JDS Sinhala

නිලාන්දන්: දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය දේශපාලන ගැටළුවකි

පරිවර්තනය:  ෆාතිමා ෆරීසා ශහාබ්දීන් සහ අතුල විතානගේ

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු ද එක්වුණු රැස්වීමක් යාපනයේ දී ඉකුත් වසරේ දිනෙක පැවැත්විණ. නැවත පදිංචි කිරීම් පිළිබඳ අමාත්‍යාංශය මගින් පැවැත්වූ මෙම රැස්වීමට එක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයා සතුව  නැවත පදිංචි කිරීම පිළිබඳව අත්දැකීම් සම්භාරයක් පැවති බව ද  පැවසුණි. මෙම රැස්වීමේ මුලික අරමුණ වුයේ නැවත පදිංචි කිරීම පිළිබඳ සුදුසු ප්‍රතිපත්තියක් හා ක්‍රමවේදයක් සැකසීම ය.

මෙම රැස්වීම පැවැත්වීමට පෙර දින යාපන පුස්තකාල ශ්‍රවණාගාරයේදී වාර්තාවක් එළිදැක්වීමේ උත්සවයක් පැවැත්විණි. “ඉඩම් සහ අපි: යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්ණය පිළිබඳ දැනුවත්භාවය“ නම් එම වාර්තාව එළිදක්වනු ලැබුවේ වවුනියාවේ සිට ක්‍රියාත්මක වන විකල්ප ආයතනය මගිනි. කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය හා ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගිතා ආයතනය මෙම වාර්තාව සැකසීම සඳහා මුල්‍යාධාර ලබා දී තිබේ. ඉකුත් වසරේ මාර්තුවේ සිට දෙසැම්බර් දක්වා මාස 10 ක කාලයක් සිදුකළ සමීක්ෂණ කටයුතු වෙනුවෙන් සමීක්ෂණ නිලධාරින් දෙදෙනෙක් හා සහකාර සමීක්ෂණ නිලධාරින් 18 දෙනෙකු මීට දායක වී තිබිණි.

ජාතික ප්‍ර‍ශ්නය හා ඉඩම් ගැටළුව

එම වාර්තාවේ විධායක සාරාංශයෙහි දක්වා ඇත්තේ ‘යුද්ධයෙන් පසු කාලය තුළ උතුරු ශ්‍රී ලංකාවේ ඉඩම් ගැටළු පිළිබඳ සමීක්ෂණ වාර්තාව‘ ලෙස ය. යුද්ධයෙන් විනාශයට පත් වූ රටක ප්‍රතිසංස්කරණය , ප්‍ර‍තිසන්ධානය යන කරුණු සිදුවන වාතාවරණයක් තුළ සමාජයේ  පවුල් ඒකකයන්හි ජීවනෝපාය සහ සුභ සාධනයට ඉවහල් වන ඔවුන්ගේ මුලික අයිතිය වනුයේ ඉඩම් පිළිබඳ ඔවුනට ඇති අයිතිය වේ. ඉඩම් භාවිතය, ඉඩම් ලබා ගැනීම සහ ඉඩම් කෙරෙහි වන ඔවුන්ගේ බලපෑම යන කරුණු එහි සඳහන් ය.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සාමය තහවුරු වීමට නම් ඉඩම් ප්‍රශ්නවලට නිසි විසඳුමක් අත්‍යවශ්‍ය වේ. ජාතික ගැටළුවේ දී ද වැදගත් කරුණක් ලෙස ඉඩම් ප්‍රශ්නය දැක ගත හැකි ය. තවද ජාතික ප්‍රශ්නයට ඉදිරිපත් කරන විසඳුමේදී ඉඩම් ප්‍රශ්නය ද සංතෘප්ත කළ හැකි විසඳුමක් ලබා දිය යුතු ය.

