JDS Sinhala

ලසන්ත: 'සිංහ ධජය ලෙළදෙන වන්නියෙහි හමුදා කඳවුරු වැසි වසිනු ඇත'

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණය පැවැත්වෙන අද දවසට,  'සන්ඩේ ලීඩර්' ප්‍රාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දමා හය වසරක් සම්පූර්ණ වේ.  2009 ජනවාරි අට වැනිදා මහ දවාලේ රත්මලාන බේකරිය හන්දියේදී වටකොට වෙඩි තබා ලසන්ත මරා දමද්දී ආණ්ඩු කළ පිරිස්, අද දෙකට බෙදී නැවතත් රටේ බලය ඉල්ලා සිටිති. තමන් මරා දැමීමට පෙර 2009 ජනවාරි හතර වැනිදා ලසන්ත විසින් අවසන් වරට ලියා පලකළ කතුවැකියේ නිර්දය විවේචනයට ලක් වන්නේ බලයට පත්වීම සඳහා ගොරතර දෙමළ විරෝධී යුද්ධය තොරොම්බල් කරමින් සිංහල ඡන්ද රවටා ගන්නා මහින්ද රාජපක්‍ෂගේත්, දෙමළ අයිතිවාසිකම් හා යුද විනාශය මග හරිමින් ඉන්නා විපක්‍ෂයේත් දේශපාලනයයි. කිලිනොච්චිය අල්ලා ගැනීමේ උන්මාදයෙන් සමස්ත කොළඹ පත්තර ගොන්නම ඇළලී ගිය මොහොතක, එළඹෙන අඳුරු වකවානුව ගැන කල්තබා ලියා තැබූ ලසන්තගේ වචන, විස්මයජනක දූරදර්ශී  බවක් ප්‍රකට කරයි. මරා දැමුණු ලසන්තට හෝ සංහාරයට ගොදුරු වූ හා එයින් ගැලවුණු දෙමළ ජනයාට හෝ යුක්තිය ඉටු වී නැති සමයක මේ කතුවැකිය පළමු වරට සිංහල බසට පෙරළා පල කිරීම වැදගත් වේ යැයි අපි විශ්වාස කරමු.

පරිවර්තනය: ඉන්දික ගමගේ - සේයා රුව: කල්ප රාජපක්‍ෂ


ජාතියක අවසන් ඔල්වරසන

යුද්ධය ජය ගැනීම? ඉන් හඟවන්නේ ළඟ ළඟ ම ඡන්දයක් එන බව ය. මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ ජයග්‍රහණයේ සූප වට්ටෝරුව වී ඇත්තේ යුද්ධය බව රහසක් නොවේ. එහෙත් පුදුමයට කරුණ වන්නේ ජයග්‍රහණය නම් වෙඩිල්ලක දුරින් ඇති දෙයකැ'යි හැම වතාවකදීම ශ්‍රී ලාංකික ජනතාවට - අඩුම වශයෙන් සිංහල බෞද්ධ ඡන්දදායකයාට - ඒත්තු ගැන්වීමට ඔහුට තිබෙන හැකියාවයි.

අවුරුද්දකට රුපියල් බිලියන 200ක වියදමින්ද, දහස් ගණනක ජීවිත හා අතපය නැති කිරීමෙන්ද අනතුරුව, කිලිනොච්චිය මතු නොව, සකල උතුරම ජයගත් බව, 2009 වසර තුළ දී ඉන්තේරුවෙන්ම කියාපාන්නට රජයට හැකිවනු ඇත. කොටි සංවිධානයේ ඉතිරි කේඩර්වරුන් 4,000ගේ ජීවිත සුන්කරලන්නට දමන බෝම්බ වෙනුවෙන් අප විසින් වියදම් කිරීමට නියමිත රුපියල් බිලියන 200න් කාරිය කෙරෙනු ඇත. ජීවිත සම්බන්ධයෙන් ගත් කල, පාර්ලිමේන්තු පාපිස්න මත වන ගල් පුවරු උඩ, ඇති තරම් ඉඩ ඉතිරිවී තිබේ. අතපය සම්බන්ධයෙන් කිවහොත්, සන්නද්ධ සේනා සෙබළුන්ට පැන පැන යාමට උපකාරී වන කකුල් ගලා නාවොත්, ජායිපූරයට කුමක් වේද?

