JDS Sinhala

විෂමාර්ථීය අවකාශයන්ගේ කවි ලිවීම: එරික්, මංජුල හා නිරාෂ

"මගේ බැල්ම මඳක් පැන්නොත් ගසක් වෙනස් වෙයි." -සෙසාන්

සිංහල සාහිත‍්‍යය ට පිවිසීම උදෙසා විවිධ දොරටු විවරකරගත හැකිය. විවිධ රචකයෝ තම තම නැණ පමණින් මේ ප්‍රවේශයන් ලබා  ගනිති. අයෙක් සිය පහසුව තකා දැනටමත් දන්නා දේ වෙනත් වචන රටාවකින් කියා පාති. එය ජීවිතය පහසු කරවයි. පුද්ගල සම්බන්ධතා තීව්‍රද කරවයි. කෙටි කාලීන ධ්‍යාන ඉසුරු ළඟා කරවයි.  

විචාරය උදෙසා අසීරු ව්‍යායාමයන්ගේ යෙදෙන්නේ කීප දෙනෙකි. ඒ සඳහා වෙනස් මගක පිවිසුමක් යොදා ගත් සිතූමිණි රත්නමලල මිෂෙල් ෆූකෝ ගේ 'හෙටරොටොපික් ස්පේස්' සංකල්පය ඔස්සේ වෙනත් පෙත් මඟක් තනයි. ඔහු 'සර්පයෙකු හා සටන් වැද' කෙටිකතා සංග්‍රහයේ දෙවනි මුද්‍රණයේ (2014) පූර්විකාව නම් කරන්නේද විශ්ලේෂණ මාර්ගය ලෙස යොදා ගන්නේද ''විෂමාර්ථීය අවකාශ" නම් සංකල්පයයි. අපට පුරුදු වචන මාලාව වෙනුවට ෆූකෝ ගේ හෙටරොටෝපියා සංකල්පය හා වාස්තු විද්‍යාවේ රූපක ඇසුරෙන් ලියැවුන මේ පූර්විකාව හැජමොනික පෙරවදන් රචකයින්ට අභියෝගයක් එල්ල කරයි. [එහි දීප්ති ලියූ පසුවදන ද එබඳුම අභියෝගකාරී එකකි].

අපිට උතෝපියාව හා ඩිස්ටෝපියාව හුරුය. උතෝපියාව විසින් අප වෙත සම්ප්‍රේෂණය කරන 'තථ්‍ය නොවෙන පරිපූර්ණ යහපත් සමාජය' නම් මනෝරාජික අදහසත්, ඩිස්ටෝපියාව විසින් ඇතිකරන 'මනෝරාජික අනිෂ්ට භයංකර සමාජය' නම් අදහසත් මේ සඳහා දැන ගත යුතු ය. හෙටරොටෝපියාවේ සියල්ල වෙනස් ය. එකක් අනෙක හා සමාන වීමට හෝ නොවීමට ඉඩ ඇත. සර්ව සම්පූර්ණ පරමාදර්ශී කිසිත් තිබීමට හෝ කිසිත් නොතිබීමට ඉඩ ඇත.

මේ වෙනස් අවකාශය විසින් අප වෙත නිදහස උදා කරයි. එය කොදෙව්වකින් බැහැරට යාමට, ට්‍රෝලර් බෝට්ටුවකට වඩා සුවපහසු යානාවක් මවා දෙයි. ෆූකෝ, අධිපතිවාදී නොවූ, පෙනෙනවාට වඩා අරුත් ස්ථර හෝ සබඳතා ස්ථර බහුලව ඇති අවකාශයන් මේ සංකල්පය ගොඩ නැගීම සඳහා යොදා ගනී. තව දුරටත් පැහැදිලි කිරීමට ෆූකෝ යොදා ගන්නා අලංකාරිකය වෙන්නේ දර්පණයයි. දර්පණය උතෝපියානු ව්‍යාපෘතීන්ගේ තථ්‍ය හා අතථ්‍ය භාවයන්ගේ උභතෝකෝටිකය හා පරස්පර බව නිරූපණය කරයි. දර්පණය උතෝපියාවට  රූපිකව ගැලපෙන්නේ එහි අප දකින ප්‍රතිබිම්බය තථ්‍ය ලෝකයේ නොපවතින නිසා ය. නමුත්, දර්පණය අප-අප වෙත ම සම්බන්ධ වෙන ආකාරය හැඩ ගන්වන තථ්‍ය වස්තුව වන නිසා එය හෙටරොටෝපියාවකි. ෆූකෝ මෙබඳු ද්විත්ව අර්ථ උපදවන අවකාශ කිහිපයක් මුලධාර්මිකව පැහැදිලි කරයි.

