නිලාන්දන්: උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ඉන්දියානු සාධකය


පරිවර්තනය: ජීවේන්ද්‍රන්  නඩරාජා සහ අතුල විතානගේ

දෙමළ ජාතික සන්ධාන නායකයන් හා ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා අතර පසුගිය දා පැවති කතා බහ පිලිබඳ  අවධානය යොමු කිරීම මේ මොහොතේ ලංකාවේ දේශපාලනය තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් ය. මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ හමුවේදී බොහෝ වැදගත් කරුණු ගැන දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගෙන  තිබේ. මෙරට ජාතික ගැටළුවට විසඳුම් සෙවීම වඩා පහසු කරන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව  දෙපාර්ශවයේම වැඩි අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව මන්දෝත්සාහි වීම එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට බාධා වී ඇති බවට මෙහිදී ප්‍රකාශ වී තිබේ. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන EPRLF නියෝජනය කළ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  දැඩි ලෙස කියා සිටියේ උතුරු - නැගෙනහිර පළාත් යලි ඒකාබද්ධ කළ යුතු බව ය.

ජාතික ගැටළුවට විසඳුම් සෙවීමේ අරමුණින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකතුව සාම ගිවිසුමක් මගින් පළාත් සහා ක්‍රමය හදුන්වා දුන්නේ 1987දී ය. එම ගිවිසුම ප්‍රකාරව පළාත් සභා පිහිටුවීමේ දී  ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් ඝාතනයට ලක් වූ   අතර තවත්  බොහෝ දෙනෙකුගේ රුධිරය මතින් උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කෙරුණි.  එහෙත් මේ වන විට උතුරු -නැගෙනහිර පළාත් එකිනෙක වෙන් කර තිබේ. යළිත් ඒවා ඒකාබද්ධ කිරීම ඉන්දියාව මැදිහත් විය යුතු බවත්, එය ඉන්දියාවේ වගකීමක් බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් සුබ්‍රමනියම් ජෙයශන්කර් වෙත  දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබිණ. ඊට ප්‍රතිචාර දැක්වූ ඉන්දීය විදේශ ලේකම්වරයා මුලින්ම සිය නොසතුට පළ කර තුබුණේ උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳව පමණක් දීර්ඝ ලෙස කරුණු දැක්වීම ගැන ය. මීට වසර 30 කට පමණ පෙර අත්හදා බැලූ වැඩපිළිවෙලක් ලෙස පළාත් සභා ක්‍රමය හදුන්වා දුන් මෙනන් ඊට මැදිහත් වූ අගමැති රජීව් ගාන්ධි පවා ඝාතනයට ලක් ව ඇති  තත්ත්වයක් තුළ බොහෝ දෑ  වෙනස් වී ඇතැයි  පැවසීය. එබැවින් පළාත් සභා හෝ උතුරු -නැගෙනහිර ඒකාබද්ධ කිරීම පිළිබඳව කතා බහ කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක්  නොවන බැවින් අද දවසේ ප්‍රායෝගිකව කළ හැකි දේ පමණක් සාකච්ජා කිරීම වැදගත් බව ඔහු පවසා තිබිණි.

ජයශංකර් - දෙමළ සන්ධාන සාකච්ඡා

උතුරු -නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කරන්නැයි  ශ්‍රී ලංකා ආණ්ඩුවට  බලපෑම් කරන්න ඉන්දියාවට නොහැක. එහෙත් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරන්නැයි බල යෝජනා කර සිටින්නට ඉන්දියාවට හැකියාවක් තිබේ. එය  ඉන්දියාවේ  මුලික ස්ථාවරය බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්කිරීම පිළිබඳව සුභවාදිව බලන ලෙසද  ජෙයශන්කර් මෙනන්  දෙමළ ජාතික සන්ධාන නායකයන් හමුවේ වැඩි  දුරටත් පෙන්වා දී තිබේ.

මේ කතා බහින් නිගමනය කළ හැක්කේ ඉන්දියාව  තම  උවමනාවන් වෙනුවෙන්, කොළඹ ආණ්ඩුව සමග සහයෝගිතා හැසිරීමකට පැමිණ අති බව ය. ඊට  ආසන්නම හේතුව ලෙස හඳුනාගත හැක්කේ ඉන්දියාව මෙරට තුළ සිදුකර ඇති  ආයෝජනයන් ය. ඒවා බොහොමයක්ම  ඇත්තේ උතුරු - නැගෙනහිර පළාත්වල ය. එබැවින් ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ එම පළාත් වලදී ඔවුන්ගේ ආයෝජනයන්ට කිසිදු බාධාවක් නොවන බවට සහතිකයකි. තවදුරටත්  සළකා බැලීමේදී  ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ කාරණා ඉන්දියාව තම උවමනාවන් වෙනුවෙන් අතකොළුවක්  ලෙස භාවිත කරන බව ය. ඒ තමන්ට අවශ්‍ය පරිදි කොළඹ ආණ්ඩුව හසුරුවා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය හරහා බලපෑම් කිරීමට ය.

