JDS Sinhala

නිලාන්දන්: නයාරු ධීවර ගැටුම පිටුපස විජයෝන්මාදයේ සෙවණැලි

පරිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා හා අතුල විතානගේ


දෙමළ ධීවරයන්ට අයත් රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුත් ධීවර බෝට්ටු, දැල් ආම්පන්න ඇතුළු තවත් බොහෝ දෑ නයාරු වෙරළේදී ඉකුත් සතියේ දිනෙක රාත්‍රියේ ගිණිබත් කර තිබුණි. ඊට එරෙහිව ප්‍රදේශයේ ධීවරයන්ගේ පැමිණිලි කිරීම් අනුව දකුණේ සිට පැමිණි සිංහල ධීවරයන් තුන් දෙනකු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබුවේ දෙමළ ධීවරයන්ගේ විරෝධය සමනය කිරීම පිණිස ය. නයාරු හා කෝකිලායි මෝය ආසන්නයේ මෙසේ දකුණින් පැමිණෙන සිංහල ධීවරයන්ගේ බෝට්ටු 500 කට ආසන්න ප්‍රමාණයක් නවතා තිබෙනු දක්නට හැකි ය.ඒ වාගේම ඊට ඔබ්බෙන් ඉදි කෙරුණු ධීවර වාඩි ද දකින්නට ලැබේ. මේ සියල්ලම සිදුවන්නේ බලහත්කාරී ආක්‍රමණයක් ලෙස ය.

මෙසේ පැමිණෙන සිංහල ධීවරයන් කිසිවෙක් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් හෝ ප්‍රදේශයේ ක්‍රියාත්මක ධීවර සංගම්වලින් හෝ කිසිදු අවසරයක් , අනුමැතියක් ලබා නොගනී. සාමාන්‍යයෙන් මාර්තු සිට ඔක්තෝම්බර් කාලය තුළ හලාවත වැනි ප්‍රදේශවල ධීවරයෝ මුලතිව් මුහුදේ මසුන් මැරීමට පැමිණීම වාර්ෂිකව සිදුවන්නකි. මින් පෙර එසේ පැමිණෙන සෑම අවස්ථාවකම අදාළ ප්‍රදේශයේ ධීවර සංගම්වල අවසරය, අනුමැතිය ලබා ගැනීම සිදුව ඇත. ඈත දියඹේ මසුන් මැරීම ප්‍රදේශයේ සාමාන්‍ය ධීවර ප්‍රජාවට එතරම් ගැටළුවක් මතු නොකළ ද වෙරළ ආසන්නයේ නොගැඹුරු මුහුදේ මසුන් මැරීම මගින් ඔවුන්ගේ දෛනික ජීවිතයට කරනු ලබන බලපෑම ප්‍රබල ය. මෑත කාලයේදී දකුණේ සිට එසේ පැමිණෙන සිංහල ධීවරයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් තිබේ. ප්‍රදේශයේ කිසිදු ධීවර සංගමයක හෝ ඊට අදාළ ආයතනයක කිසිදු අවසරයකින් තොරව බෝට්ටු 100 ක් පමණ එකවර නයාරු , කෝකිලායි මුහුදු තීරයන් ආක්‍රමණය කරනු දැකිය හැක. උදාහරණයක් වශයෙන්, පිළියන්දල ප්‍රදේශයේ ධනවත් ධීවර ව්‍යාපාරික නිශාන්ත නමැත්තාට අයත් ධීවර බෝට්ටු 40 ක් නයාරු මුහුදේ අනවසරයෙන් හා බලහත්කාරයෙන් මසුන් මැරීමේ කටයුතුවල යොදා තිබේ.

හමුදා අනුග්‍රහ

දකුණෙන් පැමිණෙන මෙම ආක්‍රමණික සිංහල ධීවරයන්ට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබා දෙමින් සිටින්නේ රජයේ ආරක්ෂක අංශ විසිනි. නයාරු මෝය ආසන්නයේ පිහිටි නාවික හමුදා කඳවුරත්, කෝකිලායි මෝය ආසන්නයේ පිහිටා ඇති නාවික හා යුද හමුදා කඳවුරුත් මෙසේ පිටතින් පැමිණෙන සිංහල ධීවරයන්ට සහාය ලබා දෙති. සිංහල ධීවරයන් විසින් නීති විරෝධී ක්‍රම යොදා ගනිමින් කෙරෙන මසුන් මැරීමේ කටයුතු සිදු වන්නේ මෙකී රජයේ ආරක්ෂක අංශ ඇස් ඉදිරියේදීම ය.

