JDS Sinhala

සයිටම් ගැටළුව: මැනේජ්මන්ට් M එක 'මෙඩිකල් ' වී පබ්ලික් P එක 'ප්‍රයිවෙට්' වීම

නප්‍රිය අරුතින් 'සයිටම් ගැටලුව' ලෙස වර නැගෙන උසස් අධ්‍යාපන වෛද්‍ය විද්‍යාල පුද්ගලීකරණ ගැටලුව හරහා කලාතුරකින් සිද්ධ වෙන විදිහේ ලංකාව දේශපාලනික ධ්‍රැවීකරණයකට හෙවත් නිශ්චිත දේශපාලනික ස්ථාවර හරහා වෙන්වී පිල්ගත වීම ඇරඹී ඇත. රාජපක්ෂ යුගයේ ජාතිවාදී දෘෂ්ටිවාද හරහා වසා තිබූ තුවාලය ඊනියා යහපාලන ආණ්ඩුව හරහා බලාපොරොත්තු විය හැකි ලෙසම විවෘත වී තිබේ. චීනය ආදර්ශයට ගමින් රාජපක්ෂ යුගයේ සිදුවූයේ ලාභය රාජ්‍ය කේන්ද්‍රීයව සමුච්චනයයි. එහිදී ජනප්‍රිය දේශපාලන ගැටළු මතුවන අතර ඒවා දෘෂ්‍යමාන ය. කෙටියෙන් ඉක්මනින් ගැටලුව ස්ථානගත කරගත්තොත් මෙසේ සාරාංශ කළ හැක. රාජ්‍ය කේන්ද්‍රීය (යුරෝපීය මොඩලය) සුභසාධන රාජ්‍ය ලංකාවේ පූර්ණ ලෙස අර්බුදයකට ගොස් ඇත. ඒ වෙනුවට ධනේශ්වර දේශපාලනයේ නග්න පැවැත්ම එළිපිට රැඟීම ආරම්භ වී ඇත. ඒ කුමක්ද? එනම් මෙතෙක් ප්‍රාග්ධනයේ තර්කනයට පූර්ණ ලෙස විවෘත නොවූ සමාජ දේශපාලන අවකාශ ලාභ යාන්ත්‍රණය යටතට ගැනීමයි. මේ මොහොත වනවිට යන සාකච්ඡාවට අනුව මූලිකව 'වාමාංශික' සමාජවාදී දේශපාලන කණ්ඩායම් සුභසාධන රාජ්‍ය රැකගැනීමට යන පිරිස ලෙසත්, සෙසු අය පුද්ගලීකරණයට පක්ෂ ධනේශ්වරය ලෙසත් වැරදි දේශපාලන වර්ගීකරණයකට ලක්කොට ඇත. දෘෂ්ටිවාදී ක්‍රියාදාමය වන්නේ සමාජවාදය හා ධනේශ්වර සුභසාධන රාජ්‍ය අතර සමානත්වයක් ගොඩනගා කරන පටලැවීමයි. පළමුවම නැවත සලකුණු කරගත යුත්තේ මෙම සුභසාධන හා පුද්ගලීකරණ තීන්දු දෙකම ධනේශ්වර අවධිවලට සබැඳි රාමු දෙකක් බවයි. මින් එකක්වත් සමාජවාදයට සම්බන්ධයක් නැත.

සටනක් ලෙස පුද්ගලීකරණයට පක්ෂ පාර්ශවය විසින් නිතර වරනගන සාධකයක් වන්නේ 'අයිතියයි.' නමුත් ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් බොහෝ දෙනා මෙතනදී නොවිමසයි. එනම් 'අයිතිය කුමක් සඳහාද' යන්නයි. ඒ අයිතිය යනු 'පරිභෝජනයට' ඇති අයිතියයි. පැහැදිලි ලෙසම පරිභෝජන හැකියාව ඇති අයගේ අයිතියයි. බස් ගැමුණුගේ සිට ගාමිණි වියන්ගොඩ දක්වා පිරිසකගේ තර්කය වන්නේ 'තමන්ට මුදල් ඇත්නම් ඊට නිදහස නැද්ද?' යන්නයි. එවිට 'අයිතිය', 'නිදහස' අර්ථකථනය වන්නේ පරිභෝජන හැකියාවට සාපේක්ෂව ය; ඊට ඇති අයිතියක් ලෙස ය. දෘෂ්ටිවාදී රාමුව වන්නේ මෙම පරිභෝජන ශක්‍යතාව නිශ්චිත සමාජ පන්තියකට පමණක් හිමිවීමේ ඉතිහාසය මැකීම ය. ඒ වගේම මෙම නිදහස විවෘත කරන විටම සමාජය තුළ ඇතිවන ව්‍යුහාත්මක වෙනසේ සමාජ සාධාරණය නොතකා හැරීමයි. ඊට ළදරු, සරල අර්ථකතන සැපයීමයි.