•    අර්බුද හෙටරොටෝපියා (අර්බුදයකින් මුවා නොවී මුවා වීමට ඉඩ සළසන අවකාශ - ලව් හෝටල්, එහි සිදුවන්නේ කුමක්දැයි දන්නා නමුත් නොදන්නා සේ සිටීමට පාරිභෝගිකයින්ට හා සමාජයට ඉඩ සැළසේ ),

•    අපගමනීය හෙටරොටෝපියා (අපගමනය වූවන් සඳහා විශේෂ අවකාශ - පිස්සන් කොටු - මානසික සුවාගාර ලෙස නම් කෙරේ, හිරගෙවල්- චරිත ශෝධනාගාර ලෙස නැවත නම් කෙරේ)

•    බහු අවකාශ අතිපිහිත වන හෙටරොටෝපියා (ගෙවත්ත  - එහි බොහෝ පරිසර පද්ධතීන්ගෙන් ගෙන ආ පැලෑටි අඩංගු වේ. තවද අයි පොඩ් එකක සංගීත ඇල්බම, ඒවා විවිධ කාල, ෂොනර හා උපත්තීන් ඇතිව, එකම ටච් පෑඩ් එකකින් බ්රවව්ස් කිරීමේ හැකියා ව ඇතිව අංකිතව දෘඪ තැටියෙහි අන්තර්ගතව සිටී.),

•    කාල හෙටරොටෝපියා (කෞතුකාගාර - එය තත් කාලයේ පවතින නමුත් එහි අන්තර්ගත දේ වෙනත් කාල වකවානු වලට අයත් ය), චාරිත්‍රමය හෝ පාරිශුද්ධිය සඳහා වන හෙටරෝටෝපියා (සෞනා, රූපලාවන්‍යාගාර, අසපු, දේවාල).

•    මායා හෙටරොටෝපියා (ඒ මගින් ඇති කරන දෘෂ්ඨි මායාව විසින් අවකාශය පිළිබඳ මායාව පෙන්නුම් කරයි, එමගින් සියලු තථ්‍ය අවකාශ නිරාවරණය කරයි. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන බවට මායාවක් ඇති කරන නමුත්, එය දර්පණයේ තලය විසින් සිදුකළ මායාවක් බව පෙන්වන අතර දර්පණයේ ක්‍රියාව අපට නිරාවරණය වේ)

•    අනුපූරක හෙටරොටෝපියා (විසින් තථ්‍ය අවකාශ සාදා දේ. අනෙකුත් අවකාශ- ෆැසිස්ට් ක්‍රමයක ලේඛන නිදහස, රේඩාරයට යටින් ලිවීමේ නිදහස විසින් ඇති කරන ව්‍යාජ අවකාශය. මේ ම්‍රද්‍රිත අවකාශය වෙනුවට පැමිණි බ්ලොග් අවකාශය විය හැකි ය. පත්තර කාරයින්ට ගැහුවට ඔය බ්ලොග් කාරයෝ නිදහසේ ඉන්නේ? වැනි අවස්ථා මතු විය හැකි ය)

ෆුකෝ ට අනුව කාලය මෙන් නොව, අවකාශය තව දුරටත් ලෞකික කළ යුතු ය. ශුද්ධවන්ත [sanctity] බව විසින් අප අවකාශය බෙදා වෙන්කරන අන්දම තව දුරටත් සීමා කරගෙන සිටී. අප විසින් තවමත් අභ්‍යන්තර හා බාහිර ලෙස, ඇතුළත හා පිටත ලෙස වෙන්කර, එවායේ සබඳතාවන්ට සාපෙක්ෂකව වටිනාකම් ආදේශ කෙරේ.

