JDS Sinhala

නිලාන්දන්: 'විකල්ප පෙරමුණ' විග්නේස්වරන්ගේ කඩඉම් ප්‍රශ්නයද?

දෙමළ ජාතික දේශපාලනය ගැන - වමේ වේවා, දකුණේ වේවා - සිංහල ආකල්ප පදනම් වන්නේ එක්කෝ මාධ්‍ය ප්‍රබන්ධ මත ය; නැතහොත් ඉච්ඡාසාධන කල්පිත මත ය. ඒ අනුව එක්කෝ යළිත් 'කොටි නැගිටිමින්' සිටිති. නැතහොත් කලින් කල සහෝදරත්වයේ 'හැම්පර්' රැගෙන දකුණෙන් ගොඩබසින 'විප්ලවීය ටී ෂර්ට්' බලඇණි වටා රැස්වීමට දෙමළ ජනයා පොරකමින් සිටිති.

නමුත් දෙමළ දේශපාලනයේ අභ්‍යන්තර ගතිකයන් වැඩ කරන්නේ වෙනත් කොන්දේසි හා සාධකයන්ගේ බලපෑම යටතේ ය.  දේශපාලන විශ්ලේෂක නිලාන්දන් විසින් සංක්‍ෂිප්තව පෙළගස්වන්නේ ඒ ගතිකයන්ගේ හරස්කඩකි.

පරිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


දැනට පවතින දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට විකල්ප දේශපාලන පෙරමුණක අවශ්‍යතාවය වෙනින් කවරදාටවත් වඩා අද වන විට දෙමළ ජනයා අතර සාකච්ඡාවට පාත්‍ර වෙමින් තිබේ. ඒ පිළිබඳ කතාබහක් පසුගිය දා යාපනේදී  පැවැත්වුණේ  එවැනි විකල්ප පෙරමුණක් ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනාගේ සහභාගිත්වයෙනි. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්, දේශපාලන විචාරකයන්, සමාජ ක්‍රියාධරයන් බොහෝදෙනා, ඊට එක්ව සිටි උතුරු පළාත් මහ ඇමති විග්නේස්වරන්  සමඟ සුහද කතා බහක නිරත වූහ. පැය  තුනකට ආසන්න  කාලයක් පැවති මේ අවිධිමත්  කතාබහේදී විකල්ප පෙරමුණක් ගැන වූ සිය අදහස් විග්නේස්වරන් ප්‍රකාශ කළේ විවෘත මනසකිනි. ඇත්තෙන්ම ඔහු කියා සිටියේ සියලු දෙනා අතර එකමුතුවක් මිස බෙදීමක් මේ මොහොතේ අනවශ්‍ය බව ය. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්ට එරෙහිව විකල්ප පෙරමුණකට නායකත්වය දීමට විග්නේස්වරන් කිසිසේත්  කැමැත්තක් නොදක්වන බව ඒ කතාබහ තුළ ඉතා පැහැදිලිව පෙනුණි. ඔහුගේ විශ්වාසයට අනුව  ප්‍රකාශ වූයේ සම්බන්ධන්  හා මාවෙයි සේනාධිරාජා සමඟ කතා බහකින් ගැටළු විසඳා ගත හැකි වටපිටාවක් තවමත් පවතින බව ය. විග්නේස්වරන්ට අනුව  දෙමළ දේශපාලන පක්ෂ නායකයන් අතර පවතින මේ ගැටළු  දේශපාලන කාරණා පිළිබඳ ගැටළු නොව, හුදෙක් පෞද්ගලිකව විසඳා ගත හැකි කරුණු කාරණා ය. එහෙත් මේ දෙදෙනා අතර පවතින ගැටළු පිළිබඳ මේ හා සමාන ආකල්පයක් සම්බන්ධන් පාර්ශ්වයටත් තිබේද?

පසු දින “කාලෛකදීර්” පුවත්පත සිය මුල්පිටුවේ සිරස්තලය යොදා තිබුණේ  විග්නේස්රන් සමඟ පැවති  සුහද කතා බහේ කරුණු ඇසුරින් වීම විශේෂ ය. අදාළ විකල්ප පෙරමුණ ගැන සාකච්ඡාවට වඩා  විග්නේස්වරන්  විසින් සම්බන්ධන් පිළිබඳව කියූ  'සමගි කතාව' මෙහිදී මතු කර තිබුණි. ඒ මගින්  කියා සිටියේ  පවතින ගැටළු සාකච්ජා මගින් විසඳා ගැනීමට විග්නේස්වරන්   සංඥාවක් නිකුත් කර ඇති බව ය. මේ කතාබහට එක් වූ කිසියම් අයෙක්  තොරතුරු සියල්ලම එම පුවත්පතට ලබා දී  ඇති  බවට නිසැක ය. දේශපාලනිකව සළකතත්, ආචාර ධාර්මිකව සළකතත්, එය ඉතාමත් පහත් ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනාගේ අදහස වුයේ  විකල්ප පෙරමුණක අවශ්‍යතාවයයි. නමුත් මෙම පුවත්පත් වාර්තාවත් සමගින් එවැනි පෙරමුණක් පිළිබඳ ජනයා තුළ කළකිරීමක් නිර්මාණය කිරීමට හේතු වනු ඇත.

'විගී - සෑම්' සාකච්ඡා

කෙසේ වෙතත්, විග්නේස්වරන්ට එරෙහිව  විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ  අවස්ථාවේදීත් තහවුරු කළ නොහැකි එක්තරා ආරංචියක් පැතිරිණි. ඒ  විපක්‍ෂ නායක  සම්බන්ධන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබා දුන් ඇමතුක් ගැන ය. අදාළ ආරංචියට අනුව එහිදී  සම්බන්ධන් කියා ඇත්තේ විග්නේස්වරන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා ලෙස ය. මේ පසුබිම තුළ සළකා බැලීමේදී  විග්නේස්වරන්ගේ  සමගි සන්ධාන ප්‍රකාශය ඉහතින් කී සිදුවීම කිසියම් සම්බන්ධයක් පෙන්නුම් කරනු ඇත. එමෙන්ම  විකල්ප පෙරමුණක් පිළිබඳ සාකච්ජාවේදී  ඊට  එරෙහිව අදහස්  දැක්වූ විග්නේස්වරන් ඊට පසු දිනෙක  කොළඹ පැමිණ සම්බන්ධන්  හමු විය. ඊට සතියකට පසු සම්බන්ධන්  කිළිනොච්චියට පැමිණ දෙමළ ජාතික සන්ධානයේ  එකමුතුව ගැනත්, එය තවදුරටත් ශක්තිමත් කිරීම ගැනත් ඔහුගේ සැළසුම් කතා කොට  යාපනයට නොයා  යළි කොළඹ බලා පිටත්විය. විග්නේස්වරන් ද  කිලිනොච්චි නොපැමිණි දෙමල ජාතික සන්ධානයේ නායකයා සම්බන්ධන් බවට තවදුරටත් ඔප්පු කර පෙන්වීය. කොහොම නමුත් මේ දෙදෙනා කොළඹ හමුවේදී තීරණය කර තිබණෛ් ඉදිරියේදී ගැටළුකාරීත්වයකින්  තොරව  කටයුතු කිරීමට ය.

මේ අතර යාපනය කෝවිල පාරේ  විග්නේස්වරන්ගේ නිවෙසට පැමිණි දෙමළ ජාතික සන්ධාන නායකයෝ ඔහු සමඟ සාකච්ජාවක නිරත වූහ. සුමන්දිරන් නොපැමිණි මේ සාකච්ඡාව මදක් උණුසුම් එකක් වූ බවට තහවුරු කළ තොරතුරු මගින් අනාවරණය විය. එහෙත් අවසානයේ  කතාබහ අවසන් වී ඇත්තේ මහා ඇමති විග්නේස්වරන්ට වාසිදායක ලෙසිනි.

ඊට පසුද තමිල් අරසු කච්චි පක්‍ෂයේ ප්‍රධානීන් හා විග්නේස්වරන් අතර ඇති ගැටළු කතා බහට රැස්වීම් කිහිපයක්ම කොළඹ දී පැවැත්විණි. ඒ  සෑම අවස්ථාවකම සම්බන්ධන් සිය අණසක පතුරුවා ලීමට සමත් වූ අතර මේ සෑම  කරුණකින්ම එක් දෙයක් පැහැදිලි වේ. එනම් සම්බන්ධන්  සිය පක්‍ෂ නායකත්වය තහවුරු කර ගෙන ඇති බව ය. විග්නේස්වරන්  සතුරෙක් ලෙස ඉවතට තල්ලු නොකොට, තමන්ට  අවශ්‍ය අයුරින් ඔහුව හසුරුවා ගැනීම සම්බන්ධන්ගේ අපේක්ෂාව බව නිසැක ය. ඒ අනුව විග්නේස්වරන් විකල්ප පෙරමුණක් වෙත යාම වළක්වාලීමට සම්බන්ධන් සමත් වී තිබේ.

විග්නේස්වරන් අවරට?

මැතිවරණවලට තරඟ  කිරීමටත්, ඒ තුළින් බලය  ලබා ගැනීමටත්  දේශපාලන පක්ෂ හා පෙරමුණු ගොඩනැගීම අරමුණු කරගත් පිරිස්  විකල්ප පෙරමුණක් ගොඩ නැගෙනවාට අකමැති වන්නට ඉඩ තිබේ. එහෙත්  විකල්ප පෙරමුණක් යන්න දේශපාලනිකව නිවැරදිව තේරුම් ගත් අයට එය කිසිසේත්ම ගැටළුවක් නොවනු ඇත.

විග්නේස්වරන් දැන් පසු වන්නේ  ඔහුගේ බලය කෙමෙන් ක්ෂය වෙමින් පවතින අවධියක ය.  ඔහු සම්බන්ධන් සමඟ ගැටුමකට එකඟ නොමැති වුවද , තමිල් අරසු කච්චි හා ඔහු අතර පවතිනුයේ බලවත් ප්‍රතිවිරෝධයකි. මේ වන විට විග්නේස්වරන්ට  සිදුව ඇත්තේ   තමන් එකට ජීවත් වීමට අකමැති පුරුෂයෙකුගෙන් දික්කසාද වීමට ද ශක්තියක් නොමැති  ස්ත්‍රියක් මුහුණ දෙන ගැටලුවකට සමාන තත්වයකට ය.

අනික් අතට පළාත් සභා පනත අනුව කිසියම් පක්ෂයකින් මන්ත්‍රීවරයෙක් ඉවත් කළහොත්, පළාත් සභාවේ මන්ත්‍රීවරක් ලෙස තවදුරටත්  රැඳීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් පවතී. එහෙයින් කෙතරම් ගැටළු මතු වුවත් තමිල්  අරසු කච්චි විග්නේස්වරන්ව ඉවත් කිරීමට පියවර නොගනු ඇත. විග්නේස්වරන් ද තමන්ගේ මහ ඇමති කාල සීමාව අවසන් වෙන තෙක්  ප්‍රශ්න මතු නොවන්නට පසුබිම නිර්මාණය කරමින් සාමයෙන් ගෙවා දමන්නට සිතනවා ද විය හැකි ය.

ඔහු කැමති වුවද, අකමැති වුවද , උතුරු පළාත් සභාව මේ ආකාරයෙන් ඉදිරියට ගෙනයාම ඉතා දුෂ්කර වනු ඇත. එහෙත්  දැන් මතුව ඇති සම්බන්ධන්  - විග්නේස්වරන් දීගය නිසා තමිල් අරසු කච්චි නිහඬ වනු නිසැක ය.  යහපාලන ආණ්ඩුව ගෙන ඒමට දායක වූ  ජාත්‍යන්තර ප්‍රජාව නම් මෙහිදී  සතුටුවනු  ඇත්තේ,  රැඩිකල් පිළිවෙත් අනුයන බවක් පෙණුනු විග්නේස්වරන්  තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගමන් අරඹනු ඇති බවට නිගමනය කරමිනි. ඇත්ත නම් දෙමළ ජනයාගේ ඉල්ලීම්වලට ස්ථිර විසඳුම් ලබා දීමට මේ කියන 'ජාත්‍යන්තර ප්‍රජාව' සමත් වී නැති අතර ඔවුන් යෝජනා කරනුයේද  තාවකාලික පැලැස්තර  විසඳුම් බව ය. එවැනි විසඳුම් කරා ආපසු යාමට විග්නේස්වරන්ට හැකිද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  සකස් කිරීම පිළිබඳ ලියවිල්ලක් පසුගිය දා එලි දක්වා තිබුණේ මේ අතරවාරයේ ය.  දෙමළ ජනයාගේ දේශපාලන විසඳුම ලෙස යෝජනා වනු ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් ශක්තිමත්  කිරීම පමණක්  වනු ඇති බවට දැන් ප්‍රකට ය. එවැනි  තත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව  දෙමළ ජනයා තුළින්  විකල්ප පෙරමුණක් මතු වනු නොඅනුමාන ය. 'ජාත්‍යන්තර ප්‍රජාව' එසේ වනු දැකීමට කිසිසේත් කැමැත්තක් නැති බැව් පැහැදිලි ය. එවැනි තත්වයක් මතු වීමට හැකි සියලු සාධක බිඳ දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින්නේ එබැවිනි.

විනිසුරු භූමිකාව

ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වශයෙන් විග්නේස්වරන්ට අධිකරණය තුළ දී ගෞරවනීය  බලයක්  තිබුණි. නමුත් මහ ඇමතිවරයා ලෙස පළාත් සභාව තුළ දී  එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැක. විග්නේස්වරන් විසින් චෝදනා එල්ල කරනු ලැබුවන් අතර ද නීතිවේදීන් සිටින බැවින් ඔවුන් ද පෙරළා ප්‍රශ්න කිරීමේ හා විරුද්ධ පියවර ගැනීමේ  හැකියාවක් ද පවතී. එබැවින්  විග්නේස්වරන් විනිසුරුවරයෙක්  ලෙස හැසිරීමට වඩා වැදගත් වනුයේ  පළාත් සභාව තුළ යථාර්ථය  තේරුම් ගෙන කටයුතු කිරීම ය.

කෙසේ වුවද  උතුරු පළාත් සභාව තුළ විග්නේස්වරන් කටයුතු කළ ආකාරය පිළිබඳව ඔහු නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂය තුළින් ඔහුට සහයෝගයක් නොමැති වුවද පොදු මහජනයා තුළ ඔහු කෙරේ පැහැදීමක් තිබේ. එම තත්ත්වය තව දුරටත් වර්ධනය කරගනිමින් රැකගැනීම ඔහු හමුවේ ඇති අභියෝගයකි. එසේ නොමැතිව පක්ෂයේ විශ්වාසය තහවුරු කර ගැනීම තුළින් තම ධුර කාලය ගෙවා දැමීමට කටයුතු කළහොත් පොදු ජන සහාය හීන වනු නිසැක ය.

විශිෂ්ට නායකත්වයක මූලික ලක්ෂණය විය යුත්තේ  පොදු ජන අභිලාෂයන් කවරේදැයි වටහා ගනිමින් ඒ වෙනුවෙන් නොබියව ඉදිරිපත්ව, ඒවා දිනා ගැනීමට අරගල කිරීම ය.  එසේ නොවී තම දේශපාලන පක්ෂයේ සමගිය වෙනුවෙන් යැයි  කියා මූලධාර්මික පිළිවෙත්වලින් පසු බැසීම එවැනි නායකත්වයක ලක්‍ෂණයක් නොවේ.

විග්නේස්වරන්  පොදු ජනයාගේ නායකයෙකු ලෙස මතු වේවිද, එසේ නැතහොත්  වියපත් රෝගියෙකු ලෙසින් දේශපාලනයෙන් සමුගනිවිද යන තීරණය තව දුරටත් ඔහු අත රැඳී තිබේ.

අනෙක් අතින් විග්නේස්වරන්  ශක්තිමත්, බලවත්  නායකයෙකු ලෙස මතු වීම සමස්ත  දෙමළ ජනයාගේ යහපතට  හේතුවන අතරම  විකල්ප පෙරමුණක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින පාර්ශවන්ගේ ද  ජයග්‍රහණයකි.

එසේ නොවන්නේ නම් පීඩිත දෙමල ජනයා හමුවේ දිග හැරෙන්නේ  මුල්ලිවයික්කාල්වලින්  පසු  උගත යුතු තවත්  අලුත් පාඩමකි.☐

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.