යුද්ධය ජයගැනීමෙන් පසු, නැගෙනහිර සිදුවූවාක් මෙන්ම උතුරද වාඩිලා ගත් භූමියක් බවට පෙරළනු ඇතැයි යන්න අනුල්ලංඝනීය සත්‍යයකි. කිව්වා නාහන දෙමළුනට මොනයම් හෝ විකාර අදහසක් පහළ වීම වළක්වනු වස්, ඒ භූමි භාගය වසා පැතිර යන සේ හමුදා කඳවුරු වැසි වසිනු ඇති අතර සිංහ ධජය වන්නි සුළඟෙහි ලෙළදීමට නියමිත ය. විනීතයන් නොව, භූමිය උරුම කර ගනු ඇත්තේ ඩග්ලස් දෙවානන්දා ය.  සියල්ල අවසානයේ, ලෝක ආහාර වැඩසටහන බෙලෙක් තැටියක ලා බෙදා දෙන දිවා ආහාරය බුදිනු වස් ඔවුනොවුන්ට අයත් අනාථ කඳවුරු ඉදිරිපිට යටත් කළවුන්ගේ විනීත පෝළිම් සැකසෙනු ඇත.

තවත් මැතිවරණයක් මුවවිට තිබියදී, යුද ජයග්‍රහණ සහ නොකඩවා ලැබෙන ජය පිලිබඳ පොරොන්දු වැල නොකැඩී එනු නියත ය. කිසිදු වාසියක් අත් නොහරින මහින්ද රාජපක්‍ෂ ඉකුත් සතියේ ජනතාවට චූල අය වැයක් පුද කළේ සව් කරදහියේ එතූ අවුරුදු තෑග්ගක් විලසිනි.

ගෑස් මිල සැලකිය යුතු අයුරින් පහත හෙලුවත්, ආණ්ඩුව ඩීසල් ලීටරයක මිල අඩු කළේ රුපියල් දහයකිනි. පැට්‍රෝල් මිල, නොවටිනා රුපියල් දෙකකිනි. එමගින් කැරුනේ පැට්‍රෝල් මිල රුපියල් විස්සකින් අඩු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිරණය දුන් නියෝගයට කොකා පෙන්වීමකි.

එපමණකින් නොනැවතී, නවසිය හැත්තෑ ගණන්වල අඳුරුම දවස් දිසාවට පියවරක් තබමින් කැබිනට්ටුව තීන්දු කළේ මාසයකට ලීටර හැත්තෑ පහක සීමාවකට යටත්ව ත්‍රී රෝද රථ සඳහා ලීටරයකට රුපියල් දහ අටක මාසික සලාක පත්‍රයක් ලබාදීමටයි. ව්‍යවස්ථානුකූලව සමානයන්ව සිටියදී, වැඩියෙන් ගෙවන්නට සිදුවන මෝටර් රථ හා යතුරු පැදි හිමියන් මේ අසාධාරණ මිල ව්‍යුහයයට එරෙහිව හනි හනික අධිකරණය හමුවට යන බව නිසැක ය. අන්තිම වශයෙන් ගත් කල, ඒ ඔක්කොම වැසියෝ ය. සමස්තයක් වශයෙන් මේ ජනවාරිය අධිකරණයට කාර්ය බහුල වකවානුවක් වනු ඇත.

මැතිවරණයක් හමුවේ ඡන්දදායකයා රැවටීම සඳහා රාජපක්‍ෂ ගන්නාවූ උත්සාහයේ වඩාත් අපහාසාත්මක කාරණය සේ හැඟෙන්නේ තම සිංහල බෞද්ධ අනුගාමිකයන්ගේ ලෝලය ඇති සැටියෙන්ම භාර ගන්නා තරමයි. ජනාධිපති විසින් තමන්ගේම පිරිවර ගර්හා කොට දකිනු ලැබීම තරම් තවත් දෙයක් 'සිංහලයා මෝඩයා' යන්න වඩාත් හොඳින් මුර්තිමත් කරන්නේ නැත. එයම ඔවුන් ඔහු වටා රොද බඳින්නට හේතු වෙයි. නොනැවතී පෙලට දෙමළුන් සමූල ඝාතනය කරන්නේ නම්, තවත් ජයග්‍රහණය කරා ළඟාවීමට රාජපක්ෂට තිබෙන බාධා අල්ප වේ.