ඉහත සඳහන් කළ ප්‍රවර්ගීය ප්‍රවේශය නිරාෂ ගුණසේකර ගේ 'සුදු කතක් හා මධු විතක්' කියවීම සඳහා යොදා ගැනීමෙන් කවිය විෂමාර්ථීය අවකාශයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීමට උත්සාහ දැරීම උචිත යැයි සිතමි. ඒ හා සමග මංජුල වෙඩිවර්ධන ගේ 'නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක'  හා එරික් ඉලයප්ආරච්චිගේ 'පියස්සක් නැති පරෙවියෙක්' කවි පොත් සමාන්තරව කියවීමට කැමැත්තෙමි.

උතෝපීය හෝ ඩිස්ටෝපීය කවි ඇතැයි විස්වාස කළ නොහැකි මුත් සෝත ඉන්ද්‍රියය අන් අයුරක් කියයි.  පරමාදර්ශී උතුරුකුරු කවියක් වෙත් නම් ඒ පහත අයුරු විය හැකි යැයි හැමදාම පාන්දර වේයන්ගොඩ හන්දියේ ස්කූටරය නවත්වන තැන දී මට සිහිවේ. ඒ වෙලාවට ඒ නිවසේ කුමන ක්‍රමයකින් හෝ පිරිත් වාදනය වෙයි. මට ගාථා ඇසෙයි.

වනප්ප ගුම්භේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හෙ

ගිම්හාන කාලයේ මුල් මස
වනගුම්භයෙහි
මනා ලෙස කුසුමිත..

කියන්න වරදක් නැත, දළඹුවෝ කොළ, මල් ලෑටි ගා නැත. සියලු අයුරින් සසොබන වන හිසෙහි මනෝඥ බව පෙර හෝ ඉන් පසුව විය නොහැකි අයුරින් කවියට නගා ඇත. දෙ පදයටම නාම විශේෂණ ඇත්තේ එකකි. එයද 'යථා' විනා අනෙකුත් සාපේක්ෂ හැඟවුම් කාරකයක් නොවේ. දිග ද නැත - කෙටිද නැත. ලෝභ ද්වේෂ මෝහ රුප්පනය නොකරයි. මේ උතෝපීය කවිය ට උදාහරණයක්ද? එහි අපේක්ෂාව උතෝපීය නිසා අනෙක් අයුරකින් නිගමනය කිරීමටද ඉඩ නැත. එහි අවකාශය ද අපේක්ෂාව මෙන්ම ලෝකෝත්තර එකකි. එය දර්පණය බඳු ය, කිසිවක් ලබා නොගනියි, කිසිවක් තබා නොගනියි.

අප සාමාන්‍යයෙන් කියවන කවිය සංජානනය වෙන්නේ අන් අයුරකිනි. එය කවියා, කවිය හා කවිය' යනුවෙන් සම්බන්ධයක් ගොඩ නගයි. කවියා යනු කවිය නම් දර්පණය ඉදිරිපිට සිටගත් වස්තුවයි. කවියා තමා දැක නැත. කවියා, කවි විෂයය හා කරන ගණුදෙනුවෙන් ඔහුට තමා නම් කවි' විෂයය පෙනේ. එම ප්‍රතිබිම්බය නම් තමා ගේ කවිය' යි. කවිය' නිසා තමන් කවුදැ යි දැන ගැනිමට කවියා සමත් වේ. තමා සිටින තැන නොව, වෙනත් තැනක 'තමා සිටින' බව [ප්‍රතිබිම්බය නොහොත් කවිය] බවට කවියා  ඥානනය  කරයි.

