JDS Sinhala

එච්.ඒ: අරගලකාරී හැට වසක දේශපාලන චරිතාපදානයක්

හේවාපතිරණගේ ඇල්ෆ්‍රඩ් සෙ‍නෙවිරත්න හෙවත් 'එච්.ඒ.‍‍‘ සැප්තැම්බර් 21 වැනිදා අසූ තුන් වසක් දිගු සමාජ යුක්තිකාමයෙන් ඇවිළුණු විඩාපත් දිවි ගමන නිමා කළේය.

වෘත්තීය සමිති සහ වාමාංශික ක්‍රියාධරයකු වශයෙන්ද, සාහිත්‍යධරයකු, පත්‍රකලාවේදියකු හා ලේඛකයකු වශයෙන්ද, කම්කරු අයිතීන් වෙනුවෙන් කැප වී ක්‍රියාකළ නීතීඥයකු වශයෙන්ද ප්‍රකටව සිටි එච්.ඒ. සිය පිළිවෙත්ගරුක පැවතුම්, නොනිමි දිවිගැහැට මැද මරණය තෙක්ම සුරැකි දුලබ මිනිස් කුලකයට අයත්වූවෙක් විය.

සිය අවසාන සමයේදී, කටුනායක කුඩා නිවසක රෝගාතුරව හිඳිමින්ම ස්වකීය අතීත සටන්කාමී දිවිපවත් ජේඩීඑස් හා ඕනෑකමින් බෙදාගත් එච්.ඒ. තුළ පැරණි සම්මුති රහිත, සප්‍රතිපත්තික සටන්කාමී මිනිසා හොඳින් ජීවමානව සිටියේය. ඔත්පලව සිටියදීත් සිය වර්ණවත් අතීත දිවිය අනුරාගයෙන් ස්මරණය කළ එච්.ඒ.එම ලිපිය පළකෙරෙන මොහොත වනවිට තිර ලෙසම නික්ම ගොසිනි.

මේ මොහාතේ ගැඹුරු සංවේගයෙන හා පශ්චාත්තාපයෙන් අප පෙළන්නේ ඒ ශෝකී පුවතයි.

සටහන සහ සේයා රූ: ඉශංඛා සිංහාරච්චි


ජීවිතයේ නොතිත් දුක් ගැහැට හා දුක් කම්කටොලු පැමිණිය ද, පීඩිත මිනිස් සමූහයාගේ දුක්ඛිත ඉරණමට එරෙහිව සමාජ යුක්තියට පක්ෂපාතීව තමන් පිහිටා සිටි මූලධර්මයන් අචල ජීවන දහමක් කරගන්නට අදිටනක් ඇත්තෝ සුළුතර මිනිස් කොට්ඨාශයකට අයත්වූවෝ වෙති. තමන් අනුයන ප්‍රතිපත්තීන්ට පක්‍ෂව නොසැලී 83 වසක් පසුකොට සිය දිවියේ සැඳෑ සමයට එළඹි හේවාපතිරණගේ ඇල්ප්‍රඩ් සෙනෙවිරත්න නොහොත් එච්.ඒ සෙනෙවිරත්න එවැනි අදීන ලේඛකයෙකි; මාක්ස්වාදය ගුරු කොටගත් කම්කරු හා දේශපාලන ක්‍රියාධරයෙකි; පීඩිත කම්කරුවන්ට යුක්තිය හා ගරුත්වය දිනා දීමට සටන්කළ නීතිඥයෙකි. දශක හයක් පුරා ද්වි භාෂික ලේඛකයෙකු ලෙස ඔහු ලියා පළ කළ සාහිත්‍ය අස්වැන්න කෘති පනහකට වැඩිය. නවකතා, කෙටිකතා, කවි, ශාස්ත්‍රීය හා පර්යේෂණ, දේශපාලන, පරිවර්තන හා ළමා සාහිත්‍ය නිර්මාණ ඒ අතර වේ.

මාතර අකුරැස්සේ සිට වරාය හා සම්බන්ධ සිය ව්‍යාපාරික කටයුතුවල පහසුව තකා කොළඹට සංක්‍රමණය වූ හේවාපතිරණගේ ඩේවිඩ් සෙනෙවිරත්න, එච්. ඒ.ගේ පියා ය. තිඹිරිගස්යාය හා කැලණියේ තාවකාලික පදිංචියෙන් පසු නුගේගොඩ ඔවුන්ගේ නිවහන බවට පත් විණි. ‘50 දශකයේ දී සාහිත්‍ය කලාකරුවන්ට තෝතැන්නක් වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු වූ එච්.ඒ. සිංහල බස හා සාහිත්‍යය කෙරෙහි දැඩිව ආසක්ත වූවකු විය. ඔහු හා එක පංතියේ උගත් ජනප්‍රිය සිනමා නළුවකු වූ රොබින් ප්‍රනාන්දු ඇසුර එච්.ඒ. බොක්සිං ක්‍රීඩාව වෙත ද යොමු කරන්නට හේතු වුණි.

පේරාදෙණිය සරසවියට පිවිසීම එච්.ඒ. ගේ සාහිත්‍යකරණයේ හැරුම් ලක්ෂයක් සළකුණු කළේය. පේරාදෙණිය සාහිත්‍ය ගුරුකුලයේ තීව්‍ර බලපෑම පැතිර පැවති වකවානුවක් වූ ඒ සමයේ එච්. ඒ.ගේ සාහිත්‍ය කලා ප්‍රවේශය ඉන් වෙනස් මගක් ගත් එකකි.

"අපි වටා පැවතුණු යථාර්ථයෙන් මුළුමණින්ම වියෝවුණු මනෝ ලෝකය පොදු ජනයාගෙන් දුරස්ථ බවයි මම කල්පනා කළේ. සාහිත්‍යයෙන් දේශපාලනය ඉවත් කිරීමට තියෙන නැඹුරුව මම අනුමත කරන්නේ නැහැ. ලාභ සටන් පාඨවලින් තොර සාහිත්‍යය තුළින් මනුෂ්‍ය සම්බන්ධතාවලින් ප්‍රකාශිත සංකීර්ණ දේශපාලන යථාර්ථයන් පිළිබිඹු කළ යුතු බවයි මට හැඟුණ‍ෙ`“යි එච්.ඒ. කියයි.

