විප්‍රලාපී පද්‍ය‘ මවන්නකු වූ ඔහුගේ සමාන්තර තුරුණු සමකාලීනයා, ලුවිස් කැරොල් ද තමන්ගේ අවකාශය නිර්මාණය කරගන්නේ එතෙක් උත්ප්‍රාසයට පාදක කරගත් ‘ලිමෙරික් කවිය‘ අතැඹුලක් සේ දැන හඳුණාගෙන, ඒ ඔස්සේ බොහෝ දුර ගමනක් යමිනි. කැරොල්ගෙ ‘ජැබවොකී‘ බඳු කවියක ඇති අර්ථ නිවේශනයේ ඉඩ ප්‍රස්ථාව පිණිස ඉතිරි කර ඇති වචන පමණක් රාශියකි.  ඇතැම් වචන ක්‍රියාපද දෙක තුනක එකතුවකින් සැදී ඇත. ඇතැම් වචනයක නිෂ්චිත තේරුම්ක් ඇත්තේ ම නැත. එවන් වචනයක ශබ්ද රසය දනවන වෙනත් අර්ථ සම්පන්න වචන ඇතද, කැරොල් නිපදවන වචනවල අනුප්‍රාසය පමණක් එහි වන බැවින් අර්ථ නිවේශන කියවන්නා සපයා ගත යුතු ය. සිවුපද හතක එකතුවක් වන ‘ජැබවොකී‘ හි මෙවන් විවිධාකාර වචන 25ක් පමණ කැරොල් විසින් රැඳවී ඇත.  ඒවා එම කවිය පිළිබඳ වෙන වෙන ම පොත්පත් ලිවිය හැකි තරමේ මාතෘකා ය. කෙසේ වුව ඔවුන් නිර්මාණකරණයේදී හද මනස කළම්බන සුළු විසල් මායාවී ලෝකයක් ගොඩනැංවූයේ එකී විසල් පරිකල්පන ලෝකයකට ඇතුළු වන්නට සහෘදයාට නා නා විධ දොර කවුළු තනා දෙමිනි.

මවිසින් සංක්ෂිප්තකර ලෙස මෙකී සාහිත්‍ය සාධනය සිදුකෙරුණේ යශෝධා සම්මානී ප්‍රේමරත්නගේ කවියට ප්‍රවිශ්ඨයක් තනා ගැනීම පිණිස ය.  සශෝධා සම්මානී ප්‍රේමරත්න නොහොත් ‘බස්සී‘ මට දැනෙන්නේ ම, සදාතනික දඟකාරකමක් ඇඟ පුරා දරා ගත්, නොසංසිඳෙන කටකාරකමක් වදනෙහි රඳාගත්, ළමා විය අත්හරින්ට අකමැති, අන්තිම හුරුබුහුතල්, විසේකටකාර, කවිකරකාරලියක් විදිහට ය. බොහෝ ප්‍රකට කිවිඳියන්ගේ කවි තුළ ධ්වනි නැඟෙන ‘කටකැඩුණුකම‘ යශෝධාගේ ස්වරයෙහි නැත. මා එයට අත්‍යන්තයෙන්ම කැමති ය.  ඇයට කවිය හසුවී ඇත්තේ අන් ලියන්නන්ට පොදුවේ කවිය හසුවෙන සුගම අවකාශයෙන් නොවේ.  එය ඒකාන්ත ය. ඇගේ මෙම බකුසු සාහිත්‍ය සහ බකුසු නාමය පැන නඟෙන්නේ එඩ්වඩ් ලියර්ගේ ‘බකමුහුණා සහ බිළාලී‘ කවියෙන්දැයි සිතෙන තරමට බරපතල ලෙස ඇගේ කවි තත්කාලීන සිංහල කාව්‍යාවකාශය කළම්බයි.  ලියර්ගේ මෙම කවිය පැහැදිලිවම විප්‍රලාපී වන්නේ වෙයි. එය, තේමාත්මකව, ප්‍රේමයේ සහ විවාහ ප්‍රවාහයේ ගලා ගියද  එහි පාත්‍ර වර්ගයා වන්නේ බස්සකු සහ බිළාලියකි. මෙය ඔවුනගේ මුහුදු ගමනෙකි. ඔවුන්ගේ ප්‍රේමයේ ඵලදැරීම වෙනුවෙන් සැපිරිය යුතු සෙසු භෞතික උවමනා වෙනුවෙන් ඔවුන්ට හමුවන්නේ හොටබරියෙකි.  ඉක්බිති කළුකුමෙකි.  කවියෙහි එළඹුම මෙබඳු ය.