කවිය, තමා සිටින අයුරින්ම [සිතන අයුරින් ම] පෙන්වතැයි කවියා ඥානනය කරන නිසා කවිය යුතෝපීය වෙයි. කවිය' දෙස සිට  [කවියේ දෘෂ්ටි කෝණයෙන්]  බලන විට කවියා ගේ 'අප්‍රාප්තිය' [ඇබ්සන්ස්] නිරීක්ෂණය කළ හැකි ය. කවිය' ට කවියා ව පෙනෙන විට, කවියා සිටින තැන ඇත්තේ හිස් තැනකි. කවිය මේ විට විෂමාර්ථීය අවකාශයක් ලෙස ක්‍රියා කරයි, "මම [කවියා] කවිය දෙස බලන විට මම හා මගේ වටපිටාවේ ඇති අවකාශය ද ඇතුළු සියල්ල ඒකාන්තයෙන් පවතී, එවිට ම මම ඒකාන්තයෙන් අතථ්‍ය ලෙස ඥානනය වන්නේ කවිය' හි භාෂාව නම් අතථ්‍ය තලයෙන් ඔබ්බෙහි පවතින මම [කවියා] අතථ්‍ය බැවිනි". [Of Other Spaces: Utopias and Heterotopias , M. Foucault. p4, කවිය ≠ කවිය' බව සළකන්න]

එකී විෂමාර්ථීය භාවය මගේ පොත් රාක්කය දෙස බලා විෂයීකරණය කර ගැනීමට උත්සාහ දරමි.

හෙට ඉරක් පායයි.. මක් නිසාද යත්.. පියස්සක් නැති පරෙවියෙක්... සැපෙනි සැප වේවා.. නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක.. මේ නම් වලින් හැඟ වෙන්නේ පරමාදර්ශීය නොවූ යුතෝපීය නොවෙන අනෙකුත් අවකාශයන් පිළිබඳ තථ්‍ය කවියන්ගේ අභිලාශයන් නොවේද? 'සුදු කතක් හා මධු විතක්' යනු ම අත් පත් කරගත නොහෙන අතථ්‍ය අවකාශයක් පිළිබඳ ඇති ලාලසාව භාෂා සංකේත ගැන්වීමක් බව මට හැඟේ. මෙය තවත් ගැඹුරට ගෙනයන 'තාණ්ඩව' හි ඇත්තේ ඉතා මෘදු කවි සමූහනයකි. 'කිසිවෙකු කවියන් නොමරති..' කියන විට 'හෙටරොටෝපිය අවකාශයෙහි' "ශිවරමණී" මරාදමා අවුරුදු විස්සකි.

කවියා බොහෝවිට අර්බුද හෙටරොටෝපියාවක සරණය සොයයි. ඔහුගේ අතින් මෙලන්කොලික කවි බිහිවීම සේම උදාන කවි බිහිවීමද අර්බුද හෙටරොටෝපියා වෙයි.

හනිමූන් හෝටල්, වැදූ ගෙවල්, උතු පැල් සේ උපදින කවි ඇත. නිරාෂ ගේ පටු මාවතක උයනක සිසිරයේ හිම දියව යයි, ලදලු නැගේ, සියොතුන් කැදලි අමතකව ගී ගයති.. කවියාට ඒ සියල්ල සිය බැල්මට හසුවනවා පමණි.. ඔහු මියයන සිසිරය නිසා පූදින ළ'දලු ගැන සතුටු වෙයි...,  ඔහුගේ සිසිර අර්බුදයෙන් මිදීමට වසන්තය උදා වෙන නමුත්.. ඔහු ඉක්මන් අඩි තියා උයන මැදින් යයි. විවේකයෙන් උයන් සිරි විඳීමට අවකාශ නොලැබෙන අර්බුදය පටු මගක සිරවී ඇත.

