JDS Sinhala

නිලාන්දන්: තිස් පස් වසක් රක්නා කළු ජූලියේ උරුමය කුමක්ද?

කළු ජූලියේ තිස් පස් වැනි සංවත්සරය යෙදී තිබුණේ මේ ගෙවීගිය ජූලි මාසයට ය. 'අවාසනාවන්ත' එම සිදුවීම් ගැන නැවත නැවතත් ආවර්ජනය කළ යුත්තේ මන්දැයි තවමත් විමසන දකුණේ ඇතැම්හු දැන් අවශ්‍ය වන්නේ අනාගතය ගැන කල්පනා කිරීම බව කියති. නමුත් එම අනාගතය කරා අප ගෙනයන උරුමය අතීත සාපරාධී සිදුවීම්වලින් තීරණය කරනු ලැබ තිබීම ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට උත්සුක වන්නේ අල්පයකි. කළු ජූලියෙන් තිස් පස් අවුරුද්දක් ඇවෑමෙන් ද, යුද ගැටුම් නිම වී නම වසක් ඇවෑමෙන් ද සිංහල - දෙමළ ජාතීන් අතර සබඳතා හැඩගස්වන දේශපාලන උරුමය කවරේදැයි විමසා බැලීමට දෙමළ දේශපාලන විචාරක නිලාන්දන් යොමුවන්නේ ඒ නිසා ය.

පරිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා හා අතුල විතානගේ


සිංහල ජාතිවාදී බලවේග විසින් මනා ලෙස සැළසුම් කොට දියත් කෙරුණු වර්ග සංහාරක ප්‍රහාරයක් ලෙස 1983 ජුලි ප්‍රචණ්ඩ ක්‍රියා හැඳින්විය හැකි ය. දෙමළ ජනයා සතුව තිබු ආර්ථික ශක්තිය බිඳ දැමීමේ අරමුණු ඇතිව දකුණේ ඇතැම් සිංහල ජනයා මීට මැදිහත් වුයේ එවකට පැවති ආණ්ඩුවේද අනුග්‍රහය ඇතිව යැයි කීම අතිශයෝක්තියක් නොවේ. සංහාරය දියත් කිරීමට පෙර සිටම ජනාධිපති ජයවර්ධන විසින් කරන ලද ප්‍රකාශ මගින් ද ඒ බව සනාථ වේ. ඒ මොහොතේ ඔහුගේ ආණ්ඩුව විසින් දෙමළ ජනයාට අවශ්‍ය ආරක්ෂාව දැනුවත්වම ලබා දීමට කටයුතු නොකළේය. ඒ අනුව බලතොත්, 2009 මැයි මාසය තරම්ම, 1983 ජූලි මාසය ද ලංකා ඉතිහාසයේ දේශපාලනික වැදගත්කමක් උසුලනු ඇත. 1983 ජූලි සංහාරයෙන් පසුව ලංකාවේ කටයුතු වලට පිටස්තර බලවේග වලට සෘජුවම අතපෙවීමේ දොරටු විවෘත කෙරිණි.

1983 ජූලි සංහාරයේ බලපෑම සරළව මෙසේ පෙළගැස්විය හැකි ය:

i. ලංකාවේ බහු සංස්කෘතික විවිධත්වය තීරණාත්මකවම බිඳ වැටීම.

ii. ලංකාව ජාත්‍යන්තරව වඩා අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත්වීම.

iii. යම් වත්පොහොසත් කමක් තිබු දෙමළ ජනයා රැකවරණය පතා වෙනත් රටවලට පළා යාම.

iv. සිය අයිතීන් දිනා ගැනීම සඳහා එකම විකල්පය ලෙස දෙමළ ජනයා සන්නද්ධ අරගලයක් කරා තල්ලු කර දැමීම.

v. ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දීය රජයේ සෘජු බලපෑම හා ඒ සඳහා දොරටු විවෘත වීම.

ඉන්දියාව හා සීතල යුද්ධය

සීතල යුද්ධය බල පැවැති එම වකවානුවේදී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව සමීපව සිටියේ එකසත් ජනපදය ප්‍රමුඛ සෙසු බටහිර බලවතුන්ගේ කඳවුර සමඟ ය. නමුත් විදෙස් පිළිවෙතේදී ඉන්දියාව වඩා සමීපව කටයුතු කරන ලද්දේ සමාජවාදී සෝවියට් සංගමයේ මූලිකත්වයෙන් සැදුම්ලත් වෝර්සෝ කඳවුරට සමීපව ය. ලංකාව එක්සත් ජනපද හා බටහිර ගැති වීම ඉන්දියානු උප මහාද්වීපික භූ දේශපාලන කළාපයේ බලවතා ලෙස ඉන්දියාවට බලවත් ගැටළුවක් වූයේ ඒ නිසා ය. 1983 ජූලි සංහාරය විසින් ජයවර්ධන ආණ්ඩුව මෙල්ල කර, ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ස්වකීය ග්‍රහණයට ගැනීමට අවශ්‍ය පසුබිම ඉන්දියාව හමුවේ නිර්මාණය කර දුන්නේය. තිස් වසකට ආසන්න කාලයක් යුද්ධය ඇවිළ ගියේ ඒ අනුව ය. අවසානයේ විශාල මිනිස් සංහාරයකින් නන්දිකඩාල් කළපුවෙන් හමාර කරන ලද්දේ ඒ අවි ගැටුමයි.

1983 ජූලි සංහාරය ගැන කම්පා වන බොහෝ සිංහල බුද්ධිමතුන් ද, කලාකරුවන් හා සංස්කෘතික ක්‍රියාකාරිකයන් ද ඇතුළු විවිධ පාර්ශවයන් සිටිය ද කිසිදු සිංහල දේශපාලනඥයෙක් ඒ පිළිබඳව සිය කනගාටුව පළ කිරීමවත්, දෙමළ ජනයාගෙන් සමාව භජනය කිරීමවත් මේ දක්වා අවංක ආධ්‍යාශයකින් සිදුකර නොමැත. දෙමළ ජනයාගේ සන්නද්ධ අරගලය මර්දනයෙන් යටපත් කොට දමා මේ වනවිට වසර නවයක් ඉක්ම ගොස් තිබියදී පවා එසේ කිරීමට කිසිදු සිංහල දේශපාලකයෙක් ඉදිරිපත් ව නොවන්නේ කණගාටුව ප්‍රකාශ කිරීමට හෝ සමාව භජනය කරන්නට තරම් වරදකාරී හැඟීමක් ඔවුන්ට නොදැනෙන නිසා විය යුතු ය. එක් අතකින් බලතොත්, ලංකාවේ ස්ථාපිත ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුව අනුව එසේ වරදකාරී හැගීමක් ඇති වීමේ ඉඩ කඩ ඉතා සීමිත වන අතර ඒ මගින් ඇති කරන්නේ සාඩම්බරකාරී හැගීමකි. දුටුගැමුණු කතාවේ දැක්වෙන රජුගේ කම්පාව සමනය කරන්නට එන මහා විහාර භික්ෂූන්ගේ අනුශාසනාවන් ඊට දෙස්දෙයි.

දශක ගණනාවක සිටම රුපවාහිනිය, ගුවන් විදුලිය ඔස්සේ පමණක් නොව, නිදහස් අධ්‍යාපනය හරහා ද මේ ථෙරවාදී බෞද්ධාගමේ මූලිකයන් විසින් උත්කර්ශයට නංවන්නේ මේ ආඩම්බරකාර ජන සංහාරක පාඩම ය. ඒ නිසාම, ඉන් පිටුබල ලබන සිංහල ජනයාගේ පොදු මානසිකත්වය බවට පත්ව ඇත්තේ 1983 ජුලි සංහාරය ගැන ජයග්‍රාහී හැඟීමකි. මෙකී තත්ත්වය නිර්මාණය කරනුයේ පෙර සඳහන් ථෙරවාදී බෞද්ධ ක්‍රියා පිළිවෙත විසිනි. ඇතැම්විට එසේ නොවුණා නම් 2009 මැයි මාසයේදී මෙතරම් විශාල ජන සංහාරයක් සිදු නොවන්නට ඉඩක් විය. එමෙන්ම සිංහල ජනයා අතර 'යුද ජයග්‍රහණය' සමරන මානසිකත්වය පවා වෙනස් වන්නට අවකාශ තිබුනි.

2009 මැයි ජන සංහාරයෙන් කිසියම් පාඩමක් ඉගෙන ගත්තේ නම් ඉකුත් වසරේදී මහනුවර දිගන ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වන්නේ කෙසේද? ඒ මගින් පෙන්නුම් කරන්නේ පොදු වශයෙන් ගත්කළ සිංහල බහුතරයක් අතීතයෙන් කිසිවක් ඉගෙන ගැනීමට සුදානම් නොමැති බවද?

මා කල්පනා කරන ආකාරයට 1983 ජුලි සංහාරයේ මූලික සැළසුම වුයේ දෙමළ ජනයාගේ ආර්ථික ශක්තිය බිඳ දැමීම ය. එහෙත් සිදුවුයේ එතෙක් ලංකාවට හා ඉන්දියාවට පමණක් සීමා වී තිබූ දෙමළ ජනයාගේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඉන් බැහැරට ද පැතිර යමින් වඩාත් දියුණු වෙමින් ව්‍යාප්ත වන්නට වීමයි. ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් සළකතොත්, විශාල ආයෝජනයන්ට මුල පුරමින්, යුරෝපයේ මෙන්ම කොළඹ දීද ඔවුන්ගේ ව්‍යාපාරික ශක්‍යතා පෙන්නුම් කිරීමට ඔවුන් සමත්ව ඇති අතර, ඒ අර්ථයෙන් '83 ජුලි සංහාරයේ දී දෙමළ ව්‍යාපාරික පන්තියේ ආර්ථික ශක්තිය බිඳ දැමීමට කළ සැළසුම ව්‍යර්ථ වී තිබේ.

බාහිර මැදිහත්වීම්

නමුත් මෙහි වෙනත් පැත්තක් තිබේ. '83 ජුලි සංහාරය විසින් ලංකාවට අත පෙවීමට ඉන්දියාවට දොරටුව හැර දුන්නාක් මෙන්, 2009 මැයි ජන සංහාරය තුළින් ඉන්දියාවට පමණක් නොව, එක්සත් ජනපදය හා බටහිර රටවලට ද, චීනයට ද පෙර නොවූ විරූ දොරටු විවෘත කර දී තිබේ.

එදා ඉන්දියාව හා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අතර ගැටුම නිර්මාණය වන්නට ඉඩ දී ජනාධිපති ජයවර්ධන ඉන් පලා ගිය මුත්, ඉන්පසු ඉන්දියාව ද ඇතුළු සියලු ජාත්‍යන්තරයේ සහයෝගය හා අනුබලය ඇතිව මහින්ද රාජපක්‍ෂ විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය සංහාරය කරනු ලැබීය. එක් අතකින් සළකතොත්, ඒ වනාහී ගෝලීය සන්ධානයක් මගින් දෙමළ ජනයා පරාජය කිරීමක් සේ සැළකිය හැක. සිංහල බහුතරවාදියෝ මෙන්ම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය කල්පනා කරනුයේ එය තීරක ජයග්‍රහණයක් වශයෙනි. එහෙත් මේ "ජයග්‍රණය" ලබා ගැනීමට යොදා ගත් මෙවළමක් වූ රාජපක්ෂ පවුල ඊට වසර කිහිපයකට පසුව බලයෙන් නෙරපා හැරීමට තීරණාත්මක ආධාරකයක් ලෙස යොදා ගනු ලැබුවේ යුද්ධයෙන් දිවි ගළවාගත් පීඩිත දෙමළ ජනතාව ය. එමෙන්ම,1983 ජුලි සංහාරය උපයෝගී කරගෙන ස්වකීය කලාපීය අවශ්‍යතා ආරක්ෂා කරනු වස් දෙමළ ජනයාගේ අභිලාෂයන් යොදාගත් පරිදිම, යුද විනාශයෙන් පසු ඉන්දියාව විසින් සිය අරමුණු මුදුන්පත් කරගනු පිණිස දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික ඡන්දය යොදාගනිමින් තිබේ.

අනෙක් අතින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජයට පත් කළ පමණින් සිංහල ජනයාට ජයග්‍රහණයක් හෝ ස්වාධීනත්වයක් නොලැබුණු බව රාජපක්ෂලාගේ ක්‍රියාකාරකම් මගින් සිංහල ජනයාට දැන් වනවිට පෙන්නුම් කර දී තිබේ. බලවත් රාජ්‍යයන් විසින් ඔවුන්ට ඕනෑ පරිදි ලෝකය බෙදා ගනු වස් තම පංගුව වෙන් කරගැනීමේ අරගලයක නිරතව සිටින අතර කලාපිය භූ දේශපාලනයේදී ලංකාව එහි සෘජු ගොදුරක් බවට වඩ වඩාත් පෙරළෙමින් පවතී. 2015 ආණ්ඩු වෙනසින් පසු එම එළිපිටම පෙන්නුම් කෙරෙමින් ඇත්තේ එකී බල අරගලයයි. කටුනායක, මත්තල, පලාලි ගුවන් තොටුපළවල් ද, ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට වරායවල් හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ද ආදී ආර්ථික හා උපායික වැදගත්කමක් ඇති මර්මස්ථාන තමන්ගේ බලාධිකාරයට නතු කර ගැනීමට මෙකී බලවත්හු මේ වනවිට විවෘතවම වෑයම් දරති. සිංහල බහුතරවාදීන් පවසන ආකාරයට 2009 මැයි ජන සංහාරයෙන් රටේ නිදහසක් හෝ ස්වාධීනත්වයක් ඇති වී යැයි කල්පනා කිරීම හුදු හිතළුවක් වන්නේ ඒ නිසා ය.

ගැළවුම් මාර්ගයක්

තමන්ගේ ධුර කාලය අවසන්ව යළි ඇමෙරිකා එක්සත් ජනපදය බලා යාමට පෙර මෙරට හිටපු ඇමෙරිකානු තානාපති අතුල් ප්‍රකාශ්, ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්දැයි අනියමින් පැවසීය. දෙමළ ජන සංහාරකින් පසු අත්පත් කරගත් බැට උදම් අනන 'ස්වාධීනත්වය හා නිදහස' පිළිබඳ යථාර්ථය මීට වඩා හකුළා දක්වන නිදසුනක් තිබේද? රාජපක්ෂලාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු චීනය විසින් සම්පාදනය කළ බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් හෙළිදරව් කරන ලද ඩොලර් මිලියන ගණනක ගණුදෙනු විසින් පෙන්නුම් කරන්නේ අලුතින් අත්පත් කරගත් ස්වාධීනත්වයේ ස්වභාවය පිළිබඳ තිත්ත ඇත්ත නොවේද?

කළු ජූලියේ සිට මුල්ලිවයික්කාල් සංහාරය දක්වා සාපරාධී සිදුවීම්වලට පසුපසින් නිර්මාණය වූ ජාතික, කලාපීය හා ගෝලීය පෙළගැසීම් විසින් පෙන්නුම් කරන්නේ, මෙරට ස්වාධීනත්වය හා නිදහස සැබෑ ලෙසම ගොඩනගා ගත හැක්කේ දෙමළ සිංහල මුස්ලිම් ජනයාගේ බහු වාර්ගික විවිධත්වය පිළිගැනීම මත බව ය. පිටස්තර බලවේගයන්ගේ අනර්ථකාරී මැදිහත්වීම් වළකාගත හැකි එකම මාර්ගය වන්නේ එවැනි ප්‍රජාතාන්ත්‍රික විපර්යාසයක් පමණි. අවුරුදු තිස් පහක් සැපිරෙන කළු ජූලියෙන් සිංහල ප්‍රජාව උගත යුතු වැදගත්ම පාඩම එයයි. එහෙත් දෙමළ ජනයා සංහාරය කිරීමට සැම විටම කැස කවන, ඒ වෙනුවෙන් ඉන්දියාව - ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර හෝ චීනය යනාදී "ඕනෙම යකෙකු" සමග එක්වීමට කැමති සිංහල බහුතරවාදීන් සහ ඔවුනට නායකත්වය සපයන සිංහල දේශපාලනඥයෙන් බලවත්ව සිටින තාක් ස්වාධීනත්වය, නිදහස හා සහජීවනය යනු අරුත් සුන් හිස් වචන පමණි.☐

නිලාන්දන්


© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.