බකමුහුණා සහ බැළලිය මුහුදු ගියේ
රට මෑ - කොළ පෑ විසිතුරු බෝට්ටුවක

උන්,
මිහිරෙන් බිඳකුත්, යහමින් මුදලුත් ඇරන් ගියේ
ඔතා-පතාගෙන පවුම් පහේ නෝට්ටුවක.

ඉහළ ආකහේ දිළෙන තරු අතර සැරි සැරියේ
බකමුහුණා  පොඩි ගිටාරෙක හඬට ගී ගැයුවා
‘‘සොඳුරු බැළලියේ, බිළාලියේ, මගෙ ආදරියේ
බැළලියක්ද ඔබ කෙතරම් දිදුළන රූ සපුවා
සොඳුරිය!

ඔව් ඔබ
බිළාලියක්දෝ කෙතරම් දිදුළන රූ සපුවා‘

- (‘බකමුහුණා සහ බිළාලී‘ - එඩ්වඩ් ලියර්)

ආදරයේ කූඨප්‍රාප්තිය ලෙස විවරණය කරන්නට වෙරදැරෙන , ඒත් වික්ටෝරියානු අවකාශයේ භෞතිකව හිඳිමින්ම ලියර් විසින් පරසක්වල ගැසුණු මෙකී විවාහය ම යශෝධා අතපත් වන්නේ එවන් වූ සංඛේත සත්ව නාමකරණයෙහි ම වීම විසින්  මා ගෙනෙන මෙම ප්‍රවාදයට සාධක සම්පාදනය කෙරෙයි. ඉදින්  එහි  නිනද දෙන්නේ මෙකී විප්‍රලාපී කාව්‍ය ප්‍රවර්ගයේ අද්‍යතන තාලය සහ තානම බව මම පවසමි. ඇය නිපදවන නූතන සිංහලය නොවන්නට කවියට ප්‍රවිශ්ඨ වන්නට වෙනත් දොර කවුළු නැත.  අන් කවුළු වසා දමනු ලැබ ඇත්තේ ඇය විසිනි. එය අතිශයින් දැනුවත් ප්‍රවේශයක් බව මම තර්ක කරමි.

කැන්දා ආ ඇමැන්ඩා
ඇනිමොනි මල් පැලැන්දා
බ්‍රිටිෂ් ඇක්සෙන්ට් රන්දා
මිණි කිකිණි ස්වර ඇන්දා

- (තාපස කකුළුවා සහ මුහුදු මල)

න්‍යෂ්ඨික පවුල කේන්ද්‍ර කරගත් විවාහය නමින් වන මධ්‍යම පාන්තික වික්ටෝරියානු විකාරය සන්ධර්භීයව ගත් කල  දෙන්නා දෙපළගේ නම් ගම් වග වාසගම් පමණක් වෙනස් වෙන සෙසු සියල්ල බාහිර හෝ අභ්‍යන්තර සාම්‍යයක්ව පවතින ව්‍යාජව සංරක්ෂණය කෙරෙන සංස්ථාපිත සමාජ තර්කනයකි. එනයින් ගත් කල මෙම කවිය වස්තු විෂය අතින් සුවිශේෂ වන්නේ නැත. එය සුවිශේෂ වන්නේ එහි වන විප්‍රලාපී ක්‍රමෝපායන් නිසා ය. විවාහය හා එහි වන ප්‍රේමාලාප ගැන අප සදා නිමකළ සාඩම්බරී බසකින් මොන තරම් කවි බැන්දද, එයින් එහි වන ව්‍යාජ සාටෝපකාරී සංස්ථාපිත අරුත් නිනද නැඟෙන්නේ නැත. නමුත් යශෝධාගේ බස සංසිද්ධියේ වන සැබෑ ස්වභාවය බස තුළද රඳවන්නට සමත් වෙයි. එය කළහැක්කේ මෙවන් කවියකට පමණක් බව මම විශ්වාස කරමි.