මේ අර්බුද අවකාශය දකුණේ පමණක් නොව උතුරේද ඇත. වැටෙන කොළ අහුලන්න කෙනෙක් නැති මිදුලක, ඔලුව අතගා ගන්න කෙනෙක් නැති, සිසිරයේ අර්බුද මතු වෙයි. මංජුල ගේ අර්බුද අවකාශය ගැහෙන අතේ කවි නිමිති වෙයි. සිසිරය තවම අවසන් නැත. සිසිරයේ නිපතිත, නාරටි දක්වා දියවුන ප්ලෙන් පතක් හෙලා දකිනු නොහැකි ය.

නිරාෂ ගේ ළදලු උපදින විට උපදින සතුට සේම මංජුලගේ දිරා යන පතේ මෙලන්කොලියාව එකම අර්බුද අවකාශයකින් ප්‍රක්‍ෂේපණය වෙයි.

එරික් මේ අර්බුද අවකාශය නාගරික අවකාශය ආශ්‍රිතව ඉදිකරයි. දියුණු නාගරික අවකාශ අතරේ සිටින මංජුලට හා නිරාෂට මෙන් නොව, එරික් ට සිය අර්බුද අවකාශය මතු වෙන්නේ බොරැල්ලේ පුංචි තියටරයෙනි. කලාවේ අමාවක අඳුරු වුන අහස් ගැබ ඉතුරු වූ අවසාන පහන් තරුවක් සේ පුංචි තියටරය මතු වන්නේ බලහත්කාර නාගරික අලංකරණය නම් හිස් අවකාශය තුළ අර්බුද අවකාශයක් තනමිනි.

පවතින අවකාශ  ඒවායේ ඉතිහාසය අප ඉදිරියේ දිගහැරෙන අයුරින් වෙනත් අයුරකින් විග්‍රහ කර ගැනීම 'අපගමනීය හෙටරොටෝපියාවයි'. මංජුල "සයිමන්ම ය සන්‍ධ්‍යාවක" ලියන විට ඔහු අපගමනීය හෙටරොටෝපියාවක් ගොඩනගයි,

ෆ්ලැට් එකක් කියන්නේ පැලකට
සුද්දිලයි පෙනෙන්නේ මඟතොට
බයියොමයි දකින්නේ යමරෙට
වන්නියයි කියන්නේ කොළඹට

එරික් අතින් සත්තුවත්ත නම් සිරවිමන මෙසේ වර්ණනා වෙයි,

අනත රැහැන් මිස මෙහි නැත වනසර
දැළකින් වටකර ඇත නිල් සිකි පිළ
දෙමහල් සිරගෙයි වෙසෙති වලස් කැල
දුටුවෙ ද දෙතැනක ඇත් අස් සායන.

නිරාෂ ට කවි උපදවන නගරය ම විටෙක කවි වඳ කර දමයි. ඔහු කවිය සොයා මුලු නාගරික අවකාශයේ සැරිසරයි, එහි කවි හමු නොවේ. දැන් නගරයේ ආකාශ රේඛාව සිතිජය වෙත පහත් වෙන මුඩුක්කු, වෙරළ තීරය කවි උපදවන ලෙස අපගමනීය වෙත්දැයි සොයා බැලිය යුතු ය.

පීරා බලා නගරය ම
සොයා ගනු බැරිව එකදු කවක්
ආපසු හැරුණු මග
නතර වී එක මොහොතක්
ඉර ගිලෙන වෙරළත කොණක
පැල්පත් යාය නුදුරේ
කන්දී සිටියෙමි වරුවක්....

කවියා විසින් සංඥාර්ථ වෙළුකැවීම සිදු කෙරිය යුතුය. නැති වචන සාදන්නේ නැතිව නොයෙක් වෙළු කැවීම් කිරීම කියවන්නා කෙරේ සතුට දනවයි. එය තරුවක් වන්න පෙරුමන් පුරන තරුණියකගේ ගී හඬට කන් දීමක් වැනි ය.

