JDS Sinhala

යුද්ධයේ ලේ වැකි ඇත්ත: සිංහලට නැගෙන No Fire Zone

දේශයේ දේශපාලන භූමි තලය වෙනස් කිරීමේ හැකියාවකින් යුතු මැතිවරණයකට ශ්‍රී ලංකාව ලක ලැහැස්ති වෙමින් සිටියි. එහෙත් ඒ රට හමුවේ ඇති කේන්ද්‍රීය කරුණු වලට මුහුණ දීමේ  අසමත්කම විදහා පාමිනි. රටේ සියලු දෙනාටම යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර දීම පිළිබඳව සැලකිල්ලක් දක්වන සියල්ලන් දිවයිනේ උතුරු - නැගෙනහිර පළාත්වල සිදුවූ දේ සහ තවමත් සිදුවෙමින් පවත්නා දේ පිළිබඳ සත්‍යය දැනගැනීම අන් කවරදාකටත් වඩා අද වැදගත් වෙයි.

එහෙත්, ස්වාධීනත්වය බිඳ හෙලූ අධිකරණයක් හා දාසභාවයෙන් බියපත්වුනු - එසේත් නැතිනම්, ස්වාධීන වූ කල්හි තර්ජනයට හා බිය ගැන්වීමට ලක්වුණු - ජන මාධ්‍යයක් ඇති රටක අදාළ තොරතුරු රටේ ජනතාවගෙන් වසන් කර තබනු ලැබේ. විශේෂයෙන්ම එය සඟවනු ලබන්නේ  සිංහල බහුතර ජනතාව ගෙනි. ඒ වෙනුවට, ඔවුන් අතර ක්‍රමානුකූලව වර්ධනය වන නොමනාපයට තුඩු දෙන ලෙස, ඔවුනට කවනු ලබන්නේ බොදු බල සේනාව ඇතුළු ගමන් සගයන්ගේ පිටුබල ලබන - කඨෝර, ප්‍රචණ්ඩ හා ජාතිවාදී වූ - ආණ්ඩුවේ නිර්දය සාවද්‍ය ප්‍රචාරයන්ගේ ආහාර වේලයි.

බියපත් 'ඉන්ද්‍රඛීලය' හා අසමත් විපක්ෂය

ඒ නමුත්, වැදගත් යමක් සිදුවන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. කලක දී 'ඉන්ද්‍රඛීලයක්' සේ දිස්වූ රාජපක්‍ෂ තන්ත්‍රය බිය ගැන්වීමට ලක්ව සිටී. පාලක තන්ත්‍රය විසින් කියන හා කරන ලද මුසාවන් සහ දූෂණ ප්‍රශ්න කිරීමට පටන් ගන්නා ජනතාව තවත් දේ ප්‍රශ්න කිරීමටත් ඉඩ තිබේ.

යුද්ධය අවසානයේදී සිදුවූ දෑ සම්බන්ධ සත්‍යය හා යුක්තිය පිළිබඳ තීරණාත්මක ගැටළුත්, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ එදා පටන් අද දක්වා නො විසඳී පවතින දුක් ගැනවිලි වෙනුවෙන් අවංක දේශපාලන විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවත්, තම ප්‍රශ්න කිරීම් හරහා මතු කිරීමට විපක්ෂය මුළුමනින්ම අසමත් වීම මෙකී ජනතාවගේ ධෛර්යය පිණිස හේතු නොවනු ඇති බව සඳහන් කළ යුත්තේ කනගාටුවෙනි. කෙසේ වෙතත්, මේ වනාහී ජනතාව ප්‍රශ්න අසන සමයකි. ඒ නිසා, අප විසින් නිර්මාණය කළ සිනමා පටය - No Fire Zone (යුද මුක්ත කලාපය) - ශ්‍රී ලංකාවේ අලුත් ප්‍රේක්‍ෂක පිරිසක් හමුවට ගෙන ඒම අතිශයින් වැදගත් යයි අපි සිතමු.

JDS දායකත්වය

අලුත් තොරතුරුද ඇතුළත් වාර්තා සිනමා පටයේ සිංහල බසින් කළ පිටපතක් මේ වනවිට සංස්කරණය කරමින් සිටින බව මා දැනුම් දෙන්නේ ඉත සිතිනි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සිංහල බසින් දියත් කරන වෙබ් අඩවිය මගින් එය ප්‍රකාශයට පත් කරන්නට ලැබීම මගේ සතුටට හේතුවෙයි. ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය වෙනුවෙන්  නැගෙන ස්ථිරසාර, නිර්භය හා ස්වාධීන හඬක් වන JDS සංවිධානය එරටේ සිදුවන්නේ කුමක්දැයි ලෝකයට කියා දීමේදී ඉටු කොට ඇත්තේ තීරණාත්මක කාර්ය භාරයකි. පිටුවහල් වී ජීවත් වීමට බලකෙරුණු, රටේ සියලු ජාතීන්ට අයත් එම සංවිධානයේ මාධ්‍යවේදීන්, වැදගත් සාක්‍ෂි ගොනු කොට දීමෙන්ද, අත්‍යවශ්‍ය විශ්ලේෂණයන් සම්පාදනය මගින් ද අපේ කටයුතු වලට දැවැන්ත රුකුලක් දී තිබේ.

රජයේ හමුදා විසින් යුද්ධයේ අවසාන භාගයේදී සිදු කරන ලද භයානක අපරාධ පිලිබඳ සාක්‍ෂි සම්බන්ධයෙන් රාජපක්‍ෂ තන්ත්‍රය දක්වන ප්‍රවේශය කැටි කොට දක්වන සිදුවීමකට ඉකුත් නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන විට ශ්‍රී ලංකාවේ සිටි මම මුහුණ දුන්නෙමි.

චැනල් 4 'බොරු'

රාජපක්‍ෂ ලෝකයාට කියා පෑවේ මාධ්‍යවේදීන්ට රටේ ඕනෑම තැනකට නිදහසේ ගමන් කළ හැකි බවයි. එහෙත්, කලින් යුද කලාපයේ දෙමළ ජනයා අද ගත කරන ජීවිතය පිළිබඳ සොයා බැලීමට උත්සාහ කළ අවස්ථාවේදී, ආණ්ඩුවේ අනුග්‍රහයෙන්, ලහි ලහියේ සංවිධානය කෙරුණු සියගණනකගේ විරෝධතාවකින් අපේ දුම්රිය අනුරාධපුරයේදී බලහත්කාරයෙන් නවත්වා ලනු ලැබිණි.

ඔවුන් කෝපයෙන් කෑමොර දුන්නේ මමත්, චැනල් 4 මාධ්‍ය කණ්ඩායමත්, ශ්‍රී ලංකාව පිලිබඳ 'බොරු' ප්‍රචාරය කිරීම නවත්වන ලෙසයි. කිසිවකුත් ඇත්තෙන්ම චිත්‍රපටිය නරඹා ඇතිදැයි අප විමසු කල 'ඔව්' කී එක් අයකුවත් සිටියේ නැත.

තත්ත්වය දිගටම පවත්වාගෙන යාම වෙනුවෙන් කළ හැකි සියලු දේ රාජ්‍ය තන්ත්‍රය විසින් කරනු ඇති බව අපි දනිමු. ජනතාව මේ චිත්‍රපටියත් එහි දැක්වෙන අති ප්‍රබල සාක්‍ෂිත් දැක ගැනීම වැළැක්වීමට ඔවුන් දිගටම වෙර දරනු ඇති බව අපි දනිමු. ඔවුන් එසේ කරගෙන යද්දී, උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහි මර්දනයත්, ඉඩම් කොල්ලය ඇතුළු අනිකුත් ප්‍රහාරත් නොනවත්වා කරගෙන යනු ඇති බව අපි දනිමු.

චිත්‍රපටියේ අලුත්ම සංස්කරණය සිංහලෙන් නිකුත් කිරීමේ අපේ අපේක්ෂාව සත්‍යය හෙළිදරව් කරගැනීමේ ක්‍රියාදාමයට දායක වීම යි. එය යුක්තිය, සංහිඳියාව හා දේශපාලන විසඳුම් සොයා යාමේදී අත්‍යවශ්‍ය  පියවරකි.

 

කැලම් මැක්රේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.