තාපස කකුළු තෙම
ඕ.ටී. වෘතය අවසන
අඳුරු සළු හැඳ - කොත්තු අරගෙන එන්නේ
කන්තෝරු බර - තොත්තුවක දියවෙන්නේ
ඇනිමොනි ගවොම් රැළි අස
රැයට එදිරිව සැඟවගන්නේ

(එම)

මෙළෙස ඇය විසින් පෙළහර නැඟෙන්නේ කාව්‍ය ඉතිහාසයේ අති සුවිශේෂී නිර්මාණ ක්‍රමවේදයක ආභාසයෙන් පැනනැඟුණු කවියක බරසාර හා ගැඹුරුතර ධ්වනියයි.  එකී බරපතල භාවිතයේ  සුසංවාදී ගුණය හා හෘදයාංගම ගුණය යි. 

කියවන්නකු මතු නොව, ලියන්නකු ලෙස ගත් කල මෙම සාහිත්‍ය ප්‍රවර්ගය මා කෙරෙහි අපිරිමිත ආශ්වාදයක් ජනනය කරන්නට සමත් වූයේ බොහෝ කලකට පෙරාතුව ය. ඉදින් මම ද මෙයින් දශක දෙකකට පමණ එපිට දී විප්‍රලාපී කවියේ ආලෝකය මගේ භාවිතය ඇතුළට රැගෙන එන්නට සිතුවෙමි.  සිතීමෙන් නො නැවතී, මගේ හැදෑරීම තුළ නිර්මාණ ස්ථානගත කිරීමද අරඹාලූයෙමි.  ‘සිහිනයෙන් දුටු සැබෑවක් නොහොත් සැබෑවින් දුටු සිහිනයක්‘ මවිසින් ලියැවුණේ 1996 දී තරම් ඈතක ය.  එය එවක ‘හිරු‘ සඟරාවෙහි පළකෙරිණ.  2001 වසරේ  පළ වූ ‘පිළිහුඩුවී‘ කවි පොතේ ඒ කවියට අමතරව, ‘රොමෑන්ටික් රෝමයක්‘, ‘පියාඹන කුකුළෙක්‘ සහ ‘මව්බිම ගලවා ගැනීමේ ශිෂ්‍යයිනි සිත්තරුනි‘ මැයෙන් අන්තර්ගතව ඇත්තේ මෙකී උත්සාහයේ පළමු පියවරයන් ය.  ‘කටුස්සා‘  මැයෙන් ඉනික්බිත්තේ ලියැවුණු කවිය පසු කලෙක ‘හිරු‘ පත්තරයේ පළවිණ. මම මෙසේ  විප්‍රලාපී කාව්‍ය ප්‍රවාදය සමාජගත කිරීමට සැළසුම් කළද එය වෙසෙස් අවධාණයට හෝ සංවාදයට බඳුන් වූයේ නැත. විප්‍රලාපී කාව්‍ය ප්‍රවර්ගය ගැන සාකච්ඡා කරන්නට පෙළැඹුණු සහෘද විචාරක පාර්ශවයන් ඉන් අනතුරුවද මට හමුවී නැත.  නමුත් ඉන් අනතුරුව මගේ ජීවිතය ගලා ගියේ කවි යැයි සැක කළ හැකි කිසිවක්ම නොලියවුණු රික්තකයක් මැදිනි.  කඩිනම් සාහිත්‍ය වූ පත්තර කලාව උදෙසා තාරුණ්‍යයේ ජීව ගුණය නිස්කාරණේ දිය කර හැරි සමයකි ඒ. ඒත් යළි මා 2007 වසරේ පළ කරන්නට යෙදුණු ‘මධු සඳෙනි මධු විත‘ කෘතියේ පළින් පළ විප්‍රලාපී පද්‍යයට අවකාශ ලැබිණ.  එවරද එය නම් කවරෙකුටවත් තේරුණු බවක් මට නම් තොතේරිණ. ඉනික්බිති එළැඹුණු විප්‍රවාසී සමයේ ලියැවුණේ සහ ලියැවෙන්නේ වෙනත් කවියක් වුවද විප්‍රලාපී සාහිත්‍ය කෙරෙහි මා තුළ වන ලලාසාව තවමත් ඇවිලෙමින් තිබේ. 