ගැදි කරුවාට කිසිවිටෙක නොලැබෙන නිදහසක් පැදි කරුවාට ඇත. ගැදියෙහි පිළිවෙල විස්තර වෙනස් වුවහොත් ගැලවීමක් නැත. පැදි කරුවා එනයින් උයන්පල්ලෙකුට සමාන ය. ඔහු ට තමා කැමති අවකාශයකින් ගෙනා සංඥා කැමති අයුරකින් ඉතා කුඩා අවකාශයක ඇසිරිය හැකි ය. අන්‍යෝන්‍ය අතිපිහිත වීමකින් ඇතිවන ගුණය කවියේ ගුණය ම බවට පත් වෙයි.

බර්ටි බී කුඩාහෙට්ටි 1977 දී 'සැපෙනි සැප වේවා' හි මෙසේ ලියයි,

ස්ටැලින්වාදියෙක්
හුරතල් කරයි බල්ලෙක්
ස්පාඤ්ඤ පෙරමුණ
මුලු බාසිලෝනාවම
ලෙයින් නාවා ඇත..

මංජුල ගේ ගෙවත්ත පුළුල් ය නමුත් සිප් [zip] කර ඇත

හීටරය කැඩුනු කුටියක
බොනට්ටුව කටු ඔටුන්නකි
මෆ්ලරෙත් තොණ්ඩුවකි සකි ..[හිම වැටෙනකොට ජනේලෙට ඔබ]

නැතහොත්..

වමට ගේම ඉල්ලුවොතින් උදහාසේ
මාවෝ නැතොත් 'උඹේ අම්මගෙ' ඉතිහාසේ
මහජන යුද්ධයයි බාගෙක සන්තෝසේ
අසෝක වීදුරුවේ ඉහිරෙයි මදහාසේ..[අජ්ජා හෙවත් ඇල්කොහොල් කවි]

ඌ කවුද ඌ කවුද කොහි ඉන්න කවියෙක්ද
මතු රැයෙක මා සොයා කවිය යළි පැමිණේද
මොනිකා ද නැති රටේ කිවිඳියක් බිහිවුණිද
කේයස් ද මීමන ද එක් ගමෙක උපන්නෙද

යනුවෙන් 'අතහැරුණු කවියෙහි' එරික් ට හසු වන්නේද එකී අතිපිහිත වූ අවකාශයයි.

නිරාෂ ගේ උයන්පල්ලාට ෆ්‍රීඩා හා රිවේරා හමු වෙන්නේ මෙහිකෝවේ දී නොවේ, ඔවුන් තත් කාලයේ, නොමියැදී දර්පණ යේ පිළිබිඹුව සිටිති.

ඇතුළු හද ගැබ පීඩා
ඊසලේ මත රැඳවුව
නුඹමය සොඳුරු ෆ්‍රීඩා
කැන්වසය මත අපව හැඬවුව..

ෆ්‍රීඩා ගේ මුහුණ මඳක් 'සල්මා හයෙක්' බඳු වීම වරදක් නොවන්නේ සල්මා ගේ මුහුණ ෆ්‍රීඩා ගේ මුහුණ හා අතිපිහිත කිරීම කලා නිර්මාණයක් ම වන නිසා ය.

දෙගුණයක් වයස
තුන්ගුණයක් මහත
හතර පාරක් බැන්ද
කොම්යුනිස්ට් කාරයෙකුට
කොහොම පෙම් කෙරුවාද
මැරෙන කං
හෙවණැල්ල ඇද
තටු බිඳුණු සමනළියක..?

මංජුල සිය විප්‍රවාසයේ වේදනාවත්, එරික් සිය අපේක්‍ෂාව වූ සම්භාව්‍ය කලාව අහිමි වීම නිසා විඳින වේදනාවත්, නිරාෂගේ විගමන වේදනාවත් මේ කවි පොත් තුනේම සියුම් ලකුණක් [motif] ලෙස සටහන් වී ඇත්තේ කෞතුකාගාරයක ඇති ඉපැරණි පිළිමයක සියුම් කඩතොල්ලක් ලෙස හද රිදවයි. අතීතේ දුක් බර කවි, පුදබිමේ යක්ෂයන් හා පියා විදා එන ලෙස කරන ඇමතුම් ඇහැට ඇඟිල්ලෙන් අනින සංඥාවන් ය.

