JDS Sinhala

නිලාන්දන්: පීඩිත දෙමළ ජනයාගේ දෛනික සටන්වල අද දවසේ ස්වරූපය

පරිවර්තනය: ජීවේන්ද්‍රන්  නඩරාජා සහ අතුල විතානගේ

නැගෙනහිර   සරසවියේ   සිටින මගේ  මිතුරෙක්  සමග  කෙටි  පිළිසඳරක සිටි මෑත දවසක  ඔහු එක්තරා පැනයක් මට යොමු කළේය.  ඔහු විමසා සිටියේ 'කේප්පාපුලව්  වැනි ජනතා විරෝධතාවයන්ට  මීට පෙර මාධ්‍ය  මගින් ලබා දුන් සහයෝගය හා ප්‍රමුඛස්ථානය  මේ වනවිට  අත්හැර  දමා ඇත්තේ  මන්දැ'යි කියා ය.

රජයේ හමුදා විසින් අල්ලාගෙන සිටින ස්වකීය නිවෙස් හා ඉඩ කඩම් නිදහස් කර දෙන ලෙස ඉල්ලා  කේප්පාපුලවු ජනයාගේ  අරගලය   මෑතදී  කොළඹට ද  රැගෙන යනු ලැබිණ. 'සම අයිතිය' නම් සංවිධානයක් විසින් එම උදඝෝෂණය සඳහා පිරිස් රැස්කරනු ලැබ සිටියත්, මාධ්‍ය ඒ ගැන එතරම් තැකීමක් කළ බවක් පෙනෙන්නට නොතිබිණ.

කේප්පාපුලවු , මුලතිව්, වව්නියා, කිලිනොච්චිය, මරුදන්කෙර්නි, ඉරණතිව්, ත්‍රිකුණාමලය යනාදී මේ  සෑම තැනකම  පීඩාවට පත් ජනයා  අතර සටන් ඇවිලෙමින් තිබෙනු  දක්නට හැකියි.

මුලතිවු - මුල්ලිකුලම් - ඉරණතිවු

යුක්තිය පසිඳලන ලෙස ඉල්ලා අතුරු දහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංවිධානයෙන් කරගෙන යනු  ලැබූ  උපවාසය   දින 100 ඉක්මවන ලද්දේ මැයි මාසයේදී ය. ඒ වෙනුවෙන් කිලිනොච්චියේ පැවති උද්ඝෝෂණයට දෙමල මෙන්ම සිංහල සමාජ ක්‍රියාධරයන්ද, මානව හිමිකම් ක්‍රියාකාරීන් හා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් ද එක්ව සිටියහ. මෙහිදී යහපාලන ආණ්ඩුවේ නියෝජිතයන් කියා  සිටියේ මේ පීඩාවට පත් ජනයාගේ ගැටළු ගැන කතාබහ කිරීමට ආණ්ඩුවේ ප්‍රධානියා  සුදානම් බව ය. ඒ අනුව ඔහු සමග සාකච්ජාවක් ලබා දීමත්  සමඟ  ඇතැම්  සටන්  නැවතිණ. ආණ්ඩුව පොරොන්දු වූ  ආකාරයෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා  සමග කතාබහ  සිදු කෙරිණි. ඒ විනාඩි 42 ක් වැනි  කෙටි  කාලයකි. ඒත්  ඒ  කතා බහේදී  ආණ්ඩුවේ  ප්‍රධානීන්  මේ අතුරු දහන්  කිරීම්  පිලිබඳ  ගැටළු  ගැන එතරම්  තැකීමක් කර නොතිබිණි. මේ පිළිබඳ හැකි ඉක්මණින් පරීක්ෂණ කරන්නට පොරොන්දු වුවද  ඊට  පසු කිසිදු ක්‍රියාමාර්ගයක්  ඒ  වෙනුවෙන් ක්‍රියාත්මක නොවිණ.  මේ වන විට  පීඩාවට පත්  ජනයා  ආණ්ඩුවේ ප්‍රධානීන්  වෙත ඊ-මේල් පණිවුඩ යොමු  කොට  ඔහුන්ගේ පිළිතුරු අපේක්ෂාවෙන් බලා සිටී.

නාවික  හමුදාව මගින් බලහත්කාරයෙන් සිය නිවාස හා ඉඩම් අත්පත් කරගෙන සිටින මුල්ලිකුලම් හා ඉරණතිව් ජනයාගේ සටනට මැදිහත්ව සිටින්නේ කතෝලික පල්ලිය හා  රාජ්‍ය  නොවන සංවිධාන ය. ඊට පසු මේ සටනට දේශපාලනඥයෝ ද එකතු වූහ. අරගලය ඉදිරියට ගෙනයද්දී  ආණ්ඩුව පොරොන්දු වූයේ නාවික හමුදාව අත්පත් කරගෙන සිටින ඉඩම් යළිත් ජනතාව වෙත නිදහස් කර දෙන බව ය. ඒත්  මේ වෙනකොට මාස  දෙකකට වැඩි කාලයක්  ගතවුණ ද ආණ්ඩුවේ පොරොන්දුව ඉටු කර නොමැ. මුල්ලිකුලම් ජනයාගේ නිවෙස්වල තවමත් හමුදාවෝ වාඩිලා සිටිති.

ඉරණතිව් වැසියන්ගේ අරගලය ඉදිරියට ඇදෙමින් තිබිද්දී එහි පැමිණි ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කියා සිටියේ විසඳුමක් ලබා දීමට සති දෙකක කාලයක් අවශ්‍ය බව ය. මේ වන විට එම සති  දෙකක කාලයත් හමාර වී බොහෝ දවස් ගත වී තිබේ.

මයිලෙට්ටි යථාර්ථය

මයිලෙට්ටි ධීවර වරාය නිදහස් කිරීම හුදෙක් මාධ්‍ය  සංදර්ශනයක් පමණි. මෙහිදී මයිලෙට්ටි බටහිර ජැටිය ප්‍රදේශය නිදහස් කර තිබුණද නැගෙනහිර ප්‍රදේශය නිදහස් කර නොමැත. එහි  තවම රජයේ හමුදාවෝ වාඩි ලා සිටිති. මේ ලියන මොහොත වනවිටත් මයිලෙට්ටි වරාය ආසන්න මුහුදු පිවිසුමට ආරක්ෂක බාධක දමා ඇති අතර  රතු කොඩි ප්‍රදර්ශනය කරමින් සීමා තහංචි ද  යොදා තිබෙනු දකින්නට ලැබේ. මයිලෙට්ටි නැගෙනහිර මුහුද  මත්ස්‍ය ගහනය අතින් සාරවත්ම ප්‍රදේශයකි. දැනටත් ක්‍රියාත්මක සීමා තහංචි නිසා ධීවරයන්ට මසුන් මරන්න අවසරයක් නොමැත. එමෙන්ම   මුහුදට පිවිසෙන්නට ක්‍රමයක් ඇත්තේ හෝ ධීවර වාඩි හදාගන්නට අවසරයක් ද නැත. සැබෑ ලෙසම මයිලෙට්ටි වැසියන්ට සහනයක් සැලසෙනු ඇත්තේ මුළු ගම්මානයම නිදහස් කළහොත් පමණි.

ත්‍රිකුණාමලයේ දී  සිය අයිතීන් වෙනුවෙන් සටන් වදින ජනයා හමුවෙන්නට ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලනඥයා පවා පැමිණ නොමැත. මේ ජනයාගේ සටන් ක්‍රියාමාර්ග පවතින්නේ නැගෙනහිර පළාත් සභාව, ආණ්ඩුකාර කාර්යාලය වැනි රජයේ ආයතනවලට  දිවෙන මාර්ග  ඔස්සේ ය. එහෙත් එතරම් උද්ඝෝෂණ කිරීමෙන් පසුවත් කිසිදු රජයේ වගකිව යුත්තෙක් මේ ජනයාගේ සටන ගැන කිසිදු තැකීමක් කර ඇති බවක් නොපෙනේ.

ත්‍රිකුණාමලයේදී පමණක් නොව, උතුරු නැගෙනහිර  සෑම සටනකටම   දේශපාලනඥයන් හා මාධ්‍ය පැමිණෙන්නේ නැති තරම් ය. එම අරගල ආරම්භක අවධියේ නම් වැල නොකැඩි මේ දෙපිරිසම එහි ගැවසුණු අතර ඒ ගැන ඉහලින්ම මාධ්‍ය වාර්තාද පළවිය. එහෙත් ඉකුත් මාස කිහිපය තුළ මේ සටන් ගැන කිසිදු අවධානයක් ඇතැයි නොපෙනේ. මේවායේ නිරත ක්‍රියාධරයන් ද නිතරම සම්බන්ධවීමට උත්සාහ දරනුයේ දේශපාලනඥයන් හා මාධ්‍ය සමග ය. මෙසේ දිගින් දිගටම මේ අරගලයන් ගැන නොසළකා හැරීම නිසා ඒවා යටපත් වී යාමේ අවදානම තීව්‍ර වී තිබේ.

හේතු තුනක්

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු උද්ඝෝෂණය මෙන් සාර්ථකව ඉදිරියට යාමට හැකියාවක් ඇතැයි අපේක්ෂිත බොහෝ සටන් මේ වනවිට  පවතිනුයේ ඇල්මැරුණු ස්වභාවයක ය. මගේ නිරීක්‍ෂණය අනුව ඊට බලපෑ හැකි හේතු තුනකි.

1. ආණ්ඩුව සැලසුම් සහගතව මේ  සටන් ක්‍රියාමාර්ගවල නිරත පීඩාවට පත් ජනයා වෙහෙසට පත්කර අදාළ සටන් දිය කර හැරීමට සැලැස්වීම.

2. දිග ඇදෙමින් තිබෙන සටන් ක්‍රියාමාර්ගයන්ට මැදිහත් සංවිධාන අතර අනොන්‍ය අවබෝධය, සංවිධානාත්මක හා ඒකාබද්ධ ක්‍රියාමාර්ග නොමැතිවීම.

3. මෙම සටන් ක්‍රියාමාර්ගයන් සඳහා නායකත්වය සැපයීමට කිසිදු සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් දෙමල ජනයා අතර නොතිබීම.

මෙම සටන් දියකර හැරීමට ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් සිටි. ඇතැම් අවස්ථාවලදී ඔවුන් තාවකාලික විසඳුම් ලබා දෙමින් කල් මරයි.  කේප්පාපුලව ජනයා පදිංචි වී සිටි ප්‍රදේශය තවමත් අධි ආරක්ෂක කලාපයකි. ජනයා වෙනුවෙන් නිදහස් කරනු ලැබුවේ ඉතාමත් සීමිත බිම් කඩකි.

අතුරු දහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් පැවැත්වූ මාරාන්තික උපවාසය වරක් නවතා දැමුවේ ආණ්ඩුව ඒ ගැන සාකච්ජා කරන්නට එකඟ වීම හේතුවෙනි. උද්ඝෝෂකයන් හමුවුණු ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පොරොන්දු වුයේ ජනාධිපති හමු වී මේ ගැන සාකච්ජා කළ හැකි බවය. ඒ කතාබහ එයින් එහා ගිය ක්‍රියාමාර්ග බවට නොපෙරළුණි.

ආණ්ඩුවේ සැළැස්ම

මුල්ලිකුලම් ජනයාගේ සටන ආරම්භයේදීම ආණ්ඩුව ලබා දුන් පොරොන්දු අද වන විටත් ඉටු කර නොමැත. ඒ තුළ  සටන්වල උද්‍යෝගය හීන කිරීම ආණ්ඩුවේ අරමුණ බව පැහැදිලි ය. උද්ඝෝෂකයන් ආණ්ඩුවේ පොරොන්දු මත අපේක්ෂා සහගතවීමත්, ජනාධිපතිවරයා හමුවීමත්, ඔහු සමග සාකච්ජා කිරීම තුළින් විසදුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවීමත් තුළ කල් ඇදෙන තත්ත්වයක් යටතේ සටන් මොට කිරීමේ උපක්‍රමය ද ආණ්ඩුව මෙහි දී  භාවිතා කරනු ලබයි.

ආණ්ඩුවේ තවත් උපක්‍රමයක් වන්නේ මෙම සටන්වලට නායකත්වය ලබා දෙන බිම් මට්ටමේ නායකයන් තමන්ගේ පැත්තට නම්මවා ගැනීමේ ප්‍රයත්නය පෙරට ගෙනයාම ය. වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් හා නිවාස නිදහස් කර ගැනීමේ සටනේ නිරතව සිටි අයෙක් මා සමග පවසා සිටියේ රාජපක්ෂ ආණ්ඩු සමයේ  එම සටන් වල පෙරමුණේ සිටියේ  පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි  සේනාධිරාජා බව ය. එහෙත් දැන්  මේ බිම් මට්ටමේ නායකයන් සමග නිරන්තරව ගනු දෙනු කරන්නේ ප්‍රදේශයේ මිලිටරි නායකයන් ය. එක් ක්‍ෂණයකින් මෙම මිලිටරි ප්‍රධානීන් සම්බන්ධ කර ගත හැකි වුව ද  ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සම්බන්ධ කර ගැනීම ඉතාමත් අසීරු බව ඇතැම්හු පවසති. මේ තත්වය තුළ ආණ්ඩුවේ මිලිටරි නායකත්වය විසින් බිම් මට්ටමේ නායකත්වය තුළ තමන් කෙරෙහි විශ්වාසයක් ජනිත කරවාගැනීමට ක්‍රියා කරමින් ඇත්තේ ඉතාමත් සියුම් හා උපක්‍රමශිලී ආකාරයකිනි. ඒ මගින් මෙසේ සටන් කරමින් සිටින ජනයාට තමාගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට මිලිටරි නායකත්වය  දායක වනු ඇතැයි යන විශ්වාසය  ඔවුන් තුළ  වගා කරමින් සිටිති.

මේ සටන්වලට මැදිහත්ව සිටින බොහෝ සංවිධානවලට දේශපාලන දැක්මක් නොමැතිකම සුවිශාලතම පසුබෑමකි. ඔවුන්ගේ සටනෙහි පදනම වෙන්නේ අදාළ සටන පමණි. එහෙයින් තමන්ගේ සටනින් පිට  තිබෙන සටන් සමග ඒකාබද්ධ වීමේ වැදගත්කම ප්‍රමාණවත් තරමින් අවධාරණය නොවේ. අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංවිධාන එක් පොදු මධ්‍යස්ථානයකට ගොණු කිරීමේ උත්සාහයක් මාස කිහිපයකට උඩදී උතුරු පළාත් මහා ඇමති  විග්නේශ්වරන් විසින් දරණ ලදී. එය  තමන්ට දැනුම් දුන්නේ නැතැයි කියා  වව්නියාවේ සංවිධානයක් ලිපියක් මගින් දැනුම් දී තිබිණි. පොදු දේශපාලන දැක්මක් නොමැති නිසා මෙවැනි ගැටළු එකිනෙකා අතර මතු වීමෙන් සිදුවන්නේ පීඩාවට පත් ජනයාගේ අරගලවල ජයග්‍රහණය තව තවත් පසෙකට තල්ලු වීම ය. එමෙන්ම දේශපාලන පක්ෂ අතර පවතින තරඟය ද මීට බලපාමින් තිබේ. පොදු දේශපාලන දැක්මක් යටතේ  ඒකාබද්ධ නොවීම තුළ ආණ්ඩුව ඇතුළු පිටස්තර බලවේගයන්ට මෙම සටන් දුබල කිරීමටත්, ස්වකීය උවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට හෝ දියකර හැරීමටත් හැකි වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ.

දේශපාලන ගැටළුවක්

අනෙක් අතට දිග ඇදෙමින් තිබෙන මේ සටන් සංවිධාන ඉදිරියට ගෙන යාමට තරම් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ද නොමැති තරම් ය. එවැනි පක්ෂයක් , සංවිධානයක් ගොඩනැගීමට නම් විප්ලවකාරී සිද්ධාන්ත පදනම් කරගත යුතු ය. එසේ නොවන්නේ නම් පීඩිත ජනයාගේ සටන්  රාජ්‍ය නොවන සංවිධාන විසින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව වෙනත් දිශානතින් වෙත රැගෙන යනු ස්ථිර ය. ඊට පසු අත්විඳිය හැක්කේ  සමාජ ක්‍රියාකාරිත්වය නොව, ව්‍යාපෘති ක්‍රියාකාරිත්වයයි. මේ සටන් කරන ජනයාට අවශ්‍ය වනුයේ දේශපාලන විසඳුමකි. එවැනි විසඳුමක් කරා යාමට හැකියාව ඇත්තේද ඉදිරි දැක්මක් සහිත දේශපාලන පක්‍ෂයකට පමණි.

අතුරුදහන් කළවුන් සම්බන්ධයෙන් යුක්තිය පමාවීමේ ගැටලුවටත්, බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් හා නිවාස නැවත නිදහස් කර ගැනීමේ අරගලයටත් දීර්ඝ කාලීන දේශපාලන විසඳුමක් අවශ්‍ය වේ. එක ගැටළුවකට පමණක් තාවකාලික විසඳුමක් නොව, සමස්තයම අවධානයට ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ගයන් තෝරා ගත යුතුව තිබේ. එහෙත් මේ ගැටළු දෙස පුළුල් විමසීමක් කර මාර්ගෝපදේශකත්වයක් සහිත වැඩපිළිවෙලක්  දියත් වෙන බවක් නම් තවම දක්නට නොලැබේ.

2009 වසරින් පසු  දේශපාලන පක්ෂ මෙවැනි වැඩපිළිවෙලක් ගැන මැදිහත් වී නොමැත. බිම් මට්ටමේ සිටි පීඩාවට පත් ජනයා තනි තනිව මේ සටන් ක්‍රියාමාර්ගයන්ට එළඹෙද්දී පවා දේශපාලන පක්ෂ පොදු එකතුවකට නොපැමිණියහ. දැනට පවතින කණ්ඩායම්වලට එරෙහිව විකල්ප දේශපාලන පාර්ශ්වයක් ගොඩනැගීම පිළිබඳවත්, ඒ හරහා කළ හැකි දේ ගැනවත්  කතාබහක් මෙතෙක් ඇතිවී නොමැත. විකල්ප පාර්ශ්වයක් තුළින්  පවතින දේශපාලනය මගින් සිදු කරමින් තිබෙන  දේශපාලන රැස්වීම්, සංවාද, ලිපි හුවමාරු, වාර්තා සැකසීම සහ ඉදිරිපත් කිරීම, සම්මුඛ සාකච්ජා, හර්තාල්, උද්ඝෝෂණ, මැතිවරණ ව්‍යාපාර, වැනි  දෙයින් ඔබ්බට ගිය නිර්මාණශීලි සටන් කිරීමේ ව්‍යුහයක් සොයා ගත යුතුව තිබේ. හුදකලා සටන් තුළ අතරමං කර දැමෙන ජනයා සමග ඊළඟ පියවරට  යා හැකිවනුයේ නව සටන් කිරීමේ මාදිලියක් සොයා ගත හොත් පමණි. 2009 පසුව, මේ පීඩාවට පත්ව සිටින ජනයාට යුක්තිය සොයා යාමට මාර්ගයක් සැකසෙනු ඇත්තේ ඒ හරහා ය.☐

නිලාන්දන්


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.