එහෙත් 1987 දී  අත්සන් කෙරුණු ඉන්දු -ලංකා ගිවිසුම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති  කරගත් ගිවිසුමක් මිස ශ්‍රී ලංකා ආණ්ඩුව සමග දෙමළ ජනතාව එළඹී ගිවිසුමක් නොවේ. දෙමළ ජනයා වෙනුවෙන් ඊට මැදිහත් ව ඇත්තේ ඉන්දියාව ය. එම නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉන්දියාව මැදිහත් විය යුතු ය. එහෙත් ඉන්දියාවේ වගකීම වඩාත් හොඳින් පැහැදිලි කරදීමට දෙමළ ජාතික සන්ධානය මෙහිදී  අසමත් වී තිබේ. විශේෂයෙන් EPRLF සංවිධානය පවා, ඉන්දු -ලංකා ගිවිසුමත්,  ඒ හරහා ඇතිවූ පළාත් සභාත් සඳහා ඉන්දියාව සමග වැඩි දායකත්වයක් දැරූ කණ්ඩායමකි. දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට කොළඹ ආණ්ඩුවට බලපෑම් කිරීම පිණිස ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තීන් යොදා නොගනී. ඉන්දීය විදෙස් පිළිවෙත ද භාවිත වනුයේ ඔවුන්ගේ උවමනාවන් ඉටු කරගැනීම වෙනුවෙන් පමණි. එම නිසාම දෙමළ ජනයාගේ ගැටළු සියල්ලම පසෙකට තල්ලු කර ඇති  තත්ත්වයක් පෙන්නුම් කරනු  ඇත. දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂවලට විදේශ රාජ්‍යයන් සමග ගනුදෙනු කිරීම පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තියක් තිබේද?

අන්තර්ජාතික උපායමාර්ගයක් තිබේද?

ඉකුත් මැතිවරණයේදී  දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ තමන් දේශපාලන සටනක නිරත බව ය. එහෙත් එවැනි දේශපාලනක සටනක ඔවුන් නිරතව සිටින බව හෝ  එසේ සටනක් කළ බවට හෝ කිසිදු වාර්තාවක් මේ වන තෙක්  ප්‍රසිද්ධ වී නොමැත. එසේ  දේශපාලන සටනක් අරඹන්නට යනවා කියාවත් ආරංචි මාත්‍රයක් හෝ නොමැත.  දේශපාලන සටනක මුලික දේ  ලෙස දැක්විය හැක්කේ විදේශ රාජ්‍යයන් සමග කටයුතු කිරීමට අවශ්‍ය කෙරෙන ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ය. ඊට අවශ්‍ය දේ  සකස් කිරීමට අද වනතෙක්  දෙමළ ජාතික සන්ධාන නායකයන් කටයුතු කර නොමැති බව ඉතාමත් පැහැදිලි ය.

මු. තිරුනාවුකරසු  මේ පිළිබඳව බොහෝ දේ  ලියා තිබේ. එහෙත් තනි පුද්ගලයෙක් ලෙස ඔහු එසේ ලීවාට, එම ලිපි පිළිබඳව සංවාදයක් ඇති කොට  අනෙකුත් අයගේ විවේචන හා අදහස් යෝජනා ගොනුකොට ප්‍රතිපත්තියක් ලෙස හෝ වැඩපිළිවෙලක් ලෙස ජනතාව අතරට පත් කිරීමටවත් මෙම දේශපාලන නායකයන් සමත් වී නොමැත. මෙවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව විමර්ශනයක්  ආරම්භ කිරීමට යාපනය කේන්ද්‍රකර ගත්  අඩයාලම් නම් සංවිධානය මේ වන විට මැදිහත්ව සිටි.  මෙවැනි විදේශ ප්‍රති පාත්තියක්වත් නොමැති තත්ත්වයක් තුළ, දේශපාලන සටනක් කරන බවට දෙමළ ජාතික සන්ධානය කරන ප්‍රකාශ හුදෙක් හාස්‍යයක් පමණි.