ධීවර දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇති ඩයිනමයිට්, අධික ධාරිතාවයෙන් යුත් අලෝක ධාරා, අහිතකර මාළු දැල්  ඇතුළු තහනමට ලක්කර ඇති සියළු දේ යොදා ගනිමින් විශාල මසුන් අස්වැන්නක් නෙලා ගැනීමට මොවුහු උත්සුක වෙති. සාමාන්‍යයෙන් මිනිස් ශ්‍රමය මගින් මා දැල් ඇදීම සඳහා මීටර් 2,700 ක පමණ මුහුදේ දුර ප්‍රමාණයකට දැල එළීම කරනු ලැබේ. එහෙත් මෙම ආක්‍රමණික ධීවරයෝ මුහුදේ මීටර් 5000 හෝ 6000 ක් දුරට දැල් එළන අතර ඒවා ඇදීමට යොදා ගන්නේ ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සුත්‍ර ය. ඒ මගින් විශාල මත්ස්‍ය ගහනයක් විනාශ වීම මෙන්ම මුහුදු ශාක හා කොරල් පර වැනි අනෙකුත් සාගර සම්පත් විනාශයට ලක්වීම ද සිදු වේ. ඉස්සෝ, දැල්ලෝ වැනි මසුන් අල්ලා ගැනීමේදීත් මොවුන් අනුගමනය කරනුයේ නීති විරෝධී ක්‍රමවේදයන් ය. ඒ තුළින් සාගර සම්පත්වලට වන හානිය පිළිබඳ මේ ආක්‍රමණික සිංහල ධීවරයෝ සැළකිල්ලක් නොදක්වති. මේ තුළින් ඉතාමත් අසරණභාවයට පත්වන්නේ ප්‍රදේශයේ දෙමළ ධීවරයන් වන අතර ඔවුන් ධීවර කටයුතුවල නිරතවනුයේ ස්වභාවික පරිසරය මෙන්ම මත්ස්‍ය සම්පත ද ආරක්ෂා කර ගනිමිනි. එහෙත් මේ ආක්‍රමණික සිංහල ධීවරයන්ගේ ගැටලුව දැන් ධීවර ප්‍රශ්නය ඉක්මවා ගිය පරිසර ප්‍රශ්නයක් බවට ද වර්ධනය වී තිබේ.

හිටපු ධීවර ඇමතිවරයා මීට දෑවුරුද්දකට පෙර මුලතිව් ප්‍රදේශයේ සංචාරය කරමින් මෙම ගැටලුව විසඳන බවට පොරොන්දු රැසක් ලබා දුන්න ද ඒ කිසිවක් මෙතෙක් ඉටුවී නොමැත. දිනෙන් දින ප්‍රශ්නය උග්‍ර වුවා හැරෙන්නට වෙනත් විසඳුමක් නොලැබිණ. මෙවරත් ඇමතිවරයා පැමිණ ඒ පිළිබඳව සොයා බලා ආපසු ගියා පමණි.  එදිනම රාත්‍රියේ දෙමළ ධීවරයන්ගේ බෝට්ටු හා ධීවර වාඩි ගිනිබත් විය. එම ක්‍රියාවට දායක වූ සිංහල ධීවරයන් තිදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. වෙන්නප්පුවේ පදිංචි එක් ධනවත් සිංහල ධීවරයෙක් නාවික හමුදාවේ සහයෝගයෙන් නයාරු වෙරළ තීරයේ සෙම්මාරු ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති අතර ඔහු සිය ධීවර කටයුතු කරගෙන යනු ලබන්නේ එහි සිට ය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට අවුරුදු හයකට පමණ පෙර එම ඉඩම දෙමළ ජාතිකයෙකු ගෙන් මිලදී ගත් බව ය. දැන් සියළුම ආක්‍රමණික සිංහල ධීවරයන් මෙම ස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ නීති විරෝධී ධීවර කටයුතුවලින් දෙමළ ධීවරයෝ බලවත් පීඩාවට ලක්ව සිටිති.