ප්‍රශ්නයට බොහෝ දුරට හේතුවී තිබෙන්නේ තරබාරු හා කම්මැලිව සිටින විපක්ෂයේ උදාසීන බව හා ඔලමොල කම බව සත්‍යයකි. කරු ජයසුරියගේ පිල් මාරුව එක්සත් ජාතික පක්ෂය තුළ විරෝධයක ගිනිදල්ලක් දල්වා ලූවද, එහි ආයු කාලය ඉතා කෙටි විය. සිය පැරණි මහ ගෙදරට පෙරලා පැමිණි ජයසුරිය ප්‍රසිද්ධිය මග හරිමින්, කවරාකාර හෝ මතභේදාත්මක කටයුත්තක් වේවා එය යහමින් මග හැර ඉන්නා බවක් දිස්වේ.

කණගාටුවට කරුණ නම්, රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසුරිය දෙදෙනාම අපේ කාලයේ වැදගත් කරුණු ගැන රටට දැනෙන ආකාරයෙන් දැනුම් දීමට අසමත් වී සිටීමයි. පක්‍ෂයක් ලෙසින් තමන් යුද්ධයට සහාය දක්වන්නේද නැද්ද, සහාය දක්වන්නේ නම්, උදාහරණයක් ලෙස ගත්හොත්, උතුරේ 'කොටි ගුහා' ලෙස ලේබල් ගසනු ලබන දෙමළ ගම්මාන වලට ගුවනින් බෝම්බ දැමීමේ වත්මන් පිළිවෙත අනුමත කරන්නේද නැතිද යන්න ගැන එක්සත් ජාතික පක්ෂය තවමත් තීරණයක් ගෙන නැත.

යුද්ධයට විරුද්ධ බව කියන අතරම, යුද හමුදාව කිලිනොච්චිය හෝ පරන්තන් හෝ අල්ලා ගත් විට සුබ පැතීම කවර ලෙසින් ගත්තත්, සදාචාරාත්මක ලෙසින්ද, බුද්ධිමය ලෙසින්ද වංචනික ය. දකුණේ 'කොටි තිප්පොල' වලට - නිදසුනක් ලෙස වැල්ලවත්ත යැයි කියමු - බියකින් සැකයකින් තොරව බෝම්බ දමන්නට රජය කිසිසේත් යන්නේ නැත. ඒ, වටාපිටාවේ සිදුවන හානිය පිළිබඳ බිය නිසා ය. එහෙත්, ඈත පිටිසර වන්නි පළාතේ ගම්බිම් වලට එයාකාරයෙන් නිරන්තරයෙන් බෝම්බ දමනු ලබන්නේ සාමාන්‍ය ජනතාවට මහත් සේ හානි පමුණුවමිනි.

ආණ්ඩුවටත්, දෙමළ දේශපාලන පක්ෂ වලටත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ඕනෑම දේශපාලන විසඳුමකට සහාය දෙන බවට බුහුටි ලෙසින් පොරොන්දු වී ඇතත්, එජාපය තව දුරටත් තමන්ගේම වූ දෘෂ්ටියක පිහිටා සිටින බවක් පෙනෙන්නට නැත. කොයි තරම් ප්‍රකෝපකාරී සේ පෙනී ගියත්, එජාපය විසින් කළ යුතු වන්නේ තමන් යුක්ති සහගත බව පිළිගන්නා විසඳුමක් ප්‍රකාශයට පත් කිරීමයි. ඒ අඩුම වශයෙන් මහජන මතය දැන ගැනීම පිණිස ය. රීරි උන්මාදයෙන් පිරි උඩඟුවෙන් පිම්බී සිටින රාජපක්ෂලා, එල්ටීටීඊයත්, එහි නායකත්වයත් විනාශ කර දැමීමෙන් ඔබ්බට කල්පනා කිරීමට අපොහොසත්ව සිටියත්, හෙටින් මතු දවස ගැන සිතා බැලීම අපට යෝග්‍ය වෙයි. මේ ජන ඝාතනයෙන් දිවි ගලවා ගන්නා දෙමළ ජනතාවගේ අභිලාෂය අර්ථාන්විතව සපුරා ලීමට අප අසමත් වෙතොත්, දවාල පසුපසින් රැය එන්නා සේම, අදින් පරම්පරා ගණනකින් අනතුරුව හෝ ඉතිහාසය පුනරුච්චාරණය වන බව සහතික ය. යුද්ධය නිම කරනු වස් ගලා ගියා ලේ දහරා සහ පුදන ලද බිලි නිෂ්ඵල වනු ඇත.