ඒ කෙසේ වුවද මගේ සමස්ත අධ්‍යයනයට අනුව පැහැදිලිව ම, නූතන සිංහල විප්‍රලාපී කවියේ පුරෝගාමියා  කේ. කේ. සමන් කුමාර හෙවත් ‘සර්පයා‘ ය.  සමන් කුමාර විසින් 2000 වසරේ පළ කරන්නට යෙදුණු ‘නඟා මැරූ අල ‘ කෘතියේ කවි වල විශාල වශයෙන් විප්‍රලාපී කවියේ ලකුණු වෙයි.  එසේම ඔහු විසින් පසු කලෙක ලියැවුණු ‘පුදුම සිහිනයක්‘ බඳු කවියක පවා මුළුමනින්ම ඉංග්‍රිසි බිළිඳු ගීය මත පද නම් වූ ලකුණු මෙන් ම, විප්‍රලාපී ලකුණු ද මතුවෙයි. මේ ආරම්භය පමණක් විමසා බලන්න!

අපේ තාත්ගෙ වඩු මඩුවේ
මෙන්න බොලේ මං ලී කොටයක්
ඔන්න ඉතිං මං රූකඩ පැංචා
රැවුලෙන් අදිනවා තාත්තගේ

මෙහි නම නොකියවෙන පිනෝකියෝට  ඉන් පසු  හමුවෙන්නේ, ටිං ටිං ය;  හිම කුමාරි ය;  මුතු කුමාරි ය; සින්ඩරෙල්ලා ය;  අඟුටු මිට්ටෝ ය; අශ්ව පිට මත වඩින කුමාරයෝ ය. එ මතු නොව ඔහුට මහදැන මුත්තා සහ අන්දරේ පවා හමු වේ.

සර්පයාගෙන් ඉක්බිති, මෙම කාව්‍ය ප්‍රවර්ගය 2007 කසුන් දිනේෂ් කුමාර විසින් පළ කෙරුණු ‘තිරශ්චීනයකුගේ දඩයම‘  හා ‘වෙඩි තියලා මං මරපං‘ කෘතියේ ද (මේ කෘතියෙහි සැළසුම පවා  විශේෂය. මෙකී ග්‍රන්ථ නාම දෙක කෘති දෙපස උඩු යටිකුරු සෙයියාවෙන් පළ කෙරී තිබිණ).

2008 ඊ.ඒ. ඩෝසන් ප්‍රීති විසින් පළ කෙරුණු  ‘මුචලින්ද තාප්පය‘ කෘතියෙහි හා ඔහුගේ ඉන් පසුව පළ වුණු ඇතැම් කේවල කාව්‍ය තුළද, මෑතක ජී. එවරස්ට් ආරච්චි විසින් පළ කෙරුණු ‘කුකවි‘ කෘතියෙහි ද සොයා පහදා ගන්නට පිළිවන.

කෙසේ වුව මගේ කියැවීමට අනුව අද්‍යතන සිංහල කාව්‍ය ප්‍රබෝධනය තුළ විප්‍රලාපී කවියේ ආභාසය ලැබගත් ‘අරුම කවියක්‘  කාව්‍ය ව්‍යාපාරයක්ලෙස සමාජ ගත කරන්නටත්, එය ජන ප්‍රියතාව තුළට රැගෙන එන්නටත් නිර්මාණ ශ්‍රමය සම්පාදනය කළේ ‘බස්සී‘ හෙවත් යශෝධා සම්මානී ප්‍රේමරත්න ය.  දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇය ඊට ප්‍රවේශ වන්නේ ම ඊට ම අනන්‍ය ප්‍රබන්ධකර ලේඛන නාමයක් මෙන් ම එකී නම පදනම් කරගත් බ්ලොග් අඩවියක්ද සමඟිනි. ‘ බස්සීගේ නවාතැන‘ යි.  එහි ඇය ‘අමුතු කවි‘  ලෙස මෙකී කවි ප්‍රවර්ගය වර නඟා ඇත.  ඉදින් මෙලෙස ඇය ලියන එවැනි ‘බසු කවි‘ සහෘද ප්‍රජාව හොල්මං කරවයි.  මායාමය අවකාශයක තබා බන්ධනය කරවයි.  නන්නාඳුනන භාෂා විශ්වයක අතරමං කරවයි. බලන්න!

ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
මගෙ බඩේ පිපෙන්නේ මොන මල්ද?
පීරිසි වගේ පියෝනි මල්ද?
පැණි පිරුණු හත්පෙති මල්ද?
මේ තරම් සමනල්ලු පියාඹන්නේ ඒකද?

- (මට ඇත්තම කියන්න)

යශෝධාගේ කවි නිස්කාරණේ කියවා නිස්කාරණේ ම ප්‍රීනනය වන්නට ඕනෑම සයිබර්වාසියෙකුට නොහැකි වන්නේ නොවේ.  නමුත් ඇගේ කවි පද අතර අරුත් කියනවන්නට නම් පශ්චාද් නූතන ළමා වියක් ගත කර සිටිය යුතු වීම අනිවාර්ය සාධකයක් බව ඇගේ‘විප්‍රලාපී කවිය‘ , බොටුවෙන් අල්ලා, කියවන්නාට මෙනෙහි කරවයි. ගෙදර වැඩ කර නැති අයට පෘෂ්ඨීක රස නිෂ්පත්තිය ඉතිරි කර තබන ඇය ගෙදර වැඩ කළ අය වෙනත් භාව අවකාශයකට ඔසවා තබයි.  සරල වස්තු විෂයක් සේ ගත හැකි ‘උසස් විද්‍යාලයේ ප්‍රේමය‘  බඳු නිමැවුමක වුව ඇය යෝජනා කරන සන්දර්භයට ප්‍රවිශ්ඨ නොවී උපරිම රස නිෂ්පත්තිකර අවකාශය වෙත ළඟා වන්නට කිසිසේත්ම පුළුවන් වන්නේ නැත. රොබින් කුරුල්ලා පමණක් නොව 'රෙඩ් රොබින්' ප්‍රබන්ධ පාත්‍ර වර්ගයා නොදන්නා කියවන්නට වඩා පිමි ලෙසින් පහසුවෙන් කවියට ප්‍රවිශ්ඨ වන්නට මෙම ඉන්ද්‍රජාලික සජීවකරණ වීරයන් දන්නා හඳුනන්නට බෙහෙවින්ම පහසු ය. මෙම කෘතියේ සංගෘහිතව ඇත ද, නැත ද, බස්සීගේ බොහෝ කවි මෙන්ම ඉතා කෙටි කලබල ලියැවිලි, මෙම සජීවිකරණ ලෝකයේ මෙන්ම සුරඟන කතා හා පුරාණෝක්ති මත පදනම් ව අවකාශගතවන බව ඇගේ අරුම ලෝකයේ වෙලී පැටලී සිටින්නෝ  දන්නාහු ය. මෙම අවකාශයෙන් මිදෙන ඕනෑම තැනක දී ඇය මේ සියල්ල හරහා නිපදවා ගත් ඇගේම ලෝකය කියවන්නාට අබිමුඛ කරයි.  ඇගේ බස ලුවීස් කැරොල් අත හෝ එඩ්වර්ඩ් ලියර්ගේ කවි වලදී මෙන් ම ඕඝය නඟයි. තානම රඳවා ගනියි.  අනුප්‍රාසය සොළවයි. උත්ප්‍රාසය ළෙලවයි.  නිදර්ශනයක් ලෙස මෙහි එන ‘රබාන තැළුවොත් තුට්ටු දෙකක් ඇත‘ කවියට මුළුමනින්ම ප්‍රාණය පමුණුවා ඇත්තේ සිංහල ජනකවියේ එන රබන් පද ආකෘතියයි.