සන්නද්ධ අරගලය අවසන් වූ පසු ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සමීක්ෂණ කිහිපයක් ම පවත්වා තිබේ. නමුත් විකල්ප ආයතනය මගින් එළිදැක් වූ මේ වාර්තාව සකසා ඇත්තේ පීඩාවට පත් ජනයා සමඟ සෘජුව සම්බන්ධ වී ක්‍ෂේත්‍ර සමීක්ෂණ මගින් ලබා ගත් තොරතුරු මත පදනම්ව ය. මින් පෙර සකසන ලද සමීක්ෂණ වාර්තාවන් හා සසඳා බැලීමේදී මෙහි ප්‍රධානතම බලපෑම් සහගත කරුණ වන්නේ උතුරු නැගෙනහිර පළාත්වාසීන්ට සිය ඉඩම් ගැටළුව ගැන අදහස් කීමට අවස්ථාව ලබා දීම ය. ඉඩම් ගැටළුව ගැන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඕනෑම වැඩපිළිවෙලක් සඳහා මෙය ආරම්භක පියවරක් වනු ඇත.

අධි ආරක්‍ෂක කලාප

ඉඩම් ගැටළුවලට මුහුණ දුන් ජනයාගේ විශ්වාසය හා අවශ්‍යතාවය රැගෙන යන මාධ්‍යයක් ලෙස මෙකී වාර්තාව දැක්විය හැකි අතර ක්‍රියාධරයන්ට හා අදාළ විෂයබද්ධව ක්‍රියාකරන සේවකයන්ට ද ගැටළුවේ ආරම්භයේ සිට අවසානය දක්වා කරුණු පෙන්වා දීමට ප්‍රයත්න දරා තිබේ. ඉංග්‍රීසි බසින් සැකසු මේ වාර්තාව පරිච්ජේද පහකින් හා පිටු 58 කින් යුක්තය. එහි දෙමළ භාෂා පිටපත ද නුදුරේදීම නිකුත් කරන බව පවසන විකල්ප ආයතනය මෙය පරිපුර්ණ වාර්තාවක් නොවන බවට දක්වා ඇති මුත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමීක්ෂකයන්ගේ අත්දැකීම්, දේශීය සමීක්ෂණ ප්‍රතිඵලයන් මෙම වාර්තාවට ඇතුළත් කරගැනීම මගින් ඊට වඩාත් පුළුල් බවක් එක් කර ඇත. මෙය නිකුත් කිරීමට ගත් කාල පරාසය, අන්තර්ගත කරුණු, සමීක්ෂණ ක්‍රමවේදය ගැන සළකා බැලීමේදී 2009 ට පසු දෙමළ පාර්ශවය විසින් නිකුත් කරනු ලැබූ වැදගත් වාර්තාවක් ලෙස මෙය සඳහන්  කළ හැකිය. දෙමළ - මුස්ලිම් ඉඩම් ප්‍රශ්නය ගැනත්, තේසවලාමෛ නීතියේ අඩංගු කාන්තාවන්ව අසාධාරණයට පත් කරනු ලබන කරුණු ගනත මෙහි සඳහන් ය. බොහෝ විට බිම් මට්ටමේ සිට ඉහළට එක් රැස් කළ තොරතුරුවලට අනුව සැකසු වාර්තාවක් හෙයින් ඉවත දැමිය නොහැකි පැහැදිලි බැවින් යුත් සත්‍යයට සමීප වීම මෙහි ඇති වැදගත්කමයි.

එනම් ඉඩම් ප්‍රශ්නය යනු ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ ප්‍රශ්නයක් බව ය. මෙය පැහැදිලි ලෙස පවසන්නේ නම් පහත පරිදි වේ. නැවත පදිංචිය ගැටගැසී ඇත්තේ හමුදාව ඉවත් කිරීම හා අධි ආරක්ෂක කලාපයන් යන කරුණු සමඟ ය. ඒ කරුණු ආරක්ෂක ප්‍රතිපත්තිවලට සම්බන්ධ දෑ වේ. රටේ ආරක්ෂාව වෙනුවෙන් කියා දෙමළ ජනයාගේ ඉඩම් පමණක් අත්පත් කර ගත හැක්කේ කවර යුක්තියකට අනුවද? දෙමළ ජනයාට අයත් ඉඩම් බලය යනු දෙමළ ජනයාගේ පොදු මානව අයිතීන් ගෙන් එකකි. ඔවුන්ගේ පොදු මානව අයිතිය යනු ජාතියක් ලෙස දෙමළ ජනයා පිළිගන්නේ ද,  නැද්ද යන විවාදයට අදාළ කරුණක් වේ. අවසාන විග්‍ර‍හයේ දී, දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඒකීය පාලනයකට යටත් වනවාද නැද්ද යන ප්‍රතිපත්තිමය තීරණයකි. එවැනි තීරණයක් ලබා ගැනීමට අවශ්‍ය දේශපාලනික දැක්ම මෛත්‍රී - රනිල් ආණ්ඩුවට තිබේ ද?

ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයිනේ අයිතිය සිංහල - බෞද්ධයන්ට පමණක් යැයි විශ්වාසය අත් නොහරින තාක් කල් ඒකීය පාලනයකට පිටින් යාම කළ නොහැකි ය. ජාති , ආගම් , භාෂා හා ඉඩම් යන සිව් වැදෑරුම් ගැටළුවල එකතුවෙන් මෙරට ජාතික ප්‍රශ්නය ආරම්භ වී යැයි  වාද කරනු ලබන බුද්ධිමතුන් ද සිටිති. සිංහල ජාතිය හා බුදු දහම අතර ඇතැයි කියන සම්බන්ධය සමඟ ගෞතම බුදුන් විසින් ඔවුන්ට අයිතිය පවරා දුන් වග කියමින් ඉඩම් ඇතුළු අනෙත් සාධක තුන ද ඈ ගනිමින් ඔවුහු මත දක්වති. ශ්‍රී ලංකාව තුළ පවතින සිංහල- බෞද්ධ රාජ්‍ය නිර්මාණය කර ඇත්තේ මේ කියූ මතවාදීමය ගොඩනැංවීම මත ය. එම රාජ්‍යයේම කොටසක් ලෙස පවතින හමුදාව තම රටේ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරනු ලබන්නේ යැයි සැළකේ. යුද ජයග්‍රහණයෙන් අත්පත් කරගත් දෙමළ ජනයාගේ ඉඩම්වල සිංහල -බෞද්ධ සංකේත ඔවුන් විසින් ස්ථාපිත කරමින් සිටිනුයේ එහෙයිනි. ඉහත කී වාර්තාව මගින් ද මේ සිංහල බෞද්ධකරණය ක්‍රියාදාමය මනාව පෙන්වා දී තිබේ.

විශේෂඥයන්ගේ සීමාව

මේ කාරණා මත පෙනී යනුයේ ඉඩම් ප්‍රශ්නය ගැන තීරණයක් ගත යුත්තේ රාජ්‍ය නිලධාරින් හෝ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන් නොව, එම තීරණය ගත යුත්තේ ඒ සඳහා අවශ්‍ය විධායක බලය හිමි  මෛත්‍රී - රනිල් දෙදෙනා විසින් බව ය. ජාත්‍යන්තර ආයතනවල විශේෂඥ සහාය ලබා ගත යුත්තේ ඉන් අනතුරුව ය. මෙම ලිපියේ මුලින් සදහන්  කළ පරිදි නැවත පදිංචි කිරීම් සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු නමුත් නැවත පදිංචි කිරීම ගැන ප්‍රතිපත්තිමය තීරණයක් යනු සම්පුර්ණයෙන්ම ජාතික ප්‍රශ්නය විසඳුමකට සම්බන්ධ කරුණක් ද වේ. මෙය විවාද කළ යුතු තැන හා  විවාද කළ යුතු අය වෙනස් වන්නේ ඒ නිසා ය. එසේ නොවී කවුරු හෝ කොහේදී හෝ සාකච්ඡා කර තීරණයක් ගත හොත් එය ක්‍රියාත්මක වනු ඇතිද යන්න සැබෑ ගැටළුවකි.

තීරණ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් කිසිදු බලයක් නොමැති ‘විශේෂඥයන්‘ විසින් තීරණ ගැනීමෙන් කිසිවක් සිදු නොවනු ඇත. අනෙක් අතට සොයා බැලිය යුත්තේ එසේ කිරීම කිසියම් උපාය මාර්ගයක්ද යන්න ය. තීරණයක් ගත හැකි මට්ටමින්  සාකච්ඡා නොකොට එසේ තීරණයක් ගැනීමට නොහැකි මට්ටමින් විශේෂඥ උපදෙස් ලබා ගැනීම උපායක් යැයි අනුමාන කිරීම හැම අතින්ම යුක්ති සහගත යව්. මෑත කාලීනව මෙවැනි හමුවීම් රැසක් පැවැත්වුණි.