'කාර්යක්‍ෂමතාව' හා 'ප්‍රමිතිය'

මීට ඉතිහාසයක් තිබේ. දෙවන ලෝක යුද්ධය ඇරඹි 1930 දශකයේ සිට ජාතික රාජ්‍ය විසින් සමාජ වගකීම් අතහරිමින් ඒවා ලාභ ජනනය කළ හැකි වෙළඳ ක්‍ෂේත්‍ර බවට පත් කළේම ප්‍රාග්ධනයේ ප්‍රසාරණය සඳහා ය. ප්‍රාග්ධනය නිරන්තර චල්‍යතාවයක් අත්පත්කර නොගතහොත් එය මුහුණපාන්නේ ක්‍රමික බිඳවැටීමකට ය. ධනේශ්වර ඉතිහාසයේ වරින්වර පැමිණි මූල්‍ය හා අනෙකුත් අර්බුද මීට සාක්ෂි ය. ප්‍රාග්ධනය සම්බන්ධව ජාතිකවාදී සටන් පාඨ දක්ෂිණාංශිකයන්ගෙන් පවා අපට තාමත් ලංකාවේදී ඇසේ. ඔවුන්ට අනුව සිසුන් පිට රටක ඉගෙන ගතහොත් ලංකාවේ ප්‍රාග්ධනය පිට රටට ගලා යයි. ධනේශ්වර දේශපාලනය මෙතරම් සරලද? එසේනම් නෙවිල් ප්‍රනාන්දු සිය ආයතනයෙන් ලබා ගන්නා ලාභය මහා භාණ්ඩාගාරයට පූජා කරනු ඇත්තේද? නැතිනම් රටේ වෙනත් පොදු දියුණුවකට යොදවනු ඇත්තේද? ප්‍රාග්ධනය ධනපතියකු අතට යාමට ජාතික හෝ පාරජාතික වෙනසක් නැත.

එක අතකින් මෙම සාකච්ඡාවේම ප්‍රමිතිය බරපතල ලෙස පහත වැටී ඇත. එවැනි ජනප්‍රිය ළදරු ප්‍රශ්නවලට පිළිතුරු නොබැඳිය යුතු ය. මීට දශක දෙකකට පෙර පුද්ගලීකරණයට විරුද්ධ බහුතරයක් සිටි රටක් ක්‍රමයෙන් අනෙක් පැත්ත කැරකෙමින් තිබේ. එය ජාතික රාජ්‍ය කෙරෙහි තිබූ විශ්වාසයන් ක්‍රමයෙන් කොම්පැනි කෙරෙහි මාරුවීමක්ද? ඒ අර්ථයෙන් මේ ගැටලුවේදී රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ 'කාර්යක්ෂමතාවය' හෝ 'ප්‍රමිතිය' යන තේමාම ව්‍යාජ ගැටලු ය. මීට දශක කීපයකට පෙර තත්ත්ව සංසන්දනාත්මකව සැළකීමේදී දෙපැත්තේම ප්‍රමිතීන් පවතින්නේ හිතාගන්නත් බැරි තරම් පහළ ය. රජයේ රෝහල්වල කතුරු දමා මහන විට පුද්ගලික අංශයේ ලේ වර්ග මාරු කර ගැනීම් වාර්තා වේ. ලේ ගන්න දන්නේ නැති පුද්ගලික හෙදියන් ලෙඩ්ඩුන් හා හුරතල් වීමේ වසඟය පමණක් පුහුණු වේ.