විපක්ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්  කියා තිබුණේ  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ඉකුත් වසරේ පැවති කතාෙබහේදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන අවධානය යොමු ළෙ බව ය. එය සාර්ථක බව ය. මෙතනදී මතුවන ගැටලුව වන්නේ මෝදි අගමැති වරයා කුමක් කීව ද  ඔවුන් තීරණයන්ට එළඹෙනුයේ  ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව බව ය. මෝදි ලංකාවට පැමිණෙන විටත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයන් සමග මුලික තීරණයට එළඹ තිබීම ය. එබැවින් ඔහු හමුවී කතා බහ කළ පමණින් ඔවූන්ගේ ප්‍රතිපත්ති  කිසිදු වෙනසකට ලක් වනු ඇතැයි අනුමාන කළ නොහැක. අගමුතිවරයා වශයෙන් මෝදි තීරණයන්ට එළඹෙන්නේ ද ඔවුන්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ ය. එබැවින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ගැටළු පිළිබඳව සාකච්ජා කළ යුත්තේ ඉන්දියානු ප්‍රතිපත්ති සම්පාදකයන් ඉලක්ක කර ගනිමින් ය. වඩාත් සාර්ථක ජයග්‍රහණයක් අත්පත් කර ගත හැක්කේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනසකට ලක් කිරීමට හැකිනම් පමණි. එවැනි දෙයක් අද වන තුරු සාර්ථක කරගැනීමට මෙම දෙමළ සන්ධාන නායකයන් සමත් වී නොමැති අතර දෙමළ ජනයාගේ ගැටළුවට විසඳුම් ලබා ගැනීම පිළිබඳව ඉන්දියාව තුළ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල්වලට ද කරුණු පැහැදිලි කිරීමට ද මේ තාක් ඔවුන්ට නොහැකි වී තිබේ.

ජිනීවා චාරිකා

ජිනීවා මානව හිමිකම් සමුළුව ද දෙමළ ජනතාවගේ ගැටළු වලට වාසි සහගත අකාරයෙන් හසුරුවා ගැනීමට සමත් වී ඇති  බවක් පෙනෙන්නට නොමැත. විශේෂයෙන් එම සමුළුවට එක් වන රටවල් අතරින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මැද  පිළිවෙතක් අනුගමනය කරනු ලබන රටවල් පවා දෙමළ ජනයාගේ ප්‍රශ්නය වෙතට දිනා ගැනීමට ද මේ වන තෙක් කිසිදු ප්‍රමාණවත් ප්‍රයත්නයක් දරා නොමැත. ජිනීවා සමුළුවට ගිය පමණින් එම රටවල් දිනා ගත නොහැකි අතර එවැනි වැඩපිළිවෙල දියත් කළ යුත්තේ සමුළුවෙන් පිටත ය. සමුළුවට සිය තීන්දුව රුගෙන එන ඔවුහු සමුළුවේදී එය වෙනස් නොකරති. විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල් හා අප්‍රිකානු රටවල් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට සංවේදී මැදිහත්වීමකට කැඳවා ගැනීමට නම් එම රටවලට ගොස් ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයන් හමුවී කරුණු දැක්විය යුතු ය. එහෙත් එවැනි වැඩපිළිවෙලක් මෙතෙක් දෙමල සන්ධාන නායකයන් සතු බව කිසිසේත් පෙන්නුම් කර නොමැත. ඒ පිළිබඳව ඔවුන්ට කිසිදු අවබෝධයක්  ඇති බව ද නොපෙනේ.

දෙමළ ජාතික සන්ධානය  දේශපාලනික වශයෙන් පසුගාමී තත්ත්වයක පසුවන මෙවැනි මොහොතක ඉන්දීය විදේශ කටයුතු ලේකම් සමග පැවති සාකච්ජාවේදී ඉන්දියාවේ මුලික අරමුණ වී තිබුනේ සිය ආයෝජනයන්ගේ සුරක්‍ෂිතභාවය තහවුරු කරගැනීම ය. විශේෂයෙන් සාම්පුර් තාප බලාගාරය ඉදිකිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සුරක්ෂිතව ගෙන යාම ය. මේ අනුව පෙනී යන්නේ දිල්ලි හා කොළඹ ආණ්ඩු ඉතා අවම ප්‍රතිවිරෝධයන්ගෙන් යුත් බව ය. සාම්පුර් තාප බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව තමන්ට ගැටළුවක් නොමැති බවත්, ඊට බාධා කරනුයේ  දෙමළ ජාතික සන්ධානය බවත් කොළඹ ආණ්ඩුව දිල්ලියට නිසැකවම ඒත්තු ගන්නවන්නට ඇත. ඒ තුළින් දෙමළ ජාතික සන්ධානය හා දිල්ලිය අතර ප්‍රති විරෝධයන් තීව්‍ර වීමේ වාසිය කළමනාකරණය කරගැනීමට කොළඹ ආණ්ඩුව අපේක්ෂා කරනු නොඅනුමාන ය. ගෙවී ගිය වසර කිහිපය තුළ මෙන්  දෙමල ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්  මේ වසරේදී නිරන්තර දිල්ලි සංචාරයන් හි  නිරත වනු දක්නට නොමැත. පෙර පැවති මිතුදම්  දුරස් වී ඇති හැඩකි. ඊට  බොහෝ දුරට හේතුව වන්නේ සාම්පුර්  සම්බන්ධයෙන් ඉන්දියාවට  වඩාත් සංවේදී වීම ය. ඉන් වඩාත් විපිළිසර බවට පත් වනුයේ දෙමළ ජනතාව ය.