අවුරුදු මේසෙට දෙන්න දෙයක් නැත
රබාන තැළුවොත් තුට්ටු දෙකක් ඇත

ස්වකීය ජංගම දුරකථනය ඇතැතිව මහමඟ ගමන් ගමින් සිටිනා කිවිඳිය, සුපිරි වෙළෙඳ සැළක් අබියස රබානකට කලමින් සිටින වයෝවෘධ ස්ත්‍රීන් පිරිසක් දැකීම මෙම කවියට නිමිත්ත වෙයි. ඉක්බිති කිවිඳියගේ අධ්‍යාත්මය පාරා නැඟෙමින් ජංගමය කෙරෙන් වෑහෙන්නේ අසීමාන්තික රබන් පදයි. ඉන් කිහිපයක් තෝරා ගන්නා ඇය, ඒවා අනුපිළිවලකට සකස් කළ බව අපට දැක්වීම මෙම කවියයි. සිංහල රබන් පද තුළ විප්‍රලාපී කවියෙහි පදනම සේම ඇතැම් රුව ගුණ ද ඇති බව ඇගේ අවිඥානය විසින් ක්ෂණිකව ඇයට පහදා දෙනු ලැබෙයි.

ඇගේ ඇතැම් කවියක මුණ ගැසෙන්නේ මෙන්න මේ මා කියන අවිඥානික සහසම්බන්ධයේ සවිඥානික ප්‍රකාශන ගුණයයි.  කවියෙහි වන දන්නාකම වන්නේ නොදන්නාකම ම යි. ඒත් දන්නාකම යැයි අනුමාන කරන දෑ තුළ  අධිනිෂ්චය වී ඇත්තේ අවිනිෂ්චිතභාවයයි.  තමා ලුහුබැඳ යන බව හෝ ලුහුබැඳ එන බව නිෂ්චිතවම දන්නාමුදු ඒ කවර නිෂ්චිත ස්වරූපයකින්දැයි කියන්නට කිසිවකුටත් නුපුළුවන.

තේ බඳුන තුළ ඉඟුරු සුවඳක්ව
මේ කුළක සල අකුණු එළියක්ව
ගී පොතක අති උච්ච ස්වරයක්ව
වෙස්වලාගෙන ඉන්නටත් පුළුවනි ඔබ

(අඳුනන්නෙවත් නැතිවම)

මෙවන් නිෂ්චිත සිහිනමය ලෝකයක අවිනිෂ්චිත යථාර්තී ගුණය හරහා ඇය අපට යෝජනා කරන්නේ මේ නිමේෂයේ අප ගතකරන ජීවිත, ඇත්ත ජීවිතවලට වඩා ළංවන්නේ ‘සජීවීකරණය‘  කරන ලද ප්‍රබන්ධ ජීවිතවලට සහ අතීතය විසින් ලුහුබැඳ එන සුරඟන කතා හෝ මිථ්‍ය ප්‍රබන්ධයන්හි එන ජීවිත වලට බවයි.  ඇතැම් විට මෙකී‘ භෞතික ප්‍රබන්ධ ජීවිත‘ , ෆෙයරි ටේල්ස් පන්නයේ ප්‍රතිනිර්මාණයන්ට සමාන්තරව දිගහැරෙයි.

ඇගේ කවියේදී හයිලෙවල් පාරේ හිටිවනම මැමත්හු මතුවෙති.  අතීත සුරඟනා කතාවල ගෙම්බෝ අලුත් කටහඬකින් පරණ කතාම කියති. 'ෂාරොන්හි' සෙව්වන්දියට කවි කියන පෙම් පත් අහසට වචනවල පවතින ක්‍ෂුද්‍ර  ඉපැරණි සටහන් පොත් අතර තිබී රතු රිබන් පටි මතුවෙයි. කිරුළ හිමි කුමරුන් එනතුරු අතිකාල කරමින් රන් කැටපත් යදින ආත්මයකි.  මෙකී ආත්මය ම යළි ගැබ්බර බැළලියක් බවට පත් වේ.  විටෙක රතු හැට්ටකාරියත්, නිදි කුමරියත් කියවන කිවිඳිය 'මං ආදරේ දුෂ්ට, සුදු කොල්ලන්ට'  යැයි කියා, සජීවිකරණය කරන ලද පශ්චාත් නූතන නව යෞවනියගේ අධ්‍යාත්මය රමනීය ලෙස විවරණය කරයි.