******

ඉහත ලියූ සියල්ලට ම හේතු වන එක් කවියක් නිරාෂ ගේ පොතේ කවි අතර වෙයි. එය සිංහල කවියෙහි මා හට දුලබ ව හමු වූ වර්ගයකට අයත් කවියකි. අනිවාර්යය හෙවත් දන්නා දේ ගැන කවි ලිවීම පහසු ය. නොදන්නා දේ ගැන කවියක් ලියැවෙන්නේ පරිකල්පන ශක්තිය සාමාන්‍යයේ සීමා වැට පැන්නාට පසුව ය. ඉන් පසු වළන් මැට්ටෙන් රන් අබරණ තැනීමට වුව හැකි ය.

ලියොනාර්දෝ ද වින්චි ගේ පුරුෂ සරාගය ගැන ලියැවෙන 'පුංචි යක් පැටියා කියූ කතාවක්' කවිය භූමි සළකුණු කවියක් ලෙස සැළකීමට මම කැමැත්තෙමි. එනයින් පුරුෂ සරාගය ප්‍රස්තුත කරගත් කවි නොලියැවුන බවක් නොකි‍යැවේ. නමුත්, නිරාෂ ට මේ කවිය ලිවීමට නිදහස සැපයූ සංදර්භය කුමක් ද යන්න සිතූ විට පමණක් විෂමාර්ථීය අවකාශය පිළිබඳ අදහස මතු විය.

ලංකාවේ මේ කවිය ලිවිය හැකිද? වෙනෙකක් තබා වෙසඟනක උවැසියක් කරවා ඇය ගේ කර අඹන, ඇය හිඟන්නෙකු, පුලන්නෙකු, කවියා නම් මහා කාරුණිකයා ගේ අනුකම්පාවට යටත් 'අඩු පුරවැසියෙකු'  බවට එකී ස්වයංපෝෂිත ගැහැණිය පත් කිරීමේ හෙජමොනික ක්‍රියාවලිය මගින් මානවවාදී කවිය නම් ව්‍යාජ ෂොනරය උපදියි.

වමතින් රැගෙන පින්සල- පද්ද පද්දා සුරුවමට
නොමරා මරනවා ඔබ මා..[පුංචි යක් පැටියා කියූ කතාවක්]

මේ නම් කවියා සතු ප්‍රගල්භ භාවයයි. එය නැති කල්හි නිසඳැස්ව ලියවෙන කොළඹ කවි අහු වෙයි.  අනුන් වෙත පුදන අනුකම්පාවෙන් තමා වෙත ආරෝපණය කරගන්නා උතුම් බවක් එහි නැත. ඉහත කවියේදී නිරාෂ ට ද 'නෝ මෑන්ස් ලෑන්ඩ්' එකක් හසු වී ඇත. මංජුල ට ද හසු වන්නේ එබඳුම 'නෝ මෑන්ස් ලෑන්ඩ්' එකකි. ඔහු එහි බය නැතිව සැරිසරයි. කියවන විට ඇඟ කිළිපොලන කවි ලියයි.

'ගල් ගහල ගිය දාට දෙන්නෑ
ඒ හින්දා මං ඒවා බොන්නෑ
ජින් ගහල ගිය දාට දන්නෑ
වැඩ දම දාන කල් යන්නෑ' [සනී නම් වූ ආධ්‍යාත්මික උපස්ථායකයා]

මේ කවි විසින් මායා හෙටරොටෝපියාව මගින් කාව්‍යාවකාශයේ මායාව බිඳ ලයි. එ නිසා ඒවා මායා විෂමාර්ථීය අවකාශ වලට දෙස් දෙයි. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන බව නිව්ටෝනීයව ඉගෙන ගන්නා නමුත් ප්‍රතිබිම්බ දූර ඇති වන්නේ දර්පණය මත ඇති රේඛා පරිකල්පනීයව පසුපසට දික් කිරීමෙනි. ඒ ව්‍යාජ දුර පිළිබඳ මායාව විදාරණය වන්නේ ආලෝකය තරංගයක් පමණක් නොව අංශුවක්ද වන බව පමණක් නොව විවර්තන සිදුරු මගින් ආලෝකය නොසිතන තරම් විවර්තනය වන බව ද දැනගත් පසු ය. තවදුරටත් නිව්ටෝනිය යුතෝපියාවේ එල්ලී සිටිම වෙනුවට වෙනත් අවකාශයක් සොයා යන මෙන් කරන ඇණවුම එමගින් සැපයේ.