රාජපක්ෂගේ ගෞරවයට හේතු වන එක් කාරණයක් වන්නේ, එජාපය  මෙන් නො ඉඳ ජාත්‍යන්තර ප්‍රජාව ට අභියෝග කරන්නට තරම් හයියක් ඔහු සතු වීමයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් එජාපය තරම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල වැනි අන්තර්ජාතික ණය දෙන ආයතන කෙරේ යටහත් පහත් කම් දැක්වූයේ නැත. එමෙන්ම, බටහිර තානාපති ප්‍රජාව මේ සා බලයක් ඉසිලූ යුගයක්ද නැත. අද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙදර යවා ඇති අතර, ගරා වැටෙන ලෝක වෙළෙඳ පලක් හමුවේ සිය රැකියා රැක ගැනීමට උත්සුක වන ලෝක බැංකු හා  ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයෝ බැසිල් රාජපක්ෂගේ ඉඳුල් කන්නන් බවට පත්වී සිටිති. එපමණක් නොවේ, යටගිය දවස රාජ්‍ය තාන්ත්‍රික රජුන් තනන්නන් වී සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ එක්සත් ජනපද තානාපතිවරයා බැන අඬ ගසා නීච ගැත්තන් බවට පත් කොට ඇති අතර සහෝදර පාලනයට රැචි නොවන රාජ්‍ය නොවන සංවිධාන පිටමං කර දමා තිබේ.

වෙනස් මතයක් ජනතාවට ගෙන හැර දැක්වීමට ඉතිරි වී සිටින්නෝ කවුරුද? ජනමාධ්‍ය අතරින් බොහොමයක් මිලට ගැනීමෙන් හෝ රැවටීමෙන් හා තර්ජනයෙන් හෝ නිහඬ කොට තිබේ. දුසිම් ගණනක් මාධ්‍යවේදීන් මරු දැක ඇති අතර තවත් අය නඩු නැතිව මාස ගණන් සිරබත් කති. විද්‍යුත් මාධ්‍ය කටයුතු කරන්නේ ආණ්ඩුව රිසි ලෙසින් හැසිරුනේ නැතිනම් බලපත්‍ර අහිමි කැරෙනු ඇත යන නිරන්තර භීතියෙනි. සැබවින්ම සිදුවී ඇත්තේ ඒවා වග විභාගයකින් තොරවම වසා දැමූ තත්ත්වයට පත් කිරීමයි. අලුතින් බලපත්‍ර දෙනු ලබන්නේ ආණ්ඩුවේ ජාතිවාදී මතයට අනුගත වන ව්‍යාපාරික ප්‍රජාවේ කොටස් වලට පමණි. තමන් සතු කොන්ටිනෙන්ටල් හෝටලය නොවටිනා වැඩි මුදලකට ආණ්ඩුවට විකිණීමට උත්සාහ කරමින් කැමැත්තෙන්ම ආණ්ඩුවේ ගැත්තකු බව මෑතදී එළිපිට කියා පෑ නහිල් විජේසුරිය එවැන්නෙකි.