තත්ත්වය මෙසේ පවතින විට අපි කුමක් සඳහා අරගල කළ යුතුද යන ගැටලුව මතු වේ. මීට විසඳුම වඩා ප්‍රමිතිගත වෙළඳපොළක් හැදීමේ ජෝජ් සොරෝස් න්‍යාය නම් අප ඒ අයට සුභ පැතීම හැර කරන්නට දෙයක් නැත. අපට අසන්නට ඇත්තේ ලංකාවේ බස් රථවල සිට අනෙකුත් අධ්‍යාපන විෂය ක්ෂේත්‍රවල සිට පුද්ගලීකරණය වූ අවකාශවල ප්‍රමිතියට මොකක්ද වී ඇත්තේ යන්න පමණි. විශේෂයෙන් පරිවාරයේ රටක් ලෙස වෙළෙන්ඳන් පාලනයට හා ඊට බල දේශපාලනය දක්වන ශක්‍යතාවයේ ප්‍රමිතිය නොදන්නා අයෙක් වේ නම් මොලේ පරීක්ෂාවක් කරගත යුතු ය. මෙවන් ගැටලුවක මතුපිට ජබු ගැසීම වෙනුවට අපි තරමක් ඇතුළට කිමිදිය යුතු වෙමු. අපගේ මුළු අරගලයම සදාචාර තලයෙන් අප ජීවත්වන වටපිටාවේ අශ්ලීල යටි ආර්ථිකයට මාරු විය යුතු බවයි, මේ කෙටි සටහනේ යෝජනාව. එය පුද්ගලීකරණය හා බැඳී පාතාල ආර්ථිකයේ සිට (තාජුඩීන් ඇට වැනි) කළු ආර්ථික දක්වා විහිදේ. අධ්‍යාපන, බෙහෙත් ආනයන හා රෝහල් යන අංශ තුනම සහිත ජාතික හෝ පසු ජාතික වෙළඳ ඒකාධිකාර ඇති වූ විටක මධ්‍යම පාන්තික බුද්ධිමතුන් සමග අපි ප්‍රමිතියේ සිට ඕනෑම තේමාවක් කතා කරමු. ඒ අරුතින් සයිටම් යනුම ගැටලුවේ කේන්ද්‍රීය හරය නොවේ. නමුත් එය සංවේදකයකි. නිදහස් වෙළඳ පොළ තුළ වෛද්‍ය විද්‍යාව වැනි අත්‍යාවශ්‍ය, මිනිස් ජීවිතය හා බැඳී සේවාවක් පූර්ණ ලෙස පුද්ගලීකරණයේ  බල කේන්ද්‍රයන්ට යටත් වූ විට සමාජයේ සිදුවන්නේ ව්‍යුහාත්මක වෙනසකි. සමාජයක් මෙතුවක් කළ වැරදිවලින් තව වැරදි කරන්නට ලයිසන් ලැබෙන්නේ නැත. සටන ඇත්තේ එතැන ය.

වාමාංශික බිල්ලන්

රාජ්‍ය නිෂ්පාදන හෝ සේවා ඇති අවකාශයකට තරඟකාරී වෙළඳපොළක් ඇතුළු වූ විට සෑම ක්ෂේත්‍රයකම සිදුවූයේ රාජ්‍ය අංශය දුර්වල වී වියැකී යාමයි. එවිට පූර්ණ ලෙස ගෙවීමේ හැකියාව මත ජීවිත තීරණය වනු ඇත. ගෙවීමට නොහැකි අයට අඩු මිලට ප්‍රමිතියෙන් පහළ දේ සැපයීම වෙළඳපොල සදාචාරයයි! මනුෂ්‍යත්වය හා සාධාරණත්වය ගැන සටන උපදින්නේ එතැනිනි. සෞඛ්‍ය සේවා හා අධ්‍යාපන වැනි ක්‍ෂේත්‍ර, ධනේශ්වරයේ කේන්ද්‍රීය රටවල් පවා ලාභය මත සිදුවන ගනුදෙනුවකට තාමත් විවෘත කර නැත. කේන්ද්‍රීය රටවල් සියල්ල ජාතික රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්නේ ඔවුන් ජාතිකවාදී නිසාද? ළිං මැඩියන් නිසාද? එසේනම් බ්‍රෙක්සිට්' යනු කුමක්ද? තමන් විප්ලවීය හා ජාත්‍යන්තරවාදී යැයි සිතන ලංකීය දක්ෂිණාංශිකයන් 1977 සිටම සියලු අංශ හරහා ජාතික රාජ්‍ය දුර්වල කළ අතර අද වන විට එය ඕනෑම කලාපයක් දක්වා විහිදුවීම සාමාන්‍යකරණය කර ඇත. ලංකාවේ දේශපාලන ජීවිතය අර්බුදයකට ගොස් තිබුණ ද තවමත් ඔවුන්ට ධනේශ්වර අරුතකින් හෝ විද්‍යාවක් නැත. ඇත්තේ හිතට නැගෙන සිතිවිලි හා වාචාලකම් පමණි. එකම විසඳුම පුද්ගලීකරණය යයි පැවසීමට විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. මෙවන් දේශපාලනික මිත්‍යාමතිකයන්ගේ මූලධාර්මික ශිෂ්ටාචාර විරෝධී කතා බොහොමයක් මේ දිනවල අපි අසමින් සිටිමු. යහපත් වෙළඳපොළක් ගොඩනගා ගැනීමට සිහින දකින මහත්ම මහත්මීන්ට අපගේ යෝජනාව ගුවන් සේවා, ආහාර, පරිසර, ත්‍රස්තවාදය, ඛනිජ සම්පත් හෝ සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍රවල ලෝක පරිමාණව සිදුවී ඇති අර්බුදයේ දිග පළල පොඩ්ඩක් සොයා බලන ලෙස ය. ධනේශ්වරය යනු ලාභය වෙනුවෙන් ඕනෑම අඩියක් තියනා ක්‍රමයකි. ඊට ප්‍රමිති, කාර්යක්ෂමතා අදාළ ඒ අරුතින් පමණි. අපි සමාජවාදය අමතක කරමු. ඒ වෙනුවට අපි හොඳ හැටි ධනේශ්වරයේ දිග පළල කතා කරමු!