*******

දැන් කවියාට දෙවැනි සාපය වැදිය යුතු ය [මුල්ම සාපය මහගම සේකර ලියා දැක්වූයේ 'මොහු කවියෙකු වේවා' යනුවෙනි]. මොහු වෙනස් කවියෙකු වේවා..! යනු ඒ සාපයයි. නිරාෂ ට එබඳු සාපයක් කළ යුතු යැයි මට සිතේ.

අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ගේ පාපය මය. ප්‍රොමිතියස් ට වඩා භයානක පාප ශෝධක ක්‍රියාවක ඔහු නිරත විය යුතු ය. ඒ සිසිපස් ලෙස ගල් ගෙඩියක් කඳු මුදුනකට තල්ලුකරගෙන යාමයි. ඔහු කවි ලිවීම නම් සිසිපස් ක්‍රියාවේ යෙදෙන්නේ සිය වේදනාවන්ගෙන් මුක්තියක් තිබිය යුතු නිසා ය. ඒ සඳහා ඔවුන්ගේ පාප ශෝධනාගාරය වෙන්නේ කවියයි. කවිය නිසා කවියා නැවත පාපියෙකු වන්නේ කවිය චාරිත්‍රමය හෙටරොටෝපියාවක් ලෙස විෂමාර්ථීයව ක්‍රියා කරන නිසා ය. හෙටත් මේ ගල තල්ලුකරගෙන යා යුතු ය. එරික් ගේ කවි හා මංජුලගේ කවි අපට ආස්වාදයක් වන්නේ මේ ගල් ගෙඩිය විවිධ කැටයම් දමමින් ඉහළට තල්ලු කරගෙන යනු දැකීමෙනි.

නිරාෂ ද දැන් ගල් ගෙඩියක් තල්ලු කරගෙන යයි. ඔහු අතින් හෙටරොටෝපියාවේ තථ්‍ය අවකාශ පුළුල් වෙනු ඇතැයි මට සිතේ. මෙට්‍රිසයේ නිර්මිතයක් වෙන 'නියෝ' මෙට්‍රිසය ඩීකෝඩ් කිරීම නම් විප්ලවකාරී ක්‍රියාවේ නිරත වෙයි. එලෙසම නෙබුචැඩ්නෙසාර් යානය බඳු විගමනික අවකාශයක් විසින් සපයන නිදහසක් නිසා මායාමය - තථ්‍ය අවකාශයක කවි පබැඳිමේ අවස්ථාව නිරාෂ සතු ය. ඔහුගේ පුංචි යක්පැටියා කියු කතාව, උදෑසන කවිය, මධුරී මේ මායාමය - තථ්‍ය අවකාශයට ඔහු ආගන්තුක නොවෙන බවට මට ඇති සහතිකයයි.

වයරය දෙසවනින් පන්නා
ඔරවා බලන බැල්මකි.. [උදෑසන කවිය]

වේයන්ගොඩින් කෝච්චියට නගින මට එහෙම අය දැන් දැන් හමුවේ. මට ප්‍රශ්නයක් ඇති නොවේ. කවියන්ගේ හෙටරොටෝපියාවට ගොස් එහි ඇති යුතෝපීය ලොවෙහි වල්මත් වී පසුව කොටුව ඉස්ටේසමෙන් මෙලෝ පැමිණිය හැකිය.

මේ හැර වෙනත් පර්යාවලෝකයන් ද බොහෝ විය හැකිය.☐

හෂිත අබේවර්දන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.