විපක්ෂය වකුටු ගැසී සිටියදී ආණ්ඩුවට බරපතලම අභියෝගයක් වී ඇත්තේ දේශපාලන ප්‍රතිවිපාක නොතකා යුක්තිය ඉෂ්ට කිරීමේ ශක්තියෙන් යුතු (ඔවුන්ට ප්‍රශංසා වේවා!) ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන්ය. ප්‍රට්‍රෝල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කිරීමට ඔවුන් තීන්දු කිරීමත් සමගම ආණ්ඩුව වක්‍රාකාරයෙන් ඇඟවූයේ යුද ව්‍යායාමය කඩාකප්පල් කිරීමට ද්‍රෝහීන් උත්සාහ කරන බව ය. පුදුමයට කරුණ නම්, රජයට ලැබිය යුතු ආදායම් තවත් අඩු කරමින් ආණ්ඩුවම දැන් ඩීසල් හා ගෑස් මිල අඩු කිරීමයි. එසේ නම්, ද්‍රෝහීකම ඇත්තේ කොහිද? දැන් ද්‍රෝහියෝ කවරහුද? 

සිංහලයා යනු සැබවින්ම මෝඩයෙක්ය යන දැනුමෙන් රාජපක්‍ෂ පරිපාලනය සෑහීමකට පත්ව සිටියි. මන්ද, ජනයා නිවටයන් සේ ඡන්ද ප්‍රකාශ කරන තාක් කල් ඔවුනට තමන් පත් කරගත් ආණ්ඩුව ඉවසා දරා සිටින්නට සිදුවන හෙයිනි. රාජපක්‍ෂ තන්ත්‍රය ආණ්ඩුව තුළට වද්දාගෙන තිබෙන නොමනා පාලනය සහ දුෂණය හේතුකොට ගෙන ජනතාවට විඳින්නට වී තිබෙන අනෙක විධ දුක් කම්කටොලු තිබියදීත්, උතුරට බෝම්බ ගැසීම නතර නොවන තාක් කල්, සිංහල බෞද්ධ බහුතරය ජනාධිපති වරයා ඉල්ලා සිටින වරම ලහි ලහියේ ලබා දෙනු ඇත යන්න සාවද්‍ය කතාවක් නොවේ.

තම ජනතාවගේ මානසික තත්ත්වය දෙස ජනාධිපතිවරයා අවඥාවෙන් බැලීම පිළිබඳ තවත් උදාහරණයක් වන්නේ, සිය ගණනක් අමාත්‍යවරුනට දීමට සැරසුණු රුපියල් ලක්‍ෂයේ නිවාස දීමනාව රුපියල් පනස් දහස දක්වා අඩු කිරීමට මහත් මහජන බලපෑමක් ඇති වන තුරු හිඳීමයි. සිදු කළ යුතුව තිබූ අර්ථාන්විත ක්‍රියාව වන්නේ මහජන මුදල් කාබාසිනියා කරන ලේ කූඩැල්ලන් වී සිටින ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමයි. තමන්ගේ බිලියන හතක ප්‍රතිපාදනයෙන් සොච්චම් 15% ක් කපා හැරියත්, චන්ද්‍රිකා කුමාරණතුංග 2005 දී භාර දී යනවිට තිබු ප්‍රමාණය මුලින්ම 500% කින් වැඩි කර ගත බව රාජපක්ෂ සඳහන් නොකරයි. සිය ගණනක සහපිරිවරින් සිදුකෙරෙන අධි වියදම් විදේශ සවාරි මේ ජනාධිපති මමංකාරය මහත් සේ පෝෂණය කරන අතර එය අඩු කරන කිසිදු සළකුණක් හෝ පෙනෙන්නට නැත.

එසේ හෙයින්, ජනතාවගේ නාඩි අල්ලාගෙන සිටින මේ ජනාධිපති ඔහුගේ පුර්වගාමීන් කිසිවකුටත් කළ නොහැකි වූ ලෙසින් ජයග්‍රහණය උදා කර ගැනීම සඳහා ඕනෑ කරන එක දෙයක් හඳුනාගෙන තිබේ. ඒ වනාහී, ඔහුගේ දැක්මට අනුව, ජනයා මරි මෝඩ රැළක් බවයි. ඇත්තෙන්ම කිවහොත්, එය එසේම දැයි අපිදු ඇතැම් විටෙක කල්පනා කරන්නෙමු.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.