සරසවි අධ්‍යාපනය හමාරවීමෙන් පසු ගුරු වෘත්තියට පිවිසෙන එච්. ඒ. දේවහුව, මකුළුගස්වැව මහා විද්‍යාලයට පිටත්ව යන්නේ උපාධිධාරී ගුරුවරයකු ලෙස ය. දුෂ්කර වනගත පෙදෙසක්ව පැවති මකුළුගස්වැව, එදිනෙදා ජීවන අරගලය විසින් පරිපීඩිත ගැමියෝ එච්.ඒ.ගේ ලෝක දැක්මත්, ජීවන පරිචයත් පුළුල් කරන්නට බැලපෑහ. අගනාගරික තරුණයකුවූ එච්.ඒ. ට මකුළුගස්වැව ගත කළ කාලය පීඩිත මිනිස් දිවිය පිළිබඳ ගැඹුරු පාඩම් උගැන්වූ කාලයක් විය.

පෙරළා කොළඹ ආ එච්.ඒ. සහන නිවේදකයන් ඉල්ලා ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් පළකර තිබූ දැන්වීමකට අයදුම්පතක් යොමු කළේය. සම්මුඛ පරීක්ෂණයට ඔහු කැඳවනු ලැබුණි. ඔහු, මකුළුගස්වැව මහා විද්‍යාලයේ ගුරු වෘත්තියට සමු දෙමින් 1963 දී සහන සංස්කාරකවරයෙකු ලෙසින් ගුවන් විදුලියට එක් වුයේ ඒ අනුව ය.

“ගුවන් විදුලියට එකතුවීමත් එක්ක, සුනිල් සාන්ත, මහගම සේකර, කරුණාරත්න අබේසේකර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, මඩවල එස්.රත්නායක, සුනන්ද මහේන්ද්‍ර, තිලක සුදර්මන් ද සිල්වා, තේවිස් ගුරුගේ, අමරබන්දු රූපසිංහ වැනි සාහිත්‍ය කලා හා මාධ්‍ය ලෝකයේ දැවැන්තයන්ගේ ඇසුරට අවස්ථාව පෑදීම, මගේ නිර්මාණ දිවියට විශාල බලපෑමක් ඇති කළා“යි ඔහු කියයි.

‘නිද්‍රා ගීතය‘ නම් කෙටිකතා සංග්‍රහය එච්.ඒ අතින් නිර්මාණය වන්නේ 1966 වසරේදී ඒ ගුවන් විදුලි දිවිය අතරතුරදී ය. 1970 දී ඔහු විසින් එළි දක්වන ලද, ගම්බද පීඩිත තරුණ තරුණියන්ගේ ජීවන ඛේදවාචකය පසුබිම් කරගත් ‘පවන් සලන ලෙස කුසගිනි නිවේවා‘ නවකතාව 71 දී පුපුරා ගිය තරුණ කැරැල්ලට පෙර ලියැවුණු පූර්විකාවක් බඳු විය.

ගුවන් විදුලි සටන

70 දශකය එළඹෙන්නට මත්තෙන් එච්.ඒ.ගේ දිවියේ වැදගත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් විය. ඒ, වෘත්තීය සමිති දේශපාලනය කරා ඔහු‍ගේ ආගමනයයි. අගමැති ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව යටතේ ගුවන් විදුලි සංස්ථා සභාපති ධූරයට පත් නෙවිල් ජයවීරගේ දරදඬු පාලනයට එරෙහිව ගුවන් විදුලි ඉතිහාසයේ පළමුවරට වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුලිකත්වය ගන්නා ලද්දේ එච්.ඒ. විසිනි. නව වෘත්තීය සමිතියේ සභාපතිධූරයට එච්.ඒ. පත් වූ අතර ජනප්‍රිය ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ සිරිල් රාජපක්‍ෂ එහි ලේකම්වරයා විය. එවකට ප්‍රමුඛතම වෘත්තීය සමිතිය ලෙස සැළකුණු බාලා තම්පෝ ගේ නායකත්වයෙන් යුත් ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ අනුබද්ධ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක කෙරුණු නව ගුවන් විදුලි සේවක සංගමය 1969 අග දී සංකේත වර්ජනයක් දියත් කළේ සභාපතිවරයාගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ය. අතිශයින් සාර්ථක සංකේත වර්ජනයෙන් කුපිතවූ බලධාරීහු ක්‍රියාකාරී ගුවන් විදුලි සේවකයන් 28 දෙනෙකු වැඩ තහනමට ලක් කළහ.

ගුවන් විදුලියේ දී එච්.ඒ. සමග සමීපව ක්‍රියාකළ ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි දශක ගණනාවකට පසු තම මිතුරා ගැනත්, ගුවන් විදුලි වෘත්තීය සටන් දිවිය ගැන මතකාවර්ජනයක යෙදෙන්නේ සොම්නසිනි.

“ඇත්තටම ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ සාර්ථක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තමයි මේ සංකේත වර්ජනය. සියයට අසුවක් විතර සේවක සේවිකාවෝ මීට දායක වුණා. මම එතකොට ගුවන් විදුලියට බැඳිලා පරිවාස කාලයක හිටියේ. ඒත් වෘත්තීය සමිතියේ උද්යෝගිමත් සාමාජිකයෙක් විදිහට වැඩ කළා. මාව, එච්.ඒ, සිරිල් සහ අමරබන්දු එක්කම අස් කළා. 28 දෙනෙකුගේ වැඩ තහනම් කළා. එයින් බොහෝ දෙනෙක් ගුවන් විදුලියේ වාදක මණ්ඩලේ අය. ඊට පස්සේ තමයි ‘70 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට එනකම්ම වර්ජනය දිග් ගැස්සුනේ,“ ජයසිරි ආවර්ජනය කරයි.

සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ හවුලේ හැදූ සමගි පෙරමුණ 1970 මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වන තුරු සිව් මසක් පුරා ගුවන් විදුලි සටන දිග්ගැසුණේය. දශක කිහිපයක සිදුවීම් මැද යටපත්ව ගිය අතීත මතකය ජයසිරි අවදි කරන්නේ කඩින්-කඩ ආයාසයෙනි.