එක අතකින් ලොව පුරා විශාල ශ්‍රම අතිරික්තයක් බිහිවෙමින් පවතී. සංක්‍රමණික අර්බුදයේ සිට ජාන තාක්ෂණ වැනි ක්‍ෂේත්‍රවල පවතින අර්බුද දක්වා කොතෙකුත් සංකීර්ණ ලැයිස්තුවක් මීට එකතු කළ හැක. මේක සුපුරුදු වාමාංශික 'බිල්ලන්' මැවීමක් ලෙස ගන්නේ නම් අපේ අදහස ඉදිරි දශකයක් අප නිහඬ වීමට සූදානම් බව ය. එය පොඩි සීමාවක් මිස වර්ගවාදී ගැටළුවක් නොවේ.

වෙළෙන්ඳන්ට ලෝක ප්‍රශ්න භාරදීමේ දෘෂ්ටිවාදය සංකේතාත්මකව අසූව දශකයේ රේගන්ගේ සිට ට්‍රම්ප් රජය දක්වා කෙළවරකට අභ්‍යාස කර ඇත. එහි පරිවාරයේ ඩුප්ලිකේට් පිටපත අපි දැන් රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුව හරහා ද අත්විඳීම අරඹා ඇත්තෙමු. මීට ජනප්‍රිය යෝජනාව සමාජවාදය ඇලජික්, 'ඉවසීමේ' (Tolerance) දේශපාලනයයි. වඩා විධිමත්ව කියතොත් වෙළඳපොල ඉවසීමේ දේශපාලනයයි. ධනේශ්වරයේ අර්බුද හමුවේ සිතීම නවතා ප්‍රතිවිරෝධතා වෙළඳපොළට භාරදී එය ලාභ ඉපයීමේ තවත් උපාංගයක් බවට පත්කරවන තරමට ජන සමාජ දේශපාලනිකව මුග්ධ වී හමාරය. සිනමාවේදී පිටපත් 35 සීමාව ඇතුළු රාජ්‍ය  කේන්ද්‍රීය ඉල්ලීම් කරමින් සිටින අශෝක හඳගම සයිටම්වලදී ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටීම වැනි විහිලු හැර හරයාත්මක සතුරකු අපට තවම මුණගැසී නැත. නිවැරදි සතුරකු අභිමුඛ වූ විට මුහුණු පොතේ ස්ටේටස්  දැමීමේ හා වේදිකා මත උගුර ලේ රහ කිරීමෙන් මෙය නොවිසඳෙන බවද සෙසු අයට මතක් කළ යුතු ය.

දක්‍ෂිණාංශික සහයෝගීතාව

මෙවැනි අතරමැදි භාගෙට ධනපතියන්ගෙන් ඇසිය යුතු තවත් ප්‍රශ්නයක් තිබේ. මේ අකාර්යක්ෂමතාව හා ප්‍රමිති ගැටළු තවත් තැන් වලද ඇත. දුම්රිය සේවය, උසාවිය, හමුදාව හා පාර්ලිමේන්තුව වැනි තැන්වලද තත්ත්වයේ වෙනසක් නැත. ඉතින් අපි මේවත් ඇතුළුව මුළු රාජ්‍යයම පුද්ගලීකරණය කරමුද? ඒ ගැටළු ද එවිට තරඟකාරිත්වයෙන් විසඳෙනු ඇත.

ලංකාවේ ශිෂ්‍ය අරගල ඉදිරියේ ඇති අභියෝගයක් ද තිබේ. හෙළ උරුමයේ සිට අවස්ථාවාදී රාජපක්ෂවාදී කල්ලිය හා කරට අතදාගැනීමේ ජවිප‍ෙ පුරුද්ද තාමත් වාමාංශිකයන් සතු බව ඉඟි කරන්නේ දේශපාලනික බෙලහීනත්වයකි. එය ආත්මයක හෝ සංවිධානයක උතෝපීය පිරිසිදුභාවය ගැන සදාචාරාත්මක ගැටළුවක් නොව, අරගලයේ හරයට සම්බන්ධ අනුවක් බව පමණක් දැනට සටහන් කරමු. මේ බව විශේෂයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයටත්,  ගුණරත්නම්ගේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයටත් මතක් කළ යුතුව ඇත. අප හැමෝම දන්නා මා ඕගේ සුප්‍රකට කාරණයක් මතක් කරමින් දැනට නැවතිමු: 'අරගල තීන්දු වන්නේ බාහිර ප්‍රතිවිරෝධතාවලින් නොව, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වලිනි.'☐

බූපති නලින් වික්‍රමගේ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.