සමස්ථ විප්‍රලාපී කාව්‍යාවකාශයේ ගිගුම් දෙන ඇතැම් විප්‍රලාපී කවියක කාලාවකාශ නිර්ණය කිරීමට පවා අපහසු ය.  ඒවායේ ඇති සංඛේතාර්ථ හෝ ඉන්ද්‍රජාලික අර්ථ මතුකරගැනීම වෙනත් සන්දර්භීය විවරණයන් හරහා ගමන් කළ යුතුයි. ඇතැම් ‘වදන් කෙලි සෙල්ලම්‘  වුව සොයා පහදා ගන්නට වෙනත් කියවීම් ප්‍රවේශයකින් ඊට ඇතුළු විය යුතු යි. එබඳු අරුත් පසිඳලීම පසෙක තැබුයේ වුව සමස්ථයක් ලෙස ගත් කළ විප්‍රලාපී කවියේ රුව ගුණ සමාජය ඥනනයෙහි ලා කැටපතක් බඳුව අප අබියස හිට ගනී. ඇතැම් කවියක වෙනත් කාව්‍ය ජොන්රයකට අයත් සුලක්ෂණ මතුවී පෙනෙන්නට පිළිවන. ඉදින් එය, එකී කාව්‍ය ප්‍රවර්ගයේ එකකැයි වරදවා ගන්නට විචාරකයනට හැකි ය. නමුත් සමස්ථය විශ්ලේෂණය කර බැලීමේදී එය විප්‍රලාපී කවිය ම හෝ එහි දිගුවක් බව ප්‍රතීයමාන වේ.  යශෝධා සම්මානිගේ ඇතැම් කවි ද මෙබඳු ය. විරෝධාකල්ප ඈ වූ වෙනත් සරල වේෂ නිරූපන අර්ථගැන්වීම් මත පදනම් ව ඒවා විග්‍රහ කිරීම පහසු වුව විප්‍රලාපී කවිය ඔස්සේ ඇගේ සමස්ථ භාවිතය අර්ථ නිරූපනය කරගැනීම තරමක බැරෑරුම් ශාස්ත්‍රීය කටයුත්තකි.  ඊට අවශ්‍ය ශාස්ත්‍රීය ශ්‍රමය විය පැහැදම් කිරීමට පේ වුණු ඇකැඩැමික හෝ අනැකැඩැමික වපසරියක් නිර්මාණය කර ගැනීම නව කවියේ ප්‍රගමනය හේතු වනු ඇත.  අප මිතුරන්ද වන ඇතැම් සරසවි ආචාර්යවරු මේ වන විටත් මෙම ඇකැඩැමික ව්‍යායාමය අරඹා ඇතිවා මෙන් ම, අනැකැඩැමික කාව්‍යකාමී රසවතුන්ද මෙම සාහිත්‍යයික හඹා යෑම දැනටමත් අරඹා ඇත.  එය සැබැවින් ම ප්‍රීතියට මෙන්ම සන්ත්‍රාසයට ද හේතු වේ. එවන් අලුත් සාහිත්‍යයික සිහින තෝරන්නන් අතින් යශෝධා සම්මානි ප්‍රේමරන්තගේ 'ඉතා කෙටි කළබල සිහින' තුළ වර නැඟෙන බහු චෛතිසික, බහු භාෂික හා බහු ශාබ්දිකබව පහසුවෙන් ලිහී මතුවී එතැයි මම විශ්වාසය කරමි.  එ දවස, කවිය යනු සයිබරාවකාශයේ සැරිසරන ‘මිරිස් ගලක්‘  නොව, කාව්‍යාවකාශයේ වර නැඟෙන ආත්ම ප්‍රකාශනයක් පමණක් බව යළි සහෘදයන් හමුවේ තහවුරු වනු ඇත.☐

මංජුල වෙඩිවර්ධන


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.