“වර්ජනයත් යනවා දිගටම. කෑම පැයේදී අපි හැමදාම පිකටින් කරනවා. සීයක් විතර වර්ජනයේ දිගටම හිටියා. ජාතික තලයේ ජනාදරයට පත් වෙලා හිටපු අයගෙන් සුගතපාල ද සිල්වා විතරක් ඇවිත් කෙළින්ම සටනට සහයෝගය දුන්නා. එතකොට තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර වගේ අය ගුවන් විදුලියට සම්බන්ධ වුණ අලුත. ඒ වෙලාවේ වර්ජනයට එක්වුණේ නැතත් පසුව ඒ දෙන්නා වෘත්තිය සමිතියේ ඉහලම වගකීම් අරන් ඒක ඉස්සරහට ගෙනියන්න වැඩ කළා. එදා වෘත්තීය සටනේ ක්‍රියාකාරී හැමෝටම වගේ CMU එකේ සාමාජික අරමුදලෙන් දවසකට රුපියල් දහය ගානේ ගෙව්වා. සටන තවත් ඉදිරියට ගෙන යන්න අරමුදලක් හදා ගන්න කියලා වික්ටෝරියා පාක් එකේ එළිමහන් රංග පීඨයේ අපි සංගීත සංදර්ශනයක් පැවැත්තුවා. ඒකට කේමදාස මාස්ටර්ගේ සහයෝගයත් එක්ක ලංකාවේ ගායක ගායිකාවන්ගේ සියයට අසුවක් විතර ආවා.“

ජයසිරි කියන ආකාරයට ගුවන් විදුලි සේවක සටන ජයග්‍රාහීව අවසන් වන්නේ සේවයෙන් නෙරපා හරින ලද හා වැඩ තහනමට ලක්වුවන් යළි සේවයේ පිටුවීමට සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රවෘත්ති හා ගුවන්විදුලි ඇමැති ආර්.ඇස්. පෙරේරා විසින් පියවර ගැනීමත් සමග ය.

“දුන්න දුනුගමුවේ“ නාට්‍යය සුගතපාල ද සිල්වා අතින් නිර්මාණය වන්නේද මෙම වැඩවර්ජනය පදනම් කරගෙන වීම විශේෂයකි.

CMU වෘත්තීය සංගමයට අමතරව බාලා තම්පෝ විසින් නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මණ්ඩලයේ ලංකා ශාඛාව වූ විප්ලවීය මාක්ස්වාදී පක්‍ෂයේ (RMP) වෛද්‍යවරයෙකු වූ සරවන භගවාන්ගේ (බැගී) සහ තම්පෝගේ දේශපාලන පංති වලට සහභාගීවීමේ අවස්ථාව එච්.ඒ. හා ජයසිරි ඇතුළු ගුවන් විදුලි සමිති කණ්ඩායමට ලැබුණේ සංස්ථාවේ සේවක වර්ජනය විසින් ඇතිකරන ලද දේශපාලන පරිසරය හේතුවෙනි. ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ පුවත්පත වූ “ආරම්භය“ පසුකාලීනව විජයානන්ද ජයවීර, ඩබිලිව්.ජයසිරි, තිලක් ජයරත්න හා එච්.ඒ සෙනෙවිරත්න ඇතුළු එම කණ්ඩායමේ නොමසුරු දායකත්වයෙන් ප්‍රකාශයට පත්කිරීමට පසුබිම සකස්වූයේ ඒ අනුව ය.

සොල්දාදු උන්නැහැ හා පරණ සොල්දාදුවා

CMU නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ලෙස පුර්ණකාලීනව වෘත්තීය සමිති ව්‍යාපාරයට එක්වන ලෙස බාලා තම්පෝ කළ ඇරයුම පිළිගත් එච්.ඒ. සේවයෙන් නිදහස් කරන්නයි කළ ඉල්ලීම ගුවන් විදුලි බලධාරීන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දස වසක ගුවන් විදුලි සේවයට සමු දෙන්නට තීරණය කළේය. ගුවන් විදුලියේ සිටියදීම නීති විද්‍යාලයට ඇතුල් වූ ඔහු 1973 දී නීතිඥයෙකු ලෙස දිවුරුම්දීම ඔහු විසින් තෝරාගන්නා ලද වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට මනා පිටුවහලක් සැපයීය. ඔහුගේ සාහිත්‍ය කෘතියක් 1974දී පළමුවරට සම්මානයට පාත්‍ර වන්නේ මේ අතරේ ය. ඒ, ‘එක්තරා ප්‍රේම කතාවක්‘ නම් කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සම්මානයට පාත්‍රවීමෙනි. පසුකලක ධර්මසේන පතිරාජ විසින් ‘සොල්දාදු උන්නැහේ‘ සිනමා පටය නිර්මාණය කරන ලද්දේ, එච්.ඒ.ගේ එම කෙටිකතා සංග්‍රහයට ‘පරණ සොල්දාදුවා‘ මැයෙන් ඇතුළත්ව තිබූ කෙටිකතාව පාදක කරගනිමිනි.

ඒ පිළිබඳ එච්.ඒ.ගේ මතකයට වඩා ජයසිරිගේ මතකය නිරවුල් එකකි.

“සිනමා තිරරචනයක් ලියන්න කියලා පතී එච්.ඒ ට කිව්වා. ඒ පිටපත සිනමාවට ගැලපෙන විදිහට මම යි - පතියි එකතුවෙලා යම් යම් සංස්කරණ කළා. නමුත් ඒකට එච්.ඒ ගේ වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. පරණ සොල්දාදුවා නම අපි සිනමාවට ගැලපෙන අයුරින් ‘සොල්දාදු උන්නැහැ‘ කියලා වෙනස් කළා. ඒකටත් එයා කැමති වුණේ නැහැ. තිරරචනය විදිහට එච්.ඒ.ගෙත්, පති සහ මගේ නමත් චිත්‍රපටයේ නාමාවලියට දැම්මා. සොල්දාදු උන්නැහැ ප්‍රීමියර් එක දවසේ එච්.ඒ ඇවිත් පත්‍රිකා බෙදලා ඒකට විරෝධය දක්වපු හැටි මට තවමත් මතකයි,“ ජයසිරි සිනහ නගමින් කියයි.

ජනතා පරමාධිපත්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය කේන්ද්‍ර කරගත් ‘පරණ සොල්දාදුවා‘ කෙටි කතාව මත පදනම් වූ ‘සොල්දාදු උන්නැහැ‘ සිනමාපටය වෙනුවෙන් 1982දී කතෝලික සිනමා පර්ෂදය විසින් සංවිධානය කෙරෙන ඕ.සී.අයි.සී සිනමා උළෙලේ හොඳම කතා තේමාවට හිමි සම්මානය එච්.ඒ. සෙනෙවිරත්නට පිරිනැමුණු අතර හොඳම අධ්‍යක්ෂණය හා සංස්කරණයටද සම්මානද චිත්‍රපටයට හිමිවිය. එම වසරේම ජනාධිපති සම්මාන උළෙලේ දී හොඳම තිර රචනය, අධ්‍යක්ෂණය සහ කළු සුදු ජායාරූපකරණය ද දිනාගත් ‘සොල්දාදු උන්නැහේ‘, 1990 දී කතෝලික සිනමා පර්ෂදය විසින් දශකයේ හොදම සිනමා පටය තේරීමේදී සම සම්මානයෙන්ද පිදුම් ලැබීය.