අනෙක් අතින් ඉඩම් ප්‍රශ්නය ගැන පළාත් සභා මටටමින් ද සාකච්ජා හමුවීම් පැවැත් වේ. සහජීවනය මෙන්ම ජාතීන් අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම ගැනත් හමුවීම් පැවැත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිවිල් සමාජයේ සහයෝගය ලබා දිය හැක්කේ කෙසේද යන කරුණු ගැන ද සොයා බලමින් සඇත්තේ මීට අමතර වශයෙනි. මෙවැනි හමුවීම්,  රැස්වීම්,  සම්මන්ත්‍රණවල මුල සිට අග දක්වාම ක්‍රමවේදයන් පිළිබඳව උනන්දුවක් දක්වන බව පෙන්නුම් කෙරෙනු ඇත. එහෙත් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට අවශ්‍ය බලය ඇති පුද්ගලයන් එම තීරණ නොගෙන පහළ සිට ඉහළ දක්වා වූ ක්‍රමවේදයන් ගැනත්, විශේෂඥයන්ගේ උපදෙස් ගැන සිතා බැලීමත්, තේරුම්ගත යුත්තේ කෙසේද? මෙය  මුලික හේතුව ඉවත් නොකොට ප්‍රතිපලයට පිළියමක් සෙවීමේි උපායට ඇති ළැදියාවයි.

ඉන්දු - ලංකා ධීවර ප්‍ර‍ශ්නය

මෙලෙස හසුරුවන නිසාම දිගු කලක් තිස්සේ ඇදී එන තවත් වැදගත් ප්‍රශ්නයක් මෙහිදී පෙන්වා දිය හැකි ය. ඒ නම් ඉන්දු - ලංකා ධීවරයන් අතර ගැටළුවයි. මේ ගැන වරක් දක්ෂ සිවිල් නිලධාරියෙකු පැවසු කරුණක් මෙහිදී පෙන්වාදීමට මම කැමැත්තෙමි. ඔහුට අනුව ධීවරයන්ගේ ප්‍රශ්නය යනු දේශපාලන ප්‍රශ්නයකි. එනම් රටවල් දෙකක මුහුදු සීමාවන් ගැන වූ ප්‍රශ්නයකි. එබැවින් එය විසඳිය යුත්තේ දේශපාලඥයන් විසිනි. මක් නිසාද යත් තීරණ ගැනීමේ බලය ඇත්තේ ඔවුන් සතුව වන හෙයිනි. ධීවරයන්ට පමණක් එය විසඳා ගත නොහැක. එමෙන්ම සාකච්ඡා කළ යුත්තේ දෙපාර්ශවයේ සිටින තීරණ ගැනීමට බලයක් ඇති දේශපාලඥයන් විසිනි.  නමුත් පසුගිය වසර කිහිපය තුළම සිදු වන්නේ කුමක්ද?

තීරණයක් ගත හැකි දේශපාලනඥයන් එම වගකීම ධීවරයන්ගේ හිස මත පටවා විසඳුම් කල් දමමින් සිටී.  ධීවර ගැටළුව මෙන් අද බොහෝ ගැටළු හසුරුවනු ලබන්නේ මුලික හේතුව එලෙසින්ම තිබෙන්නට ඉඩ හැර එයින් ඇතිවූ ප්‍රතිවිපාකයන්ට පිළියම් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න ගැන සිතමිනි. නැතහොත්, බාහිර ලෝකයෙන් මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට උත්සාහයක් ඇති බවට ව්‍යාජ හැඟවුමක්  පවත්වා ගෙන යාමෙනි. මේ මගින් අර්ථ ගැන්වෙන්නේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ලබා දීමට රාජ්‍ය පාලකයන් තවමත් සුදානම් නොමැති බව ය. විසඳුම් නො සපයන ලද දෙමළ ජනයාගේ ගැටළුව ද ඒ පිළිවෙතෙහිම ගොදුරකි.☐

ප්‍ර‍ධාන සේයාරුව: වසාවිලාන් අධි ආරක්‍ෂිත කලාපයේ ඉඩම් අහිමි වූ ගම්වැසියෙක් - 2015 මාර්තු / සේයා: ජෙරා

නිලාන්දන්


© JDS
  

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.