මේ ආකාරයෙන්ම වඩමරාච්චි නැගෙනහිර වෙරළ තීරයේ මුහුදු කුඩැල්ලන් ඇල්ලීමට පැමිණෙන දකුණේ සිංහල ධීවරයෝ හා සමාගම් හේතුවෙන් ද , පේදුරු තුඩුවේ ට්‍රෝලර් මගින් මසුන් මරණ ආක්‍රමණික ධීවරයන් හා ශ්‍රී ලංකාවට අයත් මුහුදේ මසුන් මරන්නට පැමිණෙන ඉන්දීය ධීවරයන් නිසා ද පීඩාවට පත්වන උතුරේ දෙමළ ධීවරයෝ දෛනිකව මෙම ආක්‍රමණිකයන් සමග ගැටෙති.

කැකෑරෙන විරෝධය

උතුරුකරයේ ධීවරයා සිය ජීවිකාව සරි කරගන්නේ මුහුදෙනි. ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරමින් ජිවිතේ වැඩි කාලයක් ගෙවා දමන්නේ මුහුදේ ය. ඔවුහු ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් මුහුද හා ඒ ආශ්‍රිත සම්පත් විනාශ කිරීමට වෙනුවට නිරන්තරයෙන්ම ඒ සියල්ල ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නේ එබැවිනි. එය යුද කාලයේත්, ඊට පෙරත්, පසුත් එසේම පවත්වාගෙන ආ එකම පිළිවෙතකි. එහෙත් පිටතින් පැමිණෙන ධීවරයෝ සහ සමාගම් ඉතාමත් කෙටි කලකින් විශාල මුදලක් ලබා ගැනීම වෙනුවෙන් උතුරේ ධීවරයා මෙතෙක් සිය පණ මෙන් රැකගෙන සිටි සාගර සම්පත් සියල්ල විනාශ කරමින් හා කොල්ලකමින් සිටිති. මේ වන විට පරිසර ප්‍රශ්නයක් බවට පත් ඇති මෙම ක්‍රියාවලිය, අනෙක් අතට පොදු මිනිස් සංහතියේම ගැටළුවක් බවට පත් වනු නිසැක ය. ලොව එකතැනක වන පරිසර හානියක් ලොව තව තැනකට විශාල පාඩුවක් ගෙන දීමේ හැකියාවක් පවතින බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. නිදසුනක් ලෙස පාවිච්චියට නුසුදුසු, කල් ඉකුත් වූ විශාල බෙහෙත් ද්‍රව්‍ය තොගයක් ඉන්දීය මුහුදට මුදා හැරීමෙන් පසු එහි බලපෑම පසුගිය දා එල්ල වුයේ ලංකා වෙරළ තීරයට ය.

මුහුද සිංහල හෝ දෙමළ යනුවෙන් වෙන්කළ නොහැකි වුවද එය විනාශ නොවී රැක ගැනීමට නම් දෙමළ ධීවරයාට එහි උරුමයත්  අයිතියත් හිමිවිය යුතු ය. දෙමළ ජනයා මෙතුවක් කල් සිය ප්‍රදේශවල අයිතිය ඉල්ලා සටන් කරනු ලැබුවේත්, සටන් කරමින් සිටින්නේත් අනාගත පරපුර වෙනුවෙන් මෙකී විනාශයන්ගෙන් ස්වකීය සම්පත් රැක ගැනීම වෙනුවෙනි. එහෙත් ලංකා ආණ්ඩුව විසින් දෙමළ ජනයාට අයත් ස්වභාවික සම්පත් ඇති ප්‍රදේශ සිය පොලිසිය හා හමුදා යොදවා විනාශ කර දැමීමට අවශ්‍ය අනුබලය හා අනුග්‍රහය ලබා දෙමින් සිටියි. රාජ්‍ය හමුදාවන් හා ධීවර දෙපාර්තමේන්තුව එක්ව කෝකිලායි, කොක්කුතෝඩුවායි, කරුනාට්ටුකර්නි, නයාරු වැනි ප්‍රදේශවල නීති විරෝධී ලෙස සිංහල ජනාවාස ඉදිකරමින්, ධීවර කටයුතු කරගෙන යාමට අවශ්‍ය බලපත්‍ර ලබා දෙමින් දෙමළ ධීවරයන්ගේ අයිතිය උදුරා ගන්නට දැනටමත් කටයුතු ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් දෙමළ ධීවරයන් විසින් ධීවර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ දුක් ගැනිවිලි කිසිදු සැලකීමකට ලක් නොකෙරේ. පසුගිය දා ධීවරයන් කලහකාරී ලෙස හැසිරීමට බලපෑවේ ද, යාපනේ ධීවර දෙපාර්තමේන්තුව ඉදිපිටට රැස් වූ සියයකට වැඩි ධීවර පිරිසක් අදාළ බලධාරීන් හමුවීමට පැය දෙකක පමණ කාලයක් ගත කළ ද ඔවුන්ගෙන් කවර හෝ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයිනි.

යුද විජයෝන්මාදය

උතුරු -නැගෙනහිර පළාත්වල ජීවත් වෙන දෙමළ ධීවරයන්ට තමන් අවට මුහුද ඔවුන්ට අහිමි වෙමින් තිබේ. පිටින් පැමිණෙන සිංහල ධීවර පිරිස් දැන් එම මුහුදේ සම්පත් විනාශ කරමින්, ඉක්මන් ලාභ සොයමින් සිටිති. ඊට එරෙහිව වන දෙමළ ධීවරයෝ විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමත් සමග සිංහල ධීවරයෝ සිය බලය පෙන්වන්නට උත්සුක වෙති. එවැනි සමත්කමක් මීට මාස කිහිපයකට කලින් මුලතිව් ප්‍රදේශයේදී ද මෙකී ආක්‍රමණික සිංහල ධීවරයන් විසින් දෙමළ ධීවරයන්ට එරෙහිව පෙන්නුම් කරන ලදී. නිරන්තරව සිදුවෙන මෙවන් දුක් ගැහැට ගැන දෙමළ ධීවරයෝ පොලිසියට පැමිණිලි කළ විට ඔවුන් කියා සිටින්නේ ඒවා එතරම් සැළකිල්ලට ගතයුතු ප්‍රශ්න නොවන බව ය. නාවික හමුදාවට පැමිණිලි කළ විට එය ඔවුන්ට අදාළ නොවන බව ඔවුහු පවසති. ධීවර දෙපාර්තමේන්තුව පවසනුයේ ඔවුන් කටයුතු කරනු ලබන්නේ නීතිය අනුව බව ය. එහෙත් එම නීතිය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ සිංහල ධීවරයන්ට වාසි අත්කර දෙමිනි. ධීවර දෙපාර්තමේන්තුව ධීවරයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය, මගපෙන්වීම ලබා දීමට කටයුතු නොකරන තත්ත්වයක් තුළ මෙම ප්‍රදේශ වල දෙමළ ධීවරයෝ අතිශය අසරණ වී සිටිති.

දෙමළ ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල සිංහල ආණ්ඩුව මෙන්ම, එහි පැමිණෙන සිංහල ජනයා ද කටයුතු කරනු ලබන්නේ තමන් ජයග්‍රාහකයන් යන මානසිකත්වයෙන් යුතුව ය. එබැවින් එම ප්‍රදේශවල පවතින සියල්ලම ඔවුන්ගේ අයිතියට සතු බවට පොදු හැඟීමක් පවතින බැව් පෙන්. නිදසුනක් ලෙස වව්නියාවේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි හින්දු කෝවිලට පහසුවෙන් පිවිසීම සඳහා මීටර් 150 ක් දුරක් පිය ගැට පෙළක් සකස් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. දැන් එය පුරාවිද්‍යා බිමක් ලෙස නම් කර තිබේ. මේ ආකාරයෙන් මධ්‍යම ආණ්ඩුව යටතේ ඇති පුරා විද්‍යා, ධීවර, වාර්මාර්ග, වනජීවී, ඉඩම්, කෘෂිකර්ම වැනි සෑම දෙපාර්තමේන්තුවක්ම කටයුතු කරමින් සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ බස කතා කරන බහුතර ජනයාට කිසිදු අයිතියක් හිමි නොවන පරිද්දෙනි. මෙම දෙපාර්තුමේන්තු මගින් ගන්නා සෑම තීරණයක් විසින් ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ද, මෙම ජනතාව පරාජිතයන් ලෙස හැඟවීමට කටයුතු කිරීම නිරන්තරයෙන්ම දක්කනට හැකි ය.

ඉහතින් කී දෙපාර්තමේන්තුවල කටයුතුවලින් මෙන්ම නයාරු ගින්න මගින් ද පෙන්නුම් කරනු ලබන යථාර්ථය වන්නේ යුද ජයග්‍රාහකයන්ට සියල්ල අයිති බව ය.☐

නිලාන්දන්


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.