අප්‍රේල් නැගිටීම හා පසුකතා

1971 කැරලිකරුන්ට එරෙහිව චෝදනා විභාග කිරීමට සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටවූ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ දී කැරලිකරුවන්ට නීතිමය සහාය ලබා දීමත්, සිරගතකර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමත් සඳහා වෘත්තීය සමිති ලෙස ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමයත්, ලංකා ගුරු සංගමයත් ඉදිරිපත් වූහ. බාලා තම්පෝ, ප්‍රින්ස් ගුණසේකර වැනි නීතිවේදීන් සමග දකුණේ දේශපාලන සිරකරුවන්ගේ අයිතිීන් වෙනුවෙන් වැඩ කිරීමේ අවස්ථාව නවක නීතිඥයෙකු වූ එච්.ඒ ට ලැබුණේ ඒ අනුව ය.

71 කැරැල්ල කාලයේ වුණ සිදුවීමක් අනුව මම ලියපු ‘පැමිණිල්ල‘ කියන කෘතිය, මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් බලහත්කාරයෙන් ස්ත්‍රියකට ලිංගික අතවර කිරීම ගැන පසුබිම් කරගත් ඒ ස්ත්‍රියගේ කතාවයි“ එච්.ඒ. ආවර්ජනය කරයි.

එවකට පැවති සමාජ ආර්ථික දේශපාලනය විදහා පාන ‘යහපත් හාමිගේ පාපොච්චාරණය‘ සහ ‘පෙම් කළ නොහැකි ගැහැණිය‘ යන එච්.ඒ. ගේ නිර්මාණයන් ද 71 කැරැල්ලට පසු සමයේ උසාවිවලින් ඇසුණු පීඩිත මිනිස් දුක් දොම්නස් පිළිබඳ කතාන්දර පදනම් කරත් ඒවා ය.

කැළණි ජන්ද සටන

‘ධනපති පාලනය පෙරලා දමා කම්කරුවන්ට හා නිර්ධනීන්ට බලය ලබා දීමේ නැවුම් පාලනයක්‘ වෙනුවෙන් 1977 මහ මැතිවරණයට විප්ලවීය මාක්ස්වාදී පක්‍ෂය (RMP) හා CMU වෙනුවෙන් දෙදෙනා බැගින් අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් කරන්නට තීරණය කෙරුණි. CMU වෙනුවෙන් කැලණියට එච්.ඒ. සෙනෙවිරත්නත්, උතුරු කොළඹට වර්නන් විජේසිංහත් තරඟ කළ අතර RMP නියෝජනය කරමින් උපාලි කුරේ දෙහිවලටත්, ටී.එන්.පෙරේරා කැස්බෑවටත් තරඟ වැදුණාහ.

බලගතු වාමාංශික කඳවුරු පවා බිඳ වැටුණු 77 මැතිවරණයේදී එච්.ඒ. ඇතුළු කණ්ඩායම පරාජය වූයේ පුදුම වීමට ඉඩක් නොතබමිනි. කැළණියෙන් එච්.ඒ. ට ලැබී තිබුණේ ජන්ද 162 කි. කෙසේවුවද, ඊට වඩා ජන්ද සංඛ්‍යාවක් ඔවුන් විසින් අපේක්‍ෂා කරන ලද්දේ මැතිවරණය ආසන්නයේ හුණුපිටිය පොහොර සංස්ථාවේ අනියම් කම්කරුවන් 500 ක් දෙනා සේවයෙන් නෙරපා දැමීමට එරෙහිව ගෙනගිය වර්ජනයේ දර දිය ඇද්දේ CMU සමිතිය නිසා ය.

අනෙක් අතින්, සිරගතව සිටී විජේවීර බැලීමට ගිය උපාලි කුරේට ‘ආරම්භය‘ CMU පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ජාවක් ලබා දී තිබූ ජවිපෙ නායක රෝහණ විජේවීර ධනේශ්වර විරෝධී එක්සත් පෙරමුණක් ගොඩනැගීම සඳහා වූ විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ අදහස අනුමත කරමින් සහාය දක්වා අදහස් පළකර තිබුණි. ඒ අනුව ජවිපෙ සාමාජිකත්වය CMU-RMP වෙත යම් ජන්ද ප්‍රමාණයක් ලබාදෙනු ඇතැයි ද විශ්වාසයක් එච්.ඒ. ඇතුළු කණ්ඩායම අතරේ පැවතුණි. එහෙත් වර්නන් විජේසිංහට උතුරු කොළඹින් 193 ක් ජන්ද ලැබුණු අතර උපාලි කුරේට දෙහිවලින් ජන්ද 802 ක් හිමිවිණි. කැස්බෑවට තරඟ වැදුණු ටී.එන්. පෙරේරාට ලැබී තිබුණේ ඡන්ද 298 කි.


මැතිවරණයෙන් හයෙන් පහක සුවිසල් ජයක් ලැබූ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් විසින් දියත් කෙරුණු ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ, විශේෂයෙන් වැල්ලවත්තේ ජීවත් වූ දෙමළ ජනයා රැකගැනීමට එච්.ඒ. ඇතුළු CMU-RMP ක්‍රියාධරයන් කැප වී ක්‍රියා කළේය. ඒ වෙනුවෙන් වැල්ලවත්තේ සෑම වීදියක්ම ආවරණය වන පරිදි කම්කරු කමිටු මගින් ආරක්ෂාව තර කෙරුණු බව එච්.ඒ. පවසන්නේ ආස්වාදයෙනි.

බාලා තම්පෝ ගේ නායකත්වයෙන් යුත් CMU සහ RMP 1977 සිට 1980 දක්වා කාලයේදී කම්කරු සටන් හා දේශපාලන පෙරමුණුවල ඉදිරියෙන් සිටීමට සමත් විය

රෝහණ විජේවීර සහ ජ.වි.පෙ සමග ඒ වකවානුවේදී CMU-RMP ට පැවතියේ සමීප සම්බන්ධයකි. ඒ නිසාම 1977 විජේවීර සිරගෙදරින් නිදහස් වී අවුත් දින කිහිපයක්ම රාත්‍රිය ගතකරන ලද්දේ CMU මුලස්ථානයේ ය. ඔහුගේ පළමු පුවත්පත් සාකච්ඡාව කැඳවුයේද එහි ය. මතවාදී වෙනස් කම් පැවතිය ද එච්.ඒ. හා විජේවීර අතර දේශපාලන කතා බහක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙසින් ධනේශ්වර විරෝධී පෙරමුණක් ගොඩ නැගීමට යම් එකඟතාවක් ඇති වුවද, සමගි පෙරමුණු ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයන් වූ කොමියුනිස්ට් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්ෂය සමග එක්ව ක්‍රියා කිරීමට ජ.වි.පෙ එකඟ නොවිණි. කෙසේවුවද, වාමාංශික පක්‍ෂ පහේ රැස්වීමක් කොළඹ හයිඩ් පිටියේත්, දෙවැන්න නුවර බෝගම්බර පිටියේදීත් පැවැත්වුණු අතර, එතැනින් එහාට රැස්වීම සංවිධානය නොවුණු මුත් ජ.වි.පෙ තනිවම රට වටා යන්නට පටන්ගෙන තිබුණි.

එච්.ඒ. සිය ලේඛන කාර්ය අඛණ්ඩව පවත්වා ගනිමින් 1977 දී ‘සමාජවාදය සිහිනයක් ද‘ සහ 1980 දී ‘අවස්ථාවාදයෙන් ඔබ්බට දේශපාලනය‘ නමින් කෘති දෙකක් එළි දැක්වුයේ වෘත්තීය සමිති හා දේශපාලන ක්ෂේත්‍රයේ දී ඔහු ලැබූ අත්දැකීම් පදනම් කරගනිමිනි.

CMU-RMP ආරවුල

1980 ජූලි සමස්ත මහා වැඩවර්ජනයට CMU සහාය ලබා නොදීමට තම්පෝ එළඹී තීරණය වැරදි බව විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය තුළ බහුතර පිරිසකගේ මතය විය. එහෙත් ශක්තිමත්ව සිටින ජේ.ආර් ගේ ආණ්ඩුවට එරෙහිව සමස්ත මහා වැඩ වර්ජනයකට යාම හදිසි වැඩි බවට වූ තම්පෝගේ මතය වෙනස් කරන්නට ඔවුනට නොහැකි විය. RMP- CMU ගැටුම ගැන, විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාධරයෙකුව සිටි, ජුලි වර්ජනයෙන් පසු වසර 15 ක් රැකියාව අහිමිව දිවි ගෙවූ, විල්ෆ්‍රඩ් සිල්වාගේ මතකය පැහැදිලි එකකි. `

“මේ ගැන යෝජනාවක් ගෙනාවේ 1981 මාර්තු මාසේ කැඳවූ විශේෂ පක්‍ෂ සම්මේලනයටයි. එතැනදී තම්පෝ සහෝදරයා වර්ජනයට එක්නොවී සිටීමට ගත් ස්ථාවරය වැරදි බවට බහුතරය පිළිගත්තා. ඊට පස්සේ කැඳවූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තම්පෝ සහෝදරයාගේ පාර්ශවය ලිඛිතව දැනුම් දුන්නා එයාල එන්නේ නැහැ කියලා. CMU මුලස්ථානේ තිබුණු RMP කාර්යාලයට ඔවුන් අගුල් දැම්මා. අපි තාවකාලිකව මෝදර තැනකට ගියත් දිගටම CMU යුනියන් වැඩ කළා“යි ඔහු කියයි.

එසේ වැඩ කරගෙන යාම පසුව දුෂ්කර වුයෙන් උපාලි කුරේ, ටී.එන්.පෙරේරා, ඇන්ටන් මාකස්, කේ.ආර්.ප්‍රනාන්දු, විල්ප්‍රඩ් සිල්වා, ආතර් ප්‍රනාන්දු, කේ.එච්.පෙරේරා, පී.කේ.සෝමපාල හා රෙඩ්ලි සිල්වා ඇතුළු කණ්ඩාමක් විසින් RMP වෘත්තීය අංශය ලෙස කාර්මික ප්‍රවාහන හා පොදු සේවක සංගමය (ITGWU) පිහිටුවා ගත්හ. වෘත්තීය සංගමයේ ප්‍රමුඛත්වය ගෙන පුර්ණ කාලීනව ක්‍රියා කළේ ඇන්ටන් මාකස් සහ ආතර් ප්‍රනාන්දු ය.

“උපාලි කුරේලා එක්ක එළියට බැහැලා නොගියාට, පස්සේ මමත් CMU එකෙන් අයින් වෙලා ඒගොල්ලෝ එක්ක වැඩ කළා,`` පක්ෂයේත්, වෘත්තීය සංගමයේත් පුවත්පත් සම්පාදන වගකීමට අමතරව කම්කරු ආරවුල් වෙනුවෙන් නීති සහාය ලබා දීම ද තමන් අතින් වූ බව ඒ ගැන විමසීමේදී එච්.ඒ සිය මතකය අවදි කරයි.

RMP යේ ප්‍රකාශන “ඉදිරිමග“ සහ “වෙනස“ නමින් පළ වූ අතර ITGWU පුවත්පත “ප්‍රතිරාවය“ නමින් පළ කෙරුණි. එහි සැළකිය යුතු කාර්යභාරයක් එච්.ඒ. විසින් ඉටු කළේය.


කම්කරු සටන්

1982 වසරේදී බහුතර ස්ත්‍රී කම්කරුවන්ගෙන් සමන්විත ජා-ඇළ පොලිටෙක්ස් ගාමන්ට් වැඩ වර්ජනය අරඹන ලද්දේ CMU යටතේ වුවද, පැවති මත ගැටුම් හමුවේ එය කාර්මික ප්‍රවාහන හා පොදු සේවක සංගමයේ ධජය යටතට ඉක්මණින් පත් විය. විධායක ජනාධිපති තෝරාගැනීමේ පළමු මැතිවරණ සමයේ මසක කාලයක් ඇදුනු පොලිටෙක්ස් කම්කරු සටන මාධ්‍යයේ සමිති ශාඛාවේ ලේකම්වරිය ලීලා ෆර්ඩිනැන්ඩස් පොලිස් අත්අඩංගුවට ගත්තද සටන ජයග්‍රහනයකින් හමාර කෙරිණි.

පොලිටෙක්ස් ආයතනයට අමතරව ජා ඇළ-ඒකල නයිසෝල්, යුනියන් කාබයිඩ්, ඇස්බැස්ටෝස්, කපුවත්ත මිල්ස්, ත්‍රිපෝෂ, යුනියන් ලේස්, ඒකල රබර් කම්හලේ සහ රත්මලානේ ඉරානී ෆැක්ටරිවල CMU සතුව තිබු වෘත්තීය සමිති බලය ඉක්මණින් ITGWU අතට පත් වුයේ RMP-CMU ගැටුම තව දුරටත් තීව්‍ර කරමිනි.

මේ අතර කටුනායක වෙළඳ කලාපය ආරම්භයේදී පැවති වෘත්තීය සමිති තහනම මැද වෙනත් ප්‍රවේශයකින් කම්කරු අයිතීන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව කුමුදුනි රෝසා යටතේ ස්ත්‍රී මධ්‍යස්ථානයත්, ඉන් පසුව එච්.පී සමන්මලී යටතේ ඩාබිඳු සාමුහිකයත් ගොඩනැගෙන්නේ ද විප්ලවීය මාක්ස්වාදී පක්‍ෂයේ මැදිහත්වීමෙනි.

1983 ජුලි සංහාරයට වගකිව යුතු බවට ව්‍යාජ චෝදනා නගමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, නව සම සමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට ජයවර්ධන ආණ්ඩුව එළඹී තීරණය තමන් කරා ද පැමිණිය හැකි බවට සැකයක් RMP නායකත්වයට තිබිණි. එහෙත් වෘත්තීය අංශය ලෙස දියත් කරන ලද සමිති ක්‍රියාකාරකම් එච්.ඒ. , ඇන්ටන් මාකස්, ආතර් ප්‍රනාන්දු සහ ලීලා ෆර්ඩිනන්ඩ්ස් ගේ මැදිහත්වීමෙන් ඉදිරියටම ගෙන යනු ලැබිණි. නමුත් සංගමයේ බලය ක්‍රමානුකූලව ඇන්ටන් මාකස් අතට පත්වූයේ ඉතාම කෙටි කාලයක් ඇතුළතය. එහි ප්‍රතිඵලයක් ලෙස එච්,ඒ. සහ ආතර් ප්‍රනාන්දු එයින් ඉවත්ව ගියෝය.

ආතර් ප්‍රනාන්දු ඒ ගැන මෙසේ කියයි:

RMP උපාලි කුරේලා වැඩ කළේ විදේශ අරමුදල් එක්ක. එයාලා වෙන ගමනක් යන බවයි අපිට හැඟුණේ. මේ නිසා එච්.ඒ. සහෝදරයාත්, අපිත් පක්ෂෙන් වෙන්වෙලා ITGWU එකේ කම්කරුවෝ එක්ක වැඩ කළා. එහෙම වැඩ කරමින් ඉන්න කොට තමයි සංගමේ ව්‍යවස්ථාවට පටහැනිව ඇන්ටන් මාකස් සංගමයේ බලය අල්ලා ගත්තේ. ස්ත්‍රී මධ්‍යස්ථානයේ බලයත් පද්මිණි වීරසුරිය අතට පත්වුණා. ඊට පස්සේ අපි එච්.ඒ. සහෝදරයගෙ නායකත්වයෙන් කම්කරු සහයෝගිතා සංවිධානය හදාගෙන එයාර් ලංකා කම්කරුවන් වෙනුවෙන් අවුරුදු 18 ක් විතර නඩු කියලා වන්දි අරන් දුන්නා. ටෙරී ලංකා, ග්ලෝබල් ලංකා, කොරියා සිලෝන්, යුනියන් කාබයිඩ් වැනි කම්හල්වල කම්කරුවන්ටත් අපි වන්දි අරන් දුන්නා. 83 ජූලියේදී කපුවත්තේ `ස්ටාර් ටොෆි` ෆැක්ටරියට ගිනි තිබ්බාම රැකියා අහිමිවූ කම්කරුවන්ට උදව් කරන්න මැදිහත්වුණෙත් අපියි.“

රාජ්‍ය භීෂණය හමුවේ

88-89 භීම සමයේ මරා දැමු සහ පැහැරගෙන ගොස් අතුරුදහන් කළ දකුණේ තරුණ-තරුණියන් ගැන නීතිමය පියවර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සහ ආයතනයන්ට වාර්තා සැකසීමේදීත් එච්.ඒ.ගේ දායකත්වය නිබඳව ලැබුණි. කටුනායක වෙළඳ කලාප කම්කරුවන් වූ එම්.ලයනල්, එච්.එම්.රංජිත් සහ තවත් කිහිපදෙනෙකු පැහැර ගොස් මරා දැමීමට අදාළ වාර්තා සැකසීමට අමතරව තරුණ කම්කරුවන් මර්දනයට එරෙහිව අත්සන් ව්‍යාපාරයකට ද එච්.ඒ සිය දායකත්වය ලබාදුන්නේය. ඒ භීම සමයේ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය වෙනුවෙන් ලංකාවට මැදිහත් වූ ඉන්ග්රිඩ් මසාජේ සමග සමීපව කටයුතු කළ ඔහු, රටේ අතුරුදන් කිරීම්, පැහැරගෙන යාම්, ටයර් මත පුළුස්සා දැමීම්, නීති විරෝධී රඳවා තබා ගැනීම් පිළිබඳව තොරතුරු අඛණ්ඩව වාර්තා කළේය.

මරා දැමුණු ලයනල් හා රංජිත්ගේ ආදරණියන්ට යම් සාධාරණත්වයක් දිනා දෙන්නට එච්.ඒ.ගේ මැදිහත්වීම අගයන ඔහුගේ දේශපාලන සගයා වූ ආතර් ප්‍රනාන්දුට RMP නායකත්වය කෙරෙහි අදත් ඇත්තේ බරපතල විවේචනයකි.

“භීෂණ කාලෙදී RMP පක්ෂෙ නායකයෝ ගොඩ දෙනෙක් එංගලන්තෙට ගියා. මෙහෙ හිටපු නායකයෝ පක්ෂෙ මුද්‍රණාලය, ගෙවල්, තවත් බිල්ඩින් එහෙම අත්පත් කරගත්තා. ඝාතනය කරපු ලයනල්ගේ බිරිඳට නම් යම් සාධාරණයක් ඉටු වුණත්, රන්ජිත්ව නීතීයෙන් කසාද බැඳලා හිටියේ නැහැ කියන හේතුව මත ජයන්ති දන්දෙනියට ආධාර මුදලක් දෙන්නවත් මෙහෙ RMP නායකයෝ කැමති වුනේ නැහැ. කසාද නොබැන්දත් එයා රංජිත් එක්ක එකට ජීවත්වුණ පෙම්වතිය නිසා ඒ ගැන සලකන්න කියලා එච්.ඒ . සහෝදරයා කිව්වත්, අනිත් අය ඒකට යුක්තියක් ඉටුකළේ නැහැ.“

පත්‍රකලාවේදීයකු හා ලේඛකයකු ලෙස එච්.ඒ.ගේ භූමිකාව මේ සියළු දේශපාලන කුණාටු මැද පවත්වාගෙන යාමට එච්.ඒ. සමත් විය.

70 දශකයේ අග ඉඳන්, 80 දශකයේ අග දක්වාම සිනමා, සාහිත්‍ය හා දේශපාලන විචාරකයෙකු විදියට මර්වින් ද සිල්වා ගේ සංස්කරණයෙන් පළකළ ``ලංකා ගාඩියන්`` සඟරාවට මම ලිපි සම්පාදනය කළා. නමුත්, මර්වින් ද සිල්වාගෙන් පස්සේ එහි සංස්කාරක කටයුතුවලට එයාගේ පුතා වුණ දයාන් ජයතිලක මැදිහත්වීමත් සමග මම සඟරාවට ලිපි සම්පාදනය අත්හැරියා. රාජ්‍යයට සම්බන්ධ එයාගේ දේශපාලන මතයන් එක්ක මට ඒ කටයුත්ත කරන්න හැකියාවක් තිබුණේ නැහැ“යි එච්.ඒ. කියයි.

‘ලේ වැකි දෑතින් සම්මාන එපා‘

එච්.ඒ. විසින් වසර 12 කට පෙර ලියා, ප්‍රකාශකයෙකු නොමැතිව පසෙකට දමා තිබු ‘පරාභවය‘ නවකතාව, සහෝදර ලේඛකයෙකු වූ කුලසේන ෆොන්සේකා විසින් ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අතරවාර‍යේ ය. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ආන්දෝලනයකට තුඩු දෙමින්, 1991 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම නවකතාව ලෙස තේරුණේ මෙම කෘතියයි. නමුත්, එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව ගෙන ගිය රාජ්‍ය ත්‍රස්තවාදය මගින් තරුණ තරුණියන් හැට දහසකට වැඩි ගණනක් මරා දමා, තවත් තරුණ තරුණියන් දහස් ගණනක් රැඳවුම් කඳවුරුවලට ගාල් කර තිබූ තත්ත්වයක් තුළ රාජ්‍ය සම්මානය පිළිගැනීම එච්.ඒ.ගේ මූලධාර්මික ස්ථාවරයන්ට පටහැනි එකක් විය. ඒ වනාහී, 1990 පෙබරවාරියේදී පැහැරගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙක් හා රංගන ශිල්පියකු වූ රිචඩ් ද සොයිසාගේ මව -වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු- ගේ මූලිකත්වයෙන් දකුණේ අතුරුදහන් කළවුන්ගේ මව්වරුන් එක්ව ‘මව් පෙරමුණ‘ ගොඩ නගා සිය දරුවන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ සමයකි. සාපරාධී රාජ්‍යයක දේශපාලන ප්‍රධානීන් අතින් සම්මාන ලබා ගැනීමට එච්.ඒ. හැකියාවක් ‍නොතිබුණි.

‘ලේ තැවුරුණු දෑත් වලින් දෙන සම්මාන මම කිසිසේත් භාර නොගනිමි‘ යි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ එච්.ඒ. සෙනෙවිරත්න පීඩිත වින්දිතයන්ගේ පැත්ත ගනිමින් රාජ්‍ය සම්මානය ප්‍රතික්ෂේප කළේය.

ප්‍රේමදාස ආණ්ඩුවේ නිල හා නොනිල ඔත්තු සේවා එච්.ඒ. පසුපස හඹා එන්නට වූයේ එම ස්ථාවරය හේතුවෙනි. වරෙක ඔහු ජීවත්වූ කුලී නිවස වටලා සෝදිසි කළද ඔහු බිය වැද්දීමට නොහැකි වුයෙන් ඔහු නම්මා ගැනීම පිණිස රජයේ නිවසක් ලබා දීමේ යෝජනාවක් එච්.ඒ. වෙත රැගෙන එනු ලැබුණි. නමුත් එය ප්‍රතික්ෂේප එච්.ඒ. සිය දුෂ්කර ජීවන අරගලයට පසුනොබා මුහුණ දුන්නේය.

එච්.ඒ. ගේ උපදේශකත්වයෙන් කටුනායක වෙළඳ කලාපය පදනම් කරගෙන ‘නිදහස් කාන්තා සන්ධානය‘ බිහිවෙන්නේ 1991දීය. එහි ප්‍රධාන ලේකම්වරිය වන්නේ කලක් සෙඩෙක් ආයතනයේ වැඩ කළ ඩිලානි ඩයස් ය. ඊට අමතරව ස්ත්‍රී මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ අසාධාරණයට ලක්ව ඔවුන්ට එරෙහිව නඩු මගට බැස සිටී හේමා මාතරගේ, චන්ද්‍රානි දඩල්ලගේ, චන්ද්‍රා මල්ලවආරච්චි යන ප්‍රධාන පෙලේ ස්ත්‍රී ක්‍රියාකාරිනියෝ ද ඊට හවුල් වූහ.

චන්ද්‍රානි දඩල්ලගේ කටුනායක ඇට්ලස් ග්ලවුස් ආයතයෙන් නෙරපා හළ පසු ස්ත්‍රී මධ්‍යස්ථානයට එක් වී එහි ලලනා පදනම නමින් පත්වාගෙන ගිය මුද්‍රණාලයේ කම්කරුවෙකු ලෙස සේවය කළාය. ඇතැම් ගැටලුකාරී කරුණු ගැන ස්ත්‍රී මධ්‍යස්ථානයේ ඉහල පෙළේ නායකත්වය ප්‍රශ්න කිරීම හේතුවෙන් අසත්‍ය චෝදනා යටතේ ඉන් ඉවත් කිරීමට එරෙහිව ඇය නීති සහාය ලැබුවේ එච්.ඒ. ගෙනි.

“අනෙක් ගොඩක් දෙනාට වගේම මගේ නඩුව කතා කරන්න එච්.ඒ. සහෝදරයා සත පහක්වත් ගත්තේ නැහැ“යි ඇය කෘතිවේදීව කියන්නීය.

“ඇල්පිටියේ ඉඳන් මම එයාලගේ පාමංකඩ කුලී ගෙදරට එන්නේ බස් එකට විතරක් සල්ලි හොයාගෙන. මාව කම්කරු උසාවියට එක්කගෙන ගිහින් නඩුවටත් පෙනී හිටලා, කන්න බොන්න සහ නවාතැනුත් දීලා මග වියදමට කීයක් හරි දෙන තරමට ඒ සහෝදරයා කරුණාවන්ත වුණා. නමුත් අන්තිමේදී, කොහොම හරි මට ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් වන්දියක් ලබා ගන්න පුළුවන් වුණා. වන්දි දෙන්න ආවේ අපිත් එක්කම වැඩ කරපු සහෝදරියක්. පස්සේ කාලෙක මට ආරංචි වුණා එයාටත් එතැනින් අසාධාරණයක් වෙලා නඩු කියලා ඒ විදියටම වන්දි ගත්තා කියලා.``

තම්පෝගෙන් යළිත් ඇරයුමක්

2007 වසරේදී දිනෙක එච්.ඒ. ජීවත් වූ කුලී නිවසට පැමිණි බාලා තම්පෝ නැවතත් CMU නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ධුරය බාරගෙන වැඩ කරන්නැයි ඉල්ලා සිටියේය. තම්පෝ හා පැවති දේශපාලන සමීපකම මත පෙරළා සමිතියේ වගකීම භාරගැනීමට එච්.ඒ. එකඟවූයේ තමන් සමග සිටී කම්කරුවන් පිරිසක් ද CMU සාමාජිකත්වය ගැනීමට යොමු කරමිනි. එහෙත් එතරම් කලක් නිදහසේ වැඩ කරගෙන යාමට එච්.ඒ.ට ඉඩ ප්‍රස්තා නොලැබුණේ වියපත් බාලා තම්පෝ ගිලන් වීම හේතුවෙනි. 2013 තම්පෝ ගේ මරණයෙන් පසු CMU හි ඇති වූ වෙනස්කම් යටතේ තවදුරටත් වැඩ කිරීමේ මනාපයක් එච්.ඒ.ට නොවුයෙන් ඔහු නීති වෘත්තියට සහ සාහිත්‍යය නිර්මාණකරණයට වැඩි කාලයක් මිඩංගු කරන්නට තීරණය කළේය.


කලක් ගිලන්ව සිටීම නිසා පැමිණෙන ආර්ථික අමාරුකම් හමුවේ ජා-ඇළ, පාමංකඩ, නුගේගොඩ, කෝට්ටේ, රත්මලාන, නාවින්න, සීදුව, කටුනායක යනාදී වශයෙන් නොකඩවා මාරු කෙරුණු කුලී නිවෙස් ගණනාවක් අවසානයේ එච්.ඒ ට සහ ඔහුගේ බිරිඳ කාන්ති රත්නශීලි පෙරේරාට සෙවණක් සපයා‍දෙන්නට මැදිහත්වූයේ නිදහස් කාන්තා සන්ධානයේ ලේකම්වරිය වශයෙන් කලක් ක්‍රියාකළ ඩිලානි ඩයස් විසිනි. ඒ ඇය විසින් පවත්වාගෙන ගිය නේවාසිකාගාරයේ කුඩා ඇනෙක්සියක් ඔවුනට ලබාදීමෙනි.

එච්.ඒ.ගේ පරාර්ථ සාධන මෙහෙවරට ගෞරවයක් පිණිස කිසිදු අයකිරීමකින් තොරව නවාතැන් සැපයීමට ඇය තීරණය කරන ලද්දේ සිය ආර්ථික දුෂ්කරතා නොතකා හරිමිනි. තමන් කැප වී සටන් කළ නිදහස් වෙළඳ කලාපයේ පීඩිත කම්කරුවන් සමීපයේම ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමන්නට එච්.ඒ.ට ඉඩක් ලැබුණේ ඒ නිසාය.

“එච්.ඒ. මට දේශපාලන සහෝදරයෙක් විතරක් නෙවෙයි, මට තාත්තා කෙනෙක් වගේ“යැයි ඩිලානි ඩයස් කියයි.

“ඒ තරමටම මගේ ජිවිතයට ඒ සහෝදරයා දැනමුතුකම් කියලා දීලා තියෙනවා. ස්ත්‍රී නිදහස ගැන, කම්කරු අයිතීන් ගැන එයා ඒ කාලයේ අපිට අධ්‍යාපන පංති කළා. ඒ, සහෝදරයා සමහර වෙලාවට සැර පරුෂ කෙනෙක් වගේ දැනුනත් ඉතාම කරුණාවන්ත හදවතක් එයාට තිබුණා. එයා ප්‍රතිපත්ති ගරුකයි; අවංකයි. සාමාන්‍ය කායික රෝගී තත්වයන් යටතේ ජීවත්වුණත් හිතින් හරි ශක්තිමත්. පරණ දේවල් කියමින් සතුටු සාමිචියේ ඉන්න හරිම කැමතියි. ලියන්නත් කැමතියි. ‘අපි හැමදාම වමේ දේශපාලනයේ‘ කියලා එච්.ඒ. සහෝදරයා අදත් කියන දෙයක්,“ යැයි ඇය සිහිපත් කරයි.

නමුත් එච්.ඒ. වැනි සෘජු මිනිසුගේ පිළිවෙත්ගරුක අරගලකාරී දිවි පවත් පිළිබඳව දන්නෝ කොතරම් අද වෙත්ද? දශකයෙන් දශකය අප හඹා විත් යුක්ති සහගත සමාජයක් පිළිබඳ අපගේ සියළු සුබ සිහින වටලා මැඩලන දේශපාලන  හා සදාචාර දිළිඳුභාවයේ රහස ඇත්තේ ඒ නොදැනුම තුළ යැයි මම සිතමි.

..............

"ඉදිරියට මොන මොන දේවල් සිදු වෙයි ද මේ නගරේ ?

1973 සැප්තැම්බරයේ චිලි රටේ සන්තියාගෝ නුවර වගේ වෙයිද ?

නැත්තං 1917 ඔක්තෝබරයේ රුසියාවේ පීටර්ස්බර්ග් නුවර වගේ වෙයිද ?

1959 ජනවාරියේ කියුබාවේ හවානා නගරය වගේ වෙයිද?

“අද සන්තියාගෝවක් උනත් හෙට කවදහරි සෙන්ට් පීටර්ස්බර්ගයක් හවානාවක් වෙන්න පුළුවන්, අවුරුදු සිය දහස් ගණනක් මහමෙර වගේ එක්රැස් වුණු මිනිස් දුක් කන්දරාව දෙදරවා යන ඒ මොහොත ආවම ........................"

- (එච්.ඒ. සෙනෙවිරත්න ලියූ 'සොහොන්පල්ලාගේ දියණිය' කෘතියෙනි).

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.