ප්‍රතිතුලනයක ඌනතාව

දකුණේ  සිංහල දේශපාලන විචාරකයෙකු වන දයාන් ජයතිලක  මෑතකදී ලියන ලද ලිපියකින් පෙන්වා දෙන්නේ  ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්   ශ්‍රී ලංකා ආණ්ඩුවේ පැත්තට හරවා ගන්නේ කෙසේද යන්න ය. ඒ සඳහා මුලිකව යොදා ගන්නේ කවුද? ට්‍රම්ප්ට ඉතා සමීප අය කවුරුන් ද, එය කළ හැක්කේ කෙසේද? වැනි  කාරණා විස්තරාත්මකව ඔහු ලියා තිබුණි.  නිදසුන් ලෙස  2002 වසරේදී නොර්වේ  රජයේ මැදිහත් වීමෙන් ඇරඹි සටන් විරාම කාලයේදී  රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු  වූ මිලින්ද මොරගොඩ ඇමෙරිකානු  රාජ්‍ය ලේකම්  රිචර්ඩ් ආර්මිටෙජ්  සමග සබඳතා පැවැත්වූ ආකාරය ඔහු මෙහිදී පෙන්වා  දී ඇත. එමගින් රාජ්‍ය කේන්ද්‍රීය සිතන්නෙකුගේ උපායික අදහස ඔහු අනාවරණය කර තිබේ.

රාජ්‍යයන් යනු ඉතාමත් ස්ථාවරව ගොඩ නැගුනු ව්‍යුහයන් වේ. මේවා සමග අනෙකුත් පාර්ශවයන්  විසින් මෙසේ සබඳතා ගොඩනගා ගෙන නොමැති තරම් ය. ලංකාවේ  දෙමළ ජනතාවගේ නියෝජිතයන් මේ ප්‍රයත්නයන්ට එරෙහිව ප්‍රති තුලනයක් නිර්මාණය කරන්නේ කෙසේද?  ඔවුන්ගේ දේශපාලනය මැතිවරණ කේන්ද්‍රීය එකකි. දේශපාලන උපක්‍රම හා උපාය මාර්ග පිළිබඳව ඔවුන් ට කිසිදු  අදහසක් නොමැති  බව  ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන්ම පෙන්නුම් කර තිබේ.

වත්මන් යහපාලන ආණ්ඩුවත් සමග සමීපව හා ඒ කෙරෙහි අපේක්ෂා සහගත සිටින නිසා දෙමළ ජාතික සන්ධානයට මෙසේ  විදේශ ප්‍රතිපත්තියක හෝ වැඩපිළිවෙලක අදහස එතරම් අදාළ නොවනවා මෙන්මෙ, ඒ පිළිබඳව තැකීමක් ද නොකරනවා වන්නට පුළුවන. ඇත්ත වශයෙන්ම  පසුගිය රාජපක්ෂ ආණ්ඩුවත්, වත්මන් යහපාලන ආණ්ඩුවත් කරනු ලැබුවේ දේශපාලන විසඳුමක්  යන්න  සහමුලින්ම අරුත් සුන් වචනයක් බවට පත් කිරීම පමණි.

දෙමළ ජාතික සන්ධාන නායකයන් පැවසු පරිදි  ඔවුන්  අරඹනවා යැයි කියූ  දේශපාලන  සටන  ඔවුන් විසින්ම  දැන්  අත්හැර  දමා තිබේ.  දේශපාලන සටන් දැන් පවතින්නේ   කේප්පාපිලව් ඇතුළු කිලිනොච්චියේ, මන්නාරමේ හා මුලතිව් ප්‍රදේශවල බිම් මට්ටමේ පීඩාවට පත් අහිංසක ජනයාගේ අධිෂ්ටානය මත ය.☐

නිලාන්දන්


© JDS


Add comment

මෙහි දක්වන ප්‍රතිචාරයන් පළ කිරීමට පෙරාතුව විවරණයට පාත්‍ර කෙරෙන බව කරුණාවෙන් සළකන්න. වාර්ගික, ආගමික හෝ ලිංගික අගතීන් හඟවන හෝ පුද්ගලයින් ඉලක්ක කොටගත් අපහාසාත්මක ප්‍රතිචාර පළ නොකෙරෙනු ඇත.


